පින් කිරීමේ ක්‍රම - 1 කොටස

 



පින් කිරීමේ ක්‍රම - 1 කොටස


නමොතසස භගව‍තො අරහතො සමමා සමබුදධසස.

තීණිමානි භිකඛවෙ පුඤඤකිරිය වතථූනි, කතමානි තීණි? දානමයං පුඤඤකිරිය වතථූ, සීලමයං පුඤඤකිරිය වතථූ, භාවනාමයං පුඤඤකිරිය වතථූ’ති.


ධර්‍මශ්‍රවණාභිලාශී ශ්‍රද්ධාසම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලුදෙනාම දැන් සූදානම් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම දෙනාම තමන්ගේ හිත එක්තැන් කරගෙන, නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී, බොහෝම උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ.


පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය නො කළ නිසා ඒ ධර්මය අවබෝධ නො වුණු නිසා, අවබෝධ කර නො ගත්ත නිසා, අපි හැමදෙනාම තවම මේ දුක් සහගත සසරේ ඉපදෙමින් මැරෙමින්, මැරෙමින් ඉපදෙමින් යන අය වෙලා.


ඉතින් සසර කියන්නේ කෙළි බිමක් නම් නෙවෙයි. සසර කියන්නේ සැප සහගත, සුඛ සහගත වටපිටාවක් නම් නෙවෙයි. මේ තුළ ඉන්නකොට නොයෙක් විදියේ දුගතියට පත්වෙන අකුසල ධර්ම කෙරෙනවා.නොයෙක් විදියේ දුක් පීඩාවන් ඇති වෙනවා. සත්පුරුෂ ඇසුර හැම කල්හිම ලැබෙන්නේ නැහැ. අසත්පුරුෂ ඇසුර, අසත්පුරුෂ ගති අප තුළත් අද නැති වුණත් හෙට දවසේදී, අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් කමක් මේ භූමිය තුල තියෙනවා. ඒ නිසා මේ සසර දුකෙන් එතරවීම පිණිස පවතින ධර්මය හොඳට අහලා වීර්යය කිරීම තමයි අපි හැමදෙනාටම තියෙන එකම ගැලවීම. ඒ කිව්වේ මනුෂ්‍ය ආත්මභාවය, බුද්ධෝත්පාද කාලය ඇති වෙලාවේ.


මට හිතුණා පොඩි කථාවක් මතක් කරන්න, ඊයේ සිද්ධවෙච්ච දෙයක්. අපේ නාඋල සේනාසනයේ හිටියා සුදුපාට බල්ලෙක්. ඒ සතා හැමදාම පාරේ යන බයිසිකල් වටේ බුර බුරා පන්නනවා. ඉතින් ඊයේ කවුරුහරි කෙනෙක් පුපුරණ ද්‍රව්‍ය ඇතුළට දාලා මොනවා හරි ආහාරයක් මේ සතාට දීලා, උ‍ගේ කට පුපුරලා, හොම්බ ඔක්කෝම එල්ලෙනවා. පැය ගණනක් දුක් විඳලා ඒ සතා මැරුණා.


සසරේ හිටියොත් අපි අතින් ද එබඳු කර්ම කෙරෙයි. අපට ද එබඳු වූ විපාක වෙයි. ඒ අරමුණ දැක්කහම ජීවිතය කියන එක ඇත්තටම එපා වෙයි. අපට ඕවා පෙනෙන්නේ නැති හින්දා නමුත් එබඳු දෙය කරන්න පුළුවන් සමාජයක, එබඳු වූ ගති තියෙන සමාජයක, එබඳු වූ අදහස් තියෙන වටපිටාවකයි අපි ඉන්නේ.


ඒ වගේම එබඳු වූ ගති, එබඳු වූ අදහස් අපි තුළ ඇතිවෙන්න තියෙන ගතියත් තවම අප තුළ නැතිවෙලා නැහැ. එබඳු වූ විපාකයන්ට ගොදුරු වෙන්න තියෙන ගතිය තුරුල් කරගෙන, ඔඩොක්කුවේ තියාගෙනයි, අද අප හැමදෙනාම ඉන්නේ කියන එක මතක් කරනවා.


ඒ සතා පැය ගණනක් දඟළලා, දුක් විඳලාමැරුණු හැටි දැක්කොත් හිතක් තියෙන මනුස්සයෙකුට පුදුම සංවේගයක් ඇතිවෙයි, කෙනෙකුට මේ වගේ දෙයක් කරන්නත් පුළුවන් ද කියලා. නමුත් යම් දහමක් තියෙන අපේ මනසට ඒක රළු වුණාට, මේ කෙලෙස් ගොඩට පත් වුණාම, කෙලෙස් ඇතුළට ගියහම ඒ මනසට ඒක රළු නැහැ. එයාට බෝම්බයකින් නෙවෙයි, අතින් වුණත් ඒ විදියට නැතිවෙන දේ කරන්න පුළුවන් තරම් ලෝකයේ මනසවල් රළු වෙනවා. ඉතින් මේ නිසයි මේ සසරේ ඉඳීම භයානකයි කියලා කියන්නේ.


ඒ නිසා හැම දෙනාටම කළණ කමින් ම මතක් කරනවා තමන්ගේ ජීවිත වලට පිහිටක්, තමන්ගේ ජීවිත වලට රැකවරණයක් කරගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා තමන්ට ලැබිලා තියෙන වටපිටාව තමන්ට ආවරණයක් කරගන්න එපා. ජීවත් වෙන්න උපකාරක ධර්‍මයක් හැටියට වටපිටාව හදාගෙන, හැමවෙලාවේම මේ දුක්ඛ භූමියෙන් එතර වෙන්න, හැම දෙනාම වීරිය කරන්න කියලා මතක් කරණවා.


එබඳු වූ මේ අසත්පුරුෂ වූ වටපිටාවෙන්, මේ දුක්ඛදායක විපාක තියෙන වටපිටාවෙන් මිදෙන්න තියෙන එකම උපාය තමයි සද්ධර්ම ශ්‍රවණය. ධර්මය ශ්‍රවණය කරනවා කියන්නේ ප්‍රඥාව නැති අපට ප්‍රඥාව ලබාදෙනවා වගෙයි. ශ්‍රද්ධාව, සතිය, වීර්යය, සමාධිය, ප්‍රඥා කියන මේ ධර්‍මතා නැති අපට ඒ ටික ලබාගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ සද්ධර්ම ශ්‍රවණය. ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් අපි තුළ දැනුමක් ඇති වුණොත්, අව‍බෝධයක් ඇති වුණොත් තමයි අපට ද යෝනිසෝමනසිකාරය නැත්නම් ධර්‍ම කරුණු නුවණින් මෙණෙහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියන කාරණාව මුලින්ම මතක් කරනවා.


පින්වතුනි, බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සත්ත්‍වයන්ට “තීණිමානි භිකඛවෙ පුඤඤකිරිය වතථූනි”- මහණෙනි, පින් කිරීමේ ක්‍රම තුනක් තියෙනවා - කුසල කිරීමේ ක්‍රම තුනක් තියෙනවා.


1. දානමය පුඤ්ඤකිරිය වත්‍ථු,

2. සීලමය පුඤ්ඤකිරිය වත්‍ථු

3. භාවනාමය පුඤ්ඤකිරිය වත්‍ථු කියලා.


දන්දීම එක ක්‍රමයක්, සිල් රැකීම එක ක්‍රමයක්, භාවනා කිරීම එක ක්‍රමයක් කියලා.


පින්වතුනි, ඇයි බුදුරජාණන්වහන්සේ මේ ක්‍රම තුනක් පැනෙව්වේ? පින්වතුනි අපේ ජීවිතය හාත්පස ගත්තොත්, අපේ ජීවිතයට දුක් එන්න ප්‍රධාන දොරටු තුනක් තියෙනවා. කෙනෙකුගේ ජීවිතයට දුක එන්න පුළුවන් ප්‍රධාන දොරටු තුනක් තියෙනවා.


i. එකක් භවභෝග සම්පත්, නැත්නම් ජීවත්වීමේ කළමනා නැතිකම නිසා, ජීවත් වෙන්න ප්‍රත්‍ය නැති නිසා, ආහාරපාන, ඉඳුම්හිටුම්, ඒ වගේ දේවල් නැතිකම නිසාත් කෙනෙකුට දුක එන්න පුළුවන්.

ii. ඊළඟට නිරෝගී ආත්මභාවයක් නැති නිසාත් දුක එන්න පුළුවන්.

iii. ඒ වගේම ප්‍රඥාව නැති නිසාත් දුක එන්න පුළුවන් කියලා අපේ ජීවිතයකට දුක එන්න ප්‍රධාන දොරටු තුනක් තියෙනවා.


ඒ ප්‍රධාන දොරටු තුන ආවරණය කරන්න ප්‍රධාන ධර්‍මතා තුනක් තියෙනවා -


(1) දාන

(2) සීල

(3) භාවනා.


● දානයකින් ලැබෙන ආනිසංස කවදාවත් සීලයකින් ලැබෙන්නේ නැහැ.

● සීලයෙන් ලැබෙන ආනිසංස දානයෙන් ලැබෙන්නේ නැහැ.

● ඒ දෙකෙන් ලැබෙන ආනිසංස භාවනාවෙන් ලැබෙන්නේ නැහැ.


● ඒ කියන්නේ දන් නොදී සිල් රැකලා භාවනා කළොත් දන් නො දුන්නකම නිසා ඒ දොරටුව නො වසපු නිසා දුක එන්න පුළුවන් පැතිකඩක් තියෙයි.


● කෙනෙක් දන් දෙනවා, හැබැයි සිල් රකින්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ - ඒ දොරටු දෙක ඇරලා තියෙන නිසා ඒකෙන් දුක එන්න පුළුවන්.


ඒ නිසා කෙනෙකුගේ ජීවිතයට දුක කියන එක ලැබෙන්නේ නැහැ, දුක කියන එක එන්නේ නැහැ, දුක කියන එක ස්පර්ශ වෙන්නේ නැහැ කියලා වචනයේ පරිසමාප්තාර්ථයෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ මේ තුන් ආකාරයෙන්ම ආවරණය වෙන විදියකට කටයුතු කරන තැනකට, කෙනෙකුට විතරයි.


කෙනෙක් ප්‍රඥාව විතරක් වැඩුවොත්, නැත්නම් තණ්හාව නැති කරලා රහත් වුණත් එයා භවභෝග සම්පත්, ආහාරපාන නැත්නම් ජීවත්වෙන ජීවිතය තුළ හෝ කන්නබොන්න නැතිකමින් හෝ දුක් විඳින්න වෙනවා. ආහාරපාන ලබාගන්න ක්‍රමය හදාගත්තත් නුවණ නැතිකම සහ සීලය නැතිකම නිසා නිරෝගී ආත්මභාවයක් නැතුව, නැත්නම් කෙලෙස් ටික නිසා දුක් විඳින්න පුළුවන්.


● ඒ නිසා මේ දාන, සීල, භාවනා කියන ක්‍රම තුනෙන් දානය කියන එක පැනෙව්වේ තමන්ට උපභෝගපරිභෝග සම්පත්ති නැති නිසා එන දුක ආවරණය කරන්න.

● සම්පත්ති කොච්චර තිබුණත්, නිරෝගී ආත්මභාවයක් නැති වුණොත් ඒ නිසා දුක එන්න පුළුවන්කම ආවරණය කරනවා සීලයෙන්.

● ඒ දෙකම තිබුණත් කෙලෙස් නිසා එන්න පුළුවන් දුක තියෙනවා, ඒ කෙලෙස් නිසා ඇතිවෙන දුක ආවරණය කරනවා භාවනාවෙන්, ප්‍රඥාවෙන්.


ජීවිතයේ දුක නැතුව ඉන්නවා නම්, දුක නැති කරන්න නම් මෙලොව වේවා, පරලොව වේවා, මේ ක්‍රම තුනම මෙලොවටත් උපකාරයි, පරලොවටත් උපකාරයි. මෙලොවම තියෙන දුක යම් යම් මට්ටමක් යෙදුනම, පුරාණ කර්මයෙන් හටගත්ත විපාකයකින් මේ ජීවිතය තුළත්, අද මේ කරන දන් දීම, සිල් රැකීම, භාවනාවෙන් ඒ තුනෙන්ම රැකවරණයක් ලැබෙනවා. ඒ වගේම සාංසාරික පැවැත්ම තුලදීත් මේ ධර්මතා තුනෙන් ජීවිතයට රැකවරණයක් ලැබෙනවා.


එතකොට අපේ ජීවිතයට හිත පිණිස, යහපත පිණිස පවතින, අර්ථාන්විත විදියට හැසිරෙනවා කියලා කෙනෙක් කියනවා නම්, කෙනෙක් කරනවා නම්, එයාට කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණා තුන යි.


මතු සම්බන්ධයි!

Post a Comment

0 Comments