කාරණා තුනයි මෙතැනදී කතා කරන්නේ.
1. මෙතෙර
2. එතෙර
3. පසුර
මේ ටික ඇතුලත තමයි අනික් සියලුම දේවල් සංග්‍රහ වෙන්නේ. 'මෙතෙර' කියලා කියන්නේ සක්කායට එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයට නමක් කියලා කිව්වා. පංච උපාදානස්කන්ධයට නමක් කිවුවට පස්සේ ඒක ඇහැ- රූප ආදී ස්පර්ශ ආයතන හය හම්බවෙන තැන කියන්නත් පුළුවන්, නන්දිරාගය හම්බවෙන තැන කියන්නත් පුළුවන්, විපාක ස්කන්ධ ධර්මතා ටික හමුවෙන තැන කියන්නත් පුළුවන්, සතර මහා ධාතු හම්බවෙන තැන කියලා කියන්නත් පුළුවන්. ඒ ඕනෑම තැනක පොදුවේ හඳුන්වනවා සක්කාය ධර්මයක් ලෙස පංච උපාදානස්කන්ධයට අයිති භූමියක් ලෙස. ඒ නිසයි මෙතෙර බය සහිතයි කියලා කිව්වේ.
මෙතෙර බය සහිත බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කරගන්න ආකාරයන් පිළිබඳව තමයි ඉස්සෙල්ලාම කෙනෙකු විෂඝෝර සර්පයෝ හතරදෙනාගේ කළකිරෙනවා කියලා සතර මහා ධාතුව ගැන කිව්වේත්, ඊටපස්සේ එයා ඒ සර්පයෝ හතර දෙනාගෙන් ඉවත් වෙන්නේ ප්‍රධාන වශයෙන් ලෝකේ දුක එන බව දකින නිසා. එයා ඉස්සෙල්ලාම සිද්ධ කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුකට ප්‍රතිකර්මයක් හොයාගන්නේ කොහොමද කියලා. එයා තමන්ගේ ජීවිතයට ඇතිවෙන දුක නැති කරගැනීමේ අදහසින් ක්‍රියාත්මක වෙනකොට, එයා ඒ විදිහට දුක ඉවත් කරගැනීම සදහා උත්සාහවත්වෙන මානසික මට්ටමක කටයුතු කරගෙන යනකොට නාමරූප ධර්මයක් නිසායි මේ දුක කියන දේ උපදින්නේ, එහෙම නැත්නම් රූපය පැත්තෙන් නෙමෙයි දුක එන්නේ, නාම ධර්මතා ටිකකුත් එකතු කරගෙන තමයි දුක කියන දේ උපදින්නේ කියලා දකිනවා.
එහෙම නැතිනම් එතන තියෙනවා කර්ම ධර්මයක්. එතකොට නන්දිරාගය කියන එකෙන් කෙලේස සංඛාත භුමිය ආවරණය කරනවා. කර්මය හා කෙලෙස් කෘත්‍ය කියන්නේ දෙකක්. ඒ කර්මය හා කෙලෙස් කියන මේ දෙකම යෙදුනට පස්සේ එතනට සසර ගමනක් තියෙනවා කියලා එයා දකිනවා. ඊටපස්සේ එයා මේ කර්ම හා කෙලෙස් කියන දෙකෙන්ම බේරෙන්න පැනලා යනවා. විෂඝෝර සර්පයෝ හතරදෙනා ගෙනුත් බේරිලා, වධකයෝ පස්දෙනා ගෙනුත් බේරිලා, ඇතුලත හැසිරෙන හයවෙනි වධකයා වූ නන්දිරාගයෙනුත් බේරිලා දුවගෙන යනකොට තමයි හොරු විසින් ගම් පහරන්ණ යන 'හිස් වූ ගම' හම්බවෙන්නේ. 'හිස් ගම' කියනකොට එයාට ආධ්‍යාත්මික ආයතන පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා.
ආයතන පිළිබඳව දකිනවා කියනකොට බොහොම සියුම් නුවණකින් අවබෝධ කරගත යුතු, සියුම් නුවණකින් දැක්ක යුතු මට්ටමක්. ආයතනයන්ගේ හිස් බව කියන එක අපිට නුවණින්ම අවබෝධ කරන්නට තියෙන දෙයක්. ඇහැට පුළුවන්කමක් නැහැ තමන්ට පෙනී ඉන්න, කනට පුළුවන්කමක් නැහැ තමන්ට පෙනී ඉන්න. නාසයට පුළුවන්කමක් නැහැ තමන්ට පෙනී ඉන්න. දිවට පුළුවන්කමක් නැහැ තමන්ට පෙනී ඉන්න, කයට පුළුවන්කමක් නැහැ තමන්ට පෙනී ඉන්න, මනසට පුළුවන්කමක් නැහැ තමන්ට පෙනී ඉන්න. මේ කාරණා ඇතුලේ මහා ලොකු විශාල අර්ථයක් තියෙනවා. මේ ආධ්‍යාත්මික ආයතන ටික හැම වෙලාවෙම් පෙනී ඉන්නේ ගම පහරණ හොරු නමැති බාහිර ආයතන ටික විසින් පහරණ කොට.
ඒකයි මේ ආධ්‍යාත්මික ආයතන ටික හිස් කියලා කියන්නේ, මොකුත් ප්‍රකට වෙන්නේ නැති නිසා. හැබැයි ගම් පහරණ හොරු විසින් පහරණු ලබන කල්හි තමයි ආධ්‍යාත්මික ආයතන ටික ප්‍රකට කරගන්න වෙන්නේ. ඒ කියන්නේ ඇහැ අපිට දැනෙන්නේ රූපය පතිත වෙනකොට. අපි උපාදනය කරන්නේ, අපි කැමති වෙන්නේ රූපෙට. හැබැයි අපි දන්නේ නැහැ මේ ගමේ හිස් වූ ගෙයක් වූ ඇහැ නැත්නම් රූපය කියන දේ පෙනීමක් කවදාවත් වෙන්නේ නැහැ කියලත් අපි දන්නේ නැහැ. ඒ නිසාම රූපේ වෙලාම තමයි අපිට පේන්නේ. එතන ඇහේ අත්දැකීම ඔබට වෙනම තේරුම් ගන්නට පුළුවන්කමක් නැහැ.
ඒ නිසා ඒක නුවණින් දකින්නට තියෙන දෙයක්. එසේ නුවණින් දකින්න යනකොට ඔබට ගම් පහරණ හොරුන්ගේ ඒ හිස් ගම පීඩාවට පත්වෙනවා කියන එකත් එක්කම තමයි ඒ පිළිබඳව දැනගන්න ලැබෙන්නේ. හිස් වූ ගමක් ඔබට දකින්න ලැබෙනවා. හිස් වූ ගමේ ඔබ මොකක් හෝ දෙයක් ඔබ අල්ලනවා නම් ඒක හිස් වුවක් කොටම ඔබට වැටහෙනවා. ඒ වගේ ඇහැ, කන ආදී ආධ්‍යාත්මික ආයතන පිලිබඳ කල්පනා කරලා බලනකොට ඔබට ඒ ආධ්‍යාත්මික හැම ආයතනයක හිස්, ශුන්‍යත ස්වභාවයක පැවත්මමයි තියෙන්නේ කියන එක තේරෙනවා. ඒ කියන්නේ ඇහැ විඳිනවා කියලා ඔබට අමුතු එකක් විඳින්න බැහැනේ. කන විඳිනවා කියලා අමුතු එකක් විඳින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
හැබැයි අපි රූපය දකිනවා, ශබ්දය අහනවා. එතකොට ඒ රූපය දකිනවා, ශබ්දය අහනවා කියන තැනදී අපි ඇත්තටම ඒ දැකීම හා ඇසීම සිද්ධ වෙන්නේ මේ ගම් පහරණ අත්දැකීම අනුව. ඒ කියන්නේ ඇහැ ප්‍රකට කරගන්න වෙන්නේ එතැනින් නේ. ඇහේ ස්වභාවය අනුව රූපය පෙන්නලා තියෙනවා. යම් මට්ටම්කින්ද ප්‍රසාදය තියෙන්නේ, ඒ ප්‍රසාද මට්ටමට රූපය පෙන්වනවා. ඒක රූපයේ ඇත්තවත්, ඇහේ ඇත්තවත් නෙමෙයි. ඒ පෙනෙන රූපය ගෝචර කරගන්න ඇහේ විදිහට අපිට රූපය ප්‍රකට වෙලා තියෙනවා. එතකොට ඒකේ ඇත්තම රූපය මොකක්ද කියන එක අපි කාටවත් කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඔබට ඇහැට පෙනෙන රූපය, ඒ ඔබට පෙනෙන දේමයි ඇත්ත කියලා කවමදාවත් ඔබට කියන්න පුළුවන්කමක් නැහැ.
මොකද, ඒක කෙනා කෙනාගේ ඇහැට පෙනෙන දේ කෙනා කෙනාට සාපේක්ෂව කෙනා කෙනාට සාධාරණව පෙනෙන දෙයක්. ඒක බාහිර රූපයට අයිතිත් නැහැ. ඒ වගේම ඒ රූපය නැතුව ඔබට ඇහෙන් විතරක් ඒ ගැන කතා කරන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් මේ හිස් වූ ගම ඔබට හම්බවෙනකොටම ඔබට දැනගන්න ලැබෙන ඊළඟ දේ තමයි හිස් වූ ගම මංපහරණ හොරුන්ගෙන් පැහැරීමට ලක්වෙන බව. ආධ්‍යාත්මික ආයතන ටික පිළිබඳව ඔබට නුවණක් ඇතිවෙන කොටම, ඒ ආයතනයන්ට විෂයවන බාහිර ආයතනයන්ගේ පැමිණීම තමයි ඔබට දැනගන්නට ලැබෙන්නේ.
==ඇසට මනාප අමානාප රූප ගැටෙනවද?==
" ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං චක්ඛු, භික්ඛවෙ, හඤ්ඤති මනාපාමනාපෙසු රූපෙසු;" - ඇස කියන දේට මනාප අමනාප වූ රූපයක් ගැටෙනවා කියලා මෙතන දක්වනවා. ඇස කියන දේ මනාප අමනාප රූපයන් හා ගැටෙනවා කියනකොට ඒක ඉතාමත් විශේෂ තැනක්. රූපය ඇතුලේ මනාප අමනාපකම තියෙන නිසා නෙමෙයි මෙතැනදී මේක කියන්නේ. 'මනාපාමනාපෙසු රූපෙසු' කියනකොට 'ඇස මනාප අමනාප රූපයන් කෙරෙහි ගැටේ' කියලා කිව්වට ඒ ටික විස්තර කරන්නේ සම්පුර්ණව උපාදාන වශයෙන් ග්‍රහණය කරගන්න තමන්ගේ මානසික පසුබිමත් එක්කමයි.
නැතිනම් ඒ රූපය පුද්ගල බවෙන් ඇසුරු කරන දේත් එක්ක තමයි මේ කතා කරන්නේ. හිස් ගමත්, මංපහරණ හොරු ටිකේ පැවැත්ම බයක් හැටියට එයාට පෙනෙන්නේ ඒ හේතුව නිසයි. ඒ කියන්නේ රූපය කියන එක නිකන්ම රූපයක් නෙමෙයි. එයාට මංපහරණ හොරුයි කියන මට්ටමෙන්ම, මනාප අමනාප රූප කියන තැනින්ම ඒක දක්වනවා. නැත්නම් මේ ගමට මනුස්සයෝ කණ්ඩායමක් එනවා හෝ ඒ වගේ වෙනත් දෙයක් කියන්න තිබුනානේ. නමුත් බාහිර ආයතන ටික ගම් පහරණ හොරු කියන චෝර අර්ථයෙන්ම භාවිතා කරනවා.
හොරාගේ ස්වභාවය තමයි, තමාගේ වේශයෙන් පෙනී නොසිටීම කියන එක. එතකොට රූපය කියන දේත් අපිට මනාප අමනාප කියන ස්වාභවයෙන් තමයි පෙනී සිටීම සිද්ධ කරන්නේ. ඒ මනාප අමනාප ස්වභාවයෙන් අපිට ප්‍රකට වෙනවා කියන තැනදී එයද අපේ දෘෂ්ඨි කෝණය, අපි පවත්තන දෘෂ්ඨිය ගැන තමයි අපිට දැනුමක් දෙන්නේ. ඒ කියන්නේ බාහිර ආයතනය පැත්තෙන් එයාට මනාප අමනාප බව හම්බවෙන එක ගැන එක්කමයි මේ ගම් පහරණ හොරුන්ගේ කතාව එක්ක කියන්නේ. ඒ නිසා තමයි එයාට බය කියන දේ උපදින්නේ. බය කියන දේ උපදිනකොට, එයා එතැන පැවත්ම කියන දේ සිද්ධ නොකර, නික්මිලා යනවා.
එතැන ඉන්න හොඳ තැනක් නෙමෙයි. මේකට අහුවුනොත් දුක එනවාමයි ජීවිතයට කියලා පෙනෙනවා එයාට. ඒ නිසා එයාට ඇහැ දුරු කරන්න වෙනවා, රූපය දුරු කරන්න වෙනවා. "නතුම්හාක සුත්‍රය" ආදී සුත්‍ර අරගෙන බලනකොට, "මහණෙනි ඇස නුඹලාගේ නෙමෙයි, රූපය නුඹලාගේ නෙමෙයි. නුඹලාගේ නොවන දේ දුරු කරන්න" කියලා දේශනා කරන්නේ. ඒ ඇහැ රූපයන් නුඹලාගේ නෙමෙයි කියලා දේශනා කරන්නේ දුරු කළ යුතු මට්ටමේ ඇහැක්, දුරු කළ යුතු මට්ටමේ රූපයක් තියෙන නිසා. ඒ ඇහැ රූප ධර්මයෝ දුරු කරනවා කියන එක තමයි මෙතැනදී මේ අර්ථ දක්වන්නේ හිස් ගම නැමති අධ්‍යාත්මික ආයතන හයත්, බාහිර ආයතන නැමති ගම්පහරණ හොරුන්ගෙනුත් මිදිලා යනවා කියන එකෙන්.
මේ ඔක්කොම ටිකෙන් පොදුවේ සක්කාය නැතිනම් 'මෙතෙර' කියන දේ තමයි අර්ථ ගැන්වෙන්නේ. 'මෙතෙර' පැවැත්ම වෙන් කරලා තියෙන්නේ මොකකින්ද? කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ කියන හතර ඕඝයෙන්. ඒ කියන්නේ 'මෙතෙර' හැම වෙලාවකම බය සහිතයි. 'මෙතෙර' පැවැත්ම තීරණය කරලා තියෙන්නේ, 'මෙතෙර' බය සහිත බව රඳවලා තියෙන්නේ මේ ඕඝ ධර්මයන් නිසා. මේ ඕඝය යම් විදිහකින් තරණය කළොත්, මේ ඕඝය ඉක්මවා ගියොත්, මේ ඕඝය අයින් කරගත්තොත් අන්න එතකොට අපිට මෙන්න මේ බය සහිත භූමියෙන් නික්මෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට ලැබෙනවා කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ ඉවත් කරන විදිහට ප්‍රතිපදාවක්. ඒ තමයි පහුරක් හදාගන්නවා කිව්වා ඕඝය තරණය කරන්නට.
ඒ ඕඝය තරණය කරන්නට පුළුවන් පහුරක් අපි හදාගන්නවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආපහු සම්මා දිට්ඨිය කියන තැන පංච උපාදානස්කන්ධය නුවණින් පිරිසිඳ දැකීම, ඒවගේම ආයතනයන් පිරිසිඳ දැකීම, ආදී දුක්ඛ සත්‍යය පිරිසිඳ දැකීමම තමයි මේ ඕඝයෙන් එතෙර වීම පිණිස පවතින සම්මා දිට්ඨියෙන් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට කතා කරන්නේ. ඒ සම්මා දිට්ඨියෙන් යුක්තව අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ ටික තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා අජීව ආදී අංග ටිකෙන් සීලයත්, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ලෙස සමාධියත්, සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප ලෙස ප්‍රඥාවත් කියන සීල සමාධි ප්‍රඥා ලෙස ප්‍රතිපදාව හැටියට ගොඩනැගෙන්නේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන ඊට පස්සේ එයා නැවත සීල, සමාධි ප්‍රඥා වලින් පටන්ගෙන එයා පහුර හදාගෙන මේ ඕඝය තරණය කරගෙන යනවා. එතකොට එයාට ඉස්සෙල්ලම හම්බවෙනවා කය වචන දෙක සංවර කරගන්නේ කොහොමද කියන සීලය ගැන. ඒ කය වචන දෙක සංවර කරගෙන එයා යනකොට ඊටපස්සේ තමයි එයාට මානසික සංවරය සිද්ධ කරගන්නට තියෙන්නේ. ඒ කය වචන දෙක සංවර කරගෙන යනකොට එයා මානසික සංවරය ඇතිකර ගැනීම පිණිස, තමන්ගේ හිතේ සංවර බව ඇතිකර ගැනීම පිණිස කටයුතු කරනවා. ඒ චිත්ත සංවරය ඇතිකර ගැනීම සමාධිය. ඊටපස්සේ එයාට සම්මා ඤාණ, සම්මා විමුක්තිය කියන මිදීම ඇතිකර ගන්නට පුළුවන්කම තියෙනවා.
ඒක අපිට එතෙර වූ තලයට නැතිනම් නිර්වාණ භූමියට පැමිණෙන්නට තොටුපොළක්, නිර්වාණයට බැසගන්නට තියෙන තැනක්. අන්න ඒ බැසගත්ත කෙනාට "තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණොති ඛො, භික්ඛවෙ, අරහතො එතං අධිවචනන්ති" - ඒ එතෙර වූ තලයේ සිටියා වූ බ්‍රහ්මණයා කියලා කියනවා 'රහතන් වහන්සේට'. ඒ කියන්නේ කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියන සියලු ඕඝයන් පරදවලා, සියලු ඕඝයන්ගෙන් එතෙර වෙලා ගියපු බිය රහිත තැනට ගියපු උත්තමයන් වහන්සේට 'රහතන් වහන්සේ' කියලා දක්වනවා.
එතකොට මේ කාරණාව ඔස්සේ සමස්ථ ප්රතිපදාවම අපි විසින් කළ යුතු දේ කියන එක තමයි විස්තර වෙන්නේ. ඉස්සෙල්ලාම මේ කාරණා ටික පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. ඒකට තමයි අපි 'සුතමය ඤාණය' කියලා කතා කරන්නේ. සත්‍ය ඤාණය කියලා අපි තව පැත්තකින් කතා කරනවා. ඒක අපි දැනගෙන තියෙන්නට ඕනේ දෙයක්. ඒ නිසා එතෙරවීම පිණිස, දැනගැනීම පිණිස ලෝකයේ බය ඇතිවෙන්නේ මෙහෙමයි, ලෝකයේ දුක ඇති වුනේ මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නිසයි කියලා අපිට අර සක්කාය ධර්මයන් ගැන දැනගන්නට ලැබෙනවා. එතකොට අපිට සක්කාය නිරෝධය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ප්‍රතිපදාව හැටියට ලැබෙන්නේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට ප්‍රතිපදාව හැටියට දැනෙනකොට මේ දුකෙන් ඈත්වෙලා යන්න සීල, සමාධි, ප්‍රඥා කියන ටිකම තමයි නැවත ප්‍රතිපදාව හැටියට අපිට භාවිත කරන්නට තියෙන්නේ. ඒ විදිහට භාවිත කරන ඒ කෙනාට මෙතෙර හිටපු සතුරු වධාකයෝ පස්දෙනා නම් පංච උපාදානස්කන්ධය නැවත ඇතිවෙන්නේ නැහැ. මෙතෙර තිබුණ විෂඝෝර සර්පයෝ හතරදෙනා බඳු සතර මහා ධාතුව ආයේ හම්බ වෙන්නේ නැහැ, ඒ කියන්නේ යම් තැනක පඨවි, අපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව පවතිනවා නම් එතැනින් එයාගේ හිත මිදිලා. ඒ කියන්නේ සර්පයෝ හතරදෙනාව හසුවෙන්නේ නැහැ
ඒ කියන්නේ සර්පයෝ හතරදෙනාව හසුවෙන්නේ නැහැ කියලා කියන්නේ සර්පයෝ හතරදෙනෙක් තියෙන තැනක ඒවා පෝෂණය කරන්න එයාට 'මම', 'මගේ' විදිහට 'පුද්ගලයෙක්' විදිහට, 'අම්මා', 'තාත්තා' විදිහට හෝ 'ගෙවල් දොරවල්' විදිහට හම්බවෙලා නැහැ. බය වෙන්න එපා මේ කියන්නේ කෑම කන්නත් බැරි වෙනවා, අම්මා තාත්තාත් අඳුනගන්න බැරි වෙනවා කියලා එහෙම නෙමෙයි. දුක හදාගන්න මානසික මට්ටමක පුද්ගල බව වශයෙන් තණ්හා උපාදාන පවත්වන්න පුළුවන් විදිහට ඔබ හැසිරෙන්නේ නැහැ. සංකිලේසිකව ඔබ ඇතිකර ගන්න දේ බාහිර රූපයට පතිත කරන මෝඩකම නැති කරලා නිසා.
එතකොට ඒ විදිහට අපිට රූපය ගැන ඇත්ත දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිපදාවක් විදිහට අපිට පූරණය කරගෙන යන්නට පුළුවන් සීලයේ ඉඳලා මේ දර්ශනය දකින්න. ඒ කියන්නේ මුලින් අහගෙන දැනගත්ත දේ ප්රත්යක්ෂ කරගැනීම පිණිස සීල, සමාධි, ප්‍රඥා ඔස්සේ විමුක්තිය දක්වාම ඔබට යන්න පුළුවන්. හැබැයි මුලික වශයෙන්ම ඔබ දැනගෙන ඉන්නට ඕනේ මේ ස්කන්ධ, ආයතන ධර්මයන් පිළිබඳව. ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඔබට අවබෝධයක් නැති වුනොත්, ස්කන්ධ නිරෝධය ගැන අවබෝධයක් ඇතිකර ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ආයතනයන්ගේ නිරෝධයක් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ ආයතන ගැන දැන නොගත්තොත්. ඒ හින්දා ස්කන්ධයන්, ආයතනයන් පිළිබඳව ඔබට දැනගැනීමක් දැක්මක් තියෙන්නට අත්‍යවශ්‍යයි. ඒක තිබුනොත් තමයි ඒ ස්කන්ධ ධාතු පිළිබඳව ඇත්ත ඇතිහැටිය දකින්න පුළුවන්කම තියෙන්නේ.
ඒ හින්දා ඒ අවබෝධය ඇතිව තමයි සීල, සමාධි ප්‍රඥා කියන ටික අපි වඩන්න ඕනේ. එතකොට තමයි "දස්සනෙන සම්පන්නො" - දර්ශනයකින් යුක්තව එයා සිල්වතෙක් බවට පත්වෙන්නේ. ඒ හින්දා ප්‍රතිපදාව තුල මුලික වශයෙන්ම අපි දර්ශනය කතා කරනවා. හැබැයි දර්ශනය කතා කළා කියන එකෙන් අදහස් කරන්නේ 'දර්ශනය ප්රත්යක්ෂ කළා' කියන එක නෙමෙයි. ආපහු එයාට සීලයෙන් පටන් අරන් ප්‍රතිපදාව තුල හැසිරෙන්න තියෙනවා. දැන් එයා මුල ඉඳන් තමන්ගේ ප්‍රතිපදාව තුල හැසිරෙමින් යන්නට ඕනේ. අන්න ඒ හැසිරෙමින් යනකොට තමයි එයාට පරතෙරකට යන්නට පුළුවන්කම තියෙන්නේ. "තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණොති" - එතෙරෙව සිටි බ්‍රහ්මණයෙක් බවට පත්වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා ඔබත් ඒ සදහා අප්‍රමාදීව උත්සාහවත් වන්නට කියලා කාටත් මතක් කරනවා.
දේශනාව නිමි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 26/05/2020 දින ආසිවිසොපම සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments