මහා නිදාන සූත්‍රය 6


මහානිදාන සුත්‍රය 6

~~ පට්ච්චසමුප්පාද න්‍යාය වඩා සුක්ෂමව විමසීමට නම් ~~

ඇත්තටම නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙන්නේ කොහොමද කියන පරියාය හොයාගන්න වෙනවා නම් එයාට හොයාගන්න වෙන්නේ නාමරූප කියන්නේ මොනවාද කියන එක ඇතුලත තියෙන සිදුවීම හොයන්න වෙනවා නම් අභිධර්මය තුළ කොහොමද කතා කරන්නේ කියන පරියායත් එක්ක තමයි එයාට මේක සසඳන්න වෙන්නේ. ඒ කියන්නේ අභිධර්මය තුළ කතා කරන පරියායක් තියෙනවා, ඒ පරියාය බොහොම සියුම්ව බෙදා දක්වන දෙයක්. එතකොට එතන නාමය මොකක්ද රූපය මොකක්ද කියලා වෙනම දක්වන නිසා නාමරූප නිසා සළායතන හැදෙනවා හෝ නාමරූපයන්ට ස්පර්ශ වෙනවා කියන තැනකදී නාමරූප බෙදලා දක්වන කොට එතන රූපය කියන එක චක්ඛායතනය ආදී කියලා ආයතන කෘත්‍ය සිද්ධ කරලා එක ආයතනයකට යොමුවෙන පැත්තක් ගැන කතා කරන්නේ.

ඒ කියන්නේ “යං රූපං නිස්සාය මනො විඤ්ඤාණ ධාතු ච වත්තන්ති” කියන තැනින් යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඤ්ඤාණ ධාතුව පවතිනවා නම්, අන්න ඒ වස්තු රූපය ඇසුරු කරගත්ත මට්ටමේ රූපය තමයි එතනදී කතා කරන්නේ. ‘වස්තුව ඇසුරු කරගත්ත මට්ටමේ රූපයයි’ කියන කොට ඒ රූපය වෙනස් අනෙක් තැන්වල අර්ථ දක්වන රූපයට වඩා. ඒ කියන්නේ අපි නාමරූප කියලා ගොඩක් තැන්වල කතා කරනවානේ. නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා කියලත් කතා කරනවා, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා කියලත් කතා කරනවා, නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන වෙනවා කියලා කතා කරනවා. නැතිනම් නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියලත් කතා කරනවා.

~~ සෑම තැනකම නාමරූප විග්‍රහය එකක්ද ? ~~

අපිට හිතෙන්න පුළුවන් මේ හැම තැනකම තියෙන්නේ එකම නාමරූප ද කියලා. නැහැ, මේ නාමරූප අර්ථ දැක්වීම ඒ ඒ තැනට වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වෙන එක හොයාගන්න ඕන නම් කෙනෙකුට ඒ කෙනාට නාමරූප ධර්මයන් ගැන වෙනස්වීම හොයාගන්න වෙන්නේ අභිධර්ම පරියායට ගිහිල්ලා ඒ ඒ තැන තියෙන සිත් වශයෙන් එතන තියෙන බෙදීම පටිච්චසමුප්පන්නව තේරුම් අරගෙන. මොකද ඒ කාරණා ටික පිළිබඳව පටිච්චසමුප්පාද න්‍යාය ගවේෂණය කරගෙන යනකොට සූත්‍ර ක්‍රමයට පමණක්ම අර්ථ දක්වන්නට පුළුවන් කමක් නැහැ, ඒකේ ගැඹුරු විවරණයන් අභිධර්ම පර්යාය තුළ බොහොම පැහැදිලිව විග්‍රහ වෙනවා.

