විභජ්ජවාද
දෙවන දේශනාව:3
එතකොට, රූපය ප්‍රත්‍ය සහිතව උපන්න දෙයක් කියලා කියනකොට, අද අපේ ඇත්තෝ ගොඩාක් වෙලාවට විදර්‍ශනා වඩන්න ගියත්, අපි සමග කතා කරනකොට අපට තේරෙන දෙයක් තමයි, රූපය ඇති බව තුළ ඉඳලා, ඇති රූපෙත් එක්ක ගිහිල්ලා, මාර්‍ගය වඩන්න හදන බව. එහෙම නම් හාමුදුරුවනේ සතර මහා ධාතු වූ රූපය හරි තියෙනවා නේද, කියන තැනක තමයි ඇත්තටම මනස පවත්වන්නේ. ධාතු වූ රූපයක් හරි එලියේ තියෙනවා නේද කියන මට්ටමක.
ඇත්තටම, ඒ විදියේ රූපයක් ගැනවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මෙහෙම තැනකින් පැහැදිලි කරනවා. රූපය කියන එක, සප්පචයං, ප්‍රත්‍ය සහිතව උපදින දෙයක්. හැබැයි, ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධවෙන දෙයක්.
කුමන ප්‍රත්‍යයකින්ද? ඇහැ, රූප දෙක ගැන පෙන්වන ප්‍රත්‍ය තමයි, සතර මහා ධාතුව සහ කබලිංකාර ආහාර ප්‍රත්‍ය කියන දෙක. මේ ධර්‍මතා ටික ඇති කල්හි හිතේ යෙදෙන අනිත් ආහාර ධර්‍මතා ටිකත්, ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන මේ ධර්‍මතා ටිකෙන් රූපය දැනගන්න බව අපට ගෙනල්ලා දෙනවා. ඒ වගේම අර ටිකෙන් රූපය දැන ගැනීමට අදාළ මූලික කාරණා ටික ඇති කරන බව සිද්ධවෙනවා. සරළවම, රළුවම විග්‍රහ කරනවා නම් අපට ඒ විදියට තමයි විග්‍රහ කරන්න වෙන්නේ.
එතකොට, රූපය ඇති බවට කතා කරන තැන හැම වේලාවකදීම, “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං“ කියන මට්ටමේ ඇසද නිසා, රූපයද නිසා, චක්ඛු විඤ්ඤාණය උපදිනවා කියන තැන, ඇස සහ රූපය, ඔන්න ඔය කාරණාවේදි තමයි අපට රූපය ගැටෙන එකම මොහොත.
ඇහැට රූපය ගැටෙන එකම මොහොත මේක වෙනකොට, ඒ වේලාවේ ඇති ඇහැ දන්නෙත් නැහැ, රූපය දන්නෙත් නැහැ, ඊට කලින් ගැටුනු රූප ගැනවත්, අනාගතයට ගැටෙන්න තියෙන රූප ගැනවත්.
එතකොට, මේක කලින් තිබ්බා කියලා යම් දැක්මක්, යම් දැනුමක් අපේ තියෙනවා නම්, ඒක තම තමන්ගේ මනස තුළ උපද්දන දෙයක්. රූපය අතීතේ තිබ්බා කියලා අපි හිතනවා නම්, ඒ හිතන මනසිකාරය, වර්‍තමානයේ උපද්දගත්ත මනසිකාරයක් මිසක, අතීත රූපයක් ගැන අරමුණු කිරීමක් නෙවෙයි.
වර්‍තමානයේ මේ මොහොතේ අපට ඇතිවෙන්නේ අනාත්ම ධර්‍මතාවයක් කියන තැනක, ඒකේ කිසිම අතීත රූපයක් සංග්‍රහ වෙන්නේ නැහැ. නැතිනම්, ලෝකේ ඇති බවට ගත්ත, රූපය තියෙනවා කියලා ගත්ත සංකල්පය අපට දුරුවෙන්න අවශ්‍යයි.
සතර මහා ධාතු වශයෙන් හෝ බලන, රූප කලාප බිඳි බිඳී යන විදියේ හරි රූපයක් තියෙනවා නේ කියන, යම් සංඛාරයක්, යම් මනසිකාරයක් තියෙනවා නම්, මේ මනසිකාරය අපෙන් දුරුවෙලා තියෙන්න ඕන. මොකද? අපි රූපය හටගත්ත විදිය දකිනවා. මෙන්න මේ ප්‍රත්‍ය ටික ඇති කල්හියි රූපය හැදුනේ, මේ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනකොට, රූපය නිරුද්ධ වෙනවා.
අපට මේ ප්‍රත්‍ය ටික ඇති කල්හි හටගත්ත රූපයත්, ප්‍රත්‍ය නිරෝධයෙන් බිඳෙන රූපය කියන මේ කාරණාවේ, උදය වැය කියන කාරණාව දකින්න පුළුවන්කම අපට තියෙන්න ඕන, රූපය ප්‍රත්‍ය සහිත වූවක් කියලා පෙන්වනකොට.
එහෙම නැතුව මේකෙන් කියන්න උත්සාහවත් වෙන්නේ, තියෙන රූපය ප්‍රත්‍ය සහිතයි කියලා නෙවෙයි. ප්‍රත්‍ය ධර්‍මතා ටිකක් ඇතිකල්හිම රූපය ඇති බවට ගිහිල්ලා, ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධවෙනවා කියන එක. ඒක අපි හොඳට මතක තබාගත යුතු දෙයක්.
ඒ ‘සප්පච්චයං‘ කියන එකත් එක්කම විග්‍රහ කරන දේ තමයි රූපය ‘සංඛතං‘. සංඛත ධර්‍මයක්. රූපය සංඛතයි කියලා කියන්නේ, සකස් කරන ලද දෙයක්. රූපය හැම වේලාවකදීම, සකස්කරපු, සංඛත ධර්‍මතාවයක්. මොනවායින්ද සකස් කළේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු දෙයක්.
මොනවාද රූපය සකස්කරන්න තියෙන හේතු ධර්‍මතා ටික? හැම වේලාවකදීම, අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව කියන මේ කාරණා ටික ‘හේතු‘යි රූපය දකින, රූපය පෙනෙන මනසක් හදලා තියන්න.
ඒ නිසා, හැම වේලාවකදීම, රූපය දකින්න පුළුවන්කම තියෙන්නේ, රූපය පෙනෙන්නේ, සංඛත මනසකට. හේතූන්ගෙන් සකස්කරපු, ප්‍රත්‍යයන්ගෙන් සකස්කරපු, මනසකට තමයි රූපය දකින්න පුළුවන්කම තියෙන්නේ.
මතු සම්බන්ධයි
0 Comments