විභජ්ජවාදී දෙවන ලිපි මාලාව -9


විභජ්ජවාද
දෙවන දේශනාව:9

අද වර්‍තමාන සමාජය තුළත් අපට නොයෙක් නොයෙක් දේශනා ක්‍රම සම්ප්‍රදායන්ට අනුව, අපට දකින්නට, අහන්නට ලැබෙනවා, රහතන්වහන්සේ රූපය පරිහරනය කරනවා, රහතන්වහන්සේ රූපෙත් එක්ක ගනුදෙනු කරනවා, රහතන්වහන්සේ රූපයෙන් සැප දුක් විඳිනවා, ඒවා විපාක සැප දුක් වේදනා. මේ විදියට අපට කතා අහන්න ලැබෙනවා. නමුත්, රහතන්වහන්සේ කියලා, පුද්ගලභාවයකින් කවුරු කවුරුත් එහෙම කතා කළාට, රහතන්වහන්සේ කියලා, පුද්ගලභාවයකින් දකින්න එපා, මොනම මොහොතකවත්. හේතුව, රහතන්වහන්සේ කියන්නේ පුද්ගලයෙකුට නෙවෙයි, පුද්ගලභාවය දුරු කරගත්ත තැනකට, ඥාන දර්‍ශනයකට, නුවණකට. රහතන්වහන්සේ කියලා පනවන්නේ, නුවණකින් මිසක, පුද්ගල බවකින් නෙවෙයි.

එතකොට, ආශ්‍රව සහිත, කෙළෙස් සහිත අපට, රහතන්වහන්සේ තවත් එක්තරා පුද්ගලයෙක් වුනාට, රහතන්වහන්සේගේ පැත්තෙන් රහතන්වහන්සේ පුද්ගලයෙක් වුනේ නැහැ. රහතන්වහන්සේට, රහතන්වහන්සේව කෙනෙක් වුනෙත් නැහැ, තව කෙනෙක්, කෙනෙක් වුනෙත් නැහැ. ඒ කෙනාව දුරු කරගත්ත නිසාම තමයි රහත් කියලා කිව්වේ.

රහතන්වහන්සේ කවදාවත් රූපය පරිහරනය කරන්නේ නැහැ කියන එක අපට බලාගන්න පුළුවන් හොඳම තැන තමයි, විභංග ප්‍රකරණයේ එන ධම්මහදය විභංගයට අයිති කොටසේදී, අපරියාපන්න භූමිය විග්‍රහකරන තැනදී. අපරියාපන්න භූමියේ සතර ආහාරයක් පනවන්නේ නැහැ, කබලිංකාරාහාරය පෙන්වන්නේ නැහැ. ඒ වගේම ආයතන 2 ක පැවැත්මක් තියෙන්නේ, කිසිම රූපයක් පනවන්නේ නැහැ, මනායතනයේ ධම්මායතනයේ පැවැත්මක් පමණයි. අපරියාපන්න භූමිය කියන්නේ ආයතන 2 යි, මනායතනයයි, ධම්මායතනයයි. එක ස්ඵර්‍ශයයි. මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සය. සිතේ ඇතිවෙන ස්ඵර්‍ශය. 

එතකොට, මෙන්න මේ වගේ ධර්‍මතා ටිකක් තුළ විග්‍රහකරනවා, අපරියාපන්න භූමියේ ස‍්වභාවය. අපට ඉදිරියේදිත් ඒ ටික ආවරනය කරන්න පුළුවන් වෙයි. එතකොට රහතන්වහන්සේ කියන මට්ටමේදි, ඒ ඒ කෙනා තුළට අදාල නුවණකින් මිසක, පුද්ගලභාවය තියෙන මට රහතන්වහන්සේ පුද්ගලයෙක් වගේ පෙනුනා කියලා, රහතන්වහන්සේ බලන්නේ පුද්ගලභාවයෙන් කියන එක සාධාරන සහිත කාරණාවක් නෙවෙයි. මොකද, රහතන්වහන්සේට රූපය සාසව ධර්‍මයක් වෙන නිසා, කවදාවත් ඇසුරුවෙන්නේ නැහැ. ඒ සාසව ධර්‍මතාවය හසුවෙන්නේ, ආශ්‍රව කියන දෙයට හිතවෙන්නේ යම් දෙයක්, ආශ්‍රව තියෙන කෙනාට. ආශ්‍රව දුරු කරගත්ත, අනාශ්‍රව රහතන්වහන්සේට සාශ්‍රව රූපය කවදාවත් හමුවෙන්නේ නැහැ. 

එහෙම කිව්වාහම, කෙනෙක් අහන්න පුළුවන් රහතන්වහන්සේ පිණ්ඩපාතේ යන්නේ? රහතන්වහන්සේ රූප බලන්නේ? බුදුරජාණන්වහන්සේගේ පාදය තුවාලවෙලා, බුදුරජාණන්වහන්සේට දුක් වේදනාව ඇතිවුනේ? කියන තැනකින් කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා.

මේ කතාකරන්නේ, රූපය පරිහරනය කරන්නේ නැහැ කියලා, කෙනා කෙනාගේ හිතේ ඥාන දර්‍ශනය පැත්තෙන් මිසක, මේ භෞතික පැත්තෙන් නෙවෙයි. අපට රහතන්වහන්සේගේ ඇහැ ඇහැක් වුනාට, රහතන්වහන්සේට ඒ ඇහැ ඇහැක් වෙලා නැහැ. ඒ වගේම අපට රහතන්වහන්සේගේ කය කයක් වුනාට, බුදුරජාණන්වහන්සේට හෝ රහතන්වහන්සේට ඒ කය කයක් වෙලා නැහැ. ඒ වගේම තමයි, කාය ස්ම්ඵස්සය නිසා හටගත්ත යම් දුක් වේදනාවක් තියෙනවා නම්, ඒ දුක් වේදනාව රහතන්වහන්සේලාටත්, බුදුරජාණන්වහන්සේටත්, සමානව දැනෙනවා, ඒ වේදනාව විතරයි විපාක වශයෙන් ඇතිවෙන සැප හෝ දුක් වේදනාව. කාය සම්ඵස්සය විතරයි විපාක වශයෙන් සැපක් හෝ දුකක් යන වේදනාවක් පනවන්නේ. අනිත් ආයතන එකකින්වත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් අපට ඇතිකරන්නේ නැහැ.

අනිත් හැම වේදනාවක්ම, විපාක සිතක උපේක්‍ෂා සහගතයි. මෙතනදි, කාය විඤ්ඤාණයට ඇතිවෙන වේදනාව, වෙලාවකට සැප වෙන්නත් පුළුවන්, වෙලාවකට දුක් වෙන්නත් පුළුවන්. මොකද, කයට කෙලින්ම සැප සහ දුක් වේදනා දෙකම ඇතිවෙන නිසා.

ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙනවා. ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණා ටික ඉදිරියේදිත් අපට හසුවේවි.

මතු සම්බන්ධයි

Post a Comment

0 Comments