ද්වෙධාවිතක්ක සුත්‍රය 2


හිත හැරෙන විදිහ පිළිබඳව, හිත හැසිරෙන විදිහ පිළිබඳව තේරුම් ගත්ත කෙනාට හිතේ විතර්ක සහ අනුවිතර්ක නැතිනම් ක්ලේශ හා උපක්ලේශ ධර්මයන් තේරුම් ගැනීමට ඉතාම පහසුයි, නැතිනම් කෙලෙස් සහ වඤ්චනික ධර්මයන් තේරුම් ගන්නට ඉතාම පහසුයි. සමහරවිට අපිට කෙලේසයක් ඇතිවෙනකොට අපි තලනවා, ඒක එන්න දෙන්නේ නැතිවෙනවා. හැබැයි එයා ධර්ම වේශයෙන් හෝ වඤ්චනික ධර්මයක් විදිහට ඉදිරිපත් වෙනවා, අපි එතැනදී රැවටෙනවා. ඒ නිසා හිතේ ස්වභාවය පිළිබඳව අපි තේරුම් අරෙගන ඉන්නට ඕනේ. ඒක තේරුම් ගන්නට නම් හිත පිළිබඳව සැකැස්මක්, හිත පිළිබඳව සටහනක් (චාර්ට් එකක්) අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙන්නට ඕනේ.
ඉස්පිරිතාලයට ගියපුහම ඇඳ ළඟ තියෙනවා රිපෝර්ට් එකක් (ඉහපත් අංකයක්). එතකොට රෝගීයාගේ රෝග නිධානය හා දැන් තියෙන තත්වය පිළිබඳව එතැනට එන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අපිට හිත පිළිබඳව හොඳ රිපෝට් එකක්, හිත පිළිබඳව හොඳ වාර්තාවක් අපි ළඟ තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි හිතේ තියෙන විතර්කයන් හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි කියලා කොටස් දෙකකට බෙදන්න කියලා කිව්වේ. අපිට පුළුවන් හොඳ සිතුවිලි එක පැත්තකට දාන්න. ඒවගේම නරක සිතුවිලි අනික් පැත්තට දාන්න.
දවසේ වැඩි කාලයක් අපි ගත කරලා තියෙන්නේ හොඳ සිතුවිලිවල නම්, අපේ හිත හොඳ පැත්තට නැඹුරු වුන සිතක් බවට පත්වෙනවා, ඒක නතර කරන්න කාටවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැබැයි දවසේ වැඩි කාලයක් අපිට ඇතිවෙලා තියෙන්නේ නරක විදිහේ සිතුවිලි නම් අපේ හිත නරක පැත්තට ගහගෙන යනවා කියන එක කාටවත් නතර කරන්න බැරි දෙයක්. ඒ නිසා සමහර වෙලාවට පැවිද්දේ උකටලීවෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් පැවිද්ද කියන එක කරන්න බැරි දෙයක් කියලා. හැබැයි පැවිද්ද කරන්න බැරි දෙයක් නෙවෙයි. එයාගේ මනස අකුසල විතර්ක පැත්තට නැඹුරුවෙලා වැඩියි.
ඒ කියන්නේ මේ පැවිද්ද කරන්න බැරි බවට විතර්කයන් නැවත නැවත කාලයක් තිස්සේ එයා භාවිත කරලා වැඩි නිසා, අර මහා ප්රවාහයක්වෙන මට්ටමට ඒක ගහගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක නතර කරන එක එතරම්ම පහසු වෙන්නේ නැහැ. මොකද, තමන් රැවටිලා ඉවර නිසා. හැබැයි අපිට පුළුවන් හිත හොඳට හදන්න. ඒ කියන්නේ හරියට නිවැරදි මාවතට, නිවැරදි පැත්තට යොමු කරගන්න. ඔබවහන්සේලාට පැවිදි ජීවිතය තුළ ඉන්නකොට යම් වෙලාවක පාපී අකුසල විතර්කයන් නැවත නැවත හිතට නැඟෙනවා නම් ඒ ඕනෑම වෙලාවක කළයුතු දේ තමයි හිතේ භාවිත කිරීම කියන දේ හොඳට අවබෝධයෙන් කරන්න.
හිතේ චාර්ට් එකක් නැතිනම් හිතේ වාර්තාවක් රැස්කරන්න. දවසේ වැඩි කාලයක් හිතට ඇවිල්ලා තියෙන්නේ හොඳ සිතුවිලිද, නරක සිතුවිලිද කියලා වාර්තාවක් හදන්න. එතකොට තමන්ට පෙනෙයි තමන් වැඩි කාලයක් වාසය කරලා තියෙන්නේ නරක සිතුවිලිවල කියලා. අන්න එතකොට හිත හොඳ පැත්තට නැඹුරු කරන්න. හිත හොඳ සිතුවිලි පැත්තට නැඹුරු කරනකොට තමන්ට ඒ නරක පැත්තෙන් හොඳ පැත්තට නිකම්ම ඇසුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි "යඤ්‌ඤදෙව, භික්‌ඛවෙ, භික්‌ඛු බහුලමනුවිතක්‌කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසො" ඒ කෙනාගේ හිත බහුලව අනුවිතර්කනය කරනවා නම් ඒ අනුවිතර්කයන් හා හැසිරෙනවා නම් එයාගේ හිත ඒ ඒ පැත්තට නැඹුරුවෙලා තමයි පවතින්නේ.
ඒ නිසා අපි බහුල අනුවිතර්කනය කරන එක, නැවත නැවත හිතන එක හොඳ පැත්තට දාගන්න එක අපිට කරන්න බැරි දෙයක් නෙවෙයි, කරන්න පුළුවන් දෙයක්. හිතාමතාම ඒක කරන්නට අවශ්ය දෙයක්. ''කාමවිතක්කඤ්ච භික්ඛවෙ භික්ඛු බහුල මනුවිතක්කෙති අනුවිචාරෙති'' - කාම විතර්කයන් පිළිබඳව නැවත නැවත බහුල ලෙස අපි හිතනවා නම් ඒ හිතන දේවල් කෙරෙහි නැවත නැවත අනුවිතර්කනය කරමින් අනුවිචාරණය කරමින් ඒ තුළ නැවත නැවත හැසිරෙනවා නම් ඒ පැත්තට තමයි හිත නැඹුරු වෙන්නේ. ''තස්ස තං කාමවිතක්කාය චිත්තං නමති'' - එයාට ඒ කාම විතර්කය පැත්තට හිත නැමෙනවා.
(ඒ වගේම ද්වේෂය හා විහිංසාව පිළිබඳවත් ඉහත පරිදි දත යුතුයි.) ඒක තමයි හිතේ සාමාන්ය ස්වභාවය. ඒ ඒ පැත්තට හිත නමන්න පුළුවන්කම. ඊතල නමනවා වගේ ඊවඩුවෝ, දියාලුවෝ කාණුව කපලා තමන්ට ඕන පැත්තට දිය ගෙනියනවා වගේ තමන්ට අවශ්ය විදිහට හිත නමන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක වැදගත් පර්යායක් හිත හදාගන්න ඕනෑම කෙනෙකුට. ඒ විදිහට අකුසල විතර්ක දුරුකර ගන්නට නම් අවබෝධයෙන් කාම විතර්ක ඇතිවෙන්න ඇතිවෙන්න එයා සිද්ධ කරන්නට ඕනේ නෙක්ඛම්ම විතර්කය පැත්තට මනස නැවත නැවත බහුල වශයෙන් යොමු කරන එක.
ව්යාපාද විතර්කය නැවත නැවත ඇතිවෙන විට එයා කරන්න ඕනේ අව්යාපාද පැත්තට හිත නැඹුරු කරන එක. ඒ වගේම විහිංසා විතර්කයන් නැවත නැවත ඇතිවෙන්නට ඇතිවෙන්නට එයා අවිහිංසා විතර්කය පැත්තට හිත නැඹුරු කරන එක කළ යුතුයි. ''සෙය්යථාපි, භික්‌ඛවෙ, වස්‌සානං පච්‌ඡිමෙ මාසෙ සරදසමයෙ කිට්‌ඨසම්‌බාධෙ ගොපාලකො ගාවො රක්‌ඛෙය්ය. සො තා ගාවො තතො තතො දණ්‌ඩෙන ආකොටෙය්ය පටිකොටෙය්ය සන්‌නිරුන්‌ධෙය්ය සන්‌නිවාරෙය්ය. තං කිස්‌ස හෙතු? පස්‌සති හි සො, භික්‌ඛවෙ, ගොපාලකො තතොනිදානං වධං වා බන්‌ධනං වා ජානිං වා ගරහං වා"
උපමාවක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ - යම්කිසි විදිහකින් මහණෙනි, වැසි සමයේ තියෙන අන්තිම මාසයේදී වගා බිමක් තියෙන තැනක ගොපල්ලෙක් හරක් රැලක් දක්වාගෙන යනවා නම් - ඒ කියන්නේ, දෙපැත්තෙන් කුඹුරු යායක් තියෙනකොට මැද පාරෙන් හරක් රැලක් දක්වාගෙන යන්න තියෙනවා ගොපල්ලෙකුට. මේ ගොපල්ලා කොයි විදිහටද ගව රැල දක්වන්නේ? දෙපැත්තෙන්ම තියෙන්නේ කුඹුරු යායක්. එතකොට හරක් රැල කුඹුරකට පැන්නොත් පාඩු ගෙවන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා, වධ බන්ධනයට පත්වෙන්න සිද්ධවෙනවා.
ඒ නිසා ගොපල්ලා මොකද කරන්නේ? මේ දක්ෂ ගොපල්ලා හරක් රැලත් අරගෙන යන්නට ඕනේ නිසා කෙවිට අරගෙන පසුපසින් ගහනවා, දෙපැත්තෙන් ගහනවා. ඒ දෙපැත්තෙන් ගසමින්, පිටුපසින් ගසමින් නිවැරදි දිශාවකට ඒ ගවයෝ ටික දක්වගෙන යනවා. අන්න ඒ විදිහට හිත රකින්න කියනවා. දෙපසින් ගසමින් නැවත නැවත පසුපසින් ඉඳලා ගසමින් අපිට අවශ්ය තැනට හිත අරගෙන යන්න කියනවා. මේක හරි ලස්සන උදාහරණයක්. මේක හිතේ ස්වභාවයට හරියටම ගැළපෙනවා. හිතේ විතර්කයන්ගේ ස්වභාවය තමයි තමන්ට නැමෙන නැමෙන පැත්තට ගසාගෙන යන එක, හරියට ලා ගොයමට පැනලා කන්නම තමයි හරක් රැල හදන්නේ වගේ අකුසල විතර්කයන්ට අනුව ඒ පැත්තටම හිත පනින්නම තමයි උත්සාහවත් වෙන්නේ.
එතකොට දක්ෂ යෝගාවචරයා දන්නවා මේක වළක්වන්න ඕනේ කියලා. එයා හරක් දක්වන ආකාරය බලාගෙන හිටපු කෙනෙක් නම් ලස්සනට ඒ අත්දැකීම මතක් කරගන්න පුළුවන්, ගොපල්ලෙක් හරක් රැල ලස්සනට පාරේ අරගෙන යන්නේ කොහොමද කියලා. සමහරවිට වාහනයක් පාර අයිනේ තිබ්බත් දෑලෙන් බඩ පැත්තට තට්ටුවක් දානවා, මේ පැත්තට තට්ටුවක් දානවා. එහෙම කරලා හරියට කෙලින් දක්කගෙන යනවා. ඒ වගේ යම් යම් අකුසල පැත්තට හිත නැඹුරු වෙනවා නම්, ඒ ඒ පැත්තට පොඩි තට්ටුවක් දාලා නිවැරදි පැත්තට හිත ගන්නවා.
මෙන්න මේ විදිහට එයා දන්නවා හිත අකුසලය පැත්තට ගියොත් එයාගේ ස්වභාවය තමයි මේ අකුසල ධර්මයන්ගේ ලාමක බවට එයා පත්වෙනවා කියලා. ඒ නිසා අකුසලයන්ගේ තියෙන ලාමක ස්වභාවය එයා පෙන්නලා දෙනවා. එතකොට ඒ අකුසල ධර්මයන්ගෙන් හිත රැක්කේ නැති වුනොත් ඒ හේතු කරගෙන එන වධ බන්ධනාදිය පෙන්නලා දෙනවා. වධ බන්ධනාදිය කියලා කිව්වේ, කවුරුත් ඇවිල්ලා අපිට ගහන්නේ නැති වේවි. නමුත් අකුසල සමාදානය නිසා ඒකෙන් එන්නට තිබෙන ප්රතිවිපාක පිළිබඳව හොඳට පෙන්නලා දෙනවා.
එතකොට ඒ සඳහා ඕනේ දෙයක් අපිට භාවිතා කරන්න පුළුවන්. මරණසතිය (මරණානුස්සතිය) වෙන්න පුළුවන්. මොකද, මෙහෙම ජීවත් වුනාට කොයි මොහොතේ අපි මැරෙයි ද කියන්න බැහැ නේ . මරණය කියන එකට වයසක්, කාලයක් අදාළ නැහැ. මේ හොඳට ඉන්න අය ඊළඟ මොහොතේ මැරිලා යනවා නේ. ඒ නිසා අපිට ඒ ඒ දවසේ හිත පිලිබඳ සටහන (චාර්ට්) එක අපි ළඟ තියෙනවා නම් අපි වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ මොන හිතද කියන එක අපි දන්නවා. මම නිතර කියන දෙයක් නේ - අපි ළඟ තියෙන මල්ලේ හාල් ටිකක් අඩුයි නම් ගල්කැට බොහෝ වැඩියි නම් අහඹු ලෙස අහුරක් ගත්තොත් අහුවෙන එකේ ගල්කැට තමයි වැඩිපුරම අහුවෙන්නේ.
ඒ වගේමයි මනසේ ස්වභාවයත්, අපි වැඩිපුරම අනුවිතර්කනය කරලා තියෙන්නේ කුසල පක්ෂය අඩුවෙන් හා අකුසල පක්ෂය වැඩිපුර නම් අපිට ඉදිරිපත් වෙන්න තියෙන කර්මය, ඉදිරිපත් වෙන්න තියෙන සිතුවිලි ටිකත් හොඳ දේ නෙවෙයි, නරක දේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත: අපි හොඳ දේ (කුසල පක්ෂය) නම් වැඩියෙන්ම පුරුදු කරලා තියෙන්නේ ඒකෙන් යහපත් විපාකයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒක සාමාන්ය සිතුවිලි පැත්තෙන්. නමුත් ඊට එහා ගියපු දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ ජීවිතයේ මැරෙන්න කලින් කොහොමහරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන එක, මේ සසර හිස් කරන්න ඕනේ කියන එක.
එතකොට ඒ කාමාදී විතර්කයන් එක්ක යනකොට අපිට නිවනට ඒක සම්බාධ පිණිස (ආබාධ සහිත) පවතින බව නැවත නැවතත් හිතට ඔප්පු කරලා, නැවත නැවතත් හිතට ගෙනල්ලා පෙන්වන්නට ඕනේ. ඒ හේතුව නිසා විනාශවෙන හැටි, අතීතයේදී අය විනාශභාවයට පත්වුන හැටි (චරිත කතා තුළින්, ජාතක කතා තුළින් වෙන්න පුළුවන්) හිතට නැවත නැවත පෙන්නලා දීලා හිත හරි පැත්තට යොමු කරගන්නට ඕනේ. එතකොට මේ විදිහට හිතට කාම විතර්ක ඇතිවෙන කෙනා නෙක්ඛම්ම විතර්කය පැත්තට හිත නැඹුරු කරනවා. නෙක්ඛම්ම විතර්කය කියලා කියන්නේ කාමයන්ගෙන් නික්මීම පැත්තට එයා හිත නැවත නැවත භාවිත කරනවා.
කාමයේ තිබෙන ආදීනවය පෙන්වනවා. ආදීනවය පෙන්නලා මේකෙන් නික්මෙන එකමයි ශාන්තිය. නික්මෙන එකමයි යහපත කියලා හිතෙන මට්ටමට නැවත නැවත හිතට පෙන්නනවා. ''තස්ස මය්හං භික්ඛවෙ එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කො. සො එවං පජානාමි: උප්පන්නො ඛො අයං නෙක්ඛම්මවිතක්කො. සො ච ඛො නෙවත්තව්යාබාධාය සංවත්තති'' මට නෙක්ඛම්ම විතර්කය හිතට ඇතිවෙනකොට, මම දන්නවා මේක මට යහපත පිණිසමයි පවතින්නේ. අනුන්ටත් යහපත පිණිසමයි පවතින්නේ. අපි දෙපරිසටම යහපත පිණිසමයි මේක පවතින්නේ කියලා.
''පඤ්ඤාවුද්ධිකො'' - මේක ප්රඥාවගේ වැඩීම පිණිස පවතින දෙයක්. ''අවිඝාතපක්ඛිකො'' - මේක දුක් පැත්තට වැටෙන දෙයක් එහෙම නෙවෙයි. ඒවගේම ''නිබ්බාණ සංවත්තනිකො'' මේක නිවන පැත්තට නැඹුරු වූවක්, නිවන පැත්තට වැටෙන දෙයක් කියලා එයා දැනගන්නවා. එතකොට ඒ විදිහට එයා දැනගෙන ''රත්තිඤ්චෙපි නං භික්ඛවෙ අනුවිතක්කෙය්යං අනුවිචාරෙය්යං නෙව තතො නිදානං භයං සමනුපස්සාමි'' - එයා ඒක දැනගෙන නිකම්ම ඉන්නේ නැහැ. එයා රාත්රියේදීත් ඒ නෙක්ඛම්ම විතර්කය නැවත නැවත භාවිත කරනවා. ඇතිවෙන කාම විතර්කය දුරු කරලා නෙක්ඛම්ම විතර්කය උපදවන පැත්තට රෑත් හිත වඩනවා. එතකොට රෑත් හිත වඩනවා කියන එක තුළ එයාට භයට පත්වෙන්න හේතුවක් ඇත්තේ නැහැ.
ඒ වගේම දවල් කාලයේදීත් හිත වඩනවා. රෑ - දවල් කියන දෙකේම අප්රමාදීව එයා හිත දියුණු කරනවා. එතකොට ඒ හේතුවෙන් එයා භයකට පත්වෙන්නේ නැහැ. ''අපි ච ඛො මෙ අතිචිරං අනුවිතක්කයතො අනුවිචාරයතො කායො කිලමෙය්ය. කායෙ කිලන්තෙ චිත්තං ඌහඤ්ඤෙය්ය.'' මේ විදිහට කරනකොට සමහරවිට නැවත නැවත උත්සාහ වෙනකොට මේ කයෙහි ක්ලාන්තභාවය ඇතිවෙනවා. කයේ ක්ලාන්තභාවය ඇතිවෙනකොට ඒ මගේ හිත විසිරීමට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ බෝධිසත්ව කාලයේදී බෝධිසත්වයන් වහන්සේ කෙලෙස් දුරු කිරීම පිණිස උත්සාහවත් වුන ආකාරය පිළිබඳව.
කයේ ක්ලාන්තභාවය ඇතිවෙනකොට හිත විසිරීමට යනවා. එතකොට මම කල්පනා කරනවා - "කොහොමද මගේ හිත නොවිසිරීමට යන්නේ, කොහොමද මම හිතේ ඒකාග්රතාවය තුළම රැඳී ඉන්නේ කියලා මගේ හිත නොවිසිරේවා කියලා හිත නැවත නැවතත් සංවරයට පත් කරගන්නවා" කියලා පෙන්වනවා. මෙන්න මේ විදිහට ''යඤ්ඤදෙව භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති තථා තථා න්ති හොති චෙතසො'' ඒ විදිහට නෙක්ඛම්ම විතර්කයටත් අර දේම තමයි. අකුසල විතර්ක බහුලව ඉන්නකොට අකුසලය පැත්තට ගහගෙන ගියා වගේ, කුසල පැත්තට ප්රවාහයක් විදිහට ගහගෙන යන්න ගන්නවා කුසල පැත්තට නැවත නැවත හිත පුරුදු කරන කෙනාව.
යම්කිසි විදිහකින් අපි හිතට අකුසල පැත්තමයි වැඩිපුර ගෙනල්ලා දෙන්නේ කියලා අපේ හිතට යම් දෝමනස්සයක් තියෙනවා නම් ඒකේ වරද කොයි පැත්තේද තියෙන්නේ? තමන්ගේ පැත්තේ. හේතුව තමයි, තමන්ගේ බහුල මනුවිතර්කය තියෙන්නේ අකුසල පැත්තට. පොඩි වෙලාවකට කුසලය පැත්තට යොමු වුනා කියලා අර යන මහා ප්රවාහය නතර කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා නැවත නැවත බහුල මනුවිතර්කය, අනුවිචාරය තිබිය යුත්තේ කුසලය (නෙක්ඛම්මය විතර්කය) පැත්තට. දවස් කීපයක් හෝ සතියක් මාසයක් හෝ නෙක්ඛම්මය පැත්තට හිත දියුණු කරලා, ඒ පැත්තට හිත වඩලාත් අකුසල පැත්තට සිතුවිලි බොහෝ ඇතිවෙනවා නම් අන්න එතැන පොඩි ගැටලුවක් තියෙනවා, එතකොට අපි මොකක්ද කරන්න ඕනේ කියලා. හැබැයි ඒක ඒ විදිහට වෙන්නේ නැහැ.
මොකද හිතේ ස්වභාවය තමයි අර ජලය පහත් නිම්නය කරා ගහගෙන යනවා වගේ ගහගෙන යන එක. එයාගේ කාය - වාග් සමාචාරයන් පවා ඒ පැත්තට තමයි ඊටපස්සේ නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ හරියට ඇළක් ගලාගෙන යනකොට ඇළේ තියෙන තණකොළ වලට මොකද වෙන්නේ? ඒ ජල පහර ගලාගෙන යන පැත්තට තණකොළ ටිකත් නැඹුරුවෙලා තියෙනවා. ඒ වගේ යම් කාය - වාග් සමාචාරයන් තිබෙනවා නම් ඒ සමාචාරයනුත් යහපත් පැත්තට නැඹුරු වෙනවා. ඒ වගේම යම් විදිහකින් ඒ යහපත් විතර්කයන් පැත්තට බහුල පිරිසුත් එයා කරා එකතු වෙනවා. ඒ නිසා මේ විදිහට, හිතේ යහපත් විතර්ක පැත්තට ඉඩ දීලා ඒ විදිහට සිද්ධ කරන්නට ඕනේ.
''ආරද්ධං ඛො පන මෙ භික්ඛවෙ විරියං අහොසි අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා'' මේ විදිහට සිවුරඟින් යුක්ත (අංග හතරකින් යුක්ත) වීර්යය පටන්ගත්තා; අත් නොහැරියාවූ වීර්යය (අසල්ලීනං) ', සිහිය පෙරටුව හිටියා (උපට්ඨිතං සති), සිහිය එළඹ හිටියා; සිහිමුළාවකට පත්වුනේ නැහැ (අසම්මුට්ඨා), 'ඒ හිත සමාහිතව ඒකාග්රගත වුනා (පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකාග්ගං). මෙන්න මේ විදිහට ප්රථම ධ්යාන ලාභීව වාසය කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එතකොට මම මෙතැන දකින වැදගත් දෙයක් තමයි "ආරද්ධං ඛො පන මෙ භික්ඛවෙ විරියං අහොසි අසල්ලීනං" කියන එක. "මා විසින් වීර්යය අත් නොහැර ආරම්භ කළා" කියන එක. අපි දන්නවා වීර්යය කියන කොට චතුරාංග සමන්වාගත වීර්යයක් තියෙනවා. එතකොට වීර්ය අංග හතරක් තියෙනවා. වීර්යය කියන්නේ හැමවෙලාවකදීම දත්මිටි කාගෙන ඉඳගෙන ඉන්නවා කියන එක නෙවෙයි. එතකොට වීර්යයේ අංග හතරක් තියෙනවා. ඒකට කියනවා චතුරාංග සමන්වාගත වීර්යය කියලා.
මොකක්ද චතුරාංග සමන්වාගත විර්යය කියන්නේ?
(i) නූපන් අකුසල් නූපදින්න ඕනේ.
ii) උපන් අකුසල් දුරුවෙන්න ඕනේ.
iii) නූපන් කුසල් උපදින්න ඕනේ.
iv) උපන් කුසල් දියුණු වෙන්න ඕනේ.
මෙන්න මේ අංග හතරට කියනවා චතුරාංග සමන්වාගත විර්යය කියලා. අපේ වීර්යය මේ අංග හතරෙන් සමන්වාගතව තියෙන්න ඕනේ. චතුරාංග සමන්වාගත වීර්යය කියන එක අපිට අවශ්ය වෙන්නේ අපි ඉඳගෙන භාවනා කරන ටිකේදී විතරක් නෙවෙයි, ඒක අවශ්ය වෙන්නෙම සම්පූර්ණයෙන්ම අපේ ජීවිතය තුළ. අපේ මුළු ජීවිතය තුළම චතුරාංග සමන්වාගත වීර්යය තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැමවෙලාවකදිම යනකොට, එනකොට, දෙපස බලනකොට, අපි අපේ ජීවිතයේ සාමාන්යයෙන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන හැම අවස්ථාවකදීම අපිට තියෙන්න ඕනේ සිහියක් නුවණක් ගැනයි මේ කතා කරන්නේ.
උපන් අකුසල් දුරුවෙන විදිහේ නුවණක් හා සිහියක් අපි පවත්වන්න ඕනේ. එතකොට නූපන් අකුසල් නූපදින විදිහේ නුවණක් හා සිහියක් අපිට තියෙන්න ඕනේ. ඉතා කුඩා වූද වරදක්, ඉතා කුඩා වූද අකුසල විතර්කයක් හිතට නැගීගෙන එනකොටම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සැරසෙන්නට කැමති කෙනෙක් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මුහුණ බලනකොට පුංචි බිබිලක් හරි එනවා පේනවා නම් ඒක එයාගේ හිතට වද දෙන දෙයක් බවට පත්වෙනවා. අන්න ඒ වගේ අපිත් වෙන්නට ඕනේ, අපි ධර්මය නමැති කැඩපතත් එක්ක වාසය කරනකොට හිතේ පිරිසිදු බව කැමති භික්ෂුවට ඉතාමත් කුඩා අකුසල් විතර්කයක් ඇතිවෙනකොටත් ඒ විතර්කය ගැනත් දැනෙන ගතිය තියෙන්න ඕනේ.
ඒ විතර්කය මුහුකුරා ගිහිල්ලා එළියට පනින මට්ටමට එන්න කලින් ඒ විතර්කය තමන්ව ඒ පැත්තට නැඹුරු කරන්න නොදී අපි හිත දමනය කරගන්නට ඕනේ. එතකොට තමයි එයා චතුරාංග සමන්වාගත වීර්යයෙන් යුක්තව වාසය කරනවා කියලා කියන්නේ. චතුරාංග සමන්වාගත වීර්යයේදී අදහස් කරන්නේ අංග හතරක් කියන එක. අංග හතරේදී - අකුසල පැත්ත අංග දෙකක් කතා කරනවා.
(i) උපන් අකුසල් දුරු වෙන්නත් ඕනේ.
(ii) නූපන් අකුසල් නූපදින්න ඕනේ.
උපන් අකුසල් දුරුවෙන මට්ටම විතරක්ම නෙවෙයි. නූපන් අකුසල් නූපදී තියෙන්නත් ඕනේ. එතකොට ඒක උපදින ස්වභාවයකටවත් පත් නොවී ඒ අකුසල විතර්කයන් නැවත නොහටගන්න යන මට්ටමේ විතර්කයන් අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒක කතා කරන්නේ අපේ එදිනෙදා සාමාන්ය ජීවිතයේදී යොදා ගත යුතු අර්ථයෙන්. චතුරාංග සමන්වාගත වීර්යය අවශ්ය වන්නේ ඉඳගෙන භාවනා කරනකොට පමණක් නෙවෙයි. ඒක අපේ ජීවිතය බවට පත්වෙන්න ඕනේ. ඒ නිසා තමයි භාවනාව ජීවිතය වෙන්නට ඕනේ, ජීවිතයම භාවනාව වෙන්න ඕනේ කියන එක මම නිතර මතක් කරන්නේ, .
මතු සම්බන්ධයි
පූජ්යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් ලබුනොරුවකන්ද ආරණ්ය සේනාසන වාසී භික්ෂුන් වහන්සේලා වෙනුවන් කළ දේශනාවක් ඇසුරෙන් පිටපත් කිරීමකි

Post a Comment

0 Comments