පලමු දේශනාව:8
එතකොට, නාම රූප පරිච්ඡේදයක් කියලා කිව්වේ, හැම වේලාවකදීම, නාම රූප දෙක වෙන්වෙලා පෙනෙන කමට, පෙනෙන ගතියට. අපට දැන් මේ කාරණාව තුළ හොඳට පේන්න ඕන, නාම රූප දෙක වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියන එක.
මෙහේ, තම තමන්ගේ චිත්ත සන්තාන තුළ ඇතිකරගන්න හේතු ටික, අද අපේ දර්‍ශනය වෙලා තියෙන්නේ, දැක්ම වෙලා තියෙන්නේ, මිච්ඡා මට්ටමක. මොකක්ද මිච්ඡා මට්ටම? රූපය පැත්තට පතිත කරලා බලන ගතිය. හිතේ ඇතිවෙන ලෝභ සහගත චේතනාව, ඒ චේතනාව ඇති කරගන්නේ තමන්ගේම හිතෙන් හිතපු හඳුනන කමක් ගැන, දැනගත්ත කමක් ගැන. තමන්ගේ හිතම විඳලා, තමන්ගේ හිත ගැනම හිතලා දැනගත්ත කාරණාවට ඇතිකරගත්ත ලෝභ කියන හේතුව, ඇලෙන හේතුව, අපි දකින්නේ ඉතුරු නැතුව අනිත්‍යවුනු රූපස්කන්ධය පැත්තට දාලා. අපට පේන්නේ, අපි රූපෙට කැමතියි කියලා. අපි කිසිම කලෙක රූපෙට නෙවෙයි බලනකොට කැමතිවුනේ. මොකද, ඒ වෙනකොටත්, රූපය ඉතුරු නැතුව අනිත්‍යවෙලා ගියපු නිසා.
ඇහැ ඇතිකල්හිමයි රූපය ඇතිවෙන්නේ. රූපය ඇති කල්හිමයි ඇහැ ගැන කතාකරන්නේ. එතකොට, ඇහැ ඒ මොහොතේම වැය වෙලා නම්, ඇහැට පතිතවුනු අනාත්මවුනු වර්‍ණ සටහන, නැත්නම් රළු විදියටම අපි කියනවා නම් ඇහැට පතිතවුනු ආලෝකය ඉතුරු නැතුව ඒ මොහොතේම නිරුද්ධවුනා නම්, ඒ දෙක ඉතුරු නැතුව වැයවුනු තැනක, කලින් අපි රැස්කරගත්ත, මනසිකාරය ගැනයි අපි කැමතිවෙන්නේ.
නැතිනම්, අපි කිවුවොත්, අපි ආදරණීය අම්මා කියලා ගන්නා තැන, පුංචිකාලේ ඉඳලා අපිව හදාගත්ත අපේ අම්මාට අපි කැමතියි, අම්මාට බොහොම ආදරෙයි. අපි කියනවා අපේ අම්මාට අපි බොහොම ආදරෙයි, අම්මාට කැමතියි කියලා.අපි විමසලා බැලුවොත්, ඇහැට පතිතවුනේ අනාත්ම මට්ටමක්. මොකද එහෙම කියන්නේ? ලෝකේ කාටත් ඒ රූපය දකිනකොට තමන්ගේ ආදරණිය අම්මා සිහිපත් වෙන්නේ නැහැ. තමන්ට විතරයි ඒක සාධාරණ. ඒ රූපය ඇහැට පතිතවෙන මට්ටම, අපි 10 දෙනෙක් ගත්තොත්, 10 දෙනාටම එකම විදියට ඇහැට වර්‍ණ සටහණක් පතිතවෙලා තියෙනවා. එහෙම පතිතවුනු තැනක, කෙනා කෙනා, කෙනා කෙනා දන්නා පරාසය සිහිපත් කරගන්නවා. අපි දන්නා පරාසය කියලා කියන්නේ, අපේ ආශ්‍රව ටික. නැත්නම් ඔය දැනගැනීම තියෙන්නේ, අපි අපේම හිත ගැනම සිහිපත් කරගන්න ගතිය.
කවදාවත් ඇහැට ආවේ නැහැ, මේ ආලෝක සටහනේ නැතිනම් වර්‍ණ සටහනේ, පුංචි කාලේ ඉඳලා අපිව හදා වඩා ගත්ත අම්මා කියන බව.එහෙනම් එහෙම ආවේ නැති තැනක, ඒ වර්‍ණ සටහන ඉතුරු නැතුව වැයවුනු තැනක, ඉතුරු නැතුව නැතිවුනු තැනක, අපි අම්මා කියලා සිහිපත්කරන ගතිය, අපිව ආදරෙන් හදාගත්තා කියලා හිතනකම, තම තමන් සිහිපත් කරගන්නේ, තම තමන්ගේ මනස පිළිබඳවමයි. ඒ මනස පිළිබඳවම දැනගන්නා අපි, හිතෙන්ම ඇතිකරගත්ත මේ සංකල්ප ටික තමයි මේ රූපය කියන්නේ කියලාහිතනවා. නැත්නම්, පුංචි කාලේ ඉඳලා හදාගත්ත, ආදරණීය අම්මාව අපට එලියෙන් දකින්න පුළුවන්කම තියෙනවා. තවත් විදියකින් කියනවා නම්, අපට ලෝභ සහගතව ලෝභ කරන්න පුළුවන්, තණ්හාවෙන් ඇලෙන්න පුළුවන් අම්මාව, එලියෙන් හම්බවෙනවා.
නමුත් ඇත්තටම එලියේ තිබුනේ අනාත්ම මට්ටමක්මයි. නැතිනම් කිසිම දවසක නිවන කියන දෙයක් පනවන්න බැරිවෙනවා. රූපය දිහා බලාගත්ත ගමන් අපට හේතු ධර්‍මතා ටික ඇතිවෙලා තියෙනවා නම්, රූපයෙන් හේතු ඇතිකරලා තියෙනවා නම්, එහෙනම් අපට කියන්නවෙනවා, රහතන්වහන්සේ නමක් රූපය දැක්කත්, රහතන්වහන්සේටත් රූපයේ කෙලෙස් ආශ්‍රව ටික ඇතිවෙනවා කියලා. නමුත් රහතන්වහන්සේට කෙලෙස් ආශ්‍රව රූපයේ ඇතිවෙන්නේ නැහැ, හේතු යෙදෙන්නේ නැහැ.
අන්න ඒ මට්ටම නිසා කිව්වා, සියළුම රූපය, ‘න හේතු‘ හේතු නෙවෙයි, ‘අහේතුකං‘, ‘හේතු විප්‍රයුක්තං‘ - හේතු විප්පයුක්ත ධර්‍මයක් කියලා.
දැන් අපට ඔය මට්ටමේදී, ඔය කාරණා තුළ, අපේ ජීවිතයට දාලා බලනකොට, සසඳලා බලනකොට, අපට පාඩමක් නෙවෙයි හම්බවෙලා තියෙන්න ඕන. අපට හම්බවෙලා තියෙන්න ඕන දර්‍ශනයක්. අපේ ජීවිතයේ විදර්‍ශනාව වඩන්න අපට ක්‍රමයක් හසුවෙලා තියෙන්න ඕන.
වෙනත් දෙයක් නෙවෙයි මේ කිව්වේ, ‘සබ්බං රූපං න හේතු, අහේතුකං, හේතු විප්‍රයුක්තං‘ කියලා කිව්වේ, කමටහනක්, භාවනාවක්, යෝනිසෝ මනසිකාරයක්. හිතන්න හැම මොහොතකම, කොහොමද සියළුම රූපය ‘න හේතු‘ වුනේ? කොහොමද ‘අහේතුක‘ වුනේ? ඇයි ‘හේතු විප්‍රයුක්තයි‘ කියලා කිව්වේ?
මේ ගැන යම් මනසිකාරයක් පවත්වනවානම්, තමන්ට තේරෙනකොට ඇත්ත, රූපය කියන එක අහිංසක මට්ටමකමයි තිබුනේ, තම තමන් තුළයි හේතු ටික ඇතිකරගත්තේ කියලා, රූපයේ අනිත්‍යයත්, රූපයේ ඉතුරු නැතුව නිරුද්ධවුනු බවත්, ඒ වගේම අපි මෙහේ හදාගත්ත, මනස තුළ ගොඩනගාගත්ත සංඛාර නිමිති ටිකත් අපට පේන මට්ටමක් තියෙනවා නම්, වෙන්වෙලා පේනවා නම්, අන්න එතකොට තමයි, අපේ භාවනාව කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය පිණිස ඇතිකරගතයුතු වෙන්නේ ඒ උපදින නුවණ.ඒ නිසා, ඒ තවත් එක කමටහනක්, කෙටියෙන්ම කියනවා නම්, විදර්‍ශනාවට අදාල පසුබිමයි කතාකරන්නේ කියලා කිව්වේ ඒකයි.
මතු සම්බන්ධයි...
තෙරුවන් සරණයි
0 Comments