විභජ්ජවාද
දෙවන දේශනාව:13
සක්කාය දිට්ඨිය කියලා කියන එක ටිකක් ලොකු මාතෘකාවක්. සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා කාරණා දෙකක් තියෙනවා, දස සංයෝජනයන්ගේ. සක්කාය වෙනයි, සක්කාය දිට්ඨිය වෙනයි.
සක්කාය ධර්‍මතාවය තමයි, පංච උපාදානස්කන්ධය කියන මට්ටම. සක්කාය දිට්ඨිය තමයි, පංච උපාදානස්කන්ධය කෙරෙහි ආත්ම පුද්ගලභාව වශයෙන් ඇති කරගත්ත, දිට්ඨි සහගත ක්ලේෂය.
එතකොට, මිච්ඡාදිට්ඨිය සම්පූර්‍ණවම පතිතවෙන්නේ, සක්කාය දිට්ඨිය මත. රූපයම ආත්මවත් ලෙස දකිනවා. නැත්නම් රූපය කෙරෙහි ආත්මය පිහිටා තිබෙනවා කියලා දකිනවා. එහෙමත් නැත්නම් ආත්මය රූපවත්කොට දකිනවා. ආත්මයෙහි රූපය පිහිටා ඇතියි කියලා දකිනවා.
මෙන්න මේ විදියට දකිනකොට, එයාට කියනවා සක්කාය දිට්ඨිය යෙදෙන මට්ටම කියලා. සක්කායයි, සක්කාය දිට්ඨියයි වෙන් කරගන්න අපි දක්‍ෂ වෙන්න ඕන. මොකද, ඔය අනුවත් නොයෙක් මති මතාන්තර, නොයෙක් දෘෂ්ටිවාද අද අපට සමහර වෙලාවට අහන්න ලැබෙනවා.
සෝවාන් ආර්‍ය්‍යයන් වහන්සේට සක්කාය දිට්ඨිය සම්පූර්‍ණයෙන්ම දුරුවෙලා. හැබැයි, සක්කාය දුරුවෙන්නේ නැහැ.
සක්කාය දිට්ඨිය සම්පූර්‍ණයෙන්ම දුරුවුනාට.
අද ඇතැමෙක් කියනවා, සෝවාන් ආර්‍ය්‍යයන්වහන්සේටත් සක්කාය දිට්ඨිය පොඩ්ඩක් තියෙනවා, ඒ නිසා තමයි මම, මගේ කියන දිට්ඨිය තියෙන්නේ කියලා.
නමුත්, සක්කාය දිට්ඨිය කියලා කියන්නේ, මම මගේ කියන දැක්ම නෙවෙයි. ඒක අස්මි මානය. ඒ මාන උද්දච්ච අවිජ්ජා ටික දුරුවෙන්නේ අර්හත් ඵලයෙන්. ඒක සෝවාන් ඵලයෙන් දුරුවෙන දෙයක් නෙවෙයි. එතකොට, සෝවාන් ඵලයෙන් දුරුවෙන්නේ, සක්කාය දිට්ඨි මට්ටම.
ඒක මේ විදියට දකින්න. සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්‍ණම රූපයම ආත්මයකොට තකනවා. ආත්මයම රූපයකොට සිතනවා.රෑපය කෙරෙහි ආත්මය තියෙනවා කියලා සිතනවා.ආත්මය කෙරෙහි රුපය තියෙනවා යැයි සිතනවා.
මේ විදියට රූපය කෙරෙහි 4 ආකාර සක්කාය දිට්ඨිය හට ගන්නවා!
මතු සම්බන්ධයි
0 Comments