මහානිදාන සුත්‍රය 4
~~ උපාදානය හේතු ප්‍රත්‍ය යි ~~
උපාදානය කියන එක නිකන් ඇතිවෙන දෙයක් නෙවෙයි. උපාදානය කියන එකත් 'ඉදප්පච්චයතායි' කියලා අපි කිව්වා. උපාදානයෙහි ඉදප්පච්චය තාවය කුමක්ද? උපාදානයෙහි ඉදප්පච්චය තාවය තණ්හාවයි. තණ්හාව ඇති කල්හි උපාදානය ඇතිවෙනවා. “තණ්හා පච්චයා උපාදානං”. එතකොට තණ්හාව තිබුනොත් තමයි උපාදානය ඇතිවෙන්නේ. තණ්හාව කියන තැන දී තණ්හාව පිළිබඳව අර්ථ දක්වනවා "රූපතණ්හා,සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා සබ්බසො තණ්හාය අසති තණ්හානිරොධා අපි නු ඛො උපාදානං පඤ්ඤායෙථා’’ති? තණ්හාව නැත්නම් අර එකතු කරන්නට දේවල් ටිකක් (උපාදානය) පෙනෙන්නේ නැහැ. තණ්හාව තිබුනොත් තමයි එකතු කරන්නට දේවල් ටික පෙනෙන්නේ.
එතකොට තණ්හාව කියන තැන කතා කරන්නේ අර එක හිතක හටගන්නා තණ්හාව කියන ලක්ෂණය නෙවෙයි, තණ්හාව කියන එක සමස්තයක් පොදු දැක්මක් විදිහටයි කතා කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන් කෙරෙහි පවත්නා වූ තණ්හාව නිසා තමයි ඒ ධර්මයෝ එකතු කරලා ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. තණ්හාවේ අත්දැකීම නැත්නම් ඒ ධර්මයන්ගේ පැවැත්මක් නැහැ. මෙතැනදී තණ්හාව කියලා කියන්නේ රළු විදිහටම ගන්න අර ලෝභය කියන මට්ටමෙන්ම නෙවෙයි, ස්කන්ධ කෙරෙහි පවත්නා තණ්හාව කියන මට්ටමෙන්. ඒක අපි හඳුන්වනවා ‘නිකාන්ති තණ්‌හා’ කියලා.
අන්න ඒ ස්කන්ධ මට්ටමෙන් පවත්වන, නිකාන්ති මට්ටමෙන් අරගෙන යන තණ්හාව කියන දේ හේතු කරගෙන තමයි ග්‍රහණය කරගැනීම නැතිනම් අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තණ්හාව ප්‍රත්‍යයෙන් තමයි උපාදානය කියන අල්ලගන්න එක ඇතිවෙන්නේ. තණ්හාව පවත්වන්නේ නිකන්ම නෙවෙයි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ආයතනයන්ගෙන් ගන්න අරමුණ ටිකක් මත. එතකොට ඒ අරමුණ ටික නිසා ඒ දේවල් හඳුන්වනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, සහ ධම්ම තණ්හා කියලා ඒ ඒ මට්ටමෙන් පතිත කරගත්ත තණ්හාව නිසා තණ්හාව ඇසුරු කරපු තැන් නැවත උපාදාන වශයෙන් අල්ලන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තණ්හාව නිසා උපාදානයයි. තණ්හාව ඇති තැනක උපාදානය ඇතිවෙනවා කියලා යොදනවා - ‘තණ්හා පච්චයා උපාදානං’.
~~ තණ්හාව ද හේතු ප්‍රත්‍ය යි ~~
ඊට පස්සේ තණ්හාව කියන එකත් ඉදප්පච්චයතායි. ඒ කියන්නේ තණ්හාව කියන එකත් නිකන් ඇති වුණේ නැහැ තණ්හාව කියන එකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. කුමන හේතූන්ගෙන්, කුමන ප්‍රත්‍යයන්ගෙන්ද තණ්හාව කියන එක හටගත්තේ, ‘වේදනා පච්චයා තණ්හා’. වේදනාව නිසා තමයි තණ්හාව කියන දේ සැකසුණේ. වේදනාව ඇති කල්හි තණ්හාව කියන දේ ඇතිවෙනවා. වේදනාව නැත්නම් තණ්හාව කියන දේ නැති වෙනවා. එතකොට ඒ වේදනාව කුමක්ද "චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා". ඇසට ඇතිවුණු ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක්. කනට ඇතිවූ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවක්… මේ විදිහට ඒ ඒ ආයතනයන්ට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවක් නිසා තමයි තණ්හාව උපදින්නේ.
සත්වයා තණ්හා කරන්නේ, පුද්ගලයා තණ්හා කරන්නේ මේ වේදනාවට. 'වේදනාව' කියන එක අපි ආකාර කිහිපයකට කතා කරනවා. ඒකෙදී වේදනාව කියන එක අපි කියනවා ඇහැට රූපයක් ගැටෙන කොට ඒ සිතේ වේදනාව උපේක්ෂා සහගතයි කියලා. ඒ කියන්නේ ඒ සිතෙන් අපිට 'ලස්සන දෙයක්ය' කියලා, 'හොඳ දෙයක්ය' කියලා අපිට විඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි මේ චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව කියලා මෙතන කතා කරන මේ වේදනාව, ඇහැට රූපය ස්පර්ශවීම නිසා අපිට ඇතිවෙන සැප වේදනාවත්, දුක් වේදනාවත්, උපේක්ෂා වේදනාවත් කියන දේ උපදවන්නට පුළුවන් මට්ටමෙන් කතා කරන්නේ, ඒ කියන්නේ ඒක ඔසවලා ගත්ත මනෝ විඤ්ඤාණ මට්ටමෙන් සකස්වෙන වේදනාවක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ.
ඒ නිසා ‘චක්ඛුසම්ඵස්සජා වේදනා’ චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව තණ්හාවට වස්තුව වෙනවා, තණ්හාවට ක්ෂේත්‍රය වෙනවා. ක්ෂේත්‍රය වෙන්නේ කොහොමද? ඒ චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාව පිළිබඳව හොඳ දෙයක් නම් එයා ඇලීම ඇතිකර ගන්නවා. එතකොට ඒ වේදනා මාත්‍රිකව ඇතිකර ගන්න තණ්හාව කියන දේ පවතින්නේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන් කෙරෙහි. චක්ඛු සම්ඵස්ස, සොත සම්ඵස්ස ආදි සම්ඵස්ස ආයතනයන් පැත්තෙන් හටගත්ත, ස්පර්ශයන් නිසා හටගත්ත දේ නිසා තමයි වේදනාව උපදින්නේ. යම්කිසි විදිහකින් මේ වේදනාවන්ගේ පැවැත්මක් නැත්නම් තණ්හාවේ පැවැත්මක් නැහැ.
සියලු ආකාරයෙන්ම වේදනාව නිරුද්ධ වෙලා නම්, වේදනාව නැතිවෙලා ගිහිල්ලා නම් වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වෙනවාමයි. තණ්හාවට පැවැත්මක් නැහැ මොකද තණ්හාව පවතින්න වස්තුවක් නැහැ. අපි කැමති වෙනවානම් කැමති වෙන්නේ වේදනාවකට. අපි රූපයක් දැක්කහම ඒ පැත්තෙන් එන සැප හෝ දුක හෝ උපේක්ෂා සහගත විදියට තමයි අපිට වේදනාව දැනෙන්නේ. අපි ඒ ඇසුරු කරන වේදනාව අනුව තමයි අපි ඒකට කැමතිද අකමැතිද කියන එක තීරණය වෙන්නේ. ඒකයි කෙන කෙනාට සැප දුක් වේදනා වෙනස් වෙන්න පුළුවන්කම තියෙන්නේ.
දූරියන් ගෙඩියක සුවඳ ගත්තොත් කෙනෙකුට හොඳයි කෙනෙකුට නරකයි. එතකොට වේදනාව කියන එක එකම විදිහට ඇවිල්ලා නෙවෙයි ස්පර්ශය කියන දෙය එකම විදියට එක පැත්තෙන් ආවට ඒ අනුව කෙන කෙනා හදාගෙන විඳින වේදනාව වෙනස් වෙනවා. වේදනාව වෙනස්වෙන දේ අනුව රුචිකත්වය කියන එක තණ්හාව කියන එක වෙනස් වෙනවා. ඒ නිසා වේදනාව කියන දේ නිසා තමයි තණ්හාවේ නානත්වයක් පේන්නේ. එතකොට අපි මේ කතා කරගෙන ආපු පටිච්චසමුප්පාද න්‍යාය භාග්‍යවතුන් වහන්සේ තව පැත්තක් විවරණය කිරීම සඳහා මෙතනදී භාවිතා කරනවා
~~ නව තණ්හා මුලික ධර්මයෝ ~~
‘‘ඉති ඛො පනෙතං, ආනන්ද, වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො. ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩාදාන සත්ථාදානකලහවිග්ගහවිවාද තුවංතුවං පෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති”.
“ආනන්ද වේදනා ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව උපදින්නේ, තණ්හාව නිසා අපිට පරියෙසනය, පරියෙසනය නිසා අපිට ලාභය, ලාභය නිසා විනිශ්චය, විනිශ්චය නිසා ඡන්ද රාගය... කියලා තව පැත්තකට අරගෙන යනවා. (අපි කතා කරගෙන ආපු විදිහට කියන්න තියෙන්නේ ‘වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව’ කියලනෙ). ඒ පැත්තට කියන්නේ නැතුව ටිකක් වෙනස් පැත්තකින් කියනවා ‘තණ්හා පටිච්ච පරියෙසනා’ - තණ්හාව නිසා පර්යේෂණය ඇතිවෙනවා, පර්යේෂණ නිසා ලාභය ඇතිවෙනවා කියලා... ආදී ලෙස. මහානිදාන සූත්‍රයේ පටිච්චසමුප්පාදය මේ කතා කරගෙන එන්නේ ඔළුවෙන් හිට ගස්සලා වගේනේ. ඒ කියන්නේ අනිත් පැත්තට තමයි මේ කතා කරගෙන එන්නේ.
~~ආරක්ෂාව නිසා නොයක් පාපක අකුසල ධර්මයන් හටගනී~~
මෙතනදීත් භාග්‍යවතුන් වහන්සේ නැවත විස්තර කරනවා අග ඉඳලා අර කියපු කාරණා ටික. “ආරක්ඛාධිකරණං දණ්ඩාදාන සත්ථාදානකලහවිග්ගහවිවාද තුවංතුවං පෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති”. සරලව කිව්වොත් අපිට ලෝකයේ දඬු මුගුරු ගන්නවා නම්, ආයුධ ගන්නවා නම්, එකිනෙකාට බැනගැනීම් තියෙනවා නම්, දොස් පරොස් කතා කරගැනීම් තියෙනවා නම්, අපි මේ දොස් පරොස් කතා කරගන්න, එකිනෙකාට බැන ඇන කොටාගන්න, තරහ යන, අපි තව කෙනෙකුට ඔරවලා හරි බලන කමක් තියෙනවා නම් මේ නොයෙක් පාපක අකුසල ධර්මයන්ට හේතුවක් තියෙනවා.
කුමක් ඇති කල්හි ද මේ නොයෙක් අකුසල ධර්මයන් අපිට පෙනෙන්නේ ලෝකයේ? මේ සියලුම අකුසල ධර්මයන්ට හේතුව අපිට පේනවා 'ආරක්ෂාවයි' කියලා. ආරක්ෂාව කියන්නේ, අපිට රකින්න දෙයක් තියනවා. රකින්න දෙයක් තිබුනොත් තමයි අපිට ලෝකයේ මේ විදිහට වාද විවාද, ගහ ගැනීම් වෙන්නේ, අවි ආයුධ අතට ගන්න වෙන්නේ ඒ වගේම දොස් පරොස් කියාගන්නට වෙන්නේ, නොයෙක් අකුසල ධර්මයන් උපදවන්නට වෙන්නේ රකින්නට දෙයක් තිබුනොත්. ඒ රකින්නට ඇති දේ ලෝකයේ ඇති විදියට ගත්ත භෞතික දෙයක්ම වෙන්නට අවශ්‍ය නැහැ. අපේ ආත්ම ගරුත්වය වෙන්නට පුළුවන්, අපි මොකක් හරි දෙයක් පිළිබඳ සලකලා, පුද්ගලභාවයකට අනුව එන දෙයක් සලකලා බලලා තමයි මේ දේ රැකගැනීම සඳහා අපි උත්සාහ ගන්නේ.
එක්කෝ හොඳයි කියලා හිතෙන දෙයක් ඒ විදිහට පවත්වා ගන්නට හෝ හොඳයි කියලා හිතෙන දෙයක් ලබාගෙන ඒ දේ රැකගැනීම සඳහා. ඒ නිසා මේ ලෝකයේ අකුසල ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා නම්, තරහ ගැනීමක් තියෙනවා නම්, බැන ගැනීමක් තියෙනවා නම්, දොස් පරොස් කියා ගැනීමක් තියෙනවා නම්, ඒ හැමදේම පේන්නේ එක හේතුවක් නිසා. කුමක් නිසාද ‘ආරක්ඛො’. ආරක්ෂාව නිසා තමයි. ලෝකයේ රකින්නට දෙයක් තියෙන කෙනාට තමයි අර විදිහට වෙහෙස වෙන්න සිද්ධ වෙන්නේ, දැඩිව හැසිරෙන්නට සිද්ධ වෙන්නේ, දොස් කියන්න සිද්ධ වෙන්නේ. එයාට රකින්න දෙයක් තියෙනවා. ඒ දේ රැක ගැනීම සඳහා ලෝකයේ වෙහෙසවීම තියෙනවා හොඳට හෝ නරකට හෝ කියලා ඔහු ඒ දෙය රැකගැනීම සඳහා කටයුතු කිරීම පේනවා.
~~ මසුරු බව නිසා ආරක්ෂාව ~~
කුමක් නිසා ද ආරක්ෂාව කරන්නට අවශ්‍ය වන්නේ? ‘මච්ඡරියං පටිච්ච’ - මසුරුකම තිබුනොත් තමයි ඒ දේ රකින්නට උවමනා වෙන්නේ. මසුරුකම කියලා කියන්නේ තමාට පමණක් ම අයත් කොට තියාගන්නට ඇති කැමැත්ත. එතකොට තමා ළඟ විතරක්ම ඒ දේ තියාගන්නට කෙනෙකුට කැමැත්තක් තියෙනවා නම් අන්න ඒ දේ තමයි තමන් රකින්න උත්සාහවත් වෙන්නේ. ඒ දේ රැකගැනීම සඳහා උත්සාහවත් වෙනකොට තමයි දණ්ඩාදාන සත්ථාදාන ආදිය කරන්නට වෙන්නේ. දඬු මුගුරු ගන්න වෙන්නේ, අවි ආයුධ ගන්න වෙන්නේ එතකොට තමයි ඒ කෙනාට. එතකොට ආරක්ෂාව කියන දේ එයාට තියෙනවා මසුරු බව නිසා.
~~ පරිග්‍රහණය නිසා මසුරු බව ~~
මසුරු බව තියෙන්නේ කුමක් නිසාද? ‘පරිග්ගහං පටිච්ච’ පරිග්‍රහණය නිසා තමයි මසුරු බව තියෙන්නේ. පරිග්‍රහණය කියලා කියන්නේ 'අයත් කොට ගන්නට හිතෙන කම'. තමා අයත් කොට හිතනවා කියන කම නිසා තමන්ට අයිති කරගන්නට තියෙන කැමැත්තට කියනවා පරිග්‍රහණය.
~~ බලවත් සේ මම, මගේ කියා සනිටුහන් කිරීම නිසා පරිග්‍රහණය~~
‘අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො’ අජ්ඣොසානය කියලා කියනවා බලවත් සේ ‘මම’ ‘මගේ’ කියලා සනිටුහන් කිරීම. (ඒ කියන්නේ මේක මගේ වෙන්න ඕනේ, නැතිනම් මගෙමයි කියලා ඒ වස්තුව පිළිබඳ සනිටුහන් කර ගැනීම). ඒ 'මගේමයි' කියලා හිතපු දේ තමයි අපි ගිහිල්ලා අල්ල ගන්නේ. ඒ නිසා අජ්ඣොසානය නිසා පරිග්‍රහණය පේනවා.
~~ කැමැත්තෙන් ඇලෙනකම නිසා බලවත් සේ 'මම', 'මගේ' කියා සනිටුහන් කිරීම ~~
‘ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං’ ඡන්දරාගය නිසා තමයි අජ්ඣොසානය පේන්නේ. ඡන්ද රාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා කියන එක. කැමැත්තෙන් ඇලෙන කම නිසා තමයි අජ්ඣොසානය නැතිනම් 'මම', 'මගේ' කියලා ගත්ත බලවත් සංකල්පනාව පවතින්නේ.
~~ ලාභ අලාභ විනිශ්චය නිසා කැමැත්තෙන් ඇලීම~~
‘විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො’ විනිශ්චය නිසා තමයි කැමැත්ත තියෙන්නේ. විනිශ්චය කියලා කියන්නේ ලාභ අලාභ විනිශ්චය, හොඳ නරක විනිශ්චය. මේක වටිනවද, නැද්ද කියලා වටිනාකම සහ නොවටිනාකම පිළිබඳව කරන විනිශ්චය නිසා තමයි අපේ ඡන්ද රාගය තියෙන්නේ. ඒ ඡන්දරාගයේ වෙනස් බව පෙනෙන්නෙත් ඒ විනිශ්චය නිසාම තමයි. ගොඩක් වටිනවා කියලා අපි විනිශ්චය කරලා තියෙනවා නම් ඒකට ගොඩක් කැමැතියි. ඒ වගේම වටිනාකම ටිකයි කියලා නම් විනිශ්චයේ තියෙන්නේ ඒකට ඇලීම ටිකයි. වටින්නෙම නැහැ කියලා විනිශ්චය නම් ඒකේ අපිට ඡන්දරාගය ඇත්තේ නැහැ. ඒ නිසා ‘විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො’ විනිශ්චය කිරීමට සාපේක්ෂව තමයි ඡන්දරාගය ඇතිවීම තියෙන්නේ.
~~ ලැබීම නිසා විනිශ්චය~~
‘ලාභං පටිච්ච විනිච්ඡයො’ ලාභය නිසා තමයි විනිශ්චය තියෙන්නේ. 'ලාභය' කියන්නේ ලැබීම කියන දේ නිසා තමයි අපිට විනිශ්චය කියන දේ තියෙන්නේ. ලැබුන දේ පිළිබඳව තමයි අපි විනිශ්චය පවත්වන්නේ. ලැබෙන දේ අනුව තමයි අපි විනිශ්චයන් සිද්ධ කර ගන්නේ.
~~ සෙවීම නිසා ලැබීම ~~
ඒ වගේම ‘පරියෙසනං පටිච්ච ලාභො’ හොයන නිසා තමයි ලැබෙන්නේ. ලෝකයා යම් යම් දේවල් කාම වස්තු විෂයය අනුව වෙන්න පුළුවන් හොයන දේ නිසා තමයි ලාභය ලැබෙන්නේ. හොයන්නේ නැතිනම් ලාභයක් නැහැ.
~~ තණ්හාව නිසා සෙවීම ~~
එතකොට හොයන්නේ කුමක් නිසාද? ‘තණ්හං පටිච්ච පරියෙසනා’ තණ්හාව නිසා තමයි හොයන්නේ. තණ්හාව නිසා හොයනවා කියනකොට තණ්හාව අපි අර්ථ දැක්වූවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා අර ඇසුරු කරන, ඇලෙන්න පුළුවන් කියලා අපිට පෙනෙන හැම වස්තුවක් පිළිබඳව අපි තණ්හාව පවත්වනවා නම් තණ්හාව පවත්වන දේට තමයි ඇලෙන්නේ. ඒ ඇලෙන දේ පිළිබඳව තමයි අපි මේ පර්යේෂණය කරගෙන යන්නේ. ඒ පර්යේෂණය ඔස්සේ යන කෙනාට තමයි ලාභය ඇතිවෙන්නේ.
එතකොට මෙන්න මේ විදියට ඇතිකර ගන්න තණ්හාවට අර්ථ දෙකකින් තණ්හාව කියලා නම් කරනවා.
-- සමුදාචාර තණ්හාව
-- වට්ට මූලික තණ්හාව
** වට්ට මූලික තණ්හාව
ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ ‘තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො’ කියලා ඒ පැත්තට යන්න පුළුවන්නේ. අන්න ඒ පැත්තට යන පෙළට කියනවා ‘වට්ට මූලිකයි’ කියලා. සසර පැවැත්මට හේතුවෙන දෙයක්.
** සමුදාචාර තණ්හාව
නමුත් 'සමුදාචාර තණ්හාවයි' කියලා කියන්නේ මේ ජීවිතයේ හැසිරීම් වශයෙන් ඇතිකර ගන්න තෘෂ්ණා නිශ්‍රිතභාවය. ඒ සමුදාචාර තණ්හාව තමයි අපි මේ නව තණ්හා හා මූලික ධර්ම ඔස්සේ කතා කළේ. ඒ කියන්නේ තණ්හාව මුල් කරගත්ත ධර්මතා නවයක් අපි කතා කළා. මේ සමුදාර තණ්හාව - 'නිකාන්ති තණ්හාව' නිසා ඇතිවෙන අතුරුඵලයන්. එහෙම නැත්නම් ඒක භවය පැත්ත ගෙනල්ලා දෙන්න හේතුවෙන දේ නෙවෙයි, අද දවසේ අපේ ජීවිතයේ ජීවිත පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ ‘අපි මේ දුක් මහන්සි වෙලා වැඩ කරනවා, රැකියා කරනවා, දරු මුණුපුරන් පිළිබඳව බලනවා, අපි වගකීම් යුතුකම් ඉෂ්ට කරනවා ඒ හැම දෙයක්ම කරන්නට මුල්වෙන අකුසලය පැත්ත තමයි අපිට මේ කතා කළේ ‘සමුදාචාර පැත්ත’.
එකේ කතා කරන්නේ අර වට්ට මූලික කියන පැත්ත නෙවෙයි, වට්ටයත් ඒ අනුව ගිහිල්ලා තියෙනවා වෙනම. නමුත් ඒ පැත්ත කතා කරන්නේ සමුදාචාර තණ්හාව. තණ්හාවේ කෘත්‍ය දෙකක් තියෙනවා.
1). අද දවසේ අපේ ජීවිතය උරුම කරලා දීලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතය තණ්හාවේ (සමුදාර තණ්හාවේ) පැවැත්මක්. අපිට එදිනෙදා ජීවිතය පිළිබඳ බැසගත්ත, එදිනෙදා කටයුතු කෙරෙහි වැයවෙලා අපේ ජීවිතයේ ඇති කිරීමෙහි ලා වැය වුන තණ්හාවට කියවනවා සමුදාචාර තණ්හාව කියලා. ඒ සමුදාචාර තණ්හාවට අදාල කාරණා තමයි 'නව තණ්හා මූලික ධර්ම' විදිහට අපි ඔය කතා කළේ.
2). ඒ වගේම වට්ට මූලික තණ්හාව විදිහට 'සසර වට්ටය' හදනවා. සසර වට යන්න පුළුවන්කම තියෙනවා. සසරේ පැවැත්මක් හදනවා. එතකොට මේ සංසාර චක්‍රයක් හදනවා. ඒකට කියනවා 'වට්ටය මුල් කරගෙන පවතින තණ්හාව' කියලා. මේ තණ්හාව වට්ට මූලික තණ්හාව වෙනකොට
එතකොට ඒ සමුදාර තණ්හා ධර්මතා ටික අපේ ජීවිතය තුළ අද දවසේ දී විද්‍යමානවන දේවල්. ඒ විද්‍යමානවන දේ නිසා තමයි අපේ ජීවිතය සංකීර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් තණ්හාව නිසා උපාදානය ඇතිකරගෙන භවය ඇති කරගන්න පැත්තකටත් යනවා (වට්ට මූලික තණ්හාව) , තණ්හාව නිසා පර්යේෂණය කරලා පර්යේෂණ නිසා ලාභ උපදවලා, ලාභය නිසා විනිශ්චය ඇතිකර ගෙන විනිශ්චය ඇතිකර ගත්ත දේවල් වලට ඡන්ද රාගය ඇතිකර ගෙන, ඡන්ද රාගය ඇතිකර ගත්ත දේවල් වලට 'අජ්ඣොසානය' කියන බැස ගැනීම සිද්ධ වෙලා ඒක පරිග්‍රහණය කරලා මේ විදිහට අපිට දුක උපද්ද ගන්න පුළුවන් පැත්තකට ගිහිල්ලා අපේ ජීවිතය නිර්මාණය කරගැනීම අපි වෙන පැත්තකින් සිද්ධ කරගෙන යනවා. - (සමුදාචාර තණ්හාව)
එතකොට ඒ තමයි තණ්හාවේ තියෙන දෙආකාර පැවැත්ම. වට්ට මූලික තණ්හාව සහ සමුදාචාර තණ්හාව කියලා කොටස් දෙකකට බෙදනවා. එතනදී බොහෝවිට පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ කතා කෙරෙන්නේ වට්ට මූලික තණ්හාව. 'වට්ට මූලික තණ්හාව' කියන්නේ සසර වට්ටය පවතින්න හේතුවෙන එක ගැන. සමුදාර තණ්හාව මේ වගේ විශේෂිත ස්ථානවලදී පැහැදිලි කරලා තියෙනවා.
"ඉති ඛො ආනන්ද, ඉමෙ ද්වෙ ධම්මා ද්වයෙන වෙදනාය එකසමොසරණා භවන්ති’’ - ආනන්ද මේ ධර්මතා දෙක කිව්වේ මොකක්ද? වට්ට මුලික තණ්හාවත් සමුදාර තණ්හාවත් කියන තණ්හාවේ ඇති මේ ප්‍රභේද සහගත බව. මේ ප්‍රභේද දෙක අපිට හේතුවෙලා තියෙනවා වේදනාව එකම සරණකොට පවතින්නට. වේදනාව අනුව ගිහිල්ලා තමයි සසර හදන්නෙත්, වේදනාව අනුව ගිහිල්ලා තමයි මේ ජීවිතේ පැවැත්ම හදලා තියෙන්නෙත්.
ඒ නිසා 'යමක් සැපයි' කියලා දැක්කොත් සැප දේ ලබාගන්නට මේ ජීවිතයේත් මහන්සි වෙනවා, ඒ සැපයට තණ්හා කරලා නැවත ආත්මභාවය සකස් කරගෙන කර්ම රැස්කරගෙන සසරේ පැවැත්මත් සිද්ධ කරගන්නවා. ඒ නිසා මේ තණ්හාව කියන එකේ දෙඅකාර පැවැත්ම වේදනාව සමව සරණ කොටගෙන පවතිනවා. කොටින්ම කියනවා නම් සසරත් අපේ ජීවිතයත් එකම වේදනාව අනුව ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි වේදනාව කියන දේ සරලව කතා කළාට වේදනාව කියන දේ බොහොම ගැඹුරු දෙයක්. ගැඹුරු දෙයක් කියලා කියන්නේ, අපි අන්තිමට කතා කරලා බලනකොට වේදනාවෙන් තොර දෙයක් කතා කරන්න බැහැ වගේ. ඒ කියන්නේ වේදනාවෙන් තොර දෙයක් කතා කරන්න බැහැ කියන්නේ අපි සනිටුහන් කරන්නේ මනසින් වේදනාවත් එක්ක ගිහිල්ලා. මනස - වේදනා, සංඥානේ ග්‍රහණය කරන්නේ.
එතකොට ඒ වේදනාව ප්‍රධාන දේ. ඒ නිසා තමයි වේදනාව වෙනම ස්කන්ධයක් කියලා තියෙන්නේ. වේදනාව අනුව තමයි සංඥාව කියන දේත් තියාගන්නේ. ඒ කියන්නේ වේදනාව කියලා කතා කරන විඳීම් සහගත ස්වභාවය තමයි අපි රූපය සනිටුහන් කරන ලක්ෂණය වෙන්නේ. රළු විදිහට කිව්වොත් අපි දෙයක් මතක තියාගන්න විදිහක් තියෙනවානේ. පාරේ යන වාහනයක් දැක්කොත් ඒ වාහනයේ විශේෂත්වය මෙන්න මේකයි කියලා ඒ දේ ගැන අපිට මතක හිටිනවා. මනුස්සයෙක් දැක්කොත්, ඒ මනුස්සයාගේ විශේෂත්වය මේකයි කියලා අපිට මතක හිටිනවා. අන්න ඒ වගේ හැම අරමුණක්ම හිතෙන් ග්‍රහණය කරගන්නේ ඒ අරමුණේ තියෙන වේදනා ස්වභාවය අනුව. ඒ වේදනා ස්වභාවය අනුව තමයි ඒ අරමුණ ග්‍රහණය කරගන්නේ. සැප වේදනාවක් නම් ඒ සැප වේදනාව අනුව තමයි ඒ අරමුණ ග්‍රහණය කරගන්නේ.
ඒ කියන්නේ රූපයක් දකිනකොට ඇතිකර ගත්ත සැප වේදනාවක් නම් වේදනාව හිතේ ඉපදුන ධර්මයක් තමයි. හැබැයි හිතේ ඉපදුන වේදනාව සීල් එකක් (මුද්‍රාවක්) ගහලා වෙනම අරන් තියෙනවා ඒ වේදනාව තියෙන්නේ කොහෙද මේ රූපේ පැත්තේ කියලා, ශබ්දයක් අහනකොට ඇතිකර ගත්ත සැප සහගත වේදනාව සීල් එකක් ගහලා අරන් තියාගන්නවා ඒක තියෙන්නේ කොහෙද ශබ්දය පැත්තේ කියලා. අපිට දැන් අර විදිහේ වේදනාවක් අවශ්‍ය වෙන්නේ. වේදනාව අවශ්‍ය වෙනවා නම් මොකක්ද ඕනේ? අර රූපේ (සීල් ගහපු) ඕනේනේ. ඒ නිසා ඒ රූපේ හොයාගෙන යනවා.
වේදනාවයි ඕනේ වෙන්නේ, නමුත් වේදනාව ඕනේකමට අපිට මොකක්ද ඕනේ වෙන්නේ? ශබ්දය ඕනේ අහන්න. එතකොට අපි වේදනාව අනුව තමයි සැකැස්ම සිද්ධ කරගන්නේ. නැත්නම් වේදනාව අනුව තමයි සමව සරණව ඉන්නේ. ඒ නිසා සසරේ පැවැත්මත් සිද්ධ කරනවා වේදනාව අනුව ගිහිල්ලා. මේ ජීවිතේ පැවැත්ම කියන දේ එහෙම නැතිනම් අපේ අද සංකීර්ණ ජීවන රටාවක් පිළිබඳව අපි කතා කරනවා නම් අන්න ඒ ජීවන රටාවත් පවත්වනවා මෙන්න මේ කියන වේදනාව සමව සරණ කොට ඇති බව නිසා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 07.05.2020 වෙසක් පොහොය දින බෞද්ධයා නාලිකාව ඔස්සේ මහානිදාන සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments