ඉන්ද්රියභාවනා සූත්‍රය 2
~~ පුහුදුන් හිතක ස්වභාවය ~~
දැන් මූලිකම අදියර පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කොහොමද ඉන්ද්‍රිය භාවනාව දියුණු කරන්නේ කියලා. සාමාන්‍ය පුහුදුන් චිත්ත සන්තානයක ස්වභාවය තමයි රූපයක් දැක්කහම දැකපු රූපය පිළිබඳව එක්කෝ කැමති විදියට හැසිරෙනවා, එක්කෝ අකමැති විදියට හැසිරෙනවා, එහෙමත් නැත්නම් කැමතිත් නොවන අකැමතිත් නොවන උපේක්ෂා සහගත මනසකින් වාසය කරනවා.
~~ පුහුදුන් කෙනා ධර්ම මාර්ගයට යොමු වූ පසු ~~
මේක තමයි පුහුදුන් චිත්ත සන්තානයක ස්වභාවය. මෙන්න මේ ස්වභාවය තියෙන කෙනා ධර්ම මාර්ගයට යොමු වුනාට පස්සේ එයා කොහොමද ඉන්ද්‍රිය භාවනාවක් කරන්නේ? ඉන්ද්‍රිය භාවනාව කරනකොට එයා ඉස්සෙල්ලාම හිත පිළිබඳව දැනගන්නවා.
• මගේ හිතට කැමැත්ත ඇති වුනා,
• අකමැත්ත ඇති වුනා,
• කැමති හෝ අකමැති නොවූ උපේක්ෂාවකට පත් වුනා
කියලා එයා තේරුම් ගන්නවා. එතකොට මූලිකම අදියර විදිහට අපිට කරන්නට තියෙන දේ පිළිබඳව කතා කළොත්, අපේ හිතේ ඇතිකර ගන්න ඒ මනොභාවය පිළිබඳව හොඳ තේරුම් ගැනීමක් අපට තියෙන්නට ඕන. කැමති විදියට, අකමැති විදියට හෝ උපේක්ෂා විදියට හැසිරෙන ආකාරය පිළිබඳව.
යම්කිසි රූපයක් අපි දකිනකොට ඒ දකින්නා වූ දේ අරභයා අපි කැමති වෙනවා කියනකොට ඒ සිද්ධාන්තය තුළ අපිට පැහැදිලිව පෙනෙන්නට ඕනේ අපි කැමැත්ත උපදවා ගන්න බව කියන එක වැරදි සහගත තැනක කැමැත්ත උපදවා ගන්නවා කියලා.
ඒ මොකද? අපි කැමැත්ත උපදවා ගත්තා කියන ලක්ෂණය අනුව යන්නට ගියොත් බාහිර තියෙන රූපය පිළිබඳවම තමයි අපි ඇලීම පවත්වලා තියෙන්නේ. එතකොට 'බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පැත්තේ ඇලෙන්න දේ තියෙනවා' කියලා අපි ග්‍රහණය කරගත්තාට පස්සේ, ඒ තුල පිහිටා හිටියාට පස්සේ පැවැත්මක් හම්බවෙලා තියෙනවා.
ඒ කියන්නේ, ඒ ධර්මයෝ අනුප්පාදයකට යන්නේ නැහැ. සමුදය පැත්තට බරවෙලා ඒ දේ මත විඤ්ඤාණය පිහිටා සිටින්නට හේතු ටිකක් විදිහට අපි ඒ දේ ඉතුරු කරලා තියෙනවා. අන්න ඒ මට්ටමක අපේ මනස පවතින නිසා අපිට බුදුරජාණන් වහන්සේ මෙතනදි දේශනා කරනවා අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කොහොමද කරන්නේ කියලා.
~~ පුහුදුන් කෙනාගේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ~~
• සංඛත දෙයක් වශයෙන් බැලීම
ඒ කෙනා මෙනෙහි කරනවා, රූපයක් පෙනුනා නම් ඒ පෙනීම අරභයා එයාට මනාපය උපදිනවා නම්, අමනාපය උපදිනවා නම්, ඒවගේම උපේක්ෂාව පිහිටා සිටිනවා නම්, "තඤ‍්ච ඛො සඞ‍්ඛතං" - එය වනාහි සංඛත (හේතු නිසා සකස් වූ) දෙයක්. ඒක අහේතුකව, අප්‍රත්‍යව හටගත්ත දෙයක් නෙවෙයි, හේතු නිසා සකස් වුන දෙයක්.
එතකොට මේ දේ හැදුණු හැටි පිළිබඳව අපිට පෙන්නලා දෙන්නට වෙනවා, මේ විදියේ හේතු ධර්මතා ටිකක් නිසා තමයි මේ දේ හැදුනේ කියලා. අපේ හිතට මනාප, අමනාපය ආවට පස්සෙනේ අපිට මේ බව ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ, 'පේන රූපය ලස්සනයි' කියලම තමයි අපිට පේන්නේ. ඒ වගේම, 'තරහ අමනාප දේ'ම තමයි අපිට පේන්නේ, ' මෝහ මූල උපේක්ෂාවට පත්වුන දේ'ම තමයි අපිට පේන්නේ.
ඒ වගේ, ලෝකය තුළ අපිට ඇතිවෙන්නෙම මේ විදිහේ ඔක්කොම ඝනත්වයක් විදියට නිසා මේ තුළ අපිට නුවණ පැවැත්වීමක් අවශ්‍ය වෙනවා. නුවණ පැවැත්වීම මොකක් පිළිබඳව ද? අර සංඛත ධර්මතාවයන්ගේ ඇති සංඛත ලක්ෂණය පිළිබඳව පෙන්නලා දෙනවා. සංඛත ලක්ෂණය කියලා කිව්වේ, හේතු නිසා සකස්වෙන බව.
මනාප, අමනාපයක් උපදින මට්ටමට යම්කිසි දෙයක් ආවේ නිකන්ම නෙවෙයි. මනාප, අමනාපයක් උපදින බවට යම්කිසි දෙයක් ඇති කරන්නට හේතු වුනේ ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ ආදී මේ ධර්මයන් ඇති වුන කල්හි. ඇසට රූපය පතිත වෙලා, ඒ කෙරෙහි යෙදුනා වූ මනසිකාරයත් ඇති කල්හි, ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව කියන කාරණාව අරභයා. (එතැනදී අපි විපාක වේදනාව කියන එක වෙනමම සංග්‍රහ කරන්නට ඕන. නමුත් මෙතනදි අපි ඒක ටිකක් පසෙකින් තබමු)
එතකොට අන්න ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ඒ ධර්මය පිළිබඳව තමයි කෙන කෙනා මුලාවට පත්වෙන බව හදාගන්නේ. එතකොට ඒ දේ අරභයා තමයි කෙන කෙනා හොඳ වශයෙන් හෝ නරක වශයෙන් හෝ උපේක්ෂා සහගත ස්වභාවයෙන් හෝ මනසිකාරය පවත්වන්නේ. මෙන්න මේ විදියට මෙනෙහි කරන පුහුදුන් කෙනා, ලෝකයේ පැවැත්ම නූපදින විදියට ඔහු සංඛත ලක්ෂණය දකින්නට ඕන.
ඒ කියන්නේ, මේ විදියට මනසිකාරය පවත්වගෙන යනකොට ඔහුට සංඛත ලක්ෂණය හොඳට පේනවා. ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ කියන මේ ධර්මතා ටික නිසා හටගත්ත දෙයක් තමයි මේ කැමැත්ත උපදවන්නට පුළුවන් බව කියලා අපි කියන්නේ. එහෙම නැතිනම් 'කැමැත්ත' කියන එක සහිතව හේතු ටික පැත්තේ දෙයක් තිබුනේ නැහැ.
හේතුව නිසා ඇති කරපු ඵලය පිළිබඳව කෙන කෙනා තමන්ගේ පැත්තෙන් කැමැත්ත උපදවා ගත්තා, අකමැත්ත උපදවා ගත්තා, උපේක්ෂා සහිත භාවයක ඔහු ජීවත් වුනා. මෙන්න මේ විදියට එයාගේ මානසික මට්ටම සම්පූර්ණයෙන්ම, හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙන බව දැකීම පිණිස ඔහු පවත්වනකොට ලෝකයේ පැවැත්ම කියන දේ එයාට උපදින්නේ නැතුව යනවා.
ඒ මොකද? එයාට මනාප බවට හෝ අමනාප බවට හෝ උපේක්ෂාවට පදනමක් නැති කරනවා. එයාට පේන්නේ හේතු ටිකක් නිසා හටගෙන නැතිවෙන ධර්මතාවයක පැවැත්මක්. අන්න එහෙම දකිනකොට ඒ සංඛත ලක්ෂණය දැකීම තුළ ඔහුට බාහිර රූපයක තියෙන මනාප, අමනාප බව සහ මෝහ මූල උපේක්ෂා සහිත බව අයින් කරලා එයාට විදර්ශනා මනසිකාරය තුල උපේක්ෂාවක් හිතේ හටගන්නවා.
** මෝහ මූල උපේක්ෂාව හා විදර්ශනා උපේක්ෂාව
ඒ උපේක්ෂාව හටගන්නේ 'තියෙන රූපයක' නෙවෙයි. දැන් අපි උපේක්ෂා දෙකක් කතා කළානේ. මනාපාමනාප කියන තැනිනුත් උපේක්ෂාවක් කතා කළානේ. ඒ උපේක්ෂාව නෙවෙයි මේ කතා කරන උපේක්ෂාව. ඒ උපේක්ෂාව මුලාවට පත්වුන උපේක්ෂාවක්. මොකක්ද එතන තිබුන මුලාව? රූපය තියෙනවා, 'තියෙන රූපය' පිළිබඳව අපිට කැමැත්තක් හෝ අකමැත්තක් ඇති කරන්න තරම් විශේෂත්වයක් නැහැ, ඒ නිසා එය උපේක්ෂා සහගත මට්ටමක පවතිනවා.
හැබැයි මේ කතා කරන උපේක්ෂාව 'පවතින ධර්මයක්' මත පවත්වපු උපේක්ෂාවක් නෙවෙයි. හේතුඵල දහම දැකීම තුළ හටගන්න උපේක්ෂාවක්. ඒකට අපි කියනවා, විපස්සනා උපේක්ෂාවක්/ විදර්ශනා සංඛ්‍යාත උපේක්ෂාවක් කියලා. එතකොට මෙන්න මේ විදියට මේ ධර්මයන්ගේ සංඛත ලක්ෂණය දකිනකොට, සංඛත ධර්මය පිළිබඳව අපි මෙනෙහි කරනකොට ඒ මතට නැවත නැවත පතිතවෙලා කෙලෙස් ඇතිකර ගන්නකම හටගන්නේ නැතුව යනවා.
• රළු දෙයක් වශයෙන් දැකීම
ඊට පස්සෙ, අපි මේක ඕලාරික (රළු) දෙයක් කියලා දකිනවා. මනාප, අමනාප, මුලාව සහිත උපේක්ෂාව කියන මට්ටම ඉතාම රළු දෙයක්නේ. රළුයි කියලා කියන්නේ ඇයි? නාමරූප ධර්මයන්ගේ භේදය පවා දැකගන්න බැරි මට්ටමකට, නාම හා රූප කියන මේ දෙක එකක් කොට ගත්ත මානසික මට්ටමකුයි මෙතන තියෙන්නේ. එතකොට ඒ ලක්ෂණය බොහොම රළුයි කියලා පේනවා එයාට.
ඒ මනාපය, අමනාපය උපදවන මේ ලක්ෂණය ඉතාම රළු ඕලාරික මට්ටමේ දෙයක්. එයා දන්නේ නැහැ රූපය හටගෙන නිරුද්ධ වුනා කියලා. දර්ශනය දර්ශන මාත්‍රයෙන් අවසන් වූ බව දන්නේ නැහැ. විඤ්ඤාතය විඤ්ඤාත මාත්‍රයෙන් අවසන් වන බව දන්නේ නැහැ.
ඒ නිසා දර්ශනය සහ විඤ්ඤාතය දෙකම එකක් කොට අරගෙන වස්තුව මතට මනස පැත්තෙන් හදාගත්ත දෘෂ්ඨිය පතිත කරලා මේ දෙකම එකක් කොට ගන්න මනෝභාවයකින් තමයි මේ මනාපය හෝ අමනාපය හෝ මෝහ සහගත උපේක්ෂාවක් ඇතිකර ගන්නේ. එතකොට එයාට පේනවා මේක ඕලාරිකයි කියලා. රළු දෙයක් හැටියට ඔහුට දකින්න පුළුවන් කම තියෙනවා. රළු දෙයක් හැටියට පේනකොටත් ඒ රළු දේ පිළිබඳව ඔහු නැවත නැවත නැඹුරු වීමක් සිද්ධ කරන්නේ නැහැ.
• පටිච්චසමුප්පන්න දෙයක් වශයෙන් දැකීම
ඒ වගේම, මේක "පටිච‍්චසමුප‍්පන‍්නං" - පටිච්චසමුප්පන්න ධර්මයක්. පටිච්චසමුප්පන්න ධර්මයක් කියලා කියන්නේ? මේ විදියට මනාප, අමනාප, මනාපාමනාප ධර්මයක් උපදිනවා නම් මනාප, අමනාප, මනාපාමනාප සියලුම ධර්මයන් විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා කියන මේ විපාක සන්තතිය පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා කර්මාභියුහනය / සංස්කාරය උපදවාගෙන, ඒ සංස්කරණය කරගත්ත නිමිත්ත පිළිබඳව තණ්හා උපාදාන වශයෙන් භවය සකස් කරගැනීමක් නිසයි හටගත්තේ කියලා එයා දකිනවා.
එතකොට මේ විදියේ හේතුඵල දහමක් නිසයි හටගත්තේ කියලා ඔහු දකිනකොට ඒ දර්ශනය තුළ එයාට විදර්ශනා උපේක්ෂාව පිහිටා සිටිනවා, අර වස්තුව පිළිබඳව තමන්ගේ වැරදි සහගත දෘෂ්ඨිය පතිත කරන්නේ නැතුව. එතකොට එයාට පේනවා කෙලෙස් ටික සහ ඒ වස්තුව පැත්තේ (විපාක ස්කන්ධ) ප්‍රභාෂ්වර මට්ටමක තිබුන ධර්මතා ටික දෙකක් හැටියට. මේ දෙක දෙකක් හැටියට දකිනකොට මේ දෙක එකක් කරගත්ත වැරදි දැකීම තිබුනා නම් ඒ වැරදි දැකීම එයා කෙරෙන් දුරු වෙලා යනවා.
~~ ලෝකයාගේ දර්ශනය ~~
සාමාන්‍යයෙන් ලෝකේ කාටත් තියෙන ප්‍රශ්නයක්නේ, එක්කො යම් දෙයකට දැඩිව කැමති වෙනවා, එක්කො යම් දෙයකට දැඩිව අකමැති වෙනවා. එතකොට මේ කැමැත්ත, අකමැත්ත මත දෝලනයවන ලෝකයක්. අපි හොඳයි කියලා, කැමතියි කියන දේ ළං කරගන්න උත්සාහවත් වෙනවා, අකමැති දේ ඉවත් කිරීම සඳහා අපි උත්සාහවත් වෙනවා. සැපය ලබාගන්නට සහ දුක ඉවත් කරන්නටයි අපේ මුළු ජීවිතයම අපි වැය කරන්නේ.
එතකොට ඒ ක්‍රියාදාමය තුළ තවද අපිට උපේක්ෂා සහගත අරමුණු බොහොමයක් හම්බ වෙනවා. මෙන්න මේ විදියේ මට්ටමක ජීවත්වෙන අපිට මේ දේ මතට (භවය) පතිත කරගන්න තැන හැරුණුකොට වෙනත් තැනක ජීවිතයක් අද ඇත්තේ නැහැ. ඒ කියන්නේ, වෙන දැක්මක් අපට නැහැ. අන්න ඒ වෙන දැක්මක් නැති මනසට තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරන්නේ.
අපි දෙයක් පිළිබඳව පීඩාවට පත්වෙලා දුක් විඳින්නේ, අපි හිතනවා බාහිර පරිසරය නිසයි මට මේ දුක එන්නේ කියලා. ඒ හින්දා අපි පරිසරය වෙනස් කරලා දුක නැති කර ගන්නේ කොහොමද කියලා උත්සාහවත් වෙනවා. අපි හිතනවා සතුට එන්නේ බාහිර ලෝකය ඇතුලේ තිබිලා කියලා. ඒ නිසා සතුට ලබාගැනීම සඳහා ලෝකය වෙනස් කරන්නට අපි උත්සාහවත් වෙනවා.
අන්තිමටම ඒක අපිට වෙහෙසක් විතරක් වෙනවා. ඇයි වෙහෙසක් විතරක් වෙන්නේ? ලෝකයේ පැවැත්ම ඒ අනුව සිද්ධ වෙනවා, හටගත්ත ධර්මය ඉතුරු නැතිව නැතිවෙලා යනවා. සියලු සංස්කාරයන්ගේ ස්වභාවය තමයි හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවෙලා යන සංඛත ලක්ෂණයකින් යුක්ත බව.
එබඳු සංඛත ලක්ෂණයක් සැපයි කියලා ගත්තට පස්සේ ඒ ධර්මයෝ විපරිණාමය නිසා එයාට දුක උපදිනවා. එබඳු සංඛත ලක්ෂණ ටිකක් දුකයි (දුක් වේදනාව) කියලා ගත්තට පස්සේ ඒ සංඛත ලක්ෂණ ටික හේතු හටගෙන හටගන්නකකොට එය දුකක් බවට පත් වෙනවා. මෙන්න මේ විදියට ලෝකය ඇතුලේ අපිට 'දුක' කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ.
~~ ඉන්ද්‍රිය භාවනාවක් නොමැතිකම නිසා ~~
අද අපි විඳින පීඩා සහිත මානසික මට්ටමක් තියෙනවා නම්, මනෝභාවයක් තියෙනවා නම් මේ මනෝභාවය සකස් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ඉන්ද්‍රිය භාවනාවක් නැතිකම නිසා, ඉන්ද්‍රිය භාවනාව දියුණු නොකරන නිසා, රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය පැත්තටම අපි නැවත නැවතත් පතිතවෙන කම නිසා.
යම් විදියකින් අපිට රූපය මතට පතිත නොවී මනස පවත්වන්නට පුළුවන් නම් අන්න ඒකට අවශ්‍ය දර්ශනය තමයි ' මනාප, අමනාප, මනාපාමනාප කියන ධර්මයන් සංඛතයි, ඕලාරිකයි, පටිච්ච සමුප්පන්නයි' කියලා තේරුම් ගන්න එක.
• 'සංඛතයි' කිව්වේ හේතු නිසා සකස් වෙන නිසා.
• 'ඕලාරිකයි' කිව්වේ රළුයි කියන එක.
• 'පටිච්චසමුප්පන්නයි' කිව්වේ, හේතුඵල දහමක පැවැත්මක් මිසක 'සත්ත්වයෙක්' හෝ 'පුද්ගලයෙක්' වුන ධර්මයක් නෙවෙයි.
ඒ කියන්නේ, 'මම ඇහෙන් රූප දැකලා' නෙවෙයි. මේ විදියට ආයතන ටික/ ප්‍රසාද රූප ටික හැදුනට පස්සේ ඒවාට ස්පර්ශ වුනා රූපයක්. ඒ රූපය ස්පර්ශ වුන නිසා හටගත්තා වේදනාවක්. ඒ වේදනාව පිළිබඳව තමයි අවිද්‍යාවෙන් සංස්කාරය උපදවාගෙන තණ්හා, උපාදාන, භව විදියට හදාගත්තේ කියලා අපිට හේතුඵල දහමක් පේනවා.
එතකොට හේතු ඵල දහම ඇතුලේ 'පුද්ගලයෙක්ය' කියන රළු මනෝභාවය ඉවත්වෙලා ගිහිල්ලා අපිට මේ ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වීමක් පිළිබඳව දකින්න පුළුවන් කම තියෙනවා. අන්න එහෙම දකිනකොට අපිට පේනවා මේ මනාප, අමනාප, මනාපාමනාප බව රූපය පැත්තට පතිත කරන එක වැරදියි කියලා. වැරදියි කියලා පේන නිසා අපේ මනස උපේක්ෂා සහගත වෙනවා.
ඒ උපේක්ෂාව 'තියෙන රූපය' පිළිබඳව ඇති කර ගන්න උපේක්ෂාවක් නෙවෙයි. ඒ උපේක්ෂාව සංඛත ධර්මයන්ගේ සංඛත ලක්ෂණය දැකීම නිසා, රූප ධර්මයන් අනුප්පාදයට යන ස්වභාවයක් නිසා ඇතිවෙන උපේක්ෂාවක්. අන්න ඒ උපේක්ෂාවට කියනවා "විපස්සනා සහගත උපේක්ෂාව" කියලා, "විදර්ශනා උපේක්ෂාව" කියලා. ඒ නිසා "උපෙක‍්ඛා සණ‍්ඨාති" කියලා කියනවා, උපේක්ෂාව එළඹ සිටිනවා.
" අයං වුච‍්චතානන්‍ද, අරියස‍්ස විනයෙ අනුත‍්තරා ඉන්‍ද්‍රියභාවනා" - මේ තමයි ආනන්ද, මේ ශාසනයේ තියෙන, ආර්‍ය් විනයෙහි තියෙන අනුත්තර වුන ඉන්ද්‍රිය භාවනාව. චක්ඛු විඤ‍්ඤෙ වූ රූපයන් පිළිබඳව සංඛත වශයෙන්. ඕලාරික වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන් මනසිකාරය පැවත්වීම තමයි මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව.
මතු සම්බන්ධයි
අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.08.11 දින මජ‍්ඣිම නිකායේ උපරිපණ්ණාසකයෙහි දැක්වෙන "ඉන්ද්‍රියභාවනා සූත්‍රය" ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
දේශනාව Youtube ඔස්සේ ශ්‍රවනය කිරීමට.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments