🔴 ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 06
“ඉති රූපං” කියන කාරණාව පිළිබඳව යම් පමණකට අපි තේරුම් ගන්නට උත්සාහවත් වුණා, ‘මෙන්න මේකයි රූපය' කියලා කියන්නේ කියලා. රූපය කියලා කියන්නේ පින්වතුනි, අපි ලෝකයේ ඇසුරු කරන දෙයක්. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට නිර්වචනයක් ලබා දෙනවා,“චත්තාරො ච මහාභූතා චතුන්නං ච මහාභූතානං උපාදය රූපං” - සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයත් මෙන්න මේවා තමයි අපිට රූපය කියලා දේශනා කළේ.
ඔබට රූපය කියන කොට හමු වන්නට ඕනේ සතර මහා ධාතු සහ සතර මහා ධාතුව නිසා පවත්නා රූප. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ ස්වභාව ලක්ෂණයන්ට කියනවා සතර මහා ධාතු කියල නැතිනම් මහා භූත රූප කියලා.
✳️ සතර මහා ධාතු යනු ✳️
⏺ පඨවි ධාතු - තද ගතිය, තද ස්වභාවය.
⏺ ආපෝ ධාතු - ගලන, වැගිරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවයට.
⏺ තේජෝ ධාතු - දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයට කියනවා
⏺ වායෝ ධාතු - හමන, පිම්බෙන, හැකිලෙන ස්වභාවයට.
මහාභූත රූප පිළිබඳව කතා කරන්නේ ස්වභාව ලක්ෂණ ටිකක් විදිහට. ඒ කියන්නේ ස්වභාව අර්ථයකින් තමයි අපිට මේක තේරුම් ගන්නට තියෙන්නේ. ස්වභාව අර්ථයකින් අපි මේවා තේරුම් ගන්න කොට; පඨවි ධාතුව කියලා කියන්නේ තද ස්වභාවයට. රළු වශයෙන් හෝ සියුම් වශයෙන් හෝ අපි අතින් දෙයක් අල්ලන කොට ස්පර්ශ වන ගතියක් තියෙනවා, ගැටෙන ගතියක්, ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවයට තමයි කියන්නේ පඨවි ධාතුව කියලා.
අපි සාමාන්යයෙන් පස්, දිය, ගිනි, සුළං කියලා පඨවි, අපෝ, තේජෝ, වායෝවලට කිව්වට පස්වලට නෙමෙයි පඨවිය කියලා කියන්නේ. තද ගතියට/ තද ස්වභාවයට තමයි එතැන දී පඨවි කියලා කියන්නේ. ඒක මහා භූත රූපයක් කියලා කියනවා.
ආපෝ ධාතුව කියලා කියනවා ගලන, වැගිරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවයට. වතුර ටිකක් ගත්තොත් ආපෝ ධාතුව කියන්නේ වතුර නෙමෙයි, නමුත් වතුරවල ගලා යන ගතියක් තියෙනවනේ. යම් කිසි දේක ගලා යන ගතියක් ඒ වගේ ම ඇලෙන බැඳෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ ඇලෙන බැඳෙන ස්වාභාවයට කියනවා ආපෝ ධාතුව කියලා. දූවිලි ටිකකට වතුර ටිකක් ඉස්සොත් මොකද වෙන්නේ? අර තියෙන පුංචි පුංචි දුවිලි ටික එකට ඇලිලා යනවා. පිටි ටිකකට වතුර ටිකක් දැම්මහම ඒ පිටි ටික එකට ඇලෙනවා, කැටියක් ලෙස සකස් වෙනවා. අන්න ඒ වගේ පඨවි, තේජෝ, වයෝ කියන අනික් ධාතු තුන එකට බන්ධනය කරලා තියෙන්නේ, එකට බැඳලා තියෙන්නේ, එකට එකතුවක් විදිහට හදලා තියෙන්නේ මේ ආපෝ ධාතුවේ ලක්ෂණය නිසා. ආපෝ ධාතුව නැතිනම් මේ අනිත් ධාතුන්ගේ එකතුවක් පේන්නේ නැහැ. ඒ ධාතුන් විසිරිලා යනවා.
තේජෝ ධාතුව කියලා කියන්නේ, ධාතු ස්වභාවයක් විදිහට ගත්තහම දිරවන, තවන, පැසවන ස්වභාවයට. රූපයක යම් දිරා යන ස්වභාවයක් තියෙනවා නම් මේක තමයි තේජෝ ධාතුවේ තියෙන ලක්ෂණය. ඒ වගේ ම දවන, තවන, පැසවන ස්වභාවයක් තියෙනවා නම් මේක තමයි තේජෝ ධාතුවේ තියෙන ලක්ෂණය. යම් කිසි රූපයක වෘද්ධියට පැමිණෙන බවක්, ඒ කියන්නේ වැඩීමට පැමිණෙන බවක්, ගහක් ලොකු වෙන බවක්, දිරා යන ස්වභාවයක්, කොළ ඉදෙන බවක් තියෙනවා නම්, අපි මේ කය ගත්තොත් හම රැළි වැටිලා වයසට යන ස්වභාවයක් තියෙනවා නම්, අපි ගන්නා ආහාර පැසවන ස්වභාවයක් තියෙනවා නම්, අන්න එබඳු ගති ලක්ෂණ ටිකකින් අපිට තේජෝ ධාතුව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. උණුසුම් බව, සිසිල් බව මේ ආදී සෑම ලක්ෂණයක් ම විද්යමාන වෙන්නේ තේජෝ ධාතුව තුළ. එතකොට ඒ තේජෝ ධාතුවේ ලක්ෂණයන් තමයි දවන, තවන, දිරවන, පැසවන ආදී ස්වභාවය. මෙන්න මේ විදිහට අපි ස්වභාව ලක්ෂණයන්ගෙන් තේජෝ ධාතුව තේරුම් ගන්නට අවශ්යයි.
ඒ වගේ ම වායෝ ධාතුව කියලා කියන්නේ ඒ විදිහටම ස්වභාව අර්ථයකින් තේරුම් ගන්නට තියෙන දෙයක්. ඒ කියන්නේ හමන, පිම්බෙන, හැකිලෙන ස්වභාවය කියලා කියන්නේ ඒත් වායෝ ධාතුවට. යම් කිසි ධාතුවක් හමන, පිම්බෙන, හැකිලෙන ස්වභාවයකින් යුක්ත නම් ඒ ස්වභාවයට කියනවා වායෝ ධාතුව කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ ස්වභාව රූප, ස්වභාව ධර්ම හතරක් තමයි මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන්නේ. මේවලට කියනවා මහා භූත රූප කියලා.
මේ මහා භූත රූපයන් විවිධ ස්වරූපයෙන් පෙනී සිටිනවා. ඒ කියන්නේ අවකාශ ධාතුව අහුරා ගෙන විවිධ ස්වරූපයෙන් පෙනී සිටිනවා. මෙන්න මේ මහා භූත රූපය කවදාවත් ඇහැට දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. පඨවි ධාතුව ඇහැට දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී මේ දේවල් අපිට කවදාවත් ඇහැට දකින්න පුළුවන්කමක් තියෙන දේවල් නෙමෙයි.
✳️ උපාදාය රූප ✳️
ඇහැට නොපෙනෙන සතර මහා ධාතු රූප ධර්මයන් ඇසුරු කර ගෙන පවතිනවා තවත් රූප කොට්ඨාසයක්. අපි ඒවාට කියනවා උපාදාය රූප කියලා. එනම් සතර මහා ධාතුව ඇසුරු කර ගෙන පවත්නා රූප. සතර මහා ධාතුව ඇසුරු කර ගෙන පවත්නා රූප තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ රූප අටට අපි කියනවා ශුද්ධාෂ්ටමක රූප කියලා.
මෙන්න මේ රූපය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප ස්කන්ධය කියලා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ රූපයට භාග්යවතුන් වහන්සේ දේශනා කරනවා රූප ස්කන්ධය කියලා. “ඉති රූපං” කියලා අපි තේරුම් ගන්න කොට අපි තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ රූප ස්කන්ධය පිළිබඳව. මේ රූප ස්කන්ධය පිළිබඳව අපි තේරුම් ගන්න කොටත් නිකන් ම මේ විදිහට අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.
ඒ කියන්නේ රූපය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යැයි කිව්වා කියලා අපි රූපය සර්වප්රකාරයෙන් හාත්පස තේරුම් අරගෙන නැහැ. අපිට තියෙනවා ඊට වඩා යමක් රූපයේ තේරුම් ගන්නට. හාත්පස තේරුම් අරගෙන නැහැ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට මේ රූපයන් පිළිබඳව බොහෝ ම ගැඹුරින් පැහැදිලි කරලා දෙන අවස්ථාවන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා.
✳️ රූපය පිළිබඳව ගැඹුරින් ✳️
ඒ ගැඹුරින් පැහැදිලි කරලා දෙන අවස්ථාවන් විශේෂයෙන් ම අභිධර්ම පිටකයෙහි ධම්මසංගර්ණප්රකරණයෙහි දකින්නට පුළුවන්කම තියෙනවා. රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආයතන පරියායන්ගේ නැතිනම් ආයතනයන්ට ගෝචර වෙන පැතිවලින්. ආයතන කියලා කියන්නේ අපි ලෝකය ඇසුරු කරන දොරටු/ද්වාර ටික. ඒ ද්වාර මොනව ද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියන්නේ ඒ රූපී ද්වාර ටික. ඒ රූපී ද්වාරයන්ට ගෝචර වන ධර්මතා තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ (ස්පර්ශ) කියලා කියන්නේ.
ඇහැට රූප (වර්ණ රූපය) ගැටෙනවා. කනට ශබ්ද ගැටෙනවා. නාසයට ගඳ, සුවඳ ගැටෙනවා. දිවට රස ගැටෙනවා. කයට ස්පර්ශ ගැටෙනවා. මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ආධ්යාත්මික ආයතන ටිකට ගෝචර වන බාහිර රූප (වර්ණ රූප), ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආයතන ටිකක් තියෙනවා. එතකොට එතන ආයතන දහයක්. ඒ කියන්නේ රූපය සම්පුර්ණ ම නියෝජනය වෙන්නේ මෙන්න මේ ආයතන දහයක් තියෙන තැනක.
දැන් අපි කිව්වා මහා භූත රූප ඇහැට දකින්න පුළුවන්කමක් නැහැ කියලා. එහෙනම් ඇහැට දකින්න පුළුවන් රූප මොනව ද? ඇහැට දකින්න පුළුවන් රූපය තමයි වර්ණ රූපය, එහෙම නැතිනම් උපාදාය රූපයන් අතරින් වර්ණ රූපය/ වර්ණ සටහන කියලා කියන්නේ ඇහැට දකින්නට පුළුවන් රූපය. බුදුරජාණන් වහන්සේ ඉතා ම ගැඹුරින් අපට දේශනා කරනවා, ඇසට වර්ණ රූපයක් පේනවයි කියන කාරණාව පිළිබඳව.
✳️ රූපය එක දිගට නියතව පවතින දෙයක් ද? ✳️
හැම වෙලාවක දී ම අපේ තියෙන මනෝභාවය/ අපේ මානසික ස්වභාවය තමයි දකින්න කලිනුත් රූප පවතිනවා, දැක්කට පස්සෙත් රූප පවතිනවා කියන එක. අපිට නිකමටවත් එතනින් එහාට අපි නුවණක් පවත්වන්නේ නැහැ. ඒකයි ලෝකයා අනුසෝතගාමී දැක්මක් තුළ ජීවත් වෙනවා කියලා කිව්වේ. ඒ කියන්නේ සෝතයට නැතිනම් ඒ සැඩ පහරට හසු වෙලා අපිට පේන්නෙම එළියේ එක දිගටම තියෙන, බාහිර තියෙන දේවල් පිළිබඳව. අපි රූපය ගැන හිතන්නේ රූපය ගැන කල්පනා කරන්නේ අපි දැකපු දේවල් බාහිරව පවතිනවා කියලා.
නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන දී දේශනා කරනවා, යම් කිසි වෙලාවක ඇහැට රූපය පෙනුණ නම් පෙනුන මොහොතේ දී තමයි ඒ රූපය තියෙනවා කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පිළිබඳව විස්තර කරනවා, “අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී”, ඒ වගේම “අහුත්වා සබ්භූතං හුත්වා න භවිස්සතී” වර්තමානයෙහි අපිට රූපයක් ඇති බවට හම්බ වෙනවා නම්, ඒ රූපයේ ස්වභාවය තමයි පෙර නොවී හට ගත්ත බව. ඒ වගේ ම අනාගතේට ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. වර්තමානයේ දී හට ගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් හැටියටයි අපිට රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.
රූපයේ යථාර්ථය තමයි ඒක. කලින් තිබිලා ආපු දෙයක් නෙමෙයි. මේ මොහොතේ හේතු නිසා හට ගෙන හේතු නැති වෙන කොට නැති වෙන දෙයක්. මොනව ද මේ ධර්මයන්ට හේතු විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෙතන දී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා හේතු විදිහට පරියායන් දෙකකින් අපිට මේක බෙදා ගන්නට පුළුවන්. එකක් තමයි ආධ්යාත්මික ඇහැ අපිට හේතුවක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බාහිර පවත්නා රූපය හේතුවක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. “චක්ඛුං ච පටිච්ච රූපෙ ච” කියලා කියන්නේ ඇහැට වර්ණ රූපයක් පතිත වෙනවා. ඇහැට ආපු වර්ණ සටහන ඒ ඇහැට පතිත වෙන්නට කලින් තිබුණත් නෙමෙයි. පතිත වුණාට පස්සේ අනාගතේට තියෙනවත් නෙමෙයි. ඇහැට ආපු වර්ණ රූපය ඒ මොහොතට හට ගත්ත දෙයක්.
ඒ කියන්නේ, බාහිර වස්තුවකට පතිත වෙලා ඇහැට ආපු පරාවර්තිත ආලෝකයක් තමයි රූපයක් දකිනවා කියලා අපි දකින්නේ. යම් කිසි විදිහකින් ඇහැට ඒ වර්ණ රූපය ආවේ නැත්නම්, අපිට ඒ රූපය දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි රූපය දකිනවා කියලා කිව්වට අපි රූපය කියලා දකින්නේ ඇහැට පෙනෙන වර්ණ සටහන් මාත්රයක්. ඒ වර්ණ සටහන් මාත්රය දකින්නට කලින් තිබුණ දෙයක් හෝ දැකීමෙන් පස්සේ තියෙන දෙයක් නෙමෙයි. ඒ මොහොතකට ඇහැට ආපු, එක මොහොතක පතිත වුණ වර්ණ රූපයක්, වර්ණ සටහන් මාත්රයක් පමණයි.
ඇහැ කියලා කියන්නේ අන්න ඒ වර්ණ සටහන් මාත්රය නැතිනම් වර්ණ රූපය පතිත කර ගන්න පුළුවන් විදිහට සතර මහා ධාතුව පිළිබඳව වූ ඔපවත් බවකට. ඒ කියන්නේ කණ්ණාඩියක තියෙන ඔපවත් බව නිසා කණ්ණාඩියට ඉදිරියෙන් තියෙන රූපවල ප්රතිබිම්භයන් වැටෙනවා. ඒ කියන්නේ රූපවල පිළිබිඹුවක් පතිත වෙනවා කණ්ණාඩියේ ඔපවත් බව නිසා. අන්න ඒ වගේ මේ ඇහේ තියෙන ඔපවත් බව/ ප්රසාදවත් බව නිසා බාහිර තියෙන රූපායතනය නැතිනම් වර්ණ සටහන ඇහැට පතිත වෙනවා. එසේ වර්ණ රූපය පතිත වෙන කොට ඒ වර්ණ සටහනට අනුව ඇහැ/ චක්ඛු ප්රසාදය බිඳිලා යනවා.
දැන් අපි හඳුනා ගන්නේ බාහිර තියෙන සතර මහා ධාතු රූපය නෙමෙයි. අපි හඳුනා ගන්නේ ප්රසාදයට අනුරූපීව රූපය තමයි අපි හඳුනා ගන්නේ. ඒ කියන්නේ ප්රසාදයට පතිත වුණ රූපය තමයි නැතිනම් ප්රසාදය කරා ආපු රූපය තමයි අපි හඳුනා ගන්නේ. ප්රසාදයට නොපැමිණියා වූ රූපය අපිට කවදාවත් දකින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඇහැට ආපු නැති වර්ණ සටහනක් පිළිබඳව ඔබට දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ ඇහැට පතිත වන වර්ණ සටහන පමණයි.
✳️ පෙනෙන්නේ එළියේ තියෙන රූපය ම ද ✳️
ඇහැට පතිත වෙන වර්ණ සටහනක් ඔබට පේන කොට ඒ වර්ණ රූපය කියලා ඔබ දකින්නේ ඔබේ ප්රසාදය ඔබට ගෙනැල්ලා දෙන විදිහට. ඒක නිසා මේ ලෝකයේ ස්වභාවය හැමෝට ම එක සාධාරණ විදිහකින් නැහැ. ඒකයි ලෝකේ වර්ණ අන්ධතාවය කියලා එකක් තියෙන්නේ. සමහර අයට සමහර වර්ණ පෙනෙන් නැතුව යන්නේ. වර්ණ අන්ධතාවය කියලා එකක් තියෙන්නේ එළියේ තියෙන දේ ම ඒ විදිහට ම නොදකින නිසා.
ඒ වගේ ම එක එක සත්වයින්ට ඔවුන්ට රූප පේන්නේ එක එක විදිහට. ඒ කාට පේන පෙනීම ද ඇත්ත පෙනීම කියලා කතා කළොත් අපිට ඒක හරියටම කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි කියනවා අපිට පේන එක ඇත්ත කියලා. නමුත් ඒ වස්තුව ම දෙවියෙක්ට පෙනුණොත් එයාට ඒ දේ ම වෙනස් විදිහකට පෙනෙනවා. අපි කියනවා එයාට පේන එක අපිට සාපේක්ෂව බොරු කියලා. නමුත් එයාට සාපේක්ෂව අපිට පේන එක බොරු. අපි කෙනා කෙනාට සාපේක්ෂව තමයි අපි රූපය දැකලා තියෙන්නේ.
1️⃣ ඒ කියන්නේ කොයි වෙලාවකවත් රූපයට පුළුවන්කමක් තිබුණේ නැහැ ප්රසාදයට පතිත වෙන්නේ නැතුව කෙලින් ම පෙනී සිටින්න.
2️⃣ ඒ වගේම ප්රසාදයට පුළුවන්කමක් තිබුණෙත් නැහැ රූපායතනය පතිත වෙන්නේ නැතුව දේවල් දකින්න.
මෙතන දී ඇස සහ රූපය කියන මේ දෙන්නා අතර සිදු වන ගනුදෙනුවක් තියෙනවා. තව ද ඇහැට රූපයක් පතිත වුණ බවක් තිබුණත් ඒ ද රූපය දැක ගන්න (පෙනීම) ඇති කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපිට රූපය දැක ගන්න නම් එතන ඇති වෙන්න ඕනේ මොකක් ද? සිතක් පහළ වෙන්න ඕනේ. අපි ඒකට කියනවා චක්ඛු විඤ්ඤාණ සිත කියලා. චක්ඛු විඤ්ඤාණ සිත කියලා කියන්නේ ඇස පිළිබඳව පහළ වන සිතක්. ඒ ඇස පිළිබඳව පහළ වෙන සිතෙන් රූපය දැන ගන්නට පුළුවන්කම තියෙනවා, මොන පාට ද, මොන හැඩය ද කියලා. ඒ කියන්නේ ඇහට ආපු වර්ණ සටහන පිළිබඳව දැන ගන්න/ දකින්න පුළුවන්කම තියෙනවා.
චක්ඛු විඤ්ඤාණයෙන් දැන ගන්නේ බාහිර සතර මහා ධාතු රූපයේ තියෙන වර්ණ රූපය එහෙම නෙමෙයි. ඇහැට පතිත වුණ, එනම් ආපාතාගමයට ආපු වර්ණ සටහනයි චක්ඛු විඤ්ඤාණයෙන් දැන ගන්නේ. ‘ආපාතාගමයට’ කියලා කියන්නේ චක්ඛු ප්රසාදයට පතිත වුණ රූපයට. අන්න ඒ ඇහැට පතිත වුණ රූපය ගැනයි චක්ඛු විඤ්ඤාණයෙන් දැන ගන්න පුළුවන්කම තියෙන්නේ.
✳️ රූපයක් පෙනෙනවා කියන තැනක යථාර්ථය ✳️
ඔබ රූපයක් දකිනවා කියලා කියන තැනක ධර්මතා තුනක වැය වීමක් තියෙනවා. ඒ දකින බව කියලා කියන්නේ රූපය විතරක් නෙමෙයි. ඒ ඇයි? චක්ඛු ප්රසාදය නැතුව රූපය දකින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එහෙනම් රූපයක් පෙනීම සඳහ ඇහැ උපකාර වුණා. ඒ වගේ ම ඇහැට විතරක් රූප දකින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකට රූපයත් උපකාර වුණා. මේ දෙක ම තිබුණත් ඒ පිළිබඳව දැන ගන්න හිතක් තිබුණේ නැත්නම් ඒ ද ඔබට රූපය දකින්න බැහැ. ඒ නිසා ඔබට රූපයක් පෙනීම තියෙන කොට; ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ කියන මේ තුන් දෙනෙකුගේ එකතුවක් ඔබට තියෙනවා.
ඇහැටවත්, රූපයටවත්, හිතටවත් කියන මේ එකකට විතරක් පෙනීම නැමති සිද්ධිය පවරා දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ ඇහැට පතිත වුණු රූපය තමයි ඔබ දකින්නේ. ඇහැට පෙනෙන රූපය කියලා ඔබ ගෝචර කර ගන්න කොට ඒ රූපය කවදාවත් අම්මා, තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන වෙලා ඔබේ ඇහැ ළඟට ආවේ නැහැ. ඇහැට රූපය පතිත වෙන්නේ ම වර්ණ සටහනක් විදිහට විතරයි.
මේ කියන කාරණාව බොහෝම ගැඹුරු කාරණාවක්. ඔබට නුවණින් සම්මර්ශනය කරලා තේරුම් ගන්නට තියෙන කාරණාවක්. මෙච්චර කාලයක් ඔබ රූප ගැන කල්පනා කළා, රූප ගැන හිතුවා. ඒ හිතන කොට ඔබ හිතුවේ බාහිර තියෙන රූප ගැන කල්පනා කරනවා කියලා නේ. ඒ කියන්නේ අම්මා, තාත්තා, දුව පුතා, යාන වාහන, මිල මුදල් කියලා මේ දේවල් තමයි ඔබ දකින්නේ කියලා නේ ඔබ හිතුවේ.
ඇත්තට ම අම්මා, තාත්තා, වෙච්චි රූප ඔබට දකින්න පුළුවන්කම තිබුණේ නැහැ. ඔබට පුළුවන්කම තිබුණේ මොකක් ද? ඔබට පුළුවන්කම තිබුණේ ඇහැට ආපු වර්ණ රූපය දකින්න විතරයි. එනම් ඔබට පුළුවන්කම තිබුණේ ඇහැට ආපු පාට ටික දකින එක කරන්න විතරයි. ඒ පාට ටික ඇතුළේ අම්මලා, තාත්තලා, ගෙවල් දොරවල්, යාන වාහන, දුව පුතා වස්තු මිල මුදල් ඇත්තේ නැහැ. ඇහැට ආපු රූපය, වර්ණ සටහනක් වන බව විතරයි තියෙන්නේ. ඒකයි ‘ඉති රූපං’ කියලා කිව්වේ. ‘ඉති රූපං’ - මේක තමයි රූපය කියලා කිව්වේ.
මතු සම්බන්ධයි
හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-03-07 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් අනිත්ය සංඥාවට අදාළව පවත්වන ලද දෙවන ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments