විභජ්ජවාදී දෙවන ලිපි මාලාව -11


විභජ්ජවාද
දෙවන දේශනාව:11

රූපය කියන එක ‘සාසවයි‘ ආශ්‍රව වලට හිත ධර්‍මයක්. නැත්නම්, ආශ්‍රව සහිත වූ මනසකට ඇතිවෙන ධර්‍මතාවයක්. 

ඒක කාමාශ්‍රවයයි කියලා කියනකොට, කාමාශ්‍රවය හැම වේලාවකදීම රූපයකමයි යෙදෙන්නේ. ඔබ යම්කිසි දවසක කැමැත්තක් හෝ අකමැත්තක් ඇති කරගෙන තියෙනවාද, කිසිම රූපයක් නැතුව? ඒ කියන්නේ, දැකලාත් නැත්නම්, අහලාත් නැත්නම්, නාසයෙන්, දිවෙන් හෝ කයෙන් විඳලාත් නැත්නම්, මොන රූපය ගැනද කැමැත්තක් ඇතිවෙලා තියෙන්නේ? ඒක දැකලාත් නැත්නම්, අහලාත් නැත්නම්, විඳලාත් නැත්නම්, ඒ ගැන අපට කැමැත්තක් ඇතිවෙන්න විදියක් නැහැ.

අපි, හැම වේලාවකදීම, ලෝකේ තුළ කැමති, අකමැති, කැමතිත් නොවන අකමැතිත් නොවන උපේක්‍ෂා සහගත වස්තු කියන මට්ටමක, තමන්ගේ මනස තුළයි කාමාශ්‍රවය ඇති කරගන්නේ. කාමාශ්‍රවය, ඒ කැමැත්ත හෝ අකමැත්ත. 

භවාශ්‍රවය කියලා කියනවා, ඒ හැම දෙයක්ම ඇති බවට අපට තියෙන දර්‍ශනයට. ඊයේ දවසේ ඇසුරු කරපු දේ, අදත් ගියොත් බලන්න පුළුවන් කියලා, අපේ හිතේ සඤ්ඤාවක් තියෙනවා, ගතියක් තියෙනවා. ඔන්න ඔය ඇති බවට හම්බවෙන ගතියට තමයි භවය කියලා කියන්නේ.

ඒක රූපය පැත්තෙන් ඇති බවට හම්බවෙනකොට, ඒකට කියනවා කාම භවය කියලා. රූපය පැත්තට ඇතිවෙනකොට මේ කාමාශ්‍රවය පැත්තම අපට භවය වෙලා තියෙනවා. නැත්නම්, කොටින්ම කියනවා නම් කාමයම භවය කරගෙන තියෙනවා.
රූපයම ඇති බවට භවය හදාගෙන තියෙනවා. ඒ නිසා, භවාශ්‍රවයක් ඇතිවෙනවා නම් මේ භවාශ්‍රවය රූපයේම එතෙනවා, රූපයේම ගෙතෙනවා, රූපයේම දිවෙනවා. 
මෙන්න මේ විදියට රූපයම අනුව යන ධර්‍මතාවයක් තමයි භවාශ්‍රවය කියලා කියන්නේ. 

ඒ වගේම දිට්ඨාශ්‍රවයක් තියෙනවා නම්, යම් දර්‍ශනයක්, යම් දැක්මක් තියෙනවා නම්, මේ දිට්ඨාශ්‍රවය දිට්ඨි සහගත බවක්. දිට්ඨි සහගත බවක් කියනකොට දකින්න, මිච්ඡාදිට්ඨි සහගත දර්‍ශනයක්, වැරදි දෘෂ්ඨියක්. තෘෂ්ණා සහ දිට්ඨි කියලා කියනකොට, මේ ඇති බවටම හම්බවෙන දිට්ඨියක්. මේ පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඉන්න පුද්ගලයාමයි මේ රූපේ කියලා අපට යම් දර්‍ශනයක් තියෙනවා නම්, මේ ලෝකේ ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා, ගස් ගල් ගෙවල් දොරවල් විඳින්න පුළුවන් මම, පුද්ගලයත් මේ පැතතෙන් ඉන්නවා.

අපට ඔය දෙපැත්තටම ගිය පුද්ගලභාවය ලෝකේ තියෙනවා නම්, හම්බවෙනවා නම්, අන්න ඒකට කියනවා දිට්ඨි සහගත ක්ලේෂය, දිට්ඨි සහගත සංයෝජනය කියලා. ඒකට කියනවා දිට්ඨාශ්‍රවය කියලා. 

ඒ වගේම, ඔක්කෝම ආශ්‍රව ධර්‍මතා ටික පවත්වාගෙන යන්න ඇතිකරගෙන යන්න හේතුයි, අවිජ්ජාශ්‍රවය, අවිද්‍යාව කියන මට්ටම. ඒ අවිද්‍යාව තුළ තමයි අපට මේ ආශ්‍රව ධර්‍මතා ටික ඔක්කෝම සම්පූර්‍ණම ඇති කරගෙන දියුණු කරගෙන යන මට්ටම තියෙන්නේ.

මේ ධර්‍මතා ටිකට, කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ මට්ටමට කිව්වා, ආශ්‍රව ධර්‍මතා කියලා. මේ ආශ්‍රව ධර්‍මතා ටික නිසා, ‘තේසං ආරම්මණ භූතා‘ ආශ්‍රව ධර්‍මතාවයන්ට ආරම්මණ වෙන නිසා, රූපයට කියනවා ‘සාස්‍රවයි‘ කියලා.

එතකොට, දැන් ආශ්‍රව ධර්‍මතාවයන්ට ආරම්මණයවෙන නිසා නම්, ආශ්‍රව ධර්‍මතාවයන් යෙදෙන මට්ටම නිසා නම්, සාස්‍රවයි කියලා කියන්නේ, ඒ ආශ්‍රව සහිත මනසකින් තොර වුනොත් කෙනෙක්, ඒ කෙනාට කවදාවත් රූපය හසු නොවෙන මානසික මට්ටමක් ඇතිවෙනවා, රූපය හසු නොවෙන තැනකට පත්වෙනවා.

එතකොට, කෙටියෙන්ම තනි වචනයෙන් කතාකළා, ‘සබ්බං රූපං සාසවං‘. සියළු රූප සාස්ස්‍රව ධර්‍මතාවයන්. ආශ්‍රව සහිතවුන, නැතිනම් ආශ්‍රව වලට හිතවුන ධර්‍මතාවයක්. ආශ්‍රව වලට හිතවුනේ, ආශ්‍රව යෙදෙන තියෙන මනසකටයි. ආශ්‍රව ඇති කරගත්ත මනසට රූපය සාස්‍රව වුනා මිසක, රූපයෙන් කවදාවත් ආශ්‍රව ආවේ නැහැ.

රූපයට පුළුවන්කම තිබුනේ අනාශ්‍රව විදියට පෙනීහිටින පැත්තකට යන්න විතරයි. නමුත් ඒ රූපය ඇති බවට ගෝචර කරගත්තේ, රූපය විඳින්න පුළුවන් මනසක් හදාගත්තේ, සම්පූර්‍ණම සාස්ශ්‍රව වෙච්ච ධර්‍මතා ටිකකින්. රූපය ඇසුරු කරන්නේ ඒ මට්ටම නිසා, ඒ නමින්ම රූපය නම් කරනවා, රූපය සාසවයි කියලා. රූපය ආශ්‍රව නෙවෙයි, නමුත් ආශ්‍රව ඇතිකරන්න හිත ධර්‍මතාවයක් කියලා.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments