ඉන්ද්රියභාවනා සූත්‍රය1
නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස
ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක්ම ඉතාම ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම්වන මොහොත. මේ කාල පරිච්ඡේදය බෞද්ධයින් වන ඔබ සියලුම දෙනාට ඉතාම වටිනා කාල පරිච්ඡේදයක්. වස්සාන සමය කියලා කියන්නේ, ගිහි පැවිදි දෙපිරිසටම ඉතාම වැදගත්වන ශාසන ධර්මයෙන් ඵල ප්‍රයෝජන වැඩිපුරම ලබාගත්ත කාල පරිච්ඡේදයක්.
භික්ෂූන් වහන්සේලාටත් වෙනදාට වඩා එක තැනක වැඩ හිඳින්නට අවස්ථාව සැලසෙනවා වගේම ඒ අනුසාරයෙන් ගිහි පින්වතුන්ටත් බොහෝ ධර්මලාභ ප්‍රයෝජන ලබන්නට පුළුවන් කාල වකවානුවක්. අතීතයේ ඉඳලම නුවණැති, සැදැහැති පින්වතුන් බොහෝ මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කරගත්ත කාලයක් ලෙසයි වස්සාන කාලය පිළිබඳව අපිට හඳුන්වන්නට පුළුවන් කම තියෙන්නේ.
ඒ නිසා මේ වස්සාන කාලයේ කවුරුත් ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ කටයුතු කෙරෙහි නියැලිලා තියෙන්නේ. ඉතින් උපරිමයෙන් ධර්මය තුළ හැසිරෙන්නට, නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ තමන්ගේ ජීවිතය අරගෙන යන්නට කවුරුත් උත්සාහවත් වන්නට ඕන. වෙනදාට වඩා අප්‍රමාදී චේතනාවන් ඇතිකර ගන්නට ඕන.
රෝග පීඩා ආදිය නිසා යම් යම් අපහසුතා ආවත්, හැකිතාක් ස්වාමීන් වහන්සේලා ඇසුරෙන් අවවාද අනුශාසනා ආදිය ලබන්නට කවුරු කවුරුත් උත්සාහවත් වන්නට අවශ්‍ය වෙනවා. අද දවසෙදි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මජ‍්ඣිම නිකායේ උපරිපණ්ණාසකයෙහි දැක්වෙන "ඉන්ද්‍රියභාවනා සූත්‍රය".
~~ ඉන්ද්‍රිය සංවරය ~~
ඉන්ද්‍රිය ධර්මයන් සංවරයත්වයට පත්කර ගැනීම මේ සාසනය තුළ කතා කරන ප්‍රධානම දෙයක්. ඉන්ද්‍රිය ධර්මයන් කියනකොට මෙතනදි අපි කතා කරන්නේ චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය, මන කියන මේ ඉන්ද්‍රිය ධර්මතා ටික. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික සංවර කර නොගැනීම නිසා තමයි කෙනෙකු සසරට යොමු වන්නේ.
ඉන්ද්‍රිය සංවරය ඒ නිසාම මේ සාසනයේ ධර්ම ප්‍රතිපදාව පටන් ගන්නා තැන ඉඳලම අනිවාර්‍ය කොට පුරුදු කළ යුත්තක් ලෙසයි දැක්වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය එක පැත්තකින් සීලයක්ද වෙනවා. ඒ වගේම, ඉන්ද්‍රිය සංවරය කොයි තැන දක්වා වනවාද කියන එක මේ සූත්‍රය තුළ අපිට කතා කරන්නට පුළුවන්.
එය භාවනාවක් වෙලා, ඊටපස්සේ එය මාර්ගය උත්පාදනය පිණිස හේතුවෙන දෙයක් බවට ඉන්ද්‍රිය භාවනාව කෙසේද සකස් වන්නේ කියන එක අපිට තේරුම් ගන්නට හොඳම තැනක් තමයි මජ‍්ඣිම නිකායේ දක්නට ලැබෙන මේ ‘ඉන්ද්‍රියභාවනා සූත්‍රය’.
ඉතින් අපි කවුරුත් ඉන්ද්‍රිය ධර්මයන් නිරන්තරයෙන්ම පරිහරණය කරනවා. අපේ ජීවිතයේ ඉන්ද්‍රිය පරිහරණය තුළ අපිට ඇතිවෙන යහපත සහ අයහපත පිළිබඳව අපි තක්සේරුවක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්.
