3. දස කතාවන්ගෙන් යුක්ත වීම
"පුනචපරං, ආවුසො, භික්ඛු යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්යථිදං - අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා වීරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. සම්බොධිපක්ඛියානං, ආවුසො, ධම්මානං අයං තතියා උපනිසා භාවනාය"
යම් විදිහකින් භික්ෂුවක් යම් කතාවක ඉන්නකොට කෙලෙස් ගෙවීමට යනවා නම් ඒ කෙලෙස් දුරු වීමට හිත වූ කතාවන්ගෙන් එයා යුක්ත වෙනවා. ඒ කියන්නේ, සමථ විපස්සනා කියන චිත්තයන්ගේ විවර වීමක් තියෙනවා නම් ඒ කතාවන්ගෙන් යුක්තව වාසය කරනවා. අල්පේච්ඡ කතා, සන්තුට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දස්සන කතා කියන මේ දස කතාවෙන් යුක්ත වෙනවා.
**අප්පිච්ඡකථා**
"අප්පිච්ඡකථා" කියලා කියන්නේ අල්පේච්ඡ බව පිළිබඳව කතාව. අපිට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රත්‍ය ධර්මයන් මහා පරිමාණයෙන් හොයමින් ඒ දේවල් පස්සේ යන්නේ නැතුව අපි දන්නවා කෙනෙකුට යැපෙන්න අවශ්‍ය ප්‍රමාණය. අපි ඒ ප්‍රමාණය දැනගෙන, පමණ දැනගෙන ඒ දේවල් පරිහරණය කරනවා. එකට අල්පේච්ඡ බව කියලා කියනවා.
**සන්තුට්ඨිකථා**
සතුට පිණිස පවතින කතා වලට කියනවා සන්තුට්ඨි කථා කියලා. 'සතුටු කතාව' කියලා කිව්වට ඒ සතුටු කතාව, අර කාමය පැත්තට බර සතුටු කතාව ගැන නෙවෙයි මේ කාතා කරන්නේ. ඒ කියන්නේ, අල්පේච්ඡ සන්තුට්ඨිබාවය අර 'ලද දෙයින් සතුටුවෙන බව' කියන තැනින් අදහස් කරන, යැපෙන්නන්ට ප්‍රමාණවත් කියලා දැනගැනීම නිසා ඇතිවෙන සන්තුෂ්ටි බව. ඒ වගේම තමාගේ සීලයෙහි පිරිසිදු බව ගැන හිතනකොට, ඒකටත් කියනවා "සන්තුට්ඨිකතා" කියලා.
**පවිවෙකකථා**
'පවිවේක කථා' කියලා කියනවා ප්‍රවිවේකය ගැන කතාවලට. (ප්‍රවිවේකය කියන්නේ 'උතුම් විවේකය' කියන එක). එතකොට උතුම් විවේකයට පත්වීම ගැන කතා කරනවා නම් ඒකට අපි කියනවා *පවිවෙකකථා කියලා. තමාගේ විවේකයට පත්වීමක් හෝ මහරහතන් වහන්සේලා විවේකය සපයා ගත් විදියක් ගැන හෝ කතා කරනවා නම්, ඒවා "ප්‍රවිවේක කතා".
**අසංසග්ගකථා**
'අසංසග්ගකථා' කියලා කියනවා කාමාදී සංසර්ගයන්ගෙන් තොරව වාසය කිරීම පිළිබඳව සිදු කරන කතාවලට.
**වීරියාරම්භකථා**
'වීරියාරම්භකථා' කියලා කියනවා වීර්යය පටන් ගැනීම සම්බන්ධ කතාවලට .
**සීලකථා**
'සීලකථා' කියලා කියනවා සීලය සම්බන්ධ කතාවලට.
**සමාධිකථා **
'සමාධිකථා' කියලා කියනවා සමාධිය පිලිබඳ කතාවලට.
"පඤ්ඤාකථා"
ප්‍රඥාව පිළිබඳව කතවලට
**විමුත්තිකථා**
විමුක්තිකතා" කියලා කියනවා නිවන පිළිබඳව කතා කරන එකට.
**විමුත්තිඤාණදස්සනකථා**
යම් විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා නම් ඒ ඥාන දර්ශනය පිළිබඳව කතාවලට.
මෙන්න මේ කතා "නිකාම ලාභීයි". ඒ වගේම මේ දස කතා බොහොම සුලභව අහන්න ලැබෙනකොට මෙන්න මේක උතුම් අවබෝධය පිණිස පවතින තුන්වෙනි කාරණාව කියලා කියනවා.පළවෙනි කාරණාව කල්‍යාණ මිත්රතාවය, ඊටපස්සේ දෙවෙනි කාරණාව සිල්වත් බව, තුන්වෙනි කාරණාව ලෙස අපිට හම්බවෙනවා කෙලෙස් ගෙවෙන කතාව නැවත නැවත අසන්නට ලැබීම කියන උතුම් අවබෝධය පිණිස පවතින මුල් කාරණා තුන විදිහට.
4. විර්යය ආරම්භ කිරීම
"පුනචපරං ආවුසො භික්ඛු, ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. සම්බොධිපක්ඛියානං, ආවුසො, ධම්මානං අයං චතුත්ථී උපනිසා භාවනාය"
එයා කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස, කුසල ධර්මයන් දියුණු කරගැනීම පිණිස වීර්යය කරනවා අකුසල ධර්මයන් දුරු කරලා. තව පැත්තකින් චතුරංග සමන්නාගත වීර්යය පිළිබඳව තමයි ආරද්ධ වීර්යය කියලා කියන්නේ. ඒ කියන්නේ, නූපන් අකුසල නූපදවන්නත්, උපන් අකුසල් දුරු කරන්නත්, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න කියන මේ හතර පැවැත්මට තමන්ගේ ජීවිතය කැප කරනවා.
"වීර්යය" අපේ ජීවිතයේ බොහොම අඩුයි. වීර්යය අඩුයි කියන එකෙන් අදහස් කරන්නේ ඔබ භාවනා කරන්නේ නැහැ කියලා නෙවෙයි. ඔබ ජීවිතයේ බොහොම කැපවීමෙන් භාවනා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ යුතුකම් වගකීම් ආදියත් දැඩිව දරාගෙන ඒ දේවලුත් ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ වෙහෙසෙනවා. නමුත් හිත රැකීම පැත්තෙන් කරන වීර්යය බොහොම අඩුයි. 'හිත රැකීම පැත්තෙන් කරන වීර්යය' කියලා කියන්නේ හැම වෙලේම ඉඳගෙන භාවනා කරන්නට ඕනේ කියන එක නෙවෙයි. තමන්ගේ හිතේ ඇතිවෙන විතර්කයන් පිළිබඳව හොඳට තේරුම් අරගෙන ජීවත් වීම. එතකොට අකුසලයක් උපදිනවා නම් ඒ අකුසලය දැනගෙනම ප්‍රහානය කරන්නට ඕනේ.
අකුසල ධර්මයක් උපදින්නට පෙරම, ඊට සුදුසු පරිසරය සැකසෙනවා කියලා තේරෙනවා නම් මේ හේතුවෙන් මට හිතේ අකුසලයක් වන්නට පුළුවන් කියලා ඒකට අපිට පුළුවන් පෙර සූදානමක් වන්නට, ඒ අවස්ථාවෙදි අපි කොහොමද ඉවසීම පුරුදු කරන්නේ, ඒ වෙලාවෙදි අපි කොහොමද ඒ අකුසලය නූපදින විදියට මනසිකාරය කරන්නේ කියලා අපිට කලින් අභ්‍යාස කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අභ්‍යාස කිරීමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි යනකොට, එනකොට, එදිනෙදා කටයුතු සිද්ධ කරගන්නකොට වීර්යය කිරීම අවශ්‍යයි. මේකට කියනවා ආරද්ධ වීර්යය කියලා. ඒ වීර්යය ඕනේ අපිට ඉඳගෙන භාවනා කරන්න විතරක් නෙවෙයි. ඒ වීර්යය අවශ්‍ය, ධර්ම ශ්‍රවනයෙන් උපදවා ගන්න දේ තමන්ගේ ජීවිතය පුරාවටම පතුරුවන්නට, ජීවිතය පුරාවටම අරගෙන යන්නට. එහෙම නැත්තම් ඒකට අපි කියනවා වීර්යය නැති ජීවිතයක් කියලා. එක මොහොතකට විතරක් වීර්යය කිරීම තමන්ගේ සමස්ථ දර්ශනයම වෙනස් කිරීමට තරම් ප්‍රාමාණික වෙන්නේ නැහැ. ඒ නිසයි මේ විදියට වීර්යය කියන දේ අවශ්‍ය වෙන්නේ.
5. පංච උපාදානස්කන්ධයේ උදය වැය දකින නුවණින් යුක්ත වීම
"පුනචපරං, ආවුසො භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා සම්බොධිපක්ඛියානං, ආවුසො, ධම්මානං අයං පඤ්චමී උපනිසා භාවනාය"
මැනවින් දුක් ගෙවීමට යන, ආර්ය් වූ, නිවන පිණිස පවතින, උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වන්නට ඕනේ. "උදයත්ථගාමිනී ප්‍රඥාව" කියලා කියන තැනදී "උදය" කියලා කියනවා "සමුදය" කියන එකට. "අත්ථ" කියලා කියනවා 'අස්ථංගමයට යෑම' කියන එකට. එතකොට මේ "උදය" සහ "අස්ථංගමය", නැත්තම් "සමුදය" සහ "වැය" පිණිස පවතින ප්‍රඥාව වැඩීම.
ඔන්න දැන් ඔබට පැහැදිලි ඇති කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු පැවැත්ම තුළ ඉඳලම අපි ක්‍රමානුකූලව ආවා දැන් 'උදයත්ථගාමිනි ප්‍රඥාව' දක්වාම. අපි විපස්සනාව, නුවණ, ප්‍රඥාව පිළිබඳව කතා කරනවා. අන්න ඒ ප්‍රඥාව වඩන්න ඕනේ, භාවනාව දියුණු කරන්න ඕනේ. සතිපට්ඨානය නම්, සතිපට්ඨාන භාවනාව අපි වඩන්නේ කොහොමද, කොයි තැන දක්වාද වඩන්නට ඕනේ කියලා අපි තීරණය කරන්නට ඕනේ. මුල් ධර්මතා හතර තිබුණොත් තමයි අපිට මේ පස්වෙනි ධර්මතාවය ප්‍රධාන ලෙසම වැදගත් වෙන්නේ. ඒ හින්දා ඒ කලින් සදහන් කළ ධර්මතා හතර සුළු කොට තකන්න එපා.
1) කලණ මිතුරන් පිළිබඳව,
2) සීලය පිළිබඳව,
3) දස කතාව - ඒ වගේම තමාට නිතර ඇහෙන කතාබහ පිළිබඳව (සත්පුරුෂ ආශ්‍රය තුළ අහන්න ලැබෙන දස කතා හරිම වැදගත් වෙනවා. ඒක නොතේරුනත්, අහගෙන ඉඳීමත් වැදගත් වෙනවා.)
4) ආරද්ධ වීර්යය ඇති බව - වීර්යය කරන බව
5). උදයත්ථගාමිනී ප්‍රඥාවත් එතන යුක්ත වෙනවා නම් එයා සම්බෝධිය පැත්තට යන කෙනෙක් බවට පත් වෙනවා.
උදයත්ථගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ, අපි කිව්වා උදය වැය දකින නුවණ කියලා. ඒ කියන්නේ, ස්කන්ධයන්ගේ සමපනස් ලක්ෂණය දකින කෙනෙක් ගැනයි මේ කතා කරන්නේ. මට මතක විදියට අපි මීට පෙරත් යම් මට්ටමකින්, ස්කන්ධයන්ගේ සමපනස් ලක්ෂණය පිළිබඳව කතා කළා, ස්කන්ධයන්ගේ සමපනස් ලක්ෂණය දැකීම කියන තැනදී අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර හා නිබ්බත්ති ලක්ඛණ කියන ටික අපි ඒ ඔස්සේ කතා කළා.
"අවිද්‍යාව" කියන දේ රූපය හටගැනීමට හේතුයි, "කර්මය" කියන එක රූපය හටගැනීමට හේතුයි, "තණ්හාව" කියන එක රූපය හටගැනීමට හේතුයි. "ආහාරය" කියන එක රූපය හටගැනීමට හේතුයි. ඒ වගේම, නිබ්බත්ති ලක්ඛණ දැකීම කියන එක රූපයේ සමුදය දැකීමට හේතුයි. මෙතන, අපි තේරුම් ගන්න අවශ්‍ය කාරණා කිහිපයක් පිළිබඳව ටිකක් කතා කරමු. 'අවිද්‍යාව' කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය ගැන නොදන්නාකම. 'කර්මය' කියලා කියන්නේ අපි ඒ චතුරාර්ය සත්‍යය ගැන නොදන්නාකම නිසා කුසල, අකුසල ආදී වශයෙන් රැස්කර ගැනීමට කියනවා කර්ම රැස්කර ගන්නවා කියලා.
'තණ්හාව' කියලා කියනවා නිකාන්ති තණ්හාවට. එහෙම නැත්තම් අපි නැවත නැවතත් ස්කන්ධයන් කෙරෙහි නැඹුරුව, ස්කන්ධයන් පිළිබඳව තණ්හාව පැවැත්වීමට කියනවා තණ්හාව කියලා. 'ආහාරය' කියලා කියනවා සතර ආහාරයක පැවැත්මක් පිළිබඳව. අවිද්‍යාව රූපය හටගැනීමට හේතුයි. කර්මය රූපය හටගැනීමට හේතුයි. තණ්හාව රූපය හටගැනීමට හේතුයි. ආහාරයන්ගෙන් කබලිංකාර ආහාරය රූපය හටගැනීමට, රූපය පවත්වන්නට හේතුයි. මේක දෙපැත්තකින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ, පරියායන් දෙකක් විදියට ප්‍රධාන ලෙස අපිට කතා කරන්න පුළුවන්.
**පළමුවන පරියාය **
'රූපය හැදෙන්නෙ හේතුව අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර' කියනකොට, රූපය සැකසෙන ආකාරය පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. මේ ජීවිතයේ විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා කියන මේ ධර්මතා ටික ගොඩනැගෙන්නට අවිද්‍යා, කර්ම, තණ්හා හේතු වුනා කියන එක. ඒ කියන්නේ, අතීතයෙදී අපි චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම නිසා (අවිද්‍යාව කියලා කියනවා) කුසල අකුසල වශයෙන් රැස්කර ගත්ත කර්ම නිමිත්තකට තණ්හා උපාදාන භව වශයෙන් කෙලෙස් ටිකක් රැස්කර ගැනීම නිසා වර්තමානයෙහි මේ විදියට ආහාර කයක් (ආහාරය නිසා හටගත්ත, කබලිංකාර ආහාර ප්‍රත්‍යයෙන් උපන් කයක්) උපාදාන වශයෙන් අල්ලා ගත්තා. එතකොට මේ රූපයක් හටගන්න පැත්ත කියනකොට පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ සන්තතිය තුළ 'මේ කය හටගත්ත ආකාරය' කියන තැනින් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා.
**දෙවන පරියාය**
ඒ වගේම, අපිට රූපය හමුවෙන තැන පිළිබඳව, එක් ක්ෂණිකව අපිට මේ ඔස්සේ කතා කරන්න පුළුවන් කමත් තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික ආහාරය මතට පතිත වෙනකොටයි මේ ටික ඇතිවුනේ කියලා. ඒ කියන්නේ, ඔබට පැහැදිලි ඇති කලින් පරියායේදී අපි කතා කළේ පෙර ජීවිතයේ අවිද්‍යාවෙන්, ඇත්ත නොදන්නාකම නිසා කුසල් වශයෙන්, අකුසල් වශයෙන් කර්ම රැස්කර ගෙන, ඒ රැස්කර ගත්ත කර්ම නිමිත්තකට, ගති නිමිත්තකට තණ්හා කරපු නිසා තමයි විඤ්ඤාණය රූපයකට බැසගත්තහම මේ කයක් උපාදාන වශයෙන් අල්ලගෙන මේ ජීවිතයේදී උප්පත්තිය ගත්තේ කියලා මේ විදියටත් 'රූපය හටගත්තා' කියලා අපිට කතා කරන්න පුළුවන්.
ඒ වගේම අනිත් කාරණාව තමයි, ඇහැට මේ මොහොතේ ඇහැට වර්ණ සටහනක් ගැටෙනකොට, ඒ වර්ණ සටහන දැනගැනීමට තමයි එතන සිත වැය වෙන්නේ. ඒ කියන්නේ, රූපය දැනගැනීමට එතන සිත වැය වෙනවා. ඇහැ පිළිබඳව තමයි තමයි ඒ සිත හටගන්නේ. එතකොට ඇහැ පිළිබඳව හටගන්න ඒ සිතෙන් දැනගන්නේ රූපයෙහි ගැටීම පිළිබඳව.(එහෙම නැතිනම්, වර්ණ සටහනෙහි ආපාතාගමය, වර්ණ සටහනේ ඇහැට පැමිණීම). ඒ හිතට පුළුවන්කම තියෙන්නේ වර්ණ සටහන ඇහැට ආපු බව දැනගන්නට විතරයි. ඊටපස්සේ ඒ ඇහැට ආපු අරමුණ පිළිබඳව නැවත හිතෙන් දැනගත්ත දේත් එක්ක එකතු කරලා අපි මනසට ඔසවා තබනවා. ඒකට අපි කියනවා "මනෝ ධාතු සිතක්" කියලා.
මං හිතනවා කවුරුත් අහන්නට ඇති කියලා අපි කතා කරපු මහානිධාන සූත්‍රය අපි පොහොය දවසේදී සාකච්ඡා කළ. ඒ සාකච්ඡාවේදී කතා කළා, 'අධිවචන සම්ඵස්සය' සහ 'පටිඝ සම්ඵස්සය' කියලා කාරණා දෙකක්. අපි කතා කළා, 'නාම කයේ පැනවීමක් නැත්නම් රූප කයෙහි අධිවචන සම්ඵස්සයත්, ඒ වගේම රූප කයේ පැනවීමක් නැත්නම් නාම කයෙහි පටිඝ සම්ඵස්සයත් පෙනේද කියලා මේ දෙපැත්තට මාරු කරලා අහන්නේ ඇයි කියන කතාව. එතකොට මේ කතා කරන්නේ, නාමය නිසා රූපය ඇති බවට යනවා, රූපය නිසා නාම ධර්මතා ටික ඇති බවට ප්‍රකට වෙනවා කියන එක පැහැදිලි කරගන්නට තමයි මේ දෙපැත්තට මේ කාරණා දෙක මාරු කරලා අහන්නේ.
රූප කයෙහි ගැටීමක් ඇති තැනක තමයි නාම ධර්මතා ටිකක පහළවීම වෙන්නේ. නාම ධර්මතා ටික ඇති තැනක තමයි රූප කයෙහි ප්‍රකට වීම වෙන්නේ. මොකද මහානිධාන සූත්‍රයේ මේ භූමියට, මේ ජීවිතයට සාපේක්ෂවනේ අපි කතා කරගෙන යන්නේ. ඔබට මතක ඇති, විඤ්ඤාණය මව් කුසකට බැස ගන්නවා, 'ළදරු කුමරෙකුගේ හෝ කුමරියකගේ ඒ විඤ්ඤාණය ක්ෂය වෙනවා නම්' අදී තැන්වලින් කතා කරන නිසා මේ භූමියට අදාළව, මේ මනුෂ්‍ය ජීවිතයට අදාළව අපිට කතා කරන පටිච්චසමුප්පාද න්‍යායක් තමයි එතන දකින්න පුළුවන්කම තියෙන්නේ.
එතකොට ඒ විදියට අපි පටිච්චසමුප්පාද න්‍යාය කතා කරනකොට එතනදී පටිඝ සම්ඵස්සය සහ අධිවචන සම්ඵස්සය කියලා කතා කරේ නාමරූප සම්මිශ්‍රණය. නාමරූප සම්මිශ්‍රණයක් කියලා කිව්වේ, නාමය නිසා තමයි රූපය පිළිබඳව ප්‍රකට වෙන්නේ. රූපය නිසා තමයි නාම ධර්මතා ටිකේ පැවැත්මක් සිද්ධ වෙන්නේ, නාම ධර්මතා ටික පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. මේ අන්‍යෝන්‍ය සම්මිශ්‍රණය මෙතන තියෙනවා. අන්න ඒ විදියටම ඇහැට ගැටුනු රූපය පිළිබඳව අපි හිතින් හිතලා, හිතින් තමයි දැනගන්නේ. හිතින් හිතලා හිතින් දැනගන්නකොට ඒකට කියනවා මනෝ විඤ්ඤාණ ධාතු සිත කියලා.
අර, ඇහැට ගැටුනු සිදුවීම පිළිබඳව දැනගත්තා චක්ඛු විඤ්ඤාණ සිතෙන්. ඒ චක්ඛු විඤ්ඤාණයේ කෘත්‍යය තමයි ඒ රූපය ගැන දැනගන්න එක. මනෝ ධාතු සිතයි ඊළගට පහළ වෙන්නේ. මනෝ ධාතු සිතේ ලක්ෂණය තමයි අර චක්ඛු විඤ්ඤාණයෙන් රූපය ගැන දැනගත්ත ධර්මතා ටිකම අරමුණු කරගෙන මනෝ විඤ්ඤාණයට දැනගන්න පුළුවන්වෙන විදියට අරමුණු ටික ඒකරාශී කරලා දෙනකම, එකතු කරලා දෙනකම, ඔසවා දෙනකම. ඊටපස්සේ මනෝ විඤ්ඤාණ ධාතු සිතේ ලක්ෂණය තමයි අර ඔසවා දීපු අරමුණ දැනගන්නවා කියන එක. ඒකත් විපාක ධර්මයක්.
එතකොට ඒ මනෝ විඤ්ඤාණ ධාතු සිත වැයවෙලා තියෙන්නේ අර මනෝ ධාතු සිතෙන් ගෙනත් දීපු ටික එකතු කරලා, ඒ තමන්ගේ ටිකත් එක්ක දැනගන්නවා කියන එකට. ඒකට කියනවා මනෝ විඤ්ඤාණ ධාතු සිත විපාකයි කියලා. මෙන්න මේ විපාක මනෝ විඤ්ඤාණ ධාතු සිත අරඹයා තමයි කර්ම සිතක් හටගන්නේ. විපාක සිත් ඔක්කොම සිද්ධ කළේ තම තමන්ගේ වැඩේ, දැන් කර්ම සිතේ ලක්ෂණය තමයි අනුන්ගේ දේ බලන එක. අනුන්ගේ දේ බලන එක කියලා කිව්වෙ ආපහු අර රූපය තියෙනවා කියලා තමයි එයා කල්පනා කරන්නේ. රූපය තියෙනවා කියන බාහිරට යොමුවෙන මානසික මට්ටම ඇති වෙන්නේ කර්ම සහගත මට්ටමකින්.
ඒ රූපය පිළිබඳව විපාක මනෝ විඤ්ඤාණ සිතෙන් දැනගත්තා. ඒ දැනගත්ත දේ අරඹයා බාහිර පවතින බවට මෙනෙහි කරනවා. ඒකට කියනවා කර්ම මනෝ විඤ්ඤාණයක් කියලා. ඒ කියන්නේ කර්ම රැස්කර ගැනීමක්. කුසල වශයෙන් අකුසල වශයෙන් අපිට කර්ම රැස්කර ගැනීමක් තියෙන්නේ අන්න එතන. අන්න එතනදී තමයි නැවත රූපය ඇති බවට අපි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ, අර දැනගත්ත 'අම්මා' බාහිර ඉන්නවා කියලා හිතෙන මට්ටම, 'දරුවා' බාහිර ඉන්නවා කියලා හිතෙන මට්ටම. දැනගත්ත රූප බාහිර තියෙනවා කියලා අපි කල්පනා කරනවා, එතකොට ඒ දැනගත්ත 'පුද්ගලයා' ඉන්නවා කියලා කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරන කෙනාට කියනවා - ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්ඛු විඤ්ඤාණය තියෙනවා කියලා අපි කතා කරනවා.
අනාථපිණ්ඩිකොවාද සූත්‍රය අපි නිතර මතක් කරනවා. ඔබට මතක ඇති එතනදී, අනේපිඬු සිටුතුමාට උපදෙස් දෙන්නේ "නුඹේ විඤ්ඤාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, විඤ්ඤාණයට රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, විඤ්ඤාණයට විඤ්ඤාණය ඇසුරු වෙන්න දෙන්න එපා" කියලා කියනවා. එතකොට විඤ්ඤාණයට ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි මේ ඔක්කොම ඇසුරු වෙන්න දෙන්න එපා කියනවා. ඒ කියන්නේ, මේ ඇති හැටියට ඇසුරුවෙන කෙලේසයට ඉඩ දෙන්න එපා කියන එක. කර්ම මනෝ විඤ්ඤාණයෙන් මේ ධර්මයෝ ඇති බවට ගන්නවා කියලා කිව්වනේ අපි. අන්න ඒකට ඉඩ දෙන්න එපා කිව්වා.
එතකොට යම් කෙනෙකුට "රූපය" තියෙනවා නම්, රූපය හටගැනීම ගැන පෙන්නන්න වෙන්නේ අර අපි මුලින් කතා කරගෙන ආවනේ, දැන් ඇහැට රූපය ගැටිලා තම තමන්ගේ වැඩේ කරගත්ත ටිකක් වූ විපාක ධර්ම ටිකකුත් තිබුණා, තම තමන්ගෙ වැඩේ කරගත්ත ටික නොදන්නා කෙනෙක් අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන තැනක් ගැන අපි ඊටපස්සේ කතා කළා. ඒ කියන්නේ, කර්මය තමයි අනිත් දේවල් "ඇති බවට" ගෙනැල්ලා දුන්නේ. අන්න ඒ කර්මය හැදුනේ නිකන් නෙවෙයිනේ. අර නිරුද්ධ වුන, අතීතයට ගියපු, නැතිවෙලා ගියපු ධර්මයෝ නැති වෙනවා කියලා නොදන්නාකම හා නොදකිනකම නිසා. ඒකට කියනවා අවිද්‍යාව කියලා. සංඛත ධර්මයන්ගේ සංඛත ලක්ෂණය දැක්කේ නැහැ. ඒ අවිද්‍යාව නිසා තමයි ඒ දේවල් 'ඇති බවට' කල්පනා කළේ.
එතකොට කෙනෙකුට 'රූපය එළියේ (බාහිර) තියෙනවා' කියලා රූපය ඇසුරු කරන්නට රූපය හමුවෙන තැනක එයාට තියෙනවා අවිද්‍යාවේ ලක්ෂණය. රූපය ඇති බවට හමුවෙන තැනක එයාට තියෙනවා කර්මයේ ලක්ෂණය. (කර්මය කියලා කිව්වෙ, ඇසුරු කරන දේ අරඹයා හොඳ නරක වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම. කර්ම ලක්ෂණය කියලා කියනවා ඒකට). තණ්හාව කියලා කියනවා අර කර්මය විදියට සකස් කරගත්ත ඒ නිමිත්තට අපි ආස කරනවා, තණ්හා කරනවා. ඒ ස්කන්ධ ටිකට ඇලෙන එකට කියනවා තණ්හාව කියලා.
එතකොට ඒ අවිද්‍යාව, තණ්හාව, සහ කර්මය කියන ටික සම්පූර්ණයෙන්ම රූපයේ පැනවීමට හේතුයි. තවද ආහාරය කියන එකද රූපයෙහි පැනවීමට හේතුයි එතනදී. ආහාරය කියන්නෙ, මේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ ඔක්කොම අපි පවත්වලා තියෙන්නේ කුමක් ඇති තැනකද? ඇහැ, රූප කියන කබළිංකාර ආහාර කෘත්‍යය ඇති තැනක. කබලිංකාර ආහාරය කියලා කියන්නේ, ඇසෙහි ප්‍රසාදය සකස් කරන, රූපය ප්‍රසාදය කෙරෙහි පතිත කරගන්න, ඒ කබලිංකාර ආහාර කෘත්‍යය ඇති තැනකදී තමයි අපි මේ කාරණාවේ ඇත්ත නොදැන කර්ම හා කෙලෙස් වලින් ඇසුරු කරනවා කියන දේ සිද්ධ කරන්නේ.
ඒ නිසා රූපයෙහි හටගන්න බවට, රූපය ඇති බවට ගන්න තැනක අවිද්‍යාව හේතුවක්, කර්මය හේතුවක්, තණ්හාව හේතුවක්, ආහාරය හේතුවක්. එතකොට අපිට දකින්නට වෙනවා රූපයේ ඇති බවට හමුවන තැනකදී කොටස් කිහිපයක්. අවිද්‍යාව, කර්මය, තණ්හාව ආහාරය නිසා හටගත්තා, ඊට අමතරව මේ හේතු ටිකේ එකතුවෙනුයි රූපය ඇති බවට හම්බ වුනේ කියලා දකින එකට කියනවා නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා, රූපයේ සමුදයට හේතු ටික දකිනවා කියලා. එයා රූප උපාදානස්කන්ධයේ හටගැනීම නැත්නම් ඉපදීම දකිනකොට මේ කාරණා පහක් පිළිබඳව දකිනවා. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයත් මේ ලක්ෂණ හතර නිසා රූපය හටගත්තා කියලා දකින එකට කියනවා නිබ්බත්ති ලක්ඛණ දැකීම කියලා, රූපයේ හටගැනීම දකිනවා කියන තැන ධර්මතා පහක දැකීමක් එයාට තියෙනවා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි
0 Comments