මම හොඳ කතාවක් කියල දෙන්නම් කායගතාසතියට. එතකොට වීර්ය ඇති වෙයි. ගැඹුරු ටිකත් අපි අහගමු වෙලා තිබුනොත් නැතිනම් මේ ටිකත් වටි. කියන්නම් කතාව නේද? සැවත් නුවර එක්තරා සිටු පවුලක් හිටියා. ඔය සිටු දෙමහල්ලන්ට දියණියක් උපන්නා. ඒ දියණියට නම තැබුවා සොණා කියලා. ඉතින් මේ සොණා තරුණ ගැහැණු දරුවෙක් උනහම දෙමව්පියෝ සුදුසු කුලයකින් අවාහ විවාහ කටයුත්තක් කතා කරලා දුන්නා. තිබුන දේපල වස්තුව ඔක්කොමත් සිටු කුලයක තිබ්බ බොහෝ ධනයත් පැවරුවා. කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියෝ මිය පරලොව ගියා. මේ සෝණා විවාහ වෙලා සොණාට දරුවෝ ගොඩක් හිටියා, දහසයක් හෝ විස්සක්. නමකුත් හැදුනා බහුපුත්තක සොණා කියල. බොහෝ පුත්තු ඇති සොණා.
මෙයා මොකද කලේ විශාල ධන ස්කන්ධය දරුවන්ට කිසි කෙනෙකුට අසාධාරණයක් අවැඩක් නොවෙන්න සම සමව ධනය බෙදලා දුන්නා. තමන් සන්තක කිසිම දෙයක් තියාගත්තේ නැහැ මට දරුවෝ අවිශ්වාස නැහැ දරුවෝ මට සලකයිනේ කියන තැනකින් තමන්ට කිසිවක් තියාගන්නේ නැතුව අද කාලේ වගේ පසුව උරුම භුක්තිය කියල එකක් නැතුව ඇති ඒ කාලේ. දුන්නොත් දුන්නා වෙන්න පුළුවන්නේ මොකද ලියන ඒවා නැහැනේ නීති නැති නිසා. ඉතින් දරුවන්ට සියල්ලම ධනය දීලා සොණා මොකද කරන්නේ ලොකු පුතා ගාවට ගියා. ඉතින් මුල් කාලේදී හරි හොඳයි.ටිකක් කල් යනකොට ලේලී ටිකක් ඇනුම්පද කියනවා. ඉතින් ඇයි මෙතනම ඉන්නේ, තව දරුවෝ ඉන්නවනේ ලොකු පුතාට කියල වැඩිපුර දුන්නද, එහෙම දුන්නා නම් අපිට තව සලකන්නත් තිබ්බනේ කියල ඇනුම්පද කියනවා.
දෙවෙනි පුතා ගාවට ගියා. එතනත් ටික කාලයක් සලකනකොට ඔහොම ඔහොම ඔහොම ඔහොම අන්තිමට එකම දරුවෙක්වත් සලකන්නේ නැතුව මේ සොණා පාරට බැස්සා. බැහැලා අම්බලම් වල තමයි ඉන්නේ. කට්ටියක් අම්බලම් වල ඉඳලා කෑම කාලා දාල යන කුණු බාල්දිය අවුස්සලා ඒකේ තියෙන කෑම තමයි කන්නේ. ඉඳුල් කකා ඉන්නකොට සොණාට කල්පනා වුනා මෙහෙම දැන් මට ජීවත් වෙන්න බැහැ, මෙහෙම හරි ඉඳුල් ටිකක් කන්න පුළුවන්කම ඇවිදින්න පුළුවන්කම විතරයි. මේ ළග මෙහෙණි අසපුවක් තියෙනවා ඒකට ගිහින් මහණ වීගන්න පුළුවන් වුනොත් ජීවත් වෙන්න පුළුවන් කියල හිතුනා. ඉතින් මේ වයසක අම්මාගේ වයස එතකොට අවුරුදු එකසිය විස්සයි.
ඔන්න දැන් බුදුරජානන්වහන්සේ වැඩ ඉන්න කාලේ. ඉතින් ඒ මෙහෙණි අසපුවට ගියහම ඉල්ලීමක් කළා ඒ තෙරණින් වහන්සේගෙන් මාව පැවිදි කරන්න කියල. ලොකු තෙරණින් වහන්සේ හරි කාරුණිකයි නමුත් බැහැ කිව්වා. ඉතින් අනික් අයත් කැමති වුනේ නැහැ ඉන්නකන් ගිහි ගෙදර ඉඳලා ඉඳලා අන්තිමට බැරි වුනහම භික්ෂුණින් වහන්සේලාගෙන් උපස්ථාන ගන්න විතරක් එනවා මෙතන මේක පව් සිද්ධ කරගන්නවා විතරයි අනේ අපිට නම් උපස්ථාන කරන්න බැහැ මහණ වෙන්න දෙන්න බැහැ කියල කවුරුවත් කැමති වුනේ නැහැ. ඒත් සොණා පන්සලේ අයිනකට වෙලා ඒ හම්බෙන දේ කකා ඉන්නකොට ලොකු තෙරණින් වහන්සේට හරි දුක හිතුනා. කමක් නැහැ කියල ලොකු තෙරණින් වහන්සේ සොණාව පැවිදි කළා.
පැවිදි කලාට අධිගම නොලබපු පෘථග්ජන භික්ෂුණින් වහන්සේලා හැම වෙලාවේම හින්ට් ගහනවා, බනිනවා.ඉන්නකන් නටලා නටලා දැන් මේ එනවා අපිටත් කරදරෙයි අපිටයි උපස්ථාන කරන්න වෙන්නේ අපිට බණ භාවනා කරගන්න බැහැ මේ විදිහට එක එක ඒවා කියනවා. හැමකෙනෙක්ම හැම වැඩක්මත් කියනවා. කිසිම තැනකට එක්කන් යන්නේ නැහැ. ඉතින් මෙයා කල්පනා කළා මට තියෙන එකම පිහිට ධර්මය. මට දරුවෝ සලකන්නේ නැහැ පිහිටක් නැති වුනා. මෙහෙණි ආරණ්‍යට ආවම මෙතනත් මට පිහිටක් සරණක් නැහැ. මට තියෙන එකම පිහිට තමයි ධර්මය කියල මෙයා මොකද කරන්නේ හැමවෙලාවෙම කය කෙරෙහි සිහිය යොමු කරගෙන මේ ශරීරයේ කෙස්, ලොම්,නිය, දත්, සම් කියල මේ කුණුප කොටස් ටික පෙනෙන මට්ටමට හිත හිතා ඉන්නවා. කෙනෙක් බැන්නත් ඒ පැත්තට කන යොමු කරන්නේ නැහැ. වැඩක් කිව්වොත් කියපු දේ පුළුවන් විදිහට කරනවා. වයස වුනත් පුළුවන් විදිහට කරනවා.
ඔය කාලේ තිබුනා අඩ මසක් පාසා දවස් දහහතරෙන් දහහතරට බුදුරජාණන්වහන්සේ දැකලා වන්දනාමාන කරන්න යනවා. ඉතින් හැමදාම මෙහෙනවරණ බලාගන්න සොණාව තමයි නවත්තලා යන්නේ. කවදාවත් බුදුහාමුදුරුවෝ ගාවට එක්කන් යන්නේ නැහැ. ඉතින් එක දවසකුත් බුදුරජාණන්වහන්සේට වන්දනා කරන්න යන දවස යන්න ලෑස්ති වෙනකොට නැහැ නැහැ ඔයා ඉන්න අපිට ඇවිත් නාන්න වතුර උණු කරලා තියන්න කියල කිහිප දෙනෙක්ම සැර කරලත් ගියා. අනේ ඉතින් මේ සොණා වතුර මුට්ටියක් අරගෙන ලිප උඩින් තියලා ගින්දර දාන්න කලින් සක්මන් කරමින් කායගතාසතිය, මෙයා කය කෙරෙහි යන සිහිය අතහරින්නෙම නැහැ.
හැම වැඩකදීම ලොකු කමටහනක් නෙමෙයි බාහිරෙන් කෙනෙක් ආවොත් ඒ රූපේද තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර කනබොන ආහාරයෙන් මේ රූපේ හැදිලා තියෙන්නේ කියල මේ කොටස් ටික මෙනෙහි කරන එක. ස්ත්‍රියක් ද බලන්නේ නැහැ පුරුෂයෙක්ද කියල බලන්නේ නැහැ සම්මතයේ පිහිටලා වචනෙට වචනේ දෙනවා කතා කරනවා නමුත් යටින් දිවෙන්නේ ඕක. තමන් කෙරෙහිද හැම වෙලාවේම මට ගැහැව්වද මට බැන්නද කතාවක් නැහැ මේ ශරීරයේ තියෙන්නේ මේවනෙ කියන ටික තමයි හිතන්නේ. කුස්සියට ගිහිල්ලා වතුර මුට්ටිය ලිපේ තියන්න හදන ටිකෙදිත් කය කෙරෙහි තමයි බල බලා හිටියේ.
එහෙම බල බලා ඉන්නකොට එක පාරටම (ඇත්තටම මේක කරන්න කියන්නෙත් ඒ නිසයි) මේ සෝණාගේ හිතේ නීවරණ ධර්ම දුරු වෙලා බෝජ්ජංග ධර්ම මතුවුණා. බුදුරජාණන් වහන්සේ ඕක දැකලා මනෝමය කයකින් පෙනී ඉඳලා
"යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං ධම්මමුත්තමං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ ධම්මමුත්තමං" ගාථාව දේශනා කළා. යම්කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කර නොගෙන අවුරුදු සියයක් ජීවත් වුනත් ඒ ජීවිතය හිස් ජීවිතයක්. ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුනත් ඒ ජීවිතය වටි කියල ඒ ගාථාව කියල තේරුම කියනකොටම සොණා රහත් වුනා.
ඊට පස්සේ වතුර මුට්ටිය ලිපෙන් තියලා මෙයා කල්පනා කළා මම මේවා හැගෙව්වොත් ඒක මට සුදුසු නැහැ. හඟවන්නේ නැතුව හිටියොත් බොහෝ දෙනෙක් අකුසල් රැස් කරගන්නවා. අකුසල් සිද්ධ කරගෙන අපායේ යනවා. ඇයි මෙයාට කියල වැඩ අරගෙන. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ වතුර මුට්ටිය ලිප උඩින් තියලා ඇඳේ හාන්සි වුනා. දැන් බුදුහාමුදුරුවෝ වන්දනා කරන්න ගිහිල්ලා බණත් අහලා ඇවිල්ලා අර භික්ෂුණින් වහන්සේලා ලිප දිහා බලලා සැර කරලා බනිනවා උඹට වතුර ලිපේ තියන්න කියල ගියා නේද වතුර තියා ලිපේ ගින්දරවත් නැහැ මෙහෙමයි මෙහෙමයි කියල දොස් කියනකොට අර පෘථග්ජන භික්ෂුණින් වහන්සේලාට මෙයා කියනවා ගින්දර ඵලක් නැහැ උණු වතුරනේ ඕනේ අරගෙන පැන් පහසු වෙන්න කියල. ගින්දර අවශ්‍ය නැහැ උණුවතුරනේ ඕනේ කියල.
අනේ මුට්ටිය ඇරලා බලනකොට වතුර හොඳටම පැහෙනවා. ඊට පස්සේ මෙහෙණවරණේ ඉන්න ඔක්කොම පැන් පහසු වෙනවා ඒත් උණු වතුර හිඳෙන්නේ නැහැ. ඒ වෙලාවේ අර පෘථග්ජන භික්ෂුණින් වහන්සේලා ඇවිල්ලා අනේ ආර්යාවෙනි ඔබතුමියගේ ගුණ අපි දන්නේ නැතුවයි අපි මෙහෙම හැසිරුනේ කියල අපිට කමා කරන්න කියල සමාව ගත්තා. බාල අය ඇවිල්ලා වන්දනා කළා. ඊට පස්සේ එයා කිව්වා මේ ධර්මයේ ස්වාක්ඛාත බව බලන්න. මම ගොඩක් දේ දැනගෙන හිටියේ නැහැ. මට ගොඩක් දේ කරන්න පුළුවන්කමක් තිබ්බෙත් නැහැ මම කලේ මේ කායගතාසතිය විතරයි. කායගතාසතිය වඩපු මට නිවන වැරදුනේ නැහැ කියල දේශනා කළා.
එකසිය විසි වයස් ගිහිල්ලා මහණ වෙලා කායගතාසතිය වඩලා රහත් වෙච්ච ඒ සොණා අරඹයා බුදුරජාණන්වහන්සේ "එතදග්ගං , භික්ඛවෙ, මම සාවිකානං භික්ඛුනීනං ආරද්ධවීරියානං යදිදං සොණා." කියල එතදග්ග පාළියෙත් තිබ්බා මහණෙනි ඇරඹු වෙර ඇති භික්ෂුණින් අතර මගේ ශාසනයේ මේ සොණාව අග්‍රයි කියල අග්‍රස්ථානයේ තැබුවා. ඉතින් නිවන් දකින්න බැරි නැහැ ආරද්ධවිරිය කරන්න. අපිට අසංඛ්‍යක් ආයුෂ නැහැ කියන එක මතක තබාගන්න. මේ හැම දෙයක්ම කරන්නේ දිය ඇදී ඉරකටත් වඩා වේගෙන් ගෙවෙන අල්ප ආයුෂ ටිකක් තියාගෙනයි කියන එක මතක තියාගන්න. මේ අවස්ථාව වරදවා ගන්න එපා කියන එක මතක් කරනවා.
හැමදාම මතක් කරනවා පාරේ යනකොට අපේ වරදින් වේවා අනුන්ගේ වරදින් වේවා හැප්පුනොත් මැරෙන්නේ අපි. ඒ වගේ මගේ උත්සාහය නැතිකමින් වේවා අනුන් වරද්දලා කීමෙන් වේවා ධර්මය වැරදුනොත් වරදින්නේ අපිටමයි කියන එක මතක තබාගන්න. කරුණාවෙන් මතක් කරනවා භාවනා කරනවා කියල මොනවාම හරි යමක් නොකර ඇත්තටම ඕගොල්ලෝ පෙනෙන මානේ කායගතාසතිය වඩන්න. අප්‍රමාදීව හිතෙන් කමටහන අරගන්න. යන එන හැම වෙලාවකම අමතක වුනොත් මතක් කරලා අරගෙන ගොඩක් ගැඹුරු දේ එපා එහෙම කරනකොට කරනකොට ඔය ටික මොන තැන දක්වා කළ යුතුද ඕගොල්ලෝ? "අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති" සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය කියන සිහිය හොඳින් එළඹ සිටින තැන දක්වා.
අපි දැක්කනේ මේ රූපායතනයේ ඇත්ත. අර මම බිත්තියක ඇදපු චිත්‍රයකට උපමා කරලා පෙන්නුවේ චිත්‍රය තුල අපිට චිත්‍රය හසුනොවී දැනෙන්නේ මනුස්සයෙක් කියල. එහෙනම් මනුස්සයා කියන එක අපේ මනසේ තියෙන ප්‍රපංචයක් ක්ලේශය. සත්ව පුද්ගල නොවූ චිත්‍රයක් කියන තැන දක්වා මේක කරන්න. එදාට බුදුහාමුදුරුවෝ රූපේ ගැන කිව්ව ටිකෙන් එහාට වඩා වැඩි යමක් ඕගොල්ලන්ට පෙනෙන්නේ නැහැ. ඔගොල්ලොම එදාට ඇහැට පෙනෙන රූපෙක ඇත්ත මේකයි කියල කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා නිසා නෙමෙයි ඔගොල්ලොයි කියන්නේ. ඔගොල්ලොන්ටම පෙනෙන නිසා. ඒකයි සත්‍යය කියල කියන්නේ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගන්න අත දාන්නේ නැහැ මේ පෙනෙන දේ අල්ලන්න බැහැ කියල දන්නා නිසා ඒ වගේ තැනකට ආවහම ගෙවල් දොරවල්, යානවාහන ඉඩකඩම් මිල මුදල් එක්ක තියෙන බැදීම ඔයිට කලින් ඉවර වෙනවා. හැමදාම අමාරු නැහැ. හැමදාම මේ මට්ටමම මේ වෙහෙස නැහැ. එක පොඩි තැනක් විතරයි හිතට හුරු කරගන්නකන් වෙහෙස.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016.04.02 දිගන දී කල දේශනාව ඇසුරෙන්. මේ දේශනාව ශ්‍රවණය කරලා ඔබත් අදම ආරද්ධ වීර්ය අරඹන්න.
සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීමට
http://www.mediafire.com/file/mieda2kk733hu88/2016-04-02_Digana_2_Deshana_v2.mp3

0 Comments