භාවනාව කියන එක අපේ ජීවිතය වෙන්න ඕනේ, ජීවිතය භාවනාව වෙන්න ඕනේ. ඒ නිසා තමයි සතර සතිපට්ඨානයේදී අපේ ජීවිතයම ආවරණය වන විදිහට භාවනා ටික තියෙන්නේ - සති සම්පජාන පබ්බය, ඉරියාපථ පබ්බය, ආදී මේ හැම කමටහනකම සතර ඉරියව්වම ආවරණයවෙන විදිහට භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ හිත හැම වෙලාවකදීම එළඹ සිටි සිහියක් තුළ වාසය කිරීමක් තමයි අපේක්ෂා කරන්නේ. ඒ නිසා මෙතැනදී හරිම වැදගත් සිහිය එළඹ සිටියා කියන එකත්, වීර්යය එළඹ සිටියා කියන එකත්. යම්කිසි විදිහකින් අධිගම සාක්ෂාත් කිරීමක ඌණභාවයක් දකිනවා නම්, මම දකින්නේ චතුරාංග සමන්වාගත වීර්යයෙහි ඌණභාවය කියන එක.
චතුරාංග සමන්වාගත වීර්යයෙහි අපිට හිත පිහිටවන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන්, අද දවසේ තියෙන වැදගත්ම දේ බවට පත්වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා කුසලය පැත්ත ගැනත්, අපි දන්නවා අකුසලය පැත්ත ගැනත්. හිත අකුසල පැත්තට යන එක නතර කරලා කුසලය පැත්තේ පිහිටවීම පිළිබඳව අපි හොඳ අවබෝධයකින් යුක්තව වාසය කළ යුතුයි. ඉගෙන ගත්ත චතුරාර්ය සත්යය දර්ශනයේ අඩු බවක් ඇත්තේ නැහැ. දර්ශනය පැත්තෙන් පරිපූර්ණයි. හැබැයි, ඒ දර්ශනය භාවිත වන්නට අවශ්ය සිහිය සහ වීර්යය කියන එක අද අපිට ඉතාම අවම මට්ටමක තියෙන්නේ.
ඒ නිසා ජීවිතයේ චතුරාංග සමන්වාගත වීර්යය කියන දේ හා සිහි මුළාවකින් තොරව එළඹ සිටි සිහිය තියෙනවා (''උපට්ඨිතා සති අසම්මුට්ඨා") කියන මේ කාරණාව ධර්මය අවබෝධ කරන කෙනෙකුට ඉතාම වැදගත් වෙනවා. මේ ද්වෙධාවිතක්ක සූත්රයේදී පැහැදිලි කරනවා නැවත නැවතත් ධ්යාන පිළිබඳව. (එතකොට මම ධ්යාන ලක්ෂණ පිළිබඳව නැවත කතා කරන්නේ නැහැ. ධ්යාන ලක්ෂණයන් පිළිබඳව ඒ දේවල් ගැන යම් අවබෝධයක් කාටත් තියෙන නිසා). මේ විදිහට එයා හිත වඩනවා, චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරන මට්ටමට හිත ගන්නවා. මේ දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරොධය, දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදාව; මේ ආශ්රව ධර්ම, මේ ආශ්රව සමුදය ධර්ම, මේ ආශ්රව නිරෝධවෙන විදිහ, මේ ආශ්රව නිරොධගාමිනී ප්රතිපදාවයි කියලා ඒ දර්ශනය දකින මට්ටමට එයාගේ හිත පත් කරගන්නවා.
මේ විදිහට ඒ පිළිබඳව නුවණ පවත්වන කෙනාට කාමාශ්රවයන්ගෙන් හිත මිදෙනවා. අවිජ්ජා ආශ්රවයන්ගෙන්, භව අශ්රවයන්ගෙන් හිත මිදෙනවා. මේ විදිහට කාමාශ්රව, භවාශ්රව, අවිජ්ජාශ්රව කියන මේ ආශ්රව ධර්මතාවයන්ගෙන් හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදාහරණයක් විදිහට දේශනා කරනවා කැලයක හොඳ තණ බිමක් තියෙනවා. මේ තණ බිම ඇසුරු කරගෙන මහත් මිග සමූහයක් (මුව රංචුවක්) වාසය කරනවා. මුව සමූහය ඝාතනය කරන්නට කැමති, මුව සමූහයාගේ අනර්ථය කැමති එක පුද්ගලයෙක් විසින් සේ මුවෙක් යොදවනවා.
සේ මුවෙක් කියලා කියන්නේ තමාට අවශ්ය විදිහට තමාගේ පැත්තට නැඹුරු කරගත්ත සකස් කරපු මුවෙක්. ඒ වගේම උගුල් තියෙන මාවතක් සකස් කරනවා. මේ මුව සමූහයා ඉන්න එක වට කරලා දුවන්නට පුළුවන් විදිහට එක පාරක් හදලා තියෙනවා. ඒ පාර සම්පූර්ණයෙන් උගුල් අටවපු, උගුල් තියෙන පාරක්. යන්න තියෙන අනෙක් හොඳ පාරවල් ටික ඔක්කොම වහලා දානවා. මේ විදිහට සකස් කරලා තියෙනකොට මේ මුව රංචුවට මොකද වෙන්නේ - නිසැක ලෙස අර සේමුවාව දකින මුව රංචුව හිතනවා, මේ පැත්ත තමයි යන්න තියෙන හොඳ පාර කියලා වේගයෙන් අර පාරට පිවිසෙනවා. පිවිසිලා ඒ මුව රංචුව මහත් ව්යසනයකට පත්වෙනවා.
මෙන්න මේ විදිහට මේ මුව සමූහය ව්යසනයකට පත් කරන්න කෙනෙක් ඉන්නවා වගේම, මේ මුව සමූහයාගේ හිත කැමති, යහපත කැමති තවත් පුරුෂයෙක් ඉන්නවා. මේ මුව සමූහයාගේ යහපත කැමති පුරුෂයා මොකද කරන්නේ - අර සේමුවා නසනවා, හදලා තිබුන අර මුවාව විනාශ කරනවා. ඒ වගේම වැරදි මාවත (කුම්මග්ගං) වහලා දානවා හරි මාවත විවිර කරනවා. ඒක නිසා ඒ මුව සමූහය ''සොවත්ථිකො පීතිගමනීයො'' බොහෝම සතුටින් යහපත් ලෙස ඒ මුව සමූහය ගමන් කරනවා. ''මහාමිගසඞ්ඝො අපරෙන සමයෙන වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය'' ඒ මහත් මුව සමූහය පසු කාලයේදී ඉතාමත් වැඩිමට, විපුල බවට පත්වෙනවා.
''උපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්ථස්ස විඤ්ඤාපනාය.'' - මහණෙනි මම උපමාවක් කළා මේ අර්ථය හැඟවීම සඳහා. මේක තමයි ඒකේ අර්ථය. ''මහන්තං නින්නං පල්ලලන්ති ඛො භික්ඛවෙ කාමානමෙතං අධිවචනං'' මේ මහා තණකොළ පිට්ටනිය කියලා කිව්වේ මොකටද? කාමයන්ට කියන එක අධිවචනයක්. ''මහාමිගසඞ්ඝොති සත්තානමෙතං අධිවචනං'' මහා මුව සමූහය කියලා කිව්වේ සත්ත්වයන්ට. අනර්ථකාම අහිතකාම පුරුෂයා කියලා කිව්වේ පාපී මාරයාට (අයොගක්ඛෙමො) කියන එක නමක්. ''කුම්මග්ගොති ඛො භික්ඛවෙ අට්ඨඞ්ගිකස්ස එතං මිච්ඡාමග්ගස්ස අධිවචනං'' අෂ්ටාංගිකවන මිථ්යා ප්රතිපදාවට නමක්.
මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්තාදී ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන එකේ විරුද්ධාර්ථවත් ලෙස මාර්ගය ගැනෙනකොට තියෙන ඒ මිච්ඡා ප්රතිපදාවට නමක්. ''ඔකචරොති ඛො භික්ඛවෙ නන්දිරාගස්සෙතං අධිවචනං. ඔකචාරිකාති ඛො භික්ඛවෙ අවිජ්ජායෙතං අධිවචනං'' සේ මුවා කියලා කියනවා අවිද්යාවට. ‘ඔකචරං’ කියලා කියනවා නන්දි රාගය නැමති උගුල්වලට. එතකොට මෙන්න මේ විදිහට ඒ උදාහරණයේ මුව රංචුවේ යහපත කැමති කෙනා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ. උන් වහන්සේ විසින් වැරදි මාවත වහලා දාලා හරි මාවත විවර කරනවා.
මේ උදාහරණයෙන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ අපි හිත සකස් කරගත යුතු ආකාරයමයි. හිතේ ස්වභාවය තමයි අර මහත් මුව සමූහයා තණකොළ පිට්ටනිය ඇසුරු කරගෙන තණකොළ පිට්ටනියේ තණකොළ කමින් ඉන්නවා වගේ සත්ව ප්රජාව මේ කාමයන් ඇසුරු කරමින්, කාමය තුළ වාසය කරනවා. එතකොට මේ කාමය තුළ වාසය කරන සත්වයාට නිවැරදි මඟ වහලා දාලා ක්ලේශාදි පාපී මාරයාගේ ස්වභාවය තමයි වැරදි මාවතක් හරි මාවත විදහට පෙන්වන එක. වැරදි මාවතේ අපිට දකින්න තියෙනවා උගුල් ගොඩාක්. ඒ වගේම අවිද්යාව නමැති සේ මුවෙක් අපිට තියෙනවා. නන්දිරාගය නමැති වළවල් කැනලා උගුල් අටවලා තියෙනවා.
එතකොට මේ මාවත තමයි මේ මුව සමූහායාට පෙන්නන්නේ. එතකොට මුව සමූහයා හොඳ මාවත අතහැරලා වැරදි මාවතේ ගිහිල්ලා මහත් ව්යසනයකට පත්වෙනවා. සාමාන්ය ලෝකයාගේ ස්වභාවයත් ඒ වගේම තමයි කාමය අනුව ජීවත්වෙන සත්ත්වයා නොදන්නාකම නිසා සේ මුවා පසුපස ගිහිල්ලා අර උගුල්වල බැඳිලා විනාශවෙන මුවෝ වගේ අකුසලයන් පසුපස ගිහිල්ලා විනාශයට පත්වෙන එක. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ලෝකයේ යථාර්ථය, නිවැරදි දේ මොකක්ද කියන එක. අර මුව රංචුවේ යහපත කැමති පුද්ගලයා සේමුවා විනාශ කරලා දුර්මග වහලා දාලා නිවැරදි මඟ පෙන්නලා දෙනවා වගේ.
කාමයන් ඇසුරු කරන සත්ත්වයන්ට නිදුකින් කාමයන්ගෙන් මිදිලා යන්නට පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ මාර්ගය තමයි මේ කතා කරන ලෝකෝත්තර දර්ශනය. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පාදී වැරදි මාර්ගය තමයි මාරයා පෙන්නලා දෙන එක. ඒකේ මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ නියත මිච්ඡා දිට්ඨි කියන එකම නෙවෙයි. ලෝකේ වැරදි දර්ශනය කියන එක. ලෝකේ කටයුතු කරන්නේ හැම වෙලාවකදීම වැරදි දර්ශනයට අනුව. ඒ කියන්නේ ලෝකය කවුරුත් කටයුතු කරන්නනේ දර්ශනයකට, දැක්මකට අනුව. ඒ කෙනාට තියෙන දැක්මට අනුව තමයි ඒ කෙනා ක්රියාත්මක වෙන්නේ.
දැන් යන්න ඕනේ කියලා හිතුනොත්, මට තියෙනවා දැක්මක්. ඒ දැක්මට අනුව තමයි මම ඒ අදාළ තැනට යන්නේ. එතකොට ලෝකේ අපි හැමදෙයක්ම කරන්නේ අපිට තියෙන දැක්මට අනුව. අපිට මේ පැත්තෙන් සැප ඇති කියලා හිතුනොත්, මේ පැත්ත හොඳයි කියලා හිතුනොත් ඒ දැක්ම තමයි අපි තෝරා ගන්නේ. එතකොට අප විසින් තීරණය කළ යුතුයි අපි තෝරා ගන්නේ කාගේ පැත්තද, කවුරු විසින් හදලා දෙන මාවතද කියන එක. සමහරවිට ඒක මාරයාගේ මාවත වෙන්න පුළුවන්. මිච්ඡා අංගයන්ගෙන් යුක්ත ඒ ප්රතිපදාව වෙන්න පුළුවන්. ඕගොල්ලෝ නැවත නැවතත් නැඹුරු වෙන්නේ අර මුව රැල වැරදි සේමුවා පැත්තට යනවා වගේ වෙන්න පුළුවන්.
ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් දැකපු දේ පසුපස, වැරදි සහගත සංකල්පනාවන් පසුපස යනවා නම් - ඒ කියන්නේ ආශ්වාදය කියන එක, අපිට පෙන්නලා දෙනවා නම්, රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ පැත්තෙනුයි අපේ ජීවිතය තෘප්තිමත් කරන්නේ කියලා, අපි නැවත නැවත ඒ පැත්තට නැඹුරු වෙනවා නම්, අපේ හිතේ කැමැත්ත ඇතිවෙන්නේ නැවත නැවත ඒ පැත්තට නම් අන්න එහෙනම් එතන යම් වරදක් තියෙනවා. ඒ නිසා අපි විසින් තීරණය කළ යුතුයි අපි ඉන්නේ මොන ප්රතිපදාවේද කියන එක. අපි ඉන්න ඕනේ ප්රතිපදාව මාරයාගේ ප්රතිපදාව නොවිය යුතුයි.
ඒ නිසා පැවිද්දෙක් වෙනකොට අපේ ජීවිතයේ අපිට ලොකු දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි නිතරම සිහිපත් කරන දෙයක්, අපිට පැවිද්ද සාමාන්යකරණයට ලක් නොවිය යුතුයි. පැවිද්ද සාමාන්යකරණයට ලක් නොවිය යුතුයි කියලා කියන්නේ කාලයක් තිස්සේ අපි පැවිද්ද තුළ ඉන්නකොට නිකම් අපිට පැවිද්ද සාමාන්ය තැනක් බවට පත්වෙනවා. එසේ පත්වුනාට පස්සේ චතුරාංග සමන්නාගත වීර්යාදි ලක්ෂණයන් අපේ ජීවිතයේ පෙනෙන්නේ නැතුව යනවා. එතකොට සාමාන්ය ලෝකේ කෙනෙකු එදිනෙදා ජීවත් වෙන්නේ යම් විදිහකටද අපිද ඔහේ ජීවත්වෙන ක්රමයකට අනුව ජීවත් වෙන්න පුරුදු වෙනවා. නමුත් එසේ නොවිය යුතුයි.
හැමදාම තමන්ගේ හිතේ විශේෂණයක් තමන්ට පෙනිය යුතුයි. තමන්ට කලින් දවසේ ඇතිවුන අකුසල විතර්ක ප්රමාණයට වැඩිය අද ඇතිවුන අකුසල විතර්ක ප්රමාණය අඩුයි කියලා තමන්ගේ සටහනට අනුව තමන්ට දකින්නට පුළුවන් නම් ඒකම තමයි හිතේ තියෙන දියුණුව, ඒකම තමයි හිතේ තියෙන වර්ධනය. ඒක නිසා අපි හිත ගැන හොඳ අවධානයකින් ඉන්නට, අපේ හිත ගැන හොඳ කල්පනාවකින් ඉන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒක නැති වුනොත් එහෙම ඒ කෙනාගේ පැවිදි ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. පැවිද්දක් සාර්ථක වෙන්නේ නැහැ කියලා කියන්නේ, එයා හරියට ගමේ වැඩටත් නැති, කැලේ වැඩටත් නැති දෙපැත්තෙන් ගිනි ගත්ත මැද අශූචි තැවරුණු ගිනි පෙනෙල්ලක් වගේ දෙයක් බවට පත්වෙනවා.
ලෝකයේ වැඩටත් නැහැ, ශාසනයේ වැඩටත් නැහැ, තමන්ට වැඩකුත් නැති මට්ටමකට පත්වෙනවා. අන්න එසේ නොවිය යුතුයි. එසේ නොවන්නට නම් අපිට තියෙනවා පැවිද්දගේ පැත්ත, පැවිද්දගේ කාර්යභාරය, පැවිදි ජීවිතය කියන පැත්ත ගැන තේරුම් ගැනීම. ඒ කියන්නේ ගිහි කෙනෙක් නම් ආර්යය ශ්රාවකයෙක් කියන පැත්ත තේරුම් ගැනීම. බුද්ධ ශාසනයක් ලැබුන දවසේදී කොහෙටවත් වැඩකට නැති චරිතයක් නොවෙයි, නිවැරදි දෙය තේරුම්ගෙන ඒ ප්රතිපදාවේ හැසිරීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි නැවත නැවතත් හිත පිළිබඳව අවධානයෙන් මේ විදිහට පසුවෙනවා නම් සතර සතිපට්ඨානයේ හිත නැවත නැවත ඇසුරු කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනය හිස්වෙන්න බැහැ නේ.
අපි පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධයි කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මහණෙනි සතර සතිපට්ඨානය දවස් හතක් වඩනවා නම් ඒ කෙනාට මාර්ගඵල අධිගමයකට ඇප වෙනවා කියලා දේශනා කරනවා. තව එක සූත්රයකදී මහණෙනි මේක නිවැරදිව වඩනවා නම් එක දවසකුත් ඇති කියලා දේශනා කරනවා. එතකොට ඒ මට්ටමට අපට දේශනා කරනවා නම් ඒක හිස් වචනයක් නෙවෙයි භාග්යවතුන් වහන්සේගේ වචනය. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒක කරන්න බැරි බවක් තියෙනවා නම්, ඒක අපේ දෝෂය.
ඒ කියන්නේ අපිට එච්චර වචනයක් තියෙනකොට ඒක අපිට කරන්න බැරිවෙන්න විදිහක් නැහැ. අපිට ඒක කළ හැකි දෙයක් වශයෙන් තියෙනකොට අපි නොකර ඉඳීමකුයි තියෙන්නේ. ඒ නිසා අපි අප්රමාදී විය යුතුයි. අපි පුළුවන් තරම් හිත පිළිබඳව තේරුම්ගෙන, හිත පිළිබඳව අවබෝධ කරගෙන, සතර සතිපට්ඨානය පැත්තට නැවත නැවත නැඹුරුවෙලා එහි කටුයුතු ටික අපි සම්පාදනය කරගත යුතුයි. ඒ නිසා මේකට කියනවා ද්වේධාවිතක්ක සූත්රය කියලා. එතකොට එදා ප්රශ්නයක් තිබුනා යොනිසෝ මනසිකාරය අපි කොහොමද පවත්වන්නේ කියලා.
හිතේ ඇතිවෙන විතර්කයන් පිළිබඳව අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. දෙපැත්තකට අපි සිතුවිලි බෙදාගෙන අයහපත් සිතුවිලි දුරුකරලා, යහපත් සිතුවිලි ඉපදවීම පිණිස අපි ව්යායාම කරන එක නැතිනම් වෑයම් කරන එක, උත්සාවත්වෙන එක, කටුයුතු කරන එකට කියනවා ඒ කෙනා යොනිසෝ මනසිකාරය පවත්වනවා, අයොනිසෝ මනසිකාරය දුරු කරනවා කියලා. මේ විදිහට යොනිසෝ මනසිකාරය තුළ ඉන්න කෙනාට කියනවා
* උපන් ආශ්රව ධර්මයන් දුරු වීමට යනවා.
* නූපන් ආශ්රව ධර්මතාවයන් නූපදීමට යනවා
කියන දේ සිද්ධ වෙනවා. ඒ නිසා ආශ්රව නම් ගැටලුව. ආශ්රවය දුරුකර ගැනීම නම් සිද්ධ කළ යුත්තේ, ආසවක්ඛය ඤාණය නම් උපදවා ගත යුත්තේ, කළයුතු දේ බවට පත්වෙන්නේ ආශ්රව උපදින ක්රමය, තැන වහලා දාන එක. ඒ නිසා ආශ්රව උපදින තැන බවට පත්වෙන්නේ නැවත නැවත මේ විතර්කයන් හිතේ බහුලව යෙදීම නම්, ඒ බහුලව යෙදෙන තැන අපි වසා දැමිය යුතු වෙනවා. ඒ නිසා උත්සාහවත් විය යුත්තේ ඇතිව තිබෙන දේ හිස් කරන්න පෙර මේ සිතුවිලි නැවත නැවතත් ඇතිවෙමින් දෝරේ ගලායන, උතුරලා යන තැන නැවත නැවත නතර කරන්න. එතැනින්ම නතර කරලා දාන එක. ඒ නිසා අපි එතැන්ට උත්සාහවත් වෙනවා නම් මම හිතනවා මේ ගමන අපිට යන්න පුළුවන් දෙයක්, කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා.
ඒ නිසා නිවන් ප්රතිපදාව යන්න අවශ්ය විර්යය සපයනවා නම්, ඒ කාරණාව සිද්ධ කරන්න පුළුවන් නම් නිවන් දකිනවා කියන එක ඇත්තටම බැරි දෙයක් නෙවෙයි කියන එක නැවත නැවතත් පුනපුනා කියනවා ඒක කළ හැකි දෙයක්. ඒ වගේම අපි කළ යුතු දෙයක් කියන එක. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක අර විදිහට උත්සාහය සහ වීර්යය තියෙනවා නම්, තමන්ගේ හිත ගැන නැවත නැවත බලන්න පුළුවන් නම්, ප්රවිවේකයේ යෙදෙනවා නම් හිත නිවන කෙරෙහි නැඹුරු වූවක්ව පවතිනවා නම්, ඒ කෙනාට නිවන දුර වූවක් වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක්.
ඒ නිසා අවශ්ය වෙන්නේ අපිට නිකම්ම නිකම් පැවිද්දෙක් වීම නෙවෙයි. පැවිදි වීමේ මූලික පරමාර්ථය සාක්ෂාත් කරගැනීම පිණිස වෙහෙසීම සහ ඒ පරමාර්ථය සාක්ෂාත් කරගැනීම. ඒ නිසා කවුරුත් අප්රමාදි වෙන්න. අපි කවුරුත් ඒ සඳහා උත්සාහවත් වෙමු. විතක්කසණ්ඨාන සූත්රයත් මේ සමීපයෙන්ම යන සූත්රයක්. ඒ ගැන කරුණු මම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. අද දවසේදී අපි දේශනාව නතර කරමු.
සාධු... සාධු... සාධු...
දේශනාව නිමි
0 Comments