මහා නිදාන සූත්‍රය 3



මහානිදාන සුත්‍රය 3


මේ දේශනාව අවසානයෙන් පසුව  ඔබ යම්කිසි කටයුතු ටිකක් කරනවා නම් ඒ සඳහා මේ බණ ටික අහගෙන ඉඳලා නැගිටලා යන්නේ කුමක් සඳහා ද? ඒ 'ලෝකේ පවතිනවා' කියලා ඔබ ගත්ත ඔබේ සංකල්පනාව නිසා. එතකොට ඒ ඔබ යන කාරණාව පසෙකින් තැබේවා යන්නට හේතු වුණ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ‘ලෝකේ පැවැත්මක් තියනවා’ කියලා ඔබ දකින දැකීම. ඒ ලෝකේ ඇති බවට අල්ලගත්ත කම, ඒ ඇති බවට ඔබට හමුවන කමට කියනවා භවය කියලා. අන්න ඒ භවය තිබුනොත් තමයි ඒ භවය විඳින්නට පුළුවන් කෙනකුගේ ජාතිය කියන දේ, ඉපැද්ම කියන දේ හම්බ වෙන්නේ. භවය නිකන්ම තනියම තමන්ගේ දේ කරලා නතර වුණේ නැහැ. 'භව ප්‍රත්‍යයෙන් ජාතිය හැදෙනවා'.

'ජාතිය' කියන එක අපි කතා කළා, මේ 'පුද්ගලයෙකුගේ හටගැනීම' කියන එක. පින්වතුනි, අපිට පුද්ගලයකුගේ හටගැනීම සිද්ධ වෙන්නේ අපිට හිතන්නට පුළුවන් වපසරියක්, හිතන්නට පුළුවන් ක්ෂේත්‍රයක් තියෙනකොට නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා මේ ධර්මයන්ගෙන් ගත්ත අරමුණු ටික බාහිර ලෝකයේ පවතින විදිහට අපිට හම්බවෙලා තියෙනවා නම් ඒ දේවල් ඇසුරු කරගත්ත, ඒ දේවල් අරමුණු කරගත්ත 'පුද්ගලභාවයේ හටගැනීමක්' අපිට වෙනවා. අන්න ඒ 'හටගත්ත පුද්ගලයාට' තමයි ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපිට ඒ පුද්ගලභාවයේ හටගැනීමට නම් පුද්ගල බව පවත්වන්නට පුළුවන් බිමක් තියෙන්නට ඕනේ.

අන්න ඒ පුද්ගල බව පවත්වන්නට පුළුවන් බිම සකස් කරගැනීමට කිව්වා 'භවය' කියලා. ඒ භවය අනුව තමයි ජාතිය නැතිනම් 'පුද්ගලයා සකස් කරගැනීම' සිද්ධ වෙන්නේ. භවය වෙනස් වුනොත් පුද්ගල බව සකස් කරගැනීම වෙනස් වෙනවා.
ඒ කිව්වේ? අපි අද කාම භවය කියලා ඇසුරු කරන්නේ මේ පංචකාම ගුණික ධර්මයෝ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපි ලෝකය සැපයි, හොඳයි කියලා දකින දේවල්, අකමැතියි කියලා දකින දේවල් රූප වලට අයිතියි කියලා ඒ දේවල් බාහිර භෞතිකව ඇති බවට ගත්ත තැනක තමයි අපි මේ සංකල්පනාව පවත්වන්නේ. අන්න එතකොට ඒ භවය කියලා අපිට හම්බවෙලා තියනවා ලෝකේ කාමය අනුව සකස් කරගත්ත කාම වස්තූන්ගේ පැවැත්මක් පවතින තැනක්.

අන්න ඒ නිසා තමයි ඒ දේවල් විඳින්න පුළුවන් පුද්ගලයා අපිට හම්බ වෙන්නේ. එතකොට 'ඒ ජාතිය' නැතිනම් 'ඒ ඉපැද්ම', 'ඒ සත්වයා', 'පුද්ගලභාවය හදාගත්ත කෙනා' හදාගෙන තියෙන්නේ මේ කාම භවයට සාපේක්ෂව. යම්කිසි කෙනෙකුට භවය වෙනස් වුනොත්, ඒ කියන්නේ කාම වස්තූන් ඇසුරු නොවී ඒ කෙනාට රූපය ඇසුරු වුනොත් (රූපය කියන තැනකින් අදහස් කරන්නේ කසිණ ආරම්මණයක් හරි තමන් භාවනාවක් කරලා භාවනා ආරම්මණයක් කියන තැනින් තමන් උපදව ගත්ත දෙයක් නම් අරමුණ වෙන්නේ නානත්වය අයින් වෙලා, අපි කැමති අකමැති භාවය අයින් වෙලා, කාමච්ඡන්දය අයින් වෙලා අපිට ඇසුරු වෙන්නේ ධ්‍යාන නිමිත්ත වගේ නිමිති වලින් ඔසව ගත්ත මට්ටමේ රූපයක් නම්)පින්වතුනි, අපිට පුද්ගල බව හදන්නට වෙන්නේ ඒ මට්ටමේ දේ විඳින කෙනෙක් විදියටනේ.

අන්න එතකොට ඒ ජාතිය, නැතිනම් ඒ පුද්ගලයා හදලා තියෙන්නේ 'රූප භව මට්ටමේ පුද්ගලයෙක්'. එයාට සැප දුක විඳින්න තියෙන්නේ එයාට ජරා මරණ දුක එනවා නම් ජරා මරණ දුක එන්න තියෙන්නේ අර කාම භවයේ ඉන්න කෙනාට සාපේක්ෂව නෙමෙයි එයා උපදවා ගත්ත දර්ශනයට සාපේක්ෂව. ඒ නිසා ජාතියට යමක් හේතුයි කියලා කියනවා නම්, ඒ ජාතියට හේතුව තමයි භවය කියලා කියන්නේ. ඒ භවය නිසා තමයි ජාතිය ඇතිවෙන්නේ. ඒ නිසා තමයි මේ කාම භව, රූප භව, අරූප භව කියලා මේ ගත්ත භවය කියන එකේ සියලු ආකාරයේ පැවැත්මක් නැත්නම්, භවය නැත්නම් “අපි නු ඛො ජාති පඤ්ඤායෙථා’’ති ජාතිය කියලා එකක් පේනවද කියලා අහන්නේ.

එතකොට ජාතිය කියන එක පෙනෙන්නේ නැතිනම් එය පෙනෙන්නේ නැති වෙන්න තියෙන එකම හේතුව තමයි භවය නැති වීම. භවය නැති වුණොත් විතරයි ජාතිය නැති වෙන්නේ භවය තිබිලා ජාතිය නැති වෙනවා කියලා එකක් නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. භවය තිබුනොත් ජාතිය වෙනවාම තමයි. කලින් අපි මතක් කළ ගාථා පාඨය අනුව බැලුවොත්, භවය කියන එක,

“ඉමස්මිං සති ඉදං හොති” - භවය තිබුනොත් ජාතිය වෙනවා
“ඉමස්සුප්පාදා ඉදං උපපජ්ජති” - භවය උපන්නොත් ජාතිය උපදිනවා
“ඉමස්මිං අසති ඉදං න හෝති” - භවය නැතිනම් ජාතිය ඇත්තේ නැහැ
“ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති’’ - භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වෙනවා

~කුමක් ඇති කල්හි ද භවය~

මෙන්න මේ විදිහට ජාතියට හේතුව භවය කියලා පෙන්නුවා. භවය නිකන්ම හටගත්තේ නැහැ. භවය කියන එකත් හේතුවක් නිසා හටගත්තේ. (අපි මුලින් කිව්වනේ භවය ඉදප්පච්චයතාවයකින් යුක්තයි කියලා) එතකොට ඒ භවය කුමක් නිසාද “උපාදාන පච්චයා භවො” උපාදානය නිසා තමයි භවය හටගන්නේ. උපාදානය නිසා භවය හටගන්නවා කියනකොට උපාදානය කියලා කියන්නේ - කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදානය කියලා කියන මෙන්න මේ උපාදානයට. ‘උපාදාන’ කියන වචනයේ වචනාර්ථ විදිහට ගත්තොත් නම් සමීපයට ගන්නවා එහෙම නැතිනම් අල්ලා ගන්නවා වගේ අර්ථයක් තමයි උපාදානය කියන එකෙන් එන්නේ.

‘ආදාන’ කියන්නේ ගැනීමට. උපාදාන කියනවා දැඩිව අල්ලා ගන්නවා, සමීපයට ගන්නවා වගේ අර්ථයකින්.

- කාම ලෙස දැඩිව ග්‍රහණය කරගැනීම සිද්ධ කරගන්නවා 
- දෘෂ්ඨි වශයෙන් දැඩිව ග්‍රහණය කිරීම සිද්ධ කරනවා,
- සීල වෘත වශයෙන් දැඩිව ග්‍රහණය කිරීම සිද්ධ කරගන්නවා,
- ආත්ම වශයෙන් දැඩිව ග්‍රහණය කිරීම සිද්ධ කර ගන්නවා.

මේ දේවල් වලට කියනවා 'උපාදානය' කියලා. එතකොට 'උපාදාන ප්‍රත්‍යයෙන් භවය' වෙනවා කියනකොට මේ පරියායෙන් දැනගන්නටයි කියලා, “ආනන්ද යම් ආකාරයකින් කොහොම හරි මේ උපාදානය නැතිනම් භවය කියලා දෙයක් පේනවද?” කියලා අහනවා.උපාදානය ඇති කල්හි තමයි භවය කියන දේ පේන්නේ. දැඩිව ග්‍රහණය කරගැනීම් ඇති කල්හි තමයි පැවැත්මක් පෙනෙන්නේ. ග්‍රහණය කරගැනීම නැතිනම්, හසුවෙන දේවල් නැතිනම්, තමන්ගේ යැයි කියලා ගන්න දේවල් ටිකක් නැති කල්හි අපිට භවය එහෙම නැතිනම් පැවැත්මක් පෙනෙන්නේ නැහැ. අපිට ධර්මතා ටිකක පැවැත්මක් තියෙන්නේ මේ යම්කිසි ධර්මතා ටිකක දැඩිව ග්‍රහණය කරගැනීම මත. 

දැඩිව ග්‍රහණය කරගත්ත තැනක තමයි සමුච්ඡයක නැතිනම් ගොච්ඡකයක නැතිනම් රාශියක එකතු කරගැනීමක්, රාශියක ග්‍රහණය කරගැනීමක් අපිට පෙනෙන්නේ ඒ අනුව බැසගත්ත උපාදානයෙහි ඇති ලක්ෂණය නිසා. අපිට පවතිනවා කියන එක ‘නිකන්ම පවතිනවා’ කියන තැනක් ගැන නෙවෙයි මේ පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ කතා කරන්නේ. පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ කතා කරනකොට අපිට ‘පවතිනවා’ කියලා ගන්න එක පිළිබඳව ටිකක් විස්තරාත්මකව තමයි කතා කරන්නට සිද්ධ වෙන්නේ. මෙතනදී අපි මුලින්ම මතක් කරන්නට ඕනේ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්නකොට, පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ කරගැනීමේදී ක්‍රම දෙකක් තියනවා. (න්‍යායන් නම් බොහෝ තියෙනවා) නමුත් මූලික ලෙස පරියායන් දෙකක පටිච්චසමුප්පාදයන් බෙදා දක්වන්නට පුළුවන් කම තියෙනවා. ඒ තමයි,

