පින් කිරීමේ ක්‍රම - අවසාන කොටස
මම මේ පින්වතුන්ට කලිනුත් කියලා ඇති, නමුත් අදත් කියන්නම් උපමාවක්: දැන් අපි
● ඇහෙන් දකින දෙයට කියනවා විඤ්ඤාණය කියලා.
● ඇහෙන් දකිනඅත්දැකීමට කියනවා විඤ්ඤාණයේ අත්දැකීම කියලා.
● නුවණින් දකින දෙයට කියනවා ප්‍රඥාවේ අත්දැකීම කියලා.
● ඇහෙන් දකින දෙයට කියනවා මාංස චක්ෂුසය කියලා.
● නුවණින් දකින එකට කියනවා ප්‍රඥා චක්ෂුසය කියලා.
කෙනෙකුට ප්‍රඥාව නැති වුණොත් ඉතුරුවෙන්නේ විඤ්ඤාණයේ අත්දැකීම විතරයි. එතකොට ඇහෙන් දැක්කත්, හිතෙන් හිතුවත් දැකීමේ අත්දැකීම විතරයි ලැබෙන්නේ, ප්‍රඥාව නැත්නම් යම් තැනක. එතකොට දැකපු දෙයම ඇති බව තමයි එළඹ සිටින්නේ. දැකපු දෙය ඇති බවට එළඹ සිටින හැටි මම දැන් කියන්න යන්නේ. ඒ හරහා තමයි නිරොධෙ ප්‍රඥාව ගන්න වෙන්නේ.
මම ඕකට උපමාවක් කියන්නේ:මේ පින්වතුන්ගේ ගෙවල් වල තියෙනවා නේ. දැන් ඔය ශීතකරණයේ ඇතුළත අඳුරුකම යන්න දොර ඇරියහම බල්බ් එකක් පත්තුවෙනවා. දැන් ඒ ශීතකරණයේ දොර හදිස්සියේ ඇරියොත් ඒකේ බල්බ් එකක් පත්තුවෙයි, ඇතුළත ආලෝකමත් වෙයි. ඒ බව අපට දකින්න පුළුවන්. ඒ දකින එකට කියනවා විඤ්ඤාණයේ අත්දැකීමක් කියලා. ආලෝකය පෙනෙනවා. දොර වහනකොටම ආලෝකය නිවෙනවා. දොර වහපු නිසා ආලෝකයනිවෙනවා,නිවෙන බව මසැසට පෙනෙන්නේ නැහැ. නිවිච්ච බව පෙනෙන්නේ හැම වෙලාවේම ප්‍රඥා චෛතසිකය යෙදෙන සිතකටයි. නමුත් ප්‍රඥා චෛතසිකය යෙදුණු සිත් නැත්නම්, ප්‍රඥා චෛතසිකය නැති වුණොත්, නුවණ නො යෙදුනොත් ජීවිතයක, ඉතුරුවෙන්නේ විඤ්ඤාණයේ අත්දැකීම විතරයි. ඒ කියන්නේ නුවණ නො යෙදුනොත් දොර වහනකොටම ලයිට් එක නිවුණාට, නිවුණු බව එයා දන්නේ නැහැ. විඤ්ඤාණයේ අත්දැකීම විතරයිඉතුරුවෙන්නේ කියන්නේ, අර දොර අරිනකොට ඇහෙන් දැකපු අත්දැකීම විතරයි මනෝ විඤ්ඤාණයට සිහිකරන්න පුළුවන්. දොර අරින වෙලාවට ඇහෙන් දුකපු ආලෝකයම සිහි කිරීම මතින් ම මනෝ විඤ්ඤාණය උපදිනවා. අතරමැද ප්‍රඥා චෛතසිකය උපදින්නේ නැතුව, පෙනීමට අමතරව, නිරුද්ධ වෙච්ච බව දකින ප්‍රඥා චෛතසිකය නො යෙදෙන නිසා, උපදින්නේ නැති නිසා, ඇහෙන් දැකපු දෙයම ආවර්ජනාවකින් ගනිමින්ම මනෝ විඤ්ඤාණයේ ඒ නිමිත්තම උපදිනවා. උපදිනකොට එයාට දැනෙන්නේ, එයාට තේරෙන්නේ පත්තුවෙලා තියෙන ලයිට් එක තියෙනවා කියන කමයි. දැන් මේ පින්වතුන්ට යනකොට ගෙදර තියෙනවා කියල පෙනෙන කම තියෙන්නේ, ඒ ගතියමයි එයාට දැනෙන්නේ, දැන් බල්බ් එක පත්තුවෙලයි තියෙන්නේ වගේ. එයා දැන් කථා කරන්නේම දොර වැහුවත් ලයිට් එක පත්තුවෙලා තියෙන තැනකින්. කවුරුහරි කිව්වොත් නැහැ, නැහැ, ඕක ගැන කතා කරන්න එපා. ඕක වැරදියි, දොර වැහුවහම ලයිට් එක නිවෙනවා කිව්වොත් මෙයා කියයි, නැහැ එහෙම වෙන්නේ නැහැ, ලයිට් එකපත්තුවෙලාමයි තියෙන්නේ.
එතකොට මේ මෝඩකම ඔප්පුවෙන විදියටයි ලෝකය හැදිලා තියෙන්නේ. ලෝකය තුළ ප්‍රඥාව ඔප්පුවෙන්නේ නැහැ. ‘හා, තියෙනවාද නැත්ද කියලා එහෙනම් බලමු’ කියලා හදිස්සියේ කථා කරලා යයි, අපි තර්ක කරලා ඇවිල්ලා ඇරියොත්, දොර අරිනකොටම බල්බ් එක පත්තුවෙලා පේනවා. එතකොටම ඔප්පුවෙන්නේ මොකක්ද - ‘ආ, මම කිව්වේ බොරුද, මේ තියෙන්නේ පත්තුවෙලා’ කියලා. අරිනකොටමයි පත්තු වුණේ නමුත් පෙනෙන්නේ පත්තුවෙලා වගේ. මෝඩකම ඔප්පුවෙනවා මිසකප්‍රඥාව ඔප්පු කරගන්න බැහැ ලෝකයේ. මෙයාට දොර ඇරියත් බල්බ් එක පත්තුවෙනවා, දොර වැහුවත් පත්තුවෙනවා, ආපහු බලන්න ආවත් පත්තුවෙනවා. දැන් ආලෝකය නිත්‍ය යි.
බලන්න දැන් මේ නිත්‍ය සංඥාවේ අත්දැකීමෙන් බලන්නමොකක්ද මේ අවිද්‍යාව නිසා නෙවෙයි ද කියලා. දොර ඇරලා තියෙන වෙලාවෙත් බල්බ් එක පෙනෙනවා. දොර වැහුවාට පස්සෙත් එම අත්දැකීමමයි හිතේ හැදිලා තියෙන්නේ. ඒක තියෙනවාද නැත්ද කියලා බලන්න ආවහම ආයෙත් දොර ඇරපු හින්දා, හේතු ඇති හින්දා මයි තියෙන්නේ.
දැන් මේ විඤ්ඤාණයේ අත්දැකීම පරිහරණය කරන කෙනාට නිරොධෙ ප්‍රඥාව නැති මෙයාට, ස්කන්‍ධයන්ගේ අනිත්‍යය, නැත්නම් හේතුඵල නිරෝධ දහම, නිවනේ පණිවිඩය, ජීවිතයට ගන්න බැහැ තනියම. එතකොට වෙන කෙනෙකුගේ උපකාරයක් නැවත ඕනේ වෙනවා. කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මෙයාට, විඤ්ඤාණයේ අත්දැකීමක් තියෙන කෙනාට, ප්‍රඥාවේ අත්දැකීම වෛවර්‍ණයෙන් ලබාදෙන්න දරන උපායක්.
දැන් මෙයා නිවීම පිළිගන්නේ නැහැ නේ. නිරුද්ධවෙන බව දකින්නේ නැහැ නේ. ඒකට උපායක් හැටියට කරන්න වෙනවා - ‘ඔයා කියන්නේ මේ බල්බ් එක නිවෙන්නේ නැහැ කියලා නේ. එහෙනම් එන්න’ කියලා එක්කගෙන යනවා. ගිහිල්ලා දොර අරිනවා. ඇරියහම බල්බ් එක පත්තුවෙලා පෙනෙනවා. ‘ඔයා දන්නවාද මම මේ බල්බ් එක දොර ඇරපු ගමන්මයි පත්තුවෙන්නේ, දොර වහපු ගමන් නිවෙනවා කියලා කියන්නේ ඔයා වගේ අහේතුකව නෙවෙයි, මම සහේතුකවයි මේක කියන්නේ. මොකද මේ බල්බ් එක නිවෙනවා හා පත්තුවෙනවා කියන එක හේතුප්‍රත්‍යයයි කියලා දන්න නිසා.’ එයාට කියන්න වෙනවා - ‘ඔයා දන්නවාද මම එහෙම කියන්නේ මොකක් නිසාද කියලා. මේ දොර අයිනේ තියෙනවා එබෙන වර්ගයේ ස්විච් එකක්. දොර අරිනකොටම ඒක එළියට එනවා, එනකොටම මේ බල්බ් එක පත්තුවෙනවා කියලා දන්න හින්දයි දොර අරින නිසාමයි පත්තුවෙනවා කියලා කියන්නේ. දොර වහනකොටම මේ බොත්තම එබෙනවා, එතකොට මේක නිවෙනවා කියලා දන්න හින්දයි මමමේක නිවෙනවා කියන්නේ. මම මේ දොර අරිනකොටමපත්තුවෙනවා, දොර වහනකොටමනිවෙනවාකියන්නේ ඒක ගැන තියෙන එකක් හින්දා නෙවෙයි. ඒකේ ඇතිවෙන නැතිවෙන හේතුව දන්න හින්දා’ කියලා දොර ඇරලා තියෙද්දීම ඇඟිල්ලෙන් ඔබලා පෙන්නනවා,‘එහෙනම් බලන්න බොරුද කියලා’, දොර ඇරලා තියෙද්දිම බොත්තම ඇඟිල්ලෙන් ඔබලා පෙන්නන්න වෙනවා. ‘එහෙනම් බලන්න දැන් බොරුද කියලා’. දොර ඇරලාම ආයෙත් තියෙන කෙළවරේ බොත්තමට ඇඟිල්ලෙන් ඔබලා පෙන්නන්න වෙනවා. ‘ඕනේ නම් ගෙදර ගිහිල්ලා කරලා බලන්න’ කියනවා. එතකොට ඇඟිල්ලෙන් එබුවහම,‘ඔන්න බලන්න ලයිට් එක නිවෙනවා, මේ දොර මෙහෙම වහනකොට අයිනේ තියෙන මේ බොත්තම මේ විදියටම තද වෙනවා. එතකොට නිවෙනවා කියලා කියන්නේ ඒකයි. ඇඟිල්ල අරගෙන පෙන්නනවා ඔන්න මේ ඇඟිල්ලගත්තහම බොත්තම එළියට එනවා, එතකොට මේ බල්බ් එක පත්තුවෙනවා.’
ඔන්න ඔහොම දැන් කිව්වහම මෙයාට අනුමාන ප්‍රඥාවක් පහළ වෙනවා, තවම ප්‍රත්‍යක්‍ෂ නැහැ, ‘එහෙනම් දොර වැහුවහම නිවෙනවා ඇති තමයි’. ඒ අනුමාන ඥානය ඇතිවුණේ පෙර කෙනෙකුගෙන්. ඕකට තමයි කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. පිටතින්මයි ලබාගන්න වෙන්නේ. වෙන එයාට ලබාගන්න හැකියාවක් ඇත්තේම නැහැ.
ඊටපස්සේ තමන්ම උත්සාහවත් වෙනකොට, කල් යනකොට තමන්ටමප්‍රත්‍යක්‍ෂයක් එනවා - ‘ඇත්ත තමයි එහෙනම් ශීතකරණයේ දොර අරිනකොටම පත්තුවෙලා වහනකොටම නිවෙනවා’ කියන නුවණ තමන්ටම එනවා. එතකොට ඇහැට පෙනීමත් එක්කම දැන් මේක නිවුණා කියන නිරෝධය ඝටිත චිත්ත චෛතසික උපන්නහම හටගත්ත දෙය නැතිවෙනවා වගෙයි අපට පෙනෙන්නේ. නැතිවෙන දේ නැතිවෙනවා කියලා පෙනෙනවා. නැතිවෙන දේ නැතිවෙන බව නො පෙනෙන්නේ ඇති දේම අල්ලගෙන මනසේ විඤ්ඤාණය උපදින නිසයි. ඒ ගතිය නතර වෙන්න නම් පෙනෙන දෙයට සමගාමීව උපදින මනෝ විඤ්ඤාණය නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා චෛතසිකය යෙදිලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් නැතිවෙන බව පෙනෙනවා.
කණ්ණාඩියක් ළඟට ගිය ඡායාව අහකට යනකොට නැතිවෙනවා කියලා පෙනෙන්නේ, ප්‍රඥා චෛතසිකය යෙදෙන මනෝ විඤ්ඤාණ මට්ටමක් තියෙන නිසයි. ‘මනුෂ්‍යයි’ කියන තැන වටිනාකම ඕකයි. තිරිසන් සතාට නො පෙනෙන්නේ ඇයි? ප්‍රඥා චෛතසිකය යෙදිලා චිත්ත චෛතසිකය උපදින්නේ නැති නිසයි. ඇහැට පෙනෙන දෙයම ඊගාව හිත අල්ලගෙන උපදින නිසයි. ඇහැට පෙනෙන දෙයම ඊගාව හිතෙන් අල්ලගෙන උපදින්නේ නැතුව නුවණ අල්ලගෙන උපදින නිසයි කණ්ණාඩියක් ළඟට ගිය ඡායාව නැති වුණේ.
ඉතින් අර ශීතකරණයේ ආලෝකය දකින මිනිහාට ප්‍රඥාව ගැන අත්දැකීම් නැහැ, විඤ්ඤාණයේ අත්දැකීමක් විතරක් වගේ, කාම ලෝකයේ උපන්න අපට විඤ්ඤාණයේ අත්දැකීමක් විතරයි, ප්‍රඥාව නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව නැහැ. ලෝකය නිරෝධ කරනප්‍රඥාව නැහැ. ඒ ශීතකරණයේ දොර ඇරියා වගේ ඇහෙන් රූපයක් දකිනවා. චක්ඛු ද්වාරය ඇරලා බලනවා. බලනකොට ආලෝකය හරහා අර පුරුෂයා පෙනෙනවා. ඇහැ අහකට ගැනීමයි, පෙනෙන රූපයේ නැතිවීමයි පෙරපසු නැතුව එකටමයි වෙන්නේ. ඒක මනසට පෙනෙන්නේ නැහැ. නමුත් ඒ නිරෝධය දකින ප්‍රඥා චෛතසිකයේදී විඤ්ඤාණය නැති නිසා, දැකපු නිමිත්ත ඒ විදියටම බලනවා මනෝ විඤ්ඤාණය ක්‍ෂණිකව උපදින්න. උපදිනකොට අපිට හිතෙන්නේ දැකපු දේ තියෙනවා වගේමයි. අර ආලෝකය තියෙනවා වගේම යි. දැන් ‘අහපු දේ තියෙනවා, දැකපු දේ තියෙනවා’ වෙලා. දැන් දැකපු දේ තියෙනවා වගේම වෙලා තියෙනවා. ඊටපස්සේ - ‘හා, තියෙනවාද නැත්ද කියලා එහෙනම් බලන්න යමු’ කියලා ආයෙත් කරන්නේ අර ශීතකරණයේ දොර ඇරලා බැලුවා වගේ ඇහැක් හදලා බලන එක. බලනකොට මෝඩකම ඔප්පුවෙනවා - ‘ආ, මේ තියෙන්නේ’ කියලා. බලපු නිසාමයි හැදිලා තියෙන්නේ. දැන් ඇහෙන් බැලුවත්, හිතෙන් හිතුවත් ආයේ ඇහෙන් බැලුවත් බලපු එක තියෙනවා.
දැන් අපිට පෙනන රූපය නිත්‍යයි. නිත්‍ය සංඥාව තියෙන්නේ ඔහොමයි. දැන් ඕකේ රූප කලාප බලලා ඔයාගේ දිහා බැලුවහම නෑ. ආලෝකයේ රූප කලාප බලලාබලලා ආලෝකයේ අනිත්‍යය බලන්න පුළුවන් වෙයි ද? ශීතකරණයේ ආලෝකයේ රූප කලාප බිඳිබිඳී යනවා, නැත්නම් ආලෝකය තත්පරයට හැට වතාවක් නිවිනිවී යනවා කියලා බලලා ආලෝකයේ ඇත්ත බැලිය හැකි ද? බැහැ. හේතුඵල දහම බලලාමයි බලන්න වෙන්නේ.
ඒ වගේ මේ පෙනෙන රූපයේ අනිත්‍යය බලන්න, හේතුඵල දහමබලන්න වෙනවා. එතෙක් නිත්‍ය සංඥාවමයි තියෙන්නේ. දැන් පෙනෙන, ඇහෙන දේවල් ඔක්කෝම තියෙන, ඉන්න අය වෙලා, ලෝකය නිත්‍යයි, සැපයි, ආත්මයි වෙලා, ඔය බැලීම මත ඒ නිසා මහා සංයෝජන රාශියක් හදාගෙන ඉන්නවා. දැන් මේ ඇත්ත නො දන්නා අවිද්‍යාව නිසා ලෝභ ද්වේශ කෙලෙස් එකතුවෙලා අද. අපි කිව්වේ වට්ටමූලික තණ්හාවට හොඳට ආහාර ලැබිලා, හොඳට පෝෂණය වෙලා තියෙන්නේ.
ඔහොම ජීවත්වෙන ලෝකයට තමයි බුදුරජාණන්වහන්සේලා පහළවෙන්නේ නිරෝධෙ ප්‍රඥාව ලබාදෙන්න. කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අපි අර පුරුෂයාව, ආලෝකය නැතිවීම නො දන්නා පුරුෂයාව, ශීතකරණය ඉස්සරහට ගෙනැල්ලා හේතුඵල දහම පෙන්නුවා වගේ බල්බ් එකෙන්, බුදුරජාණන්වහන්සේ කරන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන් ශීතකරණයේ දොර ඇරියා වගේ, ඇහැ ඇරලා තියෙද්දීම, ඇහැට රූප පෙනෙද්දීම - ‘නුඹලා දන්නවාද මේ රූපය පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා මම කියන්නේ මොකක් නිසා ද කියලා? මේක හේතුප්‍රත්‍යය නිසා. හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දන්නනිසා’ කියලා හේතුඵල දහම පෙන්වන්නේ.
චකඛුඤ්ච පටිචච රූපෙ ච උපපජජති චකඛු විඤඤාණං තිණණං සඞ්ගති ඵසෙසා- ඇහැත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් තුන්දෙනා නිසා ස්පර්ශය. ස්පර්ශයක් වුණොත් විතරම මයි පෙනෙන්නේ. එහෙනම් ස්පර්ශයනැතිවෙනවා කියලාකියන්නේ පෙනෙන දේ නැතිවෙනවා කියලා, අර බොත්තම අතින් ඔබලා පෙන්වනවා වගේ පෙන්වනවා. හේතු ටික නිසාමයි පෙනෙන්නේ.
ඇහැ විතරක් තිබුණොත් රූප පෙනෙනවාද? රූප නැත්නම් නැහැ. රූප පෙනෙන්න පුළුවන් විදියේ අෂ්ඨමක රූපකලාපත් තියෙන්න ඕනේ.
ඒවා විතරක් තිබුණත් පෙනෙනවාද ඇහැ නැතුව? නැහැ, ඇහැත් ඕනේ.
ඔය දෙන්නා විතරක් තිබුණොත් පෙනෙනවාද හිත නැත්නම්? නැහැ, හිතත් ඕනේ.
හිතත් නිසා, ඇහැත්නිසා, බාහිර උපකාරයත් නිසා නම් මේ පෙනෙන්නේ, ඇහැත් නැතිවෙනවා, හිතත්නැතිවෙනවා, පෙනෙන රූප විතරක් ඉතුරු වෙයිද කියලා අහනවා. තෙලුත් නිසා, තිරෙත් නිසා, දැල්ලත් නිසා නම් ආලෝකය, තෙලුත්නැතිවෙනවා,තිරෙත්නැතිවෙනවා, දැල්ලත් නැති වුණා, ආලෝකය නම් ඉතුරු වුණා කියලා එකක් තියෙයිද කියලා අහනවා. වෙනවා ද?
පෙනෙන දේ තියෙනවා කියන අපිත්, තෙලුත්නැතිවෙනවා,තිරෙත්නැතිවෙනවා, දැල්ලත් නැතිවුණා, ආලෝකය තියෙනවා කියන කෙනත් අතර වෙනසක් නැහැ. පෙනෙන දේ තියෙනවා කියන කෙනයි, අරවා නැති වුණත් ආලෝකය තියෙනවා කියන කෙනයි එකයි.
ඉතින් බුදුරජාණන්වහන්සේ මේ හේතුඵල දහම පෙන්වන්නේ ලෝකය පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියන එකපෙන්වන්නේ. ඒකෙන් කියන්නේ මොකක් ද මේ, මේ විදර්ශනාවෙන් පෙන්වන්නේ අන්තිමට? ලෝකය පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා කියන්නේ තියෙන දෙයක් හම්බ නො වෙන නිසා, උපද්දවාගෙන පරිහරණය කරන නිසා.
මනඤ්ච පටිචච ධමෙම ච උපපජජති මනො විඤඤාණංකියලා කියන්නේ මනසින් ධම්මාරම්මණ උපද්දලා ඒක ම දැනගත්තේ කියන එක කියන්නේ. ඒක හොඳට දැනෙනවා - මනඤ්ච පටිචච ධමෙම ච - මනසින් ධම්මාරම්මණ උපද්දලා මනො විඤ්ඤාණයෙන් දැන ගන්නවා. මනො කියන්නේ සිත.මනො විඤ්ඤාණය කියන්නෙත් සිත. තිණණං සංගති ඵසෙසා - තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කියන්නේ මේ සිත් දෙකක් එකට එකතු වුණා කියන එක නෙවෙයි, සිත් දෙකේ මෙහෙම ක්‍රියාකරණයක් සම්ර්‍පූර්ණ වෙච්ච තැන ස්පර්ශයක් කියලා.
