වේදනාව සැප දුක් වශයෙන්, නැවත වේදනාව පිළිබඳව නැඹුරු වී වේදනාව ඇසුරු කරන මට්ටමේදිත් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ඛණ දැකීම කියන ටික දකිනකොට වේදනාවේ හටගැනීම එයා දකිනවා. ඒ විදියටම සංඥාව, සංස්කාරය සහ විඤ්ඤාණය කියන මේ ස්කන්ධත් "අවිද්‍යාව නිසාත් හටගන්නවා, කර්මය නිසාත් හටගන්නවා, තණ්හාව නිසාත් හටගන්නවා, ආහාරය නිසාත් හටගන්නවා, නිබ්බත්ති ලක්ඛණ දැකීම" කියලා කියන මේ කාරණා ටික නිසා පංච උපාදානස්කන්ධයේ සංඥාව, සංස්කාරය සහ විඤ්ඤාණයේ හටගැනීම දකිනවා. (පංච උපාදානස්කන්ධය අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා හටගැනීම දකිනකොට නිබ්බත්ති ලක්ඛණ දැකීම කියලා කියනවා.) එතකොට ස්කන්ධ පහට, හේතු ප්‍රත්‍ය පහ බැගින් පංච උපාදානස්කන්ධයේ හටගැනීම ලක්ෂණ විසි පහකින් කතා කරනවා.
==පංච උපාදානස්කන්ධයේ නිරෝධය==
රූපයෙහි නිරෝධය දකින පැත්තට කතා කරනකොට, අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධයි, කර්මය නිරෝධයෙන් රූප නිරෝධයි, තණ්හා නිරෝධයෙන් රූප නිරෝධයි, ආහාර නිරෝධයෙන් රූප නිරෝධයි කියලා මේ විදියට ඒ හේතූන්ගේ නැතිවීම නිසා අපි රූපයේ නැතිවීම පිළිබඳව දකිනකොට, නිබ්බත්ති ලක්ඛණයන්ගේ නිරෝධය අපිට පේනකොට රූප නිරෝධය පේනවා. රූප නිරෝධය ඒ විදියට පේනවා කියලා කියන්නේ එයා රූපය අස්ථංගමයට යන ආකාරයනේ දකින්නේ. (අනෙක් ස්කන්ධ ටික පිළිබදවත් ඒ ආකාරයෙන් දතයුතුයි), ස්කන්ධයන්ගේ උදය (හටගන්නා ආකාරය) දැක්කා විසිපස් ආකාරයකින්. වැයවෙන ආකාරය දකිනවා විසිපස් ආකාරයකින්. එතකොට මේ ටිකට කියනවා 'ස්කන්ධ ධර්මයන්ගේ සමපනස් ලක්ෂණයකින් යුත් උදය වැය දකිනවා' කියලා.
ස්කන්ධ පහ අනුව මේ ධර්මතා පහේ හටගැනීමට සහ වැයවීමට බෙදුනහම 'ස්කන්ධයන්ගේ උදය වැය සමපනස් ලක්ෂණයකින් බලනවා' කියලා කතා කරනවා. සම පනස් ලක්ෂණයකින් ස්කන්ධයන්ගේ උදය වැය මෙනෙහි කරන එකට කියනවා 'උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් යුක්තයි' කියලා. ඒ උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් යුතු බවත් ධර්මාවබෝධයට අවශ්‍යවන දෙයක්, ධර්මාවබෝධයට වැදගත්වන දෙයක්. මේ කාරණා ටික කෙනෙකුට අත්‍යාවශ්‍යයි අවබෝධයට පත්වෙන්න. ඒ කියන්නේ, ධර්මය අවබෝධ කරගන්නට.
==පඤ්ඤා ඉන්ද්‍රියේ නානත්වය මත==
කෙනෙකුට හිතෙන්නට පුළුවන් සමහර වෙලාවට පුංචි ගාථාවක් අහලා නිවන් දැකපු අයත්, පුංචි බණ පදයක් අහලා නිවන් දැකපු අයත් ඔය ටික දැනගෙනමද නිවන් දැක්කේ කියලා. ඉන්ද්රිය නානත්වය තමයි එයට හේතුව. 'ඉන්ද්රිය වෙමත්තතාවය' කියලා කියනවා ඒකට. ඒ කියන්නේ, "තික්ඛපඤ්ඤ පුද්ගලයන්ට" බොහොම සුළු දේකිනුත් ඒ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම "නෙය්‍ය පුද්ගලයින්ට" ධර්මය ටිකක් අපහසුවෙන් නමුත් වඩලා අවබෝධ කරගන්නට තියෙනවා. ඉතින් 'නෙය්‍ය පුද්ගලයෙක්' හිතනවා නම් තමන් 'තික්ඛපඤ්ඤ පුද්ගලයෙක්ය' කියලා, ඒ තුළ දහම සරල කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
ඒ නිසා 'තික්ඛපඤ්ඤ පුද්ගලයින්' බොහෝ විට භාග්‍යවතුන් වහන්සේ සම්මුඛවම නිවන් දැකීම තමයි සාමාන්‍යයෙන් සිද්ධවෙන කාරණාව. ඒක තමයි 'තික්ඛපඤ්ඤ පුද්ගලයින්ගේ' ස්වභාවය, ඒ වගේ "විපංචිතඤ්ඤු පුද්ගලයාගේ" ස්වභාවයත් මීට සමානයි. මෙන්න මේ විදියට අපිට මාර්ගය පිළිබඳව විදර්ශනාව වඩන කෙනෙකු විසින් පැවතිය යුතු පැතිකඩ මේ ආකාරයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මෙහෙම මේ කාරණා පහක් සම්පූර්ණ කරගත්ත කෙනෙකු විසින් මත්තෙහි කළ යුතු දේවල් ටිකකුත් පෙන්නනවා.
==වැඩිය යුතු ධර්මතා හතර==
"තෙන ච පන, භික්ඛවෙ, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා" - මේ ධර්මතා පහේ පිහිටපු කෙනා,ධර්මතා හතරක් ඊට පස්සේ වඩන්න ඕනේ. මොනවද ධර්මතා හතර?
1. 'අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය' - රාගයාගේ ප්‍රහානය පිණිස අසුභය වැඩිය යුතුයි.
2. 'මෙත්තා භාවෙතබ්බා ව්යාපාදස්ස පහානාය' - මෛත්‍රිය වැඩිය යුතුයි ව්‍යාපාදය දුරුවීම පිණිස.
3. 'ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය' - ආනාපානසතිය වැඩිය යුතුයි විතර්ක උපච්ඡේදය (විතර්ක සිඳීම) පිණිස.
4. 'අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය' - අනිත්‍ය සංඥාව භාවිතා කළ යුතුයි අස්මි මානය දුරු කිරීම පිණිස.
'අනිච්චසඤ්ඤිනො භික්ඛවෙ භික්ඛුනො, අනත්තසඤ්ඤා සණ්ඨාති' - මහණෙනි, අනිත්‍ය සංඥාව වඩන භික්ෂුව විසින් අනාත්ම සංඥාව තුළ පිහිටා සිටිනවා. 'අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති' - අනාත්ම සංඥාව තියෙන කෙනා අස්මි මානය සමුග්ඝාතයට පැමිණෙනවා. 'දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති' - දිටු දැමියෙහිම එයා නිර්වාණයට පැමිණෙනවා. ඔන්න අපිට බුදුරජාණන් වහන්සේ මත්තෙහි කළ යුතු දේවල් ටිකත් පෙන්නුවා. මත්තේ කළ යුතු දේවල් ටික මොකක්ද?
==අසුභ භාවනාව කුමක් සදහාද? ==
'අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය' - අසුභය වඩන්න කිව්වා රාගය ප්‍රහානය කරන්නට. එතකොට රාගය ප්‍රහානය කරන්නට අසුභය පෙන්නුවේ. එහෙනම් අසුභ භාවනාව තියෙන්නේ 'මේක පිළිකුල් පිළිකුල් පිළිකුල්' කිය කියා හිත හිත ඉන්නට නෙවෙයි. රාගය දුරු කරගන්න පැවැත්මකට යන්නට. ඒ නිසා සතිපට්ඨානයේදී පවා අසුභය ගැන කතා කරන්නේ රාගයට ප්රතිවිරුද්ධව යන්නට අවශ්‍ය තැනකදදී අසුභ භාවනාව වඩන්න, භාවිතා කරන්න අවශ්‍යවන කාරණාවක් විදියට. එහෙම නැත්තම්, ඒ අසුභ නිශ්රිතව ගන්න කර්මස්ථානයම හේතු කරගෙන එයාට කසිනය පැත්තට නැඹුරුව වඩලා හිත එකඟ කරන්න පුළුවන්කම තියෙනවා, වර්ණ භාවනාවක් පැත්තට හිත එකඟ කරන්න පුළුවන්කම තියෙනවා.
එතකොට, භාවනා කරන කෙනෙකු විසින් තමන්ගේ හිත පිළිබඳව හොඳ කල්පනාවකින්, ඉතා හොඳ අවධානයකින් පසුවිය යුතුයි. තමාගේ හිතෙහි යම්කිසි දෙයක් පිළිබඳව ඇලීමට යනවා නම්, ඒ ඇලීමට යන දෙයෙහි නොඇලීම පිණිස, එහි කළකිරීම පිණිස බැලීම අනිවාර්යයෙන් සිද්ධ කළ යුතු දෙයක් වෙනවා. ඒ කියන්නේ, පංච කාම ගුණිකත්වය මත යම්කිසි දෙයක ඇලෙනවා නම්, අපිට කෙනෙක් පිළිබඳව රාගාදී චේතනාවක් පහළ වෙනවා නම් එතකොට ඒ කයෙහි අසුභ නිශ්රිත බාවය සහ ඒ කයෙහි ඇති අපිරිසිදු බාවය ආදිය වැඩීම ඉතාම ප්‍රායෝගිකව අපිට භාවිතා කරන්නට පුළුවන්.
සාමාන්‍යයෙන් පිටින් දැකලා කෙලෙස් සහිතව හැසිරෙන මනසක් ඇති කෙනෙකුට ඊට ඔබ්බෙන් හිත තියලා එයාට පුළුවන් පේන දේට එහා ගිය නුවණක්, නැත්නම් සංඥාවක් නිතර නිතර භාවිතයට ගන්න. එතකොට එයාට පුළුවන් නම් තමන්ට ඇහැට පේන රූපයේ හම කියන දේ විනිවිද ගිහිල්ලා හම ගහපු රූපයක් විදියට ඒක දකින්නට, එයාට අර අසාවට පෙනෙන සංඥාව ටිකක් විපරීත කරලා දකින්න පුළුවන්කම තියෙනවා. ඒකෙදී, රළු වශයෙන් තියෙන රාගය දුරු කරගන්නට තමයි දැන් මේ අසුභය කියන දේ පෙන්නන්නේ. එහෙම නැතිනම් අසුභය අනුවම නිතරම ඒ තුළ භාවිත කරන්නට නෙවෙයි ඒ කාරණාව පෙන්නන්නේ.
විතර්ක වශයෙන් නැගී සිටිනකොට, ඒ විතර්ක වශයෙන් නැගී සිටින කෙලේසය අපි දුරු කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ, දැන් 'රාගයක් ඇති වුනා කියලා දැනගෙන ඉන්න' කියලා නෙවෙයි මේ කියන්නේ. රාගය ඇතිවුනා නම් ඊට ප්රතිපක්ෂ දෙයක් අපි භාවිතයට ගන්න ඕන. ගින්දරක් ඇති වුනා නම් අපි ගින්දර නිවීම පිණිස වතුර හෝ ගිනි නිවන ද්‍රව්‍යයක් අපිට උපකාරය පිණිස ගන්න වෙනවා. ඒකට ප්රතිපක්ෂ දෙයක් තමයි අපි උපකාරය පිණිස ගන්නේ. එතකොට රාගය ගින්නක් නම් රාගයට ප්රතිපක්ෂව යන දෙයක් ගන්නට ඕන. ඒ වගේම, 'රාගය' කියනකොට අපිට පුද්ගලයන් අනුව යන රාගයම නොවෙන්නට පුළුවන්, අපිට වෙනත් ආකාරයකින් අනෙක් ද්‍රව්‍යයන්ට, වස්තූන්ට ඇලීම වෙන්නට පුළුවන්.
ඒ හැම තැනකදිම අසුභය වෙනුවට, අසුභය හා සමගාමී වන ආදීනවානුපස්සනාව අපිට තියෙන්නට ඕනේ. ඒ දේවල් වලින් අපේ ජීවිතයට එන්න පුළුවන් ආදීනව පැත්ත පිළිබඳව අපි කල්පනා කරන්නට ඕන. ඒ විදියට ආදීනව පැත්ත පිළිබඳව කල්පනා කරන කොටත් කෙනෙකුට නුවණක් ඇතිවෙනවා ආදීනවය නිසා ඒ දේවල් කෙරෙහි නැඹුරු නොවී සිටින්නට. ඒකත් කියන්නේ මේ දිගටම අපිට ඒ තුළම වාසය කරන්නට අවශ්‍ය නිසා ආදීනවය බලනවා කියන එක නෙවෙයි. ආදීනවානුපස්සනාවෙන් අපි අදහස් කරන්නේ ඒ කෙනාට ඒ තුළ තියෙන රළු සහගත කෙලේසය, රළු සහගත ඇලීම, රළු සහගත කැමැත්ත දුරු වෙන්නට ආදීනවය එයා මෙනෙහි කරනවා. එතකොට එයා අසුභය වඩනවා රාගය දුරු කරගන්න.
==මෛත්‍රිය වඩන්නේ කුමක් පිණිසද?==
"මෙත්තා භාවෙතබ්බා ව්යාපාදස්ස පහානාය". - ව්‍යාපාදය දුරු කරගන්නට අවශ්‍ය නම් එයා මෛත්‍රිය වඩනවා. හිතෙහි අමනාපය ඇතිවෙනවා නම්, පටිඝය, නිතර නිතර ගැටීම් සහගත ස්වභාවය ඇතිවෙනවා නම් ඒක නිවනට ප්රතිපක්ෂ ධර්මයක්, නිවනට ප්රතිවිරුද්ධව තියෙන ධර්මයක්. එහෙනම් නිවනට ප්‍රතිවිරුද්ධ ඒ දේ නසා දැමිය යුතුයි. ඒ නිවනට විරුද්ධවන ධර්මය ඉවත් කළ යුතුයි. ඒක ඉවත් කරන්නට නම් අපිට මෛත්‍රිය වඩන්නට වෙනවා. මෛත්‍රියෙන් හිත මොළොක් නැත්නම් වදින වදින තැන ටිකක් රිදෙනවා. ඒ හින්දා ඒ වදින වදින තැන රිදෙන්නේ නැති වෙන්න අපි ටිකක් හිත මොළොක් කරලා තියාගන්නට අවශ්‍යයි.
එහෙනම් අරමුණුවල රළු විදියට අපි ගැටි ගැටී ජීවත් වෙන්නේ නැති වෙන්නට නම් අන්න අපිට අවශ්‍ය වෙනවා ඒ අරමුණුවල නොගැටෙන භාවනාවක් අපිට දියුණු කරන්න. ඒකට තමයි 'මෛත්‍රිය' කියලා කියන්නේ. මෛත්‍රිය අපි විශේෂයෙන්ම අරමුණු කරන්නේ සත්ත්ව පුද්ගලයින් ඇසුරු කරගෙන. 'සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා...' ආදී වශයෙන් සත්ත්වයින් පුද්ගලයින් ඇසුරු කරගෙන තමයි අපි මෛත්‍රිය කියන දේ ප්‍රගුණ කරන්නේ. හැබැයි ඒ විදියට අපි සියලු සත්ත්වයින් ඇසුරු කරගෙන මෛත්‍රිය වැඩුවත් හිතට ඇතිවෙනවා මෙත්තා ගතිය. මෙත්තා ගතිය කියන එකෙන් අදහස් කරන්නේ ද්වේශයට ප්රතිපක්ෂව ගියපු මෛත්‍රී සහගත සංකල්පනාව.
ඒ මෛත්‍රී සහගත සංකල්පනාව තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. එතකොට අජීවී දෙයක් කෙරෙහි වුනත් එයා ගැටීමකට යන්නේ නැහැ, එයාගේ මෛත්‍රී සහගත සංකල්පනාව නිසා. ඒක ඇති කරගන්නේ අපි ජීවී සත්තවයන් කෙරෙහි. හැබැයි ජීවී සත්ත්වයන් කෙරෙහි වුවත් ඇති කරගත්ත මෛත්‍රී සංකල්පනාව එයාව මෘදු මොළොක් කරනවා අජීවී දෙයක වුනත් නොගැටී ඉන්නට තරම්. මේ පිළිබදව ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනෙක් දන්නවා. මෛත්‍රිය කියන දේ පවතින්නේ අන්තිමටම සත්ත්ව පුද්ගලභාවයෙන් අපි අනිත් අයව අරමුණු කළාට, මෛත්‍රිය කියන දේ ඇත්තටම පවතින්නේ තමාගේ සන්තානගතව. සියලු ආරම්මණයන් කෙරෙහි මෛත්‍රී සහගතව වාසය කරන්නට තමන්ට පුළුවන්කම ලැබෙනවා කියන එක.
== ආනාපානසතිය කුමක් පිණිසද? ==
"ආනාපානසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය"- ආනාපානසති භාවනාව වඩන්නට කියනවා විතර්කයන් සංසිඳුවන්න. එතකොට ආනාපානසතිය කියලා කියන්නේ විතර්ක සංසිඳවන කර්මස්ථානයක්. 'ආනාපානසතිය' කියන මෙතනදී, විතර්ක සංසිඳවීම පිණිස හේතුවෙන, විතර්ක සංසිඳවීමට හැකි සියලුම කර්මස්ථානයන් මෙතනදී සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ආනාපානසතියෙන් තමයි ප්‍රධාන ලෙසම විතර්ක සංසිඳවන්නේ, විතර්කයන් සිඳලා දාන්නේ. ඒ නිසා ආනාපානසතිය මෙතනදි කතා කරනවා. එහෙනම් අපිට අවශ්‍යයි සමාධි නිමිත්තක් ආසේවනය කරන්න. ඒ සමාධි නිමිත්තේ ආසේවනය තමයි 'ආනාපානසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය' කියන එකෙන් අදහස් කරන්නේ. විතර්ක උපච්ඡේදය තමයි ඊළගට අවශ්‍ය කාරණාව.
අපි ලෝභයෙන් හිත නිදහස් කළා, ඒකට කිව්වා 'රාගය දුරු කළා' කියලා. ද්වේශයෙන් හිත දුරු කළා, අපි කිව්වා ඒකට 'ව්‍යාපාදය දුරු කරනවා' කියලා. සතිපට්ඨානය ගැන කතා කරනකොට ඔබට මතක ඇති අපි කිව්වා " විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං" - පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ අභිජ්ඣා දෝමනස්සය තමයි එයා දුරු කරන්නේ. "අභිජ්ඣා " කියනකොට - විෂම ලෝභය. "දෝමනස්සය" කියනකොට - තරහව, පටිඝය කියන එක. සතිපට්ඨාන භාවනාව කියන තැනදීත් කතා කළේ ඒ දේම තමයි. 'අභිජ්ඣා දෝමනස්සය' දුරු කරන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි අපේ මූලිකම අදියර, භාවනාවක් පටන් ගන්නකොට ප්‍රධානම දේ තමයි අර රළු විදියට ඇලෙන සහ රළු විදියට ගැටෙන තැන් ටික අපි ඉවත් කරගන්න එක.
ඒ රළු විදියට ඇලෙන ගැටෙන ටික අපිට ඉවත් කරගන්නට වෙන්නේ අපිට විතරක් ආවේණික අපේ කර්මස්ථානය මගින් නෙවෙයි, පොදු ධර්මතා ටිකකින්, අංගෝපාංග ටිකකින්. ඒකට තමයි අපිට අසුභය අනුව බලන්න තියෙන්නේ, මෛත්‍රිය අනුව බලන්න තියෙන්නේ අන්න ඒ කාරණාව නිසා. ආනාපානසතිය අවශ්‍ය වෙනවා අපිට විතර්ක උපච්ඡේදනය (විතර්ක සංසිඳුවීම) සඳහා. මේ සම්පූර්ණම අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් සතිපට්ඨානයකින් සිද්ධවෙන කාරණා ටික පිළිබඳව. ඒ කියන්නේ, යම් අරමුණක සිහිය පිහිටුවා තැබීමෙන්, ඒ මනාව සිහිය පවත්වන ඒ ආරම්මණයේදී රාගය දුරු වෙනවා, ද්වේශය දුරු වෙනවා, විතර්ක උපච්ඡේදයට යනවා.
යම්කිසි කෙනෙකුට ආනාපානසතිය තුළ හිත තැබීමෙන්ම රාගය දුරු වෙනවා නම්, ව්‍යාපාදයට ඉඩ නැත්නම් ඒකත් ප්‍රමාණවත් ඒ කෙනාට විතර්ක උපච්ඡේදයත් එතනින්ම සිදුවෙන නිසා. ඒ වගේම ධාතු කර්මස්ථානය තුළ හිත තිබ්බහම එයාට රාගයට ඉඩ නැත්නම්, මෛත්‍රිය නැමති මුදු මොළොක් බව තුළ හිත පිහිටා සිටිනවා නම්, ආනාපානසතියෙන් ලැබෙන විතර්ක උපච්ඡේදයත් එතනදී සිද්ධ වෙනවා නම් ඒක එයාට ප්‍රමාණවත් ඒ කර්මස්ථානය වැඩීම පිණිස. එතකොට මේ ධර්මතා තුනෙනි මූලික ලෙසම භාවනාව ගැන කතා කළාට මේ කාරණා තුනෙන් කතා කරන්නේ ප්‍රධාන ලෙසම සමථය පැත්ත කොහොමද දියුණු කරන්නේ, සතිපට්ඨානයක අපි සිත පිහිටුවන්නේ කොහොමද කියන කාරණා ටික.
නමුත් අදියරවල් කීපයකට අපිට පෙන්නනවා රාගය දුරු කරගන්න, ද්වේශය දුරු කරගන්න, ඊට පස්සෙ විතර්ක සංසිඳව ගන්න, හිතට ඇතිවෙන නොයෙක් විතර්ක සංසිඳුවා ගන්න. ඒ කියන්නේ, සරල ලෙසම ඔබ ඔබේ ජීවිතයෙන් කතා කරනවා නම්, ඕනෑවට වැඩිය අපි ලෝකය කෙරෙහි තියෙන ඇලීම් සහ ගැටීම් කියන දෙක ඉස්සෙල්ලා සංසිඳුවා ගන්න, ඊට පස්සේ ඔබට පුළුවන් හිතේ ඇතිවෙන විතර්ක උපච්ඡේදය සිද්ධ කරගන්නට අවශ්‍ය කර්මස්ථානයක් වඩන්න. ඒකෙදී ආනාපානසතිය ප්‍රධානයි. ඒ නිසා, විතර්ක සංසිඳුවන්නට අවශ්‍ය නිසා ආනාපානසතිය වඩන්න.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි
0 Comments