** අභිධර්මය තුළ පටිච්චසමුප්පාදය බෙදා දැක්වීම සහ
** සූත්‍රය තුළ පටිච්චසමුප්පාද ධර්මය බෙදා දැක්වීම.

 ~අභිධර්ම ක්‍රමයට අනුව පටිච්චසමුප්පාදය~

බැලූ බැල්මට නම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ දෙක දෙකක් ද කියලා. මේ දෙක, දෙකක් නෙවෙයි; මේ දෙක ඒකාර්ථවත්. (ඒකාර්ථවත් කියන්නේ එක අර්ථයක් ගෙන ඒම පිණිස භාවිතාවන දේවල්). අභිධර්ම ක්‍රමයට බෙදා දක්වන පටිච්චසමුප්පාදය කියන එක බොහොම සියුම්ව න්‍යායාත්මකව බෙදා දක්වනවා. ‘භවය’ කියන එක බෙදා දක්වන්න යනකොට පටිච්චසමුප්පාදයෙහි භවය බෙදා දක්වන්නේ සාමාන්‍ය අර්ථයකින් නෙවෙයි. එතැනට ගියාම භවය කියන එක වේදනා, සඤ්ඤා, සංස්කාර කියන තැනින් නාම ධර්මතා ටිකක පැවැත්මක් විදියට තමයි භවය අර්ථ දක්වන්නේ. ඇයි, ඒ ඒ සිතට සාපේක්ෂවයි පෙන්වන්නේ.

මේ කියන කාරණාව ඔබ පැහැදිලි කරගන්න. අභිධර්ම ක්‍රමයෙහි පටිච්චසමුප්පාදය කතා කරන්නේ සිතක්, සිතක් ගානේ. (කුසල් සිත නම් කුසල් සිතේ පටිච්චසමුප්පාදය, විපාක සිත නම් විපාක සිතේ පටිච්චසමුප්පාදය, ක්‍රියා සිත නම් ක්‍රියා සිතේ පටිච්චසමුප්පාදය). එතකොට මේ සිතක් සිතක් ගානේ තමයි අභිධර්ම ක්‍රමයේ පටිච්චසමුප්පාදය කතා කරන්නේ. ඒක ඉතාම සියුම්. නමුත් එතන විස්තරාත්මක ඒ හිතේ ස්වභාව ලක්ෂණය පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන් ඉතාම වැදගත් විග්‍රහයක් ඒක.

~සුත්‍ර ක්‍රමය අනුව පටිච්චසමුප්පාදය~

‘සූත්‍ර ක්‍රමය’ විග්‍රහයේ දී අර සිතක් සිතක් ගානේ ඇතිවෙන පටිච්චසමුප්පාදය නෙවෙයි විස්තර කරන්නේ. අන්න ඒක ඔබ හොඳට තේරුම් ගන්නට ඕනේ. සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදය පෙන්නන කොට සමස්ත සිදුවීම් රාශියක තියෙන එකතුවක් විදිහට තමයි පෙන්වන්නේ. අභිධර්ම ක්‍රමයේ සිතක් සිතක් ගානේ පෙන්වන පටිච්චසමුප්පාදය වෙනුවට සිත් ගොඩක එකතුවක් විදිහට තමයි සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදය පැහැදිලි කරන්නේ. ඒ පටිච්චසමුප්පාදය පැහැදිලි කරනකොට එතන විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා ඒ වගේම කර්ම සිත් තියෙනවා. මේ සියලු ලක්ෂණයන්ගෙන් යුක්තයි සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදය. සුත්‍ර ක්‍රමයේදී කතා කරන්නේ මේ ජරා මරණ දුක විදින අපිට.

ඒ කියන්නේ අපිට නිවන කියන දේ පෙනෙන පැත්ත ගැන කතා කරන්න වෙන්නේ සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදයත් එක්ක. හැබැයි ඒක විමසන්න යනකොට ඒ අනුව මනසිකාරය පවත්වන කොට අපිට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඒක තේරුම් ගන්න යනකොට අභිධර්ම ක්‍රමයට විග්‍රහ කරන පටිච්චසමුප්පාද න්‍යාය. ඒ නිසා මේකෙන් එකක්වත් අතහරින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපි මේ කතා කරන්නේ සූත්‍ර ක්‍රමයෙහි තියෙන පටිච්චසමුප්පාද න්‍යාය. සූත්‍ර ක්‍රමයට අයත් පටිච්චසමුප්පාද න්‍යාය අපි කතා කරනකොට මේ කතා කරන්නේ සමස්තයක් විදිහට සිදුවීම් රාශියක් ඇති තැනක පුද්ගලයෙක් උපද්දවා ගෙන 'උපන්න පුද්ගලයා' ජරා මරණ දුක විඳිනවා කියලා වර්තමානයක ඇතිවෙන මේ සිදුවීම පිළිබඳව තමයි සුත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාද න්‍යාය තුළ කතා කරන්නේ.

ඒ නිසා උපාදාන ප්‍රත්‍යයෙන් හටගන්න භවය ගැන කතා කරනකොට උපාදානය කියන තැනත් අපිට ගන්නට වෙන්නේ අන්න ඒ අර්ථයෙන්මයි. මේ සිදුවීම් රාශියක් එකතු කරලා කාම වශයෙන් ඇසුරු කරන කම, දිට්ඨි වශයෙන් ඇසුරු කරන කම ඒ වගේම සීල වෘත වශයෙන් හැසිරෙන කම, ඒ වගේම අපිට මේකෙ ආත්ම වශයෙන් හැසිරෙන කම. මේ හැසිරීම අර එක හිතක එක චිත්තක්ෂණයක යෙදෙන දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ. එහෙනම් මේ කතා කරන්නේ සමස්තයක් සිදුවීම තුළ.
රළු විදිහටම ඔබට කිව්වොත් මේ 'වටාපත' ඔබට පෙනෙන කොට 'වටාපත' කියන එක ඔබට දැනගන්න බැහැ, මෙතන වර්ණ සටහන ඔබට දැනගන්න පුළුවන් කම තියෙනවා. 

එතකොට වර්ණ සටහන පිළිබඳව දැනගත්තට පස්සේ ඒ අනුව හිතලා තමයි 'වටාපත' දැනගන්නේ. ඒ දැනගැනීම ළඟට යනකොට හිත් රාශියක් හටගෙන නැතිවෙලා ඉවර සිදුවීමක් තමයි මේක ඇතුළේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් පටිච්චසමුප්පාදය කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ සමස්තයක් සිදුවීම පිළිබඳව නේ. එතකොට 'වටාපත ඇති බවට ගත්ත ඔබ' ඔය පැත්තේ ජීවත් වෙනවා, “මම තමයි වටාපත දැක්කේ” කියලා. දැන් අර වර්ණ සටහන ආපු තැනක වටාපත හදාගෙන, වටාපත දැකපු මමත් හදාගෙන ඒ මට සැප දුක් විඳින්න පුළුවන් මට්ටමකුත් උපද්දවා ගෙන ඉවරයි.

අන්න එතන උපාදාන කියන ගතියට අයිති තැන තමයි අපි දැඩිව ග්‍රහණය කරගන්න පැත්ත. ඒ කියන්නේ මේ විදිහට ආපු වටාපත කියන එකක් ඇතිවුණ තැනක ඒ වටාපත විඳින තමාව උපදවාගෙන, තමා උපදවා ගත්ත පැත්ත ග්‍රහණය කරගන්න යෑම උපාදානයට අයිති ලක්ෂණය. එතන කාම උපාදානය කියලා කියනවා, කාමය අනුව බැසගෙන විඳින්න පුළුවන් කාම වස්තූන් පිළිබඳව අපි අල්ලගන්න තැනක් නම්. එතකොට ඒ කාම වස්තූන් පිළිබඳව අපි අල්ලගන්න තැනදී අපිට තියනවා දෙයක්. ඇහැට ආපු එක රූපයක් විතරක් නෙමෙයි මෙතන තිබිලා තියෙන්නේ. මෙතන උපාදානය කියන කොට තියෙනවා කාම උපාදානය විදිහට ග්‍රහණය කරගන්න පුළුවන් මුළු සන්තතියක පැවැත්මක්.

“මීට කලිනුත් රූප දැකපු බව තුළ හිටපු 'මම' තමයි මේක දකින්නේ”. ඒ කියන්නේ මීට කලින් ශබ්දයත් අහපු, ගඳ සුවඳත් විඳපු, රසත් විඳපු, ආයතන පරිහරණය තියෙන කියන මට්ටමේ අත්දැකීම තියෙනවා මේ කාම උපාදානය ගෙනල්ලා දෙන මට්ටමේ දී. එතකොට ඒ ටිකම තමයි දෘෂ්ඨි වශයෙන් ඔහු ගන්නෙත්, ඒ ටිකම තමයි ආත්මභාව වශයෙනුත් ගන්නේ. එතකොට අපේ උපාදානය කියලා අපි ඇසුරු කරන තැන සම්පූර්ණවම පුද්ගලභාවයක් ඇතිකර ගන්නට සුදුසු, භවය ගෙනල්ලා දෙන්නට පුළුවන් විදිහට ඒකරාශී කොට දක්වනවා. ඒකරාශී කොට දක්වන්නේ ‘දකින්න පුළුවන් ලෝකය ඇති බවට'.

