පලමු දේශනාව:10
සප්පච්චයං‘ කියලා කියනකොට, රූපය ප්‍රත්‍ය සහිත වූවක්. මොකක්ද ප්‍රත්‍යය? රූපය, ආහාර ප්‍රත්‍යයෙන් උපද්දන දෙයක්. ඒ වගේම රූපය සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් උපදින දෙයක්.
අපි මුලින්ම කතා කළා, ‘චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං‘, රූපය කියන එක සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා පවත්නා රූපය කියලා. මේක තමයි රූපස්කන්ධයේ ස‍්වභාවය. මේ ටික තමයි රූපයට, හැම වේලාවකදීම, ප්‍රත්‍ය වෙන ධර්‍මතා ටික. ඒ වගේම ආහාර ප්‍රත්‍යය තමයි රූපයට තියෙන අනිත් ප්‍රත්‍යය.
ආහාර ප්‍රත්‍යය කියලා කිව්වේ, සතර ආහාරයක් තියෙනවා, කබලිංකාර ආහාර, ඵස්සාහාර, මනෝ සංචේතනාහාර, විඤ්ඤාණ ආහාරකියලා. කබලිංකාර ආහාරය කියලා කියන්නේ කැබලිකොට ගන්නා ආහාරය. මේ කබලිංකාර ආහාරය, අපට විතරක් සාධාරණ නෙවෙයි, බත්, පාන්, මුං ඇට කියන ඒවා විතරක් නෙවෙයි, ඕජට්ඨමකං රූප කලාපං ආහාරඨීතී ආහාරෝ. ඕජාව අටවෙනිකොට ඇති රූප කලාප ගේන නිසා, ආහාරය කියලා කියන්නේ. කබලිංකාර ආහාරය කියලා කියන්නේ අද අපි ගන්නා ආහාරය නම් ඕජාමය ස‍්වභාවය.
මේ රූප කලාප සකස්කරන්න, ආයතන ටික උපද්දවන්න, අපි ගන්නා ආහාරයේ හේතුවෙන ඕජාමය ගතියක් තියෙනවා. නැතිනම් මේ රූපවල ඇත්තේ නැහැ එක් එක් ආයතන හදන්න වෙන වෙනම ආහාර. අපි පොදුවේ ආහාර ගන්නවා. ආහාර ගන්නාකොට, මේකේ ඕජාමය ස‍්වභාවය උපකාර කරගෙන, ආයතන ටික හදලා දෙනවා.
එතකොට, ඒ කබලිංකාර ආහාර කියන එක පොදුවේ ප්‍රත්‍යවෙලා තියෙනවා ආයතන ටික හදන්න.
දෙවියෙක් වගේ කෙනෙකුගේ රූපය ගත්තොත්, එයාගේ ස‍්වභාවයේ කබලිංකාර ආහාරය කෙලින්ම ඕජාමය ස‍්වභාවයම ගන්න පුළුවන්කම තියෙනවා.
අපි ටිකක් දුප්පත් නිසා, අපට තියෙන මැෂින් එක ටිකක් රළු නිසා, අපට අවශ්‍ය ඕජාව ගන්න රළු වශයෙන් ආහාර දාලා, රොඩු අයින්කරලා ගන්න වෙලා තියෙන්නේ. නමුත් දෙවියන්ට මීට වඩා පහසුවෙන් ඕජාව ගන්න පුළුවන් හේතු ටික තිබුනා. ඒ නිසා ඒ අයට පුළුවන් ඕජාමය ස‍්වභාවයෙන් යැපෙන්න.
මේ ලෝකයේ රූපය කියන එකේ පැවැත්ම තියෙන්නේ, කබලිංකාරාහාරය කියන එකේ.
අපි කිව්වොත්, අපි කන බොන ආහාරයක් නිසා, මේ කය සකස්වෙලා තියෙනවා. කොටියෙක් වගේ සතෙක් මේ කයේ කෑල්ලක් කඩාගෙන කෑවොත්, එයාගේ කයේ මේ වගේ අත පය වගේ රූප හැදෙන්නේ නැහැ. ඒක එයාට කබලිංකාර ආහාරයක් වෙලා, එතන ඕජාව සකස්කරලා එතන ආයතන ටිකයි සකස් කරගන්නේ.
මේ ලෝකයේ යම්තාක් රූප ගැන අපි කතාකරනවා නම්, මෙතන පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි, ඕජාමය ස‍්වභාවය කියන එක, බාහිර භෞතික රූපය පැත්තෙන් කතා කරනවා. ඒ වගේම ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට, මෙතන ගන්න විශේෂම අර්‍ථය තමයි, ආහාරය ප්‍රත්‍ය වෙන්නේ අපේ ආයතන ටික හදන්න කියන එක.
ආයතන ටිකෙන් තොරව කවදාවත් රූපයේ පැවැත්මක් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා, ඇහැ ඇති කල්හියි වර්‍ණ රූපය ගැන කතාකරන්නේ. කන ඇති කල්හියි ශබ්ද රූපය ගැන කතාකරන්නේ. නාසය ඇති කල්හියි ගන්ධ රූපය ගැන කතාකරන්නේ. දිව ඇති කල්හියි රස රූපය ගැන කතාකරන්නේ. කය ඇති කල්හියි පොට්ඨබ්බ රූපය ගැන කතාකරන්නේ.
එතකොට, ඒ ඒ රූප ධර්‍මතා ටික ඇති කල්හි තමයි අපි කතා කරන්නේ, මේ ආහාර ප්‍රත්‍ය පිළිබඳව, ඒ ඒ ආයතන ටික හදන පැත්තෙන්. මොකද, ඇස කන නාසය දිව ශරීරය කියන ටිකෙන් තමයි අපට රූපය නියෝජනය කරලා තියෙන්නේ. ඔය ටික නැත්නම් අපට රූපය නියෝජනය කරන්න වෙන ආයතනයක් නැහැ.
ඔය ආයතන ටික හැදුවේ ආහාර ප්‍රත්‍යයෙන් නම්, කෙනා කෙනාට සාපේක්‍ෂව, තිරිසන්ගත සත්ත්වයෙක් නම් එතන ආයතන ටික හදන පැත්ත, නිරයක අපාගත සත්ත්වයෙක් නම් එයාගේ ආයතන ටික හදන පැත්ත, මේ හැම ආයතනයක්ම හදලා තියෙන්නේ කබලිංකාර ආහාර ප්‍රත්‍යයෙන්. ඒ නිසා රූපය කියන එකට කිව්වා, ‘සප්පච්චයං‘, ප්‍රත්‍ය සහිත වූවක් කියලා.
ප්‍රත්‍ය ධර්‍මතා ඇතිකල්හියි, රූපය. එතකොට ප්‍රත්‍ය කාරණා දෙකකින් කතාකළා. එකක් තමයි, පඨවී ආපො තෙජො වායො කියන සතර මහා ධාතු සමවායෙන්, සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් භෞතික රූපය හදලා දෙනවා.
ඒ වගේම, ආහාර ප්‍රත්‍යයෙන් රූපය හදලා දෙනවා කියන එක ඊට වැඩිය බොහොම ගැඹුරින් කතා කරන්නේ, කබලිංකාර ආහාර ප්‍රත්‍යය දෙකක් යොදාගෙන කතා කරනවා. කබලිංකාර ආහාරයෙන් මිදුනු රූපයක් ලෝකේ නැහැ. ඒක එක පැත්තක්. ඒ වගේම, හැම වේලාවකදීම, ආයතන ටික හදලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආයතන ටික සකස්කරපු නිසා, ආයතන ටික ඇතිකල්හියි රූපය ගැන කතාකරන්න පුළුවන්කම තියෙන්නේ, කෙනා කෙනාගේ පැත්තෙන්. එතකොට, ඒ රූපයත් කබලිංකාර ආහාර ප්‍රත්‍යය ඇති කල්හියි හදලා තියෙන්නේ කියලා.එතකොට, තනි වචනයෙන් කියනවා ‘සබ්බං රූපං සප්පච්චයං‘ කියලා.
අද දවසේ අපි කතා කළා, සියළුම රූපය ‘න හේතු, අහේතුකං, හේතු විප්‍රයුක්තං, සප්පච්චයං‘ කියන ඔන්න ඔය කාරණා 4. ඔය කාරණා 4, අපේ ජීවිතයේ ආශ්‍රව යෙදෙන තවත් එක පාඩමක් නො වෙන විදියට, අපේ ජීවිතයේ යෙදිලා තියෙන්න අවශ්‍යයි.
එතකොට, අභිධර්‍මය ඉගෙනගත්ත තවත් එක පුද්ගලයෙක් ලෝකෙට බිහිවෙලා නෙවෙයි, කෙනා කෙනාගේ ජීවිතයේ කෙනා කෙනාගේ පැත්තෙන්, ආශ්‍රව ඇතිකරගත්ත හැටිත්, ආශ්‍රව ධර්‍මතා ටික දුරුකරගන්න නම්, නාම රූප පරිච්ඡේදයක් තුළ කොහොමද ඒක කරගන්නේ කියන මේ දර්‍ශනයත්, අපට ඇවිල්ලා තියෙන්න ඕන සංක්‍ෂිප්ත වශයෙන්ම, මේ කාරණා ටික මේ විදියට සාකච්ඡා කිරීම තුළ.
අද දවසේදී, අපි මේ කතාකරගත්ත සියළු දැක්ම, සියළු දර්‍ශනයත් අප හැම දෙනාටම උතුම් වූ නිවනින් සැනසීම පිණිසම චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මය අවබෝධ කරගැනීම පිණීසම හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්‍ථනා කරනවා.
ඒ වගේම, මේ සිදුකරගත් සියළු කුසලයන් අපි මේ වෙලාවේදී, අනුමෝදන් කළයුතු අයට අනුමෝදන් කරමු.
පළමුවෙන් අපට අර්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කරන අපේ ධර්‍මාචාර්‍ය්‍ය, අවසරයි මාන්කඩවල සුදස්සන ස‍්වාමීන්වහන්සේටත්, මාන්කඩවල නන්දරතන ස‍්වාමීන්වහන්සේටත්, ස‍්වාමීන්වහන්සේලා දෙනමටම, මේ උතුම් කුසලය, ප්‍රාර්‍ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්‍ථනාව සිද්ධකරනවා.
සැම දෙනාටම තෙරුවන්සරණයි!
තෙරුවන් සරණයි...!!!
මෙම ලිපියෙන් දේශණාව නිමා වේ.
0 Comments