පින් කිරීමේ ක්‍රම - 5 කොටස
අනේපිඬු සිටුතුමාත් බණ අහන්නේ නැති පුතාව බණඅස්සවන්න මොන තරම් උපාය කළාද. කොහොම හරි ගම්මුළාදෑනියෙක්, ලොක්කෙක් කරන්න හැදුවේ නැහැ. කොහොමද බණ පදයක් අස්සවන්නේ කියන තැනකින් උත්සාහවත් වුනේ. ඇයි ඒ? එතන අර්ථය දන්න නිසා.
ඉතින් මම මෙතනදී මතක් කරන්නේ මේ පින්වතුන්ට පුළුවන් නම් එක කාරණාවක් තේරුම් ගන්න - මේ ප්‍රශ්නය මොකක්ද කියන එක.ඇත්තටම මෙන්න මේ හිතේ තියෙන ගතියෙයි ප්‍රශ්නය තියෙන්නේ.
ඉතින් ඕක මෙහෙන් අයින් කරන්නත් බැහැ. ‘ඔන්න අද ඉඳන් මම දරුවාට කැමති නැහැ. ගෙවල් වලට කැමති නැහැ. කිසිම බඩුමුට්ටුවකට කැමති නැහැ’ කියලා ඔහොම අයින් කරන්න බැහැ. ඊළඟට,‘මම කිසිම දෙයක් අල්ලන්නේ නැහැ, ඔක්කෝම අතහරිනවා’ කියලා අයින් කරනවා.
බඩුමුට්ටු ටික අතහැරියා කියලා, බඩුමුට්ටු ටික අල්ලන කම අතහැරියේ නැහැ.
ඒක හොඳට දකින්න. මම මේ වස්තුව අල්ලනවා නම් මට අහුවෙන්නේ නැතිවෙන්න මේ බඩුමුට්ටු ගත්තා කියලා අපි අල්ලන කම නැතුවමද ඉන්නේ. අල්ලන්න දෙයක් නැති හින්දා දැන් මෙයා ප්‍රකට නැතුව ඉන්නේ. ආපු ගමන් මෙයාට අහුවෙච්ච ගමන් මෙයා සක්‍රියයි. ආපහු වැඩ කරනවා.
ඒ හින්දා ඔහෙන් අතහැරීම කරන්න බැහැ. වස්තුව අයින් කරලා කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක. කිසිම වස්තුවක් නැතුව හිටියත් තණ්හාව යෙදෙනවා කියන තැනකින් බුදුරජාණන්වහන්සේ අර්ථ දක්වන්නේ. කෙනෙක් එකලාව හුදකලාව කැලේක හිටියත් එයා එකරත්ති - එකලාව වාසය කරනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරලා නෑ.‘මහණෙනි, තණ්හාව දෙවැන්නා’ කියනවා. තණ්හාව එයාගේ දෙවැන්නා කියනවා. එතකොට දෙවැන්නෙක් නිර්මාණය කරලා තියෙන්නේ, බොහෝ පිරිස් නිර්මාණය කරලා තියෙන්නේ කෙලේසයෙන්. තණ්හාවෙන්.
ඒ නිසා ඔන්න ඔය කෙලෙස් ටික, ඔන්න ඔය ගතියයි නැතිකරන්න ඕනේ කියලා හඳුනගන්න. මේ ඇලෙන කමයි අරගෙන ආවේ, පුනර්භවය පිණිස පැවතුනේ. නැවත පුනර්භවය පිණිස පවතින මේ ඇලෙන කමයි මේ පින්වතුන් වර්ධනය කරන්නේ ජීවත්වෙනවා කියලා ලෝකය තුල. ඒකට නැවතත් උපන්නාම ආයෙත් ඒ ඇලෙන තැන ඇත්ත වෙනවා. බලන්න මේ පින්වතුන්ගේ ගෙවුණු ගෙවුණු ටික බොරු, නූපන් නූපන් ටික බොරු, තියෙන ටිකේ අඩු එකක්. ඊටපස්සේ මෙතනත් දැක්කහම ආයෙත් මේක බොරු.
මෙහෙම තැනකින් නේද ඉන්නේ කියන තැනකින් තමන්ගේ චරිතයත් බලන්න හැම වෙලේම. තමන් තමන්ව හොඳට හිතවන්නේ නැහැ. තමන් හිතන්නේ නැහැ. ඒකයි මේ මසුරුමල හිතේ කාවැදිලා තියෙන්නේ. ඒකයි ලෝකයේ ඇත්තම වෙලා තියෙන්නේ. ලෝකයේ ඇත්තම වෙන්නේ නැහැ, මේවා එහෙමමයි වෙන්නේ නැහැ හිතනවා නම්. තමන්ව ගොඩ දා ගැනීමේ අයිතිය, හැකියාව තියෙන්නේ තමන්ට යි. තමන්ව බේරා ගැනීමේ හැකියාව තියෙන්නේ තමන්ට යි. කරන්න පුළුවන් එකම දේ තමයි,නිවැරදිව තමන්ගේ පැත්ත හොඳට හිතන්න. මේවා පෙනෙන මානේ දේවල්.
ඇයි අපට හිතන්න බැරි,‘මේ මගේ දරුවාම වෙලා, දෙමව්පියන් ම, දේපොළම වෙලා. ඉතින් මම පෙර ජීවිතයක උපන්නා නම් එතනත් මේ වගේම වෙලා තියෙන්න ඇති නේ. ආයෙත් උපන්නොත් මෙහෙම හුරු වෙනවා, ඊගාව තැන උපදින තැන මෙහෙමම වෙයි නේ. එහෙනම් මේක මනසේ තියෙන ප්‍රශ්නයක් නේද මේ. මේ ගතිය නේද තියෙන දෝෂය’ කියන තැනකින් හිතන්න පුළුවන්.
ඔහොම හිතුවොත් මේ පින්වතුන් දන්නවාද වෙන දේ? මේ බාහිර දේපොළින් අපේ මනස ටික ටික අයින් වෙලා, මේ ගතිය අල්ලගන්න පුළුවන් කමට, මේකට ප්‍රතිකර්ම කරන්න පුළුවන් තැනකට එනවා.
ඒ තරම් අපේ මනසේ පතිත වෙච්ච කෙලේසය අපි අල්ලගෙනයි ඉන්නේ.
ඉතින් මෙන්න මේ භාවනාමය ප්‍රඥාවෙන් ලැබෙන අර්ථය තමයි ඔන්න ඔය තණ්හාව නැතිකිරීම. තණ්හා නිරෝධය.
ඔය ගතිය නිරුද්ධ වුණොත් අජරාමර බව මේ ජීවිතයේදීමයි ලැබෙන්නේ, ජීවත්වෙනවා කියන කම නැතිවෙන නිසා. අද තමන් ඉන්න හින්ඳයි, මම ඉන්න හින්ඳයි මගේ දුව, පුතා, දරුවෝ, ගෙවල්දොරවල් තියෙන්නේ. මම කියන කම නිර්මාණයවෙලා තියෙනවා ඔය ගතියෙන්.
අපි පොළොව උඩ කණුවක් කෙළින් කරලා තියෙනවා නම් ලණු හයකින් බැඳලා, කණුව වැටෙන්නේ නැතුව ඉන්නවා හය පැත්තට ඇදලා බැඳලා තියෙන හින්දා. ඔය කණුවේ තියෙන ලණු ටික කැපුවොත් නොබෝ දවසකින් ඔය කණුව බිම පතිත වෙයි. ලණුවෙන් ලණුව කපන්න කපන්න ටික ටික ඇලවෙයි. හයම කපන්න ඕනේ නැහැ. ලණු දෙකක්, තුනක් ඉතිරිව තියෙද්දිම වැටිලා යයි.
ඒ වගේ මේ ‘මම’, මේ ලෝකෙට බැඳිලා ඉන්න කෙනා, ආස කරන කෙනා, මෙහෙම කෙලින් ඉන්නේ මොනවා තුළින්ද කියලා දන්නවා ද? රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන මේ ආයතන හය කෙරෙහි තියෙන සංයෝජන ටික නිසා යි. බැඳුම් ටික නිසා යි.
ඔක්කෝම ඕනේ නැහැ, ඕකෙන් කීපයක් කපන්න. ඉබේම මේ කණු බිම වැටෙයි. මේ ‘මම’ කියන ටික වැටෙයි. එදාට මනින්න මිමි නැහැ, මගේ දරුවාට ආසා කරන්නේ ‘මම’ නිසා නේ. දෙමව්පියන්ට, දරුවන්ට, සහෝදරයන්ට, වස්තූන්ට ආසා කරන්න කෙනා ඉන්න එපැයි. එයා නැති වෙයි. මේ ප්‍රශ්නේ ඉවරයි. ඔය ගති ටිකෙන් තමයි, තණ්හාව කියන ගති ටික කියන්නේ වෙන මොකුත් නෙවෙයි. අඬන්න, වැළපෙන්න පුළුවන්, හිනාවෙන්න, සතුටුවෙන්න පුළුවන්, දුක්විඳින්න පුළුවන් ‘‘කෙනා’’ ඉන්නේ ඔතන.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, පුද්ගලයෝ හය දෙනෙක් මෝල්ගස් හයක් අරගෙන ඇවිල්ලා යවමිටියකට ගහලා හොඳට තලනවා. (හරකුන්ට දෙන තණ වර්ගයක් යව කියලා කියන්නේ.)මේ තණ මිටිය මෝල්ගස් පාරවල් හයක් කාලා හොඳට තැලෙනවා. ඊටපස්සේ හත්වැන්නෙකුත් මෝල් ගහක් අරගෙන ඇවිල්ලා ගහනවා. මෝල්ගස් පාරවල් හයකින් කාලා තැලුණු යවමිටිය හත්වෙනියා නිසා බෙහෙවින්ම තැලෙනවා’.
බුදුරජාණන්වහන්සේ උපමා කරනවා ඒ වගේ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන කියන ස්පර්ශ ආයතන හය නිසා මේ ලෝකයා බොහෝ සෙයින් පීඩාවට, දුකට පත්වෙනවා. ඒ අතරේ තව කෙනෙක් මෝල් ගහක් අරගෙන ඇවිල්ලා, හත්වැන්නෙකුත් එනවා ඒ තමයි නන්‍දිරාගය.හත්වැන්නා නිසා බෙහෙවින් දුකට පත්වෙනවා. හත්වැන්නා කියන්නේ කවුද? ‘‘රූප බලන්නේ මම, ශබ්ද අහන්නේ මම, ගඳසුවඳ දැනගන්නේ මම, රස විඳින්නේ මම, ස්පර්ශ ලබන්නේ මම, ධර්මාරම්මණ හිතන්නේ මම’’ කියලා ඔය ආයතන හයටම නැති එක්කෙනෙක් නිර්මාණය වෙලා. හත්වැන්නා. ආයතන හයෙනුත් එහෙමයි, හත්වැන්නෙකුත් හින්දා බෙහෙවින් දුකට පත්වෙලා. ඔය හත්වැන්නා ගාව තමයි, හත්වැන්නා නිර්මාණය වුණේ මේ ගති ටිකෙන්. ඔය හත්වැන්නා කියන තැන තමයි මේ කණුව නො වැටී තියෙන්න බැඳලා තියෙන රැහැන් ටික වගේ.
ඒකයි ඇහැ රූපයට සංයෝජන වෙනවා වත්, රූපය ඇහැට සංයෝජන වෙනවා වත් නෙවෙයි ඒ දෙක නිසා ඇතිවෙන තණ්හාවයි සංයෝජනය කියලා පෙන්නන්නේ. සමුදාචාර තණ්හාවෙන් වට්ටමූලික තණ්හාව වර්ධනය වෙනවා, වට්ටමූලික තණ්හාවෙන් ප්‍රතිසන්‍ධිය වර්ධනය වෙනවා. අරමුණක් අරමුණක් ගානේ ඇති කර ගෙන රූප තණ්හා, ශබ්ද තණ්හා කියන තණ්හාවෙන් ජීවිතයේ තණ්හාව පිහිටි අර්ථයෙන් වැඩෙනවා. අර අපි කිව්වේ දැන් ඔක්කෝටම භාවනා කරන්න යමු කිව්වොත් බැහැ. ඇයි ඒ කියලා ඇහුවොත් හරියට ප්‍රශ්න, කරදර, ගැටලු, යුතුකම් කියලා ටිකක් තියෙනවා. මෙන්න මේ අරමුණ හින්දාම නේ යන්න බැරිකම කියලා පෙන්නන්න එකක් නැහැ, නමුත් යන්න බැහැ.
ඔය ගතිය තමයි වට්ටමූලික තණ්හාව. ඕක නිසා යි ප්‍රතිසන්‍ධිය.
● එතකොට භාවනාමය පුණ්‍යකිරියවත්‍ථුකියන එකේ සමථ කමටහනෙන් සමුදාචාර තණ්හාව අඩු කරනවා. ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියනටික අලුතෙන් ආරෝපණය කරනවා. වර්ධනය කරන එක නතර කරනවා.
● උපන්න තණ්හාව ඡේදනය කරනවා, නැති කරනවා විදර්ශනාවෙන්.
සමථ, විදර්ශනා කියන දෙක මෙනෙහි කරන කමටහන් වෙනස්. විදර්ශනා කරනකොට නාමරූප බලන්නේකියයි, ස්කන්‍ධයන්ගේ උදය වැය කියයි, පටිච්ච සමුප්පාදය කියයි, මේ ටික තමයි කරන්නේ. සමථ කමටහනෙන් බුදුගුණ, අශුභය, මරණය, මෛත්‍රිය තමයි කරන්නේ. ඒ කමටහන් වල නානත්‍වය. නමුත් මේ කමටහන් දෙකේ අර්ථය මම කිව්වේ.
මේ කමටහන් දෙකෙන් කරලා තියෙන්නේ අන්තිමටම කෙළවරම කාරණාව ගත්තහම මොකක්ද? තණ්හා නිරෝධය යි.
තණ්හාව නිරුද්ධ වුණේ වෙන මොකුත් නිසා නෙවෙයි, දෙයාකාරයෙන්. සමුදාචාර තණ්හාව හා වට්ටමූලික තණ්හාව,
● සමථයෙන් සමුදාචාර තණ්හාව නැති වෙනවා,
● විදර්ශනාවෙන් වට්ටමූලික තණ්හාව නැති වෙනවා.
මොකද තණ්හාව නිසයි දුක. මේ තණ්හා කියන ගතිය සමුදාචාර කම විය යුතුයි මේවා මම ම, මගේ ම කරලා ඒ ඒ තැන සතුටුවෙන, සතුටින් ඇලෙන කම හුරු වෙන්න. ඒ සතුටින් ඇලෙන, සතුටුවෙන කම නිසයි ඉපදුනේ. එතකොට ඉපදුනු තැන ජරා මරණ දුක. දුකට හේතුව තණ්හාව යි.
මේ තණ්හාව නැති වුණොත් ඉපදීම, නැත්නම් දුක නැතුව යනවා. තණ්හාව නැතිවෙන්න නම් අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො - මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සීල, සමාධි, ප්‍රඥා. ඒකේ සීලය, සමාධියට සමථ කමටහනත්, ප්‍රඥාවට විපස්සනාවත්. සමථ විපස්සනා.
සීලයක පිහිටලා සමථ, විදර්ශනා වඩනකොට වෙන්නේ මොකක්ද? මේ සමුදාචාර සහ වට්ටමූලික කියන තණ්හාව නැතිවෙනවා. තණ්හාව නැතිවුණහමයි ඉපදීම කියන එක නැතිවෙන්නේ කියන තැනකින් තියෙන්නේ. ඔන්න ඕකයි අපි භාවනාමය ප්‍රඥාවෙන් හුරු කරන අර්ථය. එතැනින් එන සසර දුක නැති කරනවා මෙන්න මේ ධර්මතා දෙකෙන්. ඉතින් මෙන්න මේ කාරණා තුනම සම්පූර්ණ වුණොත්, සම්පූර්ණ කළොත් තමයි කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙන්නේ කියන එක මතක් කරනවා.
දැන් මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් භාවනාමය ප්‍රඥාවෙන් ලැබෙන අර්ථය නේ මම කිව්වේ. සමථ කමටහනෙන් වෙන්නේ මේවයි, විදර්ශනාවෙන් වෙන්නේ මේවයි කියලා. ඒකේ ප්‍රතිඵලය කිව්වා මොකක්ද? චතුරාර්ය සත්‍යයකියන තැන, ජරා මරණ නිරෝධය ක්‍ෂාත් ක්‍ෂාත් කිරීම. මම ඔය තව වචන නො කිව්වාට, තව පරියායකින් චතුරාර්ය සත්‍යය ඔය කිව්වේ.
● දැන් ඉපදිලා ජරා මරණ දුක ගත්තහම ඒ දුක.
● දුකට හේතුව මේ නන්‍දිරාග ස්වභාවය ඒ ඒ තැන සතුටු වෙනවා නම් තණ්හාව.
● මේ තණ්හාව නැතිවුණොත් මේ දුක නැතිවෙනවා. නිරෝධය.
● ඒකට භාවනාමය ප්‍රඥාව - සමථ විදර්ශනාව වඩන්න කියලා කියන්නේ මේ මාර්ගය - මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව කියන තැනකින් තියෙන්නේ.
චතුරාර්ය සත්‍යයේ තියෙන එකම ධර්මය,වෙනස් වෙනස් වචන වලින්එක එක විදියට විස්තර කිරීමයි.
ඉතින් චතුරාර්ය සත්‍යය අවබෝධ නො වුණොත් විඳින්න වෙන දුක තියෙනවා, ඒ නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න කියන එකයි තව පැත්තකින් මේ භාවනාමය ප්‍රඥාව කියන එකෙන් කියන්නේ.
දැන් මම භාවනාමය ප්‍රඥාව කියන අර්ථය කිව්වා, ඒ අර්ථයකින් ලැබෙන භාවනාමය ප්‍රඥාව අපි තුළ ඇති කරගන්න හැටි ටිකක් කියන්නම්:
ඒකේදී සමථ විදර්ශනා කියලා කොටස් දෙකක් තියෙනවා.සමථයද විදර්ශනාවද කියන කාරණාව වෙන්නේ කරන ආකාරය, අර්ථය දිහා බලනවා මිසක වචන ටිකක් නිසා නෙවෙයි.ඒකෙන් මම කිව්වේ ‘අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි’ කියලා අපි හිතුවොත් හැම දෙයක්ම මෙනෙහි නො කොට අනිත්‍ය සංඥාවම මෙනෙහි කිරීම නිසා නීවරණ ධර්‍ම දුරු වෙලා හිත සමාධි වෙයි. අනිත්‍යයි කියලා මෙනෙහි කළාට ඒක විදර්ශනාවක් නෙවෙයි, සමථ කමටහනක් වෙන්නේ. ඒක ධම්මානුස්සති සමථය වෙනවා. මේ හැම දෙයක්ම දුකයි, දුකයි නේද කියලා බැලුවොත් ඒක විදර්ශනාව නෙවෙයි ඒක සමථයක් වෙනවා. මේ හැම දෙයක්ම අනාත්මයි කියලා හිතුවොත් ඒක සමථයක් වෙනවා.
මේ සමථ භාවනාවද විදර්ශනාවද කියන දෙක වෙන් වෙන්නේ අර්ථයකින්. විදර්ශනාවකින් වෙලා තියෙන්නේ හැම වෙලාවේම යථාභූත ස්වභාවයක්, ඒ ඒ මට්ටම් වල ඇත්තක් පෙන්නන කමක් වෙන්න ඕනේ. ඇත්ත දකින ගතියටයි - දැන් අනිත්‍යයි, අනිත්‍යයි කියලා හිතුවහම හිතේ තියෙන්නෙ. හිතේ හිතේ කථාකෙරෙන කම නැතිවෙලා එක අරමුණක හිත හිටින බවක් ඇතිවෙනවා. නමුත් යථාර්ථය දකිනවා වෙන්නේ නැහැ. එතකොට වෙලා තියෙන්නේ සමථයක්. නමුත් සමථ කියන ගොඩ කොට වෙනවා. තියෙන ධර්මය සම්මර්ශනය කර කර ඇතුළෙන් බැලුවොත් විදර්ශනාවක් වෙනවා.
අපි කියමු අශුභානුස්සති කමටහන:- හොඳට මේ ශරීරය කොටස් කොටස් වශයෙන් බලලා, මේ හේතු ප්‍රත්‍යයි, හේතු නැතිවෙන කොට නැතිවෙනවා කියලා බැලුවොත් ඒක විදර්ශනාවක් වෙනවා.ඒකට කියනවා රූප වවත්‍ථානය කියලා. රූපය පිරිසිඳ දැකීම.
නාම වවත්‍ථාන, රූප වවත්‍ථාන කියලා කොටස් දෙකකට බෙදෙනවා. නාමය පිරිසිඳ දැකීම, රූපය පිරිසිඳ දැකීම කියලා.
ඒ නිසා සමථ කියලා කියන එකේ තේරුම එන්නේ කරන ආකාරය මතයි, අර්ථයක් මතයි කියන එක මුලින්ම මතක් කරනවා.
ඒකෙන් සමථ කියලා කියන්නේ හිත එක්තැන් කරන, හිත තැන්පත් කරන, හිත නතර කරන ක්‍රමයට. මේකට කිව්වා සමථය කියලා. ඒ හිත එක්තැන් කරන, තැන්පත් කරන, නතර කරනවා කියලා මොකක්ද කරලා තියෙන්නේ කියලා බලන්න.
මේ කිසිම එකක වචනයකින් නතර වෙන්න එපා. වචන අර්ථය හොයන්න හැම වෙලාවේම. සමථ කමටහන කියන්නේ හිත තැන්පත් වෙන, හිත නතර වෙන කම කිව්වත්, හිත තැන්පත් වෙනවා, නතර වෙනවා කියලා සමථය කියලා මොකක්ද කළේ කියලා බලන්න.
සමථ කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි - හිත තැන්පත් කරන්න, නතර කරන්න උත්සාහවත් වෙනවා කියලා කළේ වෙන මොකුත් නෙවෙයි, වර්තමානයක ඉන්න හිත හුරු කරන එක යි. මොකද අතීතය මැරිලා, අනාගතය ඉපදිලා නැහැ. මැරුණ දේත් බොරුවක්, නූපන්න දේත් බොරුවක්. අපේ මනස බෙහෙවින්ම මැරුණ අතීතය සහ නූපන්න අනාගතය කියන ධර්මතා දෙකකයි තියෙන්නේ. ඒ කියන්නේ බොරුවක් වෙලයි තියෙන්නේ. සැබෑවටම පවතින්නේ වර්තමානයක යි.
වර්තමානය තුළ සත්‍යය තියෙනවා, ඇත්ත තියෙනවා. ඇත්ත තියෙන, සත්‍යය තියෙන වර්තමානයේ අපි නැති හින්දා ඇත්තපෙනෙන්නේ නැහැ. අපි ඉන්නේ හැම වෙලාවේම අතීත අනාගත දෙකේ, ඒක බොරු හින්දා ඇත්ත පෙනෙන්නේ නැහැ. ඇත්ත පෙනෙන තැන ඉන්නේ නැහැ, ඉන්න තැන ඇත්ත පෙනෙන්නේ නැහැ. ඉතින් සත්‍යය අවබෝධ වෙන්නේ නැහැ අපට.
● ඇත්ත තියෙන වර්තමානයක ඉන්නේ නැති නිසා ඇත්ත පෙනෙන්නේ නැහැ.
● ඉන්න තැන ඇත්ත නැති නිසා ඇත්ත පෙනෙන්නේ නැහැ.
ඉතින් අපේ ජීවිතයේ කොහෙන් ශාන්තියක් ලැබෙන්නද? කොහෙන් සත්‍යයක් අවබෝධ වෙන්නද? අපි සත්‍යය තියෙන තැන නැත්නම්, ඉන්න තැන සත්‍යය නැත්නම්, නැති දෙයක් කොහොමද හම්බවෙන්නේ?
සමථ කමටහනින් කරන පළවෙනි අදියර තමයි සත්‍යය තියෙන වර්තමානයක හිටියොත් නේ සත්‍යය පෙනෙන්නේ. සත්‍යය බලාගන්න පුළුවන් වර්තමානයක ඉන්න හුරු කරනවා. සත්‍යය නැති බොරුව ඇසුරු නො කරනවා පුළුවන් තරම්. ඒ කියන්නේ අතීත අනාගත දෙකට යන්නේ නැතුව වර්තමානයක ඉන්න හිත හුරු කරන එකටයි සමථය කියලා කියන්නේ. එහෙම කරන කෙනා සුදුසුයි විදර්ශනාවට උපකාරයි කියලා කියන්නේ සත්‍යය තියෙන තැන ඉන්නේ නැතිකම නිසා ඉස්සෙල්ලා සත්‍යයක ඉන්න තැන, සත්‍යය දකින්න පුළුවන් තැන ඉන්න හුරු කරනවා. ඉන්න බවසත්‍යය නෙවෙයි. ඉඳලා ඊටපස්සෙයි සත්‍යය බලන්න ඕනේ.
ඒ නිසා සමථ කමටහනකින් හැම වෙලාවේම බලන්නේ වර්තමානයක ඉන්න හිත හුරු කිරීමයි කියලා දකින්න. මේ පින්වතුන් කරපු ඕනෑම සමථ කමටහනක්අරගෙන ආවර්ජනා කරලා බලන්න මොකක්ද කරලා තියෙන්නේ කියලා.
මතු සම්බන්ධයි!

0 Comments