මහා නිදාන සූත්‍රය 8



මහානිදාන සුත්‍රය 8

~~ නාමරූප නිසා විඤ්ඤාණය ~~

‘‘නාමරූපපච්චයා විඤ්ඤාණන්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං” “ආනන්ද, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා. මේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපත්, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයත් කියන අඤ්ඤමඤ්ඤ භාවයක් තියෙනවා මේ ධර්මය තුළ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කළේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප හැදෙන හැටි ගැන, දැන් කතා කරනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය හැදෙන්නේ කොහොමද කියලා.

“විඤ්ඤාණං ච හි, ආනන්ද, නාමරූපෙ පතිට්ඨං න ලභිස්සථ, අපි නු ඛො ආයතිං ජාතිජරාමරණං දුක්ඛසමුදයසම්භවො පඤ්ඤායෙථාති"? “ආනන්ද, විඤ්ඤාණය නාමරූපයෙහි ප්‍රතිෂ්ඨාව ලබන්නේ නැත්නම් ජාති, ජරා, මරණයෙහි පැවැත්මක් පේනවද” කියලා අහනවා. ඒ කියන්නේ විඤ්ඤාණය කියන එකේ පැවැත්මට උපකාර වෙන්නෙත් හැම වෙලාවකදීම නාමරූප ධර්මයමයි. විඤ්ඤාණයක පැවැත්මට උපකාර වෙන්නෙත් නාමරූප ධර්මයමයි කිව්වේ අපි කිව්වනේ කැටයම් කොටයක් හැදෙන්නට හේතුවුණේ කොටය උඩ නැගලා ඉන්න කෙනා කියලා, ඒ කෙනාට නැඟලා ඉන්න හේතු වුණේ මොකක්ද? කොටය. ඒ නිසා නාමරූප ධර්මතා ටික තමයි විඤ්ඤාණයේ පැවැත්මට උපකාර වෙන්නේ.

නාමරූපය නැත්නම් විඤ්ඤාණයේ පැවැත්මක් නැහැ - විඤ්ඤාණයෙහි පැවැත්මක් නැත්නම් නාමරූපයෙහි පැවැත්මක් නැහැ. එතකොට නාමරූපය නිසා විඤ්ඤාණය හටගන්නවා කියන තැනකදී මව් කුසකට ප්‍රතිසන්ධි විඤ්ඤාණ වශයෙන් බැස ගන්නේ ඇයි? මව් කුසකට ප්‍රතිසන්ධි විඤ්ඤාණ වශයෙන් පැමිණෙන්නේ කර්මය නැතිනම් ගතිය නිසා නේ. කර්ම නිමිති සහ ගති නිමිති නිසා අපිට ඒ භවයේ නැතිනම් ඒ මට්ටමේ දෙයක් ඇසුරු කරන්නට ලැබෙන නිසාම තමයි මව්කුසක් අරමුණු කරලා ඒ අරමුණු කරගත්ත තැනට ප්‍රතිසන්ධි විඤ්ඤාණයාගේ බැසගැනීම සිද්ධ වෙන්නේ. එතැනදි සිද්ධ වෙන්නේ නාමරූපය ඇසුරු කරගෙන විඤ්ඤාණය පිහිටා සිටීමක්.

~~ විඤ්ඤාණය පිහිටා සිටීම වෙන්නේ කොහොමද~~

නාමරූපය කියන දේ පැවැත්මක් නැත්නම් විඤ්ඤාණයෙහි පැවැත්මක් නැති වෙනවා. අපි 'බීජ සූත්‍රය' මෙතනදී උදාහරණයකට ගත්තොත්, බීජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බීජ වර්ග පහක් පිළිබඳව පෙන්නලා. මේ බීජ වර්ග පහ පොළොවෙ ප්‍රතිෂ්ඨාව ලබනවා නම් ඒ වගේම නන්දිරාගය එහෙමත් නැතිනම් ජලය ලැබෙනවා නම් මේ බීජය ප්‍රරෝහණයට පත්වෙනවා. පොළොව ලැබෙනවා නම්, බීජය හොඳයි නම්, වතුරත් ලැබෙනවා නම් මේ බීජ පැළ වෙනවා. ඒ වගේ මේ රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතා ටික එහෙම නැතිනම් තව විදිහකින් කතා කරනවා නම් නාම රූප ධර්මතා ටික, ක්ෂේත්‍රය / බිම හැටියට පෙන්වනවා. රූපයත්, වේදනාවත්, සංඥාවත්, සංස්කාරයත් කියන කියන මේ ධර්මතා ටික ක්ෂේත්‍රය හැටියට.

විඤ්ඤාණය පිහිටා සිටින්නේ කොහෙද? එක්කෝ රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය මත. තණ්හාව සමග රූපය, වේදනා, සංඥා, සංඛාර ඇසුරු වෙනවා නම්, අන්න ඒකට කියනවා විඤ්ඤාණ ඨිතියක් බවට පත් වුණා කියලා. නාමරූපය විඤ්ඤාණයෙහි පැවැත්මට උපකාර කළා කියලා. ඒ නාමරූපය විඤ්ඤාණයෙහි පැවැත්මට උපකාර කළා නම් අන්න එතකොට තමයි චුතියක් පෙනෙන්නේ - අන්න එතකොට තමයි උප්පත්තියක් පෙනෙන්නේ. එහෙනම් නාමරූපය ඇති තැනක තමයි චුති - උත්පත්ති පෙනෙන්නේ, ගති - ආගති පෙනෙන්නේ, යෑම් - ඊම් පෙනෙන්නේ නාමරූපය විඤ්ඤාණයට ප්‍රත්‍යවෙන තැනක.

නාමරූපය ඉස්සෙල්ලා උපකාර කරනවා විඤ්ඤාණයට පහළ වෙන්න. කොටේ උඩ ඉන්න මනුස්සයාට කොටේ ඉස්සෙල්ලා උපකාරයි කැටයම් කොටයක් හදාගන්නටත් කොටේ උඩට නගින්න. අන්න ඒ වගේ නාමරූපය උපකාරයි විඤ්ඤාණයාගේ පහළවීමට. ප්‍රතිසන්ධිය පැත්තෙන් කතා කළොත් නාමරූපය ඉස්සෙල්ලා ප්‍රතිසන්ධි වශයෙන් බැස ගැනීමට කර්මය පැත්තෙන් සහ ගතිය පැත්තෙන් අරමුණු කරලා මේ විඤ්ඤාණයේ පැමිණීමට උපකාර කරනවා. ඒ නිසා නාමරූපය නිසා විඤ්ඤාණය පහළ වෙනවා කියලා කියනවා. මොකද නාමරූපය ඇසුරු කරගෙනම තමයි විඤ්ඤාණයේ පහළ වීම සිද්ධ වෙන්නේ. නාමරූපය නිසා විඤ්ඤාණයෙහි පහළ වීම සිද්ධ වෙනකොට නාමරූප ධර්මය (මේ කතා කළේ ප්‍රතිසන්ධි අවස්ථාවකට සාපේක්ෂව) ඒකෙන් කියන්නේ නැහැ ප්‍රවෘත්තිය තුළ නාමරූපය නිසා විඤ්ඤාණයයත්, විඤ්ඤාණය නිසා නාමරූපයත් වෙන්නේ නැහැ කියලා.

ඒ කියන්නේ අපි දැන් මේ කතා කරගෙන ආපු පරියාය අනුව බුදුරජාණන් වහන්සේ අග ඉඳලා මුලට නේ මේ පටිච්චසමුප්පාදය දේශනා කරගෙන ආවේ. ජරා මරණයන්ගේ ඉඳලා තමයි අපි මේ කතා කරගෙන එන්නේ, මේ විදිහට අරගෙන එනකොට 'විඤ්ඤාණය නිසා නාමරූපයි' කියනකොට අපි කතා කළා එතනදී ප්‍රතිසන්ධි විඤ්ඤාණයේ පහළ වීම සහ එතන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ධර්මතා සකස්කර ගන්නවා කියන කමට. හැබැයි එතනට විඤ්ඤාණය පැමිණුනේ කුමක් නිසාද? නාමරූපයේ ප්‍රතිෂ්ඨාව ලබපු නිසා. කර්ම නිමිති ගති නිමිතිවල නාමරූපයේ ප්‍රතිෂ්ඨාව ලබපු නිසා තමයි ඒ තැනට ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහළ වුනේ. පහළ වුනාට පස්සේ විඤ්ඤාණය නිසා එතන නාමරූපයන්ගේ සැකැස්ම සිද්ධ වුනා.

එතනදී චුති - ප්‍රතිසන්ධි අවස්ථාව අනුව විග්‍රහ කෙරෙන කාරණාවක්. ඒක මේ සූත්‍රයට අනුව පැහැදිලි කරපු තැන. ඒ කියන්නේ 'විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප' වෙනවා කියනකොට මව් කුසකට විඤ්ඤාණය බැසගන්නවා කියන තැනින් තමයි ඒක අපි කතා කළේ. ඊට පස්සේ 'නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය' වෙනවා කියනකොට ජාති, ජරා, මරණ වෙනවා.

~~ ජාති, ජරා, මරණ හදන්න පුළුවන් දෙයක් නිර්මාණය~~

ඒ කියන්නේ කොහොමද ජාති, ජරා, මරණ දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ මැෂින් එක හදන්න පුළුවන් නිකම්ම නෙමෙයි, මේකට අවශ්‍ය ආම්පන්න ටික හදලා. ඒ නිසා ඒ නාමරූප ටික විඤ්ඤාණය හදනවා, විඤ්ඤාණය නැවත නාමරූප ටික හදනවා. නාමරූප ටික ස්පර්ශය හදනවා, ස්පර්ශය වේදනාව හදනවා, දැන් ඔන්න වේදනාව හදලා මේ විදියට ගිහිල්ලා තණ්හා, උපාදාන, භව වශයෙන් ගිහිල්ලා ජාතිය හදලා ජරා මරණ දුක ගේන්න පුළුවන්කම තියෙනවා.

එහෙනම් භවයක් විදිහට කතා කරනවා නම් මෙන්න මේ ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණයට බැසගන්න නාමරූපය ප්‍රතිෂ්ඨාවක් වුන නිසා තමයි විඤ්ඤාණයාගේ බැස ගැනීම සිද්ධ වුණේ. ඊට පස්සේ ප්‍රවෘත්තිය තුළත් නාමරූපය විඤ්ඤාණයට ප්‍රත්‍ය වෙනවා. නාමරූපය විඤ්ඤාණයට ප්‍රත්‍ය වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ හැම වෙලාවකදීම නාමරූප අනුවම තමයි විඤ්ඤාණය පහළ වීම සිද්ධ කරන්නේ. නාමරූපය අනුව ඒ හැම අවස්ථාවකදීම විඤ්ඤාණය සකස් කිරීම සිද්ධ කරන්නේ. ‘නාමරූප පච්චයා විඤ්ඤාණං’ නාම රූපයෙහි සැකැස්ම, ඒ ඒ ආයතන ඒ ඒ පුද්ගල බව උපදවන්න සුදුසු විදිහට මේ නාමරූප ධර්මතා ටික ඇති තැනකම එතන විජානන කෘත්‍යය හටගන්නේ. ඒ නිසා නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා, නැවත විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප හදනවා, නාමරූප ප්‍රත්‍යයෙන් ආයතන එහෙම නැතිනම් ස්පර්ශ හැදිලා මේ පෙළ යනවා.

ආපහු නාමරූප වලට විඤ්ඤාණය පිහිටා සිටින්න පුළුවන් තැනකින් තමයි අවසන් වෙන්නේ ඒ කියන්නේ 'ජාතිය' කියන තැනින් මේක අවසානයි. ඒ කියන්නේ ජාතිය තිබුනත් ජරා මරණ දුක එනවා, ජාතිය කියන්නේ 'පුද්ගල බවේ ඉපැද්ම' හදලා තියෙනවා, දැන් ඉන්න පුද්ගල බවේ ඉපැද්මත් එක්ක එතන අවිද්‍යාව තියෙනවා. එයා ජරා මරණ දන්නේ නැහැ. ජරා මරණ විඳින කෙනා ජරා මරණ දුක ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. එතකොට ජරා මරණ නොදන්නාකම නිසා, ඇත්ත නොදකිනකම නිසා එයා නැවත ආපහු නාමරූප දෙකක් සකස් කරගන්නවා. නාමරූප දෙකට නැවත විඤ්ඤාණය ප්‍රත්‍ය වෙනවා. මේ චක්‍රය නොනැවතී ඉදිරියට යනවා.

එතකොට මේ පටිච්චසමුප්පාද න්‍යාය ප්‍රවෘත්තිය තුළත් ප්‍රතිසන්ධිය තුළත් ඒකාකාරීව නාමරූපය විඤ්ඤාණයටත්, විඤ්ඤාණය නාමරූපයටත් අඤ්ඤමඤ්ඤව ප්‍රත්‍යවෙලා තියෙනවා. ඒක හරියට කොටය උඩ ඉන්න කෙනා කොටයටත්, කොටය ඉන්න කෙනාටත් අඤ්ඤමඤ්ඤව ප්‍රත්‍ය වෙනවා වගේ නාමරූපය විඤ්ඤාණයටත්, විඤ්ඤාණය නාමරූපයටත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඔය ප්‍රත්‍ය වීම කතා කරන්නේ සමස්තයක් සිද්ධාන්තය තුළ විතරයි. ඔය ප්‍රත්‍ය වීම කතා කරන්නට ගියොත් අවස්ථානුකූලව බෙදලා එතන පවතින නාමරූපය කුමක්ද කියලා බෙදලා අපි කතා කරන්න ගියොත්; පින්වතුනි, අපිට ඒක කතා කරන්න වෙන්නේ අභිධර්ම පරියාය අනුව. ඒක කතා කරන්න වෙන්නේ “තත්ථ කතමං නාමං, තත්ථ කතමං රූපං” කියලා එතන නාමරූපය බෙදා දක්වන පරියායට අනුව. ඇයි? අපි කතා කරන්නේ එක සිතක් විතරක් වෙන්කොට ඒකෙ අභ්‍යන්තර කාරණා පිළිබඳව.

හැබැයි සමස්ථ සිදුවීම පිළිබඳ කතා කරගෙන යනකොට සූත්‍ර ක්‍රමය ඔස්සේ පුළුවන් අපිට මේ සාකච්ඡාව කරන්න. එතකොට ඒ තුළ අපි කතා කරන්නේ මේ ධර්මතා ඔවුනොවුන්ට ප්‍රත්‍ය වීම තුල සිදුකර ගන්න සිදුවීම. එතකොට ඒ සිදුවීම ධර්මතා ටිකක් කියන තැනින් මෙහාට ඇවිල්ලා ඒක අපි සාමාන්‍ය දර්ශනයක් විදිහට භාවිතාවන තැන. ඒ දර්ශනය ගොඩනැගිලා තියෙන්නේ අර වගේ ධර්මතා ටිකක් මත. ඒ නිසයි අභිධර්මයත් වැදගත් සූත්‍රයත් වැදගත් කියන මේ කතාව අපි හැම මොහොතකම මතක් කරන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය සිද්ධ වෙනවා.

“එත්තාවතා ඛො ආනන්ද, ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා චවෙථ වා උපපජ්ජෙථ වා. එත්තාවතා අධිවචනපථො, එත්තාවතා නිරුත්තිපථො, එත්තාවතා විඤ්ඤත්තිපථො, එත්තාවතා පඤ්ඤාවචරං, එත්තාවතා වට්ටං වත්තති ඉත්ථත්තං පඤ්ඤාපනාය යදිදං නාමරූපං සහ විඤ්ඤාණෙන අඤ්ඤමඤ්ඤපච්චයතාය පවත්තති” - “ ආනන්ද, මෙතකින් ම තමයි උපදින්නේ, ජීවත් වෙන්නේ, මැරෙන්නේ, චුත වෙන්නේ , උපදින්නේ මෙතකින් ම තමයි පැවැත්මක් තියෙන්නේ, මෙතනින්ම තමයි නිරුක්ති පථයක් තියෙන්නේ ඒ කියන්නේ යම්කිසි නම්, ගම්ගොත් ආදිය කතා කරනවා නම් කතා කරන්නේ, දැනගැනීම් ගැන කතා කරනවා නම් කතා කරන්නේ. මේක නුවණින් තේරුම් ගන්න තියෙන කොටසක් කියලා කියන්නේ.

~~ වට්ටය කොහොමද නතර කරන්නේ ~~

ඒ වගේම මේ විදිහට තමයි සසර වට්ටය පැවැත්ම පවතින්නේ, ඒ වගේම පැනවීම තියෙන්නේ මෙතන “යදිදං නාමරූපං සහ විඤ්ඤාණෙන අඤ්ඤමඤ්ඤපච්චයතා පවත්තති”. නාමරූපය සහ විඤ්ඤාණය කියන එක අඤ්ඤමඤ්ඤව ප්‍රත්‍ය වෙමින් පවතිනවා කියන තැන පවතින දෙය තමයි වට්ටය කියලා කියන්නේ. එතකොට මේ වට්ටය නතර කරන්න යනකොට අපිට ඒකට අවශ්‍ය තැන පිළිබඳව කතා කරන්නට වෙනවා. වට්ටය කොහොමද අපි නතර කරන්නේ, මේ සසර වට නැතිනම් පැවැත්ම කොහොමද අපි නතර කරන්නේ. එතකොට අපිට මේක නතර කරන්නට අවශ්‍යය ක්‍රමය පිළිබඳව කතා කරනකොට විවිධ පරියායන්ගෙන් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා.

~~අනුප්පාද නිරෝධය හා ස්කන්ධ නිරෝධය~~

බොහෝකොට අභිසමය සංයුක්තය තුළත් ඒ කියන්නේ පටිච්චසමුප්පාදය දැක්වෙන තැන්වල කතා කරන න්‍යායක් අනුව අපි අරගෙන බැලුවොත් කාරණා දෙකක් ඔස්සේ බෙදන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි අපි අනුප්පාද නිරෝධයට ලක් කරන කොටසක්. එකක් තමයි නිරෝධය සාක්ෂාත් කරන කොටසත් තියෙනවා. පටිච්චසමුප්පාදය තුළ නිරෝධය දකින කොටසත් තියෙනවා, අනුප්පාද නිරෝධයට පත්කරන කොටසත් තියෙනවා. තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන ටික අනුප්පාද සංඛ්‍යාත නිරෝධයකට පත්කරන ටික.

ඒ වගේම අපි ඊට කලින් කතා කළා නම් විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා කියලා මේ ටිකේ නිරෝධය සාක්ෂාත් කරන පැත්තක්. එතකොට පොදුවේ මේ සියලුම ධර්මයන් නිරුද්ධයි. පොදුවේ ඒ සියලුම ධර්මයන් නිරුද්ධ වුන තැනක් ගැන තමයි ‘නිවන’ කියලා කතා කරන්නේ. ඒ නිසා “අවිජ්ජායත්‍වෙව අසේසවිරාගනිරොධා” අවිද්‍යාව නිරෝධ කිරීමෙන් තමයි සංඛාර නිරෝධය, සංඛාර නිරෝධයෙන් තමයි විඤ්ඤාණ නිරෝධය, විඤ්ඤාණ නිරෝධයෙන් තමයි නාමරූප නිරෝධය. මෙහෙම අපිට පෙළ ආපහු නිරෝධය පැත්තට එනවා. එතකොට නිරෝධයේ නුවණ දෙපැත්තකින් තියෙනවා. එකක් තමයි අනුප්පාද නිරෝධය අනෙක තමයි ධර්මයන්ගේ නිරෝධය කියන දෙපැත්තකින් අපිට නිරෝධය පිළිබඳව නුවණක් තියෙනවා.

ඒ දන්නාකම ම තමයි අවිද්‍යාවේ නිරෝධය. ඒ දන්නකම ම තමයි සංස්කාරයේ නිරෝධය. අපිට වේදනාව හම්බ වෙනවා නම්, ස්පර්ශය හම්බ වෙනවා නම්, නාමරූපය හම්බ වෙනවා නම්, විඤ්ඤාණය හම්බ වෙනවා නම් ඒ හම්බවෙන හැම තැනකම මේ ධර්මතා ටික ඔක්කොම විඤ්ඤාණ ඨිතියක් වෙලා, විඤ්ඤාණයට පැවැත්ම හදලා දීලා. විඤ්ඤාණයට පැවැත්ම හදනවා කියන තැනක තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන ධර්මතා ටිකේ පැවැත්ම නිකන්ම සිද්ධ වෙලා. හැබැයි ස්කන්ධ ධර්මතා ටිකේ නිරෝධය පෙන්වනවා නම් යම් මට්ටමකින්, එයාට වේදනාව තියනවා යැයි නොකිය යුතුයි. ඇයි එයාට හම්බ වෙන්නේ වේදනා නිරෝධයක්, එයාට හම්බ වෙන්නේ ස්පර්ශ නිරෝධයක්, නාමරූප නිරෝධයක්, ඒ වගේම විඤ්ඤාණ නිරෝධයක්. ඒ විඤ්ඤාණ නිරෝධය උපදවාගත්ත බවමයි අවිද්‍යා නිරෝධය කියලා කිව්වේ.

එතකොට ඒ නිරෝධය ඇසුරු කරන බව නිසා තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන ටික අනුප්පාදයට ගිහිල්ලා, නොහටගන්න බවට ගිහිල්ලා. ' දුතිය ඤාණවත්ථු සුත්‍ර' ආදියෙහි, පටිච්චසමුප්පාදය නොයෙක් ආකාරයෙන් බෙදා දක්වන පරියායන් අපිට දකින්න පුළුවන් කම තියෙනවා. පටිච්චසමුප්පාදය හතළිස් හතර ආකාරයකට බෙදා දක්වනවා, නැවත හැත්තෑ හත් ආකාරයකට බෙදා දක්වනවා. ඒ හැම එකක්ම අපිට මේ පරියායන් ඔස්සේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට තව බොහෝ සූත්‍ර ආශ්‍රය කරගෙන කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ තණ්හාවේ අනුප්පාද නිරෝධය සහ ස්කන්ධ නිරෝධය කියන තැන.

'දුක්ඛ සූත්‍රය' අරගෙන බැලුවොත් දුක්ඛ සූත්‍රයේ දී “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා; වෙදනාපච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං..” කියලා කියලා මේ විදිහට තමයි දුකේ ඉපැද්ම, මේ තමයි ලෝකයේ හටගැනීම. එහෙනම් ලෝක නිරෝධය මොකක්ද, දුකේ නිරෝධය මොකක්ද කියලා අහලා දුකේ නිරෝධය පෙන්වන්නේ “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා; වෙදනාපච්චයා තණ්හා යො
තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා” - ඒ තණ්හාවගේම නිරවශේෂ නිරෝධයෙන් තමයි එයාට උපාදාන නිරෝධය වෙන්නේ. උපාදාන නිරෝධයෙන් තමයි භවය නිරෝධ වෙන්නේ, භව නිරෝධයෙන් තමයි ජාති නිරෝධය, ජාති නිරෝධයෙන් තමයි ජරා මරණ නිරෝධය.

එතකොට ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව නිරෝධය දකින නිසා තමයි තණ්හා නිරෝධය. එහෙම නැති වුනොත් තණ්හා නිරෝධයක් පනවන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද න්‍යාය බොහොම ගැඹුරින් සහ බොහොම එහාට ගිහිල්ලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සූත්‍ර ක්‍රමයට වුණත් පටිච්චසමුප්පාද න්‍යාය අපිට තව එහාට ගිහිල්ලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. එක එක අංගයක් ගැන “ජරා මරණං පජානාති, ජරා මරණ සමුදයං පජානාති, ජරා මරණ නිරොධං පජානාති, ජරාමරණ නිරොධගාමිණී පටිපදං පජානාති” කියලා මේ විදිහට කතා කරන්න පුළුවන්, එක එක අංගයක් ගානේ මේ විදිහට කතා කරන්න පුළුවන්කම තියෙනවා.

ඒ වගේම පටිච්චසමුප්පාදය හැත්තෑ හත් ආකාරයකට න්‍යායක් ඔස්සේ කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ කාරණා ටික අපිට විග්‍රහ කරගන්නට පුළුවන් පැතිකඩවල්, මාර්ග තව බොහොම තියෙනවා. ඒ හැම න්‍යායකින්ම පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්නට පුළුවන්. අද අපි මේ කතා කළේ එක පරියායක්. මේ පරියායම 'මහාපදාන සූත්‍රයේ' දී (මහානිදාන සූත්‍රය ළඟ තියෙන සුත්‍රයේදීත්) විග්‍රහ කරනවා. ඒ වගේම එතනදී මේ සූත්‍ර දෙකේම පැහැදිලි කරන්නේ 'නාමරූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං' කියලා මෙන්න මේ අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත භාවය.

එතකොට මේ අඤ්ඤමඤ්ඤ භාවය පෙන්වන මේ සූත්‍ර දෙකේදීම මේ විග්‍රහය සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙතන අවිද්‍යා සංඛාර නැහැ කියලා එහෙම නෙවෙයි. මෙතන අවිද්‍යා සංඛාරයක් තියෙනවා. අවිද්‍යා සංඛාරය තියෙනවා කියන්න හොඳම සාධකය තමයි මහාපදාන සූත්‍රයේ දී දක්වන්නේ විපස්සි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය සම්මර්ශනය කරපු ආකාරය. එතකොට මේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප, නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා කියලා එතනින් එහාට දෙයක් නැහැ කියලා දැක්කයි කියලා සූත්‍රය තුළ පැහැදිලි කරනවා. හැබැයි 'අභිසමය සංයුත්තයේ විපස්සී සූත්‍රයේ' දී කියනවා ඒ නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප කියන දේ එතනින් එහාට දැක්කේ නැහැ කියලා නෙවෙයි සංස්කාර ප්‍රත්‍යයෙනුයි විඤ්ඤාණ වුනේ කියලා දැක්කා, අවිද්‍යා ප්‍රත්‍යයෙනුයි සංස්කාර වුනේ කියලත් විග්‍රහ වෙනවා.

එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මහාපදාන සුත්‍රයේදී නැහැ කියලා කිව්වට මෙතනින් එහාටත් අවිද්‍යා සංස්කාරත් කියලා තියෙන්නේ කියලා. නමුත් පින්වතුනි මේ එකම තැනක් ගැන පැහැදිලි කරන්නේ. නාමරූපයේ ඇත්ත නොදන්නාකමමයි අවිද්‍යාව. නාමරූපයේ ඇත්ත නොදන්නාකම නිසාමයි කර්ම රැස්කර ගැනීම සිද්ධ වුණේ. ඒ නිසාමයි නාමරූප දෙකේ පිහිට විඤ්ඤාණය ලැබුවේ. ඒ නිසා ‘නාමරූප පච්චයා විඤ්ඤාණං’ කියලා කියන්නෙත් ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං ’ කියලා කියන්නෙත් ඒකාර්ථවත් තැනක්. පද වශයෙන් වෙනස්කොට ගන්න පුළුවන් වුනාට අර්ථ විදිහට එකම විග්‍රහවන තැනක්.

මෙන්න මේ විදිහට අපිට පටිච්චසමුප්පාද න්‍යාය කතා කරන්න පුළුවන්. නමුත් සූත්‍රය තුළ තවත් ගොඩක් දෘෂ්ඨි ගොඩනැගෙන ආකාරය, ඊට පස්සේ ඒ ඔස්සේ අපි සමනුපස්සනාවන් සිද්ධ කරන ආකාරය, ඊට පස්සේ වේදනා ආදී ධර්මයන්ගේ අපිට සමනුපස්සනාව පවතින්නේ කොහොමද කියන එක දේශනා කරලා අපිට අෂ්ඨ විමෝක්ෂ ධර්මයන් ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා කොහොමද සමථය වඩලා සමථය ඔස්සේ උභතොභාග විමුක්ත රහතන් වහන්සේ නමක් වෙන්නේ කියන කාරණාව මහානිදාන සූත්‍රයේදී පැහැදිලි කරනවා. නමුත් අපිට ඒ සියලුම විග්‍රහයන්ට යන්නට මේ අවස්ථාවේදී කාල වේලාව ඉක්මිලා තියෙන නිසා අපි මේක අවස්ථාවක් කරගන්නවා අපිට යෙදිලා තියන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට අපි සූත්‍රය පැහැදිලි කිරීම මෙතකින් නිමාවට පත්කරලා.

මේ පටිච්චසමුප්පාද න්‍යාය ඉතාම ගැඹුරුයි, ඉතාම සියුම්ව විග්‍රහ කළ යුතුයි, පරියායන් බොහෝයි. එදා බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ දේශනා කරන්නේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්න යනකොට හරියට මහා සාගරයකට වැටුනා වගේ කියලා. ඉතින් ඇත්තටම මහා සාගරයට වැටුණු කූඹියෙක් වගේ දෙයක් දැනෙනවා පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ කරන්නට යනකොට මොකද ඒ තරම් ඒක න්‍යායාත්මකව පැති තියෙන, බෙදා දක්වන්න පුළුවන්කම තියෙන, විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන සුවිශේෂ පැතිකඩක්. පටිච්චසමුප්පාදය දැකීමෙන්ම භාග්‍යවතුන් වහන්සේ දකින්න පුළුවන්කම තියෙනවා කියලා හිතනවා. පටිච්චසමුප්පාදය දැකීමෙන්ම සම්මා සම්බුද්ධත්ව ඥානය ගැන තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ තරම් අති ගම්භීර විෂය පරාසයක් තමයි පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ. මේ කතා කළේ ඒකේ න්‍යායාත්මකව ඒකදේශ මාත්‍රයක් පමණයි.

දේශනාව නිමි

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 07.05.2020 වෙසක් පොහොය දින බෞද්ධයා නාලිකාව ඔස්සේ මහානිදාන සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

Post a Comment

0 Comments