ආර්ය සීලය 3


ආර්ය්‍ය සීලය - 03

දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුනොත් දුක නැති වෙනවා ඒ හින්දා මහණෙනි, සම්මා දිට්ඨිය ඇති රකගන්න. එහෙම නේද පෙන්නලා තියෙන්නෙ. මාර්ගෙට පනවලා තියෙන්නෙ සම්මා දිට්ඨි. ඇයි ඒ? තණ්හාව නැති කළෙත් දුක නැතිවෙනවා නම් තණ්හාව නැති කරන්න කිවුවා නම් හරිනේ. ඔතනින් බෑ කරන්න. එතකොට පුද්ගලයෙක්ගෙ දර්ශනයට එනවා.
 
ඊට පස්සෙ තණ්හාවට හේතුව මොකක්ද කියලා පෙන්නනවා. බුදු රජාණන් වහන්සේ. මොකක්ද තණ්හාවට හේතුව. වේදනාව, වේදනාවට හේතු ඵස්සය. මේ විදයට ගියාම අවිද්‍යාව කියන තැනටම යනවා. අවිද්‍යාව කියන කොට අවිද්‍යාව නිසා කර්ම රැස්වෙන හැටි චක්‍රය අනික් පැත්තට එනවා. අවිද්‍යාව නැති වෙනකොට කර්ම නැති වෙනවා.

එතකොට අවිද්‍යාව නැති වෙන්නෙ කුමක් නිසා ද? 

විද්‍යා උප්පාදො අවිද්‍යා නිරෝධා.
සම්මා දිට්ඨි සා විද්‍යා
විද්‍යා උප්පාදො අවිද්‍යා නිරෝධා 

සම්මා දිට්ඨිය කියලා කියන්නෙ විද්‍යාවක්. විද්‍යා උපන් කල්හි අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයි. චක්‍රය හැරෙනවා. එතකොට මෙන්න මේ අවිද්‍යාව කියන තැනත් හොයාගන්න. පංච උපාදානස්කන්ධය දුකයි. දුකට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව කියන කොට දකිනවා දැන් මේ අපේ මට්ටම නෙවෙයි දකින්නෙ.

මේ පංච උපාදානස්කන්ද දුකනේ. මේ දුක දුක් වූ තැනට හටගත්ත හේතුව කියන තැන හම්බවෙන්න ඕන එතකොට මේ දුක හටගත්ත පිළිවෙලයි දැන් මේ හොයන්නෙ. එතකොට පේනවා ලෝකෙ යථාභූත ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ තැන නොදන්නා වූ අවිද්‍යාව නිසා කර්‍ම රැස්කරගෙන මේ පංච උපාදානස්කන්ධයක් හදාගත්ත හැටි. දුක ආපු හැටි පෙන්නනවා. එතකොට මේ දුක නැතිවෙන්න හේතු ටිකත් පෙන්නනවා. අවිද්‍යාව නැති වෙනකොට මේ ටිකත් නැති වෙන හැටි. සම්මා දිට්ඨි කියනකොට ඇත්ත ඇති හැටිය බලන්න ඇත්ත ඇති හැටිය කියනකොට ඒක කුමන ඇත්තක් වෙන්න ඕනද?

ඒ කියන්නෙ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් සාධාරණ වූ අනික් අයට සාධාරණ නොවන දේ ඇත්ත ද? සම්මා දිට්ඨිද? නෑ. එහෙනම් කාම භාවයට විතරක් නම් රූප භවයට අරූප භවයට නැත්නම් සම්මා දිට්ඨිද? යථාර්ථයද එහෙනම් රූප භවයට හරි කාම භවයට හරි විතරයි අරූප භවේට නැත්නම් සම්මා දිට්ඨිද? මේ ඇහැ රූප භවේට සාධාරණ ද? රූපී බ්‍රහ්මයන්ට කබලිංකාර ආහාරයෙන් යුක්ත ඇහැ තියෙනවද? නෑ. අරූපී බ්‍රහ්මයන්ට තියෙනවද? නෑ. මං මේ කියන්නෙ යථාර්ථය
එතකොට මෙතන දී සම්මා දිට්ඨි කියලා කිවුවෙ.
 
කාම, රූප, අරූප කියලා තුන් භවයක් තියෙනවා නම් ඒ හැම තැනකට ම සාධාරණ වූ ලෝක යථාර්ථයක් තියෙනවා.

දැන් මම අම්මා කියලා කිවුවොත් ඒ මගේ අම්මා ඔයගොල්ලන්ටත් අම්මද? නෑ.
ඒකෙන් කියනවා මොකක් ද? මේක නිවැරදිව ඇත්තක් නෙමෙයි
කියන එක. මොකද ඔයගොල්ලො ගාවට එනකොට බොරු වෙනවනේ. එහෙනම් යථා භූත ස්වභාවය ගත්තොත් මනුෂ්‍යයන්ටත්, බ්‍රහ්මයන්ටත්, දෙවියන්ටත්, තිරිසනුන්ටත් ලෝකෙ කාටවත් වෙනසක් වෙන්න පුළුවන් ද ? බෑ.

එහෙනම් අපේ සම්මා දිට්ඨියට හසුවෙන්න ඕන ලෝකෝත්තර මාර්ගය මෙන්න මෙබඳු ඇත්තක්. මෙන්න මේ තැනට හිත තබලයි අපි දහම සම්මර්ශනය කරන්න ඕන. සම්මා දිට්ඨිය කියනකොට ඔතෙන්ටම ලැබෙන්න ඕන.

එතකොට සම්මා දිට්ඨි කියන මෙන්න මේ තැන ඉඳලා අපි ධර්‍මය සම්මර්ශනය කරන කොටයි, පංච උපාදානස්කන්ධ දුක ගෙවෙන්නෙ. එතකොට මේ පංච උපාදානස්කන්ධ දු ක නැතිවෙන්නෙ මරණින් පස්සෙ එහෙම නෙවෙයි. මේ ජීවිතේමයි. ඉතින් මං මේ පෙන්නපු තැන ගැඹුරයි. ඉතින් මේකට එන ක්‍රමය තමයි මෙච්චර කාලයක් අපි කතාකළේ. වෙන එන්න තැනක් නෑ. එන්න ඉස්සෙල්ලා මේ කරුණ දැනගෙන ඉන්න ඕන. ස්කෝලෙ පළවෙනි පන්තියට බාර දෙන ළමයා පුතේ ඔයා 10 පංතිය දක්වා ඉගෙන ගන්න ඕන කියලයි බාර දෙන්න ඕනෙ. 10 පංතිය දක්වා ඉගෙන ගත යුතුයි කියලා 10 පංතියටම බාර දෙන්න පුළුවන් ද? බෑ. එහෙම බාර දුන්නා කියලා මේ ළමයාට ඒ පංතියෙ වැඩ කරන්න බෑනෙ. නමුත් පළවෙනි පංතියට බාර දෙන කොට 10 පංතිය දක්වා පුතේ ඔයා ඉගෙන ගන්න ඕන කියලයි බාර දෙන්න ඕනෙ නේද? ඒ වගේ අපි යන්න ඕන කොතනද කියලා නිෂ්ඨාව ඉස්සෙල්ලා දැනගෙන අපි මෙතනින් පටන් ගන්න ඕන.

එහෙම නැති වුනොත් අපි මගට ගිහිල්ලා, අපි කරන්නෙ මොකක්ද? කුමක් ද කළ යුතත්තේ කියලා ප්‍රශ්න. රටේ දේශකයන් වහන්සේලා දහ නමක් ධර්‍ම දේශනා කළොත් ඔයගොල්ලෝ හරි අසරණ වෙනවා. ඇයි ඒ? දේශන දහයක්. අපි දැන් මොකක්ද කරන්නෙ කියලා. නමුත් ඉස්සෙල්ලාම ඕන වෙන්නෙ,  මම උපමාවක් කිවුවොත් ඔයගොල්ලට ගමනක් යන්න ඕන වුනොත් ගෙදර ඉඳන්ම ඉස්සරවෙලා ඉලක්ක පථක් තබා ගන්නවනේ. මම යන්නෙ කොහාට ද? තෙල්දෙණියට. ඉස්සෙල්ලාම තියාගත්තා. යන්න ඕන  මෙන්න  මෙහෙම  පාරෙයි  කියලා  පාරත් දැනගන්නවා. එහෙම යන තැනයි, යන පාරයි දැනගෙන තියෙනවා නම් ඔයගොල්ලන්ට ඉලක්කෙ සම්පූර්ණ කරගන්න පුළුවන්.  එහෙම යන තැනකුයි පාරයි නැතුව එළියට බැහැලා ගියොත් මොකද වෙන්නෙ. අතරමං වෙනවා. එතකොට කියනවා හිස හැරුන අතේ යනවා කියලා. ඇයි තැනක් ඉලක්කයක් නෑනෙ. හැරුන හැරුන පාරවල් වලින් යන්න වෙනවා. ඒ වගේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නෙ, ඒ කියන්නෙ අනුපාදා පරිනිර්වාණය කියන්නෙ මෙන්න මෙතනයි. ඒකට යන්නෙ මෙන්න මෙහෙමයි කියලා ඉස්සෙල්ලා තැන දැනගෙන ඉන්න ඕන. දැනගෙනයි කටයුතු කරන්න වෙන්නෙ. ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න තියෙන දේ තමයි, මේ පංච උපාදානස්කන්ධ දුක, ඒ කියන්නෙ මේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ දේ දර්ශනයක්. හොඳටම ගැඹුරයි.

මේ ස්කන්ධ, ධාතු, ආයතන කියන මේ ඔක්කෝගෙන්ම මිදෙන්න පුළුවන්. අටලොස් ධාතුවෙන්ම මිදෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන්. දොළොස් ආයතනයන්ගෙන් ම මේ ජීවිතේ ම මිදෙන්න පුළුවන් තැනක් තියෙනවා.
ඒ ආයතන අරබයා එක ශේෂයක් වත් දුක නොඑන තැනක් තියෙනවා. ඒ මේ ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්නකොට එහෙම නෙවෙයි. අපිට හිතන්නවත් බැරිවෙයි. මේ පින්වතුන්ට පුළුවන් ද? හිටගෙන ඉන්න ඉරියවුවයි නිදාගෙන ඉන්න ඉරියවුවයි, ඇවිදින ඉරියව්වුයි, ඉඳගෙන ඉන්න ඉරියවුවයි කියන හතර ඉරියවුව තියෙනවනෙ. ඔය ඉරියවු හතරින් තොරව යමක් හිතන්න පුළුවන්දඃ ත මන්ගෙ ජිවිතේ ඔය ඉරියවු හතරෙන් තොර යමක් හිතන්න පුළුවන්ද? බෑ නේ ද? බෑ. ඔය ඉරියවු හතරම දුක.

මං මේ ටික කිවුවොත් ඔයගොල්ලො පිළිගන්නෙ නැතිවෙයි. මේ ටික තමයි ලෝකෙ. කෙනෙක් දුකෙන් මිදෙන්න නම් මේ හතර ඉරියවුවෙන් ම මිදෙන්න ඕන. ඉඳගෙනම හිටියොත් ඒක දුකක් වෙනවනේ. එතකොට ඔන්න ඉඳගෙනම හිටියොත් ඉඳගෙනම ඉන්න එක දුකක් වුනොත් ඒ දුක නැති කරන්න ඕගොල්ලන්ට පේන්නෙ මොකක්ද? හිටගත්තොත් සැපයි කියලා පෙනෙයි. දැන් හිටගෙනම හිටියොත්  එතකොට  ඒ  ඉරියවුව  දුකක්  වෙනවානේ.  එතකොට ඕගොල්ලන්ට  සැපක්  කියලා  පේන්නෙ  මොකක්ද?  ඉස්සෙල්ලා ඕගොල්ලො  දුකයි  අමාරුයි  කියපු  ඉඳගෙන     හිටි  ඉරියවුව ඕගොල්ලන්ට පෙනෙයි සැපයි කියලා. ඉතින් මේ දුකේම එක පැත්තකට දුකයි කියනවා දුකේම අනික් පැත්තට සැපයි කියනවා. ඉතින් ඔයගොල්ලො මේ ඉරියවු හතරම දුකයි කියලා යම් කලක දැක්කොත් ඒ දුකේ කලකිරිලා නොඇලීමෙන් මිදුනොත් ඔයගොල්ලො මේ ඉරියවු හතරෙන් එකකට වත් දුකවත්, සැපවත් කියන්නෙ නෑ. එතකොට හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.

මං මේ කියන එක අපිට ටිකක් වත් හිතාගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිටත් මේ දහම් නුවණ තියෙනවා. අපිට හිතන්න බෑ කිය ලා කියන්නෙ ඒකමයි අපිට ඒ තැන නෑ කියන්නෙ. මාළු ටැංකියක ඉන්න මාළුන්ට මම ගිහිල්ලා කිවුවොත් මේ
ලෝකෙ ඔච්චර විතරක් නෙමෙයි. තව වාහන තියෙනවා, පාරවල් තියෙනවා, මනුෂ්‍යයො ඉන්නවා කියලා ඒ මාළුන්ට කතා කරන්න පුළුවන් නම් කියයි බොරු කියන්න එපා කියලා නේද? නමුත් එහෙම ඒවා නැද්ද? තියෙනවා.  යි එතකොට මාළු ඒක පිළිගන්නෙ නැත්තෙ. එයා දකින්නෙ නැති නිසා.

ඒ වගේ අපි මේ පංච උපාදානස්කන්ධ ලෝකයම විතරක් ඇසුරු කරන නිසා පංච උපාදානස්කන්ධයෙන් මිදුන දර්ශනයක් ගැන හිතෙන්නෙ නෑ. හිතුනොත් මෙහෙම දේවල් තියෙනවද කියලා හිතයි අපි. අපි යම් රූපෙකින් වේදනාවකින් සංඥාවකින්, සංඛාරයකින්, විඥානයකින් රහතන් වහන්සේ පනවයි නම්, රහතන් වහන්සේට ඒ ධර්මයෝ නිරුද්ධයි. මේක පටලවා ගන්න එපා. ගැඹුරුයි. කියලා
 
කිවුවේ ඒකයි. අපි යම් රූපයක් බලලා අපේ උපාදානය දුරු වෙලා නැති නිසා. අපේ කෙලෙස් දුරු වෙලා නැති නිසා, අපිට ස්කන්ධ උපදින විදියට බලලා, අපි ‘අර රහතන් වහන්සේ ’ කියලා කිවුවොත්, ඒ අපිට පේන අපි පරිහරණය කරන මානසික මට්ටම ඒ ධර්‍මතාවය එතනින් පරිහරණය වෙන්නෙ නෑ. එතෙන්ට. එතන අපේ මට්ටමින් මිදිලා පවතින්නෙ. එහෙම ධර්‍මතාවයක් තියෙනවා. තාම අපි ඉන්නෙ ටැංකියෙ හින්දා අපිට පේන්නෙ නැත්තෙ. නේද?

ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න ඕන එක දෙයක්. මේ අපි ගාව දැන් තියෙන දහම් දැනුමක් තියෙනවානේ. මේ දහම් දැනුම බැලුවාම අපි නොදන්නා දේකුත් නෑ. හරියට ගවේෂණය කරගෙන කරගෙන ගියාම හරියට දන්නා දේකුත් නෑ කියලා හිතෙනවා. ඇයි දැන් හැමෝටම බය නැතිව තනියම මේ කාරණාව කරගන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නවද? සියළු ආශ්‍රව ධර්‍ම ක්ෂය කරලා මහ රහත් බවට පත්වෙන්න පුළුවන්ද? කිසිම බයක් සැකක් නැතුව කැලේකට යන්න පුළුවන්ද?
මම  නෑ කිවුවොත් වැරදියි. මොකද මම දන්නෙ නෑනේ. නමුත් අපි දහම නොදන්නවත් නෙමෙයි නේ. දැන් මේකෙ තියෙන්නෙ මේ දන්න එක වැරදියි කියන එක නෙමෙයි. පිළිවෙලකට අපි සකස් කර ගනිමු. මේ මොනවා හරි දෙයක් නෙමෙයි අපි කතා කරන්න ඕන. අද දවසෙදි අපිට ිකක් කතා කරමු. එහෙනම් හරියටම අපි දැන් මොකක්ද කරන්න ඕන. අපි මාර්ගය ගැනත් දන්නවා. මෙන්න මේ ටික අපි හරියට ම දැනගන්න ඕන. දැනගත්තහම අපිට පුළුවන් තනියම හරි   ආශ්‍රව ක්ෂය කරගන්න තැනට එන්න. හැබැයි, ‘ජානතො හං භික්ඛවෙ පස්සතො ආසවා නං බයං වදාමි’ දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රව ක්ෂය වීම කියමි. එතකොට, මේ දර්ශනය දැනගන්නත් ඕන. දැකගන්නත් ඕන. දකිනවා කියන මට්ටම මොන වගේ ද?

මේ ලෝකෙ දුකයි කියන එක දකින්න ඕන අපි. ලෝකෙ දුකයි කියන එක දකින්න නම්, අපිට ලෝකෙන් එතෙර නුවණක තියෙන්න ඕන. මොකද, පෙරලෙන දෙයක් ඇතුලෙ නොපෙරලී ඉන්න පුළුවන් ද? කැරකෙන දෙයක් ඇතුලෙ කැරකෙන්නෙ නැතුව ඉන්න පුළුවන් ද? පුළුවන්, පුළුවන්, අපි ඉන්නෙ.
 
දැන් ලෝකෙ කැරකෙනවා. කැරකෙන දේ ඇතුලෙ නම් කැරකෙන්නෙ නැතුව ඉන්න පුළුවන් නේද? නමුත් පෙරලෙන දෙක් ඇතුලෙ නම් නොපෙරලී ඉන්න බෑ, දැන් උඩක ඉඳන් වාහනයක් හරි බෝලයක් හරි පෙරලෙනවා නම් ඒක ඇතුලෙ අපි හිටියොත් පෙරෙලෙනවාමයි නේ. පෙරලෙන දෙයක් ඇතුලෙ නොපෙරලී ඉන්න පුළුවන් කමක්නෑ.

එතකොට, ඒ වගේ මේ ලෝකෙ ඇතුලෙ ඉඳගෙනම නම් ලෝකෙ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බලන්න බෑ. පොළොවෙ හිටගෙන ඕගොල්ලන්ට වට පිටාව බලන්න පුළුවන්. ඔක්කොම බලන්න පුළුවන්. ඒත් හිටගෙන ඉන්න තැන පේනවද?
කකුල් දෙක තියෙන තැන පේනවද? නෑ. මුළු පොළොවම දැක්කද ඔයගොල්ලො එතකොට. එහෙනම් මුළු පොළවම දකින්න මොකක්ද කරන්න වෙන්නෙ. අඩු ගානෙ උඩ පැනලාවත් බලන්න වෙනවානේ. ඒ කියන්නෙ එතකොට පොළවෙන් වෙන් වුනොත් ම මිසක නැත්නම පේන්නෙ නෑ නේ. අපේ ජීවිතය වෙලා නම්, දුක මම වෙලා නම්, දුක මගේ වෙලා නම්, අපිට දුක පිරිසිඳ දකින්න බැහැ. පේන්නේ නැහැ. අපි දුකෙන් අයින් වෙලා හිටියොත්, ලෝකෙන් අයින් වෙලා හිටියොත් තමයි ලෝකය පිරිසිඳ දකින්න පුළුවන් වෙන්නෙ.

ඒ හින්දා ඉස්සෙල්ලාම අපි කරන්න ඕන ලෝකය පිරිසිඳ දකින ඒ ඥාන දර්ශනය මොකක්ද කියලා තෝරා ගන්න ඕන. ඒ තැනට හිත තිය තියා බලනකොට තමයි ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා තේරෙන්නේ.

ලෝකෙ තුල ඉඳගෙන බැලුවට ඒක පේන්නේ නැහැ. ලෝකෙ අනිතය දෙයක්, දුක් දෙයක් කියලා දකින්න ඕනෙ. එදාටයි දුකේ කලකිරෙන්නෙ. දැන් මේ අපි දන්න මට්ටම නෙවෙයි. දැන් පාරෙ යනකොට අශුචි  ටිකක් තිබුනොත් මේක අසුභ බව
ඕගොල්ලො හිතන්න ඕනෙද? අයියෝ මේක අසුභයි නේද ජරාවයි නේද කියලා හිත හිතා බලන්න ඕනෙද? නෑ. ඇයි ඒ. පේනවා.

ඔන්න ඕක තමයි පේනවා කියලා කියන්නෙ. ඔයගොල්ලෝ සුභයි, සුභයි කියලා හිතන්නකො. ඒත් එකෙ ඇතුලත තියෙනවා නෑ අසුබයි කියන එක. ඇයි ඒ? පේන මට්ටම. පේන හින්දම ඔයගොල්ලො ඒකෙ කලකිරිලා ඉන්නෙ ගන්නෙ නෑ
පේනවා කියනකොට ඒ ගැන හිතුවත් නැතත් පේනවා. ඒ වගේ මේ සියලු ලෝකයම දුකයි කියලා ඔයගොල්ලො හිතුවත් නැතත් ඔය විදියට ම පෙනෙන දවසක් ආවොත් එදාටයි කලකිරෙන්නෙ. ඔන්න ඔය තැන දක්වා තමයි දැකීම කියලා කියන්නෙ. දැකීම කියන තැනට එන්න ඕන.

එතකොට ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන දැකීමට එන්නෙ අපි. කොහොමද කියලා බලාගන්න ඕන. ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දකින්න නම් අපිට තියෙන්න ඕන ලෝකෝත්තර නුවණක්. ලෝකෝත්තර නුවණක් කියන්නෙ මොකක්ද? ලෝකයෙන් එතෙර වූ නුවණක් තියෙන්න ඕන. ලෝකයෙන් එතෙර වූ නුවණකට හිත තබලයි අපි මේ ලෝකය අනිත්‍ය දෙයක් නේද? දුක් දෙයක් නේද ? අනාත්ම දෙයක් නේද කියලා ලෝකයේ නොඇලීමට කලකිරීමට බලන්නෙ.

එහෙම නුවණ තබාගෙන ලෝකයේ කලකිරිමට බලන කෙනාටයි, ලෝකෝත්තර දහමෙ රතියක්, ඇල්මක් ඇතිවෙන්නෙ. මේ නුවණ ආවත්, ලෝකෝත්තර නුවණක් තිබුණත්, ලෝකය තුල ආශ්වාදය වැඩි වුනොත් ලෝකෝත්තර දහම තුල හිත රැඳෙන්නෙ නෑ. රූපය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අසුභ වශයෙන්, අසාර වශයෙන් බැලිය යුත්තේ, ලෝකෝත්තර නුවණ තබාගෙන. ඒ තුල හිත නොරැඳෙන නිසා, මේකේ ආදීනව ටික බැලිය යුතුයි. ඒ මෙතෙන්ට එන්න. මෙතන පිහිටා සිටින්න.

ඒ නිසා අපි ලෝකෝත්තර දහම, දර්ශනය ගැන මම ටිකක් මට තේරෙන විදියට මතක් කරන්නම්. මෙන්න මෙතන ඉඳලා අපි ක්‍රමානුකූලව ටිකක් කතා කරමු. මෙතන දී එකම එක කරුණක් මම මතක් කරනවා.
 
ඉතාම සියුම්. ඉතාම ගැඹුරයි. හොඳ අවධානයෙන් ඉන්න. අපි වෙනදට කතා කරන උපමා තිබුනා. ඇතිවීම නැතිවීම බලන හැටි. අර පොකුණකට සතෙක් එබුනම වැටෙන ඡායාවක් ගැන අහලා තියෙනවා නේද? හැමෝම අහලා තියෙනවද? දැන් අපි ස්කන්ධයන්ගේ උදය වැය දන්නේ මේ මේ හේතු නිසා යමක් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලානේ. නේද? එතකොට, ඒක වැරදි නෑ.
නමුත් මම හිතනවා ඒ අපි දන්න ක්‍රමයට වඩා ටිකක් වැඩි දියුණු විය යුතුයි කියලා.
දැන් අපි කියමු. තිරිසන් ගත සතෙක් හරි කවුරු හරි පොකුණට එබෙන කොට පොකුණෙ එයාගෙ ඡායාව වැටෙනවා. ආපහු අහකට යනකොට ඡායාව නැතිවෙනවා. තේරුණාද?

එතකොට පෙර නොතිබීමයි මේ ඡායාව පොකුණෙ හට ගත්තෙ. අහකට යනකොට ඉතිරි නැතිවීම නැති වෙනවා. තේරුණාද? ඔන්න හේතු නිසා හටගත්ත එක හේතු නැති වෙනකොට නැති වෙනවනේ. ඔන්න පොකුණකට එබෙනකොට අපේ ඡායාව වැටෙනවා. අහකට යනකොටම අපේ ඡායාව නැතිවෙනවා. එතකොට, මේ හේතු නිසා හටගත්ත ඵලය හේතු නැති වෙනකොට නැතිවෙනා. අපේ විදර්ශනාවට ඉලක්ක වෙන්නෙ මෙන්න මේ වගේ මානසික මට්ටමක් නේ.

ඇහැක්, රූපයක් නිසා පෙනෙන බවක් වෙනවා. ඇහැත්, රූපයත් දෙක නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා. එහෙම නේද? එතකොට මේ ආයතන දොළහෙම ස්වභාවය ඕකනේ. ඕක තමයි ඇත්ත. ඕක තමයි අපිට යන්න තියෙන මඟ. නමුත් ඔයිට ඔබ්බෙන් දර්ශනයක් තියෙනවා. ඒක දැනගෙනයි මේක කරන්න ඕන කියලා මම කියන්නෙ. අපි නිකම් කියමු. මිරිඟුව කියන තැන අපට ජලය පේනවනේ. ඔන්න ඇහැත් රූපයත් දෙක ගැටෙන කොට අපට ජලය පේනවා. ඇහැත් රූපයත් දෙක නැතිවෙන කොට ජලය නැතිවෙනවා. දැන් ජලය කියපු එක තියෙනවා නෙමෙයි.

හේතු  නිසා හටගෙන  හේතු  නිසා  නැති  වෙන  කොට නැතිවෙනවා. කියලා පෙනුනට, මිරිඟුව මිරිඟුව හැටියට නොදැන ජලයයි පෙනුනෙ කියන මෝඩකම දුරුවෙලා තියෙනවද මේතුල. හේතු ටික නිසා ජලය පෙනුනා, හේතු නැති වෙනකොට ජලය නැති වුනා කියන එක ඇත්ත. නමුත් ජලය ඇතිවෙලා නැතිවෙන හැටියි අපිට හම්බ වෙන්නෙ. මං මේ කතා කරන තැන ටිකක් ගැඹුරුයි. ඒ කියන්නෙ අර පොකුණට වැටුන ඡායාවයි ඇතිවෙලා නැතිවෙන්නෙ. එතන යථාර්ථය අපි දකින්නෙ නෑ. පංච උපාදාන ස්කන්ධයත්, පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත්, නැතිවීමත් කියන මේ තුනම ඕන. අපි ස්කන්ධ ටික පරිඤ්ඤෙය්‍ය වෙන්නෙ නෑ මෙතෙන්දී. ඔයගොල්ලන්ට ස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකිනවා ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් ඔයගොල්ලන්ට ධර්‍මතාවයක් විතරයි හම්බවෙන්නෙ.
රූපය පෙණපිඬක් වේදනාව දිය බුබුලක් සංඥාව මිරිඟුවක් සංඛාරය කෙහෙල් කඳක්
විඤ්ඤාණය මායාවක් කියලා හම්බවුනොත් ඇහැත් රූපයත් ගැටීම නිසා පුද්ගලයෙක් දැක්කා. ඇහැත් රූපයත් නිසා නිරුද්ධ වෙන කොට පුද්ගලයා පේන එක නැතිවෙනවා නෙමෙයි. දැන් අපිට මෙතන කෙලේසය තියෙන්නෙ එහෙම වෙන බවට. ඇතිවෙලා නැතිවෙනවා වුනාට අවිද්‍යා අනුසය දුරු වෙන්නෙ නෑ.

ඇයි මං එහෙම කිවුවෙ? දැන් මිරිඟුව තියෙන තැන මිරිඟුව හැටියට නොපෙනි ජලය හැටියට නම් පේන්නෙ, ඔන්න ඇහැත් රූපයත් දෙක ගැටෙන කොට ජලය කියන එක දකිනවා කියන මට්ටමක නම් ඉන්නෙ ඇහැත්, රූපයත් දෙක නැතිවෙනකොට පෙනුන ජලය නැතිවෙනවා කියන මට්ටමක නම් ඉන්නෙ,
එයින් ඔබ්බෙ තිබුන යථාර්ථය කවදාවත් අපිට හම්බවෙනවද? හම්බවෙන්නෙ නෑ. හැමදාම එක්තරා මට්ටමකින් විතරයි අපේ මේ මනසිකාරය යන්නෙ.

මතු සම්බන්ධයි!

Post a Comment

0 Comments