නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
ගෞරවනීය අපේ ස්වාමීන්වහන්සේලාගෙන් අවසරයි, ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, කවුරුත් අද දවසේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සුදානම් වෙන්නේ. අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා නිවන් ප්‍රතිපදාව සම්බන්ධයෙන් වැදගත්වන කරුණු කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. පින්වතුනි, ලොව්තුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ සෑම අංශයකින්ම නිවන කෙරෙහි වැදගත්වන, නිවන කෙරෙහි අත්‍යවශ්‍යවන කරුණු කාරණා අපට දේශනා කරලා තියෙනවා. එහිදී ගැඹුරු, සියුම් නුවණින් විමසිය යුතු ධර්ම කාරණාවන් වගේම ඉතාමත් ප්‍රායෝගිකව අපේ ජීවිතය සකස් කරගත යුතු පැති පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරලා අපට දේශනා කරලා තියෙනවා.
ඒ නිසා අද දවසේදී ඒ පැතිකඩකවල් කිහිපයක් පිළිබඳව, කාටත් ප්‍රයෝජනවත්වන, ඉතාමත් සරල තැනක ඉඳලම මේ කරුණු ටික සාකච්ඡා කරන්නට කියලා අපි කල්පනා කළා. පින්වතුනි අඞ්ගුත්තර නිකායේ, නවක නිපාතයෙහි අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සම්බොධි වර්ගයේ - සම්බොධි පක්ඛිය සූත්‍රය. සම්බෝධි පක්ඛිය කියලා කියන්නේ සම්බෝධි පාක්ෂික ධර්ම, එහෙම නැත්තම් සම්බෝධිය පිණිස හේතුවන ධර්ම කාරණාවන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයක්. එතකොට 'සම්බෝධිය පිණිස' කියලා කියන්නේ සම්මා සම්බෝධිය නෙවෙයි. සම්බෝධිය කියලා කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණය කියන එක. නැත්තම්, උතුම් අවබෝධය කියන එක. ඒ උතුම් අවබෝධය පිණිස පවතින ධර්ම කාරණා කිහිපයක් තමයි මේ විදියට මේ සූත්‍ර දේශනාව තුළ අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ.
එක දවසක්, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේදි භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා, "මහණෙනි" කියලා. ආමන්ත්‍රණය කරලා භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා "මහණෙනි, ඔබලාගෙන් අන්‍ය තීර්ථකයෝ, අනිත් ආගම්වල ඇත්තෝ යම් විදියකින් ප්‍රශ්නයක් ඇහුවොත්, 'සම්බොධිපක්ඛියානං ආවුසො, ධම්මානං කා උපනිසා භාවනායා’ති' - 'සම්බෝධි පාක්ෂික ධර්මයන් වඩන්නට කවර වූ ධර්මයක්ද හේතු වෙන්නේ, කවර වූ ධර්මයක්ද උපනිශ්‍රය වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ. නිවන පිණිස කුමක්ද, කුමන භාවනාවක්ද, නැත්තම්, කුමන ක්‍රමවේදයක්ද උපනිශ්‍රය වෙන්නේ. කුමන හේතු ටිකක් තිබුනොත්ද ඒ නිවන අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ කියලා ඔබලාගෙන් ඇහුවොත් ඔබලා මොනවද කියන්නේ" කියලා අහනවා.
බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවහම භික්ෂූන් වහන්සේලා කියනවා, "ස්වාමීනි, අපේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේම අපට මේ කරුණ පැහැදිලි කරලා දේශනා කරන සේක්වා" කියලා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවෙදි, 'අහගන්නටයි' කියලා භික්ෂූන් වහන්සේලාට කරුණු කාරණා දේශනා කරනවා. යම්කිසි විදියකින් ඔබලාගෙන් අන්‍ය තීර්ථකයෝ අහනවා නම් 'මේ ශාසනයේ නිවන් දකින්න, සම්බෝධි පාක්ෂික ධර්මයන් වඩන්න කුමක්ද කළ යුත්තේ' කියලා, ඔවුන්ට කියන්න,
1. කල්‍යාණ මිත්‍රයන් ඇති බව, කල්‍යාණ මිත්‍රයන් සහය කොට ඇති බව, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බව
"ඉධාවුසො, භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. සම්බොධිපක්ඛියානං, ආවුසො, ධම්මානං අයං පඨමා උපනිසා භාවනාය" - මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව, නැත්තම් මේ ශාසනයේ හික්මෙන කෙනා කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන් සහයකොට ඇත්තෙක් වන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු කෙනෙක් බවට පත්වෙන්නට ඕනේ. මේක තමයි භාවනාව පිණිස පවතින පළවෙනිම උපනිශ්‍රය ධර්මය කියනවා. සම්බෝධි පාක්ෂිය ධර්මයන්, ඒ කියන්නේ නිවන් දකින්න අවශ්‍ය ධර්මයන් වඩන්නට නම්, අපි කිව්වොත් භාවනා කරන්නට නම් මේක තමයි පළවෙනිම දේ.
ඒ කියන්නේ, 'කල්යාණමිත්තො' - කල්‍යාණ මිත්‍රයන් ඇති බව. "කල්යාණසහායො" - කල්‍යාණ මිත්‍රයෙක් සහය කොට ඇති බව. "කල්යාණසම්පවඞ්කො" - කල්‍යාණ මිතුරා කෙරෙහි නැමුණු බව. කල්‍යාණ මිත්‍රයෙක් ඇති බව කියලා කියන්නේ ලෝකෝත්තර ආර්ය් මාර්ගය පැහැදිලි කරන්නට සමර්ථ, ඒ වගේම ත්‍රිපිටක ධර්මය තුළම ඒ කරුණු කාරණා පෙන්වන්නට පුළුවන් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. අද දවස අනුව අපි ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අපේ එකම ශාස්තෲන් වහන්සේ වෙන්නේ ධර්මය. ඒ ධර්මය, සංගායනාවන්ගෙන් සංගෘහිතව, සංගීතව ලැබෙන්නේ අපිට ත්‍රිපිටකය තුළින්. එහෙනම් අපේ ශාස්තෲන් වහන්සේ අද දවසේදී ඒ උතුම් ත්‍රිපිටක ධර්මය.
ඒ ත්‍රිපිටක ධර්මය අනුව, ඒ කියන්නේ, අද දවසේදී ශාස්තෲන් වහන්සේ අනුව පවත්නා කෙනෙක්, ත්‍රිපිටක ධර්මය අනුව පවත්නා කෙනෙක්ට, අපි කියනවා "කල්‍යාණ මිත්‍රයෙක්" කියලා. ත්‍රිපිටක ධර්මය අනුව අරුත් පැහැදිලි කර දෙන්නට සමර්ථ, අරුත් පැහැදිලි කර දෙන්නට දක්ෂයෙක්ට "කල්‍යාණ මිත්‍රයෙක්" කියලා කියනවා. ඒ කල්‍යාණ මිත්‍රයෙක් ලැබීමත්, ඒ වගේම 'කල්යාණසහායො' - කලණ මිතුරෙක් සහයකොට ඇති බව. ඒ කල්‍යාණ මිත්‍රයෙක් සහයකොට ඇති බව කියලා කියන්නේ, තමාගේ උපකාරයට, තමාට දහම් කරුණක් විමසා දැනගැනීමට කල්‍යාණ මිත්‍රයෙක් සහායකොට ඉන්නවා. තමන්ට අවශ්‍ය දැහැමි කාරණාවක් බෙදා ගන්නට, කතා කරන්නට ඒ කල්‍යාණ සහායතාවය අවශ්‍ය වෙනවා.
ඒ විතරක් නෙවෙයි, වැදගත්ම දේ තමයි "කල්යාණසම්පවඞ්කො" කියලා කියන්නේ. "කල්යාණසම්පවඞ්කතා" කියලා කියන්නේ කලණ මිතුරා කෙරෙහි නැමුණු බව. බලන්න, බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අර්ථ ගැන්වුවේ ඒ විදියට. ඒ කියන්නේ,
*කල්‍යාණමිත්‍රතා - කල්‍යාණ මිත්‍රයන් ඇති බව
*කල්‍යාණ මිත්‍ර සහායතා - කල්‍යාණ මිත්‍රයන් සහය කොට ඇති බව
*කල්‍යාණ මිත්‍ර සම්පවඞ්කතා - කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බව
කියන කාරණා තුනකින් තමයි කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක අර්ථ ගැන්වූවේ. 'කල්යාණසම්පවඞ්කතා' කියලා කියන්නේ කලණ මිතුරන් කෙරෙහි තමන් නැමුණු බව කියන එක. කලණ මිතුරෙක් හිටියත්, කලණ මිතුරන් ඇසුරු කරන්න ලැබුනත් වැඩක් නැහැ 'කල්‍යාණ මිත්‍ර සම්පවඞ්කතා' නැත්නම්. ඒ කියන්නේ, තමා කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමී පවතින්නේ නැත්තම්. තමාගේ අදහසට වඩා කලණ මිතුරාගේ අදහසට ප්‍රමුඛතාවය දෙන්නට තමන් දන්නේ නැත්නම් එයාට කියනවා 'කල්යාණසම්පවඞ්කතාවය' නැහැ කියලා. ඒ කියන්නේ, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පරිපූර්ණ නැහැ.
කල්‍යාණ මිත්‍රයෙක් හිටියත් වැඩක් නැහැ. කල්යාණසහායතාවය නැත්නම්. එයත් එක්ක අපිට සභාගව අපේ අදහස් හුවමාරු කරගන්න බැරි නම්, ධර්ම ගැටලු ආදිය සාකච්ඡා කරන්නට බැරි නම් ඒ කල්‍යාණ මිත්‍ර බවක් තිබුණත් ඒ කලණ මිතුරු බවෙහි තේරුමක් නැහැ. ඒ වගේම, ඒ කලණ මිතුරු බව තිබුණත්, කල්‍යාණ මිත්‍රයන් සහාය කොට හිටියත් කල්යාණසම්පවඞ්කතාවය නැත්නම් (තමා ඔවුන් කෙරෙහි නැමුණු බව නැත්නම්) කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණමිත්රතාවයත්, කල්‍යාණ මිත්‍ර සහායතාවයත්, කල්‍යාණ මිත්‍ර සම්පවඞ්කතාවය කියන ගති තුනම ඇතුලත් වුනොත් තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන දේ ධර්මාවබෝධය පිණිස හේතුවෙන දෙයක් බවට පත්වෙන්නේ. එතකොට කල්‍යාණ මිත්‍ර සම්පවඞ්කතාවයේ ලක්ෂණය තමයි,
"නිධීනං 'ව පවත්තාරං - යං පස්සෙ වජ්ජදස්සිනං;
නිග්ගය්හවාදිං මෙධාවිං, තාදිසං පණ්ඩිතං භජෙ;"
කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදියට ඔවුන් කෙරෙහි නැමුණු බව. ඒ කියන්නේ, 'නිධීනං 'ව පවත්තාරං - යං පස්සෙ වජ්ජදස්සිනං';- යම් කිසි කෙනෙක් වටිනා නිධානයක් ඔය තියෙන්නේ ගන්න' කියලා පෙන්නලා දුන්නොත් ඒ වටිනා නිධානය අපි ගන්නවා වගේ, යම් සත්පුරුෂයෙකු විසින් වරදක් පෙන්නලා දෙනවානම්, ඒ සත්පුරුෂයෙකු විසින් පෙන්වා දෙන වරද, නිධානයක් පෙන්වා දෙන්නක් වගේ දකින්න කියනවා. 'නිග්ගය්හවාදිං මෙධාවිං, තාදිසං පණ්ඩිතං භජෙ' - නිග්‍රහ කොට වුවත් ඒ වරද කියාදෙන එබඳු වූම නුවණැත්තන් තව තවත් ඇසුරු කරන්න කියනවා. ඒ නිසා සත්පුරුෂයෙකු යම්කිසි විදියකින් තමන්ට අවවාදයක් කළත්, දෝෂයක් කිව්වත්, අපි 'කල්‍යාණමිත්‍ර සම්පවඞ්කතාවය' තියෙන කෙනෙක් විදියට අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ දේ අපේ යහපත පිණිස යොදාගන්නේ කොහොමද කියන එක.
ඉතින් මේ කාරණා ටික අපි අපේ ජීවිතය පැත්තෙන් නැවත වතාවක් හිතලා, නැවත වතාවක් කල්පනා කරලා බලන්නට ඕන දෙයක්. සත්පුරුෂයන් ආශ්‍රය කොට ඇති බව කියන එකෙන් අදහස් කරන දේ අපි තුළ පරිපූර්ණද කියන එක. මේක පුංචි කාරණාවක්. නමුත් මේ ඉතාම සුළු කාරණාව තුළ වුනත් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා අපේ ජීවිතය පැත්තෙන්. 'කල්‍යාණමිත්‍ර සම්පවඞ්කතාවය' කියන දේ සමහර වෙලාවට අද අපේ ජීවිතයෙන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා 'කල්‍යාණමිත්‍ර සම්පවඞ්කතාවය' ඉතාම වැදගත් වෙනවා අපේ ජීවිතයට.
2. ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා ආචාරගොචර සම්පන්නව කුඩා වරදෙහිද බිය දැකීම
"පුනචපරං, ආවුසො, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සම්බොධිපක්ඛියානං, ආවුසො, ධම්මානං අයං දුතියා උපනිසා භාවනාය" - නිවන පිණිස භාවනාව පිණිස පවතින දෙවෙනි කාරණාව තමයි, ප්රාතිමෝක්ෂ සංවර ආදී සංවරයෙන් යුක්තව වාසය කිරීම. මෙතනදී කෙනෙක් හිතන්නට පුළුවන් 'භික්ඛු' කියලා තියෙන නිසා භික්ෂුවටද මේ ඔක්කොම කාරණා කියලා තියෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල බහුල ආමන්ත්‍රණය තමයි 'භික්ඛවෙ' කියන ආමන්ත්‍රණය. ඒ කියන්නේ 'මහණෙනි' කියන ආමන්ත්‍රණය.
ගිහි පිරිස් ඒ දේශනාව ශ්‍රවණය සඳහා පැමිණ සිටියත් 'භික්ඛවෙ' කියන ආමන්ත්‍රණයෙන් තමයි ආමන්ත්‍රණය කරන්නේ. මොකද, බුදුරජාණන් වහන්සේ ඉදිරිපසින් වැඩ ඉන්න ප්‍රධානම පිරිස භික්ෂු පිරිස නිසා 'භික්ඛවෙ' කියන ආමන්ත්‍රණයෙන් තමයි දකින්නේ. ඒක භික්ෂූණීන්ටත් අදාළයි, ඒ වගේම උපාසකයන්ටත් අදාළයි, උපාසිකාවන්ටත් අදාළයි. ඒ හැමදෙනාටම මේ කොටස අදාළයි. "භික්ෂු" කියන එක අර්ථ ගන්වනකොට 'උපසම්පදාලාභී භික්ෂුව' කියන එකෙන් වෙනමම අර්ථ ගන්වනවා, ඒක විනයට අදාළව.
ඒ වගේම තවදුරටත් චීවර ආදිය දරන නිසා "භික්ෂු" කියලා හඳුන්වනවා, ඒක භික්ෂුවගේ පැවැත්ම කියන තැනින්. ඒ වගේම, නිර්වාණය කෙරෙහි මෙහෙය වූ සිත් ඇතිව වාසය කරනවා කියන තැනින් හඳුන්වනවා, නිවන් දකින්නට අදාළ සියලුම අය පැත්තෙන් අරගෙන. ඒ නිසා "භික්ෂු" කියන තැනින් මේ කාටත් අදාළයි. එතකොට ගිහි ඇත්තන්ටත් පාතිමොක්ඛසංවර සීලයක් තියෙනවා. ඒ "පාතිමොක්ඛසංවරය" කියලා කියන්නේ පන්සිල් සමාදන් වෙනවා නම් පන්සිල් ටික, ආජීව අෂ්ඨමක සීල ආදිය සමාදන් වෙනවා නම් ආජීව අෂ්ඨමක සීලය ආදී සිල් ටික.
===මොකක්ද මේ ආචාරගොචර සම්පන්න බව යනු?
"ආචාරගොචරසම්පන්නො" - ආචාර ගෝචරයෙන් යුක්ත වෙන්නට ඕන. ආචාර ගෝචරය කියලා කියන්නේ, ගෝචර භූමිය (හැසිරිය යුතු තැන) සහ අගෝචර භූමිය (නොහැසිරිය යුතු තැන) පිළිබඳව තමන්ට අවබෝධයක් තියෙන්නට ඕනේ. යම් තැනකට යනකොට කෙලෙස් වැඩෙනවා නම්, හිත පාලනය කරගන්නට බැහැ නම්, හිත පාලනය කරගන්නට නොහැකි, කෙලෙස් වැඩෙන එබඳු තැන් 'අගෝචර භූමියක්' හැටියට දක්වනවා. තමන් ඉන්න මට්ටමෙන් පරිහානියට පත්වේ යැයි කියලා හෝ අදහසක් තියෙනවා නම්, මෙබඳු මිතුරන් ඇසුරු කිරීමෙන්, මෙබඳු තැන් ඇසුරු කිරීමෙන්, මෙබඳු පුද්ගලයින් ඇසුරු කිරීමෙන් පරිහානියක් වේ යැයි කියලා හිතෙනවා නම් ඒ හැම තැනක්ම 'අගෝචර ස්ථාන', ගෝචර ස්ථාන නෙවෙයි. ඒ නිසා ඒ අගෝචරය ඉවත් කරලා ගෝචර සම්පන්නව ගෝචර භූමියෙහි හැසිරෙන එකට කියනවා ආචාරගෝචර සම්පන්න භාවය කියලා.
ඒ වගේම 'අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු' - ස්වල්ප මාත්‍ර වරදෙහි බය දකිමින් ශික්ෂා පදයන් සමාදන්ව දැඩිවගෙන හැසිරෙනවා. මේ ශාසනයේ සීලය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ 'සීලය' කියන එක ඉතාම වැදගත් වෙන්නේ, ඒ සීලය යම් පමණකට තියෙනවා නම් එපමණකටම ඔහුට සමාධි ප්‍රතිලාභය කිරීමේ පහසුව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීලය ඉතාමත් ගැඹුරු තැනකින් තමයි ඒ සීලය පනවලා තියෙන්නේ. අපිට සමහර වෙලාවක පේනවා සීලය කියන එක සරල දෙයක් ලෙසත් අර්ථ ගන්වනවා ඇතැම් පාර්ශව විසින්.
නමුත් මේ ශාසනය තියෙන්නේ නිවන් දකින්න යන කෙනාටනේ. ඒ නිවන් දකින්න යන කෙනාට අවශ්‍ය විදියට තමයි ඒ සීල මාර්ගය, සීල ප්‍රතිපදාවත් වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ, ඉතාම සුළු වරදක වුනත් එයාට බිය දකින්නට කියලා කියනවා. මහා වරදක් ලෙස සුළු වරදත් දැකලා, ඒ සුළු වරදෙහිද බියට පත්වෙලා ඒ දේ කරන්නේ නැත්නම්, අන්න ඒක තමයි සම්බෝධි පක්ෂය පිණිස, නිවන් දැකීම පිණිස හේතු වෙන්නේ. ඒක භික්ෂුවක් විදියට භික්ෂුවගේ පැත්තෙන් ගත්තත්, ගිහියෙක් විදියට ගිහියාගේ පැත්තෙන් ගත්තත් මේ දෙපිරිසටම ඒ දේ අදාළයි. එතකොට, 'විහිලුවට හරි බොරුවක් කිව්වට කමක් නැහැ, අපි ගිහි අයනේ, ආපහු පන්සිල් ගන්නවනේ' කියලා හිතන එක, ඒක සීලය පැත්ත නෙවෙයි.
ඒ වගේම භික්ෂුවක් හිතනවා නම්, කල්පනා කරනවා නම් 'මම මේ වරද කළාට කමක් නැහැ, මම මේ වරද කළාට මට ආපහු නිවැරැදි වෙන්න පුළුවන් නේ, මම ආපහු නිවැරැදි වෙනවා' කියලා කල්පනා කරනවා නම් ඒක සිල්වත් භාවය නෙවෙයි. එතකොට ඒ කෙනාට ප්‍රතිපදාව ඇහිරෙනවා. ඒ තුළ ඔහුට වැඩීමක් වෙන්නේ නැහැ, සීලය තුළ ඔහු ජීවත් වෙනකන්. ඒ නිසා තමයි සීලය කියන එක භික්ෂු ජීවිතයටත්, ගෘහාශ්‍රිත ගිහි කෙනාගේ ජීවිතයටත් අදාළව පවතින්නේ. වරදෙහි පොඩි ලොකු කියලා භේදයක් නැතුව ඉතා කුඩා වරදෙහිත් බිය දකිනවා. සතෙක් කෙරෙහි අපි තරහා ඇතිකර ගන්නත් බයයි නම්, තරහා ඇතිකර ගන්නෙත් නැතුව හික්මෙන්න උත්සාහවත් වෙනවා නම්, එයා සතෙක් මරණවා කියන තැන කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් වෙනවා.
ඒ වගේ ස්වල්ප මාත්‍ර වරදෙහිත් බය දකිමින් හැසිරෙන්නෙක් බවට පත්වෙනවා. මේ තමයි දෙවෙනි කාරණාව, ඒ කියන්නේ සිල්වත් බව. පළවෙනි එක හැටියට අපි කතා කළා කල්‍යාණ මිත්රතාවය. ඊට පස්සෙ සීලය කියලා කතා කළා. සීලය අපි කීප ආකාරයකින් කතා කළා. ඒ තමයි, සිල් පද ටික රකිනවා (ඒකට කිව්වා ප්රාතිමෝක්ෂ සංවරය කියලා), සුදුසු සහ නුසුදුසු ස්ථාන තීරණය කරගන්නවා අපි (ඒකට කිව්වා ආචාරගෝචර සම්පන්න භාවය කියලා) , 'අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී' - ස්වල්ප මාත්‍ර වරදෙහි බය දකිමින් ශික්ෂා පදයන් සමාදන් වෙලා ඒවගේ හික්මෙනවා. එතකොට මේ ටික සම්පූර්ණ නම් එයාට සිල්වතෙක් කියලා කියනවා, සිල් රකින කෙනෙක් කියලා කියනවා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!
0 Comments