මම ඕකට උපමාවක් කියන්නේ: අපි අතින් දෙහි ගෙඩියක් අතේ තියාගෙන,අතට අරගෙන අතින්ම උඩ දාලා ඒ අතින්ම ඇල්ලුවොත් ඒ දෙහි ගෙඩිය, එකම දෙහි ගෙඩියට එක අත දෙපාරක් සක්‍රියයි. අතින්මයි ඉහළ දැම්මේ, අතින්මයි ඇල්ලුවේ. දෙහි ගෙඩිය උඩ දාන අතට අල්ලනවා කියලා කියන්නේ නැහැ. අල්ලනවා කියන එකට උඩ දානවා කියන්නේ නැහැ.
මුලින්ම අත වැයවෙලා දෙහි ගෙඩිය උඩ දානවා කියන සිද්ධියට, අතින්ම උඩ දැම්මහම ඒ ක්‍රියාව, ඒ අත නිරුද්ධයි. ඉවරයි. ඊටපස්සේ උඩ දාපු දෙහි ගෙඩිය අතට ප්‍රතිපක්‍ෂ යමක් වෙලා අතේ මෙතැනින් අල්ලන කොට අතේම හැපෙනවා. ස්පර්ශයක් වෙනවා. මේ අත දෙපාරක්, අත් දෙකක් එකට එකතු වුණා කියන එක නෙවෙයි, අතයි-අතයි නිසා දෙහි ගෙඩිය තියෙනවා වගේ එකක් තමයි. එතකොට අපි මෙහෙම අල්ලන කොට ඒ දෙහි ගෙඩිය අපි ඇල්ලුව ගණයට යනවා. එතකොට ස්පර්ශයක්.
දෙහි ගෙඩිය අතේ තියාගෙන උඩ දානවා වගේ දකින්න මනඤ්ච පටිචච ධමෙම ච - ඒ දෙහි ගෙඩියෙන් ම ඊළඟට අතින් අල්ලනවා වගේ උපපජජති මනො විඤඤාණං -එතකොට හිත දෙපාරක් යෙදිලා තියෙනවා වගේ එකම දෙහි ගෙඩියක් උඩ දාලා අල්ලනවා කියලා කිව්වා වගේ, දෙහි ගෙඩියක් උඩ දාලා ඇල්ලුවොත් ඒකෙන් කියනවා බාහිර දෙයක් නෙවෙයි ඇල්ලුවේ, උඩ දාපු දෙහිගෙඩියයි ඇල්ලුවේ කියන එකක් කියනවා. බාහිර තියෙන කිසිම දෙයක් අහු වුණේ නැහැ, ඇල්ලුවේ නැහැ, අල්ලන්න බැහැ, අහුවෙන්නේ නැහැ, උඩ දාපු දේ මයි අහුවුනේ, උඩ දාපු දේ මයි ඇල්ලුවේ කියනවා.
මනඤ්ච පටිචච ධමෙම ච උපපජජති මනො විඤඤාණංකියන කොට මනායතනයෙන් උපද්දපු විතර්කය මයි මනො විඤ්ඤාණයෙන් දැනගත්තේ කියන කොට, බැහැර දුවා, පුතා, දරුවා, ගෙවල්දොරවල් කියලා බාහිර දෙයක් සිහි කෙරුවේ නැහැ, දැනගත්තේ නැහැ, මැරිච්ච අය කවුරුවත් දැනගත්තේ නැහැ, මනෝමයයි කියන කාරණාවක් තියෙනවා.
(‘මය’ කියන කාරණාව පාළියේ යෙදෙන්නේ,‘මය’ කියන තද්ධිත ප්‍රත්‍යය යෙදුනහම ‘එයින් උපන්, එයින් හටගත්’ කියන එක යි. දැන් රජතමය කියලා කියනවා රිදියෙන් උපන්, රිදියෙන් කළ, රිදියෙන් හටගත්. දාරුමය - දැවයෙන් කළ, දැවයෙන් උපන්, දැවයෙන් හටගත්. ස්වර්ණමය - රනින්කළ,රනින් උපන්,රනින් හටගත්. මනෝමය - මනසින් කළ,මනසින් උපන්,මනසින් හටගත්.)
මේකෙන් කියනවා සම්පූර්ණම උපදින ලෝකය මනෝමයයි කියලා. සැබෑවක් නෙවෙයි කියනවා. මනෝමයෙන් හටගත්ත දේ ඒ මනෝ ස්පර්ශය නිරුද්ධ වෙන කොට නිරුද්ධ වෙනවා කියන කාරණාව තියෙනවා.
මෙන්න මේ කාරණාව දකින්න දකින්න තමයි භව නිරෝධයක් එන්නේ. බාහිර තියෙනවා තියෙනවා කියන එක, ගතිය කැපෙන්නේ, මැකිලා යන්නේ මනසින් උපන්න දේ මනෝමයෙන්ම දකිනවා කියන කාරණාව දැක්කොත්. ඊටපස්සේ ඒ සිද්ධියයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චකඛුං ච පටිචච රූපෙ ච උපපජජති චකඛු විඤඤාණං- කියන කොට රූපයක් දකින කොටත් හිත දෙපැත්තකින් උපකාරයි. මනෝ විඤ්ඤාණයෙන් දකින්නත් හිත දෙපැත්තකින් උපකාරයි. රූපයක් දකින්නත් හිත දෙපැත්තකින් උපකාරයි.චකඛුංකියන කොට ප්‍රතිසන්ධි විඤ්ඤාණය හිතේ තියෙන නාම ධර්ම වලට රූප හදලා, ආයතන ටික හදනවා. ඇහැ හදන්නත් හිත උපකාරයි. හිත යෙදිලා, හිත වැයවෙලා ඇහැ හැදුවේ. හිත යෙදිලා, හිත වැයවෙලා ඇහැ හදලා ඒ ඇහෙන් හදපු රූපය දැනගන්න ආපහු හිත යෙදෙනවා.
අතනින් වෙනසකට තියෙන්නේ කෙලින්ම හිතෙන් කෙලින්ම ධම්මාරම්මණයක් උපද්දලා ඒ ධම්මාරම්මණය දැනගත්තා. මේක පොඩ්ඩක් දිගයි, එච්චරයි. ක්‍රමය එකමයි. ඇහෙන් රූපයක් හදලා ඒ රූපෙන් රූපයක් හදලයි පෙන්නුවේ. එච්චරයි වෙනස. නමුත් දෙකම එකමයි. ඒ කියන්නේ හිත දෙපාරක් ක්‍රියාත්මකයි, හිතෙන් ම ලෝකය හදාගෙන ලෝකය විඳින්න පුළුවන්, හදන්නපුළුවන් මට්ටම හදාගෙන ඒකයි දැනගත්තේ කියන එක තියෙන්නේ. චකඛුං ච පටිචච රූපෙ ච උපපජජති චකඛු විඤඤාණං - කියන එකයි, මනඤ්ච පටිචච ධමෙම ච උපපජජති මනො විඤඤාණංකියනඑකයි, දෙකේම අර්ථය එකයි. දෙකෙන්ම කියන්නේ උපද්දවා ගෙන පරිහරණය කරනවා කියන කාරණාවයි කියන්නේ.
ඔන්න ඔය කාරණාව - මේ හේතු ටික නිසා ම හටගන්නවා, උපද්දවාගෙනයි පරිහරණය කරන්නේ කියන නුවණ තියෙන හින්දයි දකින්නට පෙර තිබ්බා නෙවෙයි, දැක්කයින් පස්සේ තියෙනවා නෙවෙයි කියන්නේ කියන කාරණාව තහවුරු වුණාම එහෙනම් ස්පර්ශය නිරුද්ධ වුණාට පස්සේ ඒක නැතිවෙනවා කියන නිරෝධෙ ප්‍රඥාව යෙදෙන දවසක් තියෙයි. එදාට හටගත්ත දේ නැතිවෙනවා කියන එක මේ පින්වතුනුයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ නෙවෙයි දේශනා කරන්නේ. මේ පින්වතුනුයි කියන්නේ. කවුරු හරි දැකපු දේ තියෙනවා කියන කොට, නැහැ හටගත්ත දේ නැතිවෙනවා කියලා කියනවා. මොකක් නිසා ද මේ පින්වතුන් එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්ව හින්දා නෙවෙයි. හේතුඵල දහම දන්න හින්දා. ඇහැට පෙනෙනවා කියන දෙයක තියෙන ඇත්ත මේකයි කියලා දකින හින්දා.
එදාට පරප්‍රත්‍යය රහිතයි කියලා කියනවා. අනුන්ගේ පිහිට රහිතයි. තමන්ට ජීවත් වෙන්න පුළුවන් පය ගහලා. ඒ මොහොත එන්නඑන්න මුහුකුරණවා කුමකටද? යං කිඤචි සමුදය ධමමං සබබන්තං නිරොධ ධමමං - හටගත්ත හැම දෙයක් ම ඉතුරු නැතුව නැතිවෙනවා කියන දර්ශනය එළඹ සිටින තුරුම. අන්න ඒ පෙනෙන දර්ශනය ඔය මට්ටමට එළඹ සිටියොත් තමයි මේ පින්වතුන්ට අවස්ථාවට හම්බවෙන රූප එක්ක නෑදෑකම් පවත්‍වනවා කියන ගතිය අතහැරෙන්නේ. දරු සෙනෙහස, මව් සෙනෙහස, පිය සෙනෙහස, තණ්හාව, ඇලීම, බැඳීම කියලා පුනර්භවය පිණිස පවතින ඒ ඒ තැන සතුටින් ඇලෙනවා කියන මේ ගතිය හේදිලාම යන්නේ ඒ දර්ශනයෙන්. ඒකයි මේ ගතිය නිසයි දුක එන්නේ, මේ ගතිය නැති වුනොත් දුක නැතිවෙනවා. මේ ගතිය නැතිකරලා දුක නැතිකරන්න තියෙන කම සම්මාදිට්ඨිය කියලා ඔතනින් පැනෙව්වේ එකයි. මේ ගතිය නවත්වන්න වෙන ක්‍රමයක් නැති නිසා. ඒ සම්මාදිට්ඨිය කියපු එක තමයි අර්ථ දැක්වුයේයං කිඤචි සමුදය ධමමං සබබන්තං නිරොධ ධමමංකියලා.
ඔන්නඔය විදියට, ඉස්සෙල්ලා රළු මට්ටමේ නාමරූප දෙක දැකලා, ආයතනයන්ගේ මෙන්න මේ විදියට පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවෙනවා කියන දර්ශනය හරහා මෙන්න මේ තණ්හාව කියන ඔය සසරේ ඒ ඒ තැන සතුටින් ඇලෙන ගතිය නැති කරපු දවසට කියනවා ‘කළ යුත්ත කළා, මත්තේ කළ යුත්තක් නැහැ’ කියලා කියනවා.
● අනුපාදා පරිනිර්වාණය - කිසිවක් උපාදාන වශයෙන් නො ගෙන මනස මිදුනා කියන තැනකියනවා.
● රහතන්වහන්සේ කියනවා.
● දිට්ඨධම්මව නිවන් දැක්කා කියලා කියනවා.
● සීතිභූතොසමි නිබබුතො කියලා කියනවා.
● නිවුනේ වෙමි, සිසිල් වූයේ වෙමි කියලා කියනවා.
● රහත් වුණා කියලා කියනවා.
ඊටපස්සේ ස්කන්‍ධ පරිහරණය කරන ටිකේදී තිබ්බ ඒ ස්කන්‍ධ ටික නිවුණු දවසට ඒ දුකත් නැතිවෙනවා, පහනක් නිවුණා වගේ නිවෙනවා.
ඉතින් යම්කිසි කෙනෙකුට ජීවිතයට දුක එන්න තියෙන ප්‍රධාන අවස්ථා තුනයි. (1) උපභෝග පරිභෝග සම්පත්ති නැතිකමින් දුක එන්න පුළුවන්, (2) නිරෝගී ආත්මභාවයක් නැතිකම නිසා දුක එන්න පුළුවන්, (3) කෙලෙස් නිසා දුක එන්න පුළුවන්.
කෙනෙකුට දන් දෙමින්, සිල් රකිමින්, භාවනා ප්‍රඥාවක් හුරු කරගනිමින් කටයුතු කරන්න පුළුවන් නම් මෙන්න මේ දුක කියන එක එයාගේ ජීවිතයට එන්නේ නැති එකයි කියන්නේ.
ඒ නිසා තමන්ගේ ජීවිතයට සියලු ආකාරයේ යහපතක්, රැකවරණයක් හදාගත්තා, කරගත්තා යන ගණයට යනවා මේ තුන් පොළෙන් කෙනෙකුට හික්මෙන්න පුළුවන් නම්. ඒ නිසා හැම දෙනාම තමන්ගේ ජීවිතය ලබපු මනුෂ්‍ය ජීවිතය හිස් වූවක් කරගන්නේ නැතුව, අපි ජීවත්වෙන්න ඕනේ කියන තැනකින් ජීවත්වෙනවා නම් දානාදී කුසල ධර්ම සිද්ධ කරමින්, සීලාදී ගුණ ධර්ම පුහුණු කරමින්, භාවනා ප්‍රඥාව හුරු කරන්න සාංසාරික දුක ගෙවෙන විදියට. එහෙම කළොත් ඔබේ නිවීම, ඔබේ මිදීම ඔබට මේ ජීවිතයේම හදාගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ්‍රය ම වේවා!!!
දේශණාව නිමි.
අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමිගේ වටිනා ෂර්ම දේශණයක් ඇසුරින් සම්පාධිත උතුම් දහම් ලිපි මාලාවකි.

0 Comments