විභජ්ජවාද
දෙවන දේශනාව:7
ඒ වගේම, ‘ලෝකියං‘. රූපය කියන එක ලෞකිකයි. ලෞකිකයි කියලා කියන්නේ ලෝකය තුළ තියෙන අර්‍ථයක් සිද්ධ කරන්නේ. ‘ලෝකියං‘ කියලා කියන්නේ, පාළි භාෂාවේ ‘ය‘ ප්‍රත්‍ය, යෙදිලා, මේ ‘නීය‘ කියන ප්‍රත්‍යයෙන් සිද්ධ කරන්නේ, ඒ දේට අයිතියි කියන අර්‍ථය ප්‍රකාශ කරන එක. එතකොට, මේ පදයෙන් ප්‍රකාශ කරන්නේ, ඒ අදාලදේට අයිතියි කියන එක. එතකොට, ‘ලෝකියං‘ කියලා කියන්නේ ලෝකයට අයිති ධර්‍මතාවයක්. එතකොට, රූපය ලෝකයට අයිති දෙයක්.
‘ලෝකියං‘, ලෝකයට අයිතියි කියලා කිව්වේ, අද අපි හිතාගෙන ඉන්න මේ පෘතුවි ලෝකය කියන මේ සංකල්පයට නෙවෙයි, ‘ලෝකියං‘ කියලා කිව්වේ, ආයතන ලෝකයට. බුදුරජාණන්වහන්සේ ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිණි ප්‍රතිපදාවත් පැනෙව්වේ, මේ බඹයක් පමණ තරම් වූ ශරීරයක් තුළ.
ඔබ අද, ලෝකය කොයි මට්ටමකින් පනවන්න හැදුවත්, පෘතුවියේ මොන ප්‍රදේශයක් ගැන කතාකරන්න හැදුවත්, ඔබට කතාකරන්න පුළුවන්වෙයි, ඇහෙන් දැකපු රූපයක් ගැන, කනෙන් අහපු ශබ්දයක් ගැන, නාසයෙන් දැනගත්ත ගන්ධයක් ගැන, දිවෙන් විඳපු රසයක් ගැන, කයෙන් විඳපු ස්ඵර්‍ශයක් ගැන.
රූපයක් නම් ඔය ආයතන ටික ඇතුලේ විතරයි කතාකරන්න පුළුවන්කම තියෙන්නේ. රූපය සම්බන්ධ මුළු ලෝකයම, ඔය ආයතන ටික ඇතුලේ. ඒ නිසා, ‘ලෝකියං‘ කියලා කිව්වා. ඔය රූපය ගැන තියෙන දැක්ම අයිතියි කාම ලෝකයට. ලෞකිකයි ඒක. ඒක ලෞකික මනසකටයි ගෝචර වෙන්නේ.
රූපය ඇසුරු කරන්න පුළුවන්, රූපෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, රූපෙත් එක්ක හොඳ නරක විඳින්න පුළුවන්, මෙන්න මේ හැකියාව තියෙන්නේ ලෞකික ධර්‍මතාවයකට, ලෝකයට අයිති මනසකට. ඒ නිසා, රූපයට තනි වචනයෙන් කිව්වා ‘ලෝකියං‘ කියලා.
මතු සම්බන්ධයි
0 Comments