ආසිවිසොපම සුත්‍රය 1
නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස!!!
ගෞරවනීය අපේ ස්වාමීන්වහන්සේලාගෙන් අවසරයි, ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරන්නට සුදානම්වෙන මොහොත. අද දවසේදී අපි හිතුවා 'ආසිවිසොපම සුත්‍රය' ආශ්‍රය කරගෙන කරුණු ටිකක් සාකච්ඡා කරන්නට. 'ආසිවිසොපම සුත්‍රය' අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, උදාහරණයක් මගින් පෙන්වා වදාළ ඉතාමත් වටිනා, අත්‍යවශ්‍ය තේරුම් කරගන්නට කරුණු කාරණා සමුදායක් පෙන්වා දෙන සුත්‍ර දේශනාවක්. ඒ සුත්‍රය තුල මේ පින්වතුනුත් අපි හිතනවා මේ කරුණු කාරණා ටික ශ්‍රවනය කරලා ඇති කියලා. ඒ ඔස්සේම අපි කරුණු ටිකක් විමසලා බලමු.
"අස්සුතං සුණාති, සුතං පරියොදපෙති" කියලා පෙන්වනවනේ ධර්ම ශ්‍රවනයේ ආනිසංසයක්. ඒ කියන්නේ අහගත්තේ නැති දේවල් අහගන්නට ලැබෙන්න පුළුවන්, ඒවගේම දැනගත්ත දෙයක් වුනත් හොඳට තවදුරටත් ඒක පිරිසිදු ආකාරයෙන් ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට මේ සුත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, චත්තාරො ආසිවිසා උග්ගතෙජා ඝොරවිසා" මහණෙනි, මහත් උග්‍ර වූ තේජස් ඇති, ඝෝර විෂ ඇති සර්පයෝ හතරදෙනෙක් ඉන්නවා. "අථ පුරිසො ආගච්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටිකූලො" - ජීවත් වන්නට කැමති, මැරෙන්නට අකැමැති, සැප කැමති, දුකට අකමැති පුද්ගලයෙක් එනවා.
== විෂ ඝෝර සර්පයෝ හතර දෙනෙක් ==
ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා මේ සර්පයෝ හතරදෙනාව මනාකොට පෝෂණය කරන්නට. ඒ පෝෂණය කිරීම ඔහුට පැවරුමක් විදිහට ලැබුනාට පස්සේ, එක්තරා නුවණැති කෙනෙක් විසින් පණිවිඩයක් දෙනවා, "මේ දරුණු විෂ ඇති සර්පයන් හතරදෙනාම කාලයෙන් කාලයට නැගිට්ටවන්න, කාලයෙන් කාලයට නාවලා පිරිසිදු කරන්නට, කාලයෙන් කාලයට කෑම බීම ටික දෙන්නට, ඒ වගේම නිදාගන්න අවශ්‍ය කාලයේදී ඒ දේ සිද්ධ කරන්නට සිද්ධ වෙනවා. යම්කිසි විදිහකින් එක සර්පයෙක් හෝ කිපීමක් සිද්ධ වුනොත් ඒ දරුණු විෂ තියෙන මේ සර්පයන්ගේ දෂ්ඨනය හේතුවෙන් පුරුෂය නුඹට මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා යමක් කටයුතු නම් එය කරන්න කියලා"
දරුණු විෂ ඇති සර්පයෝ හතර දෙනකුට උපස්ථාන කරන්නට, සලකන්නට කියන මේ පැවරුම ලැබුනාට පස්සේ, මේ පුරුෂයා සැප කැමති කෙනෙක්, නොගිලන් බව කැමති කෙනෙක්, දුකට අකමැති කෙනෙක්, ජීවත් වෙන්නට කැමති කෙනෙක්. ඒ නිසා සර්පයෝ හතරදෙනාව පෝෂණය කර කර ඉඳීම භයානකයි. මොකද විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්ව බලාගන්නවා කියන එක ලෙහෙසි නැහැ. එක් කෙනෙක්ගේ හෝ කිපීමක් ඇති වුනොත් මරණයට හෝ මරණ මාත්‍ර දුක්ඛයකට පත්වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඔහු බියට පත්වෙලා එතැනින් පැනලා යනවා.
==සතුරු වධකයෝ පස්දෙනෙක් ==
මෙසේ පැනලා යනකොට, එයාට අර නුවණැති කෙනා ආයෙත් කියනවා, " එම්බා පුරුෂය නුඹව, සතුරු වධකයෝ පස්දෙනෙක් යම් තැනකදී දැක්කොත් ඒ දැක්ක තැනදීම නුඹව මරණයට පත් කරනවා, දිවියෙන් තොර කරනවා. ඒ වගේම නුඹ පසුපසින් දිවියෙන් තොර කිරීමට බලාගෙන ඉන්න මේ වධකයෝ ටික නුඹේ පස්සෙන් පන්නාගෙන එනවා. පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්නට" කියලා මේ පුරුෂයාට කියනවා. මේ කෙනා දැන් සර්පයන්ට බයේ තමයි පැනලා ආවේ. නමුත් ඒ සර්පයන්ට අමතරව සතුරු වධකයෝ පස්දෙනෙක් මෙයාගේ පසුපසින් පන්නනවා කියලා පණිවිඩයකුත් ලැබෙන නිසා තවත් බයට පත්වෙනවා. මේ හේතු කරගෙන ඒ කෙනා වඩාත් බයට පත්වෙලා තවත් තැනකට පලා යනවා.
= ඇතුලත හැසිරෙන හයවෙනි වධකයා ==
මෙසේ පලායනකොට අර නුවණැති කෙනාගෙන්, තව පණිවිඩයක් එයාට ලැබෙනවා, "අම්භො පුරිස, ඡට්ඨො අන්තරචරො වධකො උක්ඛිත්තාසිකො" කියලා හයවෙනි ඇතුලත හැසිරෙන තවත් වධකයෙක් යම් තැනකදී ඔබව දැක්කොත්, එතනදීම ඔබේ හිස හෝ සිඳිනවා, නැත්තම් ඔබව මරණයට හෝ පත්කරනවා කියලා, ඔබ පසුපස්සෙන් එනවා කියලා ඇතුලත හැසිරෙන තව හයවෙනි වධකයෙක් පිළිබඳවත් ඔහුට දැනගන්නට ලැබෙනවා. සර්පයෝ හතරදෙනාගෙනුත් බයට පත්වෙලා, ඒවගේම සතුරු වධකයෝ පස්දෙනාගෙනුත් බයට පත්වෙලා, ඊට අමතරව ඇතුලත හැසිරෙන මහා දරුණු අනෙක් ප්‍රධාන වධකයෙක්ගෙනුත් බයට පත්වෙලා මේ කෙනා පලා යනවා.
== පාළු ගමක් හා ගම් පහරණ හොරු ==
මෙහෙම පලා යනකොට එයාට හම්බවෙනවා හිස් වූ ගමක්. එයාට දකින්නට ලැබෙනවා මේ හිස් ගමේ කිසිම දෙයක් ඇත්තේ නැහැ , මේ හිස් ගම්මානයේ යම් හෝ ගෙයකට එයා පිවිසෙනවා නම් ඒද හිස් වූ ගෙයකට තමයි එයා පිවිසෙන්නේ. ඒ ගේ ඇතුලේ යම් භාජනයක් හෝ ගන්නේ නම් හිස් වූ භාජනයක්ම තමයි අතට අහුවෙන්නේ, කිසිවක් නැති, ශුන්‍ය වූ, හිස්වූම දෙයක් අල්ලා ගන්නවා. ඉතින් මේ ශුන්‍ය ග්‍රාමයකට පිවිසිලා ඉන්න මේ කෙනාට නුවණැති පුරුෂයා විසින් නැවතත් පණිවිඩයක් කියනවා, "එම්බා පුරුෂය, ගම පහරණ හොරු දැන් ඇවිල්ලා මේ ගම විනාශ කරලා දානවා. ඒ නිසා යමක් කරන්නට පුළුවන් නම් ඒ දේ කරන්නට" කියලා.
== මහා විශාල ජලාශයක් ==
මේ විදිහට මේ හිස් වූ ග්‍රාමය, ගම් පහරණ හොරුන්ගෙන් විනශ වෙනවා කියලා කිවුවහම ඒ ග්‍රාමයේද නොසිට එතැනින්ද පැනලා යනවා. මේ විදිහට පැනලා යනකොට එයා මහා ජලාශයක් දකිනවා. එයා ඉන්න තැන (මෙතෙර) සැක සහිතයි, බිය සහිතයි. එතෙර උවදුරු රහිතයි, බිය රහිතයි. මේ ජලාශයෙන් එතෙර වුනොත් එහෙම උවදුරු හෝ බියට පත්වෙන්නට හෝ කාරණාවක් ඇත්තේ නැහැ කියලා එයා දකිනවා. නමුත් එතෙර වීම සදහා ඔබමොබ යෑමට ඔරුවක් හෝ පාරුවක් ඇත්තේ නැහැ. ඊටපස්සේ මේ කෙනා කල්පනා කරනවා, මේ මහා ජලාශයක් තියෙනවා, කොහොම හරි එහා පැත්තට යන්නටත් ඕනේ. මෙතෙර හිටියොත් මරණ හෝ මරණ මාත්‍ර දුකකට පත්වන්නට පුළුවන්කම විතරයි තියෙන්නේ.
ඒ නිසා මම කොහොමහරි එතෙරට යන්නට ඕනේ කියලා, වටපිටාවේ යම්ම දෙයක් දකිනවා නම් ඒ තණකොළ, දර ආදී දේ රැස්කරගෙන පහුරක් බැඳගෙන අතින් පයින් වෑයම් කරමින් මේ ජලාශයෙන් එතෙර වෙනවා නම් හොඳයි කියලා කල්පනා කරලා, මේ කෙනා අර විදිහට පහුරක් හදාගෙන මෙතෙරින් එතෙරට පිටත් වෙලා යනවා. මෙසේ සැප සේ එතෙර වීම කියන දේ සිද්ධ කරලා එතෙර වූ තලයේ බැස සිටිනවා. බුදුරජාණන් වහන්සේ මේ උදාහරණ කතාව දේශනා කරලා මහණෙනි, මම අරුත් හැඟවීම පිණිස තමයි මේ කතාව කිවුවේ. "උපමා ඛො ම්‍යායං, භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ‍්ඤාපනත්‍ථාය". මහණෙනි, මම මේ උපමාවක් කළේ අර්ථය හැඟවීම පිණිසයි කියලා, මේ උපමා උපමෙය්‍ය සම්බන්ධය සිද්ධ කරනවා.
"මහණෙනි, මේ බලවත් තෙද ඇති, දරුණු විෂ ඇති සර්පයෝ සතරදෙනා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වයෝ ධාතු කියන සතර මහා භූතයනට නමක්" කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවට නමක් හැටියට තමයි සර්පයෝ හතරදෙනාව උපමා කොට දක්වන්නේ. මේ සර්පයෝ ගැන කිවුවේ කොහොමද? බොහොම ඝෝර විෂ අති සර්පයෝ හතර දෙනෙක් කියලා. මේ සර්පයෝ හතරදෙනාව පෝෂණය කරන්න ලැබෙන්නේ කාටද? බොහොම සැප කැමති, මරණයට අකමැති, තමන්ගේ ජීවිතයේ දුක කියන දේ පිළිකුල් කරන කෙනෙකුට තමයි මේ සර්පයෝ හතරදෙනාව පෝෂණය කරන්නට ලැබෙන්නේ.
අපි පොදුවේ සතර මහා ධාතුව පෝෂණය කරන දේ තමයි අපේ ජීවිතය තුල අපි සිද්ධ කරන දේ. ප්‍රධාන ලෙසම ආහාරයෙන් උපන් මේ කය පිළිබඳව තමයි මෙතනදී අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව උදාහරණ ලෙස දක්වන්නේ මහාභුතය කියන තැනින් දැක්වුවහම පොදුවේ හැම තැනකටම මේක ගලපන්නට පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ අපි ඇසුරු කරන, අපි අවට තියෙන ඕනෑම දෙයක් මහාභුතය හැටියට අපිට අර්ථ ගන්වන්න පුළුවන්. හුදු ඒක කයකට පමණක් සීමා නොවන නිසා තමයි මහාභූතය කියලා කිවුවේ.
මහා භූතයන්ගෙන් එක මහා භූත රූපයක් හෝ උත්සන්න වෙනවා නම්, ඒ උත්සන්න වීම කියලා කියන්නේ රෝගයක් හෝ මරණය හෝ මරණ මාත්‍ර දුකකට පත්වෙන්නට සිද්ධවෙන දෙයක්. බාහිර රූපයක වුනත් වෙනස් වීම, විපරිනාම වීම කියන දේ අපිට ජීවිතයට දුක කියන දේ ගෙනල්ලා දෙන්නට පුළුවන් දෙයක්. ඒ සර්පයෝ හතරදෙනාව පෝෂණය කරනවා කියලා කියන්නේ අපිට 'තමන් කරගත්ත කය', අද දවසේදී පෝෂණය කරන්නට සිද්ධ වෙනවා. ඒකට නැගිට්ටවන්න ඕනේ, ඒ වගේම කන්න බොන්න දෙන්න ඕනේ, පිරිසිදු කිරීම් සිද්ධ කරන්නට ඕනේ, කොච්චර අද දවසේදී අපි සත්කාර සම්මාන කරනවද මේ කයකට.
කය විතරක් නෙමෙයි, අපි අවට ඉන්න, අපි කැමති කියලා ගත්ත, හොඳයි කියලා ගත්ත වස්තු වලට, ඒ වගේම අපි හොඳයි කියලා ඇලෙන, අපි හොඳයි කියලා කල්පනා කරන 'දු, දරුවෝ', 'හිත මිතුරෝ', 'නෑදෑයෝ', 'අම්මා', 'තාත්තා' ආදී මේ හැම දෙයක් කෙරෙහිම අපිට තියෙන දැක්ම තමයි ඔය දැක්ම. ඒ දැක්ම තුල ඉඳලා ඒ දේවල් විනාශවෙලා යනවාට අකමැති, ඒ දේවල් නැතිවෙලා යනවට අකමැති අපි, ඒ දේවල් රැකගැනීම සදහා කටයුතු කරනවා. ඉතින් ඒ දේවල් පෝෂණය කරන්නට ඕනේ, ඒ දේවල් රකින්නට අවශ්‍යයි, ඒ දේවල් අපිට අවශ්‍ය විදිහට තබාගැනීම සදහා අපි ලෝකය තුල කටයුතු කරනවා. ඒක තමයි කෙනෙකු සතු මුලිකම ජීවිතයේ තියෙන පළමුවෙන අදියර.
ඒ වගේම මිදෙන කෙනෙකුට පළමුකොට මිදෙන්නට තියෙන දේත් ඒක. මහා භූතයන්ට උපස්ථාන කරනවා කියලා කියන්නේ සර්පයෝ හතර දෙනෙක්ට උපස්ථාන කරනවා වගේ දෙයක්. දැන් මේ සර්පයෝ හතර දෙනාගෙන් අපි මිදෙන්නට ඕනේ. සර්පයෝ හතර දෙනාගෙන් මිදෙන්නට ඕනේ, නමුත් අපේ ජීවිතේ සර්පයෝ හතර දෙනාට උපස්ථාන කරන මට්ටම තමයි අද තියෙන්නේ. අපේ ජීවිතයේ අපි යහපත කැමති, සැප කැමති බව තමයි හැම මොහොතකම තියෙන්නේ. ඒ සැප, යහපත කැමති බව නිසාම අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙනවා, ඒ යහපත් බව, ඒ සැපවත් බව අපේ ජීවිතය තුල උපදවා ගන්න. ඒ දේවල් දකින්නේ අපි මහා භූත රූපය පැත්තේ.
==වැරදි සහගත සංකල්පනා නිසා ආදීනවය==
ඒ නිසා මහා භූත රූපය අපිට අවශ්‍ය විදිහට පවත්වා ගැනීම සදහා, අපිට ඕනේ විදිහට පිහිටුවා ගැනීම සදහා අපි උත්සාහවත් වෙනවා. ඒ මහා භුතය යැයි කියන එක නොකියා ඒකට අපි, 'දරුවා', 'ගෙවල් දොරවල්', 'යාන වාහන', 'අම්මා තත්තා', 'නෑදෑ හිත මිත්‍රයෝය' කියලා අපිට සංකල්පමය වශයෙන් හැසිරෙන්නට පුළුවන්. නමුත් යථාර්ථය තමයි ඒ හැම රූපයම සතර මහා ධාතු බව. ඒ සතර මහා ධාතුව මත අපි පිහිටුවා ගත්ත, වැරදි සහගත සංකල්පනාව නිසා අද අපේ ජීවිතය මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම තමයි සැප හොයාගෙන යන සත්වයාට දුක කියන දේ උරුම වෙන්නේ. ලෙඩ නොවීම කියන දේ කැමති, ලෙඩ නොවීම කියන දේ ලබාගැනීම සදහා උත්සාහවත්වෙන කෙනෙකුට ලෙඩවීමේ දුක උරුම වෙන්නේ.
ලෝකය තමන්ට කැමති විදිහට පවත්වන්න යන කෙනෙකුට, කැමති විදිහට නොපැවතීමේ දුක කියන එක උරුම වෙන්නේ. මෙන්න මේ මහා භූත රූපය තමන්ට අවශ්‍ය පරිදි පවත්වන්නට පුළුවන්කමක් නැති නිසාමයි. කවදාවත් මේ සර්පයෝ හතරදෙනා තෘප්තිමත් කොට තබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා සර්පයෝ හතරදෙනාව පෝෂණය කිරීම පිළිබඳව අපි කල්පනා කරන්නට ඕනේ. ඉස්සෙල්ලාම බයක් ඇතිවෙන්නේ සර්පයෝ හතරදෙනාගෙන්. කෙනෙක් පැනලා යන්න පටන් ගන්නේ සර්පයෝ හතරදෙනා පිළිබඳව දැක්කාට පස්සේ. අන්න ඒකට කියනවා ආදීනවය දකිනවා කියලා.
සර්පයෝ හතරදෙනාගේ ආදීනවය නොදකින තාක්, මහා භූත රූපය අපි පෝෂණය කරනවා, මහා භූත රූපය බිඳෙන කොට ජීවිතයට දුක එනවා කියන පැත්තෙන් කෙනෙක් දකින්නේ නැත්නම් දුක හැදෙන පිළිවෙත පිළිබඳව තමන්ට අවබෝධයක් නැත්නම් ඒ කෙනා හැමදාම පින්වතුනි, දුක නැති කිරීම පිණිස බාහිර රූපයට නැඹුරු වූ මනසක් ඇතුව ජීවත්වෙන කෙනෙක්. ඒ කෙනා උත්සාහවත් වෙන්නේ තවදුරටත් සතර මහා ධාතුව වෙනස් කරලා කොහොමහරි මොන විදිහකින් හෝ දුක නැතිව ජීවත් වෙන්න. හැබැයි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අපිට අතහරින්නට තැනක්. ඒ තමයි සතර මහා ධාතුව අතහරින්න, එහෙම නැත්නම් සර්පයෝ හතරදෙනාව පෝෂණය කරන සර්පයෝ හතරදෙනාගෙන් බයට පත්වෙලා, ඔබ සර්පයෝ හතරදෙනාගෙන් දුවන්නට ඕනේ, එතැනින් අයින් වෙන්නට ඕනේ.
ඒ මොකද, අපි සැප කැමති අය, ඒ නිසා දුක අකමැති අය. දුක පිළිකුල් කරන, සැප බලාපොරොත්තුවෙන කෙනෙක් අර දුක් සහිත වූ මට්ටමක රැදී සිටින්නට කැමති වෙන්නේ නැහැ. එහෙනම් දුක කියන දේ අපිට පෙන්වන්න වෙනවා මහා භූත රූපයේ පැවැත්මම දුකක් හැටියට. ඒකෙන් කියන්නේ ඔබට කන්න බොන්නේ නැතිව ඒ පැවැත්ම අයින් කරන්න, ගෙවල් දොරවල්වල ඉන්න එපා කියන දේ නෙමෙයි. සර්පයෝ හතරදෙනාට උපස්ථාන කිරීම කරන්නේ කොතැකින්ද කියන එක ගැන අපි දැනගන්නට ඕනේ. සර්පයෝ හතරදෙනාට උපස්ථාන කිරීම කියලා කියන්නේ ලෝකේ සැප සහගත වේදනාව, එහෙම නැතිනම් අපි කැමතිවෙන දේ යහපත කැමති බව අපි මහා භූත රූපය පැත්තෙන් දකිනවා නම්, ඒ පැත්තේ මනසිකාරය තුල අපි වාසය කරනවා නම් පින්වතුනි, ඒක තමයි අපි රූපයේ සැප කැමති බව.
ඒ රූපයෙහි සැප කැමති බව නොවිය යුතු දෙයක්. අපි සැප වේදනාව ගවේෂණය කිරීම පිණිස අපිට රූපය, මිහිරි ශබ්දය, හොඳ ගඳ, සුවඳ, රසයන්, ඒ වගේම ස්පර්ශයන් අපිට අවශ්‍ය වෙනවා. ඒ අපි කැමති කියලා වෙන්කර ගත්ත රාමුවක් තියෙනවා. ඒ වෙන්කර ගත රාමුව ඇතුලේම දෙයක් හොයා ගත්තොත් තමයි අපිට ඒක විඳින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ, ඒ වින්දනය කියන දේ හැමදාම මානසික සංකල්පමය වශයෙන් ඇතිකර ගත්ත දෙයක් කියලා. අන්න ඒ නිසා අපි හැමදාම ඒ විඳීම කියන දේ පවත්වා ගැනීම සදහා මහා භූත රූපය කෙරෙහි නැමිලා, මහා භූත රූපයකට උපස්ථාන කරනවා, මහා භූත රූපය පසුපසම යනවා.
එහෙනම් අපි ඉස්සෙල්ලාම මහා භූතය අතහරින්නට ඕනේ. මහා භූතය අතහරිනවා කියන එක අපිට, මහා භූත වලින් හැදුනු කයක් තියාගෙන කරන්නට පුළුවන් දෙයක් නෙමෙයිනේ. කය අතහරිනවා කියන තැන නෙමෙයි මේ කථා කරන්නේ. එහෙනම් කුමක් ගැනද? මානසිකව ඇතිකර ගන්න විමුක්තිය පිළිබඳව දෙයක් මේ කතා කරන්නේ. තමන්ගේ පැත්තේ ඇතිකර ගත්ත සංකල්පනාව බාහිර වස්තුවට පතිත කරලා ලෝකය විඳින මානසික මට්ටමෙන් එයා ඈත් වෙනවා. අන්න ඒකට තමයි සර්පයෝ හතරදෙනාගෙන් බයට පත්වෙලා එතනින් පලා යනවා කියලා කියන්නේ. එයා දකිනවා මේ මානසික සංකල්පනා ලෝකේ පැත්තට දැම්මොත්, ලෝකේ පැත්තට දැමීමෙන් සිද්ධවෙන ආදීනවය දන්නවා මොකක්ද කියලා.
එයා දන්නවා, ඊටපස්සේ ඒ ලෝකය රැකීම සදහා එයාට කොච්චර උත්සාහවත් වෙන්න වෙනවද කියලා. හැබැයි ලෝකේ තුල කොච්චර උත්සාහවත් වුනත් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වයෝ ධාතුව අපිට ඕනේ විදිහට පවත්වා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ ධාතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට අපි කියනවා කෙනෙක් ලෙඩ වුනා, කෙනෙක් මැරුණා, අපිට ජීවිතේ ගොඩක් දුක් උරුම කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මහා භූත රූපය තුල පැවැත්මක් අරගෙන යන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ පැවැත්ම වැරදි. සර්පයෝ හතරදෙනා නිසා ඔබට මෙහෙම දුකක් එන්නට පුළුවන් කියන එක.
සර්පයෝ ඝෝර විෂ ඇති අය බවට දැක්කොත් අපි, අන්න එතකොට තමයි සර්පයෝ හතරදෙනාව පෝෂණය කිරීම පිළිබඳව අපිට බයක් ඇතිවෙන්නේ, පලා යාමට සිතක් ඇතිවෙන්නේ. ඒ හින්දා අපිට මුලිකවම ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඇතිවෙන්නට ඕනේ සර්පයන් පෝෂණය කිරීම පිළිබඳව ඇතිවෙන භීතිකාව. ඒ කියන්නේ කාමය පිළිබඳව ඇතිකර ගත්ත ආදීනවයක් අපිට තියෙන්නට ඕනේ. මනසේ ඇතිවෙන කාමය බාහිර රූපයට පතිත කරලා මහා භූත රූපය කාම වස්තුවක් බවට පත්කරගෙන ඉන්න නිසා ජීවිතේ හැමදාම දුක කියන දේ උරුම වෙනවා. ඒක මේ ජීවිතේ එන දුකක් විතරක් නෙමෙයි. සම්පරායික වශයෙනුත් සසරට අරගෙන ගිහිල්ලාත් දුක දෙන්නට හේතුවෙන දෙයක්.
අපිට මේ දුක පිළිබඳව ඒ විදිහට දැක්මක් තියෙන්නට අවශ්‍යයි. ඒ දුක පිළිබඳව ඒ දැක්ම තිබුනොත් තමයි අපිට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැක්මක් විදිහට තමන් තමන්ගේ පැත්තට නැඹුරු වෙලා මහා භුතය පැත්තට තමන්ගේ කෙලෙස් සහිත බව පතිත නොකර ඉන්න උත්සාහවත් වෙනවා නම් අන්න ඒ කෙනා මහා භුතයේ බයට පත්වෙලා, එහෙම නැත්නම් සර්පයෝ හතරදෙනාගෙන් බයට පත්වෙලා එයා දුවන කෙනෙක්. මහා භූත රූපයේ ආදීනවය දැකලා එයා නිස්සරණයක් හොයාගෙන යන කෙනෙක් කියලා කියනවා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 26/05/2020 දින ආසිවිසොපම සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments