විභජ්ජවාදී දෙවන ලිපි මාලාව -5


විභජ්ජවාද
දෙවන දේශනාව:5

ඒ වගේම, ‘රූපී‘. රූපය, රූපවත් වූවක්. රූපය අරූපී දෙයක් නෙවෙයි. රූපය ගැන කතාකරන්නේ රූපී මට්ටමක. ‘රූපී‘ කියලා කියන්නේ පෙනෙන මට්ටමක. ඇහැ ඇති කල්හි, රූපවත් ආකාරයෙන්ම පේන දෙයක්. එතකොට, ඇහැ ඇති කල්හි, රූපවත් ආකාරයෙන්ම පේන දෙය “රූපය“ වුනා මිසක, ඒ අනුව අපේ අතීත සංඛාරය කවදාවත් රූපය වුනේ නැහැ. අවුරුදු ගානක් අපිත් එක්ක එකට හිටපු කෙනෙක් පුද්ගලයෙක් පිළිබඳව අපි සිහිපත්කරන එක, රූපය නෙවෙයි, ඒක ‘චේතනාව‘, ඒක නාම ධර්‍මතා ටික.

වර්‍තමාන මේ මොහොතේ ඇස් හමුවට පතිතවෙන එකට කියනවා, ‘රූපී‘ කියලා. ඒ රූපී බව, ඒ පෙනෙන ලක්‍ෂණයට විතරයි රූපය පනවන එකම තැන. එතකොට, රූපය කියන එක බොහොම කෙටි තැනකින් පනවන්නේ. කෙටි තැනකින් කියලා කිව්වේ, මේ ඇස් හමුවට පතිතවෙන මට්ට‍ම විතරයි. ශබ්දය නම්, කන හමුවට පතිතවෙන මට්ටම විතරයි. ගන්ධය, නාසය හමුවට පතිතවෙන, දැනෙන මට්ටම විතරයි. රසය, දිව හමුවට ගැටෙන මොහොත, පතිතවෙන මොහොත විතරයි. ස්ඵර්‍ශය, කයට පතිතවෙන මොහොත විතරයි. 

ලෝකයේ රස කොච්චර තියෙනවා කියලා හිතාගෙන හිටියත්, ඒක සංකල්පනාවක් මිසක, කවදාවත් ඒක තියෙන රසය නෙවෙයි. රස රූපය ගැන අපට දැනගන්න පුළුවන් එකම අවස්ථාව තමයි, දිවට මේ මොහොතේ ගැටෙන අවස්ථාවේදි හැදෙන රසය. එහෙම නැතුව, ලෝකේ කොච්චර රස තිබුනත්, අපට ඒ රසය ගැන සංකල්පනාවක් ඇති කරගන්න පුළුවන්වෙයි. නමුත් රසය දැනගන්න පුළුවන් කමක් නැහැ. රස රූපය කියන තැන කතා කරන්නේ ඔය අර්‍ථයෙන් විතරයි.

ඒ නිසා, ‘රූපී‘ කියලා කියනවා, රූපවත් වූ විට විතරක් පෙනෙන දෙයක්. අරූපවත් වූ කල්හි පෙනෙන දෙයක් නෙවෙයි. 

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments