මගේ බුදු හාමුදුරුවෝ

 


මේ කෙලෙස් වල මට්ටම් තියනවා. බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහල වූනත් නැතත් හැමදාම ලෝකයේ පැවතුන ලෝකයේ පවතින ඇත්ත තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව. ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක බුද්ධ ශාසනයට අයිතියි මිසක වෙන කිසිම ආගමකට අයිති නැහැ. දැන් ඔක්කොම කිව්වට කියන වචන ඔය තියන්නෙ. බුදුරජාණන්වහන්සේ නමක් හැරෙන්න මේ ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා තනියම අවබෝධ කරගත්තොත් පච්චේක බුද්ධයි. බුදුරජාණන්වහන්සේලා ලෝකෙ පහල වෙන්නෙ අකුරු අටකින් යුක්ත වචන තුනක් දේශනා කරන්න අනිත, දුක ,අනත කියන මේ වචන තුන දේශනා කරන්න. එයිට මෙහා කිසිම කෙනෙක්ට ලෝකෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බැහැ, දකින්නෙ නැහැ. එගොල්ලො දකිනවා අනිත්‍යයක් දකිනවා දුකක් දකිනවා අනාත්මයක් ආත්ම සංඤාව ඇතුලෙ, සුඛ සංඤාව ඇතුලෙ, නිත්‍ය සංඤාව ඇතුලෙ. ඒකද තව දිට්ඨියක්.


එතකොට මේ ලෝකෙ ඇත්ත. මේ ලෝකෙ කියලා කිව්වෙ මේ ටීවි එකේ තියෙන රූපෙ පැත්ත මේ කියන්නෙ. මේ බුදුරජාණන්වහන්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වෙ ඔබටවත් මටවත් තේරෙන දැනෙන දැනගන්න පැත්ත ගැන නෙමෙයි මේ කියන්නෙ. ප්‍රසන්න මහත්තයා දරු දුකට අඬන සිතේ තියෙන ගතියත් හිතට හමුවෙච්ච රූපය ගැනවත් නෙමෙයි මේ කියන්නෙ. එතුමා ඇඬුවත් නොඇඬුවත් ඇස් ඉදිරිපිටට ආපු රූපෙ ඇත්තයි මේ කියන්නෙ. ඒක හොඳට මතක තබාගන්න. ටීවී එක පැත්තෙ පෙනෙන රූපෙ ඇත්ත තමයි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව. බොහෝ කල් සිට පැවත එන කෙලෙස් කියන්නෙ කල්‍යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්මය අහන්න ලැබුන්නෑ කියන්නෙ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ටික පෙන්නන්න උගන්වන්න කෙනෙක් හිටියෙ නැහැ. 


ඒ නිසා ඔය රූප ඇස් ඉදිරිපිටට එන ගානෙ හැමදාම හුරු කලේ හුරු කෙරෙව්වේ ඒ රූපය නිත්‍යයි සැපයි ආත්මයි කියන හැඟීම උපදින්නයි උපදවා ගන්නයි. රූපය දකින වාරයක් ගානේ අපි තුල ඒ රූපය තියෙන දෙයක් ඒ රූපය සත්වයෙක්ගෙ පුද්ගලයෙක්ගෙ ඒ රූපය සැප දෙයක් සුබ දෙයක් කියන හැඟීම් ටිකයි යෙදුනෙ. ඔය යෙදෙන හැඟීම් වල එක එක මට්ටම් තියනවා. ඔය යෙදෙන නිත්‍ය සැප ආත්ම සුභ කියන ගති ට්කේ මට්ටම් තියනවා. ඒ මට්ටම් තමයි සංඤා චිත්ත දිට්ඨි කියලා කියන්නෙ.මේ පුද්ගලයෙක් කියලා අදහසක් ඇති වුණොත් මේ සත්වයෙක් කියලා අදහසක් ඇති වුණොත් ඒක ඕගොල්ලන්ට හොඳට ප්‍රකටයි ඒ දිට්ඨිය ඕගොල්ලන්ගෙ. මේ සත්වයෙක් මේ පුද්ගලයෙක් කියන දැනගැනීමක් ඕගොල්ලන්ට ඇතිවෙන්න පුළුවන්. ප්‍රඥ්ඥප්ති නැහැ කෙනෙක් කියලා දැනගන්න පුළුවන්. 


මේ පුද්ගලයෙක් කියන අදහස ආත්ම දෘෂ්ටිය දිට්ඨි විපල්ලාස, පුද්ගලයෙක් කියන දිට්ඨිය. නමුත් මේ කෙනෙක් කියලා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් මට්ටම දැනගන්නකොටම දැනගන්න මට්ටම චිත්ත විපල්ලාසය පවතිනවා ඕගොල්ලොන්ගෙ දැනුම් පරාසයෙන් ඔබ්බට ගිහිල්ලා දැනගන්නත් කලින් කිසිඳු ප්‍රඥ්ඥප්තියකට හිතන්න වත් ඉඩ නැහැ. පුද්ගල ආත්ම සංඤාවම යෙදිලා සංඤා විපල්ලාසය.තිරිසන්ගත සතෙකුටත් දැනගන්න මට්ටම එනකොට ඔය ප්‍රඥ්ඥප්තියෙන් මුක්තයි මිදිලා. සංඤා මට්ටම එනකොට කෙනෙක් පෙනීම් මාත්‍රයම මිසක දැනගන්නත් කලින් කෙනා කියන සංඤාව යෙදිලා එයාට. කෙනා

කියන සංඤාව යෙදෙන මට්ටමේ ඕගොල්ලො දන්නැහැ අපි දන්නැහැ. ඒකයි මෙතන අනුසය අනුසය වෙලා. චිත්ත මට්ටමේ තමයි අපි දන්නෙ ඒකට කියනවා පරිඋට්ඨාන කියලා. ඒ කියන්නෙ කෙනෙක් ගැන දැනුම ආවහම ඒක හොඳද නරකද දැනගන්න පුළුවන් අපි දන්නවා ඒක නම්. දිට්ඨි කියලා කියන්නෙ වීතික්කම කය වචන දෙකෙන් ක්‍රියාත්මක වන මට්ටමට ආපු කෙලේසයක්. ඒකත් අපි දන්නවා.


මේ ආත්ම සංඤාව ඔය තරම් ගැඹුරට යන හින්දයි අපිට මේක ප්‍රකට නැත්තෙ. මෙහෙම පෙනෙනකොටම සංඤා මට්ටමට පත්වෙලා ඒ සංඤාව දැනගෙන ඒ සංඤාව දැනගත්ත දෙයකින් අදහසකුත් ඇවිල්ලා මේ තියෙන්නේ. ටක් ටක් ටක්ගාලා වෙලා ඉවරයි. මේ සිද්ධිය දන්නැති වූනහම අපි හිතාගෙන ඉන්නෙ මේ ආත්ම සංඤාව අයිති මේ රූපෙටයි කියලා. අපි ආත්ම සංඤාවෙන් යුක්ත හැඟීම් වලින් මේ පැත්තට නැඹුරු වෙනවා. මට දැනට කියන්න වෙනවා මේ පැත්තට නැඹුරු වෙනවා කියලා නමුත් ඊටත් වඩා ගැඹුරු කථාවක් මේකෙ තියන්නෙ. නමුත් අපි නිකමට කිව්වොත් ආත්ම සංඤාව උපදිනකොට උපන් ආත්ම සංඤාවෙන් රූපෙ දිහා බලන්නෙ අපි. දැන් අනාත්මය පේන්නැහැ ආත්මයි. ආත්මීය වූ රූපයට මොනවා හරි වෙනකොට දුක එනවා. 


ටීවී එකේ ඇස් ඉදිරිපිටට ආපු රූපය අනිත්‍යයි. හැම වෙලේම අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වෙ අපේ ක්‍රියාකාරකම් වලට හමු වුණත් නොවුණත් ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ඉස්සරහට එන වස්තූන්ගේ ඇත්ත. ඒක හොඳට මතක තබාගන්න. උපමාව මතක තබාගන්න. ටීවි එකේ තියෙන රූපෙ පැත්තටයි බුදු රජාණන්වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වෙ. ඒ රූපය අරභයා නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියලා කියලා ගති හතරක් යෙදෙනවා, කොහෙද? අපේ සිතේ මනෝ විඤ්ඤාණය. අනිත්‍ය රූපය දුක්වූ රූපය අනාත්ම රූපය නිසා අපි තුල මෙහෙම ගති හතරක් යෙදුනා කියලා දන්නැති උනහම අපේ හිතේ තියෙන නිත්‍යයි සුභයි ආත්මයි කියන සංඤාවන්ගෙන් තමයි හිතීම් කීම් කිරීම් කරන්නෙ. 


එබඳු වූ අදහස් වලින් රූපය දිහා බලනකොට රූපය නිත්‍යයි සැපයි සුබයි ආත්මයි වගේ පෙනෙන්නේ. පෙනෙන නිසා පහනට පනින පළඟැටියෝ වගේ අපි ඔක්කොම එක පිම්මට එකට එක අදහසට රූපෙ පැත්තට පැනලයි ඉන්නෙ. පැන්න පළඟැටියා පිච්චිලා මිසක, ගින්නට පැන්න පළඟැටියට පිච්චෙනවා හැරෙන්න වෙන දෙයක් තියෙනවද? රූපෙ පැත්තට ආත්ම සංඤාව ඔසවාගෙන අනාත්ම රූපෙ පැත්තට පැන්න අපිට දුක එන්න තියනවා මිසක වෙන යන්න තැනක් නැහැ. වේදනා සංඤා සංකාර විඤ්ඤාණ පැත්තට පැන්න අපිට දුක එනවා මිසක වෙන යන්න තැනක් නැහැ. 


බුදුරජාණන්වහන්සේ දේශනා කලේ "යො රූපං කාමේති සො දුක්ඛං කාමේති. යො දුක්ඛං කාමේති සො රූපං කාමේති" යමෙක් රූපයට කැමති වෙයිද එයා දුකට කැමතියි. යමෙක් දුකට කැමති නම් එයා රූපෙට කැමති කෙනෙක් කියලා. ඇයි ඒ ආත්මයි කියන අදහසින් නම් රූපය මත පතිත වෙන්නෙ. රූපය ප්‍රකට කරවන්න උත්සහවත් වුනා අනාත්ම ලක්ෂණය. රිදෙන්නැද්ද මට එතකොට. මම රූපය අනාත්මයි කියල හිතුවට රූපයේ සැබෑ ගතිය හැම වෙලේම ක්‍රියාත්මකයි. ආත්ම සංඤාවෙන් මම ඒ දිහා බැලුවට රූපය අනාත්මයි නම් රූපයේ ගති ප්‍රකට වෙනකොට මට රිදෙනවා. රූපය අනිත්‍යයි මම නිත්‍ය සංඤාවෙන් ඒක වසාගත්තට එයා එයාගෙ ගතිය ප්‍රකට කරනවා නම් මට රිදෙනවා. රූපය ඔය වගේ ගති ලක්ෂණ ප්‍රකට කරනවා නම් මට සැපයි කියලා බැලුවට එයා එයාගෙ ගති ප්‍රකට කරනකොට මට රිදෙනවා. මම සුබයි කියලා බැලුවට රූපය අසුබනම් එයා එයාගෙ ගති ප්‍රකට කරනවා එතකොට මට රිදෙනවා නේද? 


අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා කිව්වෙ රූපෙ පැත්තෙ, නිත්‍යයි සුබයි ආත්මයි සැපයි කියන එකට විපල්ලාසයක් කීය හැකිද? පුළුවන්ද? ඒකද විපල්ලාසය කිව්වෙ. නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන ඒක විපල්ලාසයක් කියලා මම කිව්වා නේද? සංඤාව විපරීතයි කියල. නිත්‍යයි සැපයි ආත්මයි කියන එක විපල්ලාසයක් කියලා මම කිව්වොත් ඒක වැරදියි කියලයි මට හිතෙන්නෙ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි ලෝකෙ ඇත්ත, නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන එක විපල්ලාසයක් නෙමෙයි. මම කියන එක හැබැයි ගැඹුරුයි. හැබැයි මෙහෙම කිව්වොත් විපල්ලාසයි. රූපය නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කිව්වොත් විපල්ලාසයක්. නිත්‍යයි සැපයි ආත්මයි කියන එක මනසෙ යෙදෙන්න පුළුවන්.


ඒ කියන්නෙ ටීවි එක දකිනකොට නිත්‍යයි සැපයි ආත්මයි කියන ගතිය බොරුවක් නෙමෙයි එහෙම සිතක් උපදිනවා. ඒ සිත රූපෙ පැත්තට නැඹුරු උනොත් රූපෙ නිත්‍යයි සැපයි ආත්මයි කිව්වොත් ඒක වැරදියි. නිත්‍යයි සැපයි ආත්මයි කියන එක බොරු කියන එක ගන්න එපා. බොරුවක් නම් නැති කරන්න බැහැනෙ අපිට. අපි සම්මා දිට්ඨිය දියුණු කරන්නෙ කෙලේසයක් තියෙන හින්දානේ දුරු කරන්නෙ. කෙනෙක් කිව්වොත් රූපය වේදනා සංඤා සංකාර විඤ්ඤාණ නිත්‍යයි සැපයි ආත්මයි කියලා ඒක විපල්ලාසයි ඒක වැරදියි. ඒ කිව්වෙ අපි කෙටියෙන් ගත්තොත්, මම කෙටි කථාවකින් කිව්වොත් ටීවි එක පැත්තෙ තියෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. ටීවි එක පැත්තෙ තියෙන රූපය නිත්‍යයි සැපයි ආත්මයි කියලා දැක්කොත් විතරයි එතන විපල්ලාසය කියන්න පුළුවන්. 


ටීවි එකේ රූපය දකිනකොට නිත්‍යයි සැපයි ආත්මයි කියලා කෙලේසයක් මනසෙ උපදිනවා හැබැයි එයා ඒකෙන් බලන්නේ නැතුව ඒක නැතිකරන්න උත්සාහයක් ගත්තොත් ඒ නිත්‍යයි සැපයි ආත්මයි කියන අදහසින් රූපෙ දිහා බලන්නැතුව ඒක නැතිකරන්න වෙර දැරුවොත් එයාට විපල්ලාසයක් වෙනවද? නැහැ. නිත්‍යයි සැපයි ආත්මයි කියන ධර්මතාවය උපන්න පමණින් ඒක විපල්ලාසයක් වෙන්නෙ නැහැ. නිත්‍යයි සැපයි ආත්මයි කියන එක විපල්ලාසයක් වෙන්නෙ කොහොමද? රූපය නිත්‍යයි වේදනා සංඤා සංඛාරය විඤ්ඤාණය - නිත්‍යයි සුබයි සැපයි ආත්මයි කියලා ගත්තොත් විපල්ලාසයක්. පටලවගන්න එපා. ඇහැ නිත්‍යයි සුබයි ආත්මයි කියලා ගත්තොත් විපල්ලාසයක්. ඇහැ කන දිව නාසය මේ ටික ඔහොමම ඔහොමම යනවා තේරෙනවා නේද? එතකොට නිත්‍යයි සුභයි ආත්මයි කියන විපල්ලාසය තමයි දුක ගෙනත් දෙන්නේ කියල පෙන්නුවා.


දුකට හේතුව නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ කෙලෙස් ටික. ඕගොල්ලො හොඳට බලන්න මේකෙ ලොකු වෙනසක් තියනවා. බුදුරජාණන්වහන්සේ මුළු බුද්ධ ශාසනයම අසූ හාරදහසක් ධර්ම ස්කන්ධයම යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුනාද යම් රැයක අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවද ඒ අතර ලෝකයාගේ හිත පිණිස සැප පිණිස සුව පිණිස යමක් දේශනා කරා නම් වදාළ නම් ඒ ඔක්කොම වචන දහ අටකට මුළු බුද්ධ ශාසනයම ඇතුලත් කරලා තියනවා.


ඒ වචන නමයක් තියනවා අවිජ්ජා, භව තණ්හා, ලෝභ, ද්වේශ, මෝහ, නිත්‍ය, සැප, ආත්ම, සුභ මෙන්න මේ වචන ටික මේ වචන නමය දුක්ඛ සමුදය සත්‍යයටයි අයිති ඒකෙ ඵලය දුක. ඊගාව පද නමය සමථ, විපස්සනා, අලෝභ, අදෝශ, අමෝහ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන පද නමය මාර්ග සත්‍ය ඒකෙ ඵලය නිවන. එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි සුභයි කියනවා වගේම නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන විපල්ලාස හතරෙන් ඔබ්බෙන් තියනවා මොකක්ද? රාග ද්වේශ මෝහ. ඊටත් ඔබ්බෙන් තියනවා මොකක්ද? අවිජ්ජා භව තණ්හා කියලා මූල ක්ලේශ දෙකක්. අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක තමයි සංඤා මට්ටම කියලා මම කිව්වෙ අනුසය කියලා කිව්වෙ. ලෝභ ද්වේශ මෝහ කියන මට්ටම තමයි චිත්ත මට්ටම පරිඋට්ඨාන කියලා කිව්වෙ. නිත්‍යයි සැපයි ආත්මයි සුබයි කියපු විපල්ලාස තමයි දිට්ඨි වීතික්කම කියලා කිව්වෙ. 


එක එක පරියායන් වලට බෙදෙනවා මම මේ ඔය ටික නිකන් මතක් කලේ. නමුත් මම ඒකෙන් මතක් කලේ හැමවෙලාවෙම විපල්ලාස මට්ටම දුක උපදවලමයි තියන්නෙ. රූපය නිත්‍යයි සැපයි ආත්මයි කියලා දකිනකොට විපල්ලාස. විපල්ලාස වලට හේතුව දකින්න හිතේ තියෙන රාග ද්වේශ මෝහ පුද්ගලයෙක් සත්ත්වයෙක් කියන ගතිටික. මේ ගතිටික නැති උනොත් විපල්ලාස නැහැ එහෙම වුනොත් දුක නැතිවෙනවා කියලා පෙන්නුවා. තව පැත්තකින් ගත්තොත් රූපය අනාත්මයි අනාත්ම රූපය නිසා ආත්ම සංඤාවක් එන්නෙ. ආත්ම සංඤාවෙන් බලන නිසයි රූපය ආත්ම වෙලා දුක එන්නේ. දුකට හේතුව ආත්ම සංඤාව. ආත්ම සංඤාව නැතිඋනොත් මොකද වෙන්නෙ? දුක නැති වෙනවා. හොදට බලන්න දුක නැතිවීම පනවලා තියෙන්නේ ක්ලේශය නැතිවීමෙන්.


අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016. 11. 26 දින හෝමාගමදී ත්‍රිලක්ෂණ අවබෝධය පිණිස දේශනය ඇසුරෙනි. නිවැරදිව ත්‍රිලක්ෂණය දකින ආකාරය පිළිබදව කියවෙන මේ දේශනාව ඔබත් මේ දැන්ම ශ්‍රවනය කර ඒ මඟ ඔස්සේ ගමන් කර මේ ඝෝර භීර භයංකාර සංසාර ගමන නතර කරගැනීමට මේ බුද්ධෝත්පාද කාලයේදීම අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න.


Post a Comment

0 Comments