ආර්ය සීලය 2


ආර්ය්‍ය සීලය - 02

යෝගවන්න විජානති
න සෝ රක්ඛති ගෝ ඝනා 
ඒවං සීලං අජ්නන්නෝ 
කිං සෝ රක්ඛිය සංවරා

හරක් ගැන නොදන්න කෙනාට හරක් රකින්න බැහැයිලු. ඒ වගේ සීලය ගැන නොදන්න කෙනාට සීලය රකින්න බැහැයිලු. සීළය කියන්නෙ මොකක් ද? සීලය රකින්නෙ කොහොම ද කියලා දන්නෙ නැති කෙනා කොහොමද සීලය රකින්නෙ?

එහෙනම්, අපි ශීලය රකින්න ඕන. ඒ කියන්නෙ අපි කොච්චර පුද්ගල භාවයකින් මේ දේ කරන්නෙ නෑ කියලා හිටියත්, හේතු ටික සම්පූර්ණ වුනොත් ඒ දේ වෙනවා. ඒ හින්දා සීලය කැඩෙන්න තියෙන හේතුව ඇති නොවන විදියට කටයුතු කරන එක තමයි මේ ආර්ය ශිලය කියලා කියන්නෙ. මෙන්න මේ සීලයේ ස්වභාවය අපිට තේරුම් ගන්න බැරිවෙච්ච හින්දයි මෙච්චර කාලයක් අපි සසර ඒ මේ අත දිවුවෙ සැරිසැරුවෙ. ඉතින් අපි කරන්න ඕන දේ තමයි දවස පුරාවට ම සිල් රකින්න ඕන. පන්සිලුත් එහෙමයි. පන්සිල් ටික පෙන්නුවෙ ඒ නිසයි. නච්ච, ගීත, වාදිත මේවා පෙන්නුවෙ නැත්තෙ ඇයි. ගෙවල් දොරවල් වල ඉන්නකොට ඕවා කැඩෙනවා. එතකොට බොරු කරන්න වෙනවා. පන්සිල් විතරක් කැඩෙන්නෙ නැතුව ඉන්න පුළුවන්.

මොකද? රකින්න තියෙනවා ගෙදර ඉඳගෙනත් මේ ශීලය. මේගොල්ලො වැඩ කටයුතු කරන කොටත් දන්නවා මේ සිල්පදය කැඩෙන්න හරි කිලිටි වෙන්න හරි පුළුවන්. ලෝභ, ද්වේශ, මෝහ සිතිවිලි උපන්නොත් කොයි වෙලාවක හරි කැඩෙනවා.

ඒ හින්දා ගෙදර දොරේ වැඩ කට යුතු කරනකොට නිතරම ලෝභ, ද්වේශ, මෝහ ඇති නොන විදියට කටයුතු කරන්න ඕනෙ. මේක උපායක් ශීලය කියන එක.  මේ විදියට ශීලය රකින්න  හිත රැකගෙන කටයුතු කළොත් හිත සමාධි වෙන්නෙ ඉබේමයි. නීවරණ දුරු වෙන්නෙ ඉබේමයි.

එතකෙට තීවරණ දුරු වෙනකොට අහලා තියෙන සද්ධර්‍මයක් තියෙනවනේ. පංච උපාදානස්කන්ධයේ උදය වැය බලන්න. මෙන් මේ දන්න දේ එදාට පෙනෙයි. තාම හැබැයි පේන්නෙ නෑ. මෙන්න මේ සඳහායි අපි සිල්වත් වෙන්න ඕන. සිල් සමාදන් වෙන්න ඕනෙ. එතකොට ආර්ය ශීලය කියනකොට වෙනස ඔන්න ඕකයි. තිරණයෙන් අපිට ආවෙ ඔන්න ඔය අත්දැකීම. මේ පන්සිල් තිසරණ සහිතයි කියන එකෙන් කියන්නෙ ඕකයි. ධර්මයේ පෙන්නුවා බුදුරජාණන් වහන්සේ මේ සිල් පදයත් මේ ශීලය ඇතිවෙච්ච හේතුවත්, මේ ශිලය නැතිවෙන හැටිත් නැතිවෙන හේතුවත් පෙන්නුවා. ධර්‍මය කියලා කියන්නෙ ඒකයි. තුණුරුවන් ඔතෙන්ට සම්බන්ධයි, සිල් පදයට. 

එතකොට ඒ දහම තුණුරුවන් සහිතයි. සිල් පදය කියලා කියන්නෙ ඒ නිසයි. වටින්නෙ අනිත් අයට වඩා, තිසරණගත ශිලයක් කියලා කියන්නෙ ඒකයි. තුණුරුවන්  සරණ යාමෙන් හම්බවුනා දර්ශනයක්. මේ ශිලය අරබයා තේරෙනවා නේද මේ පින්වතුන්ට? ඔය පිළිබඳ මොනවා හරි ප්‍රශ්න ගැටළු තියෙනවද? මොකද මම කිවුවෙ මම අද දේශනා විලාසයෙන් නෙමෙයි මේක කරන්නෙ. ධර්‍ම සාකච්ඡාවක් විදියටයි කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මේ පින්වතුන්ට වැඩි යමක් අවබෝධ කරලා දෙන්න. එතකොට අපිට මේ ශාසනයේ සමාධිය පිණිස පෙන්නලා තියෙන්නෙ ශීලයමයි.

බුද්ධානුස්සති මෙත්තාච 
අසුභං මරණස්සති
ඉති ඉමං චතුරාරක්ඛා 
භික්ඛු භාවේය සීලවා

බුදුගුණ, අසුභය, මරණය, මෛත්‍රිය කියන මේ හතර සිල්වතා ආරක්ෂාව පිණිස වඩනවා. ආරක්ෂාව කියන කොට අපි හිතන්නෙ මේ ටික කරනකොට යක්කු පෙරේතයො, පිසාචයො අපිට ළං වෙන්නෙ නැහැ කියලා. එහෙම නෙවෙයි. මේ ශීලයේ ආරක්ෂාව පිණිස, සීලය රැකෙන්නෙ මෙහෙමයි.

තමන් දුකට වැටෙන අකුසල කර්‍ම නොවී තමන්ව රැකෙන්නෙ මෙහෙමයි. ඒ නිසයි සිල්වතා හැම වෙලේ ම මේ ටික කරන්නෙ. මෙන්න මේ ටික කරන්න ඕන. එතකොට අපි සීලයක පිහිටියොත් මේ විදියට ඒ සිල්පද ටික සමාදන් වෙනවා. සමාදන් වෙලා, කරන්නෙ නෑ කියලා ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න නිතරම හිත රැකගෙන ඉන්නවා. අලෝභ, අද්වේශ, අමෝහ. මේ විදියට කටයුතු කරනකොට, මේ හිතේ තියෙන ආවරණිය ධර්‍ම නැත්නම් නීවරණ ධර්‍ම දුරු වෙනවා. දුරුවෙන දවසට ඇත්ත ඇති හැටිය දකිනවා. 

මොකේද ඇත්ත ඇති හැටියෙ දකින්නෙ? 
මොකක්ද ඇත්ත ඇති හැටියෙ දකින්නෙ අපි?
ඇත්ත ඇති හැටියෙ සමාධිගත මනසකින් දකින්නෙ? 
සිතේ ක්‍රියාකාරීත්වය?
පංච උපාදාන ස්කන්ධයේ උදව වැය?

එතකොට ඇත්ත ඇති හැටියෙ දකිනවා මේ දුක, මේ දුක ඇතිවිම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟ, මේ හතර යථාභූතව දකිනවා. ඊට පස්සෙ මේ ආශ්‍රව, මේ ආශ්‍රව සමුදය, මේ ආශ්‍රව නිරෝධය, මේ ආශ්‍රව නිරෝධ ගාමිණී ප්‍රදිපදාව යථා භූතව දකිනවා. එහෙම දකිනකොට සියළුම ආශ්‍රව ධර්‍ම ක්ෂය වෙලා යනවා. ඉතින් මෙන්න මෙබඳු වූ ඥාණ දර්ශනයක්  නිසයි මේ සීලයේ පටන්ගැන්ම වෙන්නෙ. මං අද මේ ටික මතක් කළේ සිල් සමාදන් වෙච්ච පිරිසක් ඉන්න නිසයි.

එතකොට මට උදේ ප්‍රශ්න වගයක් එවලා තිබුනා. විශේෂයෙන් ම මම එකම එක කරුණක් මතක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්‍මය ටිකක් ගැඹුරු තැනකට නවා. ඒකෙන් මට තේරෙන විදියට මම පොඞ්ඩක් මතක් කරන්නම්.

මගේ මේ දේශනයෙන් පැහැදිලි කරලා දෙන්න කියලා කරුණු කිපයක් ඉල්ලලා තියෙනවා. දර්ශනයෙන් පහකළ යුතු කෙලෙස් කියන්නෙ මොනවද? කියලා තව දුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා.
 
මෙතන කරුණු දෙකක් තියෙනවා. දස සංයෝජන දන්නවනේ මේ පින්වතුන්, දන්නවා දස සංයේජන කොටස් දෙකකට බෙදනවා. දිට්ඨින් වන සංයෝජනන් වන ධර්‍මයෝ තියෙනවා. දිට්ඨි නොවන සංයෝජන පමණක් වන ධර්‍මයෝ තියෙනවා.

දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ධර්‍මතා තුන සංයෝජන, නමුත් දිට්ඨි සහගතයි අනිත් සංයෝජන හත සංයෝජන විතරයි. දිට්ඨියක් නැහැ. ඉතින් ඉස්සෙල්ලාම දිට්ඨි සහගත සංයෝජන දුරු කරපු කෙනාටම දිට්ඨි නොවන සංයෝජන දුරු කරන්න පුළුවන් වෙනවා.

උදාහරණ හැටියට කිවුවොත් අවිද්‍යාව නැති කළ කෙනාටම ආශ්‍රව ක්ෂ්‍ය කරන්න පුළුවන්. එහෙම නැතිව අවිද්‍යාව දුරු නොකළ කෙනාට ආශ්‍රව ක්ෂය කරන්න බැහැ. අවිද්‍යාව නිසයි ආශ්‍රව ධර්‍ම ඇතිවෙන්නෙ. අවිද්‍යා නිරෝධො - ආසව නිරොධ අවිද්‍යාව නැති වීමට ආශ්‍රව නැති වීම වෙනවා.

යම්කිසි කෙනෙක් ආශ්‍රව ධර්‍ම ක්ෂය කරන්න පටන් ගන්නවා නම් ඒ දර්ශනයකින් යුක්තවමයි. දර්ශන භූමියට පත් වෙනවා අවිද්‍යාව නැති වෙනකොට. එතකොට මං ඒකට උපමාවකින් කියන්නද? දැන් මේ පින්වතුන් වාහනේක යනවා කියන්නකො. ඔන්න දැන් යනකොට වාහනේ කැඩෙනවා. දැන් මේ ගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. වාහනේ යන්නෙ නැ. වාහනේ කැඩිලා ප්‍රශ්නෙ තේරෙනවා. දැන් කැඩිච්ච තැන දන්නෙ නෑනෙ. යතුර කරකවලා බලනවා. බැටරි වයර් හොල්ලලා බලනවා. ඔන්න කැඩිච්ච තැන හම්බවෙනවා. දැන් ඕගොල්ලො ඉස්සෙල්ලා වගේ කොහොම හරි වාහනේ ගෙනියන්න ඉලනවද? නෑ.

දැන් දන්නවා කැඩිලා තියෙද්දි වාහනේ ගියා නම් තමයි පුදුමෙ. වාහනේ නොයන බවත් දන්නවා. නොයන්න හේතුවත් දකිනවා. ඒ හේතුව නැති කළාම වාහනේ ගෙනියන්න පුළුවන් කියලත් දන්නවා. හදන්න ඕන මෙන්න මෙහෙමයි කියලත් දන්නවා. තේරුනා නේද? දැන් ඒ දැනුම තිබුණට වාහනේ ගෙනියන්න පුළුවන්ද? බෑ. දැන් ඊට පස්සෙ මොකක්ද කරන්නෙ. දැන් තමයි වාහනේ ගෙනියන තත්වෙට හදන මග සෙයා ගත්තෙ නේද? එහෙම නේද?
 
දැන් තමයි අපි වාහනේ හදන්න හදන්නෙ. ගෙනියන තත්වෙට පත් කරගෙන්න හදන්නෙ. ඔන්න දැන් ඒක හදන්නෙ මෙහෙමයි කියලා දැනගත්ත ක්‍රමේට හදනවා. හදලා ඉවර වෙච්ච දවසට වාහනේ ගෙනියන්න පුළුවන් නේ. ඕfදි මං මට තේරෙන විදියට උපමාවක් කළේ. වාහනේ කැඩිලා වගේ තමයි අපේ ජීවිතේ ප්‍රශ්නය. ජරා, මරණ, දුක. ඉතින් මේ දුකට හේතුව හරියටම නොදන්න කෙනා මෙතනින්ම දුක නැතිකරගන්න හදනවා. අර හේතුව නොදන්න කෙනා යතුර කරකවා කරකවා කොහොම හරි අරගෙන යන්න හදන්නෙ. ඒ වගේ මෙතනින්ම දුක නැති කර ගන්න හදනවා. ඒ වුනාට දුක නැති වෙන්නෙ නෑනෙ. වාහනේ ගෙනියන්න බෑ.

ඒපාර ඔන්න වාහනේ නොයන හේතුව හොයනවා. ඒ වගේ දුක හින්දා දුක නැතිකරන මඟ හොයනවා. 

ඇහැ අනිත්‍යයි.
රූපය අනිත්‍යයි.
චක්ඛු විඥානය අනිත්‍යයි. 
චක්ඛු සම්ඵස්සය අනිත්‍යයි. 
ඇහැ අනාත්මයි.
ශරීරය අසුභයි.

මේ හැම එකක්ම මොකක්ද මේ. හේතුව සොයන තැනට තියෙන්නෙ. එතකොට මෙහෙම ගවේෂණය කරගෙන, කරගෙන යනකොට අපිට හම්බවෙනවා, මොකක්ද. වාහනේ කැඩුන හේතුව. ඒ වගේ දුක ආපු හේතුව. හේතුව කියනකොට මේ අපි දන්න මට්ටම නෙමෙයි. ඒ අපි දන්න මට්ටමෙන් ඔබ්බට ගිය යථාර්ථය. කැඩිච්ච තැනම හොයාගන්න තමයි මේ පර්යේෂණය. බැටරි වයර් හොල්ල හොල්ලා මේ ඇන්ජිම පරීක්ෂා කරන්නෙ. මොකටද? කැඩිලා තියෙන්නෙ කොතනද කියලා හොයන්න. ඒ වගේ මේ දුක ආපු හේතුව කොතනද කියන එක තමයි මේ හොයන්නෙ. හොයනවා. හොයන කොට ඔන්න හම්බවෙනවා. තණ්හාව. තණ්හාව කියනකොට ඒත් තවම අපි දන්න මට්ටම නෙවෙයි. එයින් ගොඩාක් ඔබ්බෙ.

එතකොට මේ හේතුව නැති කළොත් මේ දුක නැති වෙනවා කියලත් දකිනවා. මේ හේතුව නැති කරන්නෙ මෙන්න මේ විදියටයි කියලත් දකිනවා. ඔන්න ඕකට කියනවා දර්ශනයෙන් පහකළ යුතු කෙළෙස් චාතූරාර්ය සත්‍යය. අවිද්‍යාව දුරු වෙනවා. දැන් වාහනේ කැඩුන තැන දැක්කා කියලා වාහනේ ගෙනියන්න බෑනේ. ඒ වගේ ජීවිතේ දුක දැක්කා. දුක ඇතිවෙන හේතුව දැක්කා. ඒ හෙතුව නැති කළොත් දුක නැතිවෙනවා කියලා දැක්කා. මේ හේතුව මෙන්න මේ විදියට පිළිපැදලා නැති කරන්න ඕන කියලා නැති කරන මගත් දැක්කා.

දිට්ඨි ඥානං
දුක්ඛ සමුදයේ ඥානං 
දුක්ඛ නිරෝධේ ඥානං
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥානං

නමුත් ගෙනියන්න බෑ. ආශ්‍රව ක්ෂය වෙලා නෑ තව.වාහනේ හොඳන් හදන්න ඕනෙ. දැන් තමයි මග උපන්නෙ. මාර්ගය වඩන්න කරුණු උපන්නෙ. දැන්. තේරුණාද මේ පින්වතුන්ට මම කියන එක.

එතකොට ඒ වාහනේ කැඩුන තැන හැදුවොත්, ටික ටික හදනවා කියන්නෙ යන්න පුළුවන් තත්වෙට එනවා නේ. මෙන්න මේ දර්ශනයට ආපු කෙනා යමක් කළොත් කරන්න ගත්තොත් ටික ටික හැදෙනවා. දුක නැතිවෙනවා. එයිට මෙහා වාහනේ කැඩිච්ච තැන හොයන්න යන කාලෙ. ඒ කියන්නෙ වාහනේ නොයද්දි කැඩිච්ච තැන හොයන්නත් අපි පර්යේෂණයක් කළානේ නේද? ඒ කාලෙට කියන්නෙ ණෑ මාර්ගය කියලා. ඒ උත්සාහය දක්ෂ වෙන්නෙ නෑ සියළු දුක අපෙන් ගෙවලා දාන්න. මේ ජීවිතයේ දී වත් අනාගතයේ දී වත්, ඒ මට්ටමේ දි පුණ්‍යාභිසංඛාරයක් වෙනවා. කුසලයක් සිද්ධ වෙනවා. ඉතින් මම දකින දේ මෙහෙමයි.

දැන් අපි ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය මේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා දුක. වාහනේ යන්නෙ නෑ. දුක දකිනවා. ඔන්න දැන් ප්‍රශ්නෙ තියෙනවා. මේකට හේතුව මොකක් ද? කියලා කෙනා කෙනා ලෝකෙ එක එක මටටම් වලට මේකට හේතුව සොයනවා. මේක නැති කරන්න හේතු. එතකොට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. බල බලා මේ හොයන්නෙ යථාර්ථය. දුක ඇතිවෙච්ච හේතු මූල්‍ය හොයන්නෙ අපි.

එතකොට අපි මෙහෙම හොයාගෙන, හොයාගෙන, හොයාගෙන ගියොත් යම් දවසක ස්කන්ධ, ධාතු ආයතන කියන්නෙ අපේ විමර්ශනයට ලක් විය යුතු තැන්. කුමටද අපි මේවා විමර්ශනය කරන්නෙ. මොකටද සම්මර්ශනය කරන්නෙ. මෙහෙම හොයාගෙන, හොයාගෙන ගියාම අපිට හම්බවෙනවා පරමත්ථ කියලා තැනක්. යමක් බෙදලා බෙදලා නැවත නොබෙදිය හැකි තැනක් තියෙනවා ලෝකෙ. අහලා තියෙනවා නේද සතර පරමාර්ථ ධර්‍ම කියලා. චිත්ත, චෛතසික, රූප කියලා.

මෙන්න මේ තැන දක්වාම අපේ පර්යේෂණය යනවා. එතකොට දන්නවා ලෝකෙ යථාර්ථය මෙන්න මෙතැනයි. මෙන්න මෙතන අපේ දර්ශනය නැති නිසයි මනස නැති නිසයි. ඒ අවිද්‍යාව නිසයි අපිට තණ්හාව ඇතිවෙලා මේ ලෝකෙ උපදින මට්ටමට ඇවිල්ලා තියෙන්නෙ කියලා.

මං මේ කතා කරන තැන ටිකක් ගැඹුරු, වෙනවා. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් මේ තණ්හාව කියන එක යනවා අපේ සිතීමේ ධර්‍මයෙනුත් ඔබ්බට. දැන් මේ වේලාවේ දී එකපාරට විශාල වෙඩි සද්දයක් ඇහුනොත් ඔයගොල්ලෝ බය වෙනවද? ගැස්සෙනවද? ගැස්සෙනවා.

එතකොට ඔයගොල්ලො හිත නිතාද ගැස්සුනේ. ඔන්න මම දැන් බය වෙන්නයි යන්නෙ කියලා. නෑ. එහෙනම්, ඉබේමයි නේ. එතකොට හිතීමේ පරාසයෙනුත් ඔබ්බට ගිය කෙලේසයක් තියෙන්නෙ. ඒ ගැස්සෙන්නේ ඇයි? මේ ජීවිතාශාව. ජීවිතේට තියෙන කැමැත්ත. මට කරදරයක් වෙන්න වෙයිද දන්නෙ නෑ කියලා. හිතීමේ පරාසයෙනුත් ඔබ්බට ගිය මේ කෙලේසය ඕගොල්ලන්ට මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා මනසිකාර මටට්මෙන් නැති කරන්න පුළුවන් කියලා හිතනවද?
 
අඩි 20 ක් ගැඹුරු ළිඳක වතුර තියෙනවා. ඔයගොල්ලො අතේ තියෙන්නෙ අඩි 15 ක ලණුවක්. වතුර ගන්න පුළුවන්ද? දැන් ළිඳ උස්සන්න පුළුවන් ද ඉතිරි අඩි 5 ට. මොකක් ද කරන්න වෙන්නෙ? ලණු කෑල්ලක් තව ගැටගහලම ගන්න වෙනවාමයි. ඊට මෙහා ගන්න පුළුවන් කමක් තියෙනවද වතුර? එහෙම ගන්න පුළුවන්කමක් නෑ. ළිඳ උස්සන්න පුළුවන් කමකුත් නෑ. ඒ වගෙයි අපටත් මේ හිතීමේ පරාසයෙන් ඔබ්බට ගිය කෙලේසය හිතන සීමාව තුලින් නැතිකරන්න බහැ. ඒක උසස්ලා ආයේ ගන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් ඒ හිතීමේ පරාසයෙන් ඔබ්බට ගිය මානසික මට්ටම අතහැරලා අපේ සිහිය නුවණ මේ තැන දක්වා හසු කර ගන්නයි අපි මේ පර්යේෂණය කරන්නෙ. ඒ කියන්නෙ වාහනේ කැඩිලා තියෙන හේතුව වූ තැනින්ම හම්බවෙන්න ඕනෙ අපිට.

තණ්හාව කියන කොට අපේ මට්ටම්වල තණ්හාව නෙමෙයි. උදාහඍණයක් ගන්න දැන් කාම භූමියේ අපේ මට්ටමේ තණ්හාවක් තියෙනවනේ. මීට වඩා සියුම් ස්කන්ධ තියෙන්නෙ රූප භූමියේ නේ. ඊට වඩා සියුම් තණ්හාවක් තියෙන්නෙ අරූප භූමියෙ නේ.  එතකොට මේ තණ්හාවේ කෙළවර, අපිට මේ මට්ටමෙන් රහත් වෙන්න බැහැ. අපි මේ හිත වඩන කොට අපිට රූප භූමියේ මට්ටමේ උපක්ලේශ මතුවෙනවා. ඒ මට්ටම දුරු කරනකොට අරූප භූමියෙ මට්ටමේ උපක්ලේශ හමුවෙනවා.

මේ තණ්හාවෙ යථාර්ථය ඔතෙන්ට යනකම් යනව.ා අපි තණ්හාවෙ යථාර්ථය කියලා දකින්නෙ අපි ඉන්න මට්ටම නම් වැරදියි. එතකොට මේ භූමියේ ඉඳගෙනම තණ්හාව මේ මට්ටමට යනකම් ගිහිල්ලා නේද කියලා හම්බවෙන්න ඕන අපිට. තේරුනාද මං කියන එක?

ඇයි ඒ එහෙම කියන්නෙ? කාම භූමියෙ අයත් භවයෙ නේද ඉන්නෙ. ජරා, මරණ වලින් මිදිලද? රූපී භවයේ රූපී බ්‍රහ්මයෝ භවයෙද ඉන්නෙ. නැද්ද. භවයෙ ඉන්න. එයා ජරා මරණ වලින් මිදිලද? නෑ. අරූපී බ්‍රහ්ම ලෝකෙ අය භවයෙද ඉන්නෙ. නැද්ද. එයා ජරා මරණයෙන් මිදිලද නැද්ද. නෑ.

එහෙනම් මේ තණ්හාව කොතෙන්ට යනකම් ගිහිල්ලද? එතෙන්ට ගිහිල්ලා. තණ්හාවේ රළු කොටසක විපාක අපි විඳින්නෙ. අපි වින්දා කියලා මේක නිෂ්ඨාව නෙමෙයි. මෙතන මේ ගවේෂණය දැන් අපි කරන්නෙ වාහනේ කැඩිච්ච තැන හොයනවා මේ. දැන් අපිට හම්බවෙන මට්ටමක් තියෙනවා තණ්හාව. අපි මේ හොයන්නෙ මොකටද? තණ්හා අනුසය කියන එක හොයා ගන්න. තණ්හාව ඇතිවෙලා තියෙන හේතුව කොතනද කියලා හොයාගන්න.

එතකොට  මෙන්න  මේ  විදියට  ස්කන්ධ,  ධාතු,  ආයතන, ගවේෂණය කරගෙන, කරගෙන ගියාම අපිට හම්බවෙන ඒකාන්ත වූ යථාර්ථයක්. මොකක්ද?

මේ පින්වතුන් දන්නවා නේද සම්මත සහ පරමාර්ථ කියලා දෙකක් තියෙනවා
තියෙනවා.
පරමත්ථ කියලා කියන්නෙ මොකක්ද?

යමක් නම් යථාර්ථය යමක් නම් වූ ස්වභාවය එසේම පවතින බව. සම්මතය  කියලා  කියන්නෙ පේන්න  තියෙනවා.  යථාර්ථය වශයෙන් නැහැ. විමර්ශනයකට ලක්කළොත් අතුරුදහන් වෙනවා. පරමාර්ථය පේන්න නෑ. විමර්ශනයකට ලක් කළොත් මතු වෙලා එනවා. 

ඉතින්, මෙතන වෙනස අර වාහනේ කැඩුන තැන හොයාගන්න
 
යනකොට අපේ පර්යේෂණයට ලක් වෙන්නෙ අපි ඉන්න ලෝකය සම්මතය. ඊට පස්සෙ කැඩිච්ච තැන වගේ හම්බවෙන්න ඕන අපිට, තථාගතයන් වහන්සේ ඇති කල්හිත්, නැති කල්හිත් අපි දැනගත්තත් නොදැනගත්තත් ලෝකයෙ පවතින යථාර්ථයක් තිබුනා. ඕකට කියනවා යථාභූත ඥානය කියලා. මෙන්න මේකයි අපිට හම්බවෙන්න ඕනෙ. ඇත්ත ඇති හැටියට. පවතින ධර්‍මතාවය.

මෙන්න මේ තැන නොදන්නා වූ අවිද්‍යාව නිසයි අපි ඊට මෙහා මේ ඇවිල්ලා තියෙන්නෙ ඔක්කොම. අපි දැන් මේ ඉන්නෙ එළියට ඇවිල්ලා. මෙහෙන් ආයෙ යන්න බැහැ. ආයෙ යන්න ඕන ඇතුලටම. එතකොට කාම භූමියෙ චතුරාර්ය සත්‍යය, රූප භූමියෙ චතුරාර්ය සත්‍යය, අරූප භූමියේ චතුරාර්ය සත්‍යය කියලා එහෙම එකක් නැහැ. මේ යථාර්ථය ගත්තහම චතුරාර්ය සත්‍යය කියන තැනකට එනවා.

මෙන්න මෙතෙන්ටම එන්න ඕන අපේ දර්ශනය. එතකොට මං මෙතෙන්දි එක දෙයක් මතක් කළේ. චිත්ත, චෛතසික, රූප කියන පරමාර්ථය, ධර්‍මතාවය අපිට හම්බ වුනොත් මේ තමයි දුකේ අවසානය කියන තැන. එතකොට පුද්ගලභාවය අත හැරෙනවා. රූපය කියන එක ධාතු මාත්‍රයක් වෙනවා. ඔන්න ඊට පස්සෙ අපිට වාහනේ කැඩුන තැන හම්බවෙන තැනට එනවා.

දැන් මෙන්න මෙතන මේ කැඩුන එක හැදුවොත් වාහනය ගෙනියන්න පුළුවන්. අපේ මනස මෙන්න මේ මට්ටමේ තිබුනොත් දුක නැතුව ඉන්න පුළුවන්. ඒ සඳහා කළයුතු යමකුත් තියෙනවා. මාර්ගයකුත් පෙන්නුවා තථාගතයන් වහන්සේ මෙන්න මේ දේ කළ යුතුයි කියලා.

ඔන්න ඔය ටික අපි දකින් ඕන. මෙන්න මේ දැක්මට කියනවා මොකක්ද දිට්ඨි සම්පන්නයි කියලා. එතකොට එදා ඉඳන් තනියම ජීවත් වෙන්න දන්නවා එයා. පරප්‍රත්‍යය රහිතයි කියනවා. බණ අහන්න හම්බවුනත්, නැතත්
කෙනෙක් බණ කිවුවත් නැතත් කැලෑවකට ගියත් නැතත් තමන් තනියම ජීවත් වෙන්න දන්නවා එදා ඉඳලා. එච්චරට බලයි මං මේ කියන තැන. ඒ දර්ශනයට ආවොත් ඕගොල්ලො මාර්ගයත් දන්නවා . ඒ කියන්නෙ වාහනේ කැඩුන බවත් දන්නවා නම්, නොයන බවත් දැනගත්තොත්, වාහනේ නොයන හේතුවත් හොයලා හම්බවුනොත් ඔයගොල්ලන්ට වාහනේ මේ කැඩුන තැන හැදුවොත් වාහනේ ගෙනියන්න පුළුවන් කියලත් දන්නවා නම්, මෙන්න මෙහෙමයි හදන්නෙ කියලා හදන ක්‍රමෙත් ඔයගොල්ලො දන්නවා නම්, ඔයගොල්ලො ගාව අඬුත්, යතුරුත් තියෙනවා නම්, පිටින් බාස් උන්නැහේ කෙනෙක් ගේන්න ඕනෙද. එහෙම නොදන්න කෙනෙකුට නේද මේ වාහනේ හදන්න පිටින් බාස් උන්නැහේ කෙනෙක් ඕන වෙන්නෙ. එහෙම නේද?
 
මං කියන එක තේරුනාද? එහෙනම් යම්කිසි කෙනෙකුට, කෙනෙකුගෙ වාහනය හදන්න තව බාස් කෙනෙක් ගේන්න වෙන්නෙ මොන වගේ කෙනෙකුටද? වාහනේ හදන්න නොදන්න කෙනාට නේ? එතකොට, වාහනේ කැඩුන බවත් දන්නවා එ යා නොයන බවත් දන්නවා. කැඩුන තැනත් දන්නවා ඒක හැදුවහම යන්න පුළුවන් කියලත් දන්නවා. හදන හැටිත් දන්නවා. හදන හැටි දන්නවා කියන්නෙ මාර්ගය. දැන් මෙයත් හදාගන්න පුළුවන්. ඒකයි කියන්නෙ පරප්‍රත්‍යය රහිතයි. ‘නියතො සම්බෝධ පරායතො’ නිවනට නියතයි. ආයෙ කෙනෙක් උදවු කළත් නොකළත් යනවාමයි. ඉතින්. අපි ගාව ඔන්න ඔය දැක්ම ඇතිවුනොත් ඕකට කියනවා දර්ශනයෙන් පහකළ යුතු කෙලෙස් දුරුයි කියලා. දර්ශන භූමියට පත්වෙලා කියනවා.

ඒකෙදි වාහනේ නොයනවා වගේ පෙන්නුවෙ මොකක්ද? පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය දුකයි කියලා දකිනවා. දුකට හේතුව දකිනවා කොහොමද? කොතෙන්ටද?

දුකට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව එතනින් නතර කරන්න බෑ. තණ්හාවට හේතුව මෙහෙම ගිහිල්ලා දකිනවා අවිද්‍යාව කින තැන. ඒකයි මං කිවුවෙ අපි අද තණ්හාව කියලා දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැති වුනොත් දුක නැතිවෙනවා කියලා අපි මෙතනින් නේ දකින්නෙ. ඉතින් මෙතනින් හරියනවා නම් බුදු රජාණන් වහන්සේට තිබුණා දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති කළොත් දුක් නැතිවෙනවා. ඒ හින්දා මහණෙනි, තණ්හාව නැති කළොත් දුක නැතිවෙනවා. ඒ හින්දා මහණෙනි, තණ්හාව නැති කරන්න කියලා, එහෙම පනවලා තියෙනවද කොහේවත්. නෑ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

Post a Comment

0 Comments