පින් කිරීමේ ක්‍රම - 6 කොටස


 පින් කිරීමේ ක්‍රම - 6 කොටස


ආනාපාන සතිය ගනිමු: සති නිමිත්ත තොල් දෙක අග හෝ නාසය ළඟට හිත යොමු කරලා හිත හොඳට තියාගන්නවා. හිතේ හිතේ මොකවත් කථා කරන්න නොදී, මොකවත් හිතන්නේ නැතුව, ආශ්වාස වෙන බව, ප්‍රශ්වාස වෙන බව සිහියෙන් දන්නවා කියන තැන බලන්න හොඳට වර්තමානයක ඉන්නවා, අතීතය අනාගතය අරබයා මනෝ විඤ්ඤාණයෙන් යන්න ඉඩ තියලා නැතුව, වර්තමානයක ඉන්න හුරුකිරීමක් නෙවෙයි ද කරන්නේ කියලා. ඇතුළතින් පෙර පසු මනස කොහෙටවත් යන්න නො දී වර්තමානයක ඉන්න හිත හුරු කිරීමක් මේ කරලා තියෙන්නේ.


අපි බුදුගුණ හිතනවා: දැන් බුද්ධානුස්සති කමටහනත් බොහෝම පහසු, ඉතාමත් වේගයෙන් හිත සමාධි වෙන්න උපකාරක ධර්මයක්. නමුත් කමටහන වඩන ක්‍රමය අපි දන්නේ නැතිකමයි වැරැද්ද තියෙන්නේ. ඒ කියන්නේ අපි පාඩමක් සජ්ඣායනා කරන්නේ. හැම වෙලාවේම අර්ථය බලාගෙන කළොත් මේ ප්‍රශ්නය එන්නේ නැහැ. අද බුද්ධානුස්සති භාවනාව කියලා එකක් අපි කරන්නේ. භාවනාවෙන් ලැබෙන අර්ථය බලාගෙන, මේ අර්ථය වුණා ද නැත් ද, වුණා නම් භාවනාව වුණා මිසක, අර්ථය වුණේ නැත්නම් භාවනාව වුණේ නැහැ කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි හරියට අර කුටියට ගිහිල්ලා දවස ගෙවා ගන්නවා වගේ, මම භාවනා කළා කියන ටික විතරයි දන්නේ. පැයක් හරි, පැය භාගයක් හරි බුදුගුණ වැඩුවා නම් ඒ බුදුගුණ වැඩුවේ චිත්ත සමථයක් ඇතිකර ගන්න නම් ඒක වුණා නම් තමයි සමථ භාවනාව වෙන්නේ. ඒ පැය භාගේ අතීත අනාගත දෙකට යන්නේ නැතුව වර්තමානයක ඉන්න හිත හුරු වුණා නම් තමයි මේ සමථ භාවනාව වෙන්නේ.බුද්ධානුස්සති භාවනාව වැඩුවා වෙන්නේ. එහෙම නැතුව අපි වචන ටිකක් හිතහිතා ගියා කියලා ඒ භාවනාව වුණේ නැහැ.


ලෝකයේ හුරු වෙලා තියෙන්නේ අර්ථයකින් නෙවෙයි, වචන ටිකකින් දකින්නේ. මම එදා කිව්වේ භාවනා විතර්කයේ ඉන්න කොට මම දවල් කාලයේ හොඳට ඉඳගෙන සිහියෙන් භාවනා කරකර හිටියා. එක මනුස්සයෙක් ඇවිල්ලා,‘හාමුදුරුවන්ට හොඳට නින්ද ගිහිල්ලා, හොඳටම නිදි’ කියලා ගියා. ආයෙත් වෙලාවක ඉඳගෙන භාවනා කරන්න ගිහිල්ලා ඇත්තටම මට පර්‍ය්‍යඞ්කයේ හොඳටම නින්ද ගිහිල්ලා. කට්ටියක් ඇවිල්ලා කථා කරනවා සද්දේ ඇහිලා තමයි මට ඇහැරුණේ. ඇහැරුණහම කියනවා,‘හාමුදුරුවෝ භාවනා කරනවා, යමු’ කියලා කට්ටිය යනවා. මම නිදාගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරලා තියෙනවා, භාවනා කරන ඉරියව්වෙන් නිදාගෙන තියෙනවා.


ඉතින් ඇත්තටම මගේ ජීවිතයේ භාවනා කරනවා ද, නිදාගන්නවා ද කියන ටිකේයි අර්ථය සිද්ධවෙලා තිබුණේ, අර්ථයකින් බැලුවනම්. මම අර නිදාගෙන ඉන්න වෙලාවේ තමයි හොඳට භාවනා කරලා තිබුණේ. භාවනා කියලා ලෝකයා පනවන ඉරියව්ව තිබුණාට මම භාවනා කරලා තිබුණේ නැහැ, එතන නින්ද ගිහිල්ලා මට.


ඉතින් ඉඳගෙන පැයක් අපි භාවනා කරනවා කියන ප්‍රඥප්තිය නෙවෙයි අපට අවශ්‍ය. අර්ථයයි. ඒකෙන් මම මතක් කළේ අපි බුදුගුණ වඩනකොට ඉතිපිසො භගවා අරහං සම්මාසම්බුද්ධො කියන ගාථාව සජ්ඣායනා කරන්න පුළුවන් කෙනෙකුට. තව කෙනෙක්“භාග්‍යවතුන්වහන්සේ අරහං නම් වන සේක, කුමක් නිසා ද අරහං කියන්නේ, කෙලෙස් සතුරන් නැසූ නිසා, සංසාර චක්‍රයාගේ අර සිඳලූ නිසා, රහසින් වත් පව් නො කළ නිසා, තුන් ලෝ වාසීන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට යෝග්‍ය නිසා භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වන සේක. ඒ අරහං ගුණයෙන් යුක්ත වූ බුදුරජාණන්වහන්සේට මම නමස්කාර කරමි, නමස්කාර වේවා, ජීවිතය පූජා කරමි, පූජා වේවා” කියලා හිතනවා.


මේ වගේ ගුණ නවයම, ගුණ දැනගෙන හිතන්න පුළුවන්. මේක භාවනාවක් වෙන්නේ නැහැ මේ පින්වතුන් මෙහෙන් මැෂින් එකකට දාලා වෙනත් වැඩක් කරන්න යනවා වගේ මේක ඔහේ හිතෙන්න ඇරලා,කියන්න ඇරලා, හිත යටින් එක එක දේවල් හිතනවා නම්. අතීතය අනුව යනවා නම්, අනාගතය අනුව යනවා නම්, එක එක දේවල් හිත යටින් කියනවා නම්, කරනවා නම් මේ පින්වතුන් භාවනාවක් කරලා නැහැ.


මේ පින්වතුන් භාවනා කළා කියලා කියන්නෙත්, බුද්ධානුස්සති සමථය වැඩුවා කියලා කියන්නෙත්, සමථ කමටහන වැඩුවා කියලා කියන්නෙත්, අර්ථයෙන්. තමන්ට තමන්ව රවට්ට‍ ගන්න එපා කිසි වෙලාවක. අනුන්ට පෙනෙන්න පැය භාගයක් නෙවෙයි දවසක් වුණත් භාවනා කරන්න පුළුවන්. නමුත් හරියට පැයක් ද, පැය කාලක් ද, භාගයක් ද භාවනා කළේ කියන එක දන්නේ තමන්. ඒකත් හැබැයි අර්ථය දැනගෙන හිටියොත්. නැත්නම් මේ පින්වතුනුත් කරලා තියෙන්නේ අපි භාවනා කරලා තමයි ඉඳගෙන හිටියාට.


ඉතින් භාවනා කළා කියලා කියන්නේ ඒ පැය කාල නම් පැය කාල, පැය භාගය නම් පැය භාගය, පිරිසිදු වර්තමානයක ඉන්න තමන් දක්‍ෂයි. නිකන්ම ඉන්න බැරි හින්දා, පරණ හුරුවට යන හින්දා, ආස්‍රව වලට යන හින්දා, අතීත අනාගත දෙකට ඉබේම දුවන හින්දා උපායශීලී කමකින් ඉන්නේ වර්තමානයක. ඒ කියන්නේ එයා ඉතිපි සො ගාථාව කියනවා. දැන දැකමයි ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො කිව්වේ, දැන දැකමයි ගාථාවේ මැද කියන්නෙත්, දැන දැකමයි ගාථාවේ අවසන් වෙන්නෙත්. පෙරපසු මනස කොහාටවත්අල්ලගන්න දීලා නැහැ. දැනුම් සහිතවම ගාථාව ආරම්භ කළා, දැනුම් සහිතවම මැද කිව්වා, දැනුම් සහිතවම අවසන් වුණා. ඔන්න හොඳට බුදුගුණ සජ්ඣායනා කළත් වෙනවා, කුසලුත් සිද්ධවෙනවා, බුද්ධානුස්සති සමථයත් වැඩුවා. වර්තමානයක හිත තියෙනවා. ඔය විදියට පැය කාලක් කරන්න. බුද්ධානුස්සති භාවනාව කෙරුවා වෙනවා.


සිහියෙන් කිරීම:ඊටපස්සේ ඇයි කරන කරන හැම දෙයක්ම සිහියෙන් කරන්න කියලා කියන්නේ? වර්තමානයේ කරන කියන දෙයට හිත හේත්තු කරලා, හිත තබලා, අතීත අනාගත දෙකට මනෝ විඤ්ඤාණයට දුවන්න ඉඩ නො දීමයි මේ උපාය වෙලා තියෙන්නේ. උපායක් මේක. වෙන මොකුත් නැහැ. සතර සතිපට්ඨානය ඇරෙන්න නිවන් දකින්න වෙන උපායක් නැහැ. එයා කරන කරන හැම දෙයක්ම අරගෙන සිහියෙන් කරනවා - සති සම්පජඤ්ඤය.


මෙච්චර භාවනා කරනවා කවදද මේ පින්වතුන් සිහියෙන්ම වටපිට බැලුවේ කියලා කියන්න. සිහිය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි වටපිට බලනවා කියන දැනුම් සහිත බවකින් වටපිට බලලා තියෙනවාද කියලා බලන්න. වෙන මොනවා හරි හිතහිතා අනිත් පැත්ත බලනවා මිසක, මොනවා හරි කියකියා අනිත් පැත්ත බලනවා මිසක, අනිත් පැත්ත බලනවා කියන දැනුම් සහිත බවකින් බලලා තියෙයිද කියන්න. එහෙම දැනුම් සහිත බවකින් - ගැඹුරු එකක් ඕනේ නැහැ, ‘බලනවා, බලනවා’ කියලා හිතන්න ඕනේ නැහැ. මේ උපායක්. දැනුම් සහිත බවකින්ම බලනවා කියන කොට මේ පින්වතුන්ට අතීත අනාගත දෙක තුල හිත තියාගන්න බැහැ. අතීත අනාගත දෙකට යන්න බැහැ. වර්තමානයකම හිත තියාගන්න වෙනවා. වර්තමානයකම හිත තියාගෙන කරන කොට ඉබේමයි නීවරණ ධර්ම දුරුවෙන්නේ. ඉබේමයි හිත සන්සි‍ඳෙන්නේ. ඒකයි මේ උපාය.


මෙහෙම යම්කිසි කෙනෙක් බලන කොට,්දැන් බලන්න හදනවා, දැන් බලන බව දන්නවා’ කියන කමත් එක්කම බලනවා මෙහෙම කරලා. එයා හොඳට බලන බව දන්නවා. මේ පින්වතුන් කවදාද දන්නා බව දැනදැනම අත දිගහැරියේ? අත හැකිලුවේ? අසිහියෙන්ම අත දිගහැරියා, අත හැකිලුවා මිසක, වෙන දෙයක් හිතහිතා, කියකියා, කරකර අත දිගහැරියා, හැකිලුවා මිසක, අත දිගහරිනවා කියන ධර්මතාවය ගැන දැනදැනම, අත හකුලනවා කියන ධර්මතාවය ගැන දැනදැනම, හැකිලුවේ දිගහැරියේ කවුද කියලා බලන්න.


සක්මන් භාවනාව:ඊළඟට අපි හිතාගෙන ඉන්නේ සක්මන් භාවනාව තමයි සමථය කියලා. නමුත් සක්මන් භාවනාව සමථය නෙවෙයි. සක්මන් භාවනාව කරනවා සමථය වෙන විදියට. ඒකට උපකාර ධර්මයක් සක්මන. සක්මනේදී කරලා තියෙන්නේ මොකක්ද බලන්න. අඩියක් අඩියක් ගානේ සිහිය පවත්‍වලා කරලා තියෙන්නේ මොකක්ද? අතීත අනාගත දෙකට යන්න දීලා නැතුව, පෙරපසු මනස පරිස්සම් කරගෙන, වර්තමානයක ඉන්න හිත හුරු කරලා. ඉතින් අපි දඟලනවා,‘අහවල් තැන කියලා දෙන්නේ හාමුදුරුවනේ ඔසවමු, ගෙනියමු, තබමු කියලා. නමුත් ඒකට වඩා අහවල් තැන හොඳට කියලා දෙනවා. ඔසවමි, ගෙනයමි, තබමි, තද කරමි කියලා අපට හය කොටසක් කරලා තියෙනවා.’


අපි එක්ක තර්ක කරනවා,‘අරක හරි නම් මේක හරියන්න බැහැ, අරකට වඩා මේක හොඳයි’ කියලා. එහෙම එකක් නැහැ. කොයි එකෙන් හරි මේ උපායක්. අරකයි සක්මන් භාවනාව, මේක සක්මන් භාවනාව නෙවෙයි කියලා අපි භාවනා වලට රණ්ඩු කරනවා. නමුත් මේ අර්ථය බලන්න කියලා මම කියන්නේ. ‘ගෙනයමි,ඔසවමි, තබමි’ කියන තැනකින් හෝ ‘බුරුල් කෙරුවා, එසෙව්වා, ගෙනගියා, තැබුවා, තද කෙරුවා’ කියලා ඔහොම කළහම හරි, මොන විදියට හරි කරලා


● එයා කරනකරන දෙයත් එක්ක මනස තිබුණා ද?

● අතීත, අනාගත දෙකට ගියේ නැත්ද?

● වර්තමානයක ඉන්න පුළුවන් වුණාද?


අන්න එහෙනම් සමථයක් කියලා ගන්න. එහෙම නැතුව මේ ක්‍රමය හරි - ඒකයි මම කිව්වේ කායගතාසතියටත් තර්ක කරනවා අපි. හරි ප්‍රශ්න තියෙනවා, ‘අතන සක්මන් භාවනාව මෙහෙමයි, මෙතන භාවනාව මෙහෙමයි, මේක නම් හරි ඇති, අර ක්‍රමය වැරදි ඇති. අරකට වඩා මේක ශ්‍රේෂ්ඨයි. මේ ක්‍රමයට ඉක්මනට හිත සමාධි වෙනවා’ කියලා එක එක්කෙනාගේ තර්ක.


නමුත් අර්ථය බලාගෙන කරන්න කියලා මම කියන්නේ. සක්මන් භාවනාව කියන එක කියන්න බලන්න කරලා තියෙන්නේ මොකක්ද කියලා. වර්තමානයේ ඉන්න හිත හුරු කරලා. ඒ අර්ථය ඉපදෙන විදියට ඕනේ විදියකට කය බලාගන්න, යනකොට ‘යනවා’ කියන කාරණාව තමන්ට සමථය.


ඊටපස්සේ කථා කරනකොට කථා කරන බව දන්නවා. බලන්න මොන තරම් තීක්‍ෂණයි ද කියලා ඒක.


● කථා නො කරන බව දන්නවා.

● හිටගන්නකොට හිටගන්න බව හොඳට දන්නවා එයා.

● ඉඳගන්නකොට ඉඳගන්න බව දන්නවා.

● ඇවිදිනකොට ඇවිදින බව දන්නවා.

● නිදාගන්නකොට නිදාගන්න බව දන්නවා.


හැම වෙලා‍වේම කායගතා සතිය - කය කෙරෙහි සිහිය ඇතුව කියලා කියන්නේ කය කෙරෙහි සිහිය තිබුණහම කයෙන් කෙරෙනකෙරෙන සිද්ධාන්තය අත්විඳිනවා එයා, දකිනවා. මහා ගැඹුරු දෙයක් අත්විඳින්න යන්න එපා. රූප කලාප බලන්න යන්න එපා. මේ චිත්තකිරිය වායෝ ධාතුව ඉදිරිපසින් යන්නේ කියලා ඕවා බලන්න යන්න ඕනේ නැහැ එච්චර. මේ උපායක්. එතන එතන සිහිය තබාගන්න උපායක් - වර්තමානයක.


අර සති නිමිත්තේ තියාගෙන ආශ්වාස ප්‍රශ්වාසයට හිත තබන්න කිව්වේ අතීත අනාගත දෙකට යන්නේ නැතුව වර්තමානයේම ඉන්න ඕනේ කියලා කිව්වොත් යමක් නො දී බැරි නිසා. ඉන්න අපහසු නිසා. හුරු කරන්න අපහසු නිසා. උපායක් දුන්නා අපිට මෙහෙම කරන්න කියලා. ඕක කරන කොට අර කාරණාවවෙනවා.


සක්මන් භාවනාව කරන්න කියලා මෙහෙන් ඉලක්කයක් දුන්නා. බලාපොරොත්තු වුණේ මේක කිරීම නෙවෙයි. හිතේ එකඟකම යි. අතීත, අනාගත දෙකට දුවන එක නවත්වලා වර්තමානයේම ඉඳීම කියන අර්ථය. ඒක ක්ෂාත් ක්‍ෂාත් වෙන්න මේ කාරණාව දුන්නා. මොකද අරක විතරක් දුන්නොත්,‘අනේ අපිට බැහැ’ කියයි. ඉතින් මේක කරන්න කියලා හරියට කළහම මෙන්න මේ කාරණාව නිෂ්පාදනය වෙන්න ඕනේ. එහෙම බලාගෙනයි සමථය කියලා කියන්නේ. එතකොට අපි කමටහන් ඉදිරියේ අසරණ නැහැ.


ජපානයේ තියෙනවාලු ඉස්කෝල ඉස්සරහ චොකලට් ෆැක්ටරි. ඉතින් ළමයින්ට මොකද කරලා තියෙන්නේ ඕක රවුම් දහයක් කැරකෙව්වහම චොකලට් එකක් එනවාලු. ඉතින් ළමයින් මොකද කරන්නේ, ඉස්කෝලේ ඇරුනහම, පෝලිමට ඇවිල්ලා අරක රවුම් දහයක් කරකවලා චොකලට් එකක් අරගෙන යනවාලු. අර රවුම් දහය කරකැවෙනකොට චොකලට් එක වගේ පස් ගුණයක් වටිනා බොත්තම් හැදෙනවා කර්මාන්තයට. ළමයින්ට කිව්වා නම්,‘පුතේ මේ රට ටිකක් හරි දියුණු වෙනවා, අපි කාටත් ආර්ථිකයට හොඳයි, ඔයගොල්ලෝ රවුම් දහයක් කරකවලා අනිවාර්යයෙන් යන්න ඕනේ හැම කෙනෙක්ම මේ බොත්තම් ටික හැදෙන්න’ කියලා කිව්වොත් කරයිද ළමයි? කරන්නේ නැහැ. ඉතින් කවුරුත් චොකලට් එක ගන්න නම් කරනවා. මේක ගන්න කරනකොට වෙන්නේ අර ටික යි.


ඉතින් ඒ වගේ එකක් තමයි මෙහෙම වර්තමානයක ඉන්නයි කියලා කිව්වහම කෙරෙන්නේ නැහැ. කරන්නේ නැහැ, බැහැ කියනවා. ඒ හින්දා මේ සක්මන් භාවනාව කරන්න කො, ආනාපාන සතිය වඩන්න කො, බුදුගුණ වඩන්න කො, අසුභය වඩන්න කො, මරණය වඩන්න කො, මෛත්‍රිය වඩන්න කො කිව්වහම අර පොඩි ළමයි චොකලට් එක ගන්න ක්‍රමය දුන්නා වගේ. දැන් ඒක කරනවා. කරනකොට වෙන්නේ මෙහෙමයි.


ඉතින් මම ඔය ටික කිව්වේ මේ කමටහන් වලට ගතු කියන්න යන්න එපා. රණ්ඩුවෙන්න යන්න එපා. ‘මෛත්‍රී භාවනාව මේ විදියටයි දියුණු වෙන්නේ, ඕක නම් වෙන්න බැහැ’, නැත්නම් ‘මම නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා කිව්වහම හාමුදුරුවනේ ඔතන මම කියලා මානය වැඩෙනවා නේද, ඕක එහෙම වෙන්න බැහැ නේද, අකුසලයක් වෙනවා නේද’, ඉතින් මේ ගහට නගින්න ඉස්සෙල්ලා පොල් කඩන්න හදනවා වගේ.


මේ තවම කරන්න හදන්නේ ගැඹුරු චිත්ත අවබෝධයකට යන්න මග එළිපෙහෙලි කරගන්න එක. එතකොට වතුර කේතලය ලිපේ තිබ්බ ගමන්ම තේ වත්කරන්න හදනවා වගේ වැඩක්. කමටහන අතට ගත්ත ගමන්ම බලාපොරොත්තු වෙන්නේ යථාර්තය. එහෙම නැහැ, දැන් මේ සමථ කමටහනෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා බලන්න. ‘මම, මගේ, මගේ ආත්මය’ කියන කම තවම දුරුවෙන්නේ නැහැ. නමුත් මෙතන ‘මම නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා’ කියන තැනකින් හරි කියන්න ගියොත් වර්තමානයක ඉන්නවා කියන සමථය සිද්ධ වෙනවා. ඒකම පාදක කරගෙන විදර්ශනාව කරන්න පුළුවන්.


ඒ නිසා කිසිම කෙනෙක් ‘‘අනේ අපේ හිත සමාධි වෙන්නේ නැහැනේ, හිත එකඟ වෙන්නේ නැහැනේ’’ කියලා කලබල වෙන්න හෝ කණගාටු වෙන්න එපා. හරියට එහෙම දෙයක් වෙන විදියට නො කළ හින්දයි ඔතන තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා සති නිමිත්ත හසුවෙන්නේ නැත්නම්, හිත දුවනකම නතර වෙන්නේ නැත්නම් උපායශීලීව පටන් ගන්න. වර්තමානය තුළ තමන්ට ඉන්න පුළුවන් මට්ටමක - මම කිව්වේ ඉතිපි සො ගාථාව දැනදැකම පටන් ගන්න, දැනදැකම පවත්‍වගෙන යන්න, දැනදැකම අවසන් කරන්න. එතකොට ඒක දහ සැරයක් කරන්න පුළුවන් නම් ඉතිපි සො ගාථාව කරලා බලන්න තමන්ගේ මනසේ ලොකු වෙනසක් තියෙයි. සති නිමිත්තේ හිත තියලා බලන්න හොඳට සති නිමිත්ත හසුවෙයි.


ඒ නිසා ඔය හිතේ එකඟකම ඇතිවෙන තැනකට, හිතේහිතේ දුවනකම නතරවෙනවා. හිත එක තැනක පවතිනවා, වර්තමානයක පවතිනවා, වර්තමානයක ඉද්දි පෙරපසු මනස වෙන කොහෙටවත් යන්නේ නැහැ කියන ගති ටික නිෂ්පාදනය වෙන්න ඕනේ සමථයෙන්. ඊටපස්සේ මැරුණු දේ තුළ, නූපන්න දේ තුළ මනස තියෙන්නේ නැහැ. මනස ඉන්න ඉඩ තියන්නේ නැහැ. කුමක් නිසාද, සත්‍යය කියන එක හැම වෙලාවේම හම්බවෙන්නේ වර්තමානයක නිසා. සත්‍යය කියන එකහම්බවෙන්නේ වර්තමානයක නිසාත්, සත්‍යය කියන තැන අද අපි නො ඉන්න නිසාත්, ඉන්න තැන සත්‍යය නැති නිසාත්, අපි උපායශීලීව සත්‍යය නැති තැනින් අයින් වෙලා සත්‍යය තියෙන තැන හුරු කරනවා. කුමකටද? සත්‍යය බැලීමට උපකාර පිණිස.


ඔන්න ඔය ටික ඔය විදියට කරන කොට කියනවා සමථ භාවනාව කියලා. ඔය සමථ භාවනාව ඔය විදියට කළොත්, ඔය සමථය කියන කාරණාවේ අර්ථය ඇති වුණොත් මේ පින්වතුන්ගේ ජීවිතයේ සමුදාචාර තණ්හාව කියන ටික හික්මෙනවා.


මතු සම්බන්ධයි!

Post a Comment

0 Comments