🔴 ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 07
රූප ඇතුළේ අම්මා, තාත්තා, ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කියලා කිව්වේ කවදාවත් ඇහැට ආපු පාට ටික අම්මා, තාත්තා, ගෙයක් නොවුණ නිසා. ඔබට රූපය කියලා පේන්නේ පාට ටිකක් කියලා කිව්වනේ. ඝන අඳුරක ඔබට දකින්න පුළුවන්කමක් නැහැනේ ගෙවල් දොරවල් කියලා දෙයක්. ජාති අන්ධ කෙනෙකුට මේ ලස්සන ගෙදරක්, මේ විදිහේ මේ හැඩයෙන් තියෙන දෙයක්, මේ මගේ අම්මා කියලා දකින්න පුළුවන් රූපයක් එයාගේ ලෝකේ ඇත්තේ නැහැ. එනම් එයාට රූපී ලෝකයක් ඇත්තේ නැහැ. ඒක තමයි ඇත්ත ම කතාව.
රූපය ඇස් හමුවට ආවේ වර්ණ සටහනක් විදිහට. ඒ වර්ණ සටහන ඒ මොහොතේ හට ගෙන නැති වෙලා යන දෙයක්. හැබැයි මනසින් ඒ රූපය නිරුද්ධ බව ඔබට නොපෙන්වනවා. ඒක අවිද්යාවෙන් කරන දෙයක්. නමුත් රූපයේ ඇත්ත තමයි සම්පුර්ණ ම ඔබ නොදන්නා මට්ටමක තියෙන දෙයක්. ඒ කියන්නේ අම්මා නොවී ඔබේ ඇස් ඉදිරිපිටට එන එක තමයි වර්ණ රූපයේ ස්වභාවය. ඒ රූපය ද හට ගෙන නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි.
✳️ ශබ්ද රූපයේ ස්වභාවය ✳️
ශබ්ද රූපයත් ඒ විදිහට ම තමයි. ශබ්දය ඇතුළේ තිබුණේ නැහැ මනුස්සයින්ගේ ශබ්ද, ශබ්ද ඇතුළේ තිබුණේ නැහැ යාන වාහනවල ශබ්ද, සත්තුන්ගේ ශබ්ද තිබුණේ නැහැ. ශබ්දය කියන එක අනාත්ම ධර්මයක් විදිහට ඔබේ කන් හමුවට ආවා. ඒ ශබ්දය පෙර නොතිබී හට ගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. ඔබට ශබ්දය ගැන ඒ විදිහට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ශබ්ද රූපය කියලා කියන්නේ කනට ගැටෙන දෙයක්. ඒ ශබ්ද රූපය කනට ගැටෙන්න කලින් තිබුණත් නෙමෙයි. ගැටුනට පස්සේ තියෙනවත් නෙමෙයි.
වතුර එකක් මැදට ගල් කැටයක් දැම්මහම මොකද වෙන්නේ? රැල්ලක් නැගෙනවා. ඒ රැල්ල අපිට පේනවා ලොකු වෙලා ගිහිල්ලා අන්තිමේට ම ඉවුරේ කෙළවරකට ම වදිනවා ගිහිල්ලා. ඇත්තට ම ඉවුරේ කෙළවරට වැදුණේ අර ගල් කැටේ දාපු තැන තිබුණු වතුර ද? එහෙම නැතිනම් ඉවුර අයිනේ තිබුණු වතුර ටික ද? ඉවුරට ගිහිල්ලා වැදුණේ ගල් කැටේ දාපු තැන තිබුණු වතුර ටික වගේ අපිට පෙනුණට ඇත්තට ම ඉවුරට වැදුණේ ඉවුර අයිනේ තිබුණු වතුර ටික.
අන්න ඒ වගේ තමයි ශබ්දය කියලා අපි හිතුවට එළියේ තියෙන දෙයක් ඇහෙනවා කියලා, ඇත්තට ම ඔබේ කනට ගැටෙන්නේ සාමාන්ය ව්යවහාරික වචනයක් තුළින් කිව්වොත් කම්පන තරංගයක්. එතකොට කන ළඟ තියෙන ඒ වායෝ ධාතුවේ කම්පනය නිසා තමයි ඔබට ඒ ශබ්දය අහන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ශබ්ද රූපය සතර මහා ධාතු රූපයන්ගේ ගැටීම නිසා ඇති වෙන දෙයක්. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ගැටෙන බව නිසා තමයි ශබ්දය කියන දේ උපදින්නේ. එහෙම නැත්නම් ශබ්දය උපදින්නට විදිහක් ඇත්තේ නැහැ.
ඒ ශබ්ද රූපය ඇතුළේ තිබුණේ නැහැ මිහිරි දේවල් සහ අමිහිරි දේවල්. ඔබට හිතෙන්නට පුළුවන් මේ ශබ්දය ලස්සනයි, මේ සින්දුව ලස්සනයි කියලා. හැබැයි ඒ ලස්සන කියන එක ඒ ශබ්දයට අයිති දෙයක්ව තිබුණේ නැහැ. ඒ ලස්සනකම ඒ ගීතයට නැතිනම් ඒ ශබ්දයට අයිති නම් ඒ ශබ්දය ඇහෙන කොට ලෝකේ ඔක්කොම ඒ ගීතයට කැමති වෙන්නට ඕනේ. හැබැයි එහෙම නැහැනේ. එක ගීතයක් අරගෙන බැලුවොත් ඒ ගීතයට ලෝකේ ඉන්න හැමෝම කැමති නැහැ. සමහර කෙනෙක් කැමතියි. සමහර කෙනෙක් අකමැතියි. එතකොට ඒ ශබ්දය ඇතුළේ කැමති වෙන බව තියෙනවා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට ශබ්ද රූපයේ ස්වභාවයත් ඇහැට ආපු වර්ණ රූපය ගැන කතා කළා වගේ ම පෙර නොතිබී හට ගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්.
ශබ්දය කන ළඟට ඇවිල්ලා කනට ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වුණ මොහොතේ දී අපිට ඒ පිළිබඳව දැන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සඳහා ශබ්දයක් ඕනේ. ඒ වගේ ම සෝත ප්රසාදයක් ඕනේ. ඒ කියන්නේ ශබ්දය ගෝචර කර ගන්න පුළුවන් විදිහේ කනක් තියෙන්නට ඕනේ. සෝත ප්රසාදය වෙනස් වුණොත් ශබ්දේ වෙනස් විදිහකට ඔබට ඇහිලා තියෙයි. ඔබට අහන්න පුළුවන් ශබ්ද සීමා සහිතයි. අපි සාමාන්යයෙන් කියන්නේ නූතන බටහිර විද්යාව තුළින් කතා කරන කොට අපේ ශ්රවණ පරාසයට යම් හර්ට්ස් ප්රමාණයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට ඇහෙන්න පුළුවන් සංඛ්යාත පරාසයක් තියෙනවා.
ඒ සංඛ්යාත පරාසය විතරයි අපිට අහන්න පුළුවන්කම තියෙන්නේ. ඊට අඩු දේවල් අහන්න පුළුවන්කමක් නැහැ. ඊට වැඩි දේවල් අපිට අහන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ පරිසරය තුළ මීට වඩා අඩු ශබ්ද කොතෙක් තිබුණත් අපිට අහන්න පුළුවන්කමක් නැහැ. අපිට අහන්න පුළුවන් සීමාවක්, අහන්න පුළුවන් ප්රමාණයක් තියෙනවා. ඒ නිසා සෝත ප්රසාදයේ හැටියටයි ශබ්දය අපිට අහන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ශබ්දයට විතරක් පුළුවන්කමක් නැහැ අපිට ඇසීම සිද්ධ කරන්න. ඒ වගේම සෝත ප්රසාදයට විතරක් පුළුවන්කමකුත් නැහැ ශබ්ද අහන්න. ප්රසාදයත්, ප්රසාදයට ශබ්ද රූපයක් ගැටෙන කොට එතන හිතක් (සෝත විඤ්ඤාණය) තිබුණොත් තමයි මේ තුන් දෙනෙකුගේ එකතුවක් වෙන තැනක තමයි අපිට ශබ්දය ඇහුණා කියලා ශබ්දය දැන ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ශබ්දයක් ඇහුණා කියලා ඒ ඇහෙන බව ශබ්දෙට පමණක් අයිති දේකුත් නෙමෙයි. කනට පමණක් අයිති දේකුත් නෙමෙයි. හිතට පමණක් අයිති දේකුත් නෙමෙයි. ඒ තුන් දෙනා නැතුව ඇති වුණ දේකුත් නෙමෙයි. ඒ තුන් දෙනා නිසාම හට ගත්ත දෙයක්.
‘ඉති රූපං’ - මේ රූපයයි කියලා දැන ගන්නවා කියන කොට ඒ ශබ්දය කියන ස්වභාවය ඇතුළේ මේ අම්මගේ කටහඬ, මේ තාත්තගේ කටහඬ, මේ සතෙකුගේ කටහඬ මේ ආදී දේවල් ඇත්තේ නැහැ. ඒ වගේ ම මේ බටනලාවක හඬයි, මේ බෙරයක හඬයි කියලා එබඳු වූ හඬ ශබ්ද රූපය ඇතුළේ තිබුණේ නැහැ. ශබ්දය කියන්නේ කනට ආපු දෙයක් විතරයි. කනට ගැටෙන කොට එතනට හිතත් යොමු වුණහම ඒ ශබ්දය ගැන දැන ගන්න පුළුවන්කම එනම් ශබ්දය ඇසීමක් සිද්ධ වෙනවා අපිට.
✳️ ගන්ධ රූප, රස රූප, ඵොට්ඨබ්බ රූපවල ස්වභාවය✳️
ඒ වගේ ම යි නාසයට දැනෙන ගන්ධයත්, දිවට දැනෙන රසයත්, කයට දැනෙන ස්පර්ශයත් (ඵොට්ඨබ්බ) කියන දේ. ඔතනින් එහාට වර්තමනයක හටගෙන නිරුද්ධ වන රූප දැන ගන්න පුළුවන් වෙන හැකියාවක් ඇත්තේ නැහැ. අපිට රූපය පිළිබඳව දැන ගන්න පුළුවන්කම තියෙන පැතිකඩවල් ටික තමයි ඔය ආයතන ටික. ඒ කියන්නේ ඇහැට වර්ණ රූපය, කනට ශබ්ද රූපය, නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට ඵොට්ඨබ්බ රූපය කියන ආයතන ටික. ඵොට්ඨබ්බ රූපය කියලා කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මහාභූත රූප ටික
මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ‘ඉති රූපං’ කියලා දැන ගන්න කොට මෙන්න මේ විදිහට රූපය පිළිබඳව දැන ගන්න කියලා. අපි රූපය කියලා සාමාන්යයෙන් හිතා ගෙන ඉන්න අම්මා, තාත්තා, ගෙවල්, දොරවල්, යාන වාහන කියන බව ඉක්මවා ගිහිල්ලා ඔබ රූපය ගැන දැන ගන්න ඇහැට පතිත වන වර්ණ සටහන ඒ මොහොතට හට ගන්න දෙයක්. කනට ඇහෙන ශබ්දය ඒ මොහොතට හට ගන්න දෙයක්. ඒවා පෙර නොතිබී හට ගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දේවල් හැටියට.
✳️ රූපය හට ගන්නා ආකාරය ✳️
මෙන්න මේ විදිහට ‘ඉති රූපං’ කියලා ඔබට රූපය පිළිබඳව දැන ගන්නට අවශ්ය වෙනවා. ඒ විදිහට රූපය පිළිබඳව දැන ගන්න කොට ඔබට ඊළඟට හසු වෙන කාරණාව තමයි ‘ඉති රූපස්ස සමුදයො’ කියලා කියන්නේ. එනම් මේ තමයි රූපයේ හට ගැනීම කියලා කියන්නේ. රූපය හට ගන්නේ කොහොම ද? රූපය ඇති වෙන හේතු ටික ගැන ඔබට තේරුම් ගන්නට අවශ්ය වෙනවා.
අපි කිව්වනේ ඇහැ තිබුණොත් රූපය තියෙනවා කියලා. ඇස නැතුව රූපය තියෙන්න පුළුවන්කමක් නැහැ. ඇහැ ඇති කල්හි තමයි රූපය තියෙන්නේ. රූපය තිබුණොත් තමයි ඇහැ තියෙන බව තියෙන්නේ. ඇහැ රූප දෙක ම නැති වුණොත් හෝ දෙකෙන් එකක් හෝ නැති වුණොත් ඇහැ හෝ රූප හෝ තියෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අන්ධ කෙනාට රූප නැහැ. ලෝකේ ඇහැ නැති වෙන කොට රූපය නැති වෙලා තියෙනවා. ඒ වගේ ම ලෝකේ රූප කියන දේ උපදින්නේ නැතිනම් අපිට ඇහැ තියෙන බව දැන ගන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ.
ඒ නිසා රූප නැති නම් ඇහැත් නැහැ. ඇස නැති නම් රූපය (වර්ණ රූපය) පනවන්න පුළුවන්කමකුත් නැහැ. ඇහැ තියෙනවා නම් යම් තැනක එතන රූපය තියෙනවා. යම් තැනක රූපය තියෙනවා නම් එතන ඇහැ තියෙනවා. මේ දෙක අන්යෝන්යව උපකාර කරලා තියෙනවා. ඇහැ රූප පනවන කොට අනිවාර්යයෙන් ම මේ දෙන්නාගේ එකතු වෙන බව තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ඇහැට වර්ණ රූපයක් ආවා කියන බව තියෙන්නට ඕනේ. වර්ණ රූපය ඇහැට පතිත වුණා කියන බව වගේ ම වර්ණ රූපය පතිත කර ගන්න පුළුවන් ඇහැක් තිබ්බා කියන එකත් එතන තියෙන්නට අවශ්යයි. මෙන්න මේ දෙකේ එකතු වීම මත තමයි අපිට රූපය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ.
දැන් දකින්න පුළුවන් රූප ඔබ පසුපස තියෙනවා කියලා ඔබ හිතුවට, ඔබ කොච්චර කල්පනා කළත් ඒක හුදු මඤ්ඤනාවක් විතරයි. ඒ කියන්නේ හුදු ඔබේ කල්පනා මාත්රයක් විතරයි. ඒක කවදාවත් යථාර්ථය නෙමෙයි. පිටිපස්සේ තියෙන රූපය ඔබට කවදාවත් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔබ නැවත පිටුපසට හැරිලා ඇස් හරවලා බලන කොට ඒ මොහොතේ ඔබේ ඇහැට වර්ණ සටහනක් ගැටෙන කොට චක්ඛු විඤ්ඤාණයෙන් දැන ගන්නේ ඒ මොහොතේ ගැටුණු වර්ණ සටහන පිළිබඳව විතර ම යි. නමුත් කලින් තිබුණු සංඥාවන්ගෙන් (ආශ්රව ධර්මයන්ගේ) ඇසුරු කරන නිසා ඔබ හිතනවා කලින් තිබ්බ රූපය ම ආපහු දකිනවා කියලා.
හැබැයි කලින් තිබුණු රූපය කවදාවත් ඔබට ආයේ දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක තමයි රූපයේ තියෙන ස්වභාවය. ‘ඉති රූපස්ස සමුදයො’ කියන කොට, මේ රූපයේ හට ගැනීම ගැන ඔබට දැන ගන්න පුළුවන්කම තියෙනවා ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ ආදී ධර්මයන්ගේ එකතුව නිසා රූපය හට ගත්ත ආකාරය පිළිබඳව.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03-07 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද දෙවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments