විභජ්ජවාදී දේශණා තෙවන ලිපි මාලාව - 1


විභජ්ජවාද
තෙවන දේශනාව:1

නමො තස්ස භගවතො අරහ‍තො සම්මා සම්බුද්ධස්ස

ශ්‍රද්ධාසම්පන්න කාරුණික පින්වතුනි,
අපි පසුගිය වතාවේදීත්, අභිධර්‍ම පිටකයේ ධම්මසඞ්ගණී ප්‍රකරණයට අදාල රූප කාණ්ඩය ඔස්සේ, රූපස්කන්ධය පිළිබඳව විවරණයක් සිද්ධ කරන්නට යෙදුනා. මාතිකා ටික අපි මුලින් බෙදාගෙන ගිය පිළිවෙලින් එකින් එකට විස්තර කරමින් ‘සබ්බං රූපං න හේතු, අහේතුකං, හේතු විප්පයුක්තං, සප්පච්චයං, සංඛතං, රූපී, ලෝකියං, සාසවං‘ කියන මේ කාරණා ටික අපි කතා කරන්නට යෙදුනා. 

ඒකෙදී, විශේෂයෙන් මතක් කළා, රූපය ‘සප්පච්චයං‘, ප්‍රත්‍ය සහිතයි කියලා කිව්වා. ඒ වගේම, ‘සංඛතං‘, හැම වේලාවකදීම, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස්කරලා දෙන ධර්‍මතාවයක් කියලා කිව්වා. ‘රූපී‘, රූපි වූ ධර්‍මයක්. රූපී වුනු කල්හියි අපට පෙනෙන්නට තියෙන්න, දකින්නට තියෙන්න පුළුවන්. ඒ වගේම ‘ලෝකියං‘ ලෞකික ලෝකයට අදාල, ලෞකික මනසකට අරමුණුවෙන, ධර්‍මතාවයක්. ‘සාසවං‘ ආශ්‍රව සහිත නැත්නම් ආශ්‍රව වලට හිත වූ මනසකට, අරමුණු කරන්න පුළුවන්, නැතිනම්, ආශ්‍රව ඇති මනසකට ආශ්‍රව වලට හිත ආකාරයට ඇසුරුකරන්න පුළුවන් නිසා ‘සාසවං‘ කියලා කතා කළා.

ඊටපස්සේ, ‘සංයෝජනීයං‘ කියන මාතෘකාව අපි සාකච්ඡා කළේ, රූපය සංයෝජන ධර්‍මතාවයන්ට හිතයි කියන එක. එහිදී අපි මතක් කළා දස සංයෝජනයක් ගැන. දස සංයෝජනයන්ගේ 5 ක් ඕරම්භාගීයයි, ඒ වගේම, 5 ක් උද්දම්භාගීයයි. 
‘සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ‘ කියන මේ සංයෝජන ධර්‍මතා ටික ඕරම්භාගීයයි, ‘රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා‘ කියන මේ සංයෝජන ධර්‍මතා ටික උද්දම්භාගීයයි කියලා විග්‍රහ කරගන්නට යෙදුනා.

ඒකේදී, ඕරම්භාගීය සංයෝජන අපි කතා කළා පොලව යටට මුල් බැසගත්ත ගහක් වාගේ, හැම වේලාවකදීම, රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්නව තියෙන සංයෝජන 5 ක් වශයෙන්. ඒ වගේම, උද්දම්භාගීය සංයෝජන කියලා කිව්වා, හීලියම් පුරවපු බැලුම් බෝලයක් වගේ හැම වේලාවකදීම, උඩටම යන්න හදන සංයෝජන ධර්‍මතා වශයෙනුත්, ඒ වගේම, උද්දම්භාගීය සංයෝජන කාම භූමියේ යෙදෙන දෙයක් නොවෙයි කියන එකත්.

මේ සංයෝජන ධර්‍මතාවල අද ප්‍රශ්නය තියෙන්නේ, හීලියම් පුරවපු බැලුම් බෝලය ගහේ බැඳලා තියෙන්නේ. එයින් කියන්නේ, අපට හැම වේලාවකදීම, ඕරම්භාගීය සංයෝජන 5 ඇතිවෙන ධර්‍මතා ටිකේම, උද්දම්භාගීය සංයෝජන 5 ත් ඒ මට්ටමෙන්ම තමයි ප්‍රකටවෙලා තියෙන්නේ.

එතනදී, පලවෙනි සංයෝජනය අපි කතා කළා, සක්කාය දිට්ඨි. සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා ධර්‍මතා දෙකක් තියෙනවා.  සක්කාය වෙනම ධර්‍මතාවයක්. සක්කාය දිට්ඨිය වෙනම ධර්‍මතාවයක්. 

සක්කාය කියලා කිව්වා පංච උපාදානස්කන්ධයට. සක්කාය දිට්ඨිය කියලා කිව්වා පංච උපාදානස්කන්ධමය වූ රූපය ගැන ඇති කරගත්ත ආත්ම දිට්ඨියට. හැම වේලාවකදීම, සක්කාය කියන ධර්‍මතාවයේ දිට්ඨි වශයෙන් ඇසුරුකරන ගතියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. 

අපි මෙහෙම උදාහරණයක් කිව්වොත්, අපේ සේනාසනයේ ගල් තලාවේ ඉඳගෙන, ඈත අහස දිහා බලාගෙන ඉන්නාකොට හවසකට, අපට පේනවා වළාකුළු අහසේ පාවෙනවා. මේ වළාකුළුවල එක එක හැඩ, එක එක රූප මැවෙනවා. එක එක සතුන්ගේ, මනුස්ස රූප ආදී නොයෙක් රූප මැවෙනවා. 

එතකොට මේ නොයෙක් ආකාරයේ රූප පෙනෙන වළාකුලක යථාර්‍තය විමසා බැලුවොත්, මනුස්සයෙක් ඉබ්බෙක් හාවෙක් කියන මට්ටමට ඔබ්බෙන් තිබෙන දෙයෙහි යථාර්‍තය තමයි, වළාකුලක් කියන එක. වළාකුලටත් ඔබ්බෙන් තියෙන ධර්‍මතාවය තමයි, පිණී බිංදු ටිකක් කියන ස‍්වභාවය. එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති, එකිනෙකට කිසිම ගැටීමක් නැති, පිණී බිංදු ගොඩක් ඇති තැනක අපට වළාකුලක් පේනවා.  ඒ වගේම, වළාකුල ඇති තැනක අපට යම් හැඩ තලයක් පේනවා.

දැන් කාරණා 3 ක් තියෙනවා. පිණි බිංදු සමූහයක්. පිණි බිංදු සමූහයක් ඇති තැනක අපට පෙනෙන වළාකුල තවත් එකක්. ඒ වගේම වළාකුල පෙනෙන තැනක, අපි දකින සත්ත්වයෙකුගේ හැඩය කියන එක තවත් එකක්.
ඔතන දකින්න, වළාකුලක් පෙනෙන තැනක ඇති පිණී බිංදු ස‍්වභාවය, ස්කන්ධ ටිකේ පැවැත්මක් විදියට. ස්කන්ධ ටිකක අපට පේනවා රූපී වළාකුලක් තියෙනවා. ඒ වළාකුල වගේ තමයි, පංච උපාදානස්කන්ධයේ ලක්‍ෂණය. හැම වේලාවකදීම, අනාත්ම ස්කන්ධ ටික ඇති තැනක අපට කෙනෙක්, පුද්ගලයෙක්, දෙයක්, විදියට ප්‍රකට කරලා, අපට මනසින් ඇතිකරගන්න දැනගන්න විඤ්ඤාණය, බාහිර ඇති දෙයක් හදලා දෙනවා. ඒකට කියනවා සක්කාය ධර්‍මතාවය කියලා. 

ඒ වගේම, බාහිර ඇති බවට හිතන ඒ ධර්‍මතාවයම, පුද්ගල වශයෙන් දකිනකොට, ආත්මයක් ඒ තුළ තියෙනවා, ඒකමයි ආත්මය, ඒ රූපය ආත්මය තුළ තියෙනවා, ආත්මය තුළ රූපය තියෙනවා කියලා, මෙන්න මේ විදියට අපට ඇතිවෙන වැරදි දැක්මට, වැරදි දර්‍ශනයට කියනවා සක්කාය දිට්ඨිය කියලා. 

එතකොට, ඒක තමයි අපි හරියට වළාකුලක හැඩතලය ඇති දෙයක් විඳිනවා වගේ. ඒක වළාකුලට අයිතිත් නෑ. පිණි බිංදු වලට අයිතිත් නැහැ. නමුත් ඒ දෙකෙන් තොරව අපට හැඩය පෙනිලත් නෑ. දැන් සක්කායත්, සක්කාය දිට්ඨියත් කියන කාරණා දෙක අපට ඔය විදියට වෙන් වෙන්න ඕන. 

මේ උතුම් ලිපිය අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ මුහුණු පොත් ගිණුමෙන් උපුටා ගත් අතර මෙහි සියලු උතුම් ගෞරවය උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සියලු පිංවතුනටත් ම හිමි වේවා.!!

Post a Comment

0 Comments