ඉස්සර මුහුදු යන මනුස්සයන්ට තිබිලා නැහැ අද වගේ මාලිමා, නොයෙක් යන්ත්‍ර තිබිලා නැහැ දිශාවන් හොයාගන්න. නැව්වල යන මනුස්සයෝ පහසු ගොඩබිමක් හොයාගන්න තියෙන පහසු ක්‍රමය තමයි කපුටෝ අරගෙන යනවා. මුහුදේ මැදට ගිහිල්ලා ගිහිල්ලා වතුර කෑමබීම එහෙම අඩුපාඩු තියෙනකොට ළඟපාත ගොඩබිමක් තියෙනවද කියල හොයාගන්න කරන්නේ කපුටාව අහසට අරිනවා. කපුටා උඩට ගිහිල්ලා උතුර පැත්තට යනවා ගොඩබිමක් නැත්නම් ඊටපස්සේ දකුණු පැත්තට යනවා. ඒත් ගොඩබිමක් නැත්නම් නැගෙනහිර පැත්තට යනවා. නැත්නම් බටහිරට පැත්තට යනවා. හතර දිශාවේම ගොඩබිමක් පෙන්නේ නැත්නම් ආපහු නැවටම එනවලු. ඔහොම ගිහිල්ලා යම් දිශාවකින් කපුටා යන්නම ගියොත් දැනගන්නවා ළඟ ගොඩබිමක් තියෙනවා කියල, නැව ඒ පැත්තට හරවාගෙන යනවා. ඔහොම තමයි ඉස්සර දිශා හොයාගෙන තියෙන්නේ. ඒ වගේ වර්තමානේ බය නැතුව එක දෙයක් මම කියනවා.
ඕනෑම කෙනෙක් නිවන් දකින්න කියල යන්න. කොහේ ගියත් පුතේ අන්තිමට මේ මාර්ගයටම එන්න වෙනවා. මං ගාවට නෙමෙයි, මේ කියන ක්‍රමයට එන්න වෙනවා. රූපය පිරිසිඳ දැකලා කාමය අතහරිනවා කියන මේ පරියාය වෙනස් වෙන්නේ නැහැ. වෙන ක්‍රමයකුත් නැහැ. නමුත් මේ ක්‍රමයටම එන්න වෙනවා. නාමධර්ම ටික පිරිසිඳ දැකලා අවිද්‍යාව දුරු කරලා රූප අරූප භවයෙන් මිදෙන්න තියෙන්නේ කියන ටික වෙනස් වෙන්නේ නැහැ. මාර්ග ගොඩක් නැහැ, මාර්ගය වෙනස් වෙන්නේ නැහැ. දේශනා වෙනස් වෙනවා ඇති. වර්තමානයේ සුලබ නැහැ පුතේ. ඉතින් මම බොහොම ආදරෙන් මතක් කරන්නේ ඇත්තටම ඕගොල්ලොන්ට පින ඇති, ශ්‍රද්ධාව තියෙයි. පින තියෙන නිසයි මේ හැම දෙයක්ම දාලා ආවේ. ගොඩක් බුද්ධිමත් වෙන්න. අර එක ස්වාමින් වහන්සේ නමක් කිවුවා, මේක මගේ උපාමාවක් නෙමෙයි. හැබැයි ඒ උපමාව බොහොම තාත්විකයි. පයින් යනවට වඩා ඉක්මනට යන්න වාහනයකට නගින්න හැබැයි වාහනය ඇතුලේ දුවන්න යන්න එපා.
ඉක්මනට කොළඹට ගාල්ලට යන්න කියලා සමහරවිට express බස් එකකට හෝ කෝච්චියකට නැග්ගා කියන්නකෝ, හදිසි වැඩිකමට කෝච්චියේ ඇතුලේ දුවන්න හැදුවොත්, බස් එක ඇතුලෙත් දුවන්න හැදුවොත් හරි ද? නැහැ. නිවන් දකින එකත් එහෙමයි පුතේ. අප්‍රමාදීව එන්න, කටයුතු කරන්න. කෝච්චියේ බස් එකේ දුවන්න හදනවා කියන එක සහේතුක නැහැ. ධර්ම විනය ඉගෙන ගන්න ආවහම ඒකේ ඇතුලේ හදිසි කියන එක තාත්වික නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේදී, නිසෙන් වෙන්වෙලා ඉන්න හැම රැයක් ගානේම දුක්කට ආපත්ති හාමුදුරු නමකට. ඇයි ඒ? එයා තනියම යැපෙන්න දන්නේ නැහැ, තනියම ඉන්න සුදුසු නැහැ. ඕගොල්ලෝ දන්නවද තනියම ඉන්න සුදුසු කෙනා කවුරුද කියල,ඉන්න පනවලා තියෙන්නේ මේ ශාසනේ කාටද කියල, ඇයි බුදුරජාණන් වහන්සේ අකරුණාවද? නැහැ. හිතුමතේට ඇවිදින්න හුරුවෙච්ච, ඇවිදින මනසට හරියන්නේ නැහැ.
ආචාර්යයන් වහන්සේලා ගාව, උපාධ්‍යන් වහන්සේලා ළඟ අවුරුදු පහක් ඉඳලා ධර්ම විනය ඉගෙනගෙන 'නිස' සමාදන් වෙන්නේ. ඒ සමාදන් වෙච්ච ගුරුවරයා ළඟ ඉදලා ගුරුවරයාට පාවා දියයුතු දහම් කොටස් ටිකක් තියෙනවා. ඒ දහම් කොටස් ටික පෙන්නපු දවසට නිශ්‍රය මුක්තයි, නිසෙන් මිදෙනවා. කැමති තැනක එයාට යන්න පුළුවන් එයා නිදහස් භික්ෂුවක්. ආරණ්යකට, හිස් ගෙයකට, ගල් ගුහාවකට ආදී කැමති තැනකට ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන බණ භාවනා කරගත හැකියි. එයා ජීවත්වෙන්න දන්නවා, යැපෙනවා, යැපෙන්න දන්නවා. එයාව එතකන් රැකගෙන තියෙන්නේ දන්නේ නැති හින්දා. ගියොත් අතරමං වෙන නිසා. නමුත් අර නිශ්‍රය මුක්ත ධර්මතා ටික පාවලා දුන්නට පස්සේ ගුරුවරයාට එයාට යන්න පුළුවන්. ඊටපස්සේ තව අවුරුදු පහක් දීලා තියෙනවා ඒ කෙනාට හිත වඩන්න, බණ භාවනා කරන්න. ගුරුවරු ළඟ ධර්ම විනය අවුරුදු පහක් ඉගෙනගත්තා. අවුරුදු පහක් නිස්සය යුක්ත ධර්ම පෙන්වලා ගිහිල්ලා අප්‍රමාදීව බණ භාවනා කරනවා.
මෙන්න මේ වස් දහයක් ගිය ගුරුවරයෙක් සුදුසයි ගෝලයෙක් මහණ කරගන්න. ගෝලයෙක් මහණ කලහම එයාව හදන්න තේරෙනවා, දන්නවා. එයා ධර්මයත් ඉගෙනගෙන තියෙනවා, ධර්මය පුරුදු පුහුණු කරන හැටිත් ප්‍රයෝගිකව කරලා තියෙනවා. පැවිදිවෙන කෙනකුට සසර දුකෙන් එතෙර කරවන්න පුළුවනි කියන ධර්මතාවයක් තියෙයි. නමුත් මේ ශාසනය පුතේ බොහෝ කාලෙක ඉදලා ශාසනේ තියෙන යථා ස්වභාවය ඈතටම ඈතට ගිහිල්ලා. දැන් තමයි ටික ටික ආපහු හදාගෙන එන්න වෙලා තියෙන්නේ. මහනුවර යුගය වෙනකොට උපසම්පදා හාමුදුරු නමක්වත් නැහැ මේ ලංකාවේ. නොයෙක් විදිහේ මිෂනාරි බලපෑම් වලින් යුක්ත වෙලා මේ පිටක පොත් පුච්චලා ගිනි තියලා පන්සල්වත් නැහැ. අන්තිමට ගනින්වහන්සේලා කියල කොටසක් එයද මේ සංඝයාටයි මේ ශාසනේට ආදරේකමට ත්‍රිපිටක පොත්පත් ගල් ලෙන්, ගල් ගුහාවල, ගල්පතුරු වලින් වලවල් හාරලා මේ වගේ කැළේ ඇතුලේ හැංගලා තියලා ඉදලා ගිහිගෙදර ඉන්නවා. හොරෙන් ගිහිල්ලා ආරක්ෂා කරලා ඒ පොත්පත් ටික විටින් විට බලාගන්නවා. මෙයා ගිහි ගෙදර ඉදලා කරන්නේ පොත්පත් ටික රැකගන්න එක. ඔහොම ආපු කාලයක් තිබලා තියෙනවා.
ඊටපස්සේ මහණ වෙලා සාමණේර හාමුදුරුවරු විතරයි, උපසම්පදා කියල එකක් නැති වෙච්ච තැනක් තිබීලා තියෙනවා. අද මේ ටික ටික හරි නැගිටගෙන එන්නේ නැත්තටම නැතිවෙලා මීට අවුරුදු දෙසිය ගණනකට ඉස්සර වෙලා තමයි සියම් දේශයේ ඉදලා ආපහු උපාලි හාමුදුවෝ මුල්වෙලා උපසම්පදාව ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ගෙනාවට පස්සේ ලංකාවේ අය දන්නේ නැහැ පාත්තරයක් පුච්චචනේ කොහොමද, සිවුරු භ්යන්ස කරන්නේ කොහොමද, මට මතක විදිහට වතුරුවිල නායක හාමුදුරුවෝ ආදී කට්ටිය අටුවාවල් බල බලා පොත්පත් බල බලා සිවුරු භ්යන්ස කරන්න ඕනේ මෙහෙමයි, පාත්තර කළු කරන්නේ මෙහමයි කියල ඔන්න ඔය විදිහට මෙන්න මේ පෙනෙන මානයට හදාගෙන හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි පැවිදි වෙන යුගය වෙනකොට ඒ කියන්නේ මීට අවුරුදු විස්සකට පමණ එහා ගත්තහම ඊට එහා කාලේ පංච ස්කන්ධය කියල කිවුවේ මේ ශරීරයට. මේ එක් ක්ෂණික අරමුණක්, අරමුණක් ගානේ ස්කන්ධ පංචකය තියෙනවා කිවුවහම මට තාම මතකයි මට බැන්නේ අමුතු බණක් කියනවා, විනය වර්ධන කෙනෙක් ඔන්න ඔහොම බැන්නේ.
මේ ලෝකේ දන්නේ නැහැ මෙහෙමවත් ස්කන්ධ පංචකය ගැන. මේ ත්රිපිටකයක් දන්නේ නැහැ අපි පැවිදිවෙන කාලය වෙනකොටත්. මේ දියුණු වෙලා දියුණුවෙලා එන කාලේ දැන් අවුරුදු පහළොවක් විස්සක් අතර කෙටි කාලයක්. හැබැයි ඒ නිසා දැන් ධර්මය හැදුනට නියම ක්‍රමයක් ශාසනයේ පැවැත්මක් නොතිබුනකම ඒ විදිහටම තාම ටික ටික යනවා. ඒ නිසා ඒවත් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ මහණ වෙච්ච ගමන් කැලේකට යනවා, පාත්තරයක් අරගන්නවා. ඔහොම ගියොත් තමයි මහණකම කියන තැනකින් ඉන්නේ. නමුත් මගේ ඉලක්කයක් තියෙනවා පුතේ. අපවත් වෙන්න කලින් මේ බුද්ධ ශාසනය අපි අපවත් වුනත් මේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිඳු බුද්ධ ශාසනය ලෝකේ පිහිටන පරපුරක් හදනවා කියන එක. ආචාරශීලි, ගුණ සම්පන්න, නියම ධර්මයෙන් යුක්ත, නියම හැදියාවෙනුත් පිරිසක් හදනවා කියන එක.
මම දන්නවා මම අවංකව දරන මේ සත්පුරුෂ උත්සාහයට බුදුරජාණන් වහන්සේගේ ශාසනය බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙන සත්පුරුෂයෝ හම්බවෙයි මට. එතෙක් මම කිසිම කෙනෙකුට බල කරන්නේ නැහැ. ඕගොල්ලෝ අතර වුනත් මගේ යුතුකම් ටික කරනවා. ඕනේ කෙනෙකුට කැමති නම් යන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ, මම බලකරන්නේ නැහැ කිසිම වෙලාවක. මම කශ්යපටත් කියල තියෙන්නේ, මේ අනික් අයටත් කියල තියෙන්නේ මගේ බුදු හාමුදුරුවන්ගේ ශාසනයට කැපකිරීමක් කරන්න පුළුවන් නිකන් කෙනෙකුට නෙමෙයි. එයාට මේ ශාසනයට සේවයක් කරන්නත් පිනක් තියෙන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයට උපස්ථානයක් කරන්න ලැබෙන්නේ නැහැ හැම කෙනෙකුටම. අපේ තියෙන ගති හදාගෙන ශාසනානුලොමව ජීවිතය හදාගෙන ඉදිරි සංඝ පරපුරට අපිට තිබුණු අඩුපාඩුව ඇති නොවන විදිහේ ප්‍රතිපදාවක් හදන්න මුල්වෙන කට්ටියට ගොඩාක් අපහසුකම් ඇතිවෙයි.
නමුත් ඒ අපහසුකම් මැද්දේ හරි යම්කසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කාලයක් නිර්මලව පිහිටා හිටින වටපිටාවක් හදන්න පුළුවන් නම්, උදව් කරන්න උදව් වෙයි නම් ඒකද පිනක්. රස්තියාදු ගහන මනසට මේක කවදාවත් වෙන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ අද දවසේදී අපි තාම ළදරුයි පුතේ. අපි තමයි මෙහෙම හරි වර්තමානයක මේ හිත වඩ වඩ ත්‍රිපිටකය බල බලා හිත හිත මේක හදාගෙන හදාගෙන එන්නේ මේ අපි එක කණ්ඩායමක්. මේ උත්සාහය හැම තැනකම නැහැ පුතේ. නමුත් වරදින්නේ නැහැ. පෙනෙන මානයටම අද ඇවිල්ලා තියෙනවා. ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් මට්ටමට, ආස්‍රව ක්ෂයවෙන ප්රතිපාදවක් උපදින මට්ටමට ඇවිල්ලා තියෙනවා. අමාරු කොටස පහුවෙලා අපේ තියෙන්නේ. ඉතුරු ටික ඒ තරම් අපහසුවක් නැහැ කරගන්න.
ඉතින් මම මතක් කරන්නේ දුවන්නන් වාලේ දුවන සමාජ රටාවට එකතුවෙලා බාහිර ස්වරූපයන් දිහා බලමින් තර්ක විතර්ක කර කර මේ ශාසනයට උපස්ථානයක් කරන්න බැහැ. නමුත් ඕගොල්ලෝ හොඳට ශාසන ප්‍රතිපදාව කියවල බලන්න. බුදරජාණන් වහන්සේගේ කාලේ ඉදලා ශාසනය ආපු හැටි බලන්න. ඒ පැවිදි වෙච්ච අය ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යන් වහන්සේලා කෙරෙහි දිවි හිමියෙන්ම බොහොම ගෞරවයෙන් ළඟ ඉදලා එයාල බොහොම උපායශීලි වුනා. අනික් අයගේ හිත දිනාගෙන කොහොම හරි ධර්ම විනය දෙක උකහාගන්න, උදුරලා ගන්නවා සාරය කොහොම හරි. අරගෙන ජීවිතය හදාගෙන, බාහිර අඩුපාඩු ටිකත් හදාගෙන ශාසනය නිරුපද්‍රිතව නිර්මලව අරගෙන ආවා. නොයෙක් බලපෑම් මත බාහිරයට වැටුණු මේ ශාසනය දැන් ආපහු අපිට හදන්න වෙලා තියෙන්නේ. ඉතින් ධර්මය වගේම තමයි අපේ චරියා පැවැත්මවලුත් අපිට හදාගන්න වෙයි.
ඔගොල්ලොන්ගෙන් කැමති කෙනෙක්ට මම මතක් කරන්නේ ඉපදෙමින් මැරෙමින්, මැරෙමින් ඉපදෙන මේ සංසාරයෙන් එතෙර වෙන්න වෙර වීරිය දරන පුද්ගලයන් අතරින් අවංකව කරනවා අපි. අඩුපාඩු පුතේ අපේ ජීවිත වල තියෙන්න පුළුවන් පුතේ, තාම මම වුනත් කියන්නේ මම යනගමනේ පණිවුඩය තමයි මේ කියන්නේ. එබදු පැවැත්මක් තුල සෑහීමකට පත්වෙන්න පුළුවන් කෙනෙකුට මේ ඇසුරේ ඉදගෙන ධර්ම විනය ඉගෙනගෙන හැදෙන්න පුළුවන්. මම එක දෙයක් මතක් කරනවා එදත් එහෙමයි අදත් එහෙමයි මගේ යුතුකම් ටික කරලා තියෙනවා ඒ ඒ සමය වෙනකොට මම කෙරෙහි විශ්වාසයකින් බලාපොරොත්තුවකින් ආවා නම් යම්කිසි කෙනෙකුට කිසිම කෙනෙකුට මම ඒ විශ්වාසය කඩ කරලා නැහැ තාම. අනික් හැම තැනකටම වඩා ධර්මයෙන් සාධාරණයක් කරලා ධර්මය මතු කරලා කොහොම හරි මම දීලා තියෙනවා, දෙනවා.
මම එදත් මතක් කලේ මම සම්මා සම්බුද්ධ නෙමෙයි, ඒ හින්දා මගේ නුවණේ අඩුපාඩු තියෙයි පුතේ මමත් ඕගොල්ලෝ වගේම කෙනෙක්. මට එකපාරට මේ ඔක්කොම ධර්මතා තේරෙන්නේ නැහැ. කලින් කලට හිත වඩන්න වඩන්න හිත වඩන්න වඩන්න තමයි පෙර පිනකට මට හැබැයි මේවා හෙළිවෙනවා හෙමින්. ඒ හැම දෙයක්ම කියල දීලා ඉන්න අයගේ සිහි නුවණ හදනවා. ඒකට මටත් කාලයක් යනවා, ඕගොල්ලොන්ටත් කාලයක් එයි. එතෙක් ඉවසීමෙන් ශාසනය වෙනුවෙන් ධර්මය වෙනුවෙන් ඉන්න පුළුවන් අයට මාත් එක්ක ඉන්න පුළුවනි. ඒ අය කෙරෙහි මගෙන් කෙරෙන්න පුළුවන් යම්තාක් උපකාරයක් තියේ නම් මම දිවි ඇතිතාක් මට පුළුවන් දේ මම කරනවා. මට බැරි දේ මම කරන්නේ නැහැ. මම බොරු කරන්නෙත් නැහැ, මට බැරි දේ මම බැහැම කියනවා. පුළුවන් දේ පුළුවන්ම කියනවා. හරි දේ බය නැතුවම හරි කියනවා. හරි දේ බොරු කියලවත් බොරු දේ හරි කියල මම කියන්නේ නැහැ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියනවා.
ඉතින් ඕගොල්ලොන්ට මතක් කරන්නේ පුළුවන් නම් මේ කියපු ටික කරලා බලන්න. කරලා මේකෙන් යම්කසි මානසික සංවර්ධනයක් නොලැබුනොත් දෙවරක් හිතන්නේ නැතුව ඕගොල්ලෝ ඔක්කොමලා හරි යන්න. මොකද ඕගොල්ලෝ ආවේ තව පුද්ගලයෙක් අල්ලාගෙන ඉන්න නෙමෙයි. අම්මලා, තාත්තාලා, සහෝදරයෝ ඔක්කොමලා අතහැරලා ආවේ තව තැනක් හෝ තව කෙනෙක් අල්ලගෙන ඉන්න නෙමෙයි ජරාමරණ දුකෙන් එතෙර වෙන්න. ඒ ජරාමරණ දුකෙන් එතෙරවෙන ධර්මතාවයක් හම්බවුනේ නැත්නම් ඕගොල්ලෝ යන්න. හැබැයි හම්බවෙලා ඕගොල්ලෝ අදක්ෂ නම් ඕගොල්ලෝ යන්න තාම සුදුසු නැහැ. ඕගොල්ලෝ අදක්ෂ නම් ඕගොල්ලෝ දක්ෂ වෙන්න. ඕගොල්ලෝ දක්ෂවෙලත් ඒක ස්වාකාත නැත්නම් තමන්ගේ හිත හැදෙන්නේ නැහැ කියල තේරෙනවා නම් යන්න සුදුසුයි.
ඒ නිසා හැමෝටම මතක් කරන්නේ බස් එකට නගින්න, බස් එකේ දුවන්න හදන්න එපා. වතුර කේතලයක් වුනත් ලිපේ තිබ්බහම පැහෙන්න වෙලාවක් ගන්නවා පුතේ. ඕගොල්ලෝ දන්නවද මේ රූපය දිරනවා වගේම විමුක්තිය පරිපාචනීය කියල ධර්මයක් තියෙයි. විමුක්ති පරිපාචනීය කියල කියන්නේ මොකක්ද, විමුක්තිය පිණිස මනස මුහුකුරා යන ධර්මතා තියෙනවා. නුවණ කියන එකත් ටික ටික මෝරනවා පුතේ. සිහිය කියන එක ටික ටික මෝරනවා, ඉන්ද්‍රීය කියන එක ටික ටික මෝරනවා ඇතුලෙන්. එක පාරට වැඩෙන්නේ නැහැ. මේ දැනුත් මේ රූපය වෙනස් වෙනවා, හැබැයි පෙනෙන්නේ නැහැ. අවුරුදු දහයක් පහළොවක් ගියහම ලොකු වෙනසක් ඇඳිලා තේරෙයි. අවුරුදු විස්ස විසිපහ කාලේ අපේ තිබුන ෆොටෝ එකකුයි දැන් ෆොටෝ එකකුයි ගත්තොත් ලොකු වෙනසක් තේරෙයි. නමුත් එදා අපිට තේරුනේ නැහැ. අදත් මේ රූපය විපරිණාමයට පත්වෙමින් තියෙනවා. නමුත් පෙන්නේ නැහැ. හැබැයි තව අවුරුදු දහයක් විතර ගියහම තේරෙයි අද මේ ස්වභාවය කොච්චර තරුණද කියල තේරෙයි.
ඒ වගේ දවසින් දවස මේ ධර්මතා ඉගෙන ගන්න ඉගෙන ගන්න කථා කරන්න, කථා කරන්න එදා නොතේරුන දේ අද තේරෙනවා. එදාට වඩා මේ වචනය පැහැදිලි. එදාට වඩා මේ කාරණාව පැහැදිලි කියල ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙනවා. අපි බොහොම බුද්ධිමත් කියල තාම තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් යනකොට තේරෙනවා එදා නොතේරිච්ච දේ අද තේරෙනවා . එදා අවබෝධ නොවුන දේ අද අවබෝධයි. එදා මම මෙතනට එනවට වඩා අද වෙනස් කියල හොඳට තේරෙයි පෙර පසු මනසේ වෙනස. ඒ නිසා හැමදෙනාම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එකත්, මම කෙරෙහි යම් විශවාසයක් තැබුවොත් ඒක පළුදු නොවෙන විදිහට මට පුළුවන් විදිහට ඕගොල්ලෝ එන්න පුළුවන් තාක් මේ ධර්මයෙන් උත්තරය අරගෙන මම දෙන්නම් කියන කාරණාවත් මම මතක් කරනවා. හවසට භාවනා කරන හැටි අපි ටිකක් පුරුදු වෙමු. සති නිමිත්තේ හිත තියාගන්න හැටි ඒ වගේම සති නිමිත්තේ හිත තියාගෙන අරමුණු විදර්ශනා කරන හැටි පුරදු වෙමු.
හැමදෙනාටම තෙරුවන් සරණයි..!
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2017.07. 30 දින ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පවත්වන ලද මිගසාලා සුත්‍ර දේශානාව ඇසුරෙන්
0 Comments