ඔබ අද උදේ එළියට ගිහිල්ලා වටපිටාව බලලා ආවා නම් ඒ වටපිටාව ‘තියෙනවා’ කියලා ගත්ත සියලුම දේත් එක්ක තමයි දැන් ඔබට මෙතන ඉන්න කෙනාව හම්බ වෙන්නේ. හැබැයි අර එළියේ (බාහිර) තියෙනවා කියන ටික එකතු කරලා ගත්ත හැඟීම තියෙනවානේ, අන්න ඒ එකතු කරලා ගන්න ලක්ෂණයට කියනවා ‘උපාදානයෙහි ලක්ෂණය කියලා’. එතකොට ඒ උපාදානය නිසා තමයි භවය ඇතිවෙන්නේ. එහෙම නැතිනම් මේ පැවැත්මක් කියන දේ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. උපාදානය නැත්නම්, යම්කිසි විදිහකින් ඒවා එකතු කරන කම නැතිනම් යම් තැනක; එහෙනම් මේ ධර්ම සමූහයක පැවැත්මක් කියලා භවයෙහි පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. ඇති දෙයක පැවැත්මක් හම්බ වෙන්නේ නැහැනේ ඒ දේවල් වල එකතු කරගත්ත බවක් නැතිනම්.

දැන් මම ආපහු ඔබට 'වටාපත' පෙන්නුවොත්, ඉස්සෙල්ලා තිබුන වටාපතත්, වටාපත දැකපු කෙනාවත් හම්බ වෙනවානේ. ඒ කෙනාවත් හම්බ වෙන්නේ ඉස්සෙල්ලා දැකපු ටිකත් එක්කම එකතු කරලා දැන් පෙනෙන දේට ඔසවලා තබන නිසා නේ. ඒ ටික නැතිනම්, ඉස්සෙල්ලා දැකපු 'වටාපත' ආයේ දකින්න බැරි වෙලා අපිට. ඒ නිසා උපාදානයෙහි ලක්ෂණය තමයි භවයට පදනම හදනවා. ඒ කියන්නේ ඒවා ඇති බවට ඔක්කොම ටික එකතු කරලා ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා උපාදානයෙන්. ඒක කාම වශයෙන් වෙන්නත් පුළුවන්, ඒ වගේම එයාට පුළුවන්කම තියෙනවා දිට්ඨි වශයෙන් පවතින විදියට (සාස්වත උච්ඡේද වශයෙන් බැසගත්ත දෘෂ්ඨි වශයෙන්) ඒක අල්ලලා දෙන්න පුළුවන් කමක් තියෙනවා,

සීල වෘත වශයෙන් අරගෙන සීලය ආදී දේ උපාදානය කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අත්තවාද වශයෙන් ආත්ම භාවයක පැවැත්මක් නිර්මාණය කිරීම සඳහා ඒ දේවල් ටික එකතු කරලා තියෙනවා. එකතු කිරීම තුළ ඔය කියන කාරණා ටික සම්පූර්ණවම හටගන්නවා. එහෙනම් උපාදානය කියන එකතු කිරීම නැතිනම්, එකතු කිරීම නැති තැනක භවය කියලා දෙයක් ඇත්තේ නැහැ. එකතු කළොත් තමයි භවය කියලා දෙයක් තියෙන්නේ. එහෙනම් 'උපාදාන පච්චයා භවො'. උපාදානය තිබුනොත් භවය කියන දේ පැවැත්මක් වෙනවා.

මතු සම්බන්ධයි

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ  විසින් 07.05.2020 වෙසක් පොහොය දින බෞද්ධයා නාලිකාව ඔස්සේ මහානිදාන සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.


Post a Comment

0 Comments