විභජ්ජවාද
දෙවන දේශනාව:2
අද දවසේ අපේ මාතෘකාවට යොමුවුනොත්, අපි කතා කළා, රූප කාණ්ඩයේ, ‘සබ්බං රූපං න හේතු, අහේතුකං, හේතු විප්පයුත්තං, සප්පච්චයං‘ කියන මේ මාතිකා ටික, මාතෘකා ටික. දළ වශයෙන් අපි මතක් කරගත්තොත්, ‘සබ්බං රූපං න හේතු, අහේතුකං, හේතු විප්පයුත්තං‘ කියන තැනදී, සියළුම රූප හේතු නෙවෙයි, හේතු වශයෙන් දකින්න එපා කියලා අපි කතා කළා.
රූපය, හේතු යන කාරණාව යටතේ සංග්‍රහ කෙරෙන්නේ නැහැ. කවදාවත්, රූපයෙහි හේතු යෙදෙන්නේත් නැහැ. සරළවම කියනවා නම් රූපයක් දිහා බලාගෙන, රූපය නිසා අපි කවදාවත් හේතු හදාගත්තේ නැහැ. තම තමන්, තම තමන්ගේ සංඛාරය තුළම, නැතිනම් නව කර්‍ම සකස් කරගත්තේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි“ - මහණෙනි, මම චේතනාව කර්‍මයයි කියලා කියනවා කියාපු තැන, හැම වේලාවකදීම, චේතනාව පිළිබඳවයි කර්‍ම සකස් කරගත්තේ කියන තැනකිනුයි, හේතු යෙදුනේ, රූපයේ හේතු යෙදුනේ නැහැ කියන එක පිළිබඳව අපි කතා කළා.
ඒ වගේම ‘සප්පච්චයං‘ කියන කාරණාව තුළ අපි කතා කළා, රූපය ප්‍රත්‍ය සහිත වූවක්, අහේතුක අප්‍රත්‍ය දෙයක් නෙවෙයි රූපය කියන එක. රූපය ප්‍රත්‍ය සමවායෙන් ඉපදුන දෙයක්. ඒ ප්‍රත්‍ය සමවායෙන් ඉපදුන රූපය හේතු සහ ප්‍රත්‍ය කියන කාරණා දෙකක් තියෙනවා.
‘හේතුව‘ හැම වේලාවකදීම ස‍්වජාතිකයි සහ සාධාරණයි. ප්‍රත්‍ය අන්‍ය ජාතිකයි, අසාධාරණයි. කාටත් පොදුවේ උපකාර කරනවා.
රූපයට ප්‍රත්‍ය ධර්‍ම විදියට පෙන්නුවා, සතර මහා ධාතුව සහ ඒ වගේම, ආහාර ප්‍රත්‍යය නිසා රූපය විද්‍යමානයි කියලා.
ඒකෙදි කතාකළ බොහොම වැදගත් කාරණාවක් තමයි, සතර මහා ධාතුව නිසා පෙනෙන රූපය, ආහාර ප්‍රත්‍යයෙන් ඔසවන, උපද්දවන රූපය, හැම වේලාවකදීම, භෞතික පැත්තේ ඉඳලා කතා කළත්, රූපය ආහාර ප්‍රත්‍යයෙන්ම උපද්දපු, සතර මහා ධාතු ප්‍රත්‍යයෙන්ම උපද්දපු දෙයක්. ඒ වගේම තමයි ආහාර ප්‍රත්‍යයෙන් ඉපැද්දුවා කියලා කියනකොට, ආයතන ටික හදපු පැත්තෙනුත් ආහාර ප්‍රත්‍යයෙන් හැදුවා කියන කාරණාව.
මේ තුළ ඇත්තටම ටිකක් විස්තර කරගත යුතු බොහොම ලස්සන, බොහොම සියුම්, ගැඹුරු කාරණා කීපයක් තියෙනවා. අපි ඒ ගැන ටිකක් විමසලා බලමු.
ප්‍රත්‍ය සමවායෙන් උපන් රූපය කියලා කියනකොට, සප්පච්චයං කියලා කියනකොට, අහේතුක, අප්‍රත්‍යව නෙවෙයි කියලා කියනකොට, හැම වේලාවකදීම, අපට දකින්න වෙනවා, කාරණා ටිකක්.
ඒ තමයි, මේ ආහාර ටිකෙන් උපද්දපු ආයතන ටික ඇති කල්හිම උපදින රූපය ගැන අපට දකින්න වෙනවා. ආයතනයන්ගෙන් තොරව රූපය කිසිම කලක හම්බ නොවෙන මට්ටමේ දැනුමක් නුවණක් අපට ඇති කරගන්න වෙනවා.
එහෙම මතක් කළේ, අද අපට බොහොම සංකල්පනාවක් තියෙනවා, ලෝකේ රූපය තියෙනවා, තිබුන ලෝකේ අපි ඉපදුනා, ඒ වගේම තියෙන ලෝකේ අපි ජීවත්වෙනවා, ඒ වගේම ලෝකේ තියෙනකොට, අපි මැරිලා යනවා.
ඒක තමයි අපේ තියෙන සාමාන්‍ය දර්‍ශනය. ගොඩාක් වෙලාවට අපි විදර්‍ශනාව වඩන්න ගියත්, ඒ පැත්තකට යොමුවුනත්, අපේ ජීවිතය පවතින්නේ, ඔන්න ඔය මානසික මට්ටමේමයි. ඒ කියන්නේ, රූපය තියෙනවා කියන තැන කියන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ.
නමුත් බුදුරජාණන්වහන්සේ අපට කොයි වේලාවකදීවත්, රූපය ඇති බවට දේශනා කළේ නැහැ. හැබැයි එහෙම කිව්වා කියලා ගන්න එපා රූපය නැති බවට පෙන්නුවා කියලා. මොකද? ඇති බවෙනුත් මිදිලා, නැති බවෙනුත් මිදෙන, ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුරුවෙන විදියටයි බුදුරජාණන්වහන්සේ රූපය ගැන පැහැදිලි කළේ.
‘කච්චානගොත්ත සූත්‍රය‘, බුදුරජාණන්වහන්සේ කච්චානගොත්ත හාමුදුරුවන්ට පෙන්නුවේ, මේ ලෝකයේ ඇත කියලා අන්තයක් තියෙනවා, නැත කියලා අන්තයක් තියෙනවා. ඒ වගේම කෙනෙක් උදය වැය දක්නා මට්ටමේ නුවණ පවත්වනවා නම්, උදය දකින ඔහුට රූපය නැහැ කියලා යම් දැක්මක් තියෙනවා නම්, ඒ දැක්ම දුරුවෙනවා, රූපය හටගන්නා බව දකිනකොට. ඒ වගේම රූපය නිරුද්ධවෙන බව දකින කෙනාට රූපය තියෙනවා කියලා, ඇතැයි කියලා යම් දෘෂ්ඨියක් තියෙනවා නම් ඒ දෘෂ්ඨිය දුරුවෙනවා. ඒ නිසා ‘කච්චානගොත්ත සූත්‍රයත්‘ මෙතනට අදාල කරගත්තොත්, අර්‍ථ විග්‍රහ කරගන්න කාටත් බොහොම පහසුවක් වෙයි.
මතු සම්බන්ධයි
0 Comments