විභජ්ජවාද
පලමු දේශනාව:9
ඊළඟ කාරණාව, ‘සබ්බං රූපං සප්පච්චයං‘. ප්‍රත්‍ය සහිත වූවක්. ප්‍රත්‍ය සහිතයි කියලා කියන්නේ, සියළුම රූපය, ප්‍රත්‍ය ධර්‍මතා ටික යෙදුනු, ප්‍රත්‍යයන්ගෙන් උපද්දපු දෙයක්. අහේතුක අප්‍රත්‍ය ධර්‍මයක් එහෙම නෙවෙයි.
හේතු සහ ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් තියෙනවා. අපි එකට කතා කළාට හේතු ප්‍රත්‍ය කියලා, හේතුවත් එක ප්‍රත්‍යයක් පමණයි.
හේතුව, හැම වේලාවකදීම, ස‍්වජාතිකයි, ඒ වගේම සාධාරණයි. හේතුව ස‍්වජාතිකයි කියලා කිව්වේ, හේතුවට පුළුවන්කම තියෙන්නේ, හැම වේලාවකදීම, ස‍්වජාතික ධර්‍මයක් ඇතිකරන්න. කොහොඹ ඇටයකට පුළුවන්කම තියෙන්නේ, තවත් එක කොහොඹ ගහක් හදලා දෙන එක කරන්න පමණයි. කොහොඹ ඇටේ හේතුයි, කොහොඹ ඇටේ හේතුවෙන් කොහොඹ ගහක් හැදුනා. ඒක නිසා හේතුවට කිව්වා ස‍්වජාතික ධර්‍මයක් කියලා.
ඒ වගේම හේතුව, සාධාරණයි කියලා කිව්වා. හේතුව සාධාරණ තමන්ගේ ධර්‍මතාවයට. කොහොඹ බීජය සාධාරණයි කොහොඹ ගහක්ම හදන්න. කොහොඹ පරම්පරාවකට සාධාරණයි.
හැබැයි ප්‍රත්‍ය කියන එක ඊට වැඩිය වෙනස්. ප්‍රත්‍ය අන්‍ය ජාතිකයි. තමන්ගේ ජාතියට විතරක් නෙවෙයි, හැම තැනටම සමසේ උපකාර කරනවා. ඒ වගේම අසාධාරණයි. එකකට විතරක් සාධාරණ නැහැ. සතර මහා ධාතුව ගත්තොත්, නැතිනම් උදාහරණයක් කිව්වොත්, කොහොඹ බීජයක් වැඩෙන්න, පොලවේ තියෙන පස් ටික ඒ වගේම ජල ගතිය, වාතය, උණුසුම කියන මේ ධර්‍මතාටික සමානව උපකාර කරලා තියෙනවා. ඒ වගේම පොළවේ රෝපනය කරපු පොල් ගහක්, නුග ගහක් හැදෙන්නත්, ඒ පස්, දිය, ගිනි, සුළං කියන මේ ධර්‍මතා ටිකම උපකාරකරලා තියෙනවා. පස්, දිය, ගිනි, සුළං කියන ටිකේ තිබුනේ නැහැ කොහොඹ විතරයි හදන්නේ කියන ගතිය. ඒ ගතිය තිබුනේ කොහොඹ බීජයේ. ඒ නිසා, කොහොඹ බීජය හේතුව කියලා කිව්වා. පස්, දිය, ගිනි, සුළං කියන මේ ටිකට කිව්වා ප්‍රත්‍ය කියලා.
ප්‍රත්‍ය, පොදුවේ කොහොඹ ගහටත්, ඒ වගේම පොල් ගහටත් සාධාරනව උපකාර කරලා තියෙනවා. ඒක තමයි ප්‍රත්‍යයේ තියෙන ස‍්වභාවය. ඒ වගේම අසාධාරණයි. එකකට විතරක් සාධාරණව කරන්නේ නැහැ. අසාධාරණව, හැම දේකටම පොදුවේ උපකාර කරනවා.
ඒ නිසා, හේතු සහ ප්‍රත්‍ය කියන කාරණා දෙකක් තියෙනවා.
මතු සම්බන්ධයි...
තෙරුවන් සරණයි...!!!
0 Comments