ගිරිමානන්ද සූත්‍රය අනිත්‍ය සංඥා 1

🔴 ගිරිමානන්ද සූත්රය - අනිච්ච සංඥාව 1

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ශ්රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක් ම උතුම් සද්ධර්ම ශ්රවණයට සූදානම් වන මොහොත. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් කවුරුත් ශ්රවණය කර ගන්නට සූදානම් වන අවස්ථාව. ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ම දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්ම සාගරය ම මහා ආශ්චර්යමත්. ඒ සද්ධර්මය තුළ සත්වයාට සැනසීම පිණිස, නිවීම පිණිස පවත්නා ඒකායන මාර්ගයක් දකින්නට පුළුවන්කම තිබෙනවා.

අතීතයේ බොහෝ දෙනෙක් ඒ ධර්මය තුළ තම තමන්ගේ ජීවිතවලට සැනසීම උරුම කර ගන්නට යෙදුනා. ඒ තුළින් තමන්ගේ ජීවිතේට සැනසීම උරුම කර ගත්තා පමණක් නෙමෙයි, අන්යන්ගේ ජීවිතවලටත් සැනසීම උරුම කර දීම පිණිස ඒ උතුම් ධර්මය පරිභාවිත කළා. බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මය අද බොහෝ කාලයක් පුරාවට ඔබ අප හැම දෙනාට ම හිත සුව පිණිස මේ ලෝකය තුළ පැවතුනේ ඒ නිසාවෙන්. අපිට මේ විදිහට හෝ ශ්රවණය කර ගන්නට ලැබෙන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය යි .

ඒ උතුම් සද්ධර්මය අපේ සිත් සතන් සැනසීම පිණිස ඒකාන්තයෙන් හේතු වන ධර්මයක්. ඒ නිසා ම තමයි ඒ ධර්මය තුළින් ධර්මාර්ථ ජීවිතයට සමීප කර ගෙන බොහෝ දෙනෙක් සැනසීම උරුම කර ගන්නවා වගේ ම අර්ථය එතරම් ම නොවැටහුණත් ඒ බණ පදයක් අහලා ඒ ශබ්දය පිළිබඳවත් සිත පහදවා ගෙන ඇතැම් අය කුසල ධර්මයන් සම්පුර්ණ කර ගන්නේ.

‼️ධර්ම ශ්රවණයේ ආනිසංස‼️

එදා කාලේ දී බණ අහපු ගෙම්බෙක්ගේ කතාවක් පිළිබඳවත් දැක්වෙනවනේ. ධර්මයේ තිබුණු ඒ මහා ගම්භීර කරුණු කාරණා තේරුම් ගන්නට නොහැකි වුණත් ඒ ස්වරය පිළිබඳව සිත පහදවා ගෙන මණ්ඩුක දිව්ය පුත්රයා නමින් දිව්ය පුත්රයෙක්ව ඉපදුණු ගෙම්බෙකුගේ කතාව පිළිබඳව. ධර්ම ශ්රවණය එපමණ ආනිසංසදායක දෙයක්. ඉතින් එපමණ ආනිසංසදායක දෙයක් නිසා ම තමයි භාග්යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේ ලැබෙන සැනසීම බොහෝ දෙනෙක් තම තමන්ගේ ජීවිතවලට නොයෙක් ආකාරයෙන් උරුම කර ගත්තේ.

ඒ සැනසීම උරුම කර ගත්ත ආකාරයන් දිහා බලන කොට අපේ බෞද්ධ ජන සමාජානුගත පරිත්රාණ ධර්මයන් අපිට විශේෂයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒවාට අපි පිරිත් කියනවා කියලා කියනවා. බෞද්ධයන්ගේ ලෙඩට, දුකට, ඒ සිතේ සැනසිල්ලට බොහෝ කොට භාවිත කරන දෙයක් තමයි පිරිත් ධර්මය කියලා කියන්නේ. “පරිසමන්ථතො තායතී රක්ඛතීති පරිත්තං” කියලනේ කියන්නේ. හාත්පසින් ම ආරක්ෂාව රැකවරණය සලසන නිසා පිරිත කියලා කියනවා. බොහෝ දෙනෙක් තමන්ට ලෙඩ දුක් කරදර එන කොට ඒ ලෙඩ දුක් සඳහා පිරිත් ධර්මයන් සජ්ඣායනා කරනවා.

‼️ගිරිමානන්ද සුත්රයට පසුබිම් කතාව‼️

ඔබට නිතර ම ඇහෙන නිතර ම හුරු පුරුදු සූත්ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්රය කියලා කියන්නේ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ලෙඩ වුණාට පස්සේ ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ප්රකාශ කරන ලෙස භාග්යවතුන් වහන්සේ සඳහන් කරමින් ආනන්ද තෙරුන් වහන්සේ උදෙසා දේශනා කළ සූත්ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්රය කියලා කියන්නේ. ඒ වගේ ම ඒ ගිරිමානන්ද සූත්රය ධර්මාර්ථ බවින් ඉතාමත් සාරවත් සූත්ර දේශනාවක්. මේ සාසනයේ යම්කිසි කෙනෙක් නිර්වාණාවබෝධය පිණිස නැතිනම් යම් ඵලයක් සාක්ෂාත් කර ගැනීම පිණිස පිවිසෙනවා නම් ඒ සියලු දෙනා විසින් ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු සංඥා මනසිකාරයන්, එහෙමත් නැතිනම් තමන්ගේ ජීවිතය තුළ ප්රගුණ කළ යුතු වන මනසිකාරයන් තමයි දස සංඥාවන් තුළින් අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ගිරිමානන්ද සුත්රය පුරාවට ම ඒ සංඥා දහයක් පිළිබඳව විග්රහ වෙනවා. ඒ දස සංඥාවන් පිළිබඳව බෞද්ධයන් හැටියට අපි නිරන්තර භාවිතයක් තියෙන්නට අවශ්යයි.

ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහෝ ම අසනීප තත්වයෙන් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කිව්වේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දී ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළේ, ආනන්ද, ඔබ මේ දස සංඥා ඉගෙන ගෙන ගිහින් මේ දස සංඥා ටික ඔබ ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුන් වහන්සේට කියලා දෙන්න. මේ දස සංඥා උන් වහන්සේටත් දේශනා කරන්න. මේ දස සංඥා ශ්රවණය කරන උන් වහන්සේගේ අබාධය සුව අතට හැරෙයි කියලා. ආනන්ද තෙරුන් වහන්සේ ඒ දස සංඥාවන් ඉගෙන ගත්තා. ඒ දස සංඥාවන් භාග්යවතුන් වහන්සේ හමුවෙහි දරා ගත්තා. භාග්යවතුන් වහන්සේ හමුවෙහි දරා ගත් ඒ දස සංඥාවන් පසුව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ප්රකාශ කළා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඒ දස සංඥා ශ්රවණය කරලා ඒ පිළිබඳව මනසිකාරය පවත්වලා රෝගාතුර භාවයෙන් ඒ ධර්ම ප්රීතිය හේතු කර ගෙන අත් මිදුණා. නැවත ඒ ආබාධය නොහට ගන්න තත්වයට පත් වුණා.

ගිරිමානන්ද සූත්ර දේශනාව අපේ බෞද්ධයින් අතර නිතර ම පරිභාවිත සුත්රයක්. බොහෝ දෙනෙකුට පාඩම් ඇති සූත්ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්රය. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අරමුණු කර ගෙන භාග්යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළ මේ සූත්ර දේශනාවේ එන දස සංඥාවන් පිළිබඳව අපි ටිකක් විමසා බැලීම ඉතා ම වැදගත් වෙනවා. ඒ මොකද? මේ දස සංඥාවන් තුළින් අපිට තේරුම් ගන්නට තියෙන්නේ අපේ භාවනා ප්රතිපදාව පිළිබඳව නිසා .

‼️භාවනාවට පෙර තිබිය යුතු දේවල්‼️

බොහෝ දෙනෙක් අද ලෝකය තුළ විවිධ ආකාරයෙන් උත්සාහවත් වෙනවා භාවනා කරන්නට. භාවනා කරන්නට බොහෝ දෙනෙක් උත්සාහවත් වුණත් ඒ භාවනාව කුමන තැනක් දක්වා කුමන ආකාරයකින් සිදු කර ගත යුතු යැයි ද කියන දැක්මක් බොහෝ දෙනෙකුට දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එනිසා ම ඇතැම් විට බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් පරිබාහිරයට ගිහිල්ලා භාවනා තුළ ඇතැම් අය නියැලෙනවා. ඒ නිසා ම ඇතැම් අය නොයෙක් මානසික විකෘති තත්වයන් පවා ඇති කර ගන්නවා භාවනාව පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. කෙනෙක් භාවනාවක නියැලෙන්නට කලින් ඔහු ඇති කර ගත යුතු ධර්මයන් තියෙනවා.

ඒ තමයි පළවෙනියට ම ඔහු මනා කල්යාණ මිත්ර සම්පත්තිය ලබා ගත්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. කල්යාණ මිත්ර සම්පත්තිය කියලා කියන කොට තමන්ගේ දැනුම කියා පාන පිරිසකට වඩා භාග්යවතුන් වහන්සේගේ දේශනාව ඉස්මතු කරන කෙනෙක් අපි තෝරා ගන්නට අවශ්යයි. ඒකට හේතුව තමයි භාග්යවතුන් වහන්සේගේ දේශනාව නොවී තම තමන්ට ලැබුණු දේවල් සහ තම තමන්ගේ අත්දැකීම් ප්රකාශ කරන්නට පටන් ගත්තොත් එය නිවැරදිව ධර්ම විනයානුකූලව ගළපා ගැනීමට ශ්රාවකයාට නොහැකි වෙනවා. අප යා යුත්තේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මග මිසක ඊට මෙහා තවත් පුද්ගලයෙකු විසින් අනුගමනය කරන ලද ක්රමවේදයක නෙමෙයි.

ඒ නිසා බුද්ධ භාෂිතය පිළිබඳව හොඳ පරිචයක් අපිට තියෙන්නට අවශ්ය නිසා ම, භාවනාවකට පෙරාතුව ම අපට තියෙන්නට අවශ්ය ම දේ තමයි කල්යාණ මිත්ර සම්පත්තිය කියලා කියන්නේ.
තමාත් කල්යාණ මිත්රයෙකු වීම,
තමන් කලණ මිතුරන් සහය කොට ඇති බව,
තමාත් කලණ මිතුරන් කෙරෙහි නැමුණු බව,

එනම් “කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො” ආදී වශයෙන් දක්වන ගති ගුණයන්ගෙන් ඒ කල්යාණ මිත්ර ආශ්රය අර්ථ පූර්ණ කර ගත්ත දෙයක් බවට පත් කර ගන්නට අවශ්යයි. කල්යාණ මිත්රයන් ඉන්නවා විතරක් නෙමෙයි. ඒ අය තමන්ට සහය කොට පවත්වා ගන්නවා. තමන්ට සහය කොට තියා ගන්නවා විතරක් ම නෙමෙයි "කල්යාණ මිත්ර සම්පවඞ්කතා" කියන තමාත් කල්යාණ මිත්රයන් කෙරෙහි නැමුණු බවත් තියෙන්න ඕනේ.

මෙන්න මේ ගති ටිකෙන් සම්පුර්ණ වෙලා නම් එයාට කල්යාණ මිත්ර ආශ්රය තුළින් ලැබෙන්නට ඕනේ පරතොගොෂ ප්රත්ය. ඒ කියන්නේ තව කෙනෙකු විසින් ධර්මය කියා දීම තුළින් තමන් ලබන ධර්මය පිළිබඳව අනුමාන ඥානයක් එනම් සුතමය ඥානයක් ලබන්නට පුළුවන්කම තියෙනවා.
සුතමය ඥානයක් ලැබුවට පස්සේ තමන් දන්නවා,

🔆 ‘පරිඤ්ඤෙය්ය ධර්ම’ කියන්නේ මොනව ද කියලා. ඒ කියන්නේ පිරිසිඳ දැකිය යුත්තේ කුමන ධර්මයන් ද?

🔆 ‘පහාතබ්බ ධර්ම’ කියන්නේ මොනව ද? එනම් ප්රහාණය කළ යුතු ධර්ම කියන්නේ මොනව ද කියලා ඔහු හඳුනා ගන්නවා.

🔆 ‘සච්ජිකාතබ්බ ධර්ම’ - එනම් සාක්ෂාත් කළ යුතු ධර්ම කියලා කියන්නේ මොනව ද?

🔆 ‘භාවෙතබ්බ ධම්ම’ - වැඩිය යුතු ධර්ම කියන්නේ මොනව ද කියලා ඔහු හඳුනා ගන්නවා.

මේ කරුණු කාරණා නිරවුල් නොවුණොත්, එනම් ඔහු පරිඤ්ඤෙය්ය ධර්ම පහාතබ්බ ධර්ම හැටියට හඳුනා ගත්තොත්, ඔහු ප්රතිපදාව වරදවා ගත්තෙක් වෙනවා. ඒ කියන්නේ අපි නුවණින් පිරිසිඳ දකින්නට ඕනේ දේ ප්රහාණය කළ යුතු යැයි හිතුවොත් එහෙම, එතකොට අන්න ඒ කෙනාට කොයි වෙලාවකවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ, නුවණ පාවිච්චි කරලා ඒ මාර්ගයේ නිවැරදිව ගමන් කරන්නට.

ඒ නිසා නුවණින් දැක්ක යුතු දේ නුවණින් දැක්ක යුතුයි. ප්රහාණය කළ යුතු ධර්මය ප්රහාණය කළ යුතුයි. සාක්ෂාත් කළ යුතු එනම් අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කළ යුතුයි. ඒ වගේ ම වැඩිය යුතු ධර්මයන් වැඩිය යුතුයි. මේ කාරණා ටික එනම් සුතමය ඥානය සම්පුර්ණ වෙන්නට ඕනේ කල්යාණ මිත්ර ආශ්රය තුළින්. කල්යාණ මිත්රයෙක් කවදාවත් අපිව බුද්ධ භාෂිතයෙන් පිටතට අරගෙන යන්නේ නැහැ. බුද්ධ භාෂිතය තුළ ඉඳලා අපිට කරුණු කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉස්මතු කොට දක්වනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගැළපෙන දෙයක් ම, අනුරූපී වූ දෙයක් ම කතා කරනවා.

අන්න ඒ විදිහට අපිට බුද්ධ භාෂිතය තුළ කරුණු කාරණා කියා දෙන සත්පුරුෂයෙක්ව/කල්යාණ මිත්රයෙක්ව තෝරා ගෙන ප්රතිපදාවට අවශ්ය කරුණු කාරණා අනුමාන ඥානයක් සුතමය ඥානය තුළින් ලබා ගත්ත කෙනෙකුට, තමන්ගේ ජීවිතය දැන් ඒ භාවනා මාර්ගය තුළ ප්රවේශ කරන්නට සුදුසු මට්ටමක ඉන්නවා. ඔහු කාය විවේකය සලසා ගැනීම සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කරනවා. ඒ කෙනා දන්නවා දැන්

🙋🏻‍♂️භාවනා කරන්නේ ඇයි
🙋🏻‍♂️කොයි තැන දක්වා භාවනා කළ යුතු ද
🙋🏻‍♂️මොන මොන භාවනා ද සිද්ධ කළ යුත්තේ
🙋🏻‍♂️ඒවා සිද්ධ කරන්නේ කුමන ආකාරයකට ද

කියන කරුණු කාරණා සුතමය ඥානය තුළින් ඔහු සම්පුර්ණ කර ගෙන ඉන්නවා. ඒ නිසා භාවනා කිරීම කියන එක පිළිබඳව අප පෝෂණය විය යුතු, අප පෝෂණය ලබා ගත යුතු බොහෝ තැන් රාශියක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එහෙමත් නැති නම් අපි නිකන් ම ඉඳගෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්වයෝ නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කොතෙකුත් හිතමින් හිටියා කියලා කිව්වත්, ඒ හිතමින් හිටපු හිත නිසා නිර්වාණාවබෝධයක් සිද්ධ කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

ආශ්වාස ප්රශ්වාසය පිළිබඳව අපි කොතෙක් සිහිය පිහිටවා ගෙන හිටියත් අප නුවණ භාවිත කළ යුතු ආකාරය දන්නේ නැත්නම්, කොයි තැන දක්වා මෙය වැඩිය යුතු ද කියන දේ තමන් දන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට එය භාවිත කරන්නට ඔහුට පුළුවන්කමක් නැහැ. ඒ ඉලක්කය සාධනය කර ගන්නට ඔහුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අන්න ඒ ඉලක්කය සාධනය වන ආකාරයට තමන් භාවනා කරන්නට අවශ්ය නම් ඔහු ඒ සඳහා හොඳට ධර්ම විනයානුකූලව කරුණු කාරණා විනිශ්චය කර ගන්නට අවශ්යයි.

‼️ඔබ කරන භාවනාව බෞද්ධ භාවනාවක් ද?‼️

ඇයි අපි භාවනා කරන්නේ, අපි කරන්නා වූ භාවනාව කුමන ආකාර වූ භාවනාවක් ද කියන කරුණු පිළිබඳව මූලිකව ම ඔබේ අවධානය යොමුව තිබිය යුතුයි. භාවනා කිරීමේ අරමුණු කෙන කෙනාට විවිධ වෙන්නට පුළුවන්. ඇතැම් කෙනෙක් කරන භාවනාව මේ සාසනයට අනන්ය නොවූ, මේ සාසනයේ ලක්ෂණවලින් යුක්ත වූවක් නෙමෙයි. ඇතැම් වෙලාවට භාවනාව තුළ ලබන්නට පුළුවන් මානසික සුවතාවය පමණක් සලකා ගෙන කෙනෙක් භාවනා කරනවා. විශේෂයෙන් ම විදේශීය රටවල සමහර අය භාවනා කරනවා ඔවුන් සිහිය ප්රගුණ කරන්නට ප්රධාන වෑයමක් දරනවා. ප්රධාන ස්ථානයක් සිහියට ලබා දෙනවා. ඉතින් ඒ කරන භාවනාව ඇත්තට ම බෞද්ධ භාවනාවක් නෙමෙයි.

බෞද්ධ භාවනාවක් නෙමෙයි කියන එකෙන් අදහස් කරන්නේ, ඒ භාවනා අපේ බුදු දහම තුළින් ලබා ගත්ත ආභාසයන් වුව ද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තුළ දැක්වෙන ක්රමවේදයන් ඔක්කොම ඉවත් කරලා තාවකාලික මානසික සුවතාවය සලසා ගැනීම සඳහා පමණක් අවශ්ය වන කොටසක් විතරක් අරගෙන සකසා ගත්ත දෙයක් හේතුවෙන්. අපි අද භාවනා කරන්නේ මානසික සුවතාවය සඳහා පමණක් නම් අපේ අභිලාසය ඒ අනුව තමයි එහෙම වුණොත් අපේ භාවනාව සකස් වෙන්නට ඕනේ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය ම නෙමෙයි. ඒකට හේතුව තමයි තාවකාලික දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය තුළින් ලැබෙන ඵලය. බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ස්ථිර ලෙස සියලු කෙලෙස් ධර්මයන් නසා ලබන මානසික තෘප්තියක්, මානසික සුවයක් පිළිබඳව. නැතිනම් කෙලෙස් තාවකාලිකව යටපත් කොට කෙලෙස් ඉතිරිව තිබිය දී ලබන විමුක්තියක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ.

බොහෝ දෙනෙක් භාවනා කළාට භාවනාව තුළින් බලාපොරොත්තු වන අර්ථය බවට පත් වෙලා තියෙන්නේ චිත්ත ඒකාග්රතාවය පමණයි. ඒකෙන් අදහස් කරන්නේ තමන්ගේ ජීවිතේ විවිධ අරමුණුවල විසිරී පවතින සිත එකතු කර ගැනීම පමණක් ම භාවනාව හැටියට දකින පිරිසක් අපේ සමාජයේ බොහෝ දකින්න පුළුවන්කම තියෙනවා. ඇත්තට ම අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව විමසා බැලීමේ දී අපිට දකින්නට පුළුවන් ප්රධාන ම දේ තමයි අපි භාවනාව විදිහට හඳුනා ගන්නට ඕනේ අපි පවත්වන යෝනිසෝ මනසිකාරය. එහෙමත් නැතිනම් දහම් මනසිකාරය.

ඒ යෝනිසෝමනසිකාරය අදාළ වෙන්නේ අපි ජීවිතේ එක අවස්ථාවක හුදු චිත්ත එකාග්රතාවයක් ගොඩ නගා ගැනීම කියන තැන ඉලක්ක කර ගෙන පමණක් නෙමෙයි. භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ නිවන ඉලක්ක ගත කර ගෙන. ඒ නිවන ඉලක්ක ගත කර ගෙන අපට දේශනා කළ ධර්මය අපි අනුගමනය කරන්නට ඕනේ එය සාක්ෂාත් වෙන මාවතක ප්රවේශයක් සහිතව. ඒ කියන්නේ නිවන අවබෝධ කරන්නට පුළුවන් මාර්ගයකට තමයි අපි ප්රවිෂ්ට වෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපි යන පාර කොහෙට ගිහිල්ලා වැටෙයි ද කියලා අපි දන්නෙත් නැති වෙනවා.

බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කොටත් ධ්යාන භාවනාවන් ලෝකේ තිබුණා නේ. ධ්යාන ලාභී තාපසවරු හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු වූ ධ්යාන ලාභී තත්වයක් උපදව ගන්නට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධ්යාන පිළිබඳව දේශනා කළේ නැහැයි කියලා ඒකෙන් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධ්යාන පිළිබඳව දේශනා කළා. ධ්යාන සංයුක්තයක් තියෙනවා. ධ්යාන විභංගයක් තියෙනවා. මේ විදිහට ධ්යාන පිළිබඳව දැක්වෙන බොහෝ තැන් අපිට ත්රිපිටකයේ දකින්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ ධ්යාන වඩන හැටි පිළිබඳව කරපු දේශනාවන්.

හැබැයි මේ සාසනයේ ධ්යානයක් සහ බාහිර සාසනයේ ධ්යානයක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අන්න ඒකයි අපිට මෙතන දී වැදගත් වෙන්නේ. ඒකයි භාවනාවේ අරමුණ අපි තේරුම් ගත යුතු වෙන්නේ.

මේ සාසනයේ භාවනාවක් සහ බාහිර සාසනයක භාවනක් අතර පැහැදිලිව ම පරමාර්ථයේ වෙනසක් තියෙනවා. මේ සාසනයේ භාවනා කරන කෙනෙක් භාවනාවක් දියුණු කරන්නේ වොස්සග්ග පරිණාමීව කොට. ඒ කියන්නේ නිවනට නැඹුරු වූවක් කොට ගෙන. බාහිර සාසනයක කෙනෙක් වොස්සග්ග පරිණාමීව කරන භාවනාවක් සිද්ධ කරන්නේ නැහැ. ඔවුන් භාවනා කළත් ඔවුන් සිද්ධ කරන්නේ චිත්ත ඒකාග්රතාවය මූලික කර ගත්ත දෙයක් හැටියට පමණයි. ඒ තුළින් කෙලෙස් යටපත් කළ හැකි නමුත් කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්රහාණයකට ඒ කියන්නේ සියලුම මුල් සහිතව දුරු කිරීමකට ලක් කළ නොහැකියි.

නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ක්රම වේදය තුළින් අපට පුළුවන්කම තියෙනවා සියලු කෙලෙස් ධර්මයන් මුල් සහිතව දුරලන්නට. ඒක තමයි වොස්සග්ග පරිණාමව කරන භාවනාවක තියෙන වෙනස්කම. ඒ නිසා මේ සාසනයේ ධ්යානයකුත් බාහිර සාසනයේ ධ්යානයකුත් වෙනස් වෙනවා. මේ සාසනයේ ධ්යාන වඩන කෙනා ඒ ධ්යානය වඩන්නේ ඒ තුළ මුලාවට පත් වීම සඳහා නෙමෙයි. ඔහුට දැක්මක් තියෙනවා. ඔහුට දර්ශනයක් තියෙනවා. ඔහු ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගන්නට යන කෙනෙක්. එයා ධ්යානය තුළ මුලාවට පත් වෙන්නේ නැහැ. හැබැයි බාහිර සාසනයේ කෙනා ධ්යානය තුළ, ධ්යාන සමාපත්තිය තුළ මුලාවට පත් වෙනවා. මේ සාසනේ කෙනාගේ දර්ශනය නිසා ඔහු ඒ තුළ මුලාවට පත් වෙන්නේ නැහැ.

ඒ නිසා එහෙනම් අපේ දැක්ම පිරිසිදුව තියා ගන්නට අවශ්යයි. ඒ දර්ශනය පිරිසිදු නැති වුණොත් අපිට සිද්ධ වෙනවා මේ සාසනයේ සහ බාහිර සාසනයක තියෙන භාවනාවක, ධ්යාන මගක වෙනස නොදැන ඒ තුළ අතරමං වෙන්නට. අන්න ඒ නිසා මේ සාසනයේ දැක්ම ප්රධාන වෙනවා. එනිසා දර්ශනය අනුමාන ඥානයක් වශයෙන් හෝ ඔබ ළඟ තියෙන්නට ඕනේ. ඒ අනුමාන ඥානය තුළ තමයි ඔබට ප්රත්යක්ෂය කරා පිය නගන්නට පුළුවන්කම තියෙන්නේ. ඔබ අනුමාන වශයෙන් කල්යාණ මිත්ර ආශ්රය තුළින් දැන ගත්ත ඒ දර්ශනය සාක්ෂාත් කිරීම සඳහා තමයි දැන් ඔබ ඔබේ භුමිය සකස් කර ගන්නේ. අන්න එතකොට තමයි ඔබේ ජීවිතයට භාවනාව අවශ්ය වෙන්නේ. ඔබ අනුමාන වශයෙන් අහලා දැන ගත්තා නිවීම උරුම කර ගන්නට නම් ඔබට නිමිති අනුනිමිතිත් එක්ක විසිරුණු මනසක් තියා ගෙන එය කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කියලා.

අන්න ඒ සඳහා ඔබට අවශ්යයි නිමිති අනු නිමිති සහිතව යන මනසිකාරයන්ගෙන් වෙන්ව ඔබේ හිත සංවර කර ගන්නට. ඔබේ හිත සංවර කර ගන්නට අවශ්ය වන ඒ මනසිකාරය ඔබට ඉතා ම වැදගත්ව පාවිච්චි කරන්නට පුළුවන් අවස්ථා දෙකක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි:
1️⃣ සමථය
2️⃣ විපස්සනාව

සමථය තුළින් ප්රධාන වශයෙන් චිත්ත ඒකාග්රතාවය ඇති කරනවා. ඒ කියන්නේ බාහිර නිමිති අනු නිමිති ගහනව තියෙන මනසිකාරයන් ඔබට පුළුවන්කම තියෙනවා සමථ නිමිතිවලින් යටපත් කොට දමන්නට. ඒ වගේ ම විපස්සනාව තුළින් ඔබට පුළුවන්කම තිබෙනවා ප්රඥාව අවදි කරලා ප්රඥාව තුළින් කෙලෙස් ධර්මයන් ප්රහාණය කරන්නට. එක්කෝ කෙනෙක් සමථය මූලික කර ගෙන පසුව විපස්සනාවට එළඹෙනවා. ඒකට කියනවා “සමථ පුබ්බංගම විපස්සනාව” කියලා. තව කෙනෙක් විපස්සනාව මූලික කර ගෙන යන ගමන් ම සමථයත් දියුණු කර ගන්නවා. අපි ඒක හඳුන්වනවා විපස්සනා පුබ්බංගම සමථ” කියලා. ඒ වගේ ම සමථය සහ විපස්සනාව කියන දෙක ම යුගනද්ධව එනම් එකට භාවිත කරන්න පුළුවන්කම ද තියෙනවා.

මෙන්න මේ ආකාරයට අපේ භාවනා ප්රතිපදාව අපි සකස් කර ගැනීම ගැන මුලික අවබෝධයක් කල්යාණ මිත්ර ආශ්රය තුළින් අපි ලබා ගෙන තියෙන්නට ඕනේ. ඒ සඳහා ඉතා ම වැදගත් සූත්ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්ර දේශනාව. ඒකට හේතුව තමයි අපි දියුණු කළ යුතු, වැඩිය යුතු සංඥා දහයක් පිළිබඳව තමයි මේ සූත්රය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි හඳුනන විදිහටනේ ලෝකය තුළ අපි දැන ගන්නේ. ඒ නිසා අපේ සංඥාව මෙතන දී ප්රධානයි. දස සංඥාවක් ගැන පෙන්නන කොට අපිට හම්බෙන පළවෙනි සංඥාව තමයි අනිච්ච සඤ්ඤා කියලා කියන්නේ. ඒ නිසා අපි ටිකක් විමසා බලමු අද දවසේ දී මේ පළවෙනි සඤ්ඤාව වන අනිච්ච සඤ්ඤාව කියන්නේ මොකක් ද කියලා.

මතු සම්බන්ධයි❗️

✳️ හිරු රූපවාහිනී නාළිකාවේ සමාජ සංගායනා ධර්ම වැඩසටහනේ 2021-02-28 දින පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් පවත්වන ලද පළමු ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.

මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු  උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!

Post a Comment

0 Comments