මහානිදාන සුත්‍රය 5
~~ වේදනාව හේතු ප්‍රත්‍යයි ~~
වේදනාවත් ඉදප්පච්චයයි කියලා අපි කිව්වා. ඒ කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශය ඇති තැනක තමයි වේදනාව උපදින්නේ. ස්පර්ශය කියන දේ නැතිනම් වේදනාව ඇත්තේ නැහැ. ස්පර්ශය කියලා කියන්නේ චක්ඛු සම්ඵස්ස, සෝත සම්ඵස්ස, ඝාන සම්පස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනෝ සම්ඵස්ස කියන මේ ධර්මයන්ට කියනවා 'ස්පර්ශය' කියලා. ස්පර්ශය පිළිබඳව ටිකක් ලොකු කතාවක් තියෙනවා. ස්පර්ශය පිළිබඳව අපිට බොහොම ගැඹුරින් කතා කරන්නට තියෙනවා. ස්පර්ශය පිළිබඳව ඒ නිසා අපි හොඳට කල්පනාවෙන් තේරුම් ගන්නට අවශ්‍යයි. මුලින්ම තේරුම් ගත්තේ නැති වුනොත් ස්පර්ශය ගැන මේ කතා කරන න්‍යාය ඔබට හසුකර ගන්නට බැරි වෙයි.
ස්පර්ශය කියලා කියනකොට ස්පර්ශයෙහි කොටස් දෙකක් තියෙනවා.
-- පටිඝ සම්ඵස්සය
-- අධිවචන සම්ඵස්සය
**පටිඝ සම්ඵස්සය
පටිඝ කියලා කියනවා ‘ගැටීම’ කියන දෙයට. ස්පර්ශය කියලා කියන්නේ යම් දෙයක් ගෑවෙනවා, නැතිනම් එකතු වෙනවා කියලා කියන ලක්ෂණය නේ, එකතුවීම නිසා ස්පර්ශය කියලනේ කියන්නේ. එතකොට මේ ස්පර්ශය කියන බව, ස්පර්ශය කියන ලක්ෂණය ගැටෙන පැත්තෙන් ‘රළු විදිහට ගැටෙන’ දේකුත් තියෙනවා, ‘සියුම් විදිහට’ ගැටෙන දේකුත් තියෙනවා. අන්න ඒ රළු විදිහට ගැටෙන දේට කිව්වා ‘පටිඝ සම්ඵස්සය’ කියලා. එකෙත් අපි මේ රළු විදිහටයි කියලා කියන්නේ හරියට කුළු ගෙඩියකින් ගලකට ගහනවා වගේ රළු මට්ටමේ තියෙන දේ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ආයතනයන්ට අරමුණු ගැටීම කියන පැත්තෙන්.
රූප ආයතනයනයන්ට (ඇස, කන, නාසය, දිව, ශරීරය) බාහිර රූප ස්පර්ශ වෙනවා කියන එක ප්‍රකටයි අපිට. ප්‍රකටයි කියන්නේ රළු මට්ටමෙන් තේරුම් ගන්න පුළුවන් අපිට. ඇහැට නම් මේ වර්ණ සටහන ඇවිල්ලා පතිත වෙනවා චක්ඛු ප්‍රසාදයට, කනට ශබ්දය ඇවිල්ලා ගැටෙනවා, ගන්ධය ඇවිල්ලා නාසයට ගැටෙනවා, දිවට රසය තියා ගත්තහම මේ රසය දැනෙනවා දිවට, කයට නම් තට්ටු කරහම, ඇල්ලුවාහම කයට දැනෙන ගතිය තියෙනවා. මෙන්න මේවට කියනවා ස්පර්ශය කියලා. එතකොට මේ ස්පර්ශය තදයි, මේ ටික රළුයි, ඕලාරිකයි. ඒ නිසා මේකට කියනවා පටිඝ සම්ඵස්සය කියලා. ගැටීම් සහිත බවක් තියෙනවා මේකේ. තව දෙයක් ඇවිල්ලා කෙලින්ම හැප්පෙනවා. හැප්පෙන බව නිසා ගැටීම් සහගත නිසා තමයි ‘පටිඝ සම්ඵස්සය’ කියලා කියන්නේ.
කෙනෙක් හෝ දෙයක් එක්ක ගැටෙන බවක් තියෙනවා නම් අපි කියනවා ඒකට පටිඝ සංඥාව කියලා. ඒ ගැටෙනවා කියන ලක්ෂණය තමයි ‘පටිඝ’ කියන වචනයෙන් හඳුන්වන්නේ. එතකොට මේ 'පටිඝ' කියන දෙයම ස්පර්ශය විදිහට කතා කරනකොට ඒ කතා කරන්නේ වර්ණ සටහන ඇහැට ගැටෙනවා, ශබ්දය ගැටෙනවා කනට... ආදී ආධ්‍යාත්මික ආයතන වලට බාහිර ආයතන ගැටෙන එකට පටිඝ සම්ඵස්ස කියලා කියනවා.
**අධිවචන සම්ඵස්සය
අධිවචන සම්ඵස්ස කියලා කියනවා නාම ධර්මයන්ගේ ඇති ස්පර්ශය. ඒක හරි සියුම්. අපිට තේරෙන්නේ නැහැ. ඒ ඒ ධර්මයන් එකට එකතු වෙලා තියෙනවා කියලා, එකට මිශ්‍රවෙලා තියෙනවා කියන නාම ධර්මයන්ගේ මිශ්‍ර වීම කියන එක පේන්නේ නැහැ අපිට. ඒ පේන්නේ නැති නිසාම අප්‍රකටයි. ඒ නිසා හිතේ ඇති චිත්ත චෛතසික ධර්මතා වල එකට එක ස්පර්ශ වෙනවා කියන ගතිය හඳුන්වනවා ‘අධිවචන සම්ඵස්සය’ කියලා.
පටිඝ සම්ඵස්සය - රූප ධර්මයන්ගේ ඇතිවෙන දෙයක්.
අධිවචන සම්ඵස්සය - නාමයේ ඇතිවන දෙයක්.
චක්ඛු සම්ඵස්ස, සොත සම්ඵස්ස, ඝාන සම්පස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස කියලා අපි කතා කරනකොට
අපිට කතා කරන්න පුළුවන් එක පැත්තකින් පටිඝ සම්ඵස්සය විදියටත් තව විදිහකින් අධිවචන සම්ඵස්සය විදිහටත් බෙදලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. යමක් ස්පර්ශ වුනොත්නේ වේදනාවක් ඇති වෙන්නේ, ගැටුනොත් තමයි වේදනාවක් ඇති වෙන්නේ. අන්න ඒ ස්පර්ශය වුන නිසා වේදනාව හටගන්න නිසා කිව්වා “ඵස්ස පච්චයා වේදනා” කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ කියලා.
~~ ස්පර්ශය හේතු ප්‍රත්‍යයි ~~
ස්පර්ශය කියන දේත් කුමක් ප්‍රත්‍ය කරගෙන ද පවතින්නේ කියලා ඊළඟට අහනවා. ස්පර්ශය කියන එකත් අපි ඉදප්පච්චයතායි කියලා කිව්වා, යමක් ඇති කල්හි තමයි ස්පර්ශය ඇති වෙන්නේ තනිවම ඒක හටගන්නේ නැහැ කියලා. කුමක් ඇති කල්හි ද ස්පර්ශය හටගන්නේ - නාම රූප ඇති කල්හි ස්පර්ශ වෙනවා. සාමාන්‍යයෙන් අපිට පුරුදු පරියාය තමයි “සළායතන පච්චයා ඵස්ස” - ආයතනයකට තමයි ස්පර්ශ වෙන්නේ කියන එක. නමුත් මේ මහානිදාන සුත්‍රය විශේෂ පරියායක්. ආයතන ගැන කතා කරන්නේ නැහැ. ආයතනය අමතක කරලා දාලා “නාමරූප පච්චයා ඵස්ස” නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය කියලා කතා කරන්නේ.
~~ නාමරූප නිසා කොහොමද ස්පර්ශය ඇතිවෙන්නේ~~
නාමරූප නිසා ස්පර්ශ වෙනවා කියන එක මේ ශාසනයේ බොහෝ කොට කතා කරන පරියායන්ගෙන් තැනක්. නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන එක අපි හිතලා නුවණින්ම තේරුම් ගන්න අවශ්‍ය තැනක්. මම හිතනවා පටිච්චසමුප්පාද න්‍යායේ අපි තේරුම් ගත යුතුම තැන තමයි නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් කොහොමද වේදනා තණ්හා ආදිය ගොඩනැඟෙන්නේ කියන මේ කාරණා ටික. ඒ කියන්නේ නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියන මේ බව තේරුම් ගත යුතුමයි නිරෝධය සාක්ෂාත් කරන කෙනකු විසින්, එහෙම නැතිනම් එතන තමයි අල්ලගන්න ඕන තැන. එතන තමයි නුවණ පහළවන තැන බවට පත්වෙන්නේ.
එතකොට ස්පර්ශය කියලා කියනකොට මේ ස්පර්ශය නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. කලහවිවාද සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල ‘‘නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” නාමරූප නිසා ස්පර්ශය ඇතිවෙනවා කියලා දක්වනවා. නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගන්නවා කියන මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ටිකක් සංකීර්ණ විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබත් ටිකක් කල්පනාවෙන්ම අහගෙන ඉන්නට වෙනවා.
-- රූප කයෙහි අධිවචන සම්ඵස්සයක්??
“යෙහි ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි නාමකායස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො රූපකායෙ අධිවචනසම්ඵස්සො පඤ්ඤායෙථාති"? - “ආනන්ද, යම් ආකාරයකින්, යම් ලිංගයකින්, යම් නිමිත්තකින්, යම් උද්දෙසෙයකින් නාම කයෙහි පැනවීමක් තියෙනවා නම්, ඒ නාම කයෙහි ඒ ලිංග නිමිති පෙනෙන්නේ නැති වෙනකොට නාම කයේ ඒ පැනවීම නැත්නම් රූප කයෙහි අධිවචන සම්ඵස්සයක් පැනෙයි ද” කියලා අහනවා.
එතකොට කෙනෙක් ටිකක් ව්‍යාකූලත්වයට පත්වෙන දෙයක් මෙතන තියෙන්නේ. අපි කිව්වා ‘පටිඝ සම්ඵස්සය’ කියන්නේ රූප ධර්මයන් අතර ඇතිවෙන දෙයක් කියලා. ‘අධිවචන සම්ඵස්සය’ කියන්නේ නාම ධර්මයන් පිළිබඳව හටගන්න දෙයක් කියලා. දැන් මෙතනදි කියනවා යම් ආකාර ලිංග නිමිති වලින්, ඒ කියන්නේ යම් යම් විදිහකින් අපි යම් යම් හැඳින්වීමකින් නාමයයි කියලා කතා කරනවා නම්, ඒ නාමය පනවන්නේ නැත්නම්, නාමය කියලා දෙයක් පනවන්න බැහැ නම්, ඒ නාමය කියන දේ පනවන්න බැරි තැනක රූප කයෙහි අධිවචන සම්ඵස්සය පෙනෙයිද කියලා අහනවා. දැන් අපි දන්නේ රූප කයෙහි පටිඝ සම්ඵස්සය ඇතිවෙනවා කියලා නේ. හැබැයි මෙතනදී අහන ප්‍රශ්නය තමයි රූප කයෙහි අධිවචන සම්පස්සයක් පෙනෙයිද කියලා?
නාමය පනවන්නට බැහැ නම් යම් ආකාරයකින්, ඒ නාමය පනවන්නට බැරිකම නිසා රූප කය පිළිබඳවවන අධිවචන සම්ඵස්සයක් පෙනෙයි ද? මේක බොහොම ගැඹුරු ඒ වගේම මේ විශේෂතම සිද්ධාන්තය විග්‍රහ කරගන්නට වෙන්නේ අපිට මේ කාරණාව ඔස්සේ ගිහිල්ලා. යම් ආකාර ලිංග නිමිති වලින් නාම කයෙහි පැනවීමක් නැත්නම් කියන එක අදහස් කරන්නේ නාම ධර්මතාවල එකතු වීමක් නැත්නම් කියන එක. නාම ධර්මතාවයේ පැනවීමක් නැත්නම්, නාමය හටගන්නේ නැත්නම්, එහෙම හටගන්නේ නැතුව තියනකොට රූප කය පිළිබඳව අධිවචන සම්ඵස්සය පෙනෙයිද? අපි මෙතනින් වෙන්කර ගමුකෝ රූප කය පිළිබඳව අධිවචන සම්ඵස්සයක් පෙනෙයි ද කියන එක.
මොකක්ද රූප කය පිළිබඳව පෙනෙන අධිවචන සම්ඵස්සය? අපිට ඇහැට රූපයක් ගැටුනාට පස්සේ ඇහැට රූපයෙහි ගැටීමට අපි කියනවා ‘පටිඝ සම්ඵස්සය' කියලා. කොයි වෙලාවකවත් පටිඝ සම්ඵස්සය අපිට දැනගන්න බැහැ, දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ‘පටිඝ සම්ඵස්සය දැනගන්නවා’ කියන බව යෙදෙන්නේ නැහැ. ඇයි? වර්ණ සටහන පතිත වෙන්නේ කොහෙටද - චක්ඛු ප්‍රසාදයට. චක්ඛු ප්‍රසාදයට පතිතවෙන බව නේ පටිඝ සම්ඵස්සය කියලා කිව්වේ. එතකොට මේ පටිඝ සම්ඵස්සය කියලා කතා කරන මේ ලක්ෂණය අරමුණු කරන බව, නැතිනම් රූපය දැනගන්න බවට වැයවෙන රූපය දැනගැනීම පැත්තට නැඹුරුවෙන සිතට කියනවා 'චක්ඛු විඤ්ඤාණ සිත' කියලා.
“චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සඞ්‌ගති ඵස්සො” ඇස ද නිසා රූපය ද නිසා චක්ඛු විඤ්ඤාණය හටගන්නවා, තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය කියන දේ මෙතන පැනෙව්වේ දෙන්නෙකුගේ එකතුවෙන් නෙවෙයි තුන් දෙනෙකුගේ එකතුවෙන්. තුන් දෙනෙකුගේ එකතුවෙන් නම් මෙතන පනවන්නේ මේ ස්පර්ශය, අර පටිඝ සම්ඵස්සය අපිට හැම මොහොතකම ප්‍රකට වෙන්නේ අධිවචන සම්ඵස්සය පැත්තෙන්. ඇහැට වර්ණ සටහන පතිතවීම කියන පටිඝ සම්ඵස්සය අපිට ප්‍රකට වෙන්නේ අර මනසිකාරය යෙදිලා චක්ඛු විඤ්ඤාණයත් යොමු වුණාට පස්සේ ඇතිකර ගන්න අධිවචන සම්ඵස්සයක් විදිහට තමයි අපිට මේ ස්පර්ශය කියන එක ප්‍රකට වෙන්නේ.
