විභජ්ජවාදී දෙවන ලිපි මාලාව - 8


විභජ්ජවාද
දෙවන දේශනාව:8

රූපය ‘සාසවං‘. රූපය කියන එක ආශ්‍රව සහිත නැත්නම් ආශ්‍රව වලට හිත ධර්‍මයක්. අපි දන්නවා, මොනවාද ආශ්‍රව කියලා. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව. මේ ධර්‍මතා ටික තමයි ආශ්‍රව.

‘සාසවයි‘ කියලා කියන්නේ, මේ ආශ්‍රව ටික යෙදෙන මනසකට තමයි රූපය සාස්‍රව වෙන්නේ. යම් මනසක ආශ්‍රව ධර්‍මතා ටික තියෙනවා නම්, ඒ ආශ්‍රව සහිත වූ මනසින් තමයි රූපය ඇසුරු කරන්නේ. හැබැයි, රූපයට කියන්නේ නැහැ රූපය ආශ්‍රවයක් කියලා. ආශ්‍රව ධර්‍මතා ටික මේ 4 යි. මේ 4 තියෙන කෙනාට, රූපය හැම වේලාවකදීම ‘සාසවයි‘.

මෙහෙම උදාහරණයක් කිව්වොත්, යම් කෙනෙක් ළඟ, සීනි තියෙනවා නම්, ඒ සීනි තියෙන කෙනාට, එයා ළඟ තියෙන බෝතලේ මේ සීනි දාගන්න හිතයි. හැබැයි, මේකෙන් කිව්වේ නෑ, බෝතලේ සීනි කියලා. කවදාවත් බෝතලේ සීනි වුනේ නැහැ. බෝතලේ, බෝතලේමයි. සීනි වෙනම කාරණාවක්. ඒ වගේ, ආශ්‍රව ධර්‍මතා ටික වෙනම දෙයක්. 
එතකොට, සීනි කියන එක වගේ දකින්න ආශ්‍රව ධර්‍මතා ටික. බෝතලේ වගේ දකින්න, රූප. සීනි තියෙන කෙනාට, ඕන නම් බෝතලේට සීනි දාගන්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රව තියෙන කෙනාගේ මනස පැත්තෙන් කිව්වා රූපය කියන එක සාසවයි. රූපය ඇසුරුවෙන්නේ, රූපය ඇති බවට හම්බවෙන්නේ, සාසව මනසකට. ආශ්‍රව යෙදෙන්න පුළුවන් ආශ්‍රව සහිත වූ මනසකට.

එයාට රූපය ගැන ඕන වෙලාවක ආශ්‍රව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොනවද ආශ්‍රව? කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව කියලා කිව්වේ, කාමය. කාමය පිළිබඳ කැමතිවෙන පැත්තෙන් අපට යම් සංකල්පනාවක් තියෙනවා නම් රූපය පැත්තෙන්, මේ කැමතිවෙන ගතියට කිව්වා, කාමාශ්‍රවය කියලා. 

අපට අකමැතිවෙන ගතියක් රූපය පැත්තෙන් පේනවා නම් ඒකටත් කිව්වා, කාමාශ්‍රවය කියලා. අපේ හිතේයි කැමති අකමැති දෙකම ඇතිවෙන්නේ. කැමති අකමැති දෙකම යෙදෙන පැත්තට කිව්වා කාමාශ්‍රවය කියලා. 

මොකද, අපි රූපයකට කැමති වෙනකොට, කැමති රූපය එලියෙන් හම්බවෙනවා. ඒකට කෙලින්ම, කාමාශ්‍රවය යෙදෙනවා. අපට අකමැති, පේන්නම බැරි රූපයක් හම්බවෙනකොටත්, ඒ රූපයට අපි අකමැති වෙන්නේ, රූපයේ ඇති තව ලක්‍ෂණයකට කැමතිවෙන නිසා. ඒ රූපයට, මේ පැත්තෙන් අපි අකමැතියි කියලා බාහිරින් කතා කළාට, අපි එහේ ඇති කල්හි මෙහේ ජීවත්වෙනවා කියන තමන්ගේ පැත්තෙන් කාමාශ්‍රවය ඇතිවෙලා තියෙනවා. තමන් ඒකට අකමැතියි, හැබැයි වෙන දේකට කැමතියි. එතකොට ඒ හැම තැනකම කාමාශ්‍රවය නියෝජනය වෙලා තියෙනවා, කැමති අකමැති භේදයකින් තොරව.

මේ ආශ්‍රව සහිත මනසටයි රූපය හසුවෙන්නේ කියලා කිව්වේ, එයාට මේ ආශ්‍රවය රූපය පැත්තට පතිත කරගෙන, කැමති වස්තු, අකමැති වස්තු, කැමති දේවල්, අකමැති දේවල්, ලෝකෙ තුළ හදාගෙන විඳින්න පුළුවන්කම තියෙනවා.

බෝතලේ සහ සීනි ටික වෙන වෙනම තියෙනකොට, සීනි ඇති කෙනාට, සීනි දාලා බෝතලේට, සීනි බෝතලයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සීනි බෝතලේ හදාගන්න පුළුවන්කම තියෙන්නේ, සීනි තියෙන කෙනාට විතරයි. යම් කෙනෙක් ළඟ සීනි නැත්නම්, ඒ සීනි නැති කෙනාට කවදාවත් සීනි බෝතලේ හදාගන්න හේතු නැහැ. එයාට සීනි බෝතලේට තියෙන හේතු ටික දුරුවෙලා. මොකද? එයා ළඟ සීනි නැති නිසා.

ඒ වගේ කෙනෙක් ළඟ ආශ්‍රව ටික නැත්නම්, එයාට ඒ ආශ්‍රව ටිකෙන් සාස්‍රව කරගන්න රූපය කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. රූපය කියන එක ඒකාන්ත වශයෙන්ම සාස්‍රව ධර්‍මතාවයක්, ආශ්‍රව වලට හිත ධර්‍මතාවයක්. ඒ නිසා තමයි, රහතන්වහන්සේ රූපය පරිහරනය කරන්නේ නැහැ කියන මට්ටමකින් කතාකරන්නේ. ඒ ගැන ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්, අපේ මට්ටමෙන්, පුද්ගල මට්ටමෙන් බලන නිසා.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments