විභජ්ජවාදී දෙවන ලිපි මාලාව -1


විභජ්ජවාද
දෙවන දේශනාව:1

නමෝ තස්ස භගවතො අරහ‍තො සම්මා සම්බුද්ධස්ස

ශ්‍රද්ධාසම්පන්න කාරුණික පින්වතුනි,
අපි පසුගිය සතියේදීත්, අභිධර්‍ම පිටකයේ ධම්මසඞ්ගණී ප්‍රකරණයේ එන රූප කාණ්ඩයට අදාළව රූපස්කන්ධය පිළිබඳව විග්‍රහයක් කරගන්නට යෙදුනා. 

මූලික වශයෙන්ම අද, අභිධර්‍මය කියන එක බුද්ධ භාෂිතයක් නොවෙයි, බුදුරජාන්වහන්සේගේ දේශනාවක් නොවෙයි කියන සමාජීය මතයක් තියෙනවා. නමුත් ඇත්තටම අභිධර්‍මය සහ සූත්‍ර පිටකයේ තුළනාත්මක අධ්‍යයනයක නිරතවුනු කෙනෙක්, මේ විග්‍රහය, මේ කතාව කවදාවත් සිද්ධකරන්නේ නැහැ. යම් කෙනෙක් සිද්ධකරනවා නම්, ඔහු අභිධර්‍ම කාරණා සූත්‍ර න්‍යායට විරුද්ධව යන තැනුත්, සූත්‍ර කාරණා අභිධර්‍මය න්‍යායන්ට විරුද්ධව යන තැනුත් පෙන්වා දියයුතු වෙනවා. එහෙම පෙන්වා දෙන්නේ නැතුව, කෙනෙක් කියන්නන්වාලේ කියනවා නම්, ඒක හුදු ප්‍රලාප මාත්‍රයක් පමණයි. 

අනිත් එක තමයි, කෙනෙක් බුද්ධභාෂිතය නෙවෙයි කියලා තර්‍ක කරනවා නම්, අපට අවශ්‍යතාවයක් ඇත්තටම ඇතිවෙන්නේත් නැහැ මේක බුද්ධභාෂිතයක්මයි, බුදුරජාණන්වහන්සේම දේශනා කළාමයි කියන එක කියන්න.  හේතුව, සූත්‍ර පිටකයේ ‘දසුත්තර සූත්‍රය‘, ‘සංගීති සූත්‍රය‘ වගේ විශේෂ සූත්‍ර දේශනා කොච්චර ප්‍රමාණයක් තියෙනවාද, බුද්ධභාෂිතයට අදාලව, නැත්නම්, බුද්ධ භාෂිත කියන වචනයෙන් ශ්‍රාවක භාෂිත කොච්චර ප්‍රමාණයක් තියෙනවාද, මහ රහතන් වහන්සේලා විසින් උද්දේෂයන්ට නගාපු. මහ රහතන් වහන්සේලා විසින්ම විස්තර කරපු ධර්‍ම කාරණා,  බුද්ධභාෂිතය යන ගනයෙන්ම සංග්‍රහ කරලා තියෙනවා.

ඒ වගේම, කතා වත්ථුප්‍රකරණය වගේ ග්‍රන්ථත්, ඛුද්දක නිකායේ, ඇතුලත්වෙලා තියෙනවා, බුද්ධ භාෂිත කියන ගනයටම.

ඒ වගේම පරිනිර්‍වාන සූත්‍රයේ අගට එන පංච සතිකක්ඛන්ධක සහ සත්ත සතිකක්ඛන්ධකය කියන ධර්‍ම සංගායනා වලට අදාලව එන ඇතැම් විස්තරත්, ඒ වගේම මහාවග්ගපාලියේ, ඛන්ධකවිනයේ එන ඒ පංච සතිකක්ඛන්ධක සහ  සත්ත සතිකක්ඛන්ධකය කියන ඒ කාරණාත් බුද්ධභාෂිත කියන ගනය තුළ සංග්‍රහ කරලා තියෙනවා, ත්‍රිපිටකය තුළ. හේතුව, බුදුරජාණන්වහන්සේගේ ධර්‍ම විනය, යම් න්‍යායක් ප්‍රතිවිරුද්ධව ඉක්මවන්නේ නැතුව මනාකොට දේශනා කළා නම්, ඒක ශ්‍රාවක භාෂිතයක් වුනත් ඒක බුද්ධ භාෂිතයක්. එයා සඳහන් කරන්නේ, බුදුරජාණන්වහන්සේගේ පණිවිඩය, බුද්ධශාසනය.

අභිධර්‍ම න්‍යාය චතුරාර්‍ය්‍ය සත්‍යයට ගැලපෙනවා නම්, ඒ වගේම පටිච්ච සමුප්පාදයට ගැලපෙනවා නම්, අභිධර්‍ම න්‍යාය, සූත්‍ර න්‍යාය ඉක්මවා යන්නේ නැත්නම්, නෙත්තිප්‍රකරණයේ එන සෝළසහාර ආදී ඒ න්‍යායාත්මක ක්‍රමයට අභිධර්‍මය ගැලපෙනවා නම්, කුමන පදනමක් යටතේද, අභිධර්‍මය බුද්ධභාෂිතයක් නොවෙයි යන තර්‍කය නගන්නේ?

ඒ නිසා, අභිධර්‍මය ශ්‍රාවක භාෂිතයක් හෝ වේවා, බුද්ධ භාෂිතයක් හෝ වේවා, අපට වෙනම තර්‍ක කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ, බුදුරජාණන්වහන්සේ දේශනා කරපු න්‍යායම අනුගතව තියෙනවා නම්, මේක බුද්ධ භාෂිතයක්ම තමයි.

ඒ වගේම තමයි, අපි දන්නවා හොඳාකාරවම, අපට පිළිගන්න පුළුවන්, අපේ ඉතිහාසගත වාර්‍තා ආදිය තුළ මේක බුද්ධ භාෂිතයක් විදියටම මහ රහතන්වහන්සේලා විසින් පවත්වාගෙන ආපු පිටකයක් තමයි, අභිධර්‍ම පිටකය කියන එක.

ඒ අභිධර්‍ම පිටකය, පළමුවෙනි ධර්‍ම සංගායනාවේදී, සංගීතියට පත්වෙච්ච පිටකයක්. ඒ නිසා, අභිධර්‍මය බුද්ධ භාෂිතයක්මයි, බුදුරජාණන්වහන්සේ දේශනා කරපු ඒ උතුම් උද්දේෂයක්මයි, දහම් පරියායක්මයි. නමුත් වර්‍තමානයේ උගත්යැයි කියාගන්නා ඇතැම් පිරිසක් මේක විවේචනය කරන්න උත්සාහ දරනවා. නමුත් ඔවුන් මේ පිළිබඳ කොතෙක් දුරට අධ්‍යයනයක් කරලාද කියන එක පිළිබඳව නම් සැක සහිතයි. ධර්‍මය තබා, ධර්‍මයේ උණුසුමවත් ලබාගත්තේ නැති කෙනෙක් මේක බුද්ධ භාෂිතයක් නොවෙයි කියලා ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන්කම තියෙනවා. 

හැබැයි ඔහු දන්නේ නැහැ, සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර තියෙනවා, ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනාකරපු. ශ්‍රාවක භාෂිතම, බුද්ධ භාෂිත කියන ගනයට අයිතිවුනු සූත්‍ර කියන එකවත් නො දැන ගත්තාවු කෙනෙක්ම තමයි, ඒ න්‍යාය, ඒ ක්‍රමය නො දැනගත්ත කෙකෙන් තමයි මේක බුද්ධ භාෂිතයක් නොවෙයි කියලා ප්‍රතික්‍ෂේප කරන්න උත්සාහ දරන්නේ.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments