ආර්ය සීලය 1


ආර්ය්‍ය සීලය - 01

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

රියස්ස භික්ඛවේ සීලස්ස අනනුබෝධා අප්පටිවේදා ඒව මිදං දීඝ මද්ධානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්හාකංච’

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා

‘අනමතග්ගො යං භික්ඛවේ සංසාරා පුබ්බාකෝටි ක පඤ්ඤායති, අවිජ්ජා තීවරණානං තණ්හා සංයෝජනා සන්ධාවතං සංසරිතං මමංචේච තුම්හාකංච’

මහණෙනි, මෙම සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරයේ මුල් කෙළවරක් පෙනෙන්නෙ නෑ. පනවන්න පුළුවන් කමක් නෑ. අවිද්‍යාව නමැති තීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලාත් මාත් බොහෝ කාලයක් සසර ඒ මේ අත දිවුවා සැරිසැරුවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා. 
පින්වතුනි, මේ සසර අපි නිකම්ම දිවුවේ සැරිසැරුවේ නෑ. මේ දීර්‍ඝ සංසාරෙ එක ගමකෙදී තමන්ට ඇඟ ලේ කිරි කරලා පොවපු තමන්ගෙ ආදරණීය අම්මා මැරුණු දුකට අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩියි කියලා පෙන්නුවා, ඒවගේම දහදිය මහන්සියෙන් හම්බ කරලා තමන්ව පෝෂණය කළ පියා මිය පරලොව ගිය වේලාවේ අඬපු කඳුළු එකතු කළොත් ඒත් සතර මහා සාගරේ ජලයට වැඩියි කියලා පෙන්නුවා. ඒ වගේම තමන්ගෙ දුව පුතා සහෝදරයා සහෝදරී අනික් ඥාතී තිතෛෂීන් මැරුණු වේලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් ඒත් සතර මහා සාගරේ ජලයට වැඩියි කියලා පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි. තිරිසන් ආත්මවල උපදිනකොට ගවයො වෙලා එළුවො වෙලා බැටළුවො වෙලා ඉපදුන වාරවල බෙලි කැපුම් කනකොට ශරීරයෙන් ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් ඒත් සතර මහා සාගරේ ජලයට වැඩියි කියලා පෙන්වා වදාලා.

ඒ විතරක් නෙමෙයි පින්වතුනි, මේ දීර්‍ග සංසාරෙ එනකොට අපේ ජීවිතවල ඇති, ඇස් දෙකම අන්ධවෙලා ගල්මුල් වල හැපී හැපී වැටෙමින් කාගෙවත් පිහිටක් සරණක් නැතුව ජීවිතේ අවසන් වෙච්ච වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරුව ඇති. ඒ වගේම අත පය හතරම නැතිව පිලෙක් වෙලා ඉපදිලා දුක් විඳපු ජීවිත ඕන තරම් ඇති. ගස් ගල් පර්‍වතවලින් වැටිලා හිස පොඩිවෙලා මැරුණ වාරවල් ඕනෙතරම් ඇති. හොරි කුෂ්ඨ වගේ රෝග හැදිලා ජීවත්ව ඉද්දිම පණුවො ගහලා මැරුණ ජීවිත ඕනතරම් ඇති.

ඒත් පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අපට පේන්නෙ නෑ. අපිට නොපෙනුනත් භවයතුල, ලෝකය තුළ එහෙම දුකක් තියෙන නිසා, ලෝක සත්වයා එහෙම දුකක් විඳින නිසා, ලොවුතුරා බුදු රජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නෙ,

ඉතින්, ගෙවුන අතීතයෙ බුදු රජාණන් වහන්සේලා ඕන තරම් ලෝකෙ පහල වෙන්න ඇති. අනේ ඒ කාලෙදී අපි මනුස්ස ලෝකෙ නෑ. සතර අපෙය වෙන්නඇති. සමහර විට අසංඥ තලයක වෙන්න ඇති. සමහර විට අරූපී බ්‍රහ්ම ලේකෙක වේන ඇති. සමහර කාලවල මනුෂ්‍යයො වෙලා ඉන්නත් ඇති. බුදු රජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා ඒත් අපි ඉතා ප්‍රාන්ත ප්‍රදේශයක ඉපදිලා කිසිම නුවණක් නැති, කෙළ තොලු, ජඩ, හඟවා දෙන අරුතක් තේරුම් ගැනීමේ මානසික
 
ශක්තියක් නැති උත්පත්තියක් ලබලා ඉන්න ඇති. සමහර අවස්ථාවක අපි හොඳ නුවණ තියෙන හොඳ ඥාන ශක්තියක් තියෙන මනුෂ්‍යයෙක් වෙලා ඉන්න ඇති. ඒත් බුදුරජාණන් වහන්සේ ලොකෙ පහළ වෙලා ඉන්න නැතුව ඇති.

මේ කුමන හෝ කරුණක් නිසා ඒ එකම බුද්ධ ශාසනයක්වත් අපට ආදරයෙන්, ගෞරවයෙන් ඇසුරු කරන්න බැරිවුනා. නමුත්, අද අපිට බොහෝ වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා තියෙනවා. බුද්ධාත්පාද කාලයක් ඒ වගේම වටිනා මනුෂ්‍ය ජීවිතයක් හම්බවෙලාතියෙනවා සසර දුක්ගිනි නිවන සද්ධර්‍මය තියෙන වටපිටාවකුත් ලැබිලා තියෙනවා.

දැන් අවශ්‍යයි අපට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇතිකරගෙන මනාව කන් යොමු කරලා සද්ධර්‍මය ඇහුවොත් අපිට මේ ජීවිතයේම අපේ මිදීම, අපේ නිවීම හදාගන්න පුළුවන්. ඒ හින්දා මං හිතනවා, මං මේ මාතෘකා කළ ගාථාව, සූත්‍ර පාඨය වටිනවා කියලා.

තතාගතයන් වහන්සේ දේශනා කරනවා,

‘අරියස්ස භික්ඛවෙ සීලස්ස අනනුබෝධා අප්පටිවේදා ඒව මිදං දිඝ මද්ධානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්හාකංච’

මහණෙනි, මේ ආර්ය වූ ශීලය අවබෝධ නොකිරීම නිසා ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා නුඹලාත් මාත් බොහෝ කාලයක් සසර ඒ මේ අත දුවන ලදී. සැරිසරන ලදී. මොකක්ද ආර්ය වූ ශිලය කියලා කිවුවේ? දන් මේ පින්වතුන් අහලා තියෙනවා නේද දැන් අපි පෝයට සිල් සමාදන් වුනා. එතකොට ගෙදර දී පන්සිල් සමාදන් වුනා. බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළවෙන්න ඉස්සර වෙලත් පන්සිල් තිබුනනේ. අහල
තියෙනවා නේද? බමුණු යුගයෙත් පන්සිල් තිබුනා.

බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගන්නකොටත් මහාමාහා දේවීන් වහන්සේ අටසිල් සමාදන් වෙලයි හිටියෙ. උපෝසථ අෂ්ඨාංග ශීලය ඒ කාලෙත් තිබුනා.

මං අහන ප්‍රශ්නෙ මේකයි. එදා තිබුන පන්සිල් අටසිල්වලයි, දැන් මේ පින්වතුන් සමාදන් වෙන මේ සිල් වලයි වෙනස මොකක් ද?

පිළිතුරක් - තෙරුවන් සරණ සහිතයි

හරි. තිසරණ සරණ සහිතයි කියන වචනෙන් මේ සිල්පදේ වෙනස් වෙනව ද?

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ටික කියලා මම මේ පදටික සමාදන් වෙනකොට මේ පද ටිකේ වෙනසක් තියෙනව ද?

එදා  පාණාතිපාතා  වේරමණී  සික්ඛාපදං  සමාදියාමි  අදත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉතින් දැන් අපිට තිසරණය නම්, තිසරණ ගත වෙච්ච බව නම් මේ තුල තියෙන වටිනාකම එයින් මේ සිල්පද ටිකේ සිදුවෙච්ච වෙනස මොකක් ද?

පිළිතුරක් - නිවන් අරමුනු කරන බව

නිවන්  අරමුණු  කළා  කිවුවට,  කොහොමද  නිවන  අරමුණු කරන්නේ? දැන් මේ සීලය තුලින් ම අපිට පෙන්නන් ඕන විශේෂයක්. මේ පින්වතුන් දන්නවනේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න පුළුවන් එකක් නේ ද? පුළුවන්. ආර්ය අශ්ඨාංගික මාර්ගය කොටස් තුනකට බෙදනවා. ශිල, සමාධි, ප්‍රඥා. එහෙනම් ශීලය වඩන්න පුළුවන් එකක් නේද? ආර්ය අෂ්ඨාංගික මාර්‍ගයෙ ශීලය වඩන්න පුළුවන් ද, බැරි ද ? පුළුවන්.

හොඳයි දැන් මේ පින්වතුන් අද සමාදන් වුන ‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ මේ පන්සිල් ටික වඩන්න පුළුවන් ද ඕගොල්ලන්ට? වඩන්න පුළුවන් ද? බෑ. ඕගොල්ලන්ට පුළුවන් නොකර ඉන්න විතරයි නේ. එහෙම නේද? කියන්න. කියන්න.
ඔව්.
එතකොට දැන් මොකක්ද මෙතෙන තියන වෙනස?

“දිට්ඨිංච අනුපගම්ම සීලවා - දස්සනෙන සම්පන්නො
කාමේසු විනෙය්‍ය ගේධං - නහි ජාතු ගම්භ සෙය්‍යං පුනරේතීති’

සිල්වතා මිත්‍යා දෘෂ්ඨියට නොපැමිණ දර්ශකයකින් යුක්ත නම් එයාට පුළුවන් කාමයට තියෙන තන්හාව, කෑදරකම දුරු කරලා නැවත මවු කුසකට නොඑන තත්වෙට පත්වෙන්න. ඉතින් මේ පින්වතුන්ට පුළුවන් වෙන්න ඕන, මේක ආර්ය ශීලයක් නම් ඉක්මණට ඒකෙ තියෙන වෙනස කියන්න. කියන්න බෑ කියලා කියන්නෙ තාම අපි එතන නෑ කියන එක මම හිතන්නෙ.

සමහර විට මම වැරදිද දන්නෙ නෑ. මම අහන්නෙ තව දහම් කරුණු නෙමෙයි. මේ ශිලයම. මගෙන් ඇහුවොත් ඔය වචනෙ. මම ඉක්මණට බොහොම ක්ෂණිකව උත්තර දෙනවා. එදා මේ සිල් ටිකේ වෙනසත් අද මේ සිල් ටිකේ වෙනසත් මෙන්න මේකයි කියලා.

පිළිතුරක් - සම්මා දිට්ඨියට පත්වීම.

හරි.  සම්මා  දිට්ඨිය  තමයි.  මම  ඒක  නෑ  කියන්නෙ  නෑ. කොහොමද මේ පන්සිල් ටික වෙනස් වුනේ.

දැන් මං අහන්නෙ ගොඩක් දහම් කරුණු නෙමෙයි. මේ පන්සිල් පිළිබඳවම, අටසිල් පිළිබඳවම හොඳට නුවණ තියෙන්න ඕන. එතකොට තමයි, ආර්ය දර්ශනය මේ සීලය හා බැඳිලා තිබුනොත් තම යි. අපිට මේ සීලය වඩන්න පුළුවන් එකක් වෙන්නෙ. නැත්නම් අපි දන්නෙ එක දෙ යයි. සිල් පදයක් කැඩුනොත් ඒක ආපහු හදාගන්න.

පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියන සිල්පදේ කැඩුනම ඕගොල්ලෝ දන්නවා. මොකක් ද? නැවත සිල්පදේ සමාදන් වෙන්න. මේකම තමයි ඊට පෙර යුගයෙත් තිබුනෙ. ඉතින්, අපි හරියට ශිලය පිළිබඳ දර්ශන මාත්‍රයකට ආවොත් ශිලය පිළිබඳ දැක්ම නිවැරදි වුනොත් අපිට එපමණකින්ම උපදිනවා. කුමක්ද?

දර්ශනයෙන් පහකළ යුතු කෙලෙස් දුරු කරන මඟ උපදිනවා. මේ ශාසනයේ සමාධියට කමටහන් නෑ. මේ ශීලය රැක්කොත් ශීලයම සමාධිය පිණිස පවතිනවා. මේකට කියනවා සමාධි සංවත්තනික ශීලය කියලා. ඒ තරම් මේ ශීලය ගැඹුරට යනවා. මමම එහෙනම් මතක් කරන්නද?

එදා බුදු රජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලත් පන්සිල් අටසිල් තිබුනා. බුදු රජාණන් වහන්සේ ලෝක පහළ වුනාට පස්සෙ, බුදු රජාණන් වහන්සෙ ලෝකෙ තුලවත් හොඳ දෙයක් අයින් කරන්නෙ නෑ. ඒ ටිකම වැඩි දියුණුවක් කළා. මේ ශාසනයේ කෙනා මෙන්න මේ ටික දන්නවා.

මේ පන්සිල් දන්නවා. පන්සිල් රකින්නෙ ගිහි කෙනෙක් නම්, පන්සිල් පද පහත් දන්නවා. ඒ පන්සිල් රැකෙන්නේ කොහොමද කියලා රැකෙන හේතුවත් දන්නවා. පන්සිල් කැඩෙනවා නම් කැඩෙන බවත් දන්නවා. පන්සිල් කැඩෙන්න හේතුවත් දන්නවා. පන්සිල් කැඩෙන්න යම් හේතුවකින් නම් ඒ හේතුව නැති කරන මගත් දන්නවා. සිල් ටිකත් දන්නවා. මේ ශීලය දැන් අපි අද රකින්නෙ පුද්ගල භාවයකින්නෙ. සොරකම් නොකරන්නෙ මම. අනිවාර්යෙන් ම මම කියන වචනය නොකිවුවත් ඔය ක්‍රියාදාමය තුල පුද්ගලභාවය ඉක්මවා ගිය දරශනයක් මතුවෙනවා. මේ සිල්පද සිට සමාදන් වුනාම, මේ සිල් පදය රැකෙනවා නම් රැකෙන්නෙ මෙන්න මේ වගේ වටපිටාවක් නිසා නේද කියලා හේතුව දන්නවා. මේ සීලය කැඩුනා නම් කැඩුනෙ මෙන්න මේ හේතුව නිසයි කියලා සීලය කැඩෙන්න හේතුවත් දන්නවා.

ඊට පස්සෙ සීලය කැඩෙන හේතුවක් තියෙනවා නම් ඒ හෙතුව නැති කරන මගත් දන්නවා.

මෙන්න මෙපමණකින් ම මේ ශිලය ආර්යයි කියනවා. මේ සීලයට කියනවා අරිය කාන්ත සීලය කියලා. ආර්යයන් වහන්සේලා සතුටු වෙනවා, මේ ශීලයෙන්. මේ ශිලය මෙයාට පුළුවන් වඩන්න. මේ ශීලය වඩනවා. කොහොමද වඩන්නෙ?

අද නැති කරනවා හෙට දවසෙ දුශ්ශීල වෙන්න පුළුවන්කම. සතුන් මරන්න පුළුවන්කම. හෙට මගේ අතින් සතෙක් මැරෙන්න තියෙන හේතුව අද නැති කරන්න පුළුවන් මෙයාට. මේක ස්වභාව ශිලය දක්වා ගෙනියන්න ඕනෙ.

එතකොට සිල්පදය රැකුනොත් අපි හිතාගෙන හිටියට මම සිල් රකිනවා කියලා, කුමක් නිසාද මේ සිල්පදය රැකියා තියෙන්නෙ? බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා, හිත. ඒකට හේතුව හිත. මොකක්ද හිත? ආලෝභ, අද්වේශ, අමෝහ.

අලෝභ,  අද්වේශ,  අමෝහ  කියන  හිත  රැක්කොත්,  හිත තිබුනොත්මයි මේ ශීලය කියන එක පවතින්නෙ. ඔන්න එයාට හොඳ නුවණක් එනවා. පන්සිල් සමාදන් වුනාට මේ සීලය කියන එක පවතින්නෙ අලෝභ, අද්වේශ, අමෝහ කියන මෙන්න මේ හිත නිසයි. ඊට පස්සෙ සිල් පදය කැඩුනොත්, සිල් පද කැඩෙනවා නම් එයා ඒකට කණගාටු වෙන්නෙ නෑ. එයා පුද්ගල භාවයක් දකින්නෙ නෑ. එයා දකිනවා. හිත නිසා, මොකක්ද හිත?

ලෝභ, ද්වේෂ, මෝහ අකුසල හිත් නිසයි දුශ්හීල බව කියන එක එන්නෙ. සිල් පදය කැඩෙන්නෙ.   මෙයා දැන් ශීලය රැකෙනවා නම් රැකෙන හේතුවත් දන්නවා. ශිලය කැඩෙනවා නම් කැඩෙන හේතුවත් දන්නවා. දැන් මෙයා සිල් රකින්න කියලා කරන්නෙ මොකක් ද?

මෙයා දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ අකුසල ධර්‍ම එන විදියට හිත හිතා හිටියොත් කවදාවත් මේ ශීලය රකින්න බැහැ. මොකද හේතුඵල දහමක් තියෙන්නෙ. මේ සිල් ටික කැඩෙනවා.

ඉතින් අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සිතක් හැම වෙලාවෙම  පවත්වනවා  නම්  මෙන්න  මේ  හේතුවෙන්  මේ  ශීලය රැකෙනවා. ශීලය රැකෙනවා නම් ශීලය රැකෙන්න හේතුවත්. ශීලය කැඩෙනවා නම් ශිලය කැඩෙන්න හේතුවත් එයා දකින හින්දා මේ දර්ශනයෙන් ඉබේ ම මෙයා යොමු වෙලා තියෙන්නෙ මනස පැත්තට වෙනවා.

හිත හදාගත්තොත් මේ සිල් රැකෙනවා. දැන් අපි සත්තු මරන්නෙ නෑ කියන සිල් පදය සමාදන් වෙනවා. සමාදන් වුනාට හිත ඇතුලෙ ලෝභ, ද්වේශ, මෝහ කියන සිතිවිලි ඇති වුනොත් අපි දන්නෙ නැ කැඩෙනවා. අපිට හේතුව කවදාවත් අහුවෙන්නෙ නෑ. අපි ඒකට කරන්නෙ මොකක් ද? ආපහු සිල පදය සමාදන් වෙනවා. මේ ශීලය කැඩිච්ච හේතුව තිබුනා නම් කවදාවත් අපිට ඒක හම්බවුනේ නෑ. සීලය රැකෙන්න හේතුව තිබුනා නම් ඒක කවදාවත් අපිට හම්බවුනේ නෑ. ඒ හින්දා ඒ කැඩෙන හේතුව නැති කරන තැනට යන්න අපිට පුළුවන් කමක් ලැබුනෙ නෑ. ඉතින් අපිට අද දවසෙදි  හෝ පුළුවන් කමක් තියෙන්නෙ ඕනෙ මේ ශීලය පිළිබඳව මනා අවබෝධයක් ඇතිකර ගන්න. 

වෙන මොකුත් එපා. මේ පින්වතුන් පන්සිල් රකින්න. පොහොය අටසිල් රකින්න පන්සිල් රැක්කොත් එපමණකින්ම අර්හත්වය දක්වාම එන්න පුළුවන්.

මොකද? ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා ශීලය වගෙයි මේ පින්වතුන්ගෙ පන්සිල්. ඕකට කියන්නෙ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය කියලා. නිවනට පමුණුවන ශිලයක් මේ තියෙන්නෙ. නිවනට පමුණුවනවා වෙන්නෙ කොහොමද? අන්න අර මම ඉස්සෙල්ලා මතක් කරපු විදියට, ඉස්සෙල්ලා පෙන්නපු විදියට ශිලයත්, ශීලය ඇතිවෙන හේතුවත්, ශීලය නැතිවීමෙන්, නැතිවෙන හේතුවත් දැනගන්න ඕන. ඊට පස්සෙ මේ පින්වතුන් ශීලය නැතිවෙන හේතුව නූපදින විදියට හැම වෙලාවෙම කටයුතු කළොත් ඒක තමයි ශීලය නැති කරන හේතුව නැති කරන මඟ. තව පැත්තකින් ගත්තොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට මේ ශීලය නැති කරන හේතුව නැති කරන මග.

එතකොට, අපිට සිල් සමාදන් වුනා කියලා නිකම් ඉන්න බැහැ. වැඩක් තියෙනවා දවසෙම. මොනවා හරි දෙයක් කරනවා කියලා පොරොන්දු වුනොත් ඒක කරන්න ඕන නේද? කරන්න ඕන. දැන් අපි කියමුකො කුඹුරක් හරි හේනක් හරි රකින්න යනවනේ. හේනකට යනවා හේන රකින්න. හේන රකින්න කියලා ගිහින් පැලේ නිදාගෙන හිටියොත් හරිද? හරියන්නෙ නෑ. රකින්න ඕන නේ. රකින්න මොකද කරන්න ඕන. ඒ සඳහා උත්සාහවත් වෙන්න ඕන. කෑ ගහන්න ඕන. වටේපිටේ ඇවිදින්න ඕන. සත්තුන්ට එන්න නැතිවෙන්න. බෝග ටික විනාශ නොවෙන්න. නේද? ඒ වගේ දැන් මේ පින්වතුන් සිල් රකිනවා කියලා අද දවසෙ පොරොන්දු වුනා නම්, සිල් රකින්න ඕන. අපි දැන් සිල් සමාදන් වෙලා ඉන්නෙ කියලා පැත්තකට වෙලා හිටියට හරියන්නෙ නෑ. පැලට වෙලා නිදාගත්තට හරියන්නෙ නෑ.

ඒ වගේ කොහොමද සිල් රකින්නෙ? එහෙනම් මේ පින්වතුන් දන්නවා දවස පුරාම මේ දර්ශනයක් තියෙනවා දැන්. මේ සිල් ටික රැකෙන්න නම් මේ සිල් ටික රැකුනා නම් අලෝභ, අද්වේශ, අමෝහ කියන සිත නිසයි. මේ සිල් පදේ කැඩෙන්නෙ හෝ කිලිටි වෙන්නේ හෝ ලෝභ, ද්වේෂ, මෝහ සිත් නිසයි. මම අද දවස පුරාවට ම ලෝභ, ද්වේශ, මෝහ කියන සිත් උපදින්නෙ නැති විදියට ඉන්නවා. අලෝභ,  අද්වේෂ,  අමෝහ  කියන  කුසල  සිතක්ම  පෙරටු කරගෙන ඉන්නවා. එහෙම ඉන්න මට මේ ශීලය කැඩෙන්න හේතුවක් නෑ. මේ ශීලය කැඩෙන්නෙ නෑ. ඉතින් දවස පුරාම කුසල මනසිකාරයක ඉන්නෙ කුමක් නිසා ද? ශීලයට ආදරේ නිසා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

Post a Comment

0 Comments