කොයි වෙලාවකවත් කෙලින්ම පටිඝ සම්ඵස්සය දැනෙන්නේ නැහැ හිතට. හිතට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ‘අධිවචන සම්ඵස්සය’ පැත්ත. රූප ධර්මතා දෙකක ගැටීම විතරයි පටිඝ සම්ඵස්සය කියලා කියන්නේ. හැබැයි එතන චක්ඛු විඤ්ඤාණයත් යෙදුණාට පස්සේ තමයි එතන හටගන්නේ “තිණ්ණං සඞ්‌ගති ඵස්සො” කියන අවස්ථාව. තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියන තැන. එතකොට තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි නම් එතැන ඒ නාම රූප කියන දෙකම නිසා තමයි මේ කියන ස්පර්ශය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. නාමයත් නිසා අර රූපයත් නිසා තමයි මෙතන ස්පර්ශය කතා කරන්න පුළුවන්කම තියෙන්නේ.
එහෙනම් මේ කතා කරන තැන පටිඝ සම්ඵස්සය අයින් කරලා කතා කරන්න බැහැ. හැබැයි පටිඝ සම්ඵස්සය කියන රූප කය පිළිබඳව වූ ස්පර්ශය ප්‍රකට වීම සිද්ධ වෙනවා නාම කය පැත්තෙන්, එහෙම නැතිනම් අධිවචන සම්ඵස්සයක් විදිහට තමයි ප්‍රකට වීම වෙන්නේ. යම් විදිහකින් නාම ධර්මයන්ගේ පැනවීමක් නැත්නම්, රූප කයෙහි අධිවචන සම්ඵස්සයයක් පෙනෙයිද කියලා අහනවා. මම මෙහෙම කිව්වොත්, ආයතන ගොඩනැගෙනවානේ, ආයතන හයම එක මොහොතක සකස් කෙරෙනවා. හැබැයි අපිට ප්‍රසාද රූප පහම බිඳෙන බව අපිට අරමුණු වෙනවද නැතිනම් එක ප්‍රසාද රූපයක් බිඳෙන බව විතරද හිතට අරමුණු වෙන්නේ? එක මොහොතකට එකයි. හැබැයි අනිත් ඒවා බිඳිලා යනවා නේ.
කනටත් ශබ්ද ඇහෙනවා, හැබැයි ඇහැට රූප පෙනෙන වෙලාවට කනට ශබ්දය දැනගන්න බැහැ. සොත ප්‍රසාදය බිඳිලා එතන පටිඝ සම්ඵස්සයක් සිද්ධ වුනානේ. හැබැයි පටිඝ සම්ඵස්සයක් සිද්ධ වුණ බවට කවදාවත් දැනුමක් නැහැ. ඇයි එතන නාම ධර්මයක පහළ වීමක් තිබුණේ නැහැ. ඒ කෙරෙහි මනසිකාරය නැමිලා තිබුණෙ නැහැ, සොත විඤ්ඤාණයෙහි කෘත්‍යය සිද්ධ කළේ නැහැ එතන. ඒ නිසා නාම රූපයෙහි මිශ්‍රව ගියපු බවක් තිබුනේ නැති නිසා එතැනදී අපිට කතා කරන්න බැහැ ස්පර්ශයේ පැනවීමක්. ඒ කියන්නේ එතන අධිවචන සම්ඵස්සයක් නැහැ. ඒ ඇයි? නාමයෙහි පැනවීමක් නැහැ එතන.
සොත විඤ්ඤාණය කියන අවස්ථාවේ අපි කතා කරනවා නම් ඒ ධර්මතා ටික නාමයයි කියලා ඒ මොහොතේදී ඒ නාමයෙහි පැනවීමක් නැහැ. යම්කිසි තැනක නාම කයෙහි පැනවීමක් නැත්නම් අර පටිඝ සම්ඵස්සය පිළිබඳව අපිට දැනගන්න පුළුවන් අධිවචන සම්ඵස්සයක පහළවීමක් නැහැ. ඒ නිසා යම් ආකාර ලිංග, නිමිති, උද්දේස ආදිය නිසා නාම කයෙහි පැනවීමක් නැත්නම් ඒ නැති විටක රූප කය පිළිබඳව අධිවචන සම්ඵස්සයන්ගේ ප්‍රකට වීමක් කොහෙත්ම සිද්ධවෙන්නේ නැහැ නාම ධර්මයන්ගේ පැනවීමක් නැත්නම්.
-- නාම කය පිළිබඳව වූ පටිඝ සම්ඵස්සයක් ??
ඊට පස්සේ දෙවෙනි කාරණාව. ඒකෙ අනිත් පැත්තට පෙන්වනවා, “යෙහි ආනන්ද ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි රූපකායස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො නාමකායෙ පටිඝසම්ඵස්සො පඤ්ඤායෙථා’’ති?” - “ආනන්ද, යම් ආකාරයකින් ලිංග, නිමිති, උද්දේසයන්ගෙන් (ඒ කියන්නේ ස්වභාව වශයෙන්, නිමිති විදිහට, උදෙසීම් විඳිහට) රූප කයෙහි පැනවීමක් නැත්නම් නාම කය පිළිබඳව වූ පටිඝ සම්ඵස්සයක් පෙනෙයිද කියලා අහනවා. ඉස්සෙල්ලා කිව්වේ රූප කයේ අධිවචන සම්ඵස්සය, ඒකෙ අනිත් පැත්ත කියන්නේ. නාම කයේ තියෙන්න ඕනේ අධිවචන සම්ඵස්සය නේ, හැබැයි දැන් මෙතනදි අහන්නේ නාම කය පිළිබඳව වූ පටිඝ සම්ඵස්සයක් තියෙනවද කියලා?
නාම කය පිළිබඳව වූ පටිඝ සම්ඵස්සයක දැනගැනීමකට යන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට රූපය ගැටුනා කියලා පටිඝ සම්ඵස්සය පිළිබඳව යම් අරමුණක් දැනගන්නවා නම් දැනගන්නේ ඇහැ, රූප දෙක තිබුනොත් නේ. ඇහැට රූපය පතිත වුනොත් තමයි ඒ අරබයා අපිට නාම ධර්මතා ටිකකින් ස්පර්ශය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්නේ. නාම ධර්මතා ටිකකින් අර පටිඝ සම්ඵස්සය ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ නැතිනම් නාම ධර්මතා ටිකකින් පටිඝ සම්ඵස්සය කියන දේ ඔසවලා තබන්න පුළුවන් වෙන්නේ. චක්ඛු විඤ්ඤාණය පහළ වෙන්න ඇහැ හැදිලා තියෙන්න එපැයි, රූපය හැදිලා තියෙන්න එපැයි. හැබැයි ඇහැ රූප දෙකේ පැනවීමක් නැත්නම්?
අපි හිතමු ඇස් නොපෙනෙන කෙනෙකුට (අන්ධයෙකුට) ඇහැ රූප පැත්තෙන් එන පටිඝ සම්ඵස්සය කියන දේ පනවන්න පුළුවන් කමක් නැහැ නේ. ඇයි එයාට රූප කයෙහි පැනවීමක් නැහැ. ඇහැ රූප කියන දෙකට විතරක් වෙන් කරලා ගන්නකෝ, ඇහැ රූප දෙක විතරයි නම් ඇහැ රූප දෙකේ පැනවීමක් නැත්නම්, එතකොට ඇහැ රූප දෙකේ පැනවීමක් නැති කල්හි එයාට චක්ඛු විඤ්ඤාණ කියන නාම ධර්මයත් එකතු වෙලා “තිණ්ණං සඞ්‌ගති ඵස්සො” කියන තැනින් හදන ස්පර්ශය පටිඝ සම්ඵස්සය පිළිබඳව වූ අධිවචන සම්ඵස්සයක් හදන්නත් බැහැ. අධිවචන සම්ඵස්සය (නාම ධර්මතා නිසා ප්‍රකට කරන) පටිඝ සම්ඵස්සය පේන්නෙත් නැහැ. අඤ්ඤ මඤ්ඤ භාවයක් පිළිබඳව මේ කතා කරන්නේ. නාම රූප ධර්මයන්ගේ ඇති සම්මිශ්‍ර භාවය පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ.
යම්කිසි විදිහකින් රූපය ගැන කතා කරනකොට අපිට ඇහැට වර්ණ සටහන පතිත වුණා කියලා පේන එකට කියනවා පටිඝ සම්ඵස්සය කියලා, ඒ අනුව ඇතිකර ගත්ත හිත යෙදුනාට පස්සේ ඒ ඇතිවෙන ස්පර්ශයට අපි කියනවා ( හිතේ ඇති වෙන දේට) අධිවචන සම්ඵස්සයයි කියලා. නාම ධර්මතා ටික නැත්නම් එයාට මේ රූපය ගැන දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා කිව්වා නාමය කියන එක පනවන්න බැහැ නම් රූපය අරබයා රූපය කෙරෙහි උපදින අධිවචන සම්ඵස්සය පවතින්නේ නැහැ කියලා, ඇයි? නාමය කියලා පැනවීමක් නැති නිසා.
ඒ වගේම ඒකෙ අනිත් පැත්තට කිව්වා - රූපය කියන එකේ පැනවීමක් නැත්නම්, රූපය කියන එකේ පැනවීමක් නැති තැනක අපිට නාම ධර්මතා ටික නිසා ප්‍රකට වෙන පටිඝ සම්ඵස්සයක් පේන්නෙත් නැහැ. ඇහැට රූපය ගැටුනා කියලා පටිඝ සම්ඵස්සය පැත්තට ඇඟිල්ල දික් කරන්නේ නාම ධර්මතා ටික නිසා ඒක දැනගත්ත නිසා නේ. හැබැයි ඒ නාම කය කෙරෙහි අපිට රූපය තියෙනවා කියලා කියන්න බැහැනේ ඇහැ රූප දෙක එකතු වෙලා නැත්නම්. එතකොට මේ කියන්නේ නාම රූප සම්මිශ්‍ර භාවයක් පිළිබඳව. නාම රූප දෙක එකතුවෙන ස්වභාවය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. නාම රූප සම්මිශ්‍ර භාවය නැත්නම් මේ දේ උපදින්නේ නැහැ. මේ නාම රූප සම්මිශ්‍ර භාවය ඇති තැනක තමයි ස්පර්ශය කියන දේ ප්‍රකට වෙන්නේ. එහෙම නැතිනම් ස්පර්ශය කියන දේ කොහෙන්වත් ප්‍රකට කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
ඒ නිසා නැවත සංග්‍රහ කරනවා ‘‘යෙහි ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි නාමකායස්ස ච රූපකායස්ස ච පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො අධිවචනසම්ඵස්සො වා පටිඝසම්ඵස්සො වා පඤ්ඤායෙථා’’ති?” “ ආනන්ද, යම් ආකාර ලිංග, නිමිති, උද්දේසයන්ගෙන් නාම කය, රූප කය කියලා පැනවීමක් කරනවා නම් මේ දෙකම නැත්නම් ආනන්ද මේ අධිවචන සම්ඵස්සය, පටිඝ සම්ඵස්සය කියලා යමක් පෙනෙයිද කියලා අහනවා. ‘‘නො හෙතං, භන්තෙ’’ ස්වාමීනී මේක වෙන්නේ නැහැ.
අපි කලින් පැහැදිලි කරපු එක සරල විදිහටම කිව්වොත් එහෙම නාම ටික නැත්නම් රූපය ගැන දැනගැනීමක් නැහැ. රූපය නැත්නම් නාම ධර්මතා ටික දැනගැනීමක් නැහැ කියලයි මේ තව විදිහකින් කිව්වේ. එතකොට නාමය සහ රූපය කියලා දෙකම පැනවීමක් නැත්නම් අධිවචන සම්ඵස්සය සහ පටිඝ සම්ඵස්සයයි කියලා ස්පර්ශය ගැන පනවන්න තැනක් ඇත්තේ නැහැ. එහෙනම් නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියලා ආනන්ද මේ කාරණාව මෙසේ දැනගන්න. නාමරූප නැත්නම් ස්පර්ශ වෙන්නේ නැහැ. නාමරූප නිසා තමයි ස්පර්ශය වෙන්නේ කියලා මේ කාරණාවෙන් දැනගන්න.
එතකොට මේ සිදුවීම ඇතුලේ ලොකු විග්‍රහයක් කියවුනා. බොහෝ කොට විග්‍රහ කරන්නට පුළුවන් ඒ වගේම සියුම්ව තේරුම් ගත යුතු ඉතාමත්ම ගැඹුරු කාරණාවක්. අපිට රූපය හමුවන තැනක ඇති යථාර්ථය පිළිබඳව එක පැත්තකින් මේ කතා කළේ. ඇහැට වර්ණ සටහනක් පේනවා කියලා අපි කතා කරනවා නම් පේන වර්ණ සටහන කියලා අපි ඒ පිළිබඳව ඇසුරු කරන්නේ නාම ධර්මතා ටික ඇති තැනක, නාම රූප ප්‍රත්‍ය නිසයි මේක පෙනිලා තියෙන්නේ. ඒ වගේම නාමරූප ධර්මතා ටිකක සමවාය නැත්නම් මේකේ පෙනීමක් නැහැ කියන එක අපිට පෙන්වලා තියෙනවා.
එතකොට ඒ දර්ශනය හරිම වැදගත් ආයතන භාවනාව කරන කෙනෙකුට, ආයතන වඩන කෙනෙකුට නාමරූප නිසා ස්පර්ශය වෙනවා කියලා කතා කරන මේ පරියාය. එතකොට කෙනකුට හිතෙන්න පුළුවන් ඇයි මෙතන ආයතන නැද්ද කියලා. ඇත්තටම නාම රූප කියලා කතා කරන තැන ආයතන තියෙනවා. නාම රූප කියලා කතා කරන තැන විඤ්ඤාණයෙහි පහළ වීමක් තියෙනවා. මේ කෘත්‍ය දෙකම මෙතැනදී සිද්ධවෙලා තියෙනවා. නාම රූප කියන දේ ගැන කතා කරන එක පිළිබඳව ඒ නිසා අර්ථ දක්වනවා ‘චක්ඛු, රූප, විඤ්ඤාණ සඞ්‌ගති භාව’ කියලා. ඒ කියන්නේ ඇසයි රූපයයි විඤ්ඤාණයයි කියන ටිකේ එකතු කරගත්ත බවයි මේ කතා කරන්නේ කියන එක.
එතකොට නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියන තැනක තියෙන්නේ මොකක්ද, ස්පර්ශයේහි ලක්ෂණය තමයි චක්ඛු (ආධ්‍යාත්මික ආයතන), රූප (බාහිර ආයතන), විඤ්ඤාණ කියන ටික එකතු කරගත්ත කම. නාමරූප කියන තැන එහෙනම් එතන රූපයෙන් රූපයත් ඒ නාමය කියන එකෙන් වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පංචකයක නියෝජනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ රූපය පැත්තෙන් ඇහැ - රූපයත් ඒ වගේම චක්ඛු විඤ්ඤාණ ආදී සිත කියනකොට සිත විතරක් තනියම තියෙන්නේ නැහැනේ, එතන වේදනා, සංඥා, සංස්කාර කියන අනෙකුත් නාම ධර්මතා ටික නිසාත් තමයි නාම රූප ප්‍රත්‍යයෙන් ම තමයි මේ ස්පර්ශය හදලා තියෙන්නේ.
එතකොට “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියනකොට නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියනකොට එතන ස්පර්ශයේ චක්ඛු, රූප, විඤ්ඤාණ සඞ්‌ගති භාව - චක්ඛුව, රූපය, විඤ්ඤාණය කියන දේ එකතු කර ගත්ත බව තමයි එතන ස්පර්ශය කියලා කියන්නේ.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 07.05.2020 වෙසක් පොහොය දින බෞද්ධයා නාලිකාව ඔස්සේ මහානිදාන සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments