පාරිලෙය්‍යක සූත්‍රය 2

 





පාරිලෙය්යක සූත්රය 2


රූපය ආත්මවත් කොට පවතින ඒ සංකිලේශී බව ඇතිවෙන්නේ කාටද? අශ්රැතවත් පෘථග්ජනයාට. ඒ කියන්නේ ධර්මය පිළිබඳව නොදන්නා, නොහික්මුණු පුද්ගලයාට පවතින වැරදි සහගත දැක්මක්. ඒ දෙය සත්පුරුෂයෝ නොදැක්ක කෙනෙකුට වෙන්නත් පුළුවන්, සත්පුරුෂ ධර්මයේ කෝවිද නොවුනු කෙනෙකුට වෙන්නත් පුළුවන්, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු කෙනෙකුට වෙන්නත් පුළුවන්.

ඒකේදී, සත්පුරුෂයෝ දැකලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි, කෝවිද බවයි, විනීත බවයි නැත්තම්, එහෙත් මේ සංකල්පනාව ඇතිවෙනවා. ඒවගේම සත්පුරුෂ ධර්මයෙහි කෝවිද වෙන්නත් පුළුවන්. හැබැයි, විනීතභාවය නැත්තම් ඒද මේ සංකිලේශී භාවය ඔහුට හටගන්නවා.

සත්පුරුෂ ධර්මයෙහි විනීත වුනොත්, ඔහුට සත්පුරුෂයින් දැකීමත් තියෙනවා, කෝවිද බවක් තියෙනවා, හික්මීමත් තියෙනවා. එතකොට තමයි ශ්රැතවත් බවක්, දෘෂ්ටිය දුරුකරන්නට පුළුවන් කම තියෙන්නේ. මේ විදිහට රූපය ආත්මවත් කොට ඇති කරගන්න සමනුපස්සනාවක් (මෙනෙහි කිරීමක්) තියෙනවා. ඒ මෙනෙහි කිරීම පිළිබඳව පෙන්වනවා,

~~ සමනුපස්සනාව පිළිබඳව ~~

''සඞ්ඛාරො සො'' - ඒක අභිසංස්කරණය කරන ලද සංස්කාරයක්. ඒ කියන්නේ වෙසෙසින් සකස් කරන ලද සංස්කාරයක් කියන එක. ඒක සකස් කළේ කුමකින්ද කියන වග ඊටපස්සේ පැහැදිලි කරනවා,

''සො පන සඞ්ඛාරො කින්නිදානො'' ඒ සංස්කාරය කුමක් නිදාන කොටද පැවතුනේ?

''කිංසමුදයො'' කුමක් සමුදයකොටද?

''කිඤ්ජාතිකො'' කුමක් ජාතිය කරගෙනද?

''කිම්පභවො'' කුමක් ප්රභවය කරගෙනද ඒ සංස්කාරය ඇතිවුනේ?

රූපය ආත්මවත් කොට දකින සංස්කාරය ඉබේම ආවද, නැතිනම් යම්කිසි හේතු ටිකක් නිසාද ඒ දේ ඇතිවුනේ?

ඒ පිළිබඳව පැහැදිලි කරනවා, ''අවිජ්ජා සම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන, ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස'' - අවිද්යා සම්ඵස්සය නිසා හටගත්තා වූ වේදනාව ස්පර්ශ කරපු කෙනාට (අශ්රැතවත් පෘථග්ජනයාට),

''උප්පන්නා තණ්හා. තතොජො සො සඞ්ඛාරො'' - ඒ උපන්නා වූ තෘෂ්ණාවක් තියෙනවා නම්, ඒ තෘෂ්ණාව නිසා ඉපදුන දෙයක් තමයි ඒ ආත්මදෘෂ්ටි සංඛ්යාත ඒ සංස්කාරය කියලා කියන්නේ.

මේක හරිම ලස්සන, ඒවගේම ගැඹුරු අර්ථ විග්රහයක්. ''අවිජ්ජා සම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා. තතොජො සො සඞ්ඛාරො.''. සම්පූර්ණයෙන්ම ආත්මදෘෂ්ටිය බැස ගැනීම කියන තැන නිර්වචනය කරන ඉතාමත් විශේෂ වැදගත් තැනක් තමයි මේ කියන කාරණාව.

සාමාන්යයෙන් අපි ස්පර්ශය පිළිබඳව දන්නවා, නොයෙක් විදිහට කතා කරනවා. නමුත් මෙතනදී විශේෂකොට කතා කරනවා ස්පර්ශය පිළිබඳව. කුමක්ද? ''අවිජ්ජා සම්ඵස්සජෙන'' අවිද්යා සංස්පර්ශය වූ නිසා ඉපදුනු දේ. මහණෙනි, ඒ සංස්පර්ශය - අවිජ්ජා සංස්පර්ශයයි. අන්න ඒකෙන් තමයි ''වෙදයිතෙන ඵුට්ඨස්ස'' වේදනාවන් පහස්නා ලද, ‌ස්පර්ශ කරන ඒ අශ්රැතවත් පෘථග්ජන කෙනාට තමයි තණ්හාව ඇතිවෙන්නේ.

ඒ තණ්හාව නිසා තමයි සංස්කාරය ඇතිවෙන්නේ. මේ වචන ටික ඇතුලේ අපේ මනෝභාවය පිළිබඳව, අපේ සිතුවිලි පිළිබඳව, අපේ සිත වැරදියට මෙහෙයවන පැතිකඩ පිළිබඳව ඉතාමත් පැහැදිලි විග්රහයක් සිද්ධ කරනවා.

අවිද්යා සංස්පර්ශය නිසායි වේදනාවෙන් ස්පර්ශ කරනු ලැබුවේ (අවිජ්ජා සම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන). වේදනාව පිළිබඳව තමයි අශ්රැතවත් පෘථග්ජනයා තෘෂ්ණාව ඇති කරගත්තේ. තෘෂ්ණාව ඇති කරගත් නිසා තමයි මෙබඳු සංස්කාරයක් ඇතිවුනේ. සංස්කාරය කියන තැන/ අභිසංස්කරණය කර ගත්ත දේ සාමූහික ක්රියාදාමයක ප්රතිඵලයක්. කුමකද?

අවිද්යාව සම්ඵස්සය නිසා ඇති කරපු තණ්හාව. ඒ තණ්හාව නිසා හටගත්තාය කියනකොට මේ කරුණු ටික මූලික කරගෙන තමයි මෙබඳු සංස්කාරයක් දැන් ඇතිවෙන්නේ.

අවිද්යාව මූලික කරගෙන හටගත්ත ස්පර්ශය නිසා ඇති වූ වේදනාවක් තිබුනා නම්, ඒ වේදනාවගේ ස්පර්ශය නිසා හටගත්ත තණ්හාව කියන තැනදී අපිට අපේ මනස පැත්තෙන් මේ කාරණාව විමසා බැලුවොත් ටිකක් පැහැදිලි කරගන්නට පහසුවක් තියෙයි. ''අවිජ්ජා සම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන'' කියනකොට, අපි දන්නවා මෙතනදී කතා කරන්නේ සාමාන්ය ස්පර්ශය නොවන බව.

~~ පටිඝ සම්ඵස්සය සහ අධිවචන සම්ඵස්සය ~~

සාමාන්ය ස්පර්ශයේ ස්වභාවය තමයි 'පටිඝසම්ඵස්ස බව' හා 'අධිවචන සම්ඵස්ස බව' කියන කාරණාව. එතනදී අපි දන්නවා, බාහිර රූපයක් ආධ්යාත්මික වස්තු ආයතනයකට ගැටීම (ආපාතාගමය) කියන දේ හඳුන්වනවා 'පටිඝ සම්ඵස්සය' කියලා.

ඒ පටිඝ සම්ඵස්සය ඇතිවුන තැනක සිතෙහි පවත්නා නාම ධර්මයන්ගේ යම්කිසි සංස්පර්ශන ලක්ෂණය තියෙනවා නම් ඒක හඳුන්වනවා 'අධිවචන සම්ඵස්සය' කියලා. තනිවම කාමධාතුවෙහි කෙනෙකුට පටිඝ සම්ඵස්සය පිළිබඳව අර්ථ දක්වන්නට පුළුවන්කමක් නැහැ අධිවචන සම්ඵස්සය නැතුව.

අධිවචනය සම්ඵස්සය පිළිබඳව කෙනෙකුට දැනීමක් ඇතිකර ගන්නට බැහැ පටිඝ සම්ඵස්සය පිළිබඳව අත්දැකීමකින් තොරව. පටිඝ සම්ඵස්සය අධිවචන සම්ඵස්සයටත්, අධිවචන සම්ඵස්සය පටිඝ සම්ඵස්සයටත් අන්යෝන්ය උපකාරක භාවය දක්වනවා. පටිඝ සම්සඵස්සය ප්රකටවෙන්නේ අධිවචන සම්ඵස්සය නිසා යි, අධිවචන සම්ඵස්සය ප්රකට වෙන්නේ පටිඝ සම්ඵස්සය නිසායි.

පටිඝ සම්ඵස්සය ප්රකට වෙන්නේ අධිවචන සම්ඵස්ස නිසායි කියලා කියන්නේ ඇස තිබුනත්, රූපය තිබුනත් ඒ කෙරෙහි නැමුණු මනසක් (චක්ඛුවිඤ්ඤාණ) නැතිනම් එතනදී පින්වතුනි, අධිවචන සම්ඵස්සයේ පැනවීමක් නැති නිසා ඒ පිළිබඳව දැනගැනීමට ලක්වෙන්නෙත් නැහැ. ඒ නිසා ඇසට සහ රූපයට පුළුවන්කමක් ඇත්තේ නැහැ තනිවම රූපයක් පෙන්නනවා කියන කර්තව්යය සිද්ධ කරන්නට.

ඒ නිසායි එතනට හිතෙහි හටගැනීම (චක්ඛු විඤ්ඤාණය/ චක්ඛු විඤ්ඤාණයාගේ යොමුවීමක්) අවශ්ය කරන්නේ, නැතිනම් මනසිකාරයාගේ නැඹුරුවීමක් අවශ්ය කරන්නේ.

Post a Comment

0 Comments