ඉන්ද්‍රීය භාවනා සූත්‍රය 3


ඉන්ද්‍රියභාවනා සූත්‍රය 3

ඒ විදියේ ඉන්ද්‍රිය භාවනාවක් කරනකොට කෙලෙස් ධර්මයන් කොහොමද ප්‍රහානය වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. "යම් විදියකින් ඇස් ඇරගෙන ඉන්න කෙනෙක් ඇස් දෙක වහගත්තොත්, ඒ වගේම ඇස් වහගෙන ඉන්න කෙනෙක් ඇස් දෙක අරිනවා වගේ ආනන්ද සීඝ්‍රයෙන්, බොහොම වේගයෙන්, නිදුකින් මේ ඉපදුණු මනාපයන්, ඉපදුණු අමනාපයන්, ඉපදුණු වැරදි සහගත උපේක්ෂාවන් දුරු කරගන්නට පුළුවන් කම තියෙනවා කියලා.

අපිට එහෙනම් දැන් හිතට දුකක් අමනාපයක් ඇති වෙනකොට, හිතට කැමැත්තක් ඇති වෙනකොට, උපේක්ෂාවක් ඇති වෙනකොට මේ හැම වෙලාවකදිම දැන් අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ කරන්න තියෙන දේ තමයි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව දියුණු කරන්න.

ඒ නිසා, අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව සිද්ධ කරනවා නම්, අරමුණ ආපු පැත්තට අපි නැවත ගිහිල්ලා, ඒ අරමුණ ආපු පැත්ත පිළිබඳව හොඳට විපස්සනාවෙන්, නුවණින් සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. අන්න එතකොට අපිට පේනවා ඒක සංඛත ධර්මයක්- හේතු නිසා සකස් වෙනවා කියලා, රළු වූ දෙයක් හැටියට, පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට. අපි මනාපය, කැමැත්ත උපදවාගත්තේ ඉන්න 'කෙනෙක්' ගැනනේ, නැතිනම් 'තියෙන දෙයක්' ගැනනේ. සංඛත වශයෙන්, ඕළාරික වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන් බලනකොට දැන් 'දෙයක්' පේන්නේ නැහැ, 'කෙනෙක්ව' පේන්නේ නැහැ.

~~ ලෝක නිරෝධය ස්පර්ශ කිරීමට ~~

• අපිට පේනවා හේතු නිසා සකස්වෙන හේතු නැති වෙනකොට නැතිවෙලා යන ධර්මයක් කියලා.

• අපිට පේනවා රළු ධර්මයක් කියලා. නාමරූප ධර්මයන් එකතු වෙලා සකස් වෙච්ච ඉතාම රළු මට්ටමේ දෙයක් මේක. එතකොට මේ රළු බව වෙන්කර ගත්තහම පේනවා මෙතන පවතින්නෙ මෙන්න මේ වගේ ධර්මතා ටිකක් කියලා.

• පටිච්චසමුප්පන්න වශයෙනුත් එහෙමයි.

අන්න ඒ විදියට දකින කෙනාට තමයි වේගයෙන් කෙලෙස් නැතිවෙලා යන්නේ. අපි පුද්ගල බව මත හදාගත්ත කැමැත්ත දැන් අපිට පවත්වන්න 'දෙයක්' හම්බ වෙන්නේ නැහැ. ඇයි? හටගෙන නිරුද්ධ වෙන බව දකින නිසා. ඒ වගේම, පුද්ගල බව මත හදාගත්ත අකමැත්ත අපිට පවත්වන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. පුද්ගල බව මත අපිට ගොඩනැගිලා තියෙන 'ලෝකය පවතිනවා' කියලා පවතින මෝහ සහගත උපේක්ෂා මනස පවත්වන්න පුළුවන් කමක් නැහැ.

ලෝක නිරෝධය යම් මට්ටමකට හෝ ස්පර්ශ කරමින්, යම් මට්ටමකට හරි එය එළඹවා ගන්නට උත්සාහවත් වෙමින් අපේ හිත විදර්ශනා උපේක්ෂාව මත පිහිටා සිටිනවා. එතකොට මෙන්න මේ විදියට මේ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා කියනවා. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ඒ චක්ඛු විඤ්ඤාණයෙන් විඤ්ඤ්‍යෙ වුන රූපයන් විෂයෙහි අපි පවත්වන්නට අවශ්‍යයි.

~~ සොත විඤ්ඤාණයෙන් විඤ්ඤ්‍යෙ වුන ශබ්දය ගැන ~~

ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා,
"පුන ච පරං ආනන්‍ද, භික‍්ඛුනො සොතෙන සද‍්දං සුත්‍වා උප‍්පජ‍්ජති මනාපං, උප‍්පජ‍්ජති අමනාපං, උප‍්පජ‍්ජති මනාපාමනාපං"

කෙනෙක්ට ශබ්දයක් අහගෙන ඉන්නකොට, කනෙන් අහන ශබ්දය පිළිබඳව කැමැත්තක් උපදිනවා, අකමැත්තක් උපදිනවා, ඒ වගේම උපේක්ෂාවක් උපදිනවා. ඔය ටිකෙන්නෙ අපිට අරමුණක් ගෙනැල්ලා දෙන්න පුළුවන් ටික තියෙන්නේ. එතකොට, මේ ශාසනයේ කෙනා මේ විදියට නුවණින් දකිනවා. කොහොමද?

යම්කිසි දෙයක් මට ඉපදුනා නම්, සතුටු හිතෙන ශබ්දයක්, දුක හිතෙන ශබ්දයක්, ඇති බවට ගත්ත අරමුණක මෝහ සහගත උපේක්ෂාව පිහිටියා නම්, "තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං". (අර රූපය ගැන ඉහතදි කතා කළා වගේම) ඒ ධර්මය සංඛත ධර්මයක්, හේතු නිසා සකස් වුන දෙයක්.

• කන නැත්නම්, ශබ්දය නැත්නම් මේක මට දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.

• ශබ්දය තිබුණත් කන නැත්නම්, කන තිබුණත් ශබ්දය නැත්නම් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.

• මේ දෙකම තිබුණත් ඒ අරභයා සොත විඤ්ඤාණය හටගත්තේ නැති වුනොත් ඒත් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.

එහෙනම් මේ තුන් දෙනාම යෙදුනාට පස්සේ, මේ නාමරූපයන්ගේ සමවාය නිසා තමයි මේ ශබ්දය පිළිබඳව දැනගන්නට පුළුවන් කම තිබුනේ. එතකොට, 'මට හරි සතුටු වචනයක් කිව්වා' කියන තැන, 'සතුටු ඇහීමක්' ඇසුනා කියන තැන මේ 'සතුටු සහගත ඇසීම' ශබ්දයට අයිති දෙයක් වුනාද? ශබ්දය කියන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්නේ.

එහෙම නැත්නම්, ඒ ශබ්දය දුක ගේන දෙයක් වුනාද? එහෙමනම් ඒක අහන ලෝකේ ඕනම කෙනෙක්ට සතුට හෝ දුක හෝ ගේන්න ඒ ශබ්දයට පුළුවන් කම තියෙන්න ඕන හැමෝටම එක විදියට, නමුත් එහෙම වෙන්නේ නැහැ.

-- ශබ්දය නිසා දුක හදාගන්න හැටි

අපි නොදන්නා මිනිසුන් දෙදෙනෙක් රණ්ඩුවෙලා බැනගත්තා කියලා අපිට දුකක් ගේන්නේ නැහැ. හැබැයි ඒක 'මට බැන්නා' කියලා අපිට ආවොත් එහෙම අන්න එතනදි මට දුක උපදිනවා. ගැටළුව වුනේ ශබ්දය නම්, කොහේ බැනපු ශබ්දයක් ඇහුනත් දුක එන්න එපැයි. හැබැයි එහෙම දුක එන්නේ නැහැ. දුක එන්නේ ඒක තමන්ගේ කරගෙන අමනාප බව ඇති කරගන්න තැනදි.

අන්න ඒ වගේ මනෝභාවයක ඉන්න කෙනා දැන් කැමැත්තක් උපදින තැනකදී, අකමැත්තක් උපදින තැනකදී, එහෙම නැත්තම් 'බාහිර ශබ්දය පවතිනවා, ඒ ශබ්දය මට අහන්න පුළුවන් නැවත' කියලා උපේක්ෂා සහිත මනසක ඒ මත පිහිටා සිටින මට්ටමකදී හෝ ඒ කෙනා හොඳට නුවණින් දකිනවා, කොහොමද?

"තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං" ඒක,

• සංඛතයි - හේතු නිසා හටගත්ත දෙයක්,

• රළු දෙයක් - රූපය පිළිබඳව නාම ධර්මතා ටික යෙදුන නිසයි, නාම ධර්මතා ටික පැත්තෙන් රූපය පිළිබඳව දැනගෙන තියෙන්නේ. එතකොට රූපය නාම ධර්මතා ටික පිහිටන්නට උපකාර වෙලා, ඒ වගේම, නාම ධර්මතා ටික රූපය මත පිහිටලා හටගෙන තියෙනවා.

එතකොට රූපයට පුළුවන් කමක් නැහැ තනියම ඇවිල්ලා මේ දේ පෙන්නලා දෙන්නට. ඒ වගේම, නාමයට පුළුවන් කමක් ඇත්තේ නැහැ තනියම ඇවිල්ලා මේ ශබ්දය අහලා දෙන්නට. ඒ නිසා, මේ ධර්මතා දෙකේම වැයවීම මත තමයි මේ විදියට ශබ්දය ඇහෙනවා කියන තැනට පත්වුනේ. ඒ එක තැනකවත් කැමති විය යුතු හෝ අකමැති විය යුතු හෝ ගතියක් නැහැ නේද කියලා හොඳින් ඔහු සම්මර්ෂණයට ලක් කරනවා.

එහෙම සම්මර්ෂණය කරනකොට සතුටු වෙන, දුක ගේන අරමුණු වල සතුටු වෙන්නට දෙයක් නැති බවත්, දුක් වෙන්නට දෙයක් නැති බවත්, හේතුඵල දහමක පැවැත්මක් කියන එකත් පිළිබඳව ඔහුට දකින්නට පුළුවන් කම තියෙනවා. අන්න ඒ විදියට දකිනකොට,

"සෙය්‍යථාපි ආනන්‍ද, බලවා පුරිසො අප‍්පකසිරෙනෙව අච‍්ඡරං පහරෙය්‍ය. එවමෙව ඛො ආනන්‍ද, යස‍්ස කස‍්සචි එවං සීඝං එවං තුවටං එවං අප‍්පකසිරෙන උප‍්පන‍්නං මනාපං උප‍්පන‍්නං අමනාපං උප‍්පන‍්නං මනාපාමනාපං නිරුජ‍්ඣති, උපෙක‍්ඛා සණ‍්ඨාති"

යම්කිසි විදියකින් හැකියාව තියෙන බලවත් පුරුෂයෙක් විසින් අසුරු ගසනවා නම්, මහණෙනි, අන්න ඒ වගේ මේ විදියට මනසිකාරය පවත්වන කෙනා බොහොම කෙටි කලකින්ම ශබ්දය අනුව යන ඔහුගේ මනස නැති කරලා, යටපත් කරලා දාලා, වේගවත් ලෙස මේ තුවට වූ සිත සමථයකට පත් කරලා, අර මනාප බව, අමනාප බව, මෝහ සහගත උපේක්ෂාව යටපත් කරලා දානවා.

ඒ විදියට යටපත් කරලා දැම්මහම, "උපෙක්ඛා සණ්ඨාති" - විදර්ශනා සහගත උපේක්ෂාව ඔහුගේ මනස තුළ පිහිටා සිටිනවා. ඇයි? අර මානසික මට්ටම තුළ 'හොඳ වචන සහ නරක වචන', 'අහන්න කැමති දේවල් සහ අහන්න අකමැති දේවල්' කියලා හදාගත්ත දේ. බාහිර වස්තුව මතට පතිත කරපු කම දැන් එයා සිද්ධ නොකරනකොට, ඒක වැරදියි කියලා එයාට පේනකොට අර තිබුනු මානසික පීඩාව ඔහුට දුරු වෙලා යනවා.

ඒ වගේම මානසික ඔහු කෙටි කාලීන සතුටු වෙමින් හිටියා නම් ඒ සතුටත් ඔහුට නැතිවෙලා යනවා. මෝහ සහගත උපේක්ෂාවකට පත්වෙලා සිටියා නම් ඒකත් ඔහුට නැතිවෙලා යනවා. හැබැයි ඉතාමත් ප්‍රීති සහගත උපේක්ෂාවක් හිතේ පවතිනවා. ඒ ප්‍රීති සහගත උපේක්ෂාව ඔහුට මේ විදර්ශනා උපේක්ෂාව තුළ ඇතිවෙන දෙයක්.

-- සීමා නොකර ලබන ප්‍රීතියක්

ඒ ප්‍රීතිය කවදාවත් දෙයකට සීමාවෙලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නෙ, අපි දේකින් සැප විඳින්නේ ඒකට සීමා වෙලානේ. අම්මා, තාත්තා, වටිනා වස්තු, දරුවෝ කියලා, මේ විදියට අපි එක දේකට සීමා වුනාට පස්සේ, කොටු වුනාට පස්සේ ඒක අපිට ඕන විදියට පවත්වගෙන යනකොට අපිට ඇති වෙනවා සතුටක්. මේකට කියන්නේ සීමා සහිත සතුටක් කියලා. මෙහි සීමාවක් තියෙනවා.

අපි හිතාගෙන ඉන්නකන් විතරයි ඒකේ සතුට අපිට හම්බ වෙන්නේ. ඒක වෙනස් වුනොත්, එතන ඉඳලා අපිට දුක ගේන්න පටන් ගන්නවා. අන්න ඒ සීමා සහිත මනස ඉතාම තාවකාලිකයි. හැබැයි මේ විදර්ශනා සහගත උපේක්ෂාව නිසා ලැබෙන ප්‍රීතිය එතන පවත්නා අවේදයික සුඛය ඉතාම බලවත් දෙයක්. ඒක අර විදියට සීමාවක් තුළ ලැබෙන දෙයක් නෙවෙයි, ඒක අසීමාන්තිකව ලැබෙන දෙයක්.

~~ ඝාන විඤ්ඤාණයෙන් විඤ්ඤ්‍යෙ වුන ගන්ධය ගැන ~~

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, මේ විදියටම යම්කිසි කෙනෙක්,

"පුන ච පරං ආනන්‍ද, භික‍්ඛුනො ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා උප‍්පජ‍්ජති මනාපං, උප‍්පජ‍්ජති අමනාපං, උප‍්පජ‍්ජති මනාපාමනාපං. සො එවං පජානාති". නාසයෙන් ගඳ සුවඳ විඳලා මනාප, අමනාප, මෝහ සහගත උපේක්ෂාවට පත්වුනා නම් ඒ කෙනාත් ඒ පිළිබඳව විදර්ශනා කරනවා. "තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං"

ඒ විදියට ඔහු මේක සංඛත ධර්මයක්, රළුයි, පටිච්චසමුප්පන්න ධර්මයක් කියලා දකිනවා. එතකොට, මේ විදියට දකිනකොට ඒ කෙනාට අර බලවත්ව නැගුණු කැමැත්ත තිබුනා නම්, අකමැත්ත තිබුනා නම්, මුලාවන උපේක්ෂාව තිබුනා නම් ඒක දුරුවෙලා යනවා.

උදාහරණයක් දේශනා කරනවා, "සෙය්‍යථාපි ආනන්‍ද, ඊසකපොණෙ, පදුමිනීපත‍්තෙ උදකඵුසිතානි පවත‍්තන‍්ති, න සණ‍්ඨහන‍්ති", මදක් ඇල කරලා අල්ලගෙන ඉන්න නෙළුම් කොළයකට වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ වැටුණු වතුර ටික බොහොම වේගයෙන් ඒකෙ නොතැවරී පහළට වැටෙනවා.

අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් නාසයෙන් ගඳ සුවඳ විඳලා ඒ පිළිබඳව මනාප ඇති කරගෙන, එහෙම නැතිනම් අමනාප ඇති කරගෙන, නැතිනම් උපේක්ෂා සහිත හෝ මනසක හිටියා නම්, නාම ධර්මතා ටික පැත්තේ තියෙන දේවල් බාහිරයේ පවතින දේවල් හැටියට කල්පනා කරමින් 'අතීතයේ ඉඳලා ඇසුරු කරන දේ වර්තමානයෙදිත් ඇසුරු කරන්න පුළුවන්, අනාගතයටත් තියෙනවා' කියලා, මේ විදියේ දැක්මක් තිබුනා නම් අන්න ඒ මත හැදුණු මනාප, අමනාප, උපේක්ෂා සහගත භාවයන් සම්පූර්ණයෙන්ම දුරු වෙනවා.

හරියට අර නෙළුම් පතකට දාපු වතුර ටික බොහොම වේගයෙන් අයින් වෙලා ගියා වගේ ඒ කෙනාගේ මනස තුළ අර අකමැත්තෙන් පීඩා කරන්නේ නැහැ. කැමැත්තෙන් ඔහුව ඉල්පී යන්නට දෙන්නේ නැහැ. ඒ වගේම, මෝහ සහගත උපේක්ෂාව තුළ ඔහුව මුලාවට පත්කරන්නෙත් නැහැ.

~~ ජිහ්වා විඤ්ඤාණයෙන් විඤ්ඤ්‍යෙ වුන රසය ගැන ~~

ඒ වගේම යම්කිසි කෙනෙක්,
"ජිව‍්හාය රසං සායිත්‍වා උප‍්පජ‍්ජති මනාපං, උප‍්පජ‍්ජති අමනාපං, උප‍්පජ‍්ජති මනාපාමනාපං." දිවෙන් රසය දැනගෙන මනාප අමනාප වශයෙන්, මෝහ සහගත උපේක්ෂා වශයෙන් හැසිරුනා නම්, එයත් මනසිකාරය කරනවා නම් මේක,

• හේතු නිසා සකස් වුනා - සංඛතයි,
• නාමරූප පරිච්ඡේද නොකළ බැවින් මෙය ඕලාරිකයි,
• පටිච්චසමුප්පන්න දෙයක්

කියලා දකිනවා නම් ඒ කෙනාට ඒ ධර්මය දැකීම තුළම ඒ මනාප, අමනාප, මෝහ සහගත උපේක්ෂාවන් දුරුවෙලා යනවා.

"සෙය්‍යථාපි ආනන්‍ද, බලවා පුරිසො ජිව‍්හග‍්ගෙ ඛෙළපිණ‍්ඩං සංයූහිත්‍වා අප‍්පකසිරෙන වමෙය්‍ය." ආනන්ද, යම් සේ බලවත් පුරුෂයෙකු විසින් දිව අගට කෙළ පිඩක් එකතු කරලා බොහොම වේගයෙන් එළියට විසික් කරනවා නම් අන්න ඒ විදිහටම දිවෙන් රසයක් විඳලා ඒ පිළිබඳව ඔහුට මනාප, අමනාප, උපේක්ෂා චේතනා පැවතුනා නම් ඒ දේ 'බාහිර ලෝකයේ පවතින දෙයක්' කියලා, එක්කෝ මනාප වශයෙන්, එක්කෝ අමනාප වශයෙන්, එක්කෝ උපේක්ෂා සහගත වශයෙන් පැවතුනා නම්,

හේතුඵල දහමක් විදියට පෙන්නුවාම නම් එයාට පේන්නේ හටගෙන නිරුද්ධ වුන ධර්මතා ටිකක්නේ. එතකොට අර විදියට ඇති කරගත්ත මනාපයට, අමනාපයට, උපේක්ෂාවට හේතුවෙන පදනම බොහොම වේගයෙන් සම්පූර්ණයෙන්ම දුරුවෙලා යනවා. හරියට, ශක්තිමත් පුරුෂයෙකු විසින් දිව අගට කෙල පිඬක් එකතු කරලා බොහොම වේගයෙන් එලියට විසි කරලා දානවා වගේ

" උප‍්පන‍්නං මනාපං උප‍්පන‍්නං අමනාපං උප‍්පන‍්නං මනාපාමනාපං නිරුජ‍්ඣති, අන්න ඒ විදියටම දිවෙන් විඳපු රසය පිළිබඳව ඔහුට මනාප, අමනාප, උපේක්ෂා සහගත චේතනා පැවතුනා නම් ඒ ධර්මයන් නිරුද්ධ බවට පත්වෙනවා. "උපෙක‍්ඛා සණ‍්ඨාති" හිත උපේක්ෂාවට පත්වෙනවා. මෙන්න මෙහෙම තමයි ඉන්ද්‍රිය භාවනාව සිද්ධ කරන්නේ කියලා දේශනා කරනවා.

~~ කාය විඤ්ඤාණයෙන් විඤ්ඤ්‍යෙ වුන ඵොට‍්ඨබ‍්බය ගැන ~~

"පුන ච පරං ආනන්‍ද, භික‍්ඛුනො කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා උප‍්පජ‍්ජති මනාපං, උප‍්පජ‍්ජති අමනාපං, උප‍්පජ‍්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප‍්පන‍්නං ඛො මෙ ඉදං මනාපං, උප‍්පන‍්නං අමනාපං, උප‍්පන‍්නං මනාපාමනාපං. තඤ‍්ච ඛො සඞ‍්ඛතං ඔළාරිකං පටිච‍්චසමුප‍්පන‍්නං"

ඒ වගේම, කයට යමක් ගැටුනට පස්සේ, මනාප, අමනාප, මෝහ සහගත උපේක්ෂාවන් පැවැත්වුනා නම් අන්න ඒ ධර්මයන් පිළිබඳව එයා සංඛත, ඕළාරික, පටිච්චසමුප්පන්න දෙයක් හැටියට මෙනෙහි කරනවා. එතකොට එයාට පේනවා,

"සෙය්‍යථාපි ආනන්‍ද, බලවා පුරිසො සමිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ‍්ජෙය්‍ය " බලවත් පුරුෂයෙක් හකුළ ගත්ත අතක් අපහසුවක් නැතිව බොහොම වේගයෙන් දික් කරනවා නම්, දිගු කරගත්ත අතක් පහසුවෙන් හකුළුවන්නට පුළුවන් කම තියෙනවා නම්,

අන්න ඒ වගේ ඉතාමත් වේගයෙන්, මේ මෙල්ල කළ නොහැකි තුවට වූ චිත්තය මනාපයට යන්නට නොදී, අමනාපයට යන්නට නොදී, මෝහ සහගත උපේක්ෂාවට පත්වන්නට නොදී එයාට පුළුවන් කම තියෙනවා බොහොම වේගයෙන් සංවර කරගන්නට.

කුමක් නිසාද? සංඛත හැටියට, ඕළාරික හැටියට, පටිච්චසමුප්පන්න හැටියට ඒ ධර්මතා ටික දකිනවා නම් පුද්ගල බවට ඉඩ නැතිවෙලා ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වීම දැකීම තුළ මනාප අමනාප හා මෝහ සහගත උපේක්ෂාව පවත්වන්නට හේතු හම්බ වෙන්නේ නැහැ.

~~ මනෝ විඤ්ඤාණයෙන් විඤ්ඤ්‍යෙ වුන ධර්මයන් ගැන ~~

"පුන ච පරං ආනන්‍ද, භික‍්ඛුනො මනසා ධම‍්මං විඤ‍්ඤාය උප‍්පජ‍්ජති මනාපං, උප‍්පජ‍්ජති අමනාපං, උප‍්පජ‍්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප‍්පන‍්නං ඛො මෙ ඉදං මනාපං, උප‍්පන‍්නං අමනාපං, උප‍්පන‍්නං මනාපාමනාපං. තඤ‍්ච ඛො සඞ‍්ඛතං ඔළාරිකං පටිච‍්චසමුප‍්පන‍්නං."

ඒ විදියටම ආනන්ද, මනසින් දහම් දැනගෙන මනාප, අමනාප වශයෙන් හිතින්ම අරමුණක් උපද්දලා ඒ අරමුණ දැනගෙන කල්පනා කරනවා නම් එයා ඒක පිළිබඳවත් බලනවා, මේ ධර්මය සංඛතයි, රළුයි, පටිච්චසමුප්පන්න වුන ධර්මයක් කියලා. මේ විදියට බලනකොට ඒ කෙනාට ඉපදුනා වූ ඒ මනාප, අමනාප, මෝහ සහගත උපේක්ෂාවෙන් යුක්ත වූ ඒ ධර්මය දුරු වෙලා යනවා.

දවස කෙළවර වෙනකන් හොඳට රත් කරපු තැටියකට දිය බිංදු දෙක තුනක් දානවා. එතකොට මොකක්ද වෙන්නේ? බොහොම වේගයෙන් ඒක හිඳිලා යනවා. දැම්මද, වැටුනද කියලා හොයන්න බැරි මට්ටමටම ඒක බොහොම වේගයෙන් ගෙවීමට යනවා. අන්න ඒ ගෙවීමට යනවා වගේ, මේ විදියට යම්කිසි කෙනෙකුගේ මනස තුළ මනාපකම් හටගත්තා නම්, අමනාපකම් හටගත්තා නම්, මෝහ සහගත උපේක්ෂාවන් හටගත්තා නම්,

මේ ධර්මය සංඛත ධර්මයක් ලෙස දැකීම තුළ, ඕළාරික ධර්මයක් ලෙස දැකීම තුළ, පටිච්චසමුප්පන්න ධර්මයක් ලෙස දැකීම තුළ ඔහුට පේනවා මේ ධර්මය ඒකාන්තයෙන්ම පුද්ගලභාව වශයෙන් ඇසුරු කරන්නට බැහැ කියලා. පුද්ගලභාව වශයෙන් ඇසුරු කරන්නට නොහැකි ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වීමක් නම් එතන තියෙන්නේ අන්න එතනදි ඔහුට තේරුම් ගන්නට පුළුවන් කම තියෙනවා මේ හටගෙන නිරුද්ධවන ධර්මය පිළිබඳව තමන් පැවැත්වූවා වූ මනාපය වැරදියි, අමනාපය වැරදියි, මෝහ සහගත උපේක්ෂාව වැරදියි කියලා.

අන්න ඒ විදියට දකිනකොට ඒකට තියෙන පදනම බිඳිලා යනවා. පදනම බිඳිලා ගියාට පස්සේ ඒ දේවල් පවත්වන්නේ නැහැ. හරියට අර දවස තිස්සේ රත් වුන යකඩයකට වතුර බිංදු දෙක තුනක් දැම්මාම එය වගේ බොහොම වේගයෙන් ඒ හටගන්න විතර්ක, කෙලෙස් සහගත මනසිකාරයන් ඔහුට දුරු කරන්නට පුළුවන් කම තියෙනවා. එතකොට මෙන්න මේ විදියට කෙනෙකුට මඟ වඩන්නට පුළුවන්.

~~ පෘථග්ජන කෙනා කෙලෙස් දුරු කිරීම පිණිස ~~

"පුථු කිලෙසෙ ජනෙන‍්තීති පුථුජ‍්ජනා" බොහෝ ක්ලේශයන් උපද්දන නිසා පෘථග්ජනයි කියලා කියනවා. මෙන්න මේ විදියට බොහෝ ක්ලේශයන් උපදවන මට්ටමක ඉන්න පෘථග්ජනයෙකුට මේ විදියට මනසිකාරය පැවැත්වීම තුළ ඔහුට පුළුවන් කම තියෙනවා බොහොම වේගයෙන් හිතේ ඇතිවෙන මනාප, අමනාප සහ උපේක්ෂා සහගත සිතුවිලි වලට තියෙන පදනම නැති කරන්න.

~~ පදනම නැති කිරීම ~~

මෙතනදි නැති කරන්න ගියේ මනාපයත් නෙවෙයි, අමනාපයත් නෙවෙයි, උපේක්ෂාවත් නෙවෙයි. යම්කිසි අවිද්‍යාවක් නිසා නම් මනාපය, අමනාපය, මෝහ සහගත උපේක්ෂාව පැවැත්වුවේ, ඒ නොදන්නාකම දුරු කරලා දන්නාකම උපදවා ගැනීමට අවශ්‍ය මනසිකාරයක් පවත්වනකොට තමයි ඔහුට විදර්ශනා උපේක්ෂාව පිහිටා සිටියේ.

ඒ විදර්ශනා උපේක්ෂාව පිහිටා සිටිනකොට තමයි ඒ කෙනාට ඒ වස්තුවට පතිත නොවී ධර්මතා ටික පිළිබඳව නුවණක් ඇතිකර ගන්නට පුළුවන් කම ලැබුනේ. අන්න ඒ විදියට ඒ කෙනාගේ නුවණ එසේ පවතින තැනකදි එයාට නිකන්ම නුවණක් ඇති කරගන්නට පුළුවන් කම ලැබෙනවා මේ ලෝකයේ සංඛත පැවැත්ම බොරුවක්, සංඛත පැවැත්ම වැරදියි කියලා.

මතු සම්බන්ධයි

අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.08.11 දින මජ‍්ඣිම නිකායේ උපරිපණ්ණාසකයෙහි දැක්වෙන "ඉන්ද්‍රියභාවනා සූත්‍රය" ඇසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි

මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!

Post a Comment

0 Comments