ඒ විදිහට සතුරු වධකයෝ පස්දෙනාගෙන් අයින්වෙලා දුවනකොට එයාට හම්බවෙනවා ඇතුලත හැසිරෙන හයවෙනි වධකයාව. ඇතුලත හැසිරෙන ඔසවාගත් කඩුවක් ඇතුව, ඒ කඩුව පල්ලෙහාට දාන්නේ බෙල්ල කපන්නම කියලා බලාගෙන ඉන්න හයවෙනි වධකයා ගැන දැනගන්නට ලැබෙනවා. හයවෙනි වධකයා කියලා කියන්නේ "ඡට්ඨො අන්තරචරො වධකො උක්ඛිත්තාසිකොති ඛො, භික්ඛවෙ, නන්දීරාගස්සෙතං අධිවචනං". නන්දිරාගය තමයි ඇතුලත හැසිරෙන හයවෙනි වධකයා කියලා කියන්නේ. 'නන්දිය' කියලා කියන්නේ කැමැත්තට කියන නමක්, 'රාගය' කියලා කියන්නේ ඇලීමට, රංජනයට නමක්. ඒ නන්දිය හා රාගයට නන්දිරාගය කියලා කියනවා.
නන්දිරාගයේ ස්වභාවය තමයි සතුටුවෙනකම හා ඇලෙනකම නැතිනම් බැඳෙනකම. සතර මහා ධාතු හෝ උපාදානස්කන්ධ ධර්මයන්ගේ හෝ පැනවීමක් නොකොට ඒ සියල්ලම පුද්ගලභාවයෙන් වසා දැමීම කියන දේ තමයි නන්දිරාගයෙන් සිද්ධ කරන දේ. නන්දිරාගය තනියම තියෙන දෙයක් නෙමෙයි. නන්දිරාගය තියෙන්නේ උපාදානස්කන්ධයක් පිළිබඳව. අපි පංච උපාදානස්කන්ධය වධකයෝ පස්දෙනා බව කතා කළා. ඒ වධකයෝ පස්දෙනාගේ පැවැත්ම ගැන කතා කරනකොට හයවෙනි වධකයා හැටියට තමයි නන්දිරාගය හම්බ වුනේ. ඒ කියන්නේ වධකයෝ පස්දෙනා සහ හයවෙනි වධකයා කියන ඔක්කොම වධකයෝ, වධක අර්ථයෙන් සමානයි. ඔසවාගත් කඩු ඇති මේ ඇතුලත හැසිරෙන හයවෙනි වධකයා තමයි කැමැත්තෙන් ඇලීම හා බැඳීම කියන නන්දිරාගය.
ඇලීම හා බැඳීම කියන මේ ධර්මය එයාට හම්බවෙන්නේ අර උපාදානස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධයක් ලබනකොට, උපාදානස්කන්ධ පංචකයේ නාමරූප ධර්මය පිළිබඳව තේරුම් ගන්නකොට තමයි එයාට පේන්නේ නන්දිරාගයේ පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ නන්දිය හා රාගය කොහොමද මේ නාමරූප පිරිසිඳ නොදන්නාකම මත ඇතිවෙන්නේ කියන එක ගැන එයාට නුවණක් ඇතිවෙනවා. පංච උපාදානස්කන්ධය පිරිසිඳ නොදන්නාකම නිසා නන්දිරාගයේ ඇතිවීම හා පැවත්ම සිද්ධ වෙන්නේ කොහොමද කියලා එයාට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි හයවෙනි වධකයාව එයාට දකින්නට ලැබෙනවා කියන්නේ. ඔසවාගත් කඩු ඇති හයවෙනි වධකයා ඔබව ඝාතනය කරන්නට බලාගෙන ඉන්නවා කියන පණිවිඩය එයාට ලැබෙන්නේ.
==නන්දිරාගය නිසා සියලු දුක ඇතිවේ ==
පංච උපාදානස්කන්ධ ධර්මයට මේ නන්දිරාගය යෙදුනොත් (නනදිරාගය සමුදය පාර්ශික ධර්මයක් නේ), තණ්හා උපාදනය යෙදුනොත් එයාට මේ ජීවිතේදිම මරණ හෝ මරණ මාත්‍ර දුක උරුම වෙනවා. ඔය අපි කතා කරපු සියලුම දුක්ඛයන් එයාට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා. සියලුම දුක්ඛයන් කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ සොක පරිදෙව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී ඔබ මේ ජීවිතයේ යම්ම දෙයක් දුකක් කියලා පිළිකුල් කරනවා නම් ඒ හැම දේම මේකට අයත්. යම් ආත්මභාවයක් ඔබ පිළිකුල් කරනවා නම්, ඒ ආත්මභාවයත් මේකට අයත්. නන්දිරාගයේ ස්වභාවය තමයි ඔබව හැම තැනකටම අරගෙන යන්නට පුළුවන්කම. ඔබ අද යම් තැනක් දුක්ඛිත තැනක් ලෙස දකිනවා නම්, යම් තැනක් ඔබ ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ ප්‍රතික්ෂේප කරන, දුක්ඛිතයි කියලා ඔබ දන්නා ඒ හැම තැනකටම ඔබව අරගෙන යන්නට පුළුවන්කම තමයි නන්දිරාගයෙහි තියෙන්නේ.
ඒ නන්දිරාගය විසින් ඒ නිසා මරණ හෝ මරණ මාත්‍ර දුකකට පත්කරනවා කියලා කියනවා. ඒ නන්දිරාගය පංච උපාදානස්කන්ධය හා එක්ව යෙදෙන දෙයක්. වෙනමම, තනිවම කතා කරන දේකුත් නෙමයි නන්දිරාගය කියන දේ. ඒ හින්දා තමයි ඒකත් වධකයෙක් කියලා කියන්නේ. වධකයෝ පස්දෙනෙක් කියලා එක පැත්තකින් පංච උපාදානස්කන්ධය පෙන්වලා, ඇතුලත හැසිරෙන තවත් ලොකු වධකයෙක් හැටියට තමයි නන්දිරාගය පෙන්වන්නේ. ඒ පංච උපාදානස්කන්ධය කියන වධකයෝ පස්දෙනා හා නන්දිරාගය කියන ඇතුලත හැසිරෙන වධකයා අතර සමානතාවයක් තියෙනවා වධකභාවයෙන්. පංච උපාදානස්කන්ධය පිළිබඳවමයි හයවෙනි වධකයාගේ පැවැත්මත් තියෙන්නේ. හැබැයි ඒ හයවෙනි වධකයා ඇතුලත හැසිරෙන ධර්මයක්.
ඇතුලත හැසිරෙන ධර්මයක් හැටියට කිවුවේ ඒක මනෝ විඤ්ඤාණ මට්ටමේම හැසිරෙන දෙයක්. ඒක මහභුත රූපයකට හෝ විපාක වශයෙන් හෝ ඒ ධර්මයන්ගේ පවතින දෙයක් නෙමෙයි. ඒක අන්තොචර ධර්මයක් - ඇතුලත හැසිරෙන ධර්මයක්. ඒ නන්දිරාගය සංකල්පමය වශයෙන් ඇතිකර ගන්න දෙයක් පිළිබඳවයි ඒ කතා කරන්නේ. හයවෙනි වධකයා තමයි වඩාත්ම ළංවෙන්නට පුළුවන් කෙනා කියලා දකිනකොට අපිට හයවෙනි වධකයා පිළිබඳවත් බයක් ඇතිවෙනවා. අපි ආවේ සර්පයෝ හතර දෙනෙක්ට බයේ, දැන් සර්පයෝ හතරදෙනාගෙන් පැනලා යනකොට අපිට හම්බ වෙනවා සතුරු වධකයෝ පස්දෙනා නම් පංච උපාදානස්කන්ධය, ඒ වගේම ඇතුලත හැසිරෙන හයවෙනි වධකයා කියන කාරණා ටිකම අපිට හම්බ වෙනවා.
==හිස් වූ ආධ්‍යාත්මික ආයතන===
හයවෙනි වධකයාගෙනුත් බයට පත්වෙලා යනකොට හිස් ගමක් හම්බවෙනවා. "සුඤ්ඤො ගාමොති ඛො භික්ඛවෙ, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං" මහණෙනි, මේ සුඤ්ඤ වූ ග්‍රාමය කියලා කිවුවේ ආධ්‍යාත්මික ආයතන හයට තව නමක්. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආධ්‍යාත්මික ආයතන හයට නමක් තමයි සුඤ්ඤ වූ ග්‍රාමය කියලා කියන්නේ. සුඤ්ඤ වූ ග්‍රාමයක් කියලා කියන්නේ හිස් ගමක් කියන එක. මේ ගමේ යම්ම දෙයක් ගැන කතා කරන්න පුළුවන් නම් ඒ දේ හිස්ම තමයි. ඒ මොකද කියනවා නම් ඇහේ අත්දැකීම කවදාවත් ඔබට ඇත්තේ නැහැ, කනේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ, දිවේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ, කයේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ, මනසේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ.
අත්දැකීම ඔබට නැහැ කියලා කිවුවේ, ඒක වැරදියට වටහා ගන්නට එපා. අපි ඇහේ අත්දැකීම කියන එක ලබාගන්නේ බාහිර රූපයත් එක්ක එකට ගිහිල්ලා, කනේ අත්දැකීම ලබාගන්නේ ශබ්දයත් එක්ක එකට ගිහිල්ලා. ඒ එකක් එකක් වූ ආධ්‍යාත්මික ආයතනවලට පුළුවන්කමක් තිබුනේ නැහැ තමන්ට තමන්ගේ ස්වභාවයක් විදිහට වෙනමම ඇහේ ඇතිවීම කියන දේ පෙනී සිටින්නට. අපිට පුළුවන්කමක් තිබුනේ නැහැ චක්ඛු ප්‍රසාදයේ පැවැත්ම පිළිබඳව දකින්නට, සොත ප්‍රසාදය කියන දේ දකින්න, ඝාන,ජිහ්වා, කාය, කියන ප්රසාදයන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට මේ ආධ්‍යාත්මික ආයතනවල තියෙනවා හිස් බවක්. ඒකයි සුඤ්ඤ වූ ග්‍රාමය කියන වචනයෙන්ම අදහස් කළේ මේ ආයතන ටික හිස් නිසා.
හැම වෙලාවකම මේ තුල දෙයක් ඇත්තේ නැහැ. යමක් අපි හොයන්නට ගියොත් මේ තුල කිසිම සාරවත් බවක් ඇත්තේ නැහැ. ඒ වගේම මේවායේ ඇතුලේ වෙනමම ආත්මයක පැවැත්මවල් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ආධ්‍යාත්මික ආයතන හයට කියනවා සුඤ්ඤ වූ ග්‍රාමය කියලා. මේවා පුද්ගලයෝ නෙමෙයි, මේවා සත්වයෝ නෙමෙයි, මේවා හිස්. ඒ නිසායි යම්ම ගෙයකට පිවිසෙනවා නම් ඒ පිවිසෙන ගෙය හිස් ගෙයක් කියලා කිවුවේ. ඒ කියන්නේ යම් මට්ටමකින් යම්ම ප්‍රසාදයක් ගැන කතා කරනවා නම්, ඒ කතා කරන ප්‍රසාදය හිස් වුවක්මයි. අපි නිමිත්තක් ගැන කතා කරනවා නම් දැකපු දේ ගැන, එතන චක්ඛුව කියන දේ හිස් දෙයක්මයි. ඇහේ අර්ථය තමයි එතන හිස් වූ අර්ථය. ආත්මභාව වශයෙන් ගත්තත් ඒක හිස්.
'ඇහැයි' කියන පැවැත්මක් ගැන එතන කතා කරන්න බැරිකම නිසාද එතැන හිස් ධර්මයක්. මේ විදිහට එයා ඇහැ පිළිබඳව මනසිකාරය කරනකොට හිස් වූවක් කොටම එයාට ඒක වැටහෙනවා. "චක්ඛුතො චෙපි නං භික්ඛවෙ පණ්ඩිතො ව්යත්තො මෙධාවී උපපරික්ඛති රිත්තකඤ්ඤෙව ඛායති, තුච්ඡකඤ්ඤෙව ඛායති, සුඤ්ඤකඤ්ඤෙව ඛායති" - ඇස යම්කිසි නුවණැති කෙනෙක් විසින් පිරික්සා කරලා බලනවා නම් ඒ ඇහැ කියන දේත් හිස් වුවක් කොටම ඔහුට වැටහෙනවා. ඇහැ, කන ආදී මේ ආධ්‍යාත්මික ආයතන හයම හිස් වුවක්ම කියන එක එයාට තේරෙනවා. හිස් කියලා කියන්නේ ආත්මභාව වශයෙනුත් හිස්, සැප වශයෙනුත් හිස්, ඒ වගේම තමයි පැවැත්මක් වශයෙනුත් එතන හිස්. ඇහැ කියන දේ විඳීමක් කියන දේ ඇත්තේ නැහැ. ඒ නිසා ඇස ආදී ආධ්‍යාත්මික ආයතන ටික ඔක්කොම හිස් ධර්මයක් හැටියට සුඤ්ඤ වූ ග්‍රාමයක් හැටියට දක්වනවා.
"චොරා ගාමඝාතකාති ඛො භික්ඛවෙ, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං" - ගම් පහරණ හොරුයි කියලා කිවුවේ බාහිර ආයතන හයට කරන අධිවචනයක්. ගම් පහරණ හොරු හැම වෙලාවකම ගම් පැහැරීම සිද්ධ කරනවා. ඒ නිසා තමයි හිස් ගමට ගියහම එයාට දැනගන්න ලැබෙනවා ගම් පහරණ හොරු විසින් මේ ගම දැන් පැහැර ගන්නවා කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මතා ටික පිළිබඳව උප පරික්ෂාව නැත්නම් මනසිකාරය යම්කිසි කෙනෙක් සිද්ධ කරනවා නම් එයාට පේනවා නන්දිරාගයේ පැවැත්ම පංච උපාදනස්කන්ධය සමග යෙදෙන විදිහ. ඒ තුල සත්ව පුද්ගලභාවය ඇතිවෙන ආකාරය පිළිබඳව එයාට දැනගන්න පුළුවන්.
එතැන එයා තේරුම් ගන්නකොට එයාට ලෝකේ හිස් ධර්මයන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගන්න පුළුවන්. හිස් ධර්මයක් කියන්නේ අපි 'සුඤ්ඤ වූ ග්‍රාම' කියලා කතා කරපු දේ. 'සුඤ්ඤ වූ ග්‍රාම' කියලා කතා කරපු තැන එයාට දකින්න ලැබෙන්නේ ඇහැ කියන දේ හිස් දෙයක්. හැබැයි ඒක ගම් පහරණ හොරුන්ගෙන් පිඩාවට පත්වෙන දෙයක්. ඒකට තමයි අපි කියන්නේ 'දිට්ඨේ දිට්ඨමත්තං' කියලා අපි කතා කරන දැක්මක්, දර්ශනයක් තියෙනවා ආර්ය මාර්ගය පැත්තෙන්. 'දැකීම දැකීම් මාත්‍රයෙන් ඉවර වෙනවා' කියලා අපි අනිත්‍ය පිළිබඳව කතා කරනවා නම් අන්න ඒ අනිත්‍ය පිළිබඳව කතා කරන දේ ආයතනයන් විදිහට තමයි මේ උදාහරණ දෙක තුල දක්වන්නේ. ඒ කියන්නේ හිස් ගමත්, ගම් පහරණ හොරුත් කියන එක.
ගම් පහරණ හොරු මේ තුල රැදී සිටින්නේ නැහැ, ගම් පහරණ හොරු විසින් මේ ගම මංකොල්ල කෑමකට ලක්කරනවා. අර හිස් ගම හිස් නොවන විදිහට ප්රකටව යන්නේ ගම් පහරණ හොරු ටික නිසා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන බාහිර ආයතන, හිස් ගෙවල් හය වූ ආධ්‍යාත්මික ආයතන වෙත පැමිණෙන නිසා තමයි ඒ හිස් ගෙවල් හය නොහිස් බවට යන්නේ. ගම හිස් බවට තේරුම් ගන්නකොට, අපිට ගම් පහරණ හොරු ගැනත් දැනගන්නට ලැබෙනවා. හිස් ගමට මේ විදිහට ගම් පහරණ හොරු ටිකක් එනවා කිවුවා වගේ මේ හිස් වූ රික්තක් වූ ඇහැට මේ විදිහේ රූපයක් පැමිණෙනවා.
එතකොට ඇහේ ස්වභාවය මේකයි, බාහිර රූපයේ ස්වභාවය මේකයි කියලා එයාට තීරණය කරගන්නට පුළුවන්. ආයතනයන්ගේ කෘත්‍ය එක එකක් සමග මිශ්‍ර නොවූනු ස්වභාවයක් කියන එක එයාට තේරුම් ගන්නට පුළුවන්. එවිට එයාට එතන ඇලීම කියන දේ හෝ ගැටීම කියන දේ හෝ පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ, ආයතන හයකම රික්තක වූ හිස් ස්වභාවයයි දකින්නට ලැබෙන්නේ. බාහිර ආයතන ටික ගම් පහරණ හොරු ටිකක් වගේ දකිනවා. ඒ කියන්නේ මේ හිස් ගම නම් ආධ්‍යාත්මික ආයතන කරා ගම් පහරණ හොරුන් නැවත නැවතත් පැමිණෙන බව සිද්ධ වෙනවා. ඒ නිසා එයා වහාම හිස් ගමෙනුත් නික්මිලා යනවා, මොකද ඒ ගම, ගම් පහරණ හොරුන්ගෙන් පීඩාවට පත්වෙන දෙයක් නිසා.
එයා එතැනිනුත් නික්මිලා යනකොට එයාට හම්බ වෙනවා මහා ජල කඳක්. "මහාඋදකණ්ණවොති ඛො භික්ඛවෙ, චතුන්නෙතං ඔඝානං අධිවචනං - කාමොඝස්ස, භවොඝස්ස, දිට්ඨොඝස්ස, අවිජ්ජොඝස්ස"- කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ සහිත මහා ජල කඳක් එයාට දකින්නට ලැබෙනවා. ඕඝය තරණය කළ යුත්තක්. සසර නැත්නම් මේ ඕඝ ටිකේ පැවැත්ම සංඛාත දේ තුලිනුයි මෙතෙර බය සහිත භුමිය වෙන්වෙලා තියෙන්නේ. මෙන්න මේ ඕඝ ධර්මතා (කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ) වලින් බැඳිලා තියෙන නිසා.
එයාට පේනවා ආයතනයන් පිරිසිඳ නොදන්නාකම නිසා, ස්කන්ධයන් පිරිසිඳ නොදන්නාකම නිසා කෙලෙස් කර්ම ටික මහාභූත රූපයට නැඹුරු කරලා කාම වශයෙන් හැසිරෙන එකත් එයා දකිනවා. ඒ වගේම උපාදාන භව වශයෙන් ඒ ඒ තැන්වලට ප්රතිසන්ධි පිණිස යන්න පුළුවන්කම, නැවත නැවත උපදින්න පුළුවන්කමත් එයා දකිනවා. ඒ වගේම දෘෂ්ඨි විදිහට 'හැමදේම තියෙනවා, ඉන්නවා' කියලා හිතාගෙන ඉන්නකමක එයාට ආත්ම දෘෂ්ඨියක පැවැත්ම කියන දේත් දකිනවා. මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසයි මේ දුක් සහගත පැවැත්ම වෙන්නේ කියන එක එයා නුවණින් අවබෝධ කරගන්නවා.
==ඕඝ ධර්මතා==
එයා චතුර් ඕඝයක් දකිනවා, තරණය කළ යුත්තේ මේ චතුර් ඕඝයයි කියන එක තේරුම් ගන්නවා. ඒ නිසා චතුර් ඕඝය තරණය කරන්න යනකොට එයාට පේනවා, මෙතෙර බය සහිතයි කියලා. මෙතෙර කිවුවේ සක්කායට නමක්. පංච උපාදානස්කන්ධයට තව එක නමක් තමයි සක්කාය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන එක අපි උපමා කළා සතුරු වධකයෝ පස්දෙනාට. ඒ වධකයෝ පස්දෙනාට උපමා කරපු දේම තමයි තව වචනයකින් සක්කාය යැයි කියලා කියන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට අයිති භූමිය තමයි මෙතෙර කියලා කියන්නේ. වධකයෝ පස්දෙනා වගේ කියනකොට එයාට පංච උපාදානස්කන්ධයන් පිළිබඳව දැක්මක් ඇතිවෙනවා.
මෙතෙර කියලා කියන තැනදී එයාට සෘජුව මේ සියළුම ධර්මයෝ (ඇහැ- රූප ආදී ස්පර්ශ ආයතන ගැන කිවුවත්, පංච උපාදානස්කන්ධය කිවුවත්, නන්දිරාගය, සතර මහා ධාතුව ආදී මේ සියළු දේවල්) හසුවන තැන සක්කාය අන්තය එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධය පැත්තට හසුවෙන දෙයක් හැටියට එයා දකිනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයකට යටත් දෙයක් නම් ඒක බය සහිතයි, ඒ බය සහිත දේ තුල රැදෙන්න හොඳ නැහැ. එතෙර බය රහිතයි කියලා එයා දකිනවා. ඒ නිසා එයා එතෙරට යාම පිණිස උත්සාහවත් වෙනවා. එතෙර කියලා කියන්නේ නිර්වාණය කියන එක. නිර්වාණය සාක්ෂාත් කරගන්නට එයා උත්සාහවත් වෙනවා.
එතෙරට යාම සදහා එයාට පසුරක් අවශ්‍ය වෙනවා. ලී දඬු ආදිය එකතු කරගෙන පසුරක් හදාගත්තා වගේ, එයා ලෝකය තුල යහපත් දේවල්, හොඳ දේවල් කියන කුසල ධර්මයෝ එකතු කරගෙන එයා මේ පැසුර නැමති ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරගෙන අතින් පයින් වෑයම් කරමින් එයා එතෙරට යනවා. අතින් පයින් වෑයම් කරනවා කියලා කියන්නේ විර්යාරම්භයට අධිවචනයක්. ඒ නිසා එතෙර වීම සිද්ධ වෙනවා. මේ උදාහරණ කතාව අපිට පොදුවේ මෙතෙර කියලා කතා කරපු ලක්ෂණ ටිකෙන් පංච උපාදානස්කන්ධය දකින්න. ඒ මෙතෙර සහ එතෙර වෙන්වෙලා තියෙන්නේ ඕඝයෙන්. අපි ඒකට කිව්වා කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියලා. ඕඝයෙන් එතෙර වීම පිණිස අවශ්‍ය දේ තමයි පසුර නමැති ආර්ය අෂ්ටාංගික මාර්ගය හා පුරුෂයා සතු විර්යය කියන දේ විරියාරම්භ කියලා කිව්වා.
මතු සම්බන්ධයි
පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 26/05/2020 දින ආසිවිසොපම සුත්‍රය ඇසුරෙන් සිදු කරන ලද දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.
0 Comments