ද්වෙධාවිතක්ක සුත්‍රය 1


නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
සබ්බාසව සූත්රයට අදාළව අපි කතා කළා මුල් කාරණාව. එතැනදී යොනිසෝ මනසිකාරය සහ අයොනිසෝ මනසිකාරය පිළිබඳව අපි කතා කළේ. යොනිසෝ මනසිකාරය සහ අයොනිසෝ මනසිකාරය පිළිබඳව අපි කතා කරනකොට අපි මතක් කරගත්තා මේකෙදී ඉතාම වැදගත් වන සූත්ර දේශනා දෙකක් පිළිබඳව. මජ්ඣිම නිකායේ 'ද්වේධාවිතක්ක සූත්රය' සහ 'විතක්කසණ්ඨාන සූත්රය' පිළිබඳව. ආශ්රව ධර්මයන් ක්ෂයභාවයට පමුණුවා ගන්න විට, ආශ්රව ධර්මයන් හික්මවන විට, කෙලෙසුන්ගෙන් හිත සංවර කරගන්න විට ඉතාම වැදගත්, ඉතාම අවශ්යවන, හිත වඩන ඕනෑම කෙනෙකුට ප්රයෝජන පිණිස පවතින සූත්ර දෙකක් තමයි: 'ද්වේධාවිතක්ක සූත්රය' සහ 'විතක්කසණ්ඨාන සූත්රය' කියලා කියන්නේ.
යොනිසෝ මනසිකාරය සහ අයොනිසෝ මනසිකාරය කියන මාතෘකාව අපි සාකච්ඡා කරන්නට යනකොට අපි මේ කාරණාවේදී මේ සූත්ර දෙක කතා කරමු කියලා අදහස් කළේ. "යොනිසෝ මනසිකාරය" කියන වචනය පිළිබඳව තවදුරටත් මම බැලුවා, ''යොනිස'' කියන වචනය නිපාත පදයක් හැටියට තමයි ව්යාකරණානුරූපීව මට දකින්නට ලැබුණු දේ. එතකොට ඒක වෙනමම අර්ථ විග්රහ කරන්න, බෙදා දක්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නිපාත පදයක් විදිහට අපිට දක්නට ලැබෙන නිසා. එතකොට ඒ "යොනිස" කියන වචනය සම්බන්ධව අපි මතක් කළේ.
***මජ්ඣිම නිකායේ ද්වේධාවිතක්ක සූත්රය
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරනවා, ''පුබ්‌බෙව මෙ, භික්‌ඛවෙ, සම්‌බොධා අනභිසම්‌බුද්‌ධස්‌ස බොධිසත්‌තස්‌සෙව සතො එතදහොසි'' මහණෙනි මම සම්බෝධියට පළමුව, අනභිසම්බුද්ධ කාලයේ දී (බෝධිසත්ව කාලයේ දී) මෙන්න මට මෙහෙම සිතක් ඇතිවුනා. ''යංනූනාහං ද්‌විධා කත්‌වා ද්‌විධා කත්‌වා විතක්‌කෙ විහරෙය්ය’න්‌ති'' - මගේ අදහස්, නැතිනම් සංකල්පනාවන්, විතර්කයන්, කොටස් දෙකකට දෙකකට බෙදමින් වාසය කරනවා නම් ඒක ඉතාමත් හොඳයි කියලා.
''සො ඛො අහං, භික්‌ඛවෙ, යො චායං කාමවිතක්‌කො යො ච බ්යාපාදවිතක්‌කො යො ච විහිංසාවිතක්‌කො ඉමං එකං භාගමකාසිං යො චායං නෙක්‌ඛම්‌මවිතක්‌කො යො ච අබ්යාපාදවිතක්‌කො යො ච අවිහිංසාවිතක්‌කො ඉමං දුතියං භාගමකාසිං" - ඒ මම යම් හිතේ ඇතිවෙන කාම විතර්කයක් තිබුණා නම්, ව්යාපාද විතර්කයක් තිබුණා නම්, විහිංසා විතර්කයක් තිබුණා නම් මේ ටික හිතේ එක පැත්තකට බෙදුවා. ඒ වගේම යම් නෙක්ඛම්ම විතර්කයක්, අව්යාපාද විතර්කයක්, අවිහිංසා විතර්කයක් තිබුණා නම් මේ විතර්කයන් අනිත් පැත්තට (දෙවැනි කොටසට) වෙන් කළා. ඒ කියන්නේ හිතේ ඇතිවෙන අදහස්, හිතේ ඇතිවෙන විතර්කයන් කොටස් දෙකකට බෙදුවා.
ඒ විදිහට දෙපැත්තට බෙදලා ඉන්නකොට, ''තස්‌ස මය්‌හං, භික්‌ඛවෙ, එවං අප්‌පමත්‌තස්‌ස ආතාපිනො පහිතත්‌තස්‌ස විහරතො'' - ඒ විදිහට මම කෙලෙස් තවන වෙර ඇතිව අප්රමාදීව ඉන්නකොට, ''උප්පජ්ජති කාමවිතක්කො'' - කාම විතර්ක සිතට ඇතුල් වෙනවා. එහෙම ඇතුල්වෙනකොට, ''සො එවං පජානාමි'' - මම ඒ වෙලාවේ මෙන්න මේ විදිහට ඒ පිළිබඳව දන්නවා. යම් ඒ කාම විතර්කයක් ඉපදුනා නම්, මේ උපන්නා වූ කාම විතර්කය මගේ ස්වභාවය අනුව මට ආබාධ පිණිස, එසේ නැතිනම් මගේ පරිහාණීය පිණිස පවතින දෙයක්. ඒ වගේම තමයි සබ්රහ්මචාරීන් හෝ වේවා අනිකුත් ලෝකය ඇත්තන්ට හෝ වේවා, අනිත් අයටත් අයහපත පිණිස පවතින දෙයක්.
"අත්‌තබ්යාබාධායපි සංවත්‌තති,'' - තමාට ගැටුළු ඇති කිරීම පිණිස, එසේ නැතිනම් ''පරව්යාබාධාය සංවත්තති'' අනුන්ට ගැටුළු ඇති කිරීම පිණිස පවතින දෙයක් නැතිනම් ''උභයබ්යාබාධායපි සංවත්‌තති'' තමා සහ අනුන් කියන මේ දෙපිරිසටම බාධා පමුණුවන දෙයක්. ඒක එහෙමමයි. මොකද, තමාටත් ඒක අහිත පිණිස පවතිනවා. අනුන්ටත් ඒක අහිත පිණිස පවතිනවා. යම් විදිහකින් එබඳු විතර්ක බහුල කොට පවතින කෙනෙක්ව නැවත නැවත ඇසුරු කරන්නට ලැබෙනකොට, අනිකුත් අයටත් ඒ විතර්ක කාන්දු වෙනවා. එසේ නැතිනම් ඒ විතර්ක ඇසුරු වෙන්නට පටන් ගන්නවා. එහෙම වෙනකොට ඒ විතර්ක තමාට අහිත පිණිසත් පවතිනවා වගේම ඉන්න අනිත් අයටත් අහිත පිණිස පවතිනවා.
** අකුසල විතර්ක බහුලකොට සිටීමේ ආදීනව
මෙන්න මේ විදිහට දෙපිරිසටම අහිත පිණිස පවතිනවා වගේම ''පඤ්‌ඤානිරොධිකො විඝාතපක්‌ඛිකො'' කාම විතර්ක බහුලකොට ඉන්න කොට ඒක ප්රඥාව නැති කරන්නට, ප්රඥාව ක්ෂයභාවයට පමුණුවන දෙයක්. මේ විතර්කයන් බහුලව ඉන්නකොට නොවැඩුණු නුවණ උපදින්නෙත් නැහැ. උපන් නුවණ දියුණුවට පත්වෙන්නෙත් නැහැ.. ''විඝාතපක්‌ඛිකො'' කියලා කියනවා දුකට පත්වෙනවා කියන එකට. "විඝාතපක්‌ඛිකො" - මේක දුක පිණිස පවතින දෙයක්, දුක් පක්ෂයෙහි වැටෙන දෙයක්. ''අනිබ්‌බානසංවත්‌තනිකො'' - මේක නිර්වාණය පිණිස පවතින දෙයක් නෙවෙයි.
මෙන්න මේ විදිහට, යම් කාම විතර්කයක් සිතට ඇතිවෙනවා නම් මේ ඇතිවෙන කාම විතර්කය පිළිබඳව හොඳට හිතින් මනසිකාරය පවත්වනවා මේ විතර්කයේ ඇති ආදීනවය පිළිබඳව. මේ විතර්කයේ වාසය කරනකොට මේක මගෙත් පරිහානිය පිණිස පවතිනවා. එන්න එන්න සීලාදී ගුණ ධර්මවලින් මාව පිරිහීමට පත්වෙනවා. එතකොට අනුන්ටත් මේක අයහපත පිණිස පවතිනවා. අපි දෙපිරිසටම මේක අයහපත පිණිස පවතිනවා. ඒ විතරක් නෙවෙයි, මේ තුළ ඉන්නකොට අනිත් ගුණධර්ම පිරෙන්නෙත් නැහැ, ගුණ ධර්මවලටත් හානි වෙනවා. නිවන් දකින කෙනෙකුට මේක සුදුසු දෙයක් නෙවෙයි. මේක ඉතාම අපහසු දෙයක් බවට පත්වෙනවා කියලා මෙන්න මේ විදිහට කාම විතර්කයේ ඇති දොස් සහගත පක්ෂය පිළිබඳව නැවත නැවත, නැවත නැවත හිතට මෙනෙහි කරලා දෙනවා.
එතකොට ඒ දොස් සහගත පක්ෂය පිළිබඳව නැවත නැවත මෙනෙහි කරනකොට ඒ කෙනාට ඒ කාම විතර්කය ''අබ්‌භත්‌ථං ගච්‌ඡති;'' - ඒක ක්ෂයභාවයට යනවා. ඒ කාම විතර්කය නැතිවෙලා යනවා. මොකද, ඒකේ ආදීනවය නැවත නැවත ප්රකට කරලා හිතට පෙන්වන නිසා. මේ විදිහට හිතේ ඇතිවෙන ව්යාපාද විතර්කයත් - ව්යාපාදය කියලා කියන්නේ, අපි දන්නවා තරහාව නැතිනම් ගැටීම් සහිත මනෝභාවයන්. එතකොට මේ ගැටීම් සහගත පටිඝ සම්පයුත්ත මනෝභාවයන් නැවත නැවත ඇතිවෙනකොට අපි දකිනවා - මේක මටත් අහිත පිණිස පවතිනවා, අනුන්ටත් අහිත පිණිස පවතිනවා. මේකේ ආදීනව පක්ෂය අපි හොඳට බලන්න පුරුදු වෙනවා.
විහිංසා විතර්කයත් ඒ විදිහටමයි - අනිත් අයට හිංසා පීඩා කරන අනුන්ගේ දුක කැමතිවෙන ස්වභාවයට තමයි හිංසා විතර්ක බහුලකොට වාසය කරනවා කියලා කියන්නේ. අකුසල විතර්ක බහුලව ඉන්න කෙනාට මේ හැම පැත්තකදීම තමාගේ මනස පිළිබඳව හඳුනා ගන්නකමක් නැත්තම් මේ විතර්කය හඳුනා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ විතර්කය හිතට එනවා දන්නෙත් නැත්තම් යනවා දන්නෙත් නැත්තම් ඒ විතර්කය දුරු කරනවා කියන එකට උත්සාහ කරනවා කියන එක සිද්ධවෙන දෙයක් නෙවෙයි. ඒ නිසා හිත පිළිබඳව හොඳ අවධානයක් තියෙන්නට ඕනේ නිවන් දකින්න යන කෙනාට. හිතේ ඇතිවෙන විතර්ක හැම වෙලාවකදීම කොටස් දෙකකට බෙදාගෙන, මේක අකුසල් පැත්තට වැටෙන විතර්කයක්ද කුසල පැත්තට වැටෙන විතර්කයක් ද කියන එක පිළිබඳව.
එතකොට තමන් දන්නවා කාම විතර්කයක් ඇතිවෙන විටම කාම විතර්කය ඇති වීගෙන එන පැත්ත පිළිබඳවත් තමන්ට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. කාමවිතර්ක කියලා කියනකොට ඒ තුළ රාගාදි චේතනාවන් පමණක්ම නෙවෙයි. පඤ්ච කාමගුණික ආශ්වාදය පිණිස බාහිර ආරම්මණයන්ට බැසගන්න සියලුම පැතිකඩවල් ආවරණය වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් ඕනෑම එකක් පැත්තට නැවත නැවත කැමතිවෙන විදිහට නැඹුරුවෙනවා නම් ඒ හැම පැත්තකටම කියනවා කාම විතර්ක බහුලව වාසය කරනවා කියලා.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන්ට කියනවා පංච කාමගුණ කියලා. ''නෙ තෙ කාමා'' මේ දේවල් කාම නෙවෙයි. ''අපි ච ඛො කාමගුණා නාමෙතෙ අරියස්ස විනයෙ වුච්චති'' - නමුත් මේවාට කියන්නේ පංච කාමගුණ කියලා. ඒ කියන්නේ හිතේ පවතින කාමය පවත්වා ගැනීම සඳහා උපකාරී කරන දේවල් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන්. මේ දේවල් වලින් කවදාවත් කැමැත්ත ගෙනෙන්නේ නැහැ. ඒ රූපය හොඳයි කියලා නැවත නැඹුරු වෙනකොට තමයි කාමය හිත පැත්තෙන් ඇතිකර ගන්නේ. එතකොට ශබ්දය හොඳයි, ගන්ධය හොඳයි, රසය හොඳයි, ස්ඵර්ශය හොඳයි කියලා ඒ පැත්තට නැවත නැවත නැඹුරුවෙන කමට කියනවා කාම විතර්කයන් බහුලකොට වාසය කරනවා කියලා.
කාම විතර්කයන් නැවත නැවත බහුලකොට වාසය කරන කෙනෙකුට අර කතා කරපු විදිහට නිවන ළඟ වෙන්නේ නැහැ. ඒ කෙනාට නිවන දුර වූවක් කොට පවතිනවා. ඒ වගේම ඒක දුක් පක්ෂයට වැටෙන දෙයක්. එයා නැවත නැවත දුකම ඇසුරු කරන්නෙක් බවට පත්වෙනවා. ඒ නිසා මේකේ ආදීනව පැත්ත ගැන බලනවා. එසේ කාම විතර්කයන් බහුලව වාසය කරන කෙනා බොහෝම පීඩාවෙන් වෙහෙසෙන් ජීවත් වන්නෙක් බවට පත්වෙනවා. තමා අතීතයේ කළ වැරදි ගැන නැවත නැවත තමන්ට පෙන්වනකොට ඒ දේ වැරදි සහිත බව හිතට විතර්ක විදිහට ගෙනල්ලා දෙනකොට, ඒ වගේම තමන් කැමති දේවල් ඉෂ්ඨ වෙන්නේ නැහැ කියලා තේරෙනකොට, ඒ දේවල් හිතට බොහෝ පීඩාකාරී ධර්මයන් බවට පත්වෙනවා.
එතකොට ඒක දකින්න හාත්පස තමන්ගේ මනස තුළ ඇතිවෙන හැම කෙලෙස් පැත්තක් ගැනම - ඒ කියන්නේ හුදෙක් රාගය ගැනම පමණක් කතා කරනවා නෙවෙයි. අපිට ලෝකය තුළ පවතින යම් කැමැත්තකින්, යම් ආශ්වාද ආදීය තුළ අපි බැඳෙන පැති තියෙනවා නම් මේ හැම පැත්තක් ගැනම කතා කරනවා. අන්න ඒ විදිහට අපිට ඒ තුළින් ඇතිවෙන අයහපත් ප්රතිවිපාක පැත්ත පිළිබඳව අපි නැවත නැවත මනසිකාරය පවත්වනකොට, මේකෙන් අපි දුකට පත්වෙන හැටි ගැන නැවත නැවත මෙනෙහි කරනකොට ආබාධ සහිත බව හිතට ගෙනල්ලා දෙනකොට, ඒ විතර්ක පැත්තට අපේ මනස අරගෙන යන්නේ නැතුව අපේ මනස නෙක්ඛම්මය පැත්තට හරවාගන්න පුළුවන්කම තියෙනවා.
මේ විදිහටමයි ව්යාපාද විතර්කය ගැනත්, තව කෙනෙක් ගැන හෝ තව දෙයක් හෝ යම් සිද්ධියක් ගැන ගැටීමක් අමනාප ගතියක් හිතේ ඇතිවීගෙන එනකොටම අපිට හඳුනාගන්න පුළුවන් වෙලා ඒ පිළිබඳව අපිට ඒකට ප්රතිකර්ම සපයන්න තරම් අපි දක්ෂයෙක් වෙන්නට ඕනේ. එතකොට ඒ විතර්කය හඳුනාගෙන ඒ විතර්කය පැත්තට නැවත නැවත හිත යන එකෙන් වළක්වමින් හරි පැත්තට, හරි මාවතට හිත යොදවන්නට ඒ ව්යාපාද විතර්කයෙන් ඇතිවෙන ආදීනව පැත්ත ගැන නැවත නැවත හිතට ගෙනල්ලා දෙන්නට අපි දක්ෂයකේ වෙන්නට ඕනේ. හිංසා විතර්කයත් ඒ විදිහමයි.
ඒ විදිහට හිත නැවත නැවත හරි පැත්තට ගන්නකොට ඒ කෙනාට අර කියපු විදිහට තමාට අහිත පිණිස හෝ අනුන්ට අහිත පිණිස හා දෙපැත්තටම අහිත පිණිස, ප්රඥාව නැතිවීම පිණිස, එහෙමත් නැතිනම් දුක් පක්ෂයෙහි වැටෙන දෙයක් බවට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිවන් පිණිස පවතින දෙයක් බවට පත්වෙනවා හිත නිවැරදි පැත්තට යොමු කරගැනීම කියන කාරණාව. එතකොට හිතේ ස්වභාවය තමයි ඕනෑම කෙනෙකුගේ "යඤ්‌ඤදෙව, භික්‌ඛවෙ, භික්‌ඛු බහුලමනුවිතක්‌කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසො" යම් විදිහකින් යම් දෙයක් බහුලකොට අනුවිතර්කනය කරනවා නම් හිතින් යම් විදිහේ චේතනාවන් නැවත නැවත අපි හිතනවා නම්, ඒ අනුව නැවත නැවත හැසිරෙනවා නම්, නැවත නැවත හිතනවා නම්, හිතන අරමුණේ නැවත නැවත හැසිරෙනකම තියෙනවා නම්, ඒ විදිහටම හිත පවතිනවා.
ඒ කියන්නේ අපි යම් විදිහේ චේතනා සමුදායක් මෙනෙහි කරන්න ගත්තට පස්සේ මනසේ ස්වභාවය තමයි ඒ ඒ පැත්තට නැඹුරුව ගලාගෙන යනකම. හරියට වැස්ස දවසකට පහත් බිමකට ජලය ගලාගෙන යනවා වගේ. හැම පැත්තකින්ම එකතුවෙන බිංදුව බිංදුව කාන්දුවෙලා එතැන ඇල පාරක් හැදිලා ඔයක්, ගඟක් හැදිලා ගලාගෙන යනවා වගේ මේ මනසේ ස්වභාවය තමයි කුඩා කුඩා විතර්ක සහ අනුවිතර්කයන් එකතු වෙනකොට ඒ ටික එකතුවෙලා නොදන්නා විදිහට මහා ප්රවාහයක් විදිහට ගොඩනැඟෙන එක. ඒ නිසා පැවිද්දෙක් වෙනකොට අපි හරියටම තේරුම් අරගෙන ඉන්නට ඕනේ දෙයක් තමයි අපේ මානසික ස්වභාවය (හිත හැසිරෙන හැටි) පිළිබඳව.
ඒක එක පැත්තකින් තාක්ෂණයක්. මොකද, හිත හැරෙන විදිහ අපිට තේරුම් ගන්න බැරි වුනොත් හිත අපිව වංචා කරන විදිහ අපිටම හිතා ගන්න බැරි වෙනවා. අපි, අපි ඉන්න කාමරය හෝ කුටිය හෝ අතු නොගා හිටියොත් මේ කුටිය ටික දවසක් යනකොට දූවිලි වහපු අපවිත්ර දෙයක් වෙනවා. එතකොට අපෙන් ඇහුවොත්, ‘මේ දූවිලි ටික ආවේ කොයි වෙලාවේද? මේ දූවිලි ටික ආවේ කොයි වෙලාවේද?’ කියලා අපිට ඒ දුවිලි ටික ආපු හැටි පෙන්වන්න අවස්ථාවක් ඇත්තේ නැහැ. නමුත් සිද්ධවෙන්න ඕනේ සිදුවීමක් විදිහට කුටිය අපවිත්ර වීම සිදුවෙලා තියෙනවා. වැරදි සහගත සංකල්පනාවන් සහිත විතර්කනයන් ටික හරියට දූවිල්ලක් වගේ. ඒ විතර්ක මොහොතක් මොහොතක් පාසා ඇතිවෙනවා, ඒ දේ නැතිව යනවා තමයි.
හැබැයි දන්නේම නැතුව ටික දවසක් යනකොට ඒ කාමරය අපිරිසිදු වුනා වගේම හිත අපිරිසිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි නිතර නිතර කාමරය පිරිසිඳු කරනවා වගේ කුටියක් අතුපතු ගාලා දූවිලි ගසලා පිරිසිදුභාවයට පත්කරනවා වගේ හොඳ දක්ෂයෙක් වෙනකොට, භික්ෂුවක් වෙනකොට නිතරම හිත පිරිසිදු කරන්නට පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒ හිත නැවත නැවත පිරිසිදු නොකළොත් අපිට නොදැනීම අහුමුළුවල කුණු නිතරම වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක තමාටත් අහිත පිණිස පවතිනවා, අනුන්ටත් අහිත පිණිස පවතිනවා, මේ දෙපිරිසටම අහිත පිණිස පවතිනවා. ඒ විතරක් නෙවෙයි, ඒක නිවන පක්ෂයට වැටෙන දෙයක් නෙවෙයි. දුක් පක්ෂයට වැටෙන දෙයක් බවට පත්වෙනවා.
**සැරව ගෙඩියක් බඳු අකුසල විතර්ක පිරුණු සිත
ඒ නිසා අපිට ඒ විතර්කයන් හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. හිතේ ස්වභාවය තමයි පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා හරියට අර විසර ගෙඩියක් වගේ බවට පත්වෙන එක. සැරව පිරුණු ගෙඩියක ස්වභාවය තමයි සමහරවිට එක පුංචි අල්පෙනිති තුඩක් වැදුනොත් අල්පෙනිති තුඩේ ප්රමාණයට නෙමෙයි ඊට වඩා වැඩි ප්රමාණයෙන් ගඳ ගහන සැරව එනවා. අන්න ඒ වගේ සමහර වෙලාවට අපි නොදැන අපේ හිතේ විතර්ක ඇවිස්සිලා ඇවිස්සිලා ගොඩගැහිලා තියෙනකොට අර සැරව ගෙඩියක් වගේ. ඒකට එක පුංචි අරමුණක් ඇති සමහරවිට. ඇහට පෙනෙන එක දර්ශන මාත්රයක් ඇති සමහරවිට ඒක කඩාගෙන එළියට යන්න. සමහරවිට එක වචනයක් ඇති පටිඝය පැත්තෙන් අපිට ඒක කඩාගෙන එළියට යන්න.
ඒක සමහරවිට පැත්තක ඉඳලා බලාගෙන ඉන්න කෙනෙකුට නොකිපිය යුතු වචනයක්, කිපෙන්න අවශ්ය නැහැ නමුත් අපි කිපිලා තියෙනවා. ඒ වගේම රාගය ඇති නොවන දෙයක්, නමුත් අපි මහා රාගයක් අපි ඇතිකරගෙන තියෙනවා. අපේ හිතේ ස්වාභාවය තමයි ක්රමක්රමයෙන් ක්රමක්රමයෙන් පිරිසිඳු නොකළොත්, ඒ සැරව ඉවත් කළේ නැති වුනොත් ඒක මහා දුකක් ගෙනත් දෙන සැරව ගෙඩියක් බවට පත්වෙන එක අපිට නතර කරන්න බැහැ. ඒ නිසා හිතේ ස්වභාවය පිළිබඳව, හිතේ හැසිරීම පිළිබඳව, හිත හැරෙන ස්වභාවය පිළිබඳව හොඳට අවබෝධ කරගෙන ඉන්නට ඕනේ පැවිද්දෙක් විදිහට.
මතු සම්බන්ධයි
පූජ්යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් ලබුනොරුවකන්ද ආරණ්ය සේනාසන වාසී භික්ෂුන් වහන්සේලා වෙනුවන් කළ දේශනාවක් ඇසුරෙන් පිටපත් කිරීමකි

Post a Comment

0 Comments