සමහර වෙලාවට සූත්‍ර පරියායෙන් අභිධර්මයෙන් බෙදිය යුතු ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියොත් එහෙම එතන මහා ලොකු විකෘතියක් ඇතිවෙනවා. නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය හටගන්නවා කියන එක ගත්තොත්, එතනදී නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා කියන තැන දී නාමය ඇතුලේ විඤ්ඤාණය නැහැනේ. එතන නාම ධර්මතා ටික ඇතුලේ වේදනා, සඤ්ඤා, සංඛාර කියලා කතා කරනවා එහෙම නැත්නම් වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියලා කතා කරනවා - ඒ නාම ධර්ම ඇතුළෙ විඤ්ඤාණය නැහැ.

එතකොට ඒ විඤ්ඤාණය නැති ලක්ෂණය අපි කතා කරනවා නම් ‘නාමරූප පච්චයා ඵස්ස’ කියන තැනට පොදු කරලා අර නාමයමයි (නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය කියන තැන නාමය මයි) මෙතන තියෙන්නේ කියලා කතා කරනවා නම්, ඒක ගැලපෙන්නේ නැහැ. ඒ මොකද, විඤ්ඤාණයක බැස ගැනීමක් නැතුව, විඤ්ඤාණයක පහළවීමක් නැතුව නාමරූප ප්‍රත්‍යයෙන් කෙලින්ම ස්පර්ශය විතරක් ගෙනල්ලා දෙන්නේ නැහැ. එතන තියෙනවා සළායතන කෘත්‍යය. සළායතනය නම් එතන චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ ආදි ඒ විඤ්ඤාණ කෘත්‍යය එතැන සිද්ධ කරලා තියෙනවා.

එහෙනම් එතන ඇහේ පැවැත්ම තියෙනවා, එතන රූපයෙහි පැවැත්ම තියෙනවා. එතකොට “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” එහෙම නැතිනම් ‘නාමරූප පච්චයා ඵස්සො’ කියන තැනදී නාම-රූප දෙක විතරක් නෙවෙයි ස්පර්ශය හදලා තියෙන්නේ. ඒක කොහොමද ප්‍රත්‍ය වුණේ කියලා වෙනම හොයන්න වෙනවා. එතකොට නාමරූප කියලා කතා කරන දෙක ඇතුලේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යවන බව තියෙනවා. ඒ ප්‍රත්‍ය ගැන තමයි අපි කතා කළේ ඉස්සෙල්ලා පටිඝ සම්ඵස්සය සහ අධිවචන සම්ඵස්සය කියලා දෙකට බෙදලා නාමරූප ධර්මයන්ගේ පැනවීම ගැන කතා කරනකොට.

එතකොට එතන පටිඝ සම්ඵස්සයකුත් තියෙනවා, අධිවචන සම්ඵස්සයකුත් තියෙනවා. පටිඝ සම්ඵස්සය අපි ඇසුරු කරන්නේ අධිවචන සම්ඵස්සයකින් කියන එක එතැනදී අපි පැහැදිලි කරගත්තා. ඒ කාරණාව අභිධර්ම පරියායට අනුව බලන්න යනකොට අපිට කියනවා ඇහැ රූප දෙක පුරෙජාත යි. (ඇහැ රූප දෙක කලින් හටගන්නවා). ඒ වගේම නාම ධර්මතා ටික පච්ඡාජාත යි - නාම ධර්මතා ටික පසුව හටගන්නේ. ඒ වගේම එතන හටගන්න නාම ධර්මතා ටික පච්ඡාජාත වෙනවා වගේම සහජාත යි (ඔක්කොම එකට පවතින්නේ).

වේදනාව ඉස්සෙල්ලා හටගෙන සඤ්ඤාව ඊට පස්සේ උපද්දලා ඊට පස්සේ අපි චේතනාව හදාගෙන ඊට පස්සේ මනසිකාරය කරලා එහෙම යන එකක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒවා සහජාත යි. ඔක්කොම එකට උපදින්නේ. ‘ඒකුප්පාද’ - එකටමයි හටගත්තේ ඒ ධර්මය. එකක්වත් පෙර පසු කතා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එකට ඉපදුනා. ඇහැ රූප දෙක විතරක් පුරෙජාත වුණා. එතකොට ඒ ඇහැ රූප දෙක වූ පුරෙජාත වස්තූන්ගේ ස්පර්ශය 'පටිඝ සම්ඵස්සය' කියලා කිව්වා. පච්ඡාජාත වුන නාම ධර්මයන්ගේ ස්පර්ශය එතැනදී 'අධිවචන සම්ඵස්සයයි' කියනවා. ඒ කතා කරන්නේ 'ස්පර්ශය' කියන එක නාමරූප දෙකට විතරක් පොදු කරලා කතා කරනකොට නාම රූප දෙක ඇතුලේ කතා කරනකොට කතා කරන පරියාය.

ඒකට අපිට ගන්න වෙන්නේ පින්වතුනි, අභිධර්ම පිටකය තුළ විභඞ්ගප්පකරණයෙහි පටිච්චසමුප්පාද විභඞ්ගයේ - බෙදා දක්වන චක්ඛු විඤ්ඤාණ සිතෙහි කොහොමද පටිච්චසමුප්පාදය බෙදන්නේ කියන පරියායත් එක්ක. පට්ඨාන ප්‍රකරණයේ ප්‍රත්‍ය ධර්මතාවයන්ගෙන් මොන මොන ප්‍රත්‍යයන්ගෙන් ද ප්‍රත්‍ය වෙන්නෙ කියන එකත් එක්ක තමයි එතන කෙනකුට නුවණ පවත්වන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ දැනුම් පද්ධතිය ප්‍රතික්ෂේප කළොත් එහෙම යම් විදිහකින් ඒ කෙනා හිතනවා කෙලින්ම නාමරූපය නිසා ස්පර්ශ වෙනවා කියලා.

~~. වර්තමායේ අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් ~~

නාමරූපයට යමක් ස්පර්ශ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ස්පර්ශය අරබයා එහෙම නාම රූපයක පැවැත්මක් ඒ විදිහට විජානනයක ලක්ෂණයක් නැතුව පනවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නාමරූප නිසා ස්පර්ශයයි කියන තැනදි එතන නාමයට අයිති වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන ඔක්කොම. සමහර වෙලාවට මේ කාරණා අපි සියුම්ව බෙදා නොගත්තොත් අපිට පේනවා සමාජය තුළ සමහර වෙලාවට ස්ව මතය ඉදිරිපත් කිරීම වෙනුවෙන් අභිධර්ම පිටකය පවා ප්‍රතික්ෂේප කරනවා බුද්ධ දේශනාව නෙවෙයි කියලා. මේක හරිම භයානක තත්ත්වයක් ඉස්සරහට ඇතිවෙන්න පුළුවන්, ඇතිවෙන තත්ත්වයක්.

මොකද චක්ඛු විඤ්ඤාණ සිත පිළිබඳව අපි කතා කරනවානේ චක්ඛු විඤ්ඤාණ සිතෙන් වෙන කිසිම දෙයක් දැනගන්න බැහැ රූපය දැනගැනීම විතරයි චක්ඛු විඤ්ඤාණ සිතෙන් කරන්න පුළුවන්, රූපය දැනගන්නෙත් සත්වයෙක්, පුද්ගලයෙක් විදිහට නෙවෙයි. ඒක පැහැදිලිවම විභඞ්ගප්පකරණ ඣානවිභඞ්ගයේදී පැහැදිලි කරනවා. චක්ඛු ප්‍රසාදයට පතිතවෙන අභිනිපාත මාත්‍රය පමණයි දැනගන්න පුළුවන් කියන එක. එතනින් එහාට කිසිම දෙයක් දැනගන්න බැහැ. ඊට පස්සේ සිතටත් බැහැ කියමින් විග්‍රහයක් ඉදිරිපත් කරනවා.

එහෙනම් එතනදී මේ කියන්නේ චක්ඛු විඤ්ඤාණ ආදී සිතෙන් කිසිම අරමුණක් දැනගන්න බැහැ කියලා. ඇතැම් පිරිස් විසින් ‘නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා’ කියන දේ චක්ඛු විඤ්ඤාණයටත් පොදු කරලා අරගෙන කියනවා “අර සැප, දුක්, උපේක්ෂා වශයෙන් දැනගන්න එක විඤ්ඤාණයයි, එතකොට චක්ඛු විඤ්ඤාණයෙන් ද සත්ව, පුද්ගල, ආත්මභාව වශයෙනුත් දැනගන්නවා කියලා. ඉතින් ඒ වගේ විකෘතිතා ධර්මයට මතුවෙනවා මේ අභිධර්ම පිටකය යම් කිසි පිරිසක් ප්‍රතික්ෂේප කරන්නට උත්සාහවත් වෙනවා නම්. අභිධර්ම පරියාය පිළිගන්නේ නැත්නම් ඒක හරිම භයානක තත්ත්වයක්.

පින්වතුනි, මේ සඳහා කාලය ගියත් මම හිතනවා ඉදිරිපත් කිරීම වැදගත් වෙයි කියලා, මොකද සමහර වෙලාවට අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම පිණිස - සැරියුත් තෙරුන් වහන්සේටනේ මේ අභිධර්මය දේශනා කළේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා නොකළේ ඇයි? ආදී වශයෙන් විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරලා නේ මේකට පදනම සකස් කරන්නේ අභිධර්මය ප්‍රතික්ෂේප කරන්න. පින්වතුනි, ඒ විදිහට පදනම් ඉදිරිපත් කරන්න ගිහිල්ලා ත්‍රිපිටකය දෙපිටකයක් කරනවා, ඇයි? අභිධර්මය අයින් කරනවා. ඊටපස්සේ දෙපිටකයෙනුත් කොටස් අයින් කරනවානේ. ඒකෙනුත් පටිසම්භිදාමග්ග ප්‍රකරණය අයින් කරනවා, චුල්ලනිද්දේස, මහානිද්දේස පොත් අයින් කරනවා.

ඊට පස්සේ ඒ න්‍යාය හරි භයානකයිනෙ පින්වතුනි මොකද හැම දේශනාවකම ආනන්ද හාමුදුරුවෝ සම්බන්ධ වුනේ නැහැනේ. මහරහතන් වහන්සේලා විසින් දේශනා කළ සූත්‍ර තිබුණා, මහරහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරපු තැන් තිබුණා, ගිහි උපාසක උපාසිකාවන් ධර්ම සාකච්ඡා කරපු තැන් තිබුණා. එතකොට දැන් ඒ සූත්‍රත් ඔක්කොම ත්‍රිපිටකයෙන් අයින් කරන්න වෙනවා. ඇයි ආනන්ද හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක වුනේ බුදුරජාණන් වහන්සේට මිසක අනිත් අයට නෙවෙයිනේ. අනිත් තෙරුන් වහන්සේලා කරපු ධර්ම සාකච්ඡා ආනන්ද තෙරුන් වහන්සේට කරන්න බැඳිලා හිටියේ නැහැනේ කියලා.

~~ අභිධර්ම පිටකය පළමු ධර්ම සංගායනාවේදී සංගායනා වුනාද? ~~

නමුත් ධර්ම සංගායනාවක් සිද්ධ වුනේ පන්සියයක් මහරහතන් වහන්සේලාත් එක්ක. ඒ මහරහතන් වහන්සේලා අතර සැරියුත් තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලාත් එතන හිටියා. ඒ නිසා අභිධර්මය අමුතුවෙන් ධර්ම සංගායනාවේදී භාර දෙන්න අවශ්‍ය වුනේ නැහැ එක පිරිසකට, අභිධර්මය ඒ වෙනකොටත් දරාගෙන හිටියා. ඒ වගේ අපිට ගොඩාක් කාරණාවන් තියෙනවා. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරනවා නම් යම්කිසි නිර්ණායක ටිකක් යොදලා පින්වතුනි, ත්‍රිපිටකයට කරන ලොකුම හානිය කරන්නේ ඒ පිරිස. ඒ ප්‍රතික්ෂේප කිරීම මත ත්‍රිපිටකයේ දෙකෙන් පංගුවකට වැඩි සුත්‍ර අයින් කරන්නත් වෙනවා ඒ අයට.

ඊටපස්සේ සුත්‍ර පිටකයේ බොහෝ පොත්පත් අයින් කරන්න වෙනවා. පෙටකොපදෙස, නෙත්තිප්පකරණ, චුල්ලනිද්දේස පාළි, මහානිද්දේස පාළි, පටිසම්භිදාමග්ග ප්‍රකරණය මේ සියලුම දේවල් එහෙම වුනොත් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක බොහොම භයානක තත්වයක් වගේම, ඉතාමත් භයානක මිත්‍යා දෘෂ්ඨියක්. ඒ නිසා අභිධර්ම පරියාය හා සුත්‍ර පරියාය කියන්නේ දෙකක් නෙමෙයි. අභිධර්ම පරියාය හා සුත්‍ර පරියාය කියන්නේ එකම ධර්ම උද්දෙසයන් බෙදා දැක්වීම උදෙසා ගත්ත න්‍යාය ක්‍රම දෙකක්. නැතිනම් සුත්‍ර ක්‍රමය ඔස්සේ සමස්ථ සිදුවීමක් අරභයා යම් කරුණක් පැහැදිලි කරනකොට ඒ සිදුවීම තුළ පවත්නා ධර්මතා ටික අභිධර්ම පිටකය තුළ බෙදා දක්වනවා.

එහෙනම් ඒ සිදුවීම තුල පවතින ධර්මතා පිළිබඳව විදර්ශනාවක දී කෙනෙක් සිහිය හා නුවණ පවත්වන්නේ. විදර්ශනාවේදී ධර්මතා වශයෙන් බලනවා - ස්කන්ධයන්ගේ උදය වැය බලනවා. ස්කන්ධයන්ගේ උදය වැය කියනකොට ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් පහසුම අභිධර්මයට අනුව. එතකොට අභිධර්මය පිළිබඳව යම් දැනුමක් අපිට විදර්ශනා භූමියට ප්‍රධාන ලෙස බලපානවා. අපිට අවශ්‍ය වෙනවා ඒ ධර්ම කොට්ඨාශයත්. ඒ නිසා අපිට ත්‍රිපිටකයෙන් එක කොටසක් අයින් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.

~~ අභිධර්මය අපිට නිවන් දකින්න ඕනෙම ද ~~

අභිධර්මය දේශනා කළේ දෙවියන්ට විතරමම නම් බුදුරජාණන් වහන්සේට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඒ අභිධර්මය මනුස්ස ලෝකේට දේශනා කරන්නත්, මනුස්ස ලෝකේ ඒ අභිධර්මයේ පැවැත්ම ඇතිවෙන්න සැරියුත් තෙරුන් වහන්සේට ඒ පිළිබඳව පැහැදලි කිරීමක් කරන්නත්. ඒ නිසා අභිධර්මය දෙවියන්ට හා මිනිසුන්ට කියන කාටත් අවශ්‍ය වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන්, එහෙනම් ඔය ඔක්කොම අභිධර්මයත් දැනගෙන ද එදා ඇත්තෝ නිවන් දැක්කේ කියලා. එදා හිටපු අය සහ අද ඉන්න අය පිළිබඳව කතා කරන එක යුතු නැහැ. යුතු නැහැ කියලා කියන්නේ, එදා දේශනා කරපු සුත්‍රයක අර්ථයන් රෑ එළි වෙනකන් අද පැහැදිලි කරලා දුන්නත් තේරුම් ගන්නට බැරිවෙන ලෝකේ, එදා හිටපු තික්ඛ පඤ්ඤ පුද්ගලයන් හා අද ඉන්න මන්ද පඤ්ඤ පුද්ගලයන්ව (නෙය්‍යය පුද්ගලයන්ව) සමාන කරනවා නම් ඒක සාධාරණ නැහැ.

ඒ නිසා එදා හිටපු ඉන්ද්‍රීය ධර්ම වැඩුණු කෙනෙක් හා අද ඉන්ද්‍රීය මතු නොවුන අය අතර වෙනසක් තියෙනවා. එදා සමහර චරිත තිබුනේ වතුරෙන් උඩට මතුවුණු නෙළුම් පොහොට්ටුවක් වගේ. ඒ නෙළුම් පොහොට්ටුව පිපෙන්නේ කොයි වේලාවේද කියලා බලාගෙන හිටියේ. ඉර එළිය වැටෙන්න විතරයි තිබුනේ, ඉර එළිය වැටෙනවා හා සමග පිපුණා. හැබැයි අපි හිතනවා නම් වතුර අස්සේ තියෙන තව ගොඩක් උඩට මතුවෙන්න තියෙන නෙළුම් පොහොට්ටුවත් වතුරෙන් උඩට ඇවිල්ලා තියෙන එක වගේමයි කියලා දෙකම පොහොට්ටුනේ කියලා. ඒක සාධාරණ නැහැ. වතුර යට තියෙන පොහොට්ටුව වතුර මතින් උඩට ඇවිල්ලාමයි පිපෙන්න තියෙන්නේ.

ඒ වගේ විදර්ශනා ආදී ධර්මයන් පිළිබඳව හිත සසරේදී පුරුදු කරලා නැත්නම්, වඩලා නැත්තම් වඩපු නැති කෙනාට තියෙනවා ඒ ධර්මයන් තව ප්‍රගුණ කරන්න. ඒ පුද්ගලයාට තමයි 'නෙය්‍යය පුද්ගලයා' කියලා කියන්නේ. ඒ නිසා උද්ඝටිතඥ නෙමෙයි නම් අපිට තියෙනවා නෙය්‍යය පුද්ගලයෙක් ලෙස හෝ මේ ධර්මය තේරුම් ගන්න, එහෙනම් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න සිද්ධ වෙනවා ඒ ධර්මයේ ඇති ප්‍රබේදයන්, ඒ ධර්ම කාරණා පැතිරිලා තියෙන ප්‍රදේශ ගැන ටිකක් නුවණින් මෙනෙහි කරන්නට. ඒකට අපිට සුත්‍රයත් ප්‍රයෝජනවත් වෙනවා, අභිධර්මයත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ දෙකෙන් එකක්වත් අපිට අයින් කරන්න පුළුවන්කමක් නැහැ.

තමන්ට අභිධර්මය ගැඹුරුයි ලෙස තේරෙනවා නම් ඒ කාරණාව තමන් සුත්‍ර ඔස්සේ පරිශීලනය කළාට ගැටළුවක් නැහැ, හැබැයි සුත්‍ර ඔස්සේ පරිශීලනය කරගෙන යනකොට තමන්ගේ මතයන් එක්ක එකතුවෙලා එන මිත්‍යා මතවාද ටික අභිධර්මය ඔස්සේ බලනකොට වැරදි කියලා පෙනෙනවා නම් ඒ තමන් දරන මතය ප්‍රතික්ෂේප කරන්න තරම් අපි අනතිමානි විය යුතු වෙනවා. එහෙම නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මක් නැති වෙනවා හා අපි ලබාදෙන වැරදි පුර්වාදර්ශයක් බවට එය පත්වෙනවා. ඒ කාරණා ටික සිහිපත් කළේ අළුතෙන් අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් මතුවන නිසා.

~~ සුත්‍ර හා අභිධර්ම පරියායේ වෙනස~~

පටිච්චසමුප්පාද න්‍යාය කතා කළොත්, අභිධර්මයේදී පටිච්චසමුප්පාද න්‍යාය සිතක් සිතක් ගානේ වෙන වෙනම පෙන්වන්නේ. සුත්‍රයෙහි පටිච්චසමුප්පාද න්‍යාය සිත් ගොඩක එකතුවක් විදිහටයි පෙන්වන්නේ. අභිධර්මයේදී එක සිතක් සිතක් ගානේ පෙන්වන පටිච්චසමුප්පාද සිද්ධාන්තයේ සමස්තයක් ලෙස ගත්තොත් - ප්‍රවෘත්ති විපාක විදිහට ඇතිවෙන මේ දැන් අපි රූපයක් දැකලා සතුටු වෙනවා කියන තැනක යටත් පිරිසෙන් පටිච්චසමුප්පාද පහකට වැඩි ප්‍රමාණයක් අපිට කතා කරන්නට පුළුවන් න්‍යායන් සිතක් සිතක් ගානේ වෙන වෙනම.

හැබැයි අපිට සුත්‍ර පිටකය තුළ සිත් විදිහට කතා කිරීමක් කරන්නේ නැහැ. සුත්‍ර පිටකය තුල අපි ඇහැට රූපයක් දැකලා සතුටුවෙන තැන පුද්ගල බව උපදවාගෙන ජාති ජරා මරණ දුක එන තැන ගැන කතා කරනවා. ඒ නිසා එතැනදී අභිධර්මයේ දී වගේ සිත් වශයෙන් බෙදා දැක්වීම කරන්නේ නැහැ. කෙනෙකුට මේ සමස්ථ සිද්ධාන්තය තුල ඇති ආන්තරික ප්‍රබේද හොයන්න වුනොත් ඒ කෙනාට සිද්ධ වෙනවා ඒ අතර තියෙන සිත් රාශිය මොකක්ද කියලා දකින්නත්. එහෙම නම් නාමරූප පච්චයා ඵස්සො කියලා කියනවා නම් එයාට එහෙනම් දකින්න වෙනවා සළායතන නැතුව ද මෙතනදී ඵස්සය/ ස්පර්ශය වුනේ? නැත්නම් සළායතන තිබිලා ද ඵස්සය වුනේ කියලා?

චක්ඛු සම්ඵස්ස, සොත සම්ඵස්ස, ඝාණ සම්ඵස්ස, ජිහ්වා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනො සම්ඵස්ස කියලා සම්ඵස්සය හැඳින්නුවා නම් එහෙනම් මෙතන චක්ඛායතන ආදී ආයතන තිබිලා තියෙනවා නේ, එහෙනම් මෙතන චක්ඛායතන ආදී ආයතන ටික තිබුනානම් චක්ඛු විඤ්ඤාණ ආදී විඤ්ඤාණයාගේ පහළ වීමක් තිබිලා තියෙනවා. එහෙනම් නාමරූප පච්චයා ඵස්සො කියන තැනදී චක්ඛු විඤ්ඤාණ සහගත බවක පහළ වීමක් එක්ක පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. ඒ නිසා නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියනකොට අපිට නුවණක් තියෙනවා මේ පැවැත්ම පිළිබඳව.

මෙන්න මේ විදිහට අපි බෙදලා අර්ථය ලබාගත යුතු වෙනවා. එහෙනම් නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියනකොට විශේෂයෙන්ම මේ කාරණා ටික ඔස්සේ අපි කතා කළා, නාම ධර්මතා ටිකත් රූප ධර්මයත් අතර තියෙන සම්බන්ධතාවය. නාමය නැතිනම් රූපයේ පැවැත්මක් නැහැ, රූපය නැතිනම් නාමයේ පැවැත්මක් නැහැ. කියන කාරණාව මේ ඔස්සේ අපි බෙදා දක්වමින් කතා කළා. ඒ නිසා යම්කිසි විදිහකින් නාමරූප දෙකේ එකතුවක් පනවන්න නැත්නම් ඒ කිසිම තැනක ස්පර්ශයේ පැනවීමක් නැහැ.
මතු සම්බන්ධයි.


Post a Comment

0 Comments