පින් කිරීමේ ක්‍රම - 3 කොටස


 පින් කිරීමේ ක්‍රම - 3 කොටස


● ඊළඟට සිල් ද රැකිය යුතුයි. ඇයි ඒ? අපි කියමු කෙනෙක් නිතරම දන් දෙනවා. පින් කරනවා, හැබැයි සිල් රකින්නේ නැහැ. දන් දුන්න නිසා මනුෂ්‍යයෙක් වෙලා උපදිනවා. මහත් භෝග ඇති කුලයක, මහාසාර කුලයක, මහේශාක්‍ය කුලයක මහා විශාල ‍භෝග ස්කන්‍ධයකට හිමි කාරයෙක්ව උපදිනවා. හැබැයි එයා සිල් රැක්කේ නැහැ. සතුන් මරනවා. දනුත් දෙනවා, නමුත් සතුන් මරනවා. එතකොට මහේශාක්‍ය කුලයක උපදිනවා, අඩු ආයුෂයෙන්ම මැරෙනවා. මේ පින්වතුන් මහා ධනවත් පවුල් වල ඉපදුණු දරුවෝ අඩු වයසින් මැරෙනවා දැකලා තියෙනවා. අර දානයට මහා සම්පත්තියක් ලැබුණාට ඒකෙන් ප්‍රයෝජන ගන්න බැහැ. මොකද ඒ? සතුන් මරලා, ජීවිත හානි කරලා තියෙන නිසා අල්පායුෂ්කයි. අඩු වයසින් මැරෙනවා. එතකොට අර දාන දුන්න එකෙන් ප්‍රයෝජන ගන්න බැහැ.


● මහා විශාල ධනස්කන්‍ධයකට හිමිකාරයෙක් වෙලා දන් දුන්න නිසා උපදිනවා. හැබැයි එයා සිල් රැකලා නැහැ. එයා හොරකම් කරලා. එතකොට මොකද වෙන්නේ? තමන්ට ලැබුණු අර භවභෝග සම්පත් රජුන්ගෙන් හෝ, හොරුන්ගෙන් හෝ ගින්නෙන් හෝ ජලයෙන් හෝ කුමන හෝ විදියකින් විනාශවෙලා යනවා. හරියට හොරු ගෙනිච්චා වගේ වෙනවා. එතකොටත් අර දානාදී කුසල ධර්මයෙන් ලැබුණු ඵලය විඳින්න පුළුවන් ද? බැහැ.


● කෙනෙක් හොඳට දානාදී කුසල ධර්ම සිද්ධ කරනවා. නමුත් සිල් රැකලා නැහැ. කාමයේ වරදවා හැසිරෙනවා. බොහෝම ධනවත් කුලයක උපදිනවා. හැබැයි ස්ත්‍රී ආත්මභාවයටත් නැති, පුරුෂ ආත්මභාවයටත් නැතුවයි උපදින්නේ. ඉතින් ඒත් අර සම්පත්තියෙන් වැඩ ගන්න පුළුවන් ද? බැහැ.


● කෙනෙක් හොඳට දානාදී කුසල ධර්ම කරනවා. නමුත් සිල් රකින්නේ නැහැ, බොරු කියනවා. මෙයා මහා විශාල ධන ස්කන්‍ධයකට හිමිකාරයෙක් වෙලා උපදිනවා. මෙයාගේ වචනය කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. වචනයේ තේජසක් නැහැ. දැසිදස් කම්කරුවෙක්වත් මෙයාගේ වචනය අදහන්නේ නැහැ. දූදරුවෙක්වත් මෙයාගේ වචනයට කීකරු නැහැ. අකීකරුයි. එතකොට කිසිම දෙයක් කරන්න ගියහම මෙයාගේ වචනයේ තේජසක් නැහැ. වචනය පිළිගන්නේ නැහැ. අනිත් කට්ටිය වචනය අදහන්නේ නැහැ. ඒ වචනයට බය නැහැ. වචනයේතේජසක් නැහැ. ඒ විතරකුත් නෙවෙයි, කිසිම කාලයක දී නො කළ වරදකට අධිකරණයකට ගෙනිච්චොත් තමන් නිර්දෝෂී වුණාට නිර්දෝෂී බව ඔප්පු කරගන්න බැහැ. අනිත් අයව බොරුවෙන් රැවැට්ටුවා වගේම තමන්ව බොරුවෙන් රවට්ටනවා. තමන් මොන තරම් නිර්දෝෂී වුණත්, නිර්දෝෂී බව ඔප්පු කරගන්න බැරුව බොරු වරදකට වැරදි කාරයෙක් වෙලා බොහෝ කාලයක් දුක් විඳින හිරේ වැටෙන්න වෙනවා. මොකක් නිසාද මේ? සිල් රැක්කේ නැති නිසා යි.


● දානාදී කුසල ධර්ම සිද්ධ කළත්, සිල් රැක්කේ නැත්නම් නිරෝගී පැවැත්මක් හම්බවෙන්නේ නැහැ. හොඳට දන් දෙනවා නමුත් සිල් රකින්නේ නැහැ. රහමෙර පානය කරනවා. සුරා පානය කරනවා. රහමෙර පානය කරන එකෙන්, සුරා පානය කරන එකෙන් කරන්නේ මොකක්ද? මේ හැම දෙයක්ම ප්‍රශ්න, කරදර, අමතක වෙලා ඉන්න තියෙනවා නම් හොඳයි කියලා නේද? ඒ මේ තියෙන දේවල්, තියෙන මට්ටම මතක නො ‍හිටිනවා නම් හොඳයි කියලා නේ ප්‍රාර්ථනා කරන්නේ? ඒකට එයාගේ කැමැත්තට අනුව ලැබෙන්නේ මොකක්ද කියලා දන්නවාද? කිසිම දෙයක් මතක හිටින්නේ නැති, මතක තියාගන්න බැරි මන්දබුද්ධික භාවයෙන් උපදිනවා.

මේ පින්වතුන් දැකලා ඇති මහා විශාල ධනස්කන්‍ධයකට හිමිකාරයෙක්ව උපදින පවුල් වල මන්දබුද්ධික ළමයි. දැකලා නැත් ද, අහලා නැත් ද? තියෙනවා. ඇයි එහෙම වෙන්නේ. ඒ අය සුරා පානය කරලා ප්‍රාර්ථනා කළා,‘මේ වගේ මතක නො ‍හිටිනවා නම්, මේ කිසිම දෙයක් මතක තියාගන්න බැරි මට්ටමක් තියෙනවා නම් හොඳයි’ කියලා ක්‍රියාව තුළින් ප්‍රාර්ථනා කරලා තියෙනවා. වචනයෙන් ප්‍රාර්ථනා කරනවාට වඩා කයින් කරලා, ප්‍රාර්ථනා කරන එකේ බලය වැඩියි. ඒ නිසා ඒ විදියට වැටෙනවා.


කටේ කෙළ ටිකවත් රඳවා ගන්න බැරි මට්ටමට කියනවා ‘කෙළතොළුවා’ කියලා. කිසිම දෙයක් මතක හිටින්නේ මට්ටමට කියනවා ‘මොන්ගල්’ කියලා. මෙන්න මේ වගේ ආත්මභාවයන් තමා ඇති වෙන්නේ.


අපි අරක දැක්කහාම පව්, අසරණයෙක් කියලා හිතුවාට එයාගේ කර්ම පැත්ත ගත්තහම එයා අහිංසක නැහැ, හිංසකයි. එයාගේ කර්ම පැත්ත දුක් සහිතයි. අපට එයාගේ විපාකය දැක්කහාම හිතෙන්නේ පව් කියලා. නමුත් එයාගේ කර්ම පැත්ත දැක්කහාම හරි රළුයි. අර සතාට වද දීපු මනුස්සයා දිහා බලන්න. එයාගේ කර්මය මොන තරම් සැර ද? මොන තරම් පරුෂ ද? ඊළඟ ආත්මයේදී එයාගේ කට ඇරිලා එල්ලිලා ඉන්නවා දැක්කොත් අපිට දුක හිතෙයි හරි අසරණයි, අහිංසකයි කියලා. අසරණයි, අහිංසක නැහැ. එයාගේ ජීවිතය හිංසකයි.

ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරන්නේ -


මධූවාමඤඤති බාලො,

යාව පාපං න පචචති.

යදා ච පචචති පාපං,

අථ බාලො දුකඛං නිගචඡති.


යම්තාක් පව් ඵල නො දෙයි ද, ඒ තාක් කරන දේ අකුසලය මිහිරි වගේ ‍හිතෙනවා. යම් දවසක පව් ඵල දෙයි ද, එයාට බාලයා දුකට පත් වෙලා අපට පෙන්නුවේ ඒ නිසා. අපි රහමෙර පානය කරනවා, කරන කොට හරි මිහිරියි, නමුත් ඒක විපාක දෙන්න ගත්ත දවසට බොහෝ කාලයක් දුකට පත්වෙනවා.


ඒ නිසා බොහෝම ශ්‍රද්ධාවෙන්, බුදුරජාණන් වහන්සේ කිව්වාට නෙවෙයි, තමන්ගේ නිරෝගී ආත්මභාවයන් මේ සීලයෙන් අර්ථ දක්වන්නේ. ජීවිතයකට සීලය කියන්නේ වර්ණයක්. සීලය කියන්නේ වස්ත්‍රයක් වගෙයි කියනවා. මේ ශරීරය වහගන්න, අලංකාර කරන වස්ත්‍රයක් වගෙයි කියනවා සීලය. ඒ නිසා දානාදී කුසල ධර්ම කරන්න. සිල් රකින්න.


● එතකොට මේ පින්වතුන් දානාදී කුසල ධර්ම කළ නිසා භවභෝග සම්පත් ඇති මහේශාක්‍ය මහාසාර පවුලක උපදියි.

● ඒ වගේම සිල් රැකපු නිසා නිරෝගී ආත්මභාවයකුත් ලැබෙයි.

● දීර්ඝායුෂ්කයි,

● තමන්ගේ අකමැත්තෙන් දැසිදස්කම්කරුවෙකුටවත් තියෙන දෙයක් ගන්න බැහැ.

● හොඳ මහා පෞරුෂත්‍වයකින් යුක්ත ආත්මභාවයක් තියෙයි,

● හොඳ තේජාන්විත වචනයත් තියෙයි.

● ඒ වගේම ස්ථානෝචිත ප්‍රඥාවෙන්, ස්ථානයට උචිත නුවණින් කටයුතු කිරීමේ හැකියාවෙන් යුක්ත මානසික මට්ටමක් ඇති නිරෝගී ආත්මභාවයකුත් ලැබෙයි.

මෙන්න මේ ටික සපයාගන්නයිමේ පින්වතුන්ට තියෙන්නේ. ඔය ටික කවදාවත් ලබාගන්නබැහැ දානයටයි, භාවනාවටයි. එතකොට කෙනෙක් දන් දුන්නහම, සිල් රැක්කහම එයාට ලැබෙනවා උපභෝග පරිභෝග සම්පත්ති සහ නිරෝගී ආත්ම භාවයක්.


මතු සම්බන්ධයි!

Post a Comment

0 Comments