පාරිලෙය්‍යක සූත්‍රය 1


පාරිලෙය්‍යක සූත්‍රය 1

නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස !

ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, හැම කෙනෙක්ම මේ වෙලාවෙදී උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත, බිනර පොහොය දවස නිමිති කරගෙන අද දවසේදී මේ විදිහට සිද්ධ කෙරෙන්නේ. පොහොය දවසේ පවත්නා විශේෂත්වයන් පිළිබඳ මීට පෙර පවත්වන්නට යෙදුන අනුශාසනාවන්හිදී මේ පින්වතුන්ට කරුණු කාරණා දැනගන්නට ඇති. ඒ නිසා අපි අද දවසේදී මේ දේශනාව ඒ කරුණු සම්බන්ධයෙන් සිහිපත් කිරීමෙන් තොරවම ආරම්භ කරන්නට යෙදෙන්නේ.

අපට මූලිකවම සිහිපත් කිරීමක් කළා, පාරිලෙය්‍යක සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්ම කාරණා කිහිපයක් සිහිපත් කළොත්, එය බොහෝ දෙනෙකුට යහපත පිණිස පවතීවි කියලා. ඒ නිසා අද සූත්‍රදේශනාව අපි සිද්ධ කරන්නේ, සංයුක්ත නිකායේ - ඛන්ධ සංයුක්තයේ දැක්වෙන - පාරිලෙය්‍යක සූත්‍රය ආශ්‍රය කරගෙන.

~~ නිදාන කතාව ~~

පාරිලෙය්‍යක සූත්‍රය, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශේෂ අවස්ථාවක. පාරිලෙය්‍යක වනයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවක තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. මෙයට නිදාන කතාව බවට පත්වන්නේ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ ආරාවුලක් පදනම් කරගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා පනාමනය කොටගෙන (ඉවත්කොට හුදෙකලාව වනයකට වැඩමකිරීම) කියන කාරණාවත් සමඟ.

ඝෝෂිතාරාමයේ වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා අතර එදා යම් විනය කරුණක් පදනම් කරගෙන විවාදයක් හටගත්තා. හොඳට ධර්මය දන්නා (සුතධර, මාතිකාධර, ධම්මධර කියන) එක භික්ෂූන් වහන්සේ නමක් ආපත්තියක් සිදුවෙලා තියෙනවා කියන හැඟීමෙන් ඉන්නකොට, අනික් භික්ෂූන් වහන්සේලාගේ තීරණය බවට පත්වුනේ ඒ භික්ෂුන් වහන්සේට 'ආපත්තියක් සිදුවී නැතැ'යි කියන එක.

ටික දවසක් යනකොට අනික් භික්ෂූන් වහන්සේලාගේ අදහසක් බවට පත්වුනා 'ප්‍රධාන භික්ෂූන් වහන්සේට ආපත්තියක් සිද්ධවුනා' කියලා. නමුත් ප්‍රධාන භික්ෂූන් වහන්සේගේ මතය බවට පත්වුනේ 'ආපත්තියක් සිද්ධ වුනේ නැහැ' යි කියන එක. මුලින් තිබුන ස්ථාවරය දෙපිරිසගේම පසුකාලයට යනකොට ටිකක් වෙනස් බවට පත්වුනා. මෙන්න මේ අවස්ථාව පදනම් කරගෙන භික්ෂූන් වහන්සේලා අතර මේ ගැන විවාදයක් හටගත්තා.

ඒ මොකද, ප්‍රධාන භික්ෂූන් වහන්සේට මේ ඇවැත (ආපත්තිය) සඳහා ප්‍රතිකර්ම කරන්න කිව්වාට, උන්වහන්සේ ඒ ආපත්තිය 'සිද්ධ නොවුනාය' කියන ස්ථාවරයේ තමයි රැඳී හිටියේ. 'ආපත්තිය සිද්ධ නොවුනාය' කියන ස්ථාවරයේ ඇවැත් වෙලා, ඇවැත් සිදුකරමින්, ඇවැත් නොදැක ඉන්න භික්ෂූන් වහන්සේලා සඳහා සිදුකරන විනය කර්මයක් තියෙනවා. ඒ විනය කර්මය සිදුකිරීමෙන් අදාළ භික්ෂූන් වහන්සේ නෙරපා හරිනවා සඞ්ඝයාගෙන්.

එතකොට සඞ්ඝයා සමඟ එක්ව වාසය කිරීමක් ඒ භික්ෂුවට සිද්ධවන්නේ නැහැ, ඒක විනයානුකූල ක්‍රියාමාර්ගයක්. අනිකුත් භික්ෂූන් වහන්සේලා මේ අවස්ථාවේ මේ භික්ෂූන් වහන්සේ ධර්මධර, විනයධර, මාතිකාධර භික්ෂූන් වහන්සේ නමක් වූවත් ඇවැත් නොදැකීම නිසා උන්වහන්සේට සඞ්ඝයාගෙන් ඉවත් කිරීම කියන සිදුකරනු ලබන විනය කර්මය සිද්ධ කළා.

මේ භික්ෂූන් වහන්සේ සමඟ බොහෝම සමීප ඇසුරක් පැවැත්වූ තවත් එවැනිම ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වෙත ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේ ඒ කරුණ පැහැදිලි කරලා උන්වහන්සේලාට කිව්වා තමාට ආපත්තියක් සිද්ධවෙලා නැති බව. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා බොහෝමයකුත් මේ ප්‍රධාන භික්ෂූන් වහන්සේගේ පාර්ශවය ගත්තත්, අනික් භික්ෂූන් වහන්සේලා 'ආපත්ති වුනාය' යැයි කියාගත්ත භික්ෂුන් වහන්සේලාගේ පාර්ශවය ගත්තා.

මේ විදිහට සඞ්ඝයා දෙපිරිසක්ව බෙදී පවතිනකොට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව පිළිබඳ දැන්වූවා. භාග්‍යවතුන් වහන්සේ, 'සඞ්ඝයා බිඳුනා. සඞ්ඝයා බිඳුනා' යැයි කියමින් ඒ භික්ෂූන් වහන්සේලා වෙත වැඩම කරමින් කරුණු පැහැදිලි කිරීම් කළා.

ආපත්තිය සිදුවූ බවට සඳහන් කරන අර භික්ෂුන් වහන්සේට විනය කර්මය කළ හාමුදුරුවරු ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා, මහණෙනි, මේ භික්ෂුව ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ නමක්, බොහෝ පාර්ශවයක් ඉන්නවා. උන්වහන්සේ ආපත්ති නොවුනා යැයි සංඥාවේ ඉන්නේ.

එවිට අනික් පිරිස 'ආපත්ති වුනා යැයි' සංඥාවේ ඉඳගෙන මෙබඳු අවස්ථාවක එබඳු විනය කර්මයක් කිරීම සඞ්ඝයා බිඳීමට යනවා. ඒ නිසා එවැනි විනය කර්මයක් සිදු නො කටයුතුයි. ඒ නිසා සංඝයා සමඟි කරවන්නට අවශ්‍ය කාරණා පිළිබඳව දේශනා කළා.

ඒවගේම ඒ වැරද්ද කළා යැයි කියන භික්ෂුන් වහන්සේගේ පාර්ශවයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ එතනදී දේශනා කරනවා, 'අනාපත්ති සංඥාවේ හිටියත්' මේ සඞ්ඝයාගේ බිඳීම දැකගෙන කල්පනා කරන්නට තිබුණා අනිකුත් භික්ෂූන් වහන්සේලා හොඳට ධර්මධර, ශ්‍රැතධර, විනයධර භික්ෂූන් වහන්සේලා බව.

උන්වහන්සේලා ආපත්තියක් වුනා යැයි කියනකොට ඒ ඇවැත වුනත් නොවුනත් ප්‍රතිකර්මය සපයාගන්නට තිබුනාය කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ ආපත්ති සිද්ධ වුනා යැයි චෝදනා ලබපු භික්ෂූන් වහන්සේගේ පාර්ශ්වයටත් කරුණු පැහැදිලි කළා. නමුත් ඒ වෙලාවෙදී උන්වහන්සේලා ඒක පිළිගැනීමට තරම් නැමුණු මනසකින් හිටියේ නැහැ. පසුවත් ආරවුල්, අඩදබර හටගත්තා, පොහොය කිරීම් ආදී සමඟි විනය කර්මයන් වෙන වෙනම සිද්ධ කළා.

ඉතින් එක අවස්ථාවකදී බොහොම රණ්ඩුවක් විදිහට, කලකෝලහලයක් දක්වා දුරදිග යන ප්‍රශ්නයක් බවට පත්වුනා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ අවවාද කිරීම් පවා නොතකා හරින මට්ටමකට ඒ භික්ෂුන් වහන්සේලා පත්වුනා. මේ අවස්ථාවේදී එක භික්ෂුන් වහන්සේ නමක්, "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ දිට්ඨධම්ම සුඛවිහරණයෙන් වාසය කරන්න. මෙබඳු කටයුතු සඳහා අල්පෝත්සුක වෙන්න. මෙබඳු කටයුතු සඳහා මැදිහත් වෙන්නට එපා" කියලා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට‌ අවවාද කරන මට්ටමින් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට උත්සාහය දැරුවා.

මෙන්න මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා පනාමනය කොට, අතහැර හුදෙකලාව වැඩම කරන්නට යෙදුණා පාරිලෙය්‍යක වනය කරා. භාග්‍යවතුන් වහන්සේ තනිවම වඩින බව දැකලා එක භික්ෂූන් වහන්සේ නමක් ආනන්ද තෙරුන් වහන්සේට කියනවා, ‘ඇවැත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ පසු මහණෙක් නැතිව හුදකලාවේ පාසිවුරු අරගෙන සේනාසනය සඟවා තබා (සේනාසනය අස් කරලා තබලා) වැඩම කරන්නට යෙදුනා’කියලා.

ඒ වෙලාවේදී ආනන්ද තෙරුන් වහනන්සේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මනාවබෝධයකින් වැඩ ඉන්න උත්තමයන් වහන්සේ නමක් නිසා, "ඇවැත්නි, මේ කාලයේ භාග්‍යවතුන් වහන්සේ හුදකලා වාසයට කැමතියි. ඒ නිසා අප විසින් උන්වහන්සේ අනුබැඳීය යුතු නැහැ, පසුපස යා යුතු වන්නේ නැහැ’ කියලා ඒ භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී, භාග්‍යවතුන් වහන්සේ පාරිලෙය්‍යක වනයට වැඩම කරලා, ඒ පාරිලෙය්‍යක වනයේ සල් රුකක් මුල වාසය කළා.

ඉතින් අපි සාමාන්‍යයෙන් අහලා පුරුදු කතා වස්තුවක් තමයි පාරිලෙය්‍ය වනයේ වාසය කරපු ඇත් රජ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වස්කාලයේ උපස්ථානය කළ බව. ඒ මේ කතා වස්තුවට අදාළවයි ඒ කතා පුවතත් දැක්වෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වස්කාලය මුළුල්ලේ පාරිලෙය්‍ය වනයේ ගත කළා. භික්ෂුන් වහන්සේලාගේ එදා සිරිතක් තිබුනා 'වස්කාලය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්ම කාරණා පිළිබඳව විමසනවා, ඒ වගේම තමන් ලබාගත්ත අවබෝධයන් පිළිබඳව ප්‍රකාශයට පත් කරනවා' මෙබඳු සිරිතක් තිබුනා.

ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලා රැස්වුනා ආනන්ද තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට. රැස්වෙලා, ආනන්ද තෙරුන් වහන්සේට කිව්වා, ‘භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අපි දහම් කතාවක් අහලා බොහෝ කල්, ළඟකදී දැහැමි කතාවක් අහන්නට ලැබුනේ නැහැ. අපි කැමති භාග්‍යවතුන් වහන්සේගෙන් දැහැමි කතාවක් අහන්නට’ කියලා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළා.

ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ඒ හාමුදුරුවරුත් එක්ක පාරිලෙය්‍යක වනයට භාග්‍යවතුන් වහන්සේ කරා වැඩම කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූවා. කරුණු දක්වලා ධර්ම දේශනාවන් සිද්ධ කළා. මේ විදිහට දැහැමි කතාවෙන් කරුණු දක්වලා, ඒ පිළිබඳව තෙද ගන්වලා සම්පහංසනය කරලා ඒ කියන්නේ ඒ කාරණාව තුළ තෘෂ්ටි ප්‍රමෝදයට, පිනවීමක් ඇතිකරලා, මේ කටයුතු කරනකොට එතන හිටපු භික්ෂුවකට එක්තරා චිත්ත පරිවිතර්කයක් ඇතිවෙනවා. චිත්ත පරිවිතර්කයක් කියන්නේ හිතේ අදහසක් ඇතිවෙනවා.

~~ යම් භික්ෂුවකට චිත්ත පරිවිතර්කයක් උපදිනවා ~~

''කථං නු ඛො ජානතො කථං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොතී”ති"
කෙසේ දන්න, කෙසේ දකින කෙනාටද අනතුරුවම ආශ්‍රව ධර්මයන් ක්ෂයවීමට යන්නේ?

කියන අදහසක් (චිත්තපරිවිතර්කයක්) එක භික්ෂූන් වහන්සේ නමකට හිතේ ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිත තමයි භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කරන හැම විටකම ඒ අදාළ ශ්‍රාවක පිරිසගේ සිත් අනුව ධර්ම දේශනා පැවැත්වීම. හැම කෙනෙකුටම ‘අද භාග්‍යවතුන් වහන්සේ මට දම් දෙසනවා’ කියන සිතක් ඇතිවන තරමටම තමතමන්ගේ චිත්ත සන්තාන ගත සියලු ප්‍රශ්න විස‌ඳෙන විදිහටයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ.

ඉතින් මෙතන හිටපු එක භික්ෂූන් වහන්සේ නමකට මෙහෙම අදහසක් ඇතිවෙනකොට, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගේ අදහස පිරිසිඳ දැකලා, භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා,

''විචයසො දෙසිතො භික‍්ඛවෙ, මයා ධම‍්මො''
මහණෙනි, මම මේ ධර්මය විචය නුවණින් දේශනා කළා.

මම හොඳ නුවණකින් සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන ධර්මයන්, සතර ඍද්ධිපාද ධර්මයන්, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල ධර්මයන්, සප්ත බොජ්ඣඞ්ග ධර්මයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදි මේ ධර්මයන් මනා නුවණකින් දේශනා දේශනා කළා.

එතකොට මෙහෙම දේශනා කරනකොටත් ඇතැම් භික්ෂූන් වහන්සේ නමකට මෙබඳු සිතේ සිතුවිල්ලක්, චිත්ත පරිවිතර්කයක් ඉපදුනා, ‘කොහොම දන්න, කොහොම දකින කෙනාටද අරිහත් මාර්ග දර්ශනයට අනතුරුවම ආශ්‍රව ධර්මයන් ක්ෂයභාවයට පත්වන්නේ?’ කියලා.

ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව භික්ෂූන් වහන්සේලාට කරුණු කාරණා ඇතුව පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. කොහොම දන්න, කොහොම දකින කෙනාටද ඒ ආශ්‍රව ධර්මයන් දුරු කිරීමට පුළුවන්කම තියෙන්නේ?

~~ අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ කවුද ~~

''ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො'' - මේ ලෝකයේ අශ්‍රැතවත් පෘථග්ජනයා; අශ්‍රැතවත් පෘථග්ජනයා කියලා කියන්නේ ශ්‍රැතවත් බවක් නැති, ධර්මය පිළිබඳව ඇසූ පිරූ බවක් නැති, ශ්‍රැතමය ඥාණය නොලද කෙනා, දහම පිළිබඳ අහලා නැති පුද්ගලයා 'අශ්‍රැතවත්' කියලා කියනවා.

ඒවගේම, ''පුථූ කිලෙසෙ ජනෙන්තේති පුථුජ්ජනො'' - බොහෝ වූ කෙලේශයන් උපදවන පුද්ගලයාට කියනවා 'පෘථග්ජනයා' කියලා.

'අශ්‍රැතවත් පෘථග්ජනයා' සහ 'ශ්‍රැතවත් පෘථග්ජනයා' කියලා දෙදෙනෙක් සිටිනවා පෘථග්ජනයන්. ඒ කියන්නේ ''අන්ධබාල පුථුජ්ජනා'' නැතිනම් ''අන්ධබාල පුථුජ්ජනිකා'' කියලා දැක්වෙනවා අශ්‍රැතවත් පෘථග්ජනයාට. ඔහුගේ නුවණ මුහුකුරා ගිහිල්ලා නැහැ. ධර්මය අහලා නැතිකම නිසා අන්න ඒ පුද්ගලයා තමයි 'අශ්‍රැතවත් පෘථග්ජනයා' කියලා කියන්නේ. අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ලක්ෂණය:

• ''අරියානං අදස්සාවි'' - ආර්ය ධර්මය දැක්කේ නැහැ.

• ''අරියධම්මෙහි අකොවිදො'' - ආර්ය ධර්මයෙහි කෝවිද බවක් (දක්ෂ බව) ඇත්තේ නැහැ.

• ''අරියධම්මේ අවිනීතො'' - දක්ෂ බවක් නැති නිසා ඔහුට ඒ ආර්ය ධර්මයෙහි විනීත බවක් (හික්මුන බව) ඇත්තේ නැහැ.

එතකොට අවස්ථා තුනක් හම්බෙනවා:
i) ආර්යයන් දකිනවා.
ii) ආර්ය ධර්මයෙහි දක්ෂ බවට පත්වෙනවා.
iii) ආර්ය ධර්මයෙහි විනීත බවට පත්වෙනවා

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙනකොට.

i) 'ආර්යයන් දකිනවා' කියලා කියන්නේ 'ආර්යයෙක්ව හෝ සත්පුරුෂයෙක්ව ඇහැට දකිනවා' කියන එකම නෙවෙයි. ආර්ය වූ ධර්මයක් පිළිබඳව ඔහු තුළ දැක්මක් ඇති කරගැනීමයි. ආර්යයෙක්ව, සත්පුරුෂයෙක්ව හඳුනාගන්න පුළුවන් නුවණක් ඔහු තුළ තියෙනවා. ඒ කෙනා තමයි ආර්යයන්, සත්පුරුෂයන් දකින කෙනෙක් බවට පත්වෙන්නේ.

ii) ඒ විදිහට ආර්යයන් දකින කෙනා මොකක්ද කරන්නේ? ඒ ආර්යයන් වහන්සේලා කතා කරන ධර්මයෙහි දක්ෂයෙක් බවට (අරියධම්මස්ස කොවිදො) පත්වෙනවා.

iii) ඔහු ධර්මයෙහි දක්ෂයෙක් වෙනකොට, ධර්මය ඉගෙනගෙන නිකම් ඉන්නේ නැහැ. ඔහු ආර්ය ධර්මයේ විනීත පුද්ගලයෙක් බවට පත්වෙනවා.

එතකොට 'අශ්‍රැතවත් පෘථග්ජනයා' කියනකොට,
- ඔහු ආර්යයන් දැකලා නැහැ.
- ආර්ය ධර්මයන්හි දක්ෂ නැහැ.
- හික්මුනු බවක් (විනීත බව) ඇත්තේ නැහැ.

ඒවගේම දෙවැනි කාරණාව:
අශ්‍රැතවත් පෘථග්ජනයා:
- ''සප්පුරිසානං අදස්සාවි'' - සත්පුරුෂයන් දකින්නේ නැති නිසා,

- "සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො" - සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ බවක්, කෝවිද බවක් ඇත්තේ නැහැ.

- "සප‍්පුරිසධම‍්මෙ අවිනීතො" සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ බවක් නැති නිසා ඔහුට එහි හික්මෙන්න පුළුවන්කමක්, විනීත බවක් ඇත්තේ නැහැ.

සත්පුරුෂයෝ දැක්කත් වැඩක්‌ නැහැ, ධර්මය දැනගන්න බැරි නම්. ධර්මය දැනගත්තත් වැඩක් නැහැ, ධර්මයෙහි හික්මෙන්නේ නැති නම්.

~~ අශ්‍රැතවත් පෘථග්ජනයාගේ කල්පනා කිරීම ~~

ඒ විදිහට නොහික්මුණු කෙනා මොකද කරන්නේ?
• ''රූපං අත්තතො සමනුපස්සති'' - රූපය ආත්මවත් දෙයක් හැටියට සමනුපස්සනාවක් ඇතිකර ගන්නවා, කල්පනා කරනවා.

• ''යා ඛො පන සා භික‍්ඛවෙ, සමනුපස‍්සනා සඞ‍්ඛාරො සො'' - රූපය ආත්මවත් කොට දකින යම් සමනුපස්සාවක් තිබුනා නම්, ඒ සමනුපස්සනාව සංඛාර ධර්මයක්.

• ''සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවොති''

'සො පන සඞ්ඛාරො', ඒ සංස්කාර ධර්මය; 'කින්නිදානො', කුමක් නිදානකොට පවතින දෙයක්ද; 'කිංසමුදයො', කුමක් සමුදයකොට පවතින දෙයක්ද; 'කිඤ්ජාතිකො', කුමක් ජාතිය කොට පවතින දෙයක්ද; 'කිම්පභවො', කුමක් ප්‍රභවයකොට පවතින දෙයක්ද?

''අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා තතොජො සො සඞ‍්ඛාරො.'' - අවිද්‍යාව සම්ඵස්සය නිසා ඒ උපදින වේදනාව ස්පර්ශ කරපු අශ්‍රැතවත් පෘථග්ජනයා ඇතිකර ගන්න තණ්හාව නිසා එයින් උපන්නා වූ සංස්කාරයක් තමයි ඒ සමනුපස්සනාව.

කුමන සංස්කාරයක්ද? ''රූපං අත්තතො සමනුපස්සති'' - රූපය ආත්මවත් කොට දකිනවා කියන මේ සංස්කාරය.

රූපය ආත්මවත් කොට දකිනවා කියන්නේ, රූපයෙහි පවත්නා ආත්මයක් දැකීමයි. ඒ කියන්නේ, 'රූපයම ආත්මය වශයෙන්' කල්පනා කරනවා. 'ඇහැට දකින රූපයම තමයි කෙනා': අතීතයේ ඉඳලා ආවේත්, අනාගතයට පත්වෙන්නේ, පුංචිකාලයේ ඉඳලා ලොකු වුනු, මරණය කරා ගමන් කරන ආත්මවත් වූ දේ තමයි මේ රූපය කියලා කියන්නේ. එතකොට 'රූපය තමයි පුද්ගලයා'. ''රූපං අත්තතො සමනුපස්සති'' කියලා කියනවා රූපය ආත්මවත් කොට කල්පනා කරනවා කියන එක.

මේක අපේ මනස තුළ පවත්නා සාමාන්‍ය මනෝභාවයක්. සාමාන්‍ය මනෝභාවයක් කියලා කිව්වේ, රූපය ආත්මවත් කොට දැකීම, ආත්මවත් ලෙස කල්පනා කිරීම කියන එක අපි නොදැනම, අප තුළ පවතින දෘෂ්ටි සහගත සංකිලේශී බවක්. ඒකට කියනවා 'සක්කාය දිට්ඨියේ එක පියවරක්' කියලා. සක්කාය දිට්ඨියේ එක පියවරක් තමයි 'රූපය ආත්මවත් කොට' සිදු කරන කල්පනාව.

ඒ විදිහට රූපය ආත්මවත්කොට කරන කල්පනාව නිසා තමයි ඒ රූපය අරභයා අපිට අකුසල ධර්මයන් පවා සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ රූපය පිළිබඳව අකුසල ධර්මය සිද්ධ කරන්නට පුළුවන් කියලා කියන්නේ අපායගාමී අකුසල ධර්මයන් කියන අදහසින්.

අපි, 'රූපය නැති කිරීමෙන් සතෙකු නැතිකරන්න පුළුවන්' කියන සංකල්පනාව තුළ ඉන්න නිසා තමයි අතක පයක කන මදුරුවෙකුට, මැස්සෙකුට වුනත් අපි ගහලා මරන්නට උත්සාහවත් වෙන්නේ, තව සතෙක්ව මරණයට පත්කරන්නේ. එතකොට ඒ රූපය ආත්මවත් කොට පෙන්වන අපේ සංකිලේශී බවක් තියෙන නිසා.

මතු සම්බන්ධයි

අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ විසින් 2020.09.05 දින පාරිලෙය්‍යක සූත්‍රය ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

Post a Comment

0 Comments