~~ ඉන්ද්‍රිය අසංවරතාවයෙන් යුක්ත අපේ ජීවිතය ~~
ජීවිතය තුළ හොඳ දේත් බලනවා, නරක දේත් බලනවා, හොඳ දේත් අහනවා, නරක දේත් අහනවා. ඒ වගේම, හොඳ දේත්, නරක දේත් කියන හැම දෙයක්ම වින්දනය කරනවා, හිතනවා. මේ විදියට ජීවත්වෙන අපිට අකුසල පාක්ෂික ධර්ම වැඩි වෙනකොට, කුසල පාක්ෂික ධර්ම අඩු වෙනකොට ඒ කෙනාගේ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් පරිහානියට යනවා.
ඒ නිසා මේ ශාසනයේ ඉන්න කෙනාට මූලික ලෙසම අවශ්‍යවන දෙයක් තමයි මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක. ඉන්ද්‍රිය සංවරය තුළින් පටන් අරගෙන ඉන්ද්‍රිය භාවනාව දක්වාම වැඩෙන මාර්ගයක්, ප්‍රතිපදාවක් පිළිබඳව අපිට තේරුම් ගන්නට, දැනගන්නට අවශ්‍යයි.
~~ ගිහි පැවිදි දෙපිරිසටම පොදු වූ ඉන්ද්‍රිය සංවරය ~~
අපිට ඇසෙහි සංවරය නැත්නම්, කනෙහි සංවරය නැත්නම්, නාසය, දිව, කය ආදියෙහි සංවරය නැත්නම් ඒ කෙනාට සසර දුකින් එතෙරවෙන ප්‍රතිපදාවක් පුරනවා කියන එක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මම මේකෙන් අදහස් කරන්නේ රහතන් වහන්සේගේ මට්ටමෙන් ඇතිවෙන සංවරයක් පිළිබඳවම නෙවෙයි. ගිහි පින්වතුන් විදියට මේ පින්වතුන්ගේ සංවරය සහ භික්ෂූන් වහන්සේ නමක් නම් භික්ෂූන් වහන්සේට අදාළ සංවරය.
මේ විදියට සංවරය පිළිබඳව ඉන්ද්‍රිය සංවර සීමාව පිළිබඳව අපට කතා කරන්නට පුළුවන්. නමුත් මේ කොයි කාටත් පොදු එකම සංවරයක් තියෙන්නට ඕනේ. ඉන්ද්‍රිය භාවනාව කියන එක ගිහි ද, පැවිදි ද කියන භේදයකින් තොරව මේ දෙපිරිසටම පොදු වූ දෙයක්.
මොකද, මේ ශාසන ධර්මය භික්ෂූන් වහන්සේලාටත්, භික්ෂුණීන් වහන්සේලාටත් අයිති දෙයක්. ඒ වගේම, මේ ශාසන ධර්මය සාමණේරයින්ටත්, සාමණේරියන්ටත්, සික්ඛමාන, සික්ඛමානාවන්ටත් අයිති දෙයක්. මේ ශාසන ධර්මය බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවන්ටත් අයිති දෙයක්. ඒ වගේම තමයි, මේ ශාසනය කාමභෝගී උපාසක උපාසිකාවන්ටත් අයිති දෙයක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මේ ශාසනයෙන් මේ හැමෝටම පුළුවන් ප්‍රතිඵල ලබාගන්නට, හැමෝටම පුළුවන් ධර්මය අවබෝධ කරගන්නට” කියලා. කාමය ඇසුරු කරන උපාසක උපාසිකාවන් පවා මේ ශාසන ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගත්තා, නැතිනම් උත්තරී ධර්මයන් උපදවා ගත්ත පිරිස් හිටියා. අන්න ඒ නිසා මේක කාටත් පොදුවේ අත්විඳිය හැකි දෙයක්.
~~ භාරතීය සමාජයේ පැවති විවිධ වූ ඉන්ද්‍රිය සංවරයන් ~~
එතකොට කෙන කෙනාගේ මට්ටම් වලින් අපිට තියෙන්නට අවශ්‍යයි ඉන්ද්‍රිය භාවනාවක්. ඒ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව එදා භාරතීය සමාජය තුළත් කතා බහට ලක් වුනා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලය තුළත් නොයෙක් අය ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව කතා කළා. ඔවුන් ඉන්ද්‍රිය සංවරය පැනෙව්වේ එක එක විදියට. තමන්ට හිතෙන හිතෙන නොයෙක් ආකාරයට ඔවුන් ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිළිබඳව මෙනෙහි කළා, කල්පනා කළා.
අපි අහලා තියෙනවානේ, බුදුරජාණන් වහන්සේගේ කාලෙදී වෘත සමාදාන තිබුනා කියලා. අජ වෘත, ගො වෘත, කුක්කුර වෘත ආදී මේ විදියට නොයෙක් වෘත සමාදන් වුනා කියලා. ඒ කියන්නේ, දුකින් මිදීම සඳහා උත්සාහවත්වෙන කෙනා කල්පනා කරනවා,
මේ ශරීරය මිනිසුන් විදියට පිනවමින් හිටියොත් ඒක දුකින් මිදීම පිණිස පවතින්නේ නැහැ, ඒක ලෝභය වඩවන්නක් බවට පත්වෙනවා කියලා. ඒ නිසා අකමැත්තෙන් නමුත් ඔහු සුනඛයෙක් වගේ හැසිරෙනවා. බිමට දාපු දේ තමයි ගන්නේ, අතින් දීපු දෙයක් භාජනයක අනුභව කරන්නේ නැහැ.
ඉතින් කනබොන ආහාර පානයේ ඉඳලා, ඇඳුම් පැළඳුම් ටික ප්‍රතික්ෂේප කරලා සීතලේ එලියට වෙලා නිදාගන්න තැන ඉඳලා, මේ දුකින් මිදීම ගැන කල්පනා කරපු මේ ඇත්තෝ ඉන්ද්‍රිය දමනය කිරීම සඳහා නොයෙක් එදා කාලයේදී උපක්‍රම භාවිතා කළා. සමහරු ගවයෝ වගේ හැසිරුනා, සමහරු ඇඳුම් පැළඳුම් පවා ඉවත් කරලා නිර්වස්ත්‍රව මහා සීතලේ හිටියා.
ඉතින් මෙහෙම නොයෙක් විදියට ඉන්ද්‍රිය භාවනාව කිරීමට, ඉන්ද්‍රිය සමතාවයකට පත් කරන්න, ඉන්ද්‍රිය සංවර කරගන්නට බොහෝ දෙනෙක් උත්සාහවත් වුනා. නමුත් ඒ ඉන්ද්‍රිය සංවරය සඳහා උත්සාහවත් වුන ඒ ක්‍රමවේදයන් සාර්ථක නොවුන නිසා ඔවුන්ට කවදාවත් ඒ තුළින් ප්‍රතිඵලයක් ලබන්නට නොහැකි වුනා.
ඒ නිසා තමයි අර එක ආජීවකයෙක් පසු කාලෙදී කිව්වේ 'මෙච්චර අවුරුදු විසි තිස් ගණනක් මාර්ගය වඩලා ඇඳුම් විරහිත නග්න බවත්, මාර්ගය පිහිදාගෙන යන කොස්සත් හැරුණුකොට වෙන දෙයක් ඉතුරු වුනේ නැහැ' යි කියලා. ඉතින් අන්න ඒ වගේ වෘත සමාදානයන් තුළ පවා ඔවුන් බලාපොරොත්තු වුනේ මේ ඉන්ද්‍රිය කොහොමද සමථයකට පත්කර ගන්නේ, සංවර කරගන්නේ කොහොමද කියන එක එදා භාරතීයන් කල්පනා කළා.
~~ පාරාසරිය බ්‍රහ්මණ තුමා පැන වූ ඉන්ද්‍රිය සංවරය ~~
ඉතින් මේ කාලෙදී පාරාසරීය බ්‍රාහ්මණ තුමා ඉන්ද්‍රිය සංවරය පිණිස කරුණු කාරණා ඔහුගේ ශ්‍රාවකයන්ට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කජඞ්ගලාව සමීපයෙහි, මුඛෙලු වනයෙහි වාසය කරන කාලෙදි, පාරාසරීය බ්‍රාහ්මණ තුමාගේ ශිෂ්‍යයෙක් වුන උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා.
ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු කතා කළා. ඒ කියන්නේ සිහි කළ යුතු සතුටු කතා කළා, ආ ගිය තොරතුරු පිළිබඳව කතා කළා. කතා කරලා එකත්පස්ව හිඳගත්තා. භාග්‍යවතුන් වහන්සේ උත්තර මානවකයාට දේශනා කරනවා,
"උත‍්තර, දෙසෙති පාරාසරියො බ්‍රාහ‍්මණො සාවකානං ඉන‍්ද්‍රියභාවනන‍්ති?" "උත්තර, ඔබගේ ශාස්තෲන් වහන්සේ, පාරාසරීය බ්‍රාහ්මණ තුමා ඔහුගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරනවාද?
එතකොට කියනවා, :දෙසෙති, භො ගොතම" - භවත් ගෞතමයන් වහන්ස, අපේ පාරාසරීය බ්‍රාහ්මණ තුමා ශ්‍රාවකයන් වුන අපට ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරනවා.
"යථා කථං පන උත්තර, දෙසෙති"
කොහොමද පාරාසරීය බ්‍රාහ්මණ තුමා මේ ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කරන්නේ?
එතකොට මේ උත්තර මානවකයා කියනවා,
ගෞතමයන් වහන්ස, "චක්ඛුනා රූපං න පස්සති" - ඇහෙන් රූප නොබලයි නම්, "සොතෙන සද්දං න සුණාති" - කනෙන් ශබ්ද අහන්නේ නැත්නම්, "එවං ඛො, භො ගොතම, දෙසෙති පාරාසරියො බ්‍රාහ‍්මණො සාවකානං ඉන්ද්‍රියභාවනන්ති"
"චක‍්ඛුනා රූපං න පස‍්සති”: - ඇසෙන් රූප නොදැකිය යුතුයි නැතිනම් ඇහැට රූප පෙනෙන එක නතර කරන්නට ඕනේ, ඒවගේම කනෙන් ශබ්ද අහන්නේ නැතුව ඉන්න ඕන, නාසයට ගඳ සුවඳ දැනෙන එක, දිවට රස දැනෙන එක නොදැනෙන්නට හරින්න ඕන. බාහිර භෞතික දේවල් ප්‍රතික්ෂේප කරමින් ඔහු ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරනවා.
මේ කාරණාව උත්තර මානවකයා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රති උත්තරයක් සපයනවා, "එවං සන‍්තෙ ඛො උත‍්තර, අන්‍ධො භාවිතින්‍ද්‍රියො භවිස‍්සති"- "උත්තර, ඔය විදියට අරගෙන බලනකොට එහෙනම් අන්ධයත් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයෙක් නේ. ඇයි? අන්ධයාටත් රූපය පෙනෙන්නේ නැහැ. එතකොට අන්ධයා ඇහේ සංවරයට පත් වුන කෙනෙක් වෙනවා නේ.
"බධිරො භාවිතින්‍ද්‍රියො භවිස‍්සති"- උප්පත්තියෙන්ම කන් ඇහෙන්නේ නැති පුද්ගලයාත් එහෙනම් භාවිත ඉන්ද්‍රිය, පූජනීය පුද්ගලයෙක් වෙනවා. ඇයි ඒ? එයාට කන් ඇහෙන්නේ නැහැ නේ. "යථා පාරාසරියස‍්ස බ්‍රාහ‍්මණස‍්ස වචනං". - පාරාසරීය බ්‍රාහ්මණයාගේ වචනය විදියට නම්, ඇස් පෙනෙන්නේ නැති අය, කන් ඇහෙන්නේ නැති අය ඔක්කොම භාවිත ඉන්ද්‍රිය පුද්ගලයෝ. මොකද, මේ අයට රූප පෙනෙන්නෙත් නෑ, ශබ්ද ඇහෙන්නෙත් නෑ.
මේ විදියට කිව්වහම, උත්තර මානවකයාට එහිලා කියන්නට දෙයක් නැති වුනා. "තුණ‍්හීභූතො මඞ‍්කුභූතො පත‍්තක‍්ඛන්‍ධො අධොමුඛො"- බොහොම නිශ්ශබ්දව, බිම බලාගෙන, සිතුවිලි හිතමින්, මුකුත් වටහා ගන්නට නොහැකි වුනා වගේ ඉඳගෙන හිටියා. මේ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ මේ බව දැකලා, අසල හිටපු ආනන්ද තෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කරලා, ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා,
~~ මේ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ~~
"ආනන්ද, පාරාසරීය බ්‍රාහ්මණයා කියන විදියට නෙවෙයි මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ. මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව ඊට වඩා බොහෝ වෙනස් වෙනවා" කියලා ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළහම, ආනන්ද තෙරුන් වහන්සේ ආරාධනා කළා,
"එතස‍්ස භගවා කාලො, එතස‍්ස සුගත කාලො" - "සුගතයන් වහන්ස, මේ කාලයයි, මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරන්නට" කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගේ ආරාධනය පිට මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරනවා.
"කථඤ‍්චානන්‍ද, අරියස‍්ස විනයෙ අනුත‍්තරා ඉන්‍ද්‍රියභාවනා හොති" - ආනන්ද, කොහොමද මේ ආර්‍ය් විනයෙහි ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ?
"ඉධානන්‍ද, භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජති මනාපං - මේ ශාසනයේ භික්ෂුවක්, ඇහෙන් රූප දැක්කට පස්සේ එයාගේ හිතට ඇති වෙනවා මනාපයක්,
"උප්පජ්ජති අමනාපං" - ඇහෙන් රූප දැක්කහම එයාට උපදිනවා අමනාපයක්,
"උප්පජ්ජති මනාපාමනාපං" - (මනාපය සහ අමනාපය කියන දෙකම එකට භාවිතා කරලා තියෙන්නෙ "අදුක්ඛමසුඛ" භාවිත කරනවා වගේ, "දුකත් නෙවෙයි, සැපත් නෙවෙයි" කියලා කියනකොට උපේක්ෂාවට. "මනාපත් නැහැ, අමනාපත් නැහැ" කියනකොට එතන උපේක්ෂාවක් තියෙන්නේ) එවැනි උපේක්ෂාවකින් යුක්තව යම්කිසි කෙනෙක් වාසය කරනවා.
"සො එවං පජානාති" - ඒ කෙනා මේ විදියට දැනගන්නවා.
"උප‍්පන‍්නං ඛො මෙ ඉදං මනාපං, උප‍්පන‍්නං අමනාපං, උප‍්පන‍්නං මනාපාමනාපං"- රූපය දැක්කට පස්සේ මට රූපය පිළිබඳව කැමැත්තක් ඇති වුනා, එහෙම නැත්නම් මට රූපය පිළිබඳව ගැටීමක් ඇති වුනා, එහෙම නැත්නම් මට රූපය පිළිබඳව උපේක්ෂාවක්, මුලාවකට පත්වන්නට සුදුසු දෙයක් ඇති වුනා. මේ විදියට කල්පනා කරලා එයා මෙනෙහි කරනවා,
"තඤ‍්ච ඛො සඞ‍්ඛතං ඔළාරිකං පටිච‍්චසමුප‍්පන‍්නං" - ඒ ඉපදුණු දේ,
• 'සඞ‍්ඛත' (සංඛත) - හේතු නිසා සකස් වෙච්ච දෙයක්,
• රළු - ඕලාරික දෙයක්,
• පටිච‍්චසමුප‍්පන‍්නං - ප්‍රත්‍ය සමවායෙන් ඉපදුන දෙයක්,
"එතං සන‍්තං එතං පණීතං යදිදං උපෙක‍්ඛා’ති" - මේ ධර්මය මතට පතිත වෙලා මම මේ අනුව යන හිතට වඩා මේ සංඛත වුන, ඕලාරික වුන, පටිච්චසමුප්පන්න වුන ධර්මය කෙරෙහි පතිත නොවන්නේ නම් ඒ උපේක්ෂාවම ශාන්තයි, ඒ උපේක්ෂාවම ප්‍රණීතයි කියලා එයා කල්පනා කරනවා.
එතකොට මේ විදියට කල්පනා කරන ඒ කෙනාට රූපය දැක්කට පස්සේ මනාපයක් කැමැත්තක් ඉපදුනා නම්, අමනාප ගතියක් පටිඝයක් ඉපදුනා නම්, උපේක්ෂාවක් ඉපදුනා නම් ඒ උපේක්ෂාව ඔහුට නැතිවෙලා යනවා. "උපෙක‍්ඛා සණ‍්ඨාති" හිත උපේක්ෂාවෙහි පිහිටා සිටිනවා. බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා,
"චක‍්ඛුමා පුරිසො උම‍්මීලෙත්‍වා වා නිමීලෙය්‍ය නිමීලෙත්‍වා වා උම‍්මීලෙය්‍ය."- ආනන්ද, යම් විදියකින් ඇස් ඇති පුරුෂයෙක්, ඇස් ඇරගෙන ඉඳලා, ඇස් පිල්ලම් ගහනවා නම්, ඒ කියන්නේ ඇස් දෙක පියාගන්නවා නම්, ඒවගේම ඇස් පියාගෙන ඉන්න කෙනෙකු විසින් ඇසිපිය අරිනවා නම් ඒ විදියටම මනාපය, අමනාපය හෝ ඒ රූපය පිළිබඳව පිහිටා සිටියා වූ උපේක්ෂාව ඉවත්ව ගිහිල්ලා ඒ කෙනාගේ සිත විදර්ශනා උපේක්ෂාවෙහි පිහිටා සිටිනවා. මේ විදියට තමයි ආර්‍ය් විනයෙහි, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙ වුන රූපයෙහි, අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව යි කියලා කියන්නේ.
මතු සම්බන්ධයි
අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.08.11 දින මජ‍්ඣිම නිකායේ උපරිපණ්ණාසකයෙහි දැක්වෙන "ඉන්ද්‍රියභාවනා සූත්‍රය" ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
උමේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments