ප්‍රිය දෙයින් උපන් දුක

 



පින්වතුනි මේ ලෝකේ අපිට තේරුම් ගන්න තියෙන්නේ එකම එක පොඩි තැනක්. අනන්ත සංසාරෙක ඉඳන් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් සසර අපි සැරිසරනවා. අපිට උපදින උපදින හැම ජීවිතයක්ම ඇත්තම ඇත්ත වෙලා. අපිට ඊට එහා හිතන්න දෙයක් නැහැ, හිතන්න බැහැ. බුදුරජාණන්වහන්සේ ලෝකේ පහල වුනේ මම මුලින් මතක් කළා ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ඒත් ලෝකයා නොදන්නා ඒත් ලෝකයාගේ ජීවිතවල ඇත්ත පෙන්වන්න. ඒ ඇත්ත දැක්ක දවසටයි මේ දුකේ කළකිරිලා දුකෙන් මිදෙන්නේ. මම ඒකට ඕගොල්ලොන්ට කෙටි බණ ටිකක් කියන්නම් මේ කරපු ශ්‍රේෂ්ඨ පිංකම වෙනුවෙන් මේ පින්කමේ තවත් ආනිසංසයක් හැටියට. ඒක මට පිනකුත් වෙයි පින් කරන ඕගොල්ලොන්ට උදව් කරන එක.


දවසක් දා බුදුරජාණන්වහන්සේ ලීච්ඡවී රජ දරුවන්ට අයත් රාජ්‍යක් වන උරුවේල දනව්වේ වාසය කරනකොට අසිරියගාමිනි නැමති පුද්ගලයා ඇවිල්ලා බුදුරජාණන්වහන්සේගෙන් අහනවා "ස්වාමිනි මට දුක ඇතිවෙන හැටි හා දුක නැතිවෙන හැටි කියල දෙන්න පුළුවන්ද කියල". භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා "අසිරිය, මම අතීතයෙන් දුක ඇතිවෙන හා නැතිවෙන හැටි කිව්වොත් ඔබට විමති ඇතිවෙන්න පුළුවන් සැකසංකා ඇතිවෙන්න පුළුවන් හිත නොපහදින්න පුළුවන් ඒක නිරුද්ධ වෙච්ච ධර්මයක් නිසා. මම අනාගතයෙන් දුක ඇතිවෙන හා නැතිවෙන හැටි කියල දුන්නොත් ඔබට විමති ඇතිවෙන්න පුළුවන් සැකසංකා ඇතිවෙන්න පුළුවන් හිත නොපහදින්න පුළුවන් තාම නොහටගත්ත ධර්මයක් නිසා .


මෙතන උන්නා වූ මේ නුඹට මේ දැන් මම කියන්නම් දුක ඇතිවෙන හා නැතිවෙන හැටි ජීවිතයෙන්. එතකොට පිළිගන්න පුළුවන්නේ නේද? අදහන්න මොකුත් විශ්වාස කරන්න එහෙම මොකුත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අහනවා අසිරිය, මේ උරුවෙල් දනව්ව සිහි කරලා බැලුවොත් යම්කිසි පුද්ගලයෙක් නෑසුනා, වද බන්ධනයකට පැමිණුනා කියල ආරංචි වෙනකොට ඔබට දුක් දොම්නස් එන අය මේ උරුවෙල් දනව්වේ ඉන්නවද කියල හිත මෙහෙවලා බලන්න. එහෙමයි භාග්‍යවතුන් වහන්ස එහෙම අය ඉන්නවා. හොඳයි එහෙනම් අසිරිය ඔබ මේ උරුවෙල් දනව්ව දිහා හිත මෙහෙයවලා බලන්න යම්කිසි කෙනෙක් මැරුණා, නෑසුනා, වද බන්ධනයකට පත්වුණා කියල ආරංචියක් ආවොත් ඔබට දුක එන්නේ නැති පුද්ගලයොත් මේ උරුවෙල් දනව්වේ ඉන්නවද කියල බලන්න. එහෙමයි ස්වාමිනි ඉන්නවා. 


හොඳයි එකම මනුස්සයෝ මැරීම, නැසීම, වද බන්ධනයන්ට පැමිණවීම නිසා සමහර කෙනෙක්ගේ නැසීම වද බන්ධනය ඔබට දුකක් වෙනවා තව කෙනෙකුගේ වද බන්ධනය දුකක් නොවුනා. අසිරිය, ඔබම මෙහිලා ඔය අරමුණ පොඩ්ඩක් විමර්ශනය කරන්න, තීරණය කරන්න, මොකක්ද මේකට හේතුව, මොකක්ද මෙතැන වෙනස කියල. ස්වාමිනි යම් පුද්ගලයෙක්ගේ නැසීම, වද බන්ධනයට පමුණුවීම නිසා මට දුක එයි නම් එබඳු පුද්ගලයෝ කෙරෙහි මට ඡන්ද රාගයක්, කැමැත්තක් තියෙනවා කියල මට තේරෙනවා. ආදරයක්, සෙනෙහසක් තියෙනවා කියන එක මට හැඟවෙනවා ස්වාමිනි. යම් පුද්ගලයෙක්ගේ නැසීම, වද බන්ධනය නිසා මට දුකක් නොඑනවා නම් එබඳු පුද්ගලයෝ අරඹයා මට එහෙම හිතේ බැඳීමක් සෙනෙහසක්, ඡන්ද රාගයක් නැහැ ස්වාමිනි. 


එහෙනම් අසිරිය, මේ කාරණාවෙන් තේරුම් ගන්න දුකට හේතුව තණ්හාව. දුකට හේතුව මේ ඡන්ද රාගය බව තේරුම් ගන්න කියල.මේ ටික කිව්වහම අසිරියගාමිනි කියනවා ඒකාන්තයෙන්ම මනාමයි භාග්‍යවතුන් වහන්ස, එකාන්තයෙන්ම වුවක්ම කිව්වා, සත්‍යයක්ම කිව්වා, අද පටන් මම දිවි හිමි කොට සරණ ගිය උපාසකයෙක් ලෙස දරත්වා කියල. අපිට ඕක පැහැදිලි වුනාට අබුද්ධෝත්පාද කාලෙක ඕක කොහොමවත්ම දන්නේ නැහැ. ඔය ටිකත් බරයි ලෝකෙට. ඔය ටිකත් තේරෙන්නේ නැහැ. මේ පෙළ දහමට පින්සිද්ධ වෙන්න වචනයෙන් වචනය ඇවිල්ලා මේ අහගත්ත නිසයි අපි දන්නේ. ඕකට හොඳ කතාවක් තියෙනවා. මේ සුත්‍රයේ නම තමයි පියජාතික සුත්‍රය.


එක්තරා මනුස්සයෙකුට හිටියා ඉතාමත් ප්‍රියමනාප පුතෙක්. මේ පුතා මැරුණා. මැරිලා වළලලා එන ගමන් ඒ කාලේ සිරිතක් තිබ්බ කෙනෙක් මළ බව හඟවන්න තෙත් ඇඳුම්, තෙත කෙහෙ පිටින් එන්නේ. මේ උපාසක මහත්මයා තෙත් වස්ත්‍ර, තෙත් කෙහෙ පිටින් අවේලාවේ එනකොට බුදුරජාණන්වහන්සේ අහනවා මොකද ඔබ තෙත් වස්ත්‍ර, තෙත් කෙහෙ පිටින් අවේලාවේ ආවේ කියල? ස්වාමිනි ප්‍රියමනාප මට පුතෙක් හිටියා ඒ පුතා නැතිවුණා ස්වාමිනි ඒ පුතාගේ අවසන් කටයුතු කරලා එන ගමන් මට හරි දුකයි ස්වාමිනි කියල කිව්වහම ඒක තමයි ගෘහපතිය ප්‍රිය දේ නිසා තමයි දුක එන්නේ කිව්වා. මෙයා කල්පනා කළා ප්‍රිය දේ නිසා දුක එන්නේ කොහොමද මේ මොන බොරුවක් කියනවද කියල නැගිටලා යන්න ගියා.


ඊටපස්සේ එයා ගියා කට්ටිය දාදු සෙල්ලම් කරන තැනකට. දාදු සෙල්ලම් කරනකොට මට මෙහෙම දෙයක් වෙලා මම එන ගමන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියහම භාග්‍යවතුන් වහන්සේ කිව්වනේ ප්‍රිය දේ නිසයි දුක එන්නේ කියල. මොන බොරුද, කවුද කියන්නේ, ප්‍රිය දේ නිසා එන්නේ සැප කියල ඔක්කොමලා කිව්වා, හැමෝම කතා කළා ඔහොම. කතා කරහම ඒක නම් වෙන්න බැහැ ප්‍රිය දේ නිසා එන්නේ සැප. කියල මේ කතාව ගියා රජ ගෙදරටම. කොසොල් රජ්ජුරුවෝ කිව්වා භාග්‍යවතුන්වහන්සේ නම් ඔහොම වචනයක් කිව්වා වෙන්න විදිහක් නැහැ, ප්‍රිය දේ නිසා දුක එනවා කියල. ඕක කාට හරි වැරදීමක් වෙන්න ඇති. ප්‍රිය දේ නිසා එන්නේ සැපමයි.


මල්ලිකා දේවිය ලඟටත් ගියා. එතකොට බලන්න මේ වචනය නොදන්නාකම කොච්චර දුරකට යනවද කියල, මල්ලිකාවෙනි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දෙයක් කිව්වා කියල රාවයක් ඇවිල්ලා රට පුරාම ගිහින් රජ ගෙදරටත් ඇවිල්ලා. මල්ලිකා දේවි කියනවා එහෙම භාග්‍යවතුන් වහන්සේ කිව්වද, මල්ලිකා දේවිය හරි තීක්ෂණනෙ. කිව්වා නම් ඕක අපිට උඩින් පෙනෙනවාට වඩා වෙන මොකක් හරි ක්‍රමයක් ඇති ඔබ ගිහිල්ලා විමසන්න කියල කොසොල් රජතුමාව පිටත් කරලා ඇරියා. ගියහම කොසොල් රජතුමා අහනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ප්‍රිය දේ නිසා දුක එන්නේ කියල මෙබඳු වචනයක් දේශනා කලාද? ඔව් මහරජ මම එහෙම වචනයක් දේශානා කළා. 


එහෙම වෙන්නේ කොහොමද භාග්‍යවතුන් වහන්ස ප්‍රිය දේ නිසා එන්නේ සැපනේ. අපිට හිතෙන්නේ ප්‍රිය දේ නිසා එන්නේ සතුට කියලනේ. ලෝකේ අය ඔහොම තමයි. අද ඕගොල්ලොන්ට ප්‍රිය දේ නිසා දුක එනවා කියල නුවණක් තිබ්බා නම් මේ පෙළ දහමට පින්සිද්ධ වෙන්න කියල දකින්න. ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. කාගෙන් කාගෙන් හරි කොයි පැත්තකින් කොයි පැත්තකින් හරි මේ නුවණ ගලාගෙන ආව නම් ඇවිල්ලා තියෙන්නේ මේ පෙළ දහමට පින්සිද්ධ වෙන්න. නැත්තම් අපි හැමෝම ඉන්නේ ප්‍රිය දේ නිසා සැප එනවා කියන මානසික මට්ටමේ මිසක, එහෙමයි සසර හොයාගෙන යන්නේ. 


බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි ඔබෙන්ම මම අහන්නම්. ඔබට ඉන්නවා නේද විඩුඩබ කියල පුතෙක්. එහෙමයි භාග්‍යවතුන් වහන්ස. ඒ පුතා මැරුනොත් දුක එයිද? දුකක් ගැන කවර කතාවක්ද භාග්‍යවතුන් වහන්ස මගේ ජීවිතය පවතීද කියල හිතන්න බැහැ. හොඳයි ඔබට ඒ තරම් දුකක් ආවේ මේ ප්‍රිය දේ නැතිවුන නිසා නෙමෙයිද? නැතිවෙච්ච නිසා. එහෙනම් ප්‍රිය දේ නිසා නෙමෙයිද මේ දුක ඔබට ආවේ? මල්ලිකා දේවිය, එයාගේ දියණිය වගේ උපමා අරන් කිව්වහම ඔන්න තේරුනා. එතකොට අපි ඔක්කොමල හිටියේ එහෙම. ඉතින් මේ අසිරියගාමිනිටත් මේක කිව්වට පස්සේ තමයි තේරුනේ ප්‍රිය දේ නිසා ඡන්ද රාගය නිසා තමයි දුක එන්නේ කියන කාරණාව තේරුණා. දිට්ඨි සම්පන්න වුනා.


මම දැන් කිව්වේ පෙළ. ඕකේ නැහැ ඔබට ප්‍රතිපදාවක් උපදලා ප්‍රතිඵලයක් ලබාගන්න ටික. දැන් අතරමැදියෙක් සිටිය යුතුයි මේ පෙළ අරගෙන අර්ථය ආධ්‍යාරයෙන් ඔසවලා අරගෙන ලෝකයාට තබලා ලෝකයා තුල ප්‍රතිපදාව හදලා ප්‍රතිඵලය එහෙම නැතිනම් ප්‍රතිවේදය සකස් කරලා දෙන්න. ඒක හැමදාම තියෙන්නේ නැහැ. දැන් අපි බලමු ඒකේ පොඩ්ඩක් අර්ථය. මම මෙහෙම කිව්වොත් මෙතන ඉඳගෙන ඉන්නා වූ ඕගොල්ලොන්ගේ මම ඇහැව්වොත් භාග්‍යවතුන් වහන්සේ අසිරියගාමිනිගෙන් ඇහැව්ව වගේ මේ ලංකා ද්වීපය දිහා හිත මෙහෙයවලා බැලුවොත් යම් පුද්ගයෙක්ගේ නැසීම වද බන්ධනයට පැමිණීම නිසා ඔබට දුක එන අය ඉඳීද කියල මේ රටේ. ඔබට තේරෙයි ඉන්නවා කියල. ටක්ගාලා තේරෙයි පුතා, අම්මා, දුව, තාත්තා, බිරිඳ කියල තේරෙයි නේද? ඉන්නවා කියල සිහිවෙයි.


යම් පුද්ගලයෙක්ගේ නැසීම, වද බන්ධනයට ලක් වුනා කියල ආරංචි වුනහම ඔබට දුක් දොම්නස් නොඑන අය මේ රටේ ඉන්නවද කියල ඇහැව්වොත් ඔබ කෙරෙහිම අද විද්‍යමානයි එහෙම අය ඉන්නවා කියල. එහිලා ඔබගෙන් මම විමසීමක් කලොත් යම් පුද්ගලයෙක්ගේ නැසීම, වද බන්ධනයට පැමිණීම ඔබට දුකක් වුනා නම් යම් පුදගල්යෙක්ගේ නැසීම, වද බන්ධනයට පැමිණීම ඔබට දුකක් නොවුනේ නම් එබඳු පුද්ගලයෝ කෙරෙහි ඇති විශේෂණය මොකක්ද කියල පර්යේෂණය කරන්න අසිරියට වගේම ඔබට තේරෙයි යම් පුද්ගලයෙක්ගේ නැසීම, වද බන්ධනයට පැමිණීම නිසා ඔබට දුක එයි නම් ඒ අය කෙරෙහි ඔබේ හිතේ ඡන්ද රාගයක් ඇතිබව, ආදරයක් සෙනෙහසක් ඇතිබව. බලන්න අවුරුදු දහස් ගණනකට කලින් කිව්ව දේ අද පෙනෙනවා. 


ඔන්න ඔහොම ඔය ටික ඕගොල්ලෝ කෙරෙහි දැක්කමයි "ස්වාක්ඛාතො භගවතා ධම්මො" භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මනාකොට දේශනා කරලා තියෙනවා නේද මොන තරම් ඇත්තක්ද කියල තේරෙනවා නේද? බුදුරජාණන් වහන්සේගේ දෙයක් කිව්වා නම් අපිට තේරුම් ගන්න බැහැ. ලෝකේ හැමදාම පැවතුන, හැමදාම පවතින ඇත්ත කිව්ව හින්දයි අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ පර්යේෂණයක් කටයුතුයි. ඒක ඔබට තනියම කරන්න බැරි නිසයි පෙලෙන් අර්ථය අරගෙන කියල දෙන්න ශ්‍රමණබ්‍රහ්මණයෝ ඉන්නේ. යම් පුද්ගලයෙකුගේ නැසීම, වද බන්ධනය නිසා ඔබට දුකක් එයි නම් ඒ දුකට හේතු වූ තණ්හාව ඇතිවුනේ කොහොමද කියන පර්යේෂණය කටයුතුයි. එදාටයි දුක එන එකේ අර්ථය දන්නවා කියන්නේ. අර්ථය දැනගත්තහමයි ඔබට ප්‍රතිපදාව හම්බවෙන්නෙ. 


එතකොට දැන් අපේ පර්යේෂණය, බුදු දහම නෙමෙයි දැන්. මේකේ අදහන්න මොකුත් නැහැ. දර්ශනයක්. මම දැන් කතා කරන්නේ මොකේටද මේ, ලංකා ද්වීපය දිහා හිත මෙහෙයවලා බලන ඕගොල්ලොන්ට යම් පුද්ගලයෙක් නැසීම, වද බන්ධනයට පැමිණීම නිසා දුකක් ඇතිවෙන ඡන්ද රාගයක් ඇති අයත් නැසීම, වද බන්ධනයට පැමිණීම නිසා දුක එන්නේ නැති ඡන්ද රාගයක් නැති අයත් දැක්කා. මෙහි වෙනස බලනකොට තේරුණා දුක එන අය කෙරෙහි කෙනා කෙනාගේ හිතේ ආදරයක්, සෙනෙහසක් තියෙන බව තේරුණා. දැන් අපේ පර්යේෂණය ඒ දුක එන විදිහට මට ඒ ඡන්ද රාගය ඇතිවුනේ කොහොමද කියන එකයි දැන් අපේ පර්යේෂණය. 


මතු සම්බන්ධයි 


සුපින්වතුන් පිරිසක් විසින් 2016.12.28 දින සිදු කල උතුම් ත්‍රිපිටක පූජාවේදී පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනාවූ පුන්‍යානුමෝදනාව සහ කෙටි ධර්මානුශාසනාව ඇසුරෙන් 


සම්පූර්ණ දේශනාව ලබාගැනීමට 

http://www.mediafire.com/file/9wbzjxvf51n77u8/2016-12-28_Tripitaka_Puja_-_Basawakkulama.mp3


දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට 

https://www.youtube.com/watch?v=qjjkpMHQvLU

Post a Comment

0 Comments