මහා නිදාන සූත්‍රය 7


මහානිදාන සුත්‍රය 7

~~ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ~~

"විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද ඉමිනා පෙතං පරියායෙන වෙදිතබ්බං, යථා විඤ්ඤාණපච්චයා නාමරූපං. විඤ්ඤාණං ච හි ආනන්ද, මාතුකුච්ඡිස්මිං න ඔක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං මාතුකුච්ඡිස්මිං සමුච්චිස්සථාති"? - අපි ඉස්සෙල්ලා කතා කළේ නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන තැන. දැන් කතා කරන්නේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා කියන තැන. කෙනෙකුට හිතෙන්න පුළුවන් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා කියන නාමරූපමද, නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන කොට තියෙන්නේ කියලා? නැහැ, මෙතන නාමරූප දෙකක් අර්ථ ගන්වන්නේ.

'විඤ්ඤාණ පච්චයා නාමරූපං' කියලා විස්තර කරන තැන නාමරූපය වෙනස් වූ නාමරූපයක්. ඒ නාමරූපය භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා “විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, මාතුකුච්ඡිස්මිං න ඔක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං මාතුකුච්ඡිස්මිං සමුච්චිස්සථාති? විඤ්ඤාණය මව් කුසකට බැස ගැනීමක් නොවේ නම් මව්කුස තුළ නාමරූපයන්ගේ මිශ්‍රවීමක් පේනවද? කියලා අහනවා, එහෙම නැත්නම් විඤ්ඤාණය මව් කුසකට බැස ගැනීමක් නැත්නම් නාමරූපයෙහි පැවැත්මක් තියෙනවද? ‘‘නො හෙතං, භන්තෙ’’ “ස්වාමීනි, පවතින්නේ නැහැ”.

‘‘විඤ්ඤාණං ච හි, ආනන්ද මාතුකුච්ඡිස්මිං ඔක්කමිත්වා වොක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං ඉත්ථත්තාය අභිනිබ්බත්තිස්සථාති?” - "ආනන්ද, විඤ්ඤාණය මව් කුසකට බැහැලා නැවත ඉවත් වෙනවා නම් මේ නාම රූපයෙහි ‘ඉත්ථත්තාය’ මෙබඳු බව පිණිස, නැතිනම් වැඩීම පිණිස පවතිනවාද කියල අහනකොට ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා - ‘‘නො හෙතං, භන්තෙ’’. ස්වාමීනි ඒක වෙන්නේ නැහැ.

‘‘විඤ්ඤාණං ච හි, ආනන්ද, දහරස්සෙව සතො වොච්ඡිජ්ජිස්සථ කුමාරකස්ස වා කුමාරිකාය වා, අපි නු ඛො නාමරූපං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථාති? "ආනන්ද, ළදරු වූ කුමාරයෙකුගේ හෝ කුමාරිකාවකගේ හෝ විඤ්ඤාණය පහව යනවා නම්, විඤ්ඤාණය ඉවත්ව යනවා නම් එහෙනම් ඒ නාමරූපයගේ වැඩීමක් පේනවද? කියලා අහනවා. ‘‘නො හෙතං, භන්තෙ’’. ස්වාමීනි ඒක වෙන්නේ නැහැ. එතකොට විඤ්ඤාණ ප්‍රත්‍යයෙනුයි නාමරූප හටගන්නේ කියන කාරණාව පැහැදිලි කරනකොට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප හටගැනීම පිණිස විඤ්ඤාණයාගේ මව් කුසකට පැමිණෙන තැන ඉඳලා මේ කරුණු පැහැදිලි කරන්නේ.

විඤ්ඤාණයාගේ මව් කුසකට බැස ගැනීමක් නැත්නම් ඒ නාමරූපය, විඤ්ඤාණයේ ප්‍රතිෂ්ඨාව නොලබන නිසාම එහෙම නැතිනම් ඒ නාමරූපයෙහි පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. නාමරූප ආදිය මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. විඤ්ඤාණයේ පහළවීම ඇති තැනක ම තමයි නාමරූපයෙහි මිශ්‍රවෙන බව තියෙන්නේ. ඒ නිසා 'විඤ්ඤාණ පච්චයා නාමරූපං' කියනකොට නාමරූපයෙහි මිශ්‍රවෙන බව තමයි හඳුන්වන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මව් කුසකට ප්‍රතිසන්ධිය එන අවස්ථාව විතරමද කියලා? නැහැ, මව් කුසකට ප්‍රතිසන්ධිය පිණිස එන අවස්ථාව විතරක්ම නෙවෙයි ප්‍රවෘත්තිය තුළ වුණත් වෙන්න පුළුවන්, මේ මොහොතේ පැවැත්ම තුළ වුණත් වෙන්න පුළුවන්.

ඒ නිසා තමයි අවස්ථා දෙකක් තව කතා කරන්නේ. ඒ කියන්නේ මව් කුසට විඤ්ඤාණය බැසගෙන ඉවත්වෙලා යනවා. එහෙම වුනොත් මේ ස්කන්ධ පරම්පරාවේ වැඩීමක් පේනවද කියලා අහනවා? ඒකත් වෙන්නේ නැහැ. ඒ වගේම ඉන්න ළමයෙකුගේ විඤ්ඤාණය ඉවත් වුනොත්, එහෙනම් එවිට ද නාමරූප පවතිනවාද කියලා අහනවා? ඒත් නාමරූපයාගේ පැවැත්මක් නැහැ. මොකද මේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා කියන එක හැම තැනකටම පෙන්වන්න අවශ්‍යයි. ප්‍රතිසන්ධියටත් පෙන්නන්නට අවශ්‍යයි, ප්‍රවෘත්තියටත් පෙන්වන්නට අවශ්‍යයි. ඒ නිසා ප්‍රතිසන්ධියටත්, ප්‍රවෘත්තියටත් (මේ මොහොතේ පැවැත්ම) පෙන්වන්නට ඕන නිසා තමයි මේ නාමරූප ප්‍රත්‍ය කියන එකට මෙච්චර විග්‍රහයක් කරන්නේ, විඤ්ඤාණයෙන් නාමරූප හටගන්නවා කියන කාරණාවට.

මව් කුසකට විඤ්ඤාණයෙහි බැස ගැනීමක් තියෙනවා නම් ඒ විඤ්ඤාණයෙහි බැස ගැනීම සිද්ධවෙන්නේ නාමරූප ධර්මතා ටික ඇති තැනකමයි. ඒ කියන්නේ නාමරූප ධර්මයක පිහිටා සිටීම වශයෙන් නාමරූපයක් ඇසුරු කරගෙන තමයි විඤ්ඤාණය කියන දේ පහළ වෙන්නේ. ඒ වගේම විඤ්ඤාණය නිසා තමයි නාමරූපයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නෙත්. මේ ධර්මතා දෙක අතර තියෙනවා අඤ්ඤමඤ්ඤ සම්මිශ්‍ර භාවය. 'විඤ්ඤාණය නිසා නාමරූපයන්ගේ පෙනීම තියෙනවා' කියනකොට අපි ටිකක් රළු මට්ටමෙන්, අපේ ජීවිතයට පේන මට්ටමෙන් අපි කතා කළොත් මේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා කියන තැනදී විස්තර කරනවා එතන නාමරූපය මොකක්ද කියලා.

'විඤ්ඤාණ පච්චයා නාමරූපං' කියන තැන නාමරූපය පිළිබඳව විග්‍රහ කරන කොට ඒ නාම රූපය විස්තර කරනවා එතන රූපය මොකක්ද “චක්‌ඛායතනස්‌ස උපචයො, සොතායතනස්‌ස උපචයො, ඝානායතනස්‌ස උපචයො, ජිව්‌හායතනස්‌ස උපචයො, කායායතනස්‌ස උපචයො ඒ වගේම චිත්තජ රූප නැතිනම් චිත්ත සහජාත රූපයන් යම්තාක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම එතන රූපයි. එතකොට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපයි කියනකොට එතනදී අදහස් කරන දේ තමයි පින්වතුනි, එතන නාම ධර්මතා ටික රූපය හා සම්මිශ්‍ර වන බව, රූපය හා එකතුවෙන බව. රළු විදිහට කිව්වොත්, මුළු ස්පර්ශ ආයතන පහම එක පාර හදනවා කියලා කිව්වා නේ.

ස්පර්ශ ආයතන පහම එකපාර හදනවා කියන කාරණාව ගැන තමයි තව පැත්තකින් කතා කළොත් මේ කතා කරන්නේ. චිත්තජ වුන අනිත් රූප ටිකත් සමග නාම ධර්මතා ටික සම්මිශ්‍රව යනවා. ඒ ධර්මතා ටිකත් එක්ක එකට පවතින්නේ. හරියට තොරණේ ලයිට් ඔක්කොම එකපාර පත්තු වුණා වගේ. එහෙම නැතිනම් මේ ආයතන ටික ඔක්කොම එකට නිර්මාණය කරනවා, ඔක්කොම හදලා තියනවා, ඔක්කොගේම ප්‍රසාද රූපය බිඳෙන්න පුළුවන් මට්ටමකට පත්කරලා තියෙනවා. හරියට මකුළුවා දැල බැඳලා ඉන්නවා වගේ. ඒ මකුළුවා මුළු දැලම බැඳගත්ත සිදුවීම වගේ තමයි හරියට මේ විඤ්ඤාණය නිසා නාමරූප සකස් වෙනවයි කියන තැන.

ඒ විඤ්ඤාණය හැම වෙලාවකදීම තමන්ට ඉන්නට අවශ්‍යය භූමිය සකස් කරලා දෙනවා. ඒ විඤ්ඤාණය නිසා නාමරූප සකස් කරන දේ අනුව තමයි ඊළඟට අරමුණු එන්න පුළුවන්කම තියෙන්නේ. මව් කුසකට ප්‍රතිසන්ධි වශයෙන් බැසගත්ත විඤ්ඤාණයෙහි ලක්ෂණයක් නැත්නම් නාමරූප ධර්මතා ටික ඇසුරු කරගෙන එතන ඇහැ හදනවා කියන කමට ලක්ෂණයක් නැත්නම්, පින්වතුනි ඇහැ නැතුව තමයි උපදින්නේ. ඇයි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපය සකස්වෙන නිසා තමයි ඒ දෙය වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඕකට නිතර මතක් කරන උදාහරණයක් තියෙනවා, යම්කිසි ලී කොටයක් උඩට පුද්ගලයෙක් නැගලා ඒ ඉන්න ලී කොටය කැටයම් කරන්නට පටන් ගත්තොත්, ඒ ලී කොටය කැටයම් කරන්නට පටන් ගත්ත කෙනාට අපි කිව්වොත් 'විඤ්ඤාණයයි' කියලා, පිහිටා සිටින්නට උපකාරවන කොටයට කිව්වොත් 'නාමරූපයයි' කියලා, විඤ්ඤාණයෙන් නාමරූප වෙනවා කියලා කියන්නේ ඒ කොටය උඩ ඉන්න කෙනා තමයි කොටය කැටයම් කරන්නේ.

ඒ වගේ හැම වෙලාවකදීම ඒ ඉන්න කෙනාට අවශ්‍ය විදිහට තමයි කොටය සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේ විඤ්ඤාණයට අවශ්‍ය විදිහට තමයි නාමරූපය සකස් වෙන්නේ. ඒ සකස් වුන නාමරූපයට අනුව තමයි එක අරමුණක් අනුව ස්පර්ශය සිද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට ආයතන හයම හැදුවට එක ආයතනයකට ගැටිලානේ චිත්ත වීථිය යන්නේ. අන්න එතකොට නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය කියන තැනදී අර ආයතන හයම හදපු තැනින් එක ආයතනයක් අනුව හිත බැසගෙන ඒ අනුව ගිහිල්ලා තියෙනවා. හැබැයි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා කියන කොට, එයා අර කොටේ කැටයම කෙටුවා වගේ එයා සම්පූර්ණවම තමන්ගේ දෙය වැය කරලා තියෙනවා නාමරූප සම්මිශ්‍ර භාවය ඇති කරන්නට.

එතකොට ඒ ප්‍රතිසන්ධි වශයෙන් බැසගත්ත විඤ්ඤාණයේ ලක්ෂණය වෙන්නෙත් එතන පවත්නා නාමරූප ධර්මයන්ගේ සම්මිශ්‍ර භාවය ඇති කිරීම. එතකොට එතන පවත්නා නාමරූපයන්ගේ සම්මිශ්‍ර භාවය ඇති කරන්න බැහැ නම්, එතන පවත්නා නාමරූපයන්ගේ සම්මිශ්‍ර භාවය ඇති කරන්න පුළුවන් විදිහට විඤ්ඤාණය පතිත වෙන්නේ නැතිනම්, බැස ගැනීම සිද්ධ කරන්න බැහැ නම් එතනදී ඒ නාමරූපයන්ගේ වැඩීමක් එතන වෙන්නේ නැහැ. එතන ශේෂ වෙන්නේ නැහැ විඤ්ඤාණය කියන එක. එතනින් විඤ්ඤාණය වෙන තැනකට චුත වෙනවා, එහෙම නැතිනම් විඤ්ඤාණය එතන පිහිටා සිටීමක් වෙන්නේ නැහැ. ඒ නිසා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප හටගන්නවා කියන කොට අර විදිහට විඤ්ඤාණයෙහි බැස ගැනීමක් නැති නම් ඒ නැති තැනක නාම රූපයෙහි පැවැත්මක් නැහැ.

ලී කොටේ උඩ හිටගන්න කෙනෙක් නැත්නම් කැටයම් වුන ලී කොටයක පැවැත්මක් ඇත්තේ නැහැ, හටගැනීමක් ඇත්තේ නැහැ. එහෙනම් ලී කොටේ උඩ කෙනෙක් හිට ගත්තොත් හිට ගත්ත කෙනාට අනුව තමයි ලී කොටේ කැටයම් වීම සහ කැටයම් වුන ලී කොටයක ලැබීම අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා මනුස්සයෙක් ඉපදවීම පිණිස අවශ්‍යවන නාමරූප ධර්මතා ටික ගොඩ නගන්නට හේතු වෙන්නේ එතන විඤ්ඤාණයාගේ පහළ වීමත් සමග. ඒ විඤ්ඤාණය පහළ නොවෙනවා නම් ඒ නාමරූපයන්ගේ මෙබඳු බව පිණිස වැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ.

~~ ප්‍රවෘත්ති විපාකයත් ~~

ඊට පස්සේ ප්‍රවෘත්තිය තුළත් වෙනස් වෙන්නේ නැහැ ඒ කාරණාව. ප්‍රවෘත්තිය කියලා කිව්වෙත් මේ දැන් පැවැත්ම තුළ. පැවැත්ම තුළත් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපය සිද්ධ වෙන්නේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප සිද්ධවෙන නිසා තමයි මේක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ පවත්නා විපාක විඤ්ඤාණය වෙනස් වුනොත්, ඊට පස්සේ සකස්වෙන නාමරූපය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා නේ. ඒ නිසානේ එයාට මේ ඇහැ වෙනස් කරලා 'දිබ්බ චක්ඛු' උපදවා ගන්න පුළුවන්. ඒ නිසානේ එයාට මේ නාමරූප වෙනස් කරලා 'දිබ්බ සොතය' උපදවාගන්න පුළුවන්කම තියෙන්නේ. සමහර වෙලාවට බලවත් කර්මයක් සිද්ධ කළාට පස්සෙ වතුර නොපෙනී යන්නේ (මිලක්ඛතිස්ස වැද්දාගේ කතාවේදී වගේ).

එතකොට ඒ නාමරූප සැකැස්ම වෙනස් කරලා. වෙනස් කළාට පස්සේ එයාට පෙනෙන්නේ වෙන විදිහකට. මිහිපිට අපායක් නිර්මාණය කරන්න පුළුවන්කමක් තියෙන්නේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපය සකස්වෙන නිසා තමයි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් යම් විදිහකට ද නාමරූප සකස්වෙන්නේ ඒ නාම රූපයන් අනුව තමයි ඔබට ස්පර්ශය හදලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ස්පර්ශය හැදීමේ තීරණය නාමරූප සතුයි. නාමරූප හැදීමේ තීරණය අනෙකුත් විපාක පැත්තෙන් හටගත්ත විඤ්ඤාණය සතුයි. එතකොට අපිට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපය හැදෙනවා යි කියනකොට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හදන නාමරූප වල ස්වභාවය තමයි ඒ විපාක සිතෙහි ලක්ෂණ ටික අනුව රූපය සකස් කරන එක.

ඒ විපාක සිත බලවත්ව පිහිටා සිටියොත් දැන් වුණත් මේ නාමරූප ධර්මතා ටික වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි කියනවා ඒකට කර්ම සහ විපාක කියලා. අපිට මෙන්න මේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ධර්මයක පහළ වීම කියන එක ප්‍රවෘත්තිය පැත්තෙනුත් කතා කරන්නට පුළුවන්. දැන් අපිට ස්පර්ශ ආයතන හය නැවත නැවත උපදවන බව තියෙනවා නම් ඒ උපදවන බව තුළ අපිට ප්‍රකට වෙන්නෙම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප සකස් කරනවා කියන එක. ඇහැට රූපයක් පෙනිලා ඒ පැත්තට විතරක් අරමුණ ගොඩ නැගෙනවා කියන එක තුළ පෙනෙන්නේ 'නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය' වෙනවා කියන එක.

මේ ආයතන හය ම හදනවා කියන තැන අපිට දැනගන්න වෙනවා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා කියන එක. එතකොට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් තමයි නාමරූපය සකස් වෙන්නේ. ඒ විඤ්ඤාණයෙහි පැවැත්ම ඇතිතාක් තමයි නාමරූපයේ පැවැත්ම තියෙන්නේ. ඒක පෙන්නන්නට අවශ්‍ය නිසා තමයි ප්‍රවෘත්තිය තුළ කුඩා ළමයෙකුගේ හෝ කුමාරිකාවකගේ හෝ විඤ්ඤාණය සිඳිලා ගියොත් එහෙම ඒ නාමරූපයෙහි වැඩීමක් තියෙනවද කියලා අහන්නේ? විඤ්ඤාණය සිඳිලා ගියොත්, සිඳීමක් තිබුනොත් එතන නාමරූප ධර්මයෙහි වැඩීමක් වෙන්නේ නැහැ.

‘‘තස්මාතිහානන්ද එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො නාමරූපස්ස යදිදං විඤ්ඤාණං’’ - “ඒ නිසා ආනන්ද මේකමයි හේතුව, මේකමයි ප්‍රත්‍ය විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපය වෙනවා කියන්න. නාමරූපයෙහි පැවැත්ම තියෙන්නේ විඤ්ඤාණය ඇති තාක්. විඤ්ඤාණය නැත්නම් නාමරූපයෙහි පැවැත්මක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් ආනන්ද නාමරූප වෙනවා”.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments