විභජ්ජවාද
තෙවන දේශනාව:2
එතකොට, සක්කාය දිට්ඨිය කියන එක, හැම වේලාවකදීම, සංයොජනය. ඒක බන්ධනය, ඒක බැඳුම. අපට දිට්ඨිය විදියට තියෙන ඒ බැඳුම, ඒ බන්ධනය, රූපය මත පතිතවෙනකොට කියනවා, රූපය සංයෝජනීයයි කියලා. හැම වේලාවකදීම, රූපය ඇති තැනක මනසේ යෙදෙන එක සංයොජනය. ඒ වගේම, සංයොජනයට හිතවුනු සංයෝජන ඇති කරන්න පුළුවන්වුනු, සංයොජන සහිත මනසට යෙදුනු රූපයට කියනවා, ‘සංයෝජනීයයි‘ කියලා.
රූපය කවදාවත් සංයෝජනය වුනේ නැහැ. නමුත් සංයෝජන ඇති මනසට සංයෝජනය ඇති කරගන්න හිත ධර්‍මතාවයක් බවට පත්වුනා. සක්කාය දිට්ඨිය පවත්වාගන්න, සක්කාය දිට්ඨිය වශයෙන් පතිත කරගෙන යන්න හිත පරිසරයක් ඇතිවුනේ, හැම වේලාවකදීම, රූපය ඇති කල්හියි.
සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන තැන, අපට ධර්‍මයේ බොහොම විශේෂ තැනක්. මොකද, සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන මේ ධර්‍මතාවය තේරුම්ගන්නේ නැතිකම නිසා අපට හරියට මාර්‍ගය පනවාගන්න තැනත් ප්‍රශ්න ඇතිවෙලා තියෙන බවක් අද අපට දකින්න තියෙනවා.
අද පාඩමට අනුව, අපට අදාලවෙන්නේ සංයෝජනීයයි කියන කාරණාව. නමුත් එතනින් එහාට ගිහිල්ලා, සක්කාය දිට්ඨි කියන තැන අපි තවත් ටිකක් විග්‍රහ කරගත්තොත්, එතනදී අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ, පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතිකරගත්ත ආත්ම දිට්ඨිය.
එතකොට, පංච උපාදාන මට්ටම කියලා කිව්වේ, පිණි බිංදු ටිකක් ඇති තැනක පෙනෙන වළාකුල වගේ, අනාත්ම ස්කන්ධ ටිකක්, රූපස්කන්ධය කියන එක ඇති තැනක, අපි හදාගත්ත ධර්‍මතාවයක්. ඒක තමයි රූප උපාදානස්කන්ධය. එතකොට, රූප ස්කන්ධයයි, රූප උපාදානස්කන්ධයයි මෙතනදි අපට ප්‍රකටවෙන්න ඕන.
රූපස්කන්ධය කියලා කිව්වේ පැහැදිලිවම, ‘චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානංච උපාදාය රූපං‘ සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයටත් කිව්වා රූපස්කන්ධය කියලා. මේකට රූප උපාදානස්කන්ධය කියලා කිව්වේ නැහැ. මේක රූපස්කන්ධය. ඔය රූපස්කන්ධය කියන අර්‍ථය කතා කරනකොට, ස්කන්ධයේ දකින්න එපා මනුස්සයො, ගෙවල් දොරවල්, යාන වාහන, සත්තු, මේ වගේ දේවල්. රූපස්කන්ධය, එක ස්කන්ධ මාත්‍රයක් විතරයි. රූපස්කන්ධය තුළ සත්ත්ව පුද්ගල බව තිබුනේ නැහැ.
එතකොට, ස්කන්ධය කියන එක සතර මහා ධාතුව පැත්තෙන් පනවපු දේ. ‘චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානංච උපාදාය රූපං‘. ඒක තමයි ස්කන්ධය. උපාදනස්කන්ධය කියන එක, හැම මොහොතකම, ඒ ස්කන්ධයක් ඇති තැනක, ස්කන්ධය ඉතුරු නැතුව නිරුද්ධවුනාට පස්සේ, තමාගේ මනස තුළ හදාගන්න ධර්‍මතාවයට කියනවා, උපාදනස්කන්ධය කියලා.
රූප උපාදානස්කන්ධය, කොයි වෙලාවකවත් දකින්න එපා බාහිර ලෝකේ තුළ. ලෝකේ තුළ පෙනෙන්නේ, රූප උපාදානස්කන්ධය කියන කාරණාව නෙවෙයි. අපට ලෝකේ භෞතික වශයෙන් කතාකරන්න පුළුවන්කම තියෙන්නේ රූපස්කන්ධය කියන මට්ටම.
රූප උපාදානස්කන්ධය, හැම වේලාවකදීම, මනෝ විඤ්ඤාණය තුළ හදාගන්න දෙයක්. වැරදිලා හරි, එලියේ තියෙන රූපයට කිව්වොත් රූප උපාදානස්කන්ධය කියලා, අපට උපාදානස්කන්ධය පිරිසිඳ දැකලා, උපාදානස්කන්ධයේ උදය වැය දැකලා මිදෙන්න බැරුව යනවා.
මතු සම්බන්ධයි
0 Comments