පින් කිරීමේ ක්‍රම - 4 කොටස

 



පින් කිරීමේ ක්‍රම - 4 කොටස


ඊටපස්සේ තව කාරණාවක් තියෙයි භාවනාමය පුඤ්ඤකිරියවත්‍ථු. අපේ ජීවිතයේ භාවනාමය ප්‍රඥාව හුරු කරලා තියෙන්නත් ඕනේ. එහෙම නො තිබුණොත් මොකක්ද දෝෂය? පෙර කුසලයට, දානාදි කුසල කර්මයෙන් ලැබුණු සම්පත්ති, සීලාදී කුසල ධර්මයෙන් ලැබුණු ආත්මභාවයේ දොස් පෙනෙන්නේ නැහැ. ආදීනව පෙනෙන්නේ නැහැ. ඒවාද නැතිවෙන, වෙනස්වෙන, විනාශවෙන ධර්මතාවයක් කියලා පෙනෙන්නේ නැහැ. මේවා කුසලය නමැති හේතුවකට උපන්න දෙයක් කියලා පෙනෙන්නේ නැහැ. එයාගේ හිතේ මේ වස්තුව, මේ ධනය ‘මගේ’ මයි කියලා. මේ ආත්මභාවය, මේ නිරෝගීකම ‘මම’ ම වෙලා, ‘මගේ’ ම වෙලා. ඒ හේතුවෙන් තමන් උසස් කරලා දකිනවා. අනුන් පහත් කරලා දකිනවා. ඒ හේතුවෙන් ලෝභය, මානය, මෝහය ආදී අකුසල ධර්ම ඇති කරගෙන ආලෝකයෙන් අඳුරට යන ජීවිතයක් නිර්මාණය කර ගන්නවා. ප්‍රඥාව නැති වුණොත් ආලෝකයෙන් අඳුරට යනවා. පෙර ජීවිතයකදී දානාදී කුසල ධර්ම කළ එක, සීලාදී කුසල ධර්ම කළ නිසා ආලෝකමත්.ඒ නිසා බොහෝම සැපසහගත වටපිටාවක් ලැබුණා. දැන් ඒකේ දොස් නො දන්නා නිසා, දොස් නො දකින නිසා, දොස් නො පෙනෙන නිසා එයා ඒ වස්තු ‘මම’ ම කරගෙන, ‘මගේ’ම කරගෙන, ඒ තුලින් නැවත ප්‍රමාදයට, මදයට පත්වෙලා අකුසල කර්ම කරලා දුගතියකට යනවා භාවනාමය ප්‍රඥාව හුරු නො කළ නිසා. ආයෙත් සතර අපායට යනවා. සම්පත්තියෙන් විපත්තිය ට යි ආයි යන්නේ.


කෙනෙක් භාවනාමය ප්‍රඥාව හුරු කරලා තිබුණොත්, එයා මේ ලෝකය තුල සම්පත්ති උපදවාගෙන ඒකම සම්පත්තියක් කර ගන්නවා ප්‍රඥාවෙන් තමන්ට විමුක්තිය පිණිස. උපමාවක් කළොත් බුදුරජාණන්වහන්සේගේ කාලයේ සිටිය අනේපිඬු සිටුතුමා, විශාඛා උපාසිකාව වගේ අය දකින්න. ඒ අය තරම් ධනවත් අය එදා හිටියේ නැහැ. ඒ අයට තිබුණු ධනය මෙන්න මෙච්චරයි කියලා කියන්න බැහැ. මහා විශාල ධනස්කන්‍ධයකට හිමිකාරයෙක්ව, මහා විශාල නිරෝගී ආත්මභාවයක් ඇතුව හිටියේ. විශාඛා උපාසිකාව අවුරුදු එකසියවිස්සක් ගෙවලා මිනිබිරියටත් වඩා තරුණයි ලු. ඒ තරම් නිරෝගී ආත්මභාවයක් තිබුණා.


නමුත් ඒ වස්තුව, ඒ ආත්මභාවය ඒගොල්ලන්ව දුගතියකට අරගෙන ගියේ නැහැ. අරගෙන නො ගියේ ඇයි කියලා දන්නවා ද? සසරේදී භාවනාමය ප්‍රඥාව හුරු කරලා තිබුණ හින්දා. ඒ වස්තුව තමන්ටත් අනුන්ටත් බො‍හෝ උපකාරී පිණිස, ප්‍රයෝජනය පිණිස යොදවලා, ඒ වගේම සාංසාරික විමුක්තියකුත් හදාගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයටම ගියා. අර්ථයෙන් අර්ථයක්ම උපදවා ගත්තා මිසක අනර්ථයක් කරගත්තේ, අඳුරට ගියේ නැහැ.


හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ ඒගොල්ලන්ගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයට, අර්ථයෙන් අර්ථයට ගියේ භාවනාමය ප්‍රඥාව නිසයි. භාවනාමය ප්‍රඥාව නැතුව ලෝකයේ දානයකින්, සීලයකින් ලැබෙන ආනිසංස හරිම භයානකයි.හරියට දැලිපිහියක් පුංචි දරුවෙකුගේ අතට දුන්නා වගේ. අවුරුදු සීයකට දෙසීකට මනුෂ්‍ය ලෝකයේ ආත්මභාවයක සැප ලැබුණාට ඒක උදව් කරගෙන එයා කල්ප ගණනක් දුක් විඳින්නෙක් වෙනවා. ඉතින් ජීවිතය නැවත දුකට හරවන්නේ නැතුව සැපයෙන්ම, අර්ථයකින්ම අවසන් කරනවා කියන කාරණාව වෙන්නේ භාවනාමය ප්‍රඥාව හුරු කරලා තිබුණොත් විතරයි. ඒ නිසයි භාවනාව කියන කාරණාව අපේ ජීවිතයට අදාළ වෙන්නේ. අවශ්‍ය වෙන්නේ.


පින්වතුනි, මෙතන තියෙන දෙය තමයි සසරේ ගතිය අපට හිතාගන්න බැරි කමයි. මේ භාවනාමය ප්‍රඥාවෙන් අපි කරන්නේ මොකක්ද කියලා තව පැත්තකින් බැලුවොත් :

භාවනාමය ප්‍රඥාව කියන කොට භාවනාව කොටස් දෙකකට බෙදෙනවා

(1) සමථ භාවනා සහ

(2) විදර්ශනා භාවනා කියලා.


(මම ඒ ටික කියලා දෙන්නම් ටිකක්.)


නමුත් මේ සමථ භාවනා සහ විදර්ශනා භාවනා කියන දෙක කරන්නේ එක අර්ථයක් බලාගෙන යි. මොකක්ද? තණහා නිරොධො නිබබාණං - තණ්හාවගේ නැතිකමයි නිවන, තණ්හා නිරෝධය බලාගෙනයි. තණ්හා නිරෝධය කියන කොට මේ පින්වතුන් දකින්න මේ දැනෙන, ඇහැට දකිනකොට ඇතිවෙන රූප තණ්හාව නෙවෙයි.


මේ තණ්හාව හඳුන ගන්න ක්‍රම දෙකක් තියෙනවා. තණ්හාව තියනවා සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා.


●සමුදාචාර තණ්හාව කියන එක නැතිවෙනවා සමථයෙන්. සමුදාචාර තණ්හාව කියලා කියන්නේ ඇහෙන් රූපයක් බලනකොට ඇතිකර ගන්න තණ්හාව රූප තණ්හාව. කණෙන් ශබ්දයක් අහනකොට ඇතිකර ගන්න තණ්හාව ශබ්ද තණ්හාව. ගන්‍ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා අරමුණක් අරමුණක් ගානේ ඇතිවෙන තණ්හාවට කියනවා සමුදාචාර තණ්හාව කියලා. ඔය තණ්හාව අඩු වෙනවා සමථයෙන්. සමථ කමටහන් තියෙන්නේ සමුදාචාර තණ්හාව අඩු කරන්න. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඔය තණ්හාවේ නෙවෙයි.


●වට්ටමූලිකතණ්හාව:ඔය තණ්හාව උපකාර වෙලා තණ්හා අනුශයේ අනුග්‍රහය ලබලා ඇතිවෙන වට්ටමූලිකතණ්හාව කියලා තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා - මේ තණ්හාව තමයි විදර්ශනාවෙන් අයින් වෙන්නේ. අපි මොන විදියට සමථ භාවනා සහ විදර්ශනා භාවනා කියලා මෙහෙන් ගියත් අන්තිමට කෙරිලා තියෙන්නේ මේ ස්කන්‍ධයෝ පිරිසිඳ දකින්න දකින්න තණ්හාව අඩුකරන එක. එතකොට මෙන්න මේ තණ්හාව කියන එක ඉස්සෙල්ලා තමන්ගේ මනසේ තේරුම් ගන්න ඕනේ. එතකොට තමන් සසරින් මිදීමට දැන් පත්වෙනවාද නැත්ද කියලා තමන්ගේ මනසේ තියෙන ගතිය බල බලා තමන්ට ගොඩ යන්න පුළුවන්. ඒ වගේම සසරේ ඇතිවෙන ගතියත් තමන්ට තේරුම් ගන්න පුළුවන්.


මම ඉස්සෙල්ලා වට්ටමූලික තණ්හාව, නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ටික අර්ථ දක්වලා කෙටි කරලා, කැටි කරලා අර්ථයකින් අපේ ජීවිතයෙන් පෙන්වන්නම්. දැන් අරමුණක් අරමුණක් ගානේ ඇතිවෙන තණ්හාව නෙවෙයි, රූපයක් බලනකොට බොහොම කැමතියි, ශබ්දයක් අහනකොට කැමැත්ත එනවා. ඇතිවෙලා නැතිවෙනවා අරමුණත් එක්ක. ඒක නෙවෙයි. ජීවිතයේ පිහිටි අර්ථයකින් තියෙනවා අපේ තණ්හාවක්. පිහිටි අර්ථයකින් කියලා කියන්නේ මෙහෙම ගත්තොත් - දැන් මේ පින්වතුන් ජීවිතයේ ගන්න දරුවන්ට, දෙමව්පියන්ට, ඥාතීන්ට, ගේදොර වස්තු කියලා ප්‍රකට නැහැ මේ පින්වතුන්ට, නමුත් මේ දේවල් දාලා යන්න බැරි කමකින්, මේ දේවල් මගේ ම වෙච්ච කමකින් මනසේ මේ පින්වතුන්ට මෙන්න මේ තැන කියලා අර්ථ දක්වන්න බැරි අරමුණකින් අරමුණකට විතරක් විස්තර කරන්න බැරි, නමුත් මනසේ හාත්පසක බැඳිච්ච කමක් තියෙනවා කියලා පෙනෙනවාද? දැන් මේ පින්වතුන්ට,‘අද මෙහෙමම ඔක්කෝම මහණ වෙමු’ කිව්වොත් පුළුවන්ද? බැහැ. ඇයි බැරි? ඔන්න ඔතන තියෙන ගතියට. මොකද මේ පින්වතුන්ට තියෙනවා යම් සංයෝජනයක්, වටපිටාවක්, වගකීමක් කියලා එකක්. ‘මට බැහැ දරුවෝ ඉන්නවා, ගෙවල් තියෙනවා’, කියලා තියෙයි. ඕක මෙන්න මේ තැනයි, මෙන්න මේ අරමුණු අරමුණු වලටයි තියෙන්නේ කියලා තැනක් පෙන්නන්න බැහැ. එකින් එක ගවේෂණය කරලා බැලුවොත් පෙන්නන්නතැනක් නැහැ. නමුත් සමස්ථයක් වශයෙන්ම තියෙනවා මනසේ යම් බැඳීමක්, ඇලීමක් කියන ගතියක්.


ඊළඟට මේ දේවල් ඇත්තම වෙච්ච කම, මගේම වෙච්ච කම - දැන් අද මේ දරුවාම වෙලා, හෙට දරුවාම වෙලා ඇදිලා ගිහිල්ලා තියෙන කම, මේ අම්මා තාත්තාම වෙලා ඒකට ඇලිලා, බැඳිලා ගිහිල්ලා තියෙන කම, මේ වස්තු මගේම වෙලා තියෙන කම ගන්න. අද අපි ඔය කෙලේසසාධාරණීකරගෙන ඉන්නේ දරුවන්ට දෙමව්පියෝ ආදරය වෙන්න එපැයි, දෙමව්පියන්ට දරුවෝ ආදරය වෙන්න එපැයි කියන තැනකින්. නමුත් මේ සිද්ධිය දිහා බලන්න. ඇත්තටම දෙමව්පියන්ට සලකනවා, දරුවන්ට සලකනවා කියන කාරණාවට ඕක බාධාවකුත් නැහැ, ඕක උපකාරයකුත් නැහැ. ඕක කරදරයක්, බාධකයක්. ඕක ඒ උපකාරයට හරස්වීමක් විතරයි වෙලා තියෙන්නේ. ඔය ගතිය නැතුවත් දරුවන්ට සලකන්න, දෙමව්පියන්ට උපකාර කරන්න පුළුවන් බොහෝම කරුණාවෙන්, මෛත්‍රියෙන්. නමුත් අපි මේක පටලව‍ගෙන තියෙන්නේ.


මෙන්න මේ කම ගන්න - ඕකට කියනවා තත්‍රතත්‍රාභිනන්‍දිනීකියලා. ඒ ඒ තැන සතුටින් ඇලෙන කම මනසේ තියෙනවා. යායං තණහා පොනොභවිකා නනදිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී- යම් තණ්හාවක් තියෙනවා නම් පුනර්භවය පිණිස පවතින, ඒ ඒ තැන සතුටින් ඇලෙන, මෙන්න මේ තණ්හාව දකින්න. පෙර ජීවිතයේත්මේ වගේ තැනක උපන්නා නම් එදාත් ඔය ගති ටික නෙවෙයිද පෝෂණය කළේ කියලා බලන්න. ‘මේ මගේ දරුවාමයි’ කියන තැනකින්, ‘මේ අම්මාමයි’ කියන තැනකින්, ‘මේ ගෙවල්දොරවල්මයි’ කියන තැනකින් මේ පින්වතුන් කටයුතු කරගෙන ඉන්නකොට ඔය ගතිය ශේෂයක්වත් අඩු වුණේ නැහැ.


එදා මේ මගේ දරුවාමයි කියලා, දරුවාම වෙලා තියෙන කම අඩු කරන්න, මේ පින්වතුන් යමක් කළේ නැහැ. මේ මගේ අම්මා තාත්තා මයි කියලා හිතට පෙන්වන කම - අම්මා තාත්තාට සලකන්න ඕනේ කියන තැනකින් මේ පින්වතුන් සාධාරණය කළා. ‘මේ මගේ වස්තු, ගෙවල්දොරවල් මයි’ කියලා හිතට දැනෙන කම ආරක්ෂා කළා.


නමුත් යම් පුනර්භවය පිණිස පවතින, සතුටින් ඇලෙන - බලන්න මේ තණ්හාව අර්ථ දක්වන හැටි - යම් තණ්හාවක් තියෙනවා නම් - පොනොභවිකා- පුනර්භවය පිණිස පවතින, නන්‍දිරාගසහගතා - සතුටින් ඇලෙන ස්වභාවයයි ඒකේ ලක්‍ෂණය. ඒ විතරක් නෙවෙයි, ඒ ඒ තැන ඇලෙන, ඒ ඒ තැන සතුටින් ඇලෙන කමයි මේකේ තියෙන කෙලේසේ.


දැන් පෙර ජීවිතයේ උපන්නාට පස්සේ, ඒ අම්මා අම්මාම වෙලා, දරුවා දරුවාම වෙලා, ගෙවල්දොරවල් ගෙවල්දොරවල්ම වෙලා අතහැර ගන්න බැහැ. ඒ ගතිය තමයි දෝෂය කියලා හඳුන ගත්තේ නැහැ. අපි දරුවට උපකාර කරනවා නෙවෙයි, මේ ගතියටයි උපකාර කරන්නේ. මේ ගතියයි වඩන්නේ. දෙමව්පියන්ට උපකාර කරන එක නෙවෙයි, උපකාර කරනවා කියලා මගේ හිතේ තියෙන ගතිය යිදැන් වඩන්නේ, කියන තැනකින් අපි දැක්කේ නැහැ.


යම් මට්ටමකට එදා වස්තුවකට ඇලෙන්න පුළුවන් කම, බැ‍ඳෙන්න පුළුවන් කම හුරු කළා ද, ඒ වස්තු ටික, ස්කන්‍ධ ටික, එතැනම නිරුද්ධ වුණා. ඒ ගතියෙන් පුනර්භවය පිණිස මේ පින්වතුන් මෙතන්ට ආවා. දැන් මේ ස්කන්‍ධ ටික හම්බවෙනකොටම මේ පින්වතුන් ළඟ තියෙන මේ ගතිය තමයි ආපහු යෙදිලා ගිහිල්ලා, අද මෙතනත් මේ දරුවාම වෙලා, මේ දෙමව්පියන්ම වෙලා, මේ වස්තුව ම වෙලා. අද ඕක අඩුකරන්න, ඕක හොල්ලගන්න, ඕකේ දොස් දකින්නේ නැතුව, ඕක ගෙවන්න කටයුතු කරන්නේ නැත්නම් මේ රූප ටික ඔක්කෝම නැතිවෙයි, ඔය ගතිය මේ පින්වතුන්ව ආයෙත් තැනකට එක්කගෙන යයි. ආයෙත් එතන තත්‍රතත්‍රාභිනන්‍දනී. ඒ ඒ තැන කියලා කිව්වේ, පෙර ජීවිතයේත් ඔහොම වුණා, දැන් මේ ජීවිතයේත් මෙහෙමම ඇවිල්ලා ඉන්නවා, ඊළඟට ස්කන්‍ධ ටික නිරුද්ධ වෙනවා.


ආයෙත් උපන්නාට පස්සේ දැන් මේ අම්මත් බො‍රු, මේ අම්මාට සලකන එක ගැන කථා කරන්නේත් නැහැ, මේ අම්මා අම්මත් නෙවෙයි, මේ අවුරුදු හැටෙන් පස්සේ, නැත්නම් සීයෙන් පස්සේ. දැන් අම්මා කිව්වොත් පිස්සු කියයි. බණියි. මේ මගේ දරුවාමයි දැන් මේවා බොරු. මේ දරුවා දරුවත් නෙවෙයි. මේ දරුවා ඇත්තත් නෙවෙයි. මේ මගේ දරුවා කිව්වොත් බොරු කියන්න එපා කියලා නඩුත් දායි සමහර විට.


දැන් ඒ අම්මා අම්මා මයි, ඒ දරුවා දරුවා මයි, ඒ වස්තුව තමන්ගේ මයි. දැන් ඔන්න එතන ඇලිලා. දැන් එතන ඒ ඇලෙන ගතිය නැති කළේ නැත්නම්, ඒකේ දෝෂයක් දැක්කේ නැත්නම්, ඒක මේ මනසේ තියෙන ගතියක් කියලා හඳුනා ගත්තේ නැත්නම්, ඔය කෙලෙස් රැක්කොත්, ඔය කෙලේසය ආරක්ෂා කළොත්, සාධාරණීකරණය කළොත්, නැහැ මේක තියෙන්න ඕනේ, මේක ඕනේ කියන තැනකින්, මේ පින්වතුන් අන්තිමට ලෝකයට නෙවෙයි උපස්ථාන කරලා තියෙන්නේ, මේ පින්වතුන්ගේ මනසේ තියෙන මේ ගතියටයි මේ උපස්ථාන කරලා තියෙන්නේ. කෙලේසයටයි උපස්ථාන කරලා තියෙන්නේ. තණ්හාව වඩනවා කියලා කියන්නේ ඕකට යි.


එහෙම කළහම ඒ ස්කන්‍ධ ටික, දරුවා කියන තැනක, ගෙවල් කියන තැනක, දෙමව්පියෝ කියන තැනක තියෙන ස්කන්‍ධ ටික නැතිවෙයි. අර ගතිය ගෑවෙනවා. පෙන්වන්නේ රූපය දිරනවා, කෙස් පැහෙනවා, හම රැළිවැටෙනවා, දත් වැටෙනවා, ඇස් පෙනෙන්නේ නැහැ, රූපය දිරනවා, තණ්හාව තරුණ වෙනවා.


කෙනෙකුගේ රූපය එන්න එන්න දිරනවා, තණ්හාව තරුණ වෙනවා.


ඊටපස්සේ එතනද ඒ ස්කන්‍ධ ටික නිරුද්ධ වෙයි, අර ගති ටිකෙන් ‍- පොනොභවිකා - පුනර්භවය පිණිස නේ මේ ගතිය පවතින්නේ, ඒ ගතිය නිසා පුනර්භවය වශයෙන් පැවතෙනවා - හොඳට බලන්න අර්ථයකින් තණ්හාව දක්වන හැටි - පොනොභවිකා - පුනර්භවයටත් පමුණුවනවා, ඊළඟට නන්‍දිරාගසහගතා - සතුටින් පුනර්භවය පිණිස පවතිනවා, සතුටින් ඒ ඒ තැන ඇලෙනවා. ඊටපස්සේ එතැනින් මැරිලා වෙන තැනක උපන්නහම, දැන් ඒ ආත්මභාවයේ හිටපු අම්මත් අම්මා නෙවෙයි, තාත්තාත් තාත්තා නෙවෙයි, දරුවත් දරුවා නෙවෙයි, දේ‍පලත් තමන්ගේ නෙවෙයි ඊළඟ තැන.


එතකොට බලන්න මේ අවුරුදු පනහකට හැටකට මගේ කරලා පෙන්වන කම තමන්ගේ පැත්තේ නෙවෙයිද තියෙන්නේ කියලා. අපි සමථ භාවනාවෙන් කරන්නේ මේ ගතිය අල්ලගන්න ළංවෙන්න නොදී, තාවකාලිකව ඇතිවෙන තණ්හාව වලක්වන එක තමයි සමථයෙන් කරන්නේ.විදර්ශනා භාවනාවෙන් කරන්නේ ඔන්න ඔය ගතිය හිඳින එකයි. ඔය ගතිය එකපාරට නැතිකරන්න බැහැ. ඕක තියෙන්නේ ගෙවන්න. කහ කෑල්ලක් හරි හඳුන් කෑල්ලක් හරි අරගත්තහම අපි උරච්චි කරනවා, ගල ගානවා කියලා කියන්නේ, එකපාරට නැතිවෙන්නේ නැහැ. ඒක ටිකටික ගෙවෙන්නේ. ඒකට කියන්නේ නැතිවෙනවා නෙවෙයි ක්‍ෂයවෙනවා. ගෙවිගෙවී යනවා. ඒ වගේ ආස්‍රවක්‍ෂය කරනවා,කර්මක්‍ෂය කරනවා, තණ්හාවක්‍ෂය කරනවා කියලා කියන්නේ, එකපාරට ම නැතිවෙන්නේ නැහැ. ටික ටික ගෙවෙන්නේ.


අපි මේ භාවනා කරන්නේ මොකටද? තව පැත්තකින් ගත්තහම මේ පුනර්භවය පිණිස පවතින ඒ ඒ තැන සතුටින් ඇලෙන, මෙන්න මේ කම මනසේ ගෙවන්නයි. අද භාවනාමය පුඤ්ඤකිරියවත්‍ථු කියන වචනය අර්ථ දක්වමින් මේ පින්වතුන් භාවනාමය කුසලයක් කළොත් ඒකෙන් යම් මට්ටමක් හෝ මේ පින්වතුන්ට නො පෙනුණාට, යම් වස්තුවක් තමන් ඉදිරිපිටට එනකොට ඒක මගේම වෙච්ච ගතිය අඩු වෙනවා. මේ දරුවා දරුවාම කරන ගතිය, අඩුවෙනවා. නෑදෑයෝ නෑදෑයෝම, වස්තුව වස්තුවම කරලා හිත පිහිටවන කම ඉබේ අඩුකරනවා ටිකක්.


බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, කාමයේ තියෙන භයානක කම කාම වස්තුව නෙවෙයි, කාමනීය බව මනසේ, මේක කාම කරලා තියෙන කම තියෙනවා. අතහැර දාන්න බැරි බිලිය ගිලපු මාළුවෙක් වගෙයි, ඒක ගන්න ගියොත් බඩවැලුත් එක්කම තමයි එන්නේ කට්ට. ඒ වගේ කාමය කියන එක ගිල්ලාට පස්සේ ඒක වමාරනවා කියන එක ලේසියි කිව්වේ නෑ බුදුරජාණන්වහන්සේ.


මෙන්න මේ ගතිය භාවනාවෙන් එක ශේෂයක් හරි අඩු වුණොත්, ඕකට කියනවා වාසනාභාගී බව, පාරමිතා පිරෙනවා කියලා. මේ පින්වතුන් ඊළඟ දවසේත්, ඊළඟ භවයේ ආස්‍රව ක්‍ෂය නොවී උපන්නොත්, මේ ගතිය ඒකෙත් තියෙනවා. ඒ අම්මා අම්මාම නො වෙන, දරුවා දරුවාම නො වෙන කමේ ශේෂයක් අඩුකම ඒකේ තියෙනවා. එතනත් මේ පින්වතුන් භාවනා ප්‍රඥාව හුරු කළොත් ඔය ගති තව ටිකක් අඩු වෙනවා.


මෙහෙම මෙහෙම යන එකටයි, අඩු කරන එකටයි කියන්නේ පාරමිතා පිරෙනවා කියලා. පාරමිතා පුරනවා කියලා.


එකපාරටම බැරි සසරේ හුරු කරලා නැති නිසා. ඒකයි සමහර කෙනෙකුට මේ ගතිය ගෙවන එක හොඳට හුරු කරලා තියෙනවා නම් වචන ටිකක් ඇහෙන්න විතරයි ඕනේ. දහම මතක් වෙච්ච ගමන් මේ ඔක්කෝම ටික අතහැරිලා යනවා. අද අපි හුරු කරලා නැති නිසා අන්තිමට තණ්හා නිරෝධය කියලා කිව්වේ මේ ඇහෙන් බලන රූපයට තියෙන තණ්හාව ගැන විතරක් නෙවෙයි. ඒ ඒ තැන සතුටින් ඇලෙන, පුනර්භවය පිණිස පවතින, ගිය ගිය තැන සතුටුවෙන කියන කොට ආත්මභාවයෙන් ආත්මභාවයට මගේ කියලා පෙන්නන, මගේ කියලා කරවන කම දකින්න මේ තණ්හාව කියලා.


ඒ තණ්හාව ගත්තහම අද මේ පින්වතුන්ට මේ තියෙන මේ නෑදෑකම් එක්ක, වටිනාකම් එක්ක, වස්තු එක්ක මනසේ තියෙන ගනුදෙනුව කියන කෙලේසේ ඔය කිව්වේ. ඔය ගතිය ගෙවෙන්නේ, ගෙවන්න පුළුවන්කම තියෙන්නේ, භාවනාමය ප්‍රඥාවෙන් විතරයි. ඒකයි ඔය ගතිය නිසා සාංසාරිකව ජරා මරණ දුකට පත්කරවන පැත්තේ දුක නැති කරනවා භාවනාව පැත්තෙන්. තව පැත්තකින් ගත්තහම උපන්න ජිවිතයක ආහාර ප්‍රත්‍යය, ආහාර පාන නැතිකම නිසා, නිරෝගී ආත්මභාවයක් නැතිකම නිසා එන දුක නැතිකරලා දෙනවා, ගෙවලා දෙනවා දානයෙන්, සීලයෙන්. ජරා මරණ සංඛ්‍යාත සංසාරයේ දුගතියකට වැටිලා විඳින්න තියෙන දුක, ජරා මරණ දෙක සංසාරය තුල ඉඳිමින් විඳින්න තියෙන දුක නැති කරලා දෙනවා භාවනාමය ප්‍රඥාවෙන්. එතකොට භාවනාමය ප්‍රඥාවෙන් කෙරෙන අර්ථයයි මම දැන් මතක් කළේ.


භාවනාමය ප්‍රඥාව ඔය අර්ථය සිද්ධවෙන හැටියට කරන ආකාරය මම පැහැදිලි කරන්නම්.


භාවනා කරනවා කියන මෙන්න මේ හැම කාරණාවකම තව පැත්තකින් අපි තුළ නිෂ්පාදනය වෙලා තියෙන අර්ථය මෙන්න මේකයි කියලා දකින්න ඕනේ. තණ්හාව නැතිවීම නිවනයි කියලා පෙන්නුවේ ඔන්න ඔය ටිකටයි. ඕක නැතිවෙන්න ඉතාම තියුණු තැන දක්වාම සම්මාදිට්ඨියෙ යන්න ඕනේ. අනුක්‍රමයෙන් ඒ ස්කන්‍ධ, ධාතු, ආයතනයන්ගේ ඇත්ත දකින්න දකින්න තමයි මේ ගතිය අපේ මනසේ ගෙවෙන්නේ. සම්මාදිට්ඨිය තමයි: මේ තණ්හාව නිසයි දුක එන්නේ, තණ්හාව නැතිවුණොත් දුක නැති වෙනවා, මේ තණ්හාව නැතිවෙන්න තියෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි කියලා සම්මාදිට්ඨියෙන් තමයි මේ ගතිය නැතිකරන්න පුළුවන්කම තියෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් බැහැ.


අද මේ දරුවා මගේ මයි, ගෙවල් මගේ මයි, වස්තු මගේ මයි, නෑදෑයෝ මගේ මයි වෙලා තියෙන කම හඳුනගන්න මේ බාහිර රූපය තුළ තියෙන ගනුදෙනුව, දරුවා හින්දා දරුවාට බැඳිලා, වස්තුව හින්දා ආසා වෙලා හින්දා නෙවෙයි, ඒ ඒ තැන තියෙන වස්තු මෙහෙම අල්ලගන්නා කම තියෙන්නේ මනසේ. තමන්ම අර්ථ දක්වන්න මීට පෙර ජීවිතයේ තැනක හිටියා නම් එතනත් මේ මගේ දරුවාම කියලා පෙන්නන්න ඇති මේ ගතියෙන්ම.


එක මනුෂ්‍යයෙක් යනවලු අශූචි පිරුණු මල්ලක් කරේ තියාගෙන. එයා ගිහිල්ලා ඉඳගන්නවා මල්ලත් එක්ක. ‘හරිම ගඳයි වටපිටාව. අපෝ මේ වටපිටාව හරි ගඳයි’ කියලා නැගිටලා මල්ල කරේ බැඳගෙන යනවා. ගිහිල්ලා ආයෙත් ඒක පැත්තකින් තියලා ඉඳගන්නවා. ඉඳගත්තහම ආයෙත් කියනවා,‘වටපිටාව හරිම ගඳයි’ කියලා. ආයෙත් නැගිටලා ‘වටපිටාව ගඳයි’ කියලා යනවා. යනකොට යන්නේම අශූචි මල්ල කරගහගෙන. ඒ හින්දාමයි ගඳ, එතන එතන ගඳයි කියලයි හිතන්නේ.


ඔහොම ප්‍රශ්නයක් මේ තියෙන්නේ.


දැන් ඒ ඒ වස්තුව මම ම කරගෙන, මගේ ම කරගෙන අල්ලාගන්නා කම අරගෙනයි මෙතෙන්ට ආවේ. ඇවිල්ලා දැන් මේ වස්තුව අල්ලගෙනයි ඉන්නේ, වස්තුව මගේ වෙලා කියලයි හිතාගෙන ඉන්නේ. ඔය හින්දාම මේවාට තියෙන කැමැත්ත, තණ්හාව කියලා දැන් හිතෙන්නේ මේවත් මගේ ඕනේකම කියලා. මේ මගේ ආශාවක්, මගේ හිත මේවාට කැමතියි. කාමයට කැමැත්ත, නැත්නම් ජිවත්වෙන්න විදියකුත් නැහැ‍නේ, මේවා පරිහරණය කරන්න විදියකුත් නැහැනේ කියලා ඕක සාධාරණීකරණය කරගන්නවා, අසූචි මල්ල ආයෙත් කරට ගන්නවා. ආයෙත් ඒ ගති ටිකම අල්ලගෙනයි එහා පැත්තට යන්නේ. එතනත් මෙහෙම තමයි. හැම වෙලේම පෙනෙන්නේ බාහිරය ගඳ හින්ද කියලයියන්නේ,නමුත් තමන් ගෙනිච්ච අසුචි මල්ලේයි ගඳතියෙන්නේ.


ඒ වගේ අපි හිතාගෙන ඉන්නේ මේ වටපිටාව නිසයි අපි ඇලිලා බැඳිලා ඉන්නේ කියලා. මේවයි දොස් කියලා. බලනකොට මේවායේ ඇලෙන්න බැ‍ඳෙන්න පුළුවන්කම ඇතුවමයි ආවේ. ඔය කම ඇතුවමයි යන්නේ. යන්න හේතුවත් ඕකමයි. ඊටපස්සේ ගියහම ආයෙත් හිතෙන් ඔහොම අල්ල ගන්නවා. ආයෙත් හිතාගෙන ඉන්නවා මෙතන තමයි දෝෂෙ කියලා. මේ දරුපැටවු නේ, මොනවා කරන්නද කොහොම ගත්තත් මොනවා කරන්න ද කියලා ඉතින් සාධාරණීකරණය කරගෙන ඉන්නේ. එහෙම අල්ලගන්න ඕනේකම කියන ටික, හැබැයි ඒක තමන්ගේ කියන වටපිටාවේ විතරයි, අනිත් දරුවන්ට නැහැ.


ඉතින් මම කියන්නේ කරුණාව නැතුවා නෙවෙයි. දෙමව්පියන්ට සලකන්න, දරුවන්ට සලකන්න, ඥාතීන්ටසලකන්න, යුතුකම් කරන්න, කන්නබොන්න දෙන්න, නාවන්න, අන්දවන්න, පළන්දවන්න, ජීවිතයට උපකාර කරන්න එපා කියන එක නෙවෙයි. ඒක වෙනම සිද්ධියක්, ඔය කෙලේසය වෙනම සිද්ධියක්.


මේ කෙලේසේ නැහැ කියලා දෙමව්පියන්ට කන්නබොන්න දෙන්න, නාවන්න, උපස්ථාන කරන්න, උපකාර කරන්න බැරි නැහැ. දරුවාට කන්නබොන්න දෙන්න, උපකාර කරන්න, ඉස්කෝලේ යවන්න හදාගන්න බැරි නැහැ. ඒක යහපත්‍ව කරන්න පුළුවන් කම බාධා වුණා නම් විතරයි මේ ගතියෙන් වෙලා තියෙන්නේ. උපකාරයක් නෙවෙයි. අද හිතාගෙන ඉන්නේ මේ ගතියත් අපට උපකාරයි මේවා පරිහරණය කරන්න කියලා. නමුත් මම කියන්නේ කරුණාව, උපකාරයනැතිකරන්න කියන එක නෙවෙයි. මේ කෙලේසය නැතිකරන්න කියලා.


මේක හඳුනගෙන නැහැ අපි. මේ කෙලේසය නැති කෙනා තමයි ඇත්තටම දෙමව්පියන්ට ආදරේ. එයා කන්න බොන්න දෙයි, හිරිකිත නැහැ, අප්‍රිය නෑ, අප්‍රසන්න නැහැ, ඇයි මේ කෙලේසය නැති නිසා ගැටෙන්න දෙයක් නැහැ. අනුකම්පාවෙන්ම උපකාර කරයි. උදේ හවස කවයි, පොවයි, නාවයි, අන්දවයි, පළන්දවයි.


ඒ විතරක් නෙවෙයි මෙයාව අවිද්‍යාවෙන් මුදවා ගන්නේ කොහොමද කියන තැනකිනුත් උත්සාහවත් වෙයි. දරුවාටත් එහෙමයි. කරන්න තියෙන උපරිම දේ කරයි, කොහොමද මෙයාව මේ ධර්මයට යොමු කරවන්නේ කියන තැනකින් මහා කරුණාව තියෙයි. කොහොමද ඒ මිදෙන දේ කරන්නේ කියන තැනකින් හිතන්නේ නැහැ. ඇයි එහෙම හිතන්නේ? මගේ දරුවෝ හොඳ තැනකට ගියොත් මට හොඳට ඉන්න පුළුවන් කියන ටිකයි හිතේ යටින් තියෙන්නේ. මේ ඔක්කෝම ටික යහපතෙන් එතන වළක්වන්න හේතුව කෙලේසේ.


මතු සම්බන්ධයි

Post a Comment